ප‍්‍රියන්ත ප‍්‍රදීප් රණසිංහ

ජනාධිපතිවරණයේදී තරගය පවතින්නේ ගෝඨාභය සහ සජිත් අතරය. ගෝඨාභයගේ බලවේගය සහ සජිත්ගේ බලවේගය දේශපාලනික වශයෙන් හඳුනා ගැනීම වැදගත් අධ්‍යාපනයක් විය හැකි වුවද, වඩා වැදගත් වන්නේ ජනතා පරමාධිපත්‍යය ක‍්‍රියාත්මක වන ආකාරය තේරුම් ගැනීමය. වර්තමාන ජනාධිපතිවරණ සමයේ ශ‍්‍රී ලංකාවේ පොදු ජනතා මතය කෙසේ වේද යන්න තේරුම් ගැනීම එහි හරය ලෙස සැලකිය හැකිය.


සිවිල් සංවිධාන, සජිත්ට පහර දී සජිත් බදා ගැනීම


පේ‍්‍රමදාස මහතා වටා අවසාන මොහොතේ ගොනු වූ සිවිල් සංවිධාන ක‍්‍රියාකාරිකයන්ට ජනතා බලයක් නැත. ඔවුන්ට ඇත්තේ මතවාද ගොඩනැගීමේ බලයකි. මෙරට ආණ්ඩුවක් වෙනස් කළ ඡුන්දයකදී එවැනි පිරිසක් තීරණාත්මක බලපෑම් කණ්ඩායමක් වූයේ 2015 ජනාධිපතිවරණයේදී බව සැලකිය හැකිය. එහෙත් මෙවර ඔවුන්ට එවැනි බලයක් රට තුළ ගොඩනගා ගත නොහැකි වනවා පමණක් නොව, පේ‍්‍රමදාස කඳවුරු තුළ පවා ලොකු ඉඩක් වෙන්ව පවතින්නේ යැයි සිතිය නොහැක. ඇත්ත වශයෙන් ම මෙවර ජනාධිපතිවරණයට ඔවුන්ගේ කඳවුර වන එජාපයේ, අපේක්ෂකයා ලෙස ඔවුන්ගේ තෝරා ගැනීම වූයේ සජිත් පේ‍්‍රමදාස ඇමතිවරයා නොව කරු ජයසූරිය කතානායකවරයාය. ඒ වනවිටත් පේ‍්‍රමදාස මහතා අපේක්ෂක සටන අරඹා තිබූ අතර එහිදී මෙම සිවිල් සංවිධාන නිහඬව සිටීම වෙනුවට සජිත්ට පහරදීමේ සහ කරු ඉහළට එසවීමේ ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේය. මධ්‍යම සංස්කෘතික අරමුදල අවභාවිත කිරීමක් මෙන්ම ඔහුගේ නිවාස ව්‍යාපෘතියේ අඩුපාඩු හිටිහැටියේ සමාජගත කිරීමට පටන් ගත්තේය. එහෙත් කිසිවිටෙකත්, පළාත් සභා ඡුන්ද නොපැවැත්වීමට සම්පූර්ණයෙන් වගකිව යුතු පාර්ලිමේන්තුවේ නායකයා ලෙස කතානායකවරයා විවේචනය කරන ප‍්‍රතිපත්තියක් ඔවුන් අනුගමනය කළේ නැත. ඒ වෙනුවට ඔවුන් කළේ සිය විවේචනයට නිතරම බඳුන් වන මෙරට බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන්, ගෞරව නාම ගැනීමට යන ජයසූරිය කතානායකවරයාගේ එම ක‍්‍රියාව සිය දේශපාලන ඕනෑකම වෙනුවෙන් අවස්ථාවාදී ලෙස භාවිත කිරීම පමණක් නොව එහි ප‍්‍රධාන ප‍්‍රචාරකයකු බවටද පත්වීමය.


ජනතා පරමාධිපත්‍ය නොසලකා හැරි කරු


පළාත් සභා ඡුන්ද නොපැවැත්වීමට සම්පූර්ණයෙන් ම වගකිවයුත්තේ පාර්ලිමේන්තුවය. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා, සීමා නිර්ණය පිළිබඳ අදාළ සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබා නොදීම නිසා ජනාධිපතිට හෝ අධිකරණයට ද ඡුන්දය පැවැත්වීම පිළිබඳ කිසිවක් කිරීමට අවස්ථාවක් ඇත්තේ නැත. එය මේ යහපාලන ආණ්ඩුව ජනතා පරමාධිපත්‍ය අමු අමුවේ උල්ලංඝනය කළ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. සිරිසේන ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධීව ක‍්‍රියා කළ අවස්ථාවේදී මෙන්, කතානායකවරයා සහ සිවිල් සංවිධාන, ඡුන්ද නොපැවැත්වීමට එරෙහිව මරාගෙන මැරෙන ආකාරයේ ප‍්‍රහාරයකට ගියේ නම් ඒ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාව ආපසු හැරවීමේ හැකියාව තිබිණි. එහෙත් ඔවුන්ට තබා, නව ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් ජාතික ප‍්‍රශ්නය විසඳීම සිය සම්පූර්ණ දේශපාලනය බවට පත් කරගෙන සිටින දෙමළ ජාතික සන්ධානයට පවා පළාත් සභා ඡුන්ද නොපැවැත්වීම, අඩු ගණනේ උතුරේ ඡුන්දය නොපැවැත්වීම යහපාලන විරෝධී ක‍්‍රියාවන් බවට පත්වී නැත. එවැනි තත්ත්වයකදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රධාන අවස්ථාවක් වන ජනතා පරමාධිපත්‍යට අත්වන ඉරණම, පිළිබඳ තක්සේරුවක් ඔවුන්ට නොතිබුණා පමණක් නොව, එය ජනතා ප‍්‍රසාදයට හේතු නොවන්නක් බව තේරුම් ගත්තේද නැත.


සජිත් සහ කරු ගත් කල පොදු ජනතා පදනමක් ඇත්තේ සජිත්ට බව අපැහැදිලි නැත. එය ජනතා පරමාධිපත්‍යයේ ම ලක්ෂණයක් බව සිවිල් සංවිධාන නොසලකා හරිද්දී, එජාප බහුතරය මෙන්ම එජාපෙ අනෙකුත් පක්ෂද අනුගමනය කළේ ඊට වෙනස් ප‍්‍රතිපත්තියකි. මක්නිසාද, අපේක්ෂකයා තෝරා දී ජනතා මතය වෙනස් කිරීමේ පසුබිම වෙනුවට ජනතා මතයට අනුකූල වන අපේක්ෂකයෙකු තෝරාදීමේ දේශපාලන පසුබිමක් 2019 වනවිට ගොඩනැගී ඇති බව ජනතාව සමග දේශපාලන කරන සියලූ පක්ෂ හා කණ්ඩායම් තේරුම් ගෙන තිබුණේය.


ගෝඨාට එරෙහි පෙත්සම පිටුපස රනිල්


ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා ද්විත්ව පුරවැසිභාවය ලබාගත් ආකාරය අභියෝගයට ලක් කළ පෙත්සම සැලකිය හැක්කේ හොඳ කඩාවැදීමක් ලෙසය. එහෙත් එය තනිකර ම වික‍්‍රමසිංහ එජාප නායකයාගේ කැමැත්තක් බව අනුමාන කළ හැකිය. ඔහු අවසාන මොහොත දක්වාම එජාප අපේක්ෂකකම සජිත්ට නොදෙන බව ඇඟවූයේ මෙම තුරුම්පුව තබාගෙන බව සිතිය හැක. මෙම අභියෝගය මීට පෙර නොකිරීම ම එම සැකය තවත් තහවුරුවීමක් ලෙස සැලකිය හැකිය. ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කෙරෙන අවධිය වනවිට ගෝඨාභය සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත්තේද එසේ නොවේද යන්න ආණ්ඩුව දැන සිටිය යුතුය. නව හැඳුනුම්පතක් ගන්නා විට, නව විදෙස් ගමන් බලපත‍්‍රයක් ගන්නා විට ඒ බවද ආණ්ඩුව දැන සිටිය යුතුය. අනෙක් පැත්තෙන් ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ඇත්තේ නිසි ක‍්‍රමවේදයට නොවේ නම් ඒ බවද ආණ්ඩුව දැන සිටිය යුතුය. මේ සියල්ල ඒවා භාර අමාත්‍යවරයා වන වික‍්‍රමසිංහ මහතාගේ සමීපතමයෙකු වන වජිර අබේවර්ධන නොදැන සිටියා යැයි සිතිය නොහැක. එහෙත් එහිදී ගෝඨාභය කුමන හෝ වරදක් කර ඇත්නම් එය ප‍්‍රශ්න කෙරෙන්නේ ඔහු සිය කඳවුරට අභියෝගයක් වන අවස්ථාවේ පමණි. එයද ජනතා කැමැත්තට හේතු වන්නේ නැත. එජාපෙ නියෝජනය කරන බොහෝ පක්ෂ සහ නායකයන් මෙම පෙත්සම ඉදිරිපත් කළ ආකාරය පිළිබඳ හොඳ අදහසක සිටින්නේ යැයිද සිතිය නොහැක.


තවත් පැත්තකින් මෙම පෙත්සම ඉදිරිපත් කළ එක් අයෙකු වූ වියන්ගොඩ මහතා එල්ල කර ගනිමින්, ”වියන්ගොඩ වගේ තව නමක් තියෙනවා, එක්නැලිගොඩ කියලා. ..” යනාදී වශයෙන් ගෝඨාභය කඳවුරේ මධුමාධව අරවින්ද ගායන ශිල්පියා තම ෆේස් බුක් පිටුවේ තබා තිබූ බව කියන සටහනද පැහැදිලි තර්ජනයක් ලෙස සැලකිය හැකිය. ඒ වගේම ”සජිත් ආවහම රණවිරු ගාය නැති කරන්න බෙහෙතක් දෙනවා” යන අර්ථයෙන් සජිත් කඳවුරේ චන්ද්‍රගුප්ත තේනුවර මහාචාර්යවරයා කළ ප‍්‍රකාශයද සැලකිය හැක්කේද තර්ජනයක් ලෙසය. මධුමාධව දැක, චන්ද්‍රගුප්ත නොදකින්නේ නම් එය පොදු මහජන ප‍්‍රසාදයට හේතු වන්නේ නැත. පොදු ජනතා මතය යනු තමන් ඇසුරු කරන සිය ගණනක් දෙනාගේ මතය නොවන්නා සේම මහජන පරමාධිපත්‍ය නොසලකා හැරීමද අනාගතය දැකීමක් ලෙස සැලකිය නොහැකිය.


රනිල් අතහැර මෛත‍්‍රීට තැලීම


යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිවරයා මෛත‍්‍රිපාල සිරිසේන වුවද එහි නියම නායකයා ලෙස හඳුනාගත හැක්කේ වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යවරයාය. එහෙත් ඔය කියන සිවිල් සංවිධාන කිසිවිටෙකත් සිරිසේන මහතාට එල්ල කළ ප‍්‍රහාර තරමට වික‍්‍රමසිංහ මහතාට ප‍්‍රහාර එල්ල කර නැත. එහෙත් යහපාලනයේ පදනම ලෙස සැලකූ නව ලිබරල්වාදී නායකත්වය, එක් පැත්තකින් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙලෙසන විට හා අනෙක් පැත්තෙන් ¥ෂණය පිළිවෙතක් කරගන්නා විට සාධාරණ මිනිසුන් ලෙස ජනතා මතය බවට පත්වීමට තබා, එය තමන් අපේක්ෂා කරන අනාගතය අනතුරේ හෙළීමක් ලෙස දැකීමටවත් මෙම සිවිල් ක‍්‍රියාකාරීන් සමත් වූයේ නැත. අඩු ගණනේ සිය ප‍්‍රතිවිරුද්ධ කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා වන රාජපක්ෂ මහතාට මුහුණදීමට සුදුසු ම අපේක්ෂකයා කවුරුන්ද යන්නවත් ඔවුන් දැන සිටියේ නැත. පොදු ජනතාව අතරින් වැටී ඇති මාවත මිස වෙනත් මාවතක් දේශපාලනයට ඇත්තේ නැත. එවැන්නක් තාවකාලික ජයග‍්‍රහණ ලබාදිය හැකි වුවද ඒවා යහපත් ස්ථාවර මාවත් ලෙස සැලකෙන්නේ නැත. මේ නිසා යහපාලන අවධිය සැලකිය හැක්කේ ඊට සම්බන්ධ වූවන්ට පෞද්ගලිකව යහපත උදා කළ කාල පරිච්ෙඡ්දයක් ලෙස මිස රටට යහපත උදා කළ කාලපරිච්ෙඡ්දයක් ලෙස නොවේ.


”නිදහස” පිළිබඳ ප‍්‍රශ්නය 2015 දී රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පරාජය වීමට ප‍්‍රධාන හේතුව ලෙස සැලකිය හැකිය. එම ආණ්ඩු සමයේ වූ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, ප‍්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන්වීම වැනි සිදුවීම්වලට තවමත් පැහැදිලි පිළිතුරු ලැබී නැතුවාක් මෙන්ම ඒවා සොයා බලා සත්‍ය ජනතාව හමුවේ තැබීම මෙන්ම වැරදිකරුවන්ට දඬුවම් දීම තමන් විසින් ම පවරා ගත් සිවිල් සංවිධානද ඇතුළත් වූ යහපාලන ආණ්ඩුව, වසර 4ක් පුරා ඒ වෙනුවෙන් ප‍්‍රමාණවත් කාර්යභාරයක් ඉටු කළේද නැත. දැන් සිදුව ඇත්තේ රාජපක්ෂ කඳවුර ඒවා පිළිබඳ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම සහ එජාපෙ පෙරමුණ, 2015 සිට 2019 කාලය මගහැර, 2015ට පෙර කළා සේ ඒවා පුනරුච්චාරණය කිරීමය. මේ පිළිවෙත් දෙකම ජනතාවගේ සතුටට හේතුවන්නේ නැත.


ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලයට, රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීම සඳහා කළ හැකි කාර්යභාරයක් පිළිබඳ, විශ්වාස කළ නොහැකිය. ඒ නිසා මෙය ප‍්‍රතිපත්ති මත වන සටනක් නොවන්නා සේම පොදු ජනතා මතය නොසලකා හැරිය හැකි සටනක්ද නොවන්නේය. එවැනි තත්ත්වයක් තුළ පුරවැසිභාවය පිළිබඳ අභියෝග කළ පෙත්සම අභියාචනාධිකරණය ප‍්‍රතික්ෂේප කිරීම මෙන්ම ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය පොහොට්ටුව ජයග‍්‍රහණය කිරීමද ගෝඨාභයට වාසිදායක තත්ත්වයක් උදා කිරීම වැළැක්විය නොහැක.


මුස්ලිම් කොංග‍්‍රසය හා ජවිපෙ ආපසු හැරවීම


එවැනි තත්ත්වයක් යටතේ වුවද ගෝඨාභය සහ සජිත් අතර තරගයක් තිබෙන බව අපැහැදිලි නැත. 2015දී ජවිපෙ උපක‍්‍රමශීලීව තරගයෙන් ඉවත්ව ගියේ රාජපක්ෂ කඳවුර පරාජය කිරීම උදෙසාය. එය සාර්ථක වූවා පමණක් නොව ජවිපෙ, ජවිපෙන් එළියට පැමිණීමේ මාවතක්ද විවර වූයේය. මෙවර ඔවුන්ගේ උපක‍්‍රමය ඒ මාවත හරහා වැටී ඇති අතර එය එජාප කඳවුරට වාසිදායක තත්ත්වයක් යැයි සිතිය නොහැක. ජවිපෙට ඡුන්දය දී, දෙවන මනාපය සජිත්ට ලබාදීමේ ක‍්‍රමයක් පිළිබඳ රාජපක්ෂ විරෝධී ඇතැමුන් කතා කළද එය තනිකරම අතරමං වූ ඡුන්ද දායකයෙකුගේ භූමිකාවක් ලෙස සැලකිය හැකිය. මෙවැනි දේශපාලන පසුබිමක ඡුන්දය කටුගෑම හෝ ඡුන්දය නොදී සිටින්නේ නම් එය සැලකිය හැක්කේද ජනතා පරමාධිපත්‍යය පෙරමුණට පැමිණ ඇති මොහොතක, එය අපතේ හැරීමක් ලෙසය. එම නිසා ජයග‍්‍රහණය අවශ්‍ය නම්, ජවිපෙ වටා එක්ව සිටින ජවිපෙ නොවන, 2015 එජාප කඳවුරේ සිටි පිරිස, යළි කැඳවා ගැනීමේ වැඩපිළිවෙළක් පේ‍්‍රමදාස පාර්ශ්වය අවශ්‍යයෙන් ම ක‍්‍රියාත්මක කළ යුතු වන්නේය. එහෙත් වාසිදායක තත්ත්වය තීව‍්‍ර කර ගැනීමට නම් සත්‍ය වශයෙන් ම කළ යුතුව ඇත්තේ, ජවිපෙ, තරගයෙන් ඉවත් කිරීමය. එවැන්නක් ජවිපෙට පක්ෂයක් ලෙස අත්කර දෙනු ඇත්තේ වාසිදායක තත්ත්වයක් යැයි සිතිය නොහැක.


රාජපක්ෂ කඳවුරද මෙවැනි දේශපාලන දාම් ඇදීම් ඉතිරි කරගෙන නැතැයි, විශ්වාස කළ නොහැකිය. ඔවුන් විශේෂයෙන් ම අවසන් මොහොතේ හෝ මුස්ලිම් කොංග‍්‍රසය දිනා ගැනීමට උත්සාහ දරනු ඇතැයි සිතිය හැක. දෙමළ ජාතික සන්ධාන, සම්පූර්ණයෙන් දිනාගැනීමට නොහැකි නිසා උතුර – නැගෙනහිර දෙමළ ජනතා ඡුන්ද බෙදා වෙන්කර, ටී.එන්.ඒ. දුර්වල කිරීමේ උපක‍්‍රම පොජපෙ ක‍්‍රියාත්මක නොකරනු ඇතැයි සිතිය නොහැක. එම නිසා දෙමළ ජනතාවගේ ඡුන්ද, මෙවර දෙමළ – හින්¥න් සහ දෙමළ- කතෝලිකයන් ලෙස පවා වෙන්කර විශ්ලේෂණය කිරීම ඔවුන්ට වාසිදායක තත්ත්වයක් වනු ඇත්තේය.


පේ‍්‍රමදාස මහතාගේ සහ රාජපක්ෂ මහතාගේ මේ සියලූ මාවත් පොදු ජනතා කැමැත්ත හඳුනා ගනිමින්, ජනතා පරමාධිපත්‍යය ආමන්ත‍්‍රණය කිරීම් වනවා මිස, ප‍්‍රතිපත්ති මත කෙරෙන දේශපාලනයක් නොවන්නේය. රට සහ ජනතාව මුහුණ දී ඇති ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදයට ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය පිළියමක් යැයි විශ්වාස කළ නොහැකි වුවද අතීතය ම අනාගතය වේ යැයිද අනුමාන කළ නොහැකිය.