හයවෙනි මහලේ සිට

චූලානන්ද සමරනායක


රුපියල් හැට පහට මයිසූර් පරිප්පුත්, රුපියල් සියයට සැමනුත් දෙන්නට සිහ නද පැවැත්වූ ආණ්ඩුවකට ඒ දෙකද ඇතුළුව තවත් භාණ්ඩ ගණනාවකට බදු පනවන්නට සිදුවීම හාස්‍යයට කරුණක්ද, නැතිනම් හඬන්නට කරුණක්ද කියාවත් නොතේරෙන තරම්ය. රුපියල් හැට පහට වඩා වැඩි මිලට පරිප්පුද, සියයට වඩා වැඩි මිලට සැමන්ද අලෙවි කළ වෙළෙඳුන් සොයා මෙහෙයුම් කළ නිලධාරීන්, එලෙස අලෙවි කළ නොහැකි යයි පම්පෝරි කී දේශපාලකයන් සියල්ලම දැන් සොයා ගන්නට නැත. ඉදිරියේදී බදු වැඩි කළ මිලට බඩු නම් අපේ වෙළෙඳ පොළෙහි සුලබවන බව නම් කැට තබා කිව හැකිය.
පරිප්පු හැටපහට දෙන්නට කී අවස්ථාවෙහි එක් ප්‍රාදේශීය වෙළෙඳ සැලක හිමිකරුවෙක් මේ ලියුම්කරු සමග පැවසූ කතාවක් මෙහි සටහන් කළ යුතුය.


“පරිප්පු වැඩි මිලට විකුණන්න බෑ කියල රැස්වීමක් තියල අපේ පළාතෙ නිලධාරීනුයි දේශපාලකයොයි ඇවිල්ලා අපිට ලොකු ගෝරනාඩුවක් දැම්මා. මං උන්නැහෙලට එක දෙයක් විතරක් කිවුවා. කොළඹ තොග වෙළෙඳපොළේ පරිප්පු එකසිය හතළිස් තුනට අපිට විකුණද්දි මෙහෙ ඇවිත් අපිට හැට පහට විකුණන්න කියල බණ කියන්න එපා. එච්චර පාඩුවක් අපිට දරාගන්න බෑ. අපිට දෙසන්න කලින් අර කොළඹ තොග වෙළෙඳපොළේ මිල පාලනය කරන්න පුළුවන් නං, මට පරිප්පු හැත්තෑ පහ ගාණෙ ගෙනත් දෙන්න. මං රුපියල් දහයක් පාඩු විඳගෙන විකුණන්න ලෑස්තියි.”


ලංකාවේ දේශපාලනයෙහි සාර්ථකත්වය ඇත්තේ මාධ්‍ය හමුවෙහි පමණක් බව අපි අත්දැකීමෙන් දනිමු. එය නැවතත් යථාර්ථයක් කරමින් රූපවාහිනීවල හැට පහේ පරිප්පු සහ සියයේ සැමන් අලෙවි වෙද්දී පාරිභෝගික අපේ අත්දැකීම වූයේ වෙළෙඳපොළේ ඒ භාණ්ඩ අතුරුදහන්වීමය. එවන් තත්ත්වයක් යටතේ ‘තක්කඩි වෙළෙන්දන්’ හට දඬුවම් දීම වෙනුවට වූයේ පරිප්පු සැමන් කතාව කෙමෙන් රූපවාහිනී නාළිකාවලින් හැලී, දේශපාලක කටවල්ද වැසී වෙනත් මාතෘකා ඉදිරියට ඒම පමණි.


දැන් සහල් සම්බන්ධ අර්බුදයද ඊට වඩා වෙනස් වේ යයි සිතන්නට තරම් අපට කරුණු නැත. සහල් කතාවද කළුවා මාරපන් ගියා වැනි හුටපටයකි. ලංකාවේ සහල් වෙළෙඳාම දැනට දශක දෙකකට පමණ එහා තිබූ තැනින් වෙනස්ව බලවත් මුදලාලිලා කිහිප දෙනකු අත ගොනුවූයේ රාජපක්ෂලා බලයෙහි සිටි සමයෙහිම බව අපට මතකය. මේ මුදලාලිලා ආණ්ඩුවේ අනුග්‍රහ ලැබුවා පමණක් නොව ඇතැම් මුදලාලිලා ආණ්ඩුවේ ඇමතිවරු බවටද පත්වූවෝය. ඒ අතර හාල් ව්‍යාපාරිකයෝ ජනාධිපති කෙනකුගේ එක කුස ඔත් සොහොයුරන් බවටද පත්වූහ. අනෙක් අතින් කවර ආණ්ඩු පැවතියද කොල්ලකාරී ධනවාදයේ ලක්ෂණ විදහමින්ම බැංකුද අත දිගහැර අත දුන්නේ මේ මහ පරිමාණ සහල් අලෙවිකරුවන්ටමය. මේ සූක්ෂ්ම දේශපාලන කොල්ලයෙහි අවසන් ප්‍රතිඵලය වූයේ සහල් වෙළෙඳාම දේශපාලක අනුග්‍රහය ලබන දැවැන්තයන් කිහිප දෙනකු අත පත්වීම පමණි. ඉදින් මේ අවස්ථාවෙහිදී දේශපාලකයන් සහ නිලධාරීන් සහල් අර්බුදය සම්බන්ධයෙන් ‘ඩඞ්ලි’ හමට තැලීම අප තුළ නම් දනවන්නේ හාස්‍යයක්ම පමණි.


මේ මහා පරිමාණ සහල් මුදලාලි රූපවාහිනියෙහි කී එක් කතාවක් සලකා බලනු වටී. ඔහු කීවේ අපි රුපියල් පනහට වී ගත්තෙ ආණ්ඩුවට රුපියල් අනූ අටට හාල් දෙන පොරොන්දුව පිට. දැන් හාල් කිලෝ එකක් හදන්න යන වියදම රුපියල් අසූ පහක්. එතකොට රුපියල් අනූවට හාල් දෙන්නෙ කොහොමද? මේ කතාවෙහි පදනමක් තිබේ. වෙළෙන්දා සැමවිටම බලන්නේ ලාභය ගැනය. නිකම් ලාභය නොව මහා පරිමාණ ලාභය ගැනය. ඒ සියල්ල සත්‍යයක් වන අතරම රුපියල් අසූ පහක් නිපැයුම් මිල යන්නේ නම් රුපියල් පහක ලාභයකට රට පුරා සහල් බෙදාහැරීම වෙළෙන්දකුට කළ නොහැකිය. ඒ ඔහු ඒ ඉතිරි වන රුපියල් පහෙන් කොටසක් තම සහල් අලෙවි කරන තොග වෙළෙන්දාටද දිය යුතු හෙයිනි. පෙරළා තොග වෙළෙන්දා සිය සිල්ලර වෙළෙන්දාටද එලෙසම යම් කොමිස් මුදලක් දිය යුතු හෙයිනි. මේ සාමාන්‍ය වෙළෙඳාමෙහි ක්‍රමයයි. අනෙක් අතින් ඔහු කියන නිපැයුම් මිල රුපියල් අසූපහක කතාව බොරුවක් නොවන බව පසක් වන්නේ ඔහුට එරෙහිව සිටිමින් සහල් රුපියල් අනූවට සතොසට දෙන බව කියන වෙළෙඳ සහ නිෂ්පාදක සංගම්ද නිපැයුම් මිල අසූපහක් බව කියන හෙයිනි. දිගු කාලයක් තිස්සේ තම සහල් වෙළෙඳාමට කෙළවූ මහා පරිමාණ සහල් වෙළෙන්දාට කෙළ මෝලෙන් අනින්ට අවස්ථාවක් ලැබීම පිළිබඳ සතුටින් මේ සංගම් මේ අවස්ථාවෙහි වෙස්සන්තර චරිතය රඟපෑවද ඔවුන් සිරිසඟබෝ වන්නට කල්පනා කරන බව පිළිගන්නට අපට හදිසියක් නැත. මන්දයත් අවසන කෙළවෙන්නේ පාරිභෝගික අපට බව අප හොඳින්ම දන්නා බැවිනි.


හාල් පරිප්පු කතා පසෙක තැබූවද මේ පෙන්නුම් කරන්නේ ආණ්ඩුවෙහි අසාර්ථකභාවයමය. දැන් පසුගිය යහපාලනයට දොස් පැවරීමෙන් එයින් ගැලවීගත නොහැකිය. මන්දයත් දුර්වලකමට හෝ වැලේ වැල් නැතිකමට හෝ විපක්ෂය ආණ්ඩුවට බාධා කරන්නේ නැති හෙයිනි. දැන් එළඹ ඇත්තේ කයිවාරු පසෙක තබා ජනතාවට තමන් පෙන්වා සිටි ගැලවුම්කාර භූමිකාවට එළඹීමය. ඒ හැර අපට කොරියාවෙහි ජනයා කනකර ආණ්ඩුවට දුන් කතා, යහපාලන ආණ්ඩුව ජනතාවට කෙළියා වැනි කතා අදාළ නැත.


සහල් නොව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීමේලා අපට අපේක්ෂාවක් තැබිය හැකි ජාලය වන්නේ සතොස සහ සමූපකාර ව්‍යාපාරය පමණි. එහෙත් ධනවාදයට සරමත් ගලවාගෙන සියල්ල විවෘත කළ අපට දැන් එවන් ජාලයක් ගැනද වැඩි විශ්වාසයක් තැබිය නොහැක. ඒ එවන් ආයතන දූෂිත බවෙහි ගිලීමට ඇති ඉඩ මෙන්ම අනෙක් තරගකාරී විශාල වෙළෙඳ සංකීර්ණ ක්‍රමය මගින් සතොස වැනි ඒවා ගිල දැමීමට ඇති ඉඩද ඉතා වැඩි හෙයිනි. ඒ අතරම අනෙක් සියලු ආණ්ඩු මෙන්ම කූඨ වෙළෙන්දන් ඇතුළු සකලවිධ අවස්ථාවාදීන්ගේ සහය ලැබ බලය ලබාගත්, ජාතිවාදය ඉස්මත්තටම ගත් සහ තවමත් ඒ මතම යැපෙන ආණ්ඩුවකට ජනතාවාදී වීමට ඉඩක් නොලැබෙන බැවිනි.


රටකට හෙටක් තිබීමට නම් එරටෙහි දේශපාලකයාට මෙන්ම පුරවැසියාටද දැක්මක් තිබිය යුතුය. දේශපාලකයා සිය දැක්ම බවට පුරවැසියා අඥානයෙකු බවට පත්කිරීම තෝරාගත් විට දේශපාලකයා ජන සතුරකු බවට පත්වෙන අතරම පුරවැසියාද තමන්ගේ ගෙල වටා සිරවෙන තොණ්ඩුව නොදකින අඥාණ වෘෂභයකු බවට පත්වෙයි. අප දීර්ඝ කාලයක් තිස්සේ ගමන් කරමින් ඉන්නේ මේ මාවතෙහි බව අදටත් බහුතරයක් පුරවැසියන් නොදකින සේම එවන් ව්‍යසනයක් නතර කිරීමට සමත් දේශපාලකයන්ද අපට ඇත්තේ නැත. එහෙයින් වර්තමානයද අයත්ව ඇත්තේ දේශපාලක නාමයෙන් පෙනී ඉන්නා එස්කිමෝවරුන්ටද ෆ්‍රීජ් විකිණීමට සමත් කපටි සේල්ස් රෙෆ්ලා රොත්තකටය.


කෝවිඞ් 19 ලෝකයට වෙනස් වන්නට බලකර සිටියි. එහෙත් ඒ වෙනස ඇති කළ හැක්කේ චීනය සහ ඇමරිකාව- ඉන්දියාව අතර ලංකාව වෙන්දෙසි කිරීමෙන් නොව රටෙහි දේශපාලනය සැබෑ වෙනසකට ලක් කිරීමෙනි. එහෙත් කෙතරම් වියතුන් සිටින්නේදැයි පුන පුනා කීවද අපට නම් මේ ආණ්ඩුවෙහි ඉන්නා වියතුන්ද සැබෑ සමතුන් නොවන බව කිව හැකිය. ව්‍යුහාත්මක වෙනස්කම් ඇවැසි මොහොතක මීඩියා පෙළහරින් යාහැකි දුරෙහි අවසානයක් තිබෙන බව පාලකයන් වටහා ගත යුතුය. වියතුන් සිටිය යුත්තේ සියොතුන් මෙන් එකම තනුව ගයන්නට නොවේ. බයිලා චක්‍රවර්ති ලෙස එම් එස්ට සැමදා වැජඹෙන්නට හැර ආණ්ඩුව කළ යුත්තේ අවංක වීමය.