කුසල් පෙරේරා


“3. ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේ ය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේ ය.”
(ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 1 වැනි පරිච්ඡේදයෙහි ව්‍යවස්ථා අංක 03)


මේ රටේ අති බහුතරයක් ජනතාව අත්හරින්නට හෝ තියා ගන්නට, “පරමාධිපත්‍යය” යනු කවරක් දැයි නොදනිති. එනිසා පාලන බලතල ව්‍යුහගතව, සංවිධානය විය යුත්තේ තමන් වෙනුවෙන් යැයි ඔවුහු නොදන්නාහ. ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් ගැන දන්නේද නැත. ඡන්ද බලය යනු කුමක්ද හා එය භාවිත කළ යුත්තේ කවර අරමුණක් වෙනුවෙන්ද යන්න හෝ දන්නේ නැත. එනිසා “අත්හළ නොහැක්කේය” යැයි කියන්නාවූ “පරමාධිපත්‍යය” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි වගන්ති ලෙස මිස ජනතා බුක්තියෙහි ඇත්තේ නැත.


ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට 20 වන සංශෝධනය ගැසට් කර ඇත්තේ ජනතා බුක්තියෙහි නොමැති පරමාධිපත්‍ය ජනතාවට ලබාදීමට නොවේ. එවැනි සංශෝධන කිසිවක් 20 දක්වා මෙතෙක් සිදුව නැත. සිදුවන්නේ ජනතාව වෙනුවෙන් යැයි බලයේ ඉන්නා දේශපාලන නායකත්වයේ අත සවිමත් කර ගැනීමට සංශෝධන ඉදිරිපත් කිරීමය. 18 ත් ඒ වෙනුවෙන් විය. එය ඉවත්කර සම්මත කෙරුණු 19 ත් ඒ වෙනුවෙන් විය. දැන් 19 ඉවත්කර 20 යෝජනා කරන්නේත් ජනතාව වෙනුවෙන් යැයි කියමින් මිස ජනතාව සඳහා නොවේ.


ජනතාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගැන කිසිදු උනන්දුවක් නොදක්වන සමාජයක, ප්‍රතිපත්තිමය කාරණා මත ඡන්දය භාවිත වන්නේ නැත. එවැනි විට පාර්ලිමේන්තු සමග ආණ්ඩු තීන්දු වන්නේ මැතිවරණ පොරොන්දු අනුව නොවේ. 2015 ජනවාරි ජනාධිපතිවරණයේ විධායක ජනාධිපති ධූරය අහෝසි කෙරෙන 19 වන ව්‍යවස්ථා සංශෝධනය සමග දූෂණයෙන් තොර රටක් වෙනුවෙන් මහා ඝෝෂාවක් තිබුණත් ඡන්දය දෙනු ලැබූයේ ඒ වෙනුවෙන් නොවේ. ඒ වන විට ගොඩ නැගී තිබූ රාජපක්ෂ විරෝධය හේතුවෙනි. ඔහු පරාජය වූයේ නාගරික හා ග්‍රාමීය මැද පංතික සිංහල සමාජයේ වර්ධනය වූ කලකිරීමට හා අප්‍රසාදයට උතුරු නැගෙනහිර දෙමළ සහ රට පුරා මුස්ලිම් සමාජයෙහි පැළපදියම් වූ රාජපක්ෂ විරෝධය එකතු වීමෙනි. 19 වන සංශෝධනය කර තියා ගෙන පැමිණි සියල්ල දන්නා කොළඹ මැද පංතිකයින් පවා ඡන්දය දුන්නේ ඒ වෙනුවෙන් නොවේ. ඔවුන්ගේ පළමු තේරීම වූයේ “රාජපක්ෂ විරෝධය” ය.


යහපාලන ආණ්ඩුවේ පාර්ශ්වකරුවන්ට පසුගිය 2019 ජනාධිපතිවණයේ හා 2020 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී සිදුවූයේද එයම ය. යහපාලනය සමච්චලයට පත් කරමින් වගා වූ අප්‍රසාදය ඔවුන්ට එරෙහි විරෝධයක් ලෙස සමාජය පුරා වගා විය. එය 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත්කර 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉල්ලා සිටි විරෝධයක් නොවුණි. නාගරික මැද පංතියද ඇතුළු බහුතර සිංහල බෞද්ධ සමාජය 19 හි සඳහන් උත්සවාකාර ජනාධිපති ධුරය ගැන කිසිදු අවධානයක් යොමු නොකළේය. ඔවුන්ට අවශ්‍යව තිබූයේ බලසම්පන්න සිංහල බෞද්ධ ජනාධිපතිවරයෙකි. මහින්ද රාජපක්ෂ යුගයේ පැවති විධායක ජනාධිපති පාලනයටත් වඩා හයි හත්තිය ඇති විධායක ජනාධිපතිවරයෙකි. බලසම්පන්න සිංහල බෞද්ධ ජනාධිපතිවරයෙකි. එය 19 වන සංශෝධනය ගැන කිසිදු තැකීමක් නොවුණු සිංහල බෞද්ධ දේශපාලනයේ තේරීමක් විය. එය ඉටු කරගත හැකිවූයේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු තහවුරු කෙරුණු විශේෂයෙන් මුස්ලිම් විරෝධය, පන්සල් කේන්ද්‍රීය සිංහල බෞද්ධ දේශපාලනයක් ලෙස සමාජගත වූයෙනි. ඔවුන් ඉල්ලා සිටි ශක්තිමත් සිංහල බෞද්ධ නායකත්වයක් සඳහා බහුතර සිංහල බෞද්ධ බැතිමතුන් අවනත වූයෙනි.


යන එන ගමන් දෙමළ හා මුස්ලිම් ජනතාව ගැන ප්‍රවේසමෙන් වචන කිහිපයක් කතා කළ සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායක ඇතුළු අනෙක් ජනාධිපති අපේක්ෂකයින් සියල්ලෝද ඒ සිංහල බෞද්ධ දේශපාලනයට අනුගතව සිටියහ. තමන් ජනාධිපති ලෙස පත් කළහොත් මේ රට ගොඩ දමන බවට පොරොන්දු ඇතුවය. ඒ මැතිවරණ ව්‍යාපාර කිසිවක විධායක බලය ගැන මිස, 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් හැදූ උත්සවාකාර ජනාධිපතිවරයකු සඳහා පොරොන්දු නොතිබිණ. ජනතාව ඒ සැමට ඡන්දය දුන්නේද තමන්ගේ තේරීම අනුව විධායක ජනාධිපතිවරයකු පත්කර ගැනීම වෙනුවෙනි. එබැවින් ගෝඨාභයට ඡන්දය දුන් 69 ලක්ෂය පමණක් නොව, සජිත්, අනුර කුමාර ඇතුළු සියල්ලන්ට ලබා දුන් ඡන්ද ලක්ෂ 133 ම දෙනු ලැබූයේ 19 රැක ගන්නට හෝ 20 සම්මත කරන්නට හෝ නොවේ. ශක්තිමත් විධායක ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීමට ය.


එවැනි ජනවරම් 19 වන හා 20 වන ව්‍යවස්ථා සංශෝධන සඳහා ලැබුණකැයි කීම, බලයට පත්වූවන් වෙනුවෙන් නාගරික දේශපාලනයේ බුද්ධිමතුන් ලෙස පෙනී සිටින උගතුන් ඔවුන්ගේ ඡන්දය සාධාරණීකරණය කිරීම සඳහා ඉදිරිපත් කරන හිස් තර්කයක් පමණි. මේ රටේ ජනතාව ව්‍යවස්ථා සම්පාදනය හා ව්‍යවස්ථා සංශෝධන සමග කිසිදු සම්බන්ධයක් පවත්වා නැත. සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිට 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවට මේ රටේ ජනතාවගේ කිසිදු සම්බන්ධයක් නොතිබුණි. ජයවර්ධනගේ 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරනු ලැබූ අලුත්ම සංශෝධනය වන යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය දක්වා කිසිදු ව්‍යවස්ථා සංශෝධනයකටද ජනතාවගේ හවුලක් නැත. එනිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්හි ඇති ප්‍රතිපාදන ගැන සමාජයෙහි උනන්දුවක් නැත.


මේ සමාජයේ යහපාලන ආණ්ඩුවේ පාර්ශ්වයන්ට තවමත් ළෙන්ගතුකම් දක්වන්නට ඉතිරිව ඉන්නා නාගරික මැද පංතික සුළුතරයක් වන රාජපක්ෂ විරෝධීන්ගෙන් හැරුණු විට, යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන ඇත්තේද එවැනිම නොසැලකිලිමත් බහුතර ප්‍රතිචාරයකි. මේ සුළුතර පිරිස කෑ කෝ ගසන කාරණා අතුරින් අලුත් යෝජනාවක් වන්නේ ද්විත්ව පුරවැසිකම පාර්ලිමේන්තු දේශපාලනයට නුසුදුසුකමක් නොකිරීමය. තැන් තැන් වල රැල්ලක් දෙකක් අඩුකර හෝ වැඩිකර ඇතිමුත් 20 වන සංශෝධනයෙන් සමස්තයක් ලෙස විධායක ජනාධිපති ධුරයෙහි මූලික වෙනසක් යෝජනා කර නැත.


විධායක ජනාධිපති ධුරය 1978 සිට 2015 දක්වා විජේතුංගද ඇතුළුව ජනාධිපතිවරුන් 05 කු සතුව තිබිණ. ඒ අවුරුදු 35 ක කාලය හා විධායක ජනාධිපති ධුරය කප්පාදු කර අගමැති ලෙස රනිල් වික්‍රමසිංහට සැලකිය යුතු විධායක බලයක් ලබා දුන් යහපාලන ආණ්ඩුවේ කාලය අතර කතා කළ යුතු තරම් වෙනසක් නොවුණි. ජනතාවට වගවීමක් ඇති යහපාලනයක් සඳහා 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පැහැදිලි ප්‍රතිපාදන සම්මත කර තිබුණි නම්, සිදුවූ පරිදි එය ගවපාලනයක් ලෙසින් කෙළවර වන්නට නොහැකිය. ඉන් සම්මත කෙරුණු එකම සාධනීය ප්‍රතිපාදනය වූයේ 18 න් ජනාධිපතිවරයෙකුට ලබා දුන් අසීමිත ධුර කාල, ධුර කාල දෙකකට සීමා කිරීමය. 20 වන සංශෝධනයෙහිද එය එලෙසින්ම යෝජනාකර ඇත.


ඒ වගේම 19 හි අතිශය මුග්ධ ප්‍රතිපාදනයක් වූ වසර හතර හමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තැබූ තහංචිය ඉවත් කිරීමත් 20 හි යෝජනා කර ඇති සාධනීය වෙනසකි. වසර හතර හමාරක ප්‍රතිපාදනයට හේතු වූයේ රනිල් වික්‍රමසිංහගේ අත්දැකීමකි. පළමුවරට 2001 දෙසැම්බර මැතිවරණයෙන් ඔහුගේ අගමැතිකමින් එ.ජා.ප ආණ්ඩුවක් පත් වූ පසු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි විධායක හා ව්‍යවස්ථාමය බලය හා වගකීම් ව්‍යුහගත කර ඇති අයුරු ආණ්ඩු පාලනයක් ගෙන යාමට වික්‍රමසිංහ සූදානම් නොවීමේ හේතුවෙන් ඔහුට ජනාධිපති කුමාරණතුංග සමග අතිශය අවලස්සණ ගැටුමකට මුහුණ දෙන්නට සිදුවිය. සටන් විරාම ගිවිසුම සමග සාම සාකච්ඡා ඵලදායි ලෙස විශ්වාසයක් ඇතිව ඉදිරියට ගෙන යාමට නොහැකි වූයේද ඔහු හදාගත් ඒ අනවශ්‍ය ගැටුම හේතුවෙනි. ප්‍රතිඵලය වූයේ ඔහුට අගමැතිකමත් ආණ්ඩුවත් අහිමිවීමය. ඔහුගේ මුරණ්ඩු, කුමන්ත්‍රණකාරී දේශපාලනය සමග යහපාලන ආණ්ඩුවද එවැනිම අර්බුදයකට හසුවූවහොත් අගමැතිකමත් ආණ්ඩුවත් බේරා ගැනීම වෙනුවෙන් ඔහුගේ උත්තරය වූයේ වසර හතර හමාරක පාර්ලිමේන්තු ආයු කාලයක් 19 න් ලබා ගැනීමය.


කොළඹ රාජ්‍ය නොවන සංවිධාන හිමියන්ගේ ලොකුම චෝදනාව වන්නේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් “ස්වාධීන කොමිසම්” අහෝසි කරන්නේ යැයි කීමය. එය අතිශයෝක්තියට නැගූ බොරුවකි. හුදෙක් පුද්ගල සාධකය මත ව්‍යතිරේකයක් වූ මානව හිමිකම් කොමිසම හැර, 19 යටතේ පත් කළ කිසිදු කොමිසමක් ස්වාධීන නොවුණි. “ව්‍යවස්ථා සභාව” උපතින්ම අබ්බාගාත වූවකි. 20 යටතේ පිහිටුවන්නට යෝජිත පාර්ලිමේන්තු සභාවෙහි දේශපාලනය විවෘතය. 19 න් පිහිටවූ ව්‍යවස්ථා සභාවෙහි දේශපාලනය සිවිල් සමාජ නියෝජිතයින් යැයි පත් කරන්නාවූ තිදෙනාගෙන් වසන් කෙරුවකි.


ඒ ව්‍යවස්ථා සභාව ආරම්භයේ සිටම වික්‍රමසිංහ දේශපාලනයේ අනන්‍යතාව සහිත වූවකි. 19 න් හැදූ ව්‍යවස්ථා සභාවට සහ 20 හි යෝජිත “පාර්ලිමේන්තු සභාව” සඳහා සභිකයින් පත් කිරීමේ ක්‍රමයෙහි වෙනසක් නැත. වෙනස ඇත්තේ සංඛ්‍යාවෙහිය. පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගෙන් 07 දෙනකු ව්‍යවස්ථා සභාවට පත් කළ අතර, ඒ ආකාරයටම පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙන් සභිකයින් 05 දෙනකු 20 න් යෝජිත පාර්ලිමේන්තු සභාවට පත් කෙරෙන්නේ ය. පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් 07 ක් ඉන්නා ව්‍යවස්ථා සභාවෙහි ඝණ පූර්ණය වූයේ 05 කි. එබැවින් ඔවුන්ම සිවිල් සමාජ නියෝජනය සඳහා යැයි පත්කර ගත් තිදෙනාට වටිනාකමක් තිබුණේ නැත. සිවිල් සමාජය නියෝජනය කිරීමට යැයි එලෙසින් පත් කළ කිසිවකු ව්‍යවස්ථා සභාවෙහි ගනු ලැබූ තීන්දු තීරණ සම්බන්ධයෙන් දායක වූ ආකාරය මේ රටේ ජනතාව දන්නේ නැත. මේ රටේ ජනතාව දන්නේ ඔවුන් හවුල් වී පත් කළ නොමිසම් ස්වාධීන නොවුණු, වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුවට ගැළපෙන ආකාරයෙන් පත් කරනු ලැබූ කොමිසම් බව පමණි. යෝජිත 20 න් ඊට වඩා වෙනසක් නොවනු ඇත.


ජනාධිපති ජයවර්ධනගේ විධායක බලතල හා මුක්තියද ඇතිව පාර්ලිමේන්තුවෙන් පිටත විධායක බලය ස්ථානගත කෙරුණු 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවත පූර්ණ ලෙස බලාත්මක කිරීමට ගෙන එනු ලබන 20 වන ව්‍යවස්ථා සංශෝධනය සමග ගැටෙන්නට තරම් දෙයක් එහි නැත. අවධානය යොමු කළ යුත්තේ 20 හි ඇති හොඳ නරක වෙත නොවේ. 20 න් පසු තත්ත්වය පිළිබඳවය. යහපාලනය වෙනුවෙන් ඉතිරිව ඉන්නා නාගරික මැද පංතික පිරිසටත් සජිත් සමග විපක්ෂයට සේන්දු වූ සමගි ජන බලවේගයේ පිරිසටත් අනුර කුමාරගේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමෙහි දෙතුන් දෙනාටත් යෝජිත 20 න් එහා කිසිවක් පෙනෙන්නේ නැති හෙයින් ඔවුහු 20 හි නතරවී වික්‍රමසිංහගේ 19 ය ගැන කතා කරති.


තුනෙන් දෙකේ බලයක් අතැතිව රාජපක්ෂ ආණ්ඩුව 20 වන සංශෝධනය ගෙනෙන්නේ ඉතා කෙටි සංක්‍රමණික පාලනයකට ය. ඔවුන්ට 20 වන සංශෝධනය අවශ්‍ය වන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නා තෙක් ශක්තිමත් විධායක ජනාධිපතිවරයෙකු සමග වන ආණ්ඩු පාලනයකට ය. ඒ වෙනුවෙන් බලාත්මක කෙරෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ඔවුන් නතර නොවන බැව් ඉතා පැහැදිලිය. යෝජිත 20 වන සංශෝධනය ඔවුන් ගැසට් කෙරුවේ සාමාජිකයින් 09 කු ගෙන් යුත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කමිටුවක් පත් කර ප්‍රකාශයට පත් කිරීමත් සමගය. ඒ ඊළඟ ගමන නොපමාව ආරම්භ කිරීමටය.


ජයවර්ධන ඔහුගේ අතට ගත් විධායක ජනාධිපති බලය රාජපක්ෂලාට ප්‍රමාණවත් නොවන බැව්, මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කමිටුව පත් කිරීමෙන් කියන්නකි. බොහෝවිට 20 න් ඔවුන් හදා ගන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනෙන තෙක් අවුරුද්දක පමණ කාලයකට අවශ්‍ය බලය විය යුතුය. ඡන්දදායකයාට සෘජුව වග නොකියන ජයවර්ධන හෑල්ලු කළ පාර්ලිමේන්තුව තවමත් යම් ජනතා විරෝධයක් ගොනු කරන්නට, සමාජ මතයක් හැදීමට ප්‍රමාණවත් විය හැකි යැයි ඔවුන් ගණන් බලනවා විය යුතුය.


ඔවුන්ගේ ආණ්ඩුවේ අනෙක් පාර්ලිමේන්තු සගයින් ගැනද එතරම් විශ්වාසයක් නැතැයි ඉන් කියැවේ. ජනාධිපති විසින් ඉහළ තනතුරු සඳහා තෝරා පත් කළ ඇතැමුන් පිළිබඳව විවේචන, විරෝධ මතුවූයේ විපක්ෂයෙන් නොවේ. එවැනි විවේචන සම්බන්ධයෙන් ජනාධිපතිගේ ප්‍රතිචාරය වූයේ ඔහු විසින් ප්‍රවේසමෙන් තෝරා පත් කරන පුද්ගලයින් විවේචනය නොකළ යුතු බවය. රාජපක්ෂලා යන්නට බලාපොරොත්තු වන ගමනට එවැනි විරෝධතා පවා ඉසිළිය නොහැකි බැව් පෙනෙන්නකි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඔවුන්ට නොපමාව අවශ්‍ය වන්නේත් 20 න් අතට ගන්නා බලය තාවකාලික වන්නේත් එබැවිනි.


සමාජය හමුවේ ඇති අභියෝගය එනිසා මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියට මැදිහත් වන්නේ කෙසේද යන්නයි. එසේ මැදිහත්වීමේ අවශ්‍යතාව ඇත්තේ, 20 න් සංශෝධනය කර හදා ගන්නා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අබිබවා යෑමේ අවකාශයක් තිබිය හැකි හෙයිනි. එබැවින් 20 වන සංශෝධනයට එරෙහිව 19 හි එල්ලී සිටීමේ කිසිදු වැදගත්කමක් නැත. සමාජයක් හැටියට වගකීම බාරගතයුත්තේ මෙවර හෝ ජනතා මැදිහත්වීමෙන් ජනතා කේන්ද්‍රීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාක් කෙටුම්පත් කරගත හැකිදැයි උත්සාහ කිරීමට ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here