දිනී ජයසේකර

කොළඹ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ බොරලැස්ගමුව පිහිටි පිරිමි නේවාසිකාගාරයට ඊයේ දින (01) රාත‍්‍රී 11ට පමණ පොලිසියේ තිදෙනෙකු සහ සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ එහි සිසුන්ට මරණ තර්ජන සිදු කර ඇති බව රාවයට වාර්තා වේ.
මේ සම්බන්ධව රාවය කළ විමසුමකදී ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නුවන් දිසානායක පැවසුවේ නේවාසිකාගාරය තුළ 200කට ආසන්න සිසුන් පිරිසක් රැුඳී සිටින බවත් එහි ඊයේ (01) රාත‍්‍රියේ පැමිණි පොලිසියේ කිහිපදෙනෙකු සහ සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයන් දෙදෙනෙකු අවි ආයුධ පෙන්වා මරණ තර්ජනය කළ බවත්ය.
පසුව සිවිල් ඇඳුමින් පැමිණි දෙදෙනා සිදුවීමෙන් පසු පිටව යන විට ”අප පොලිසියේ නොවේ” යන්නෙන් පවසා පිටව ගොස් ඇති බව ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
සිදුවීමට පසු දින එනම් අද උදෑසන සිසුන් බොරලැස්ගමුව පොලිසියට මේ පිළිබඳව පැමිණිල්ලක් සිදුකර ඇතත් පොලීසිය විසින් එම පැමිණිල්ල බාරගෙන නොමැත.
අප මේ පිළිබඳව බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ සිසුන් මත්පැන් පානය කර අවට පුද්ගලයන්ට හිරිහැර වන ලෙස කෑගසමින් හැසිරෙන බවට ලැබුණු පැමිණිල්ලක් මත පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු සහ සිවිල් වැසියෙකු ගොස් ඔවුන්ට අවවාද කළ බවත්, තර්ජනය කළ බවට එල්ල වන චෝදනා අසත්‍ය බවත් ය.