සාකච්ඡාව – ඉදුනිල් උස්ගොඩ ආරච්චි


මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහණය මුලුමනින්ම සිංහල බෞද්ධ ඡන්ද පදනම මත පදනම් වූවක් ලෙස බොහෝ දෙනා විග්‍රහ කරන බව පෙනෙනවා. මේ පිළිබද තිබෙන අදහස මොකක්ද?


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඡන්ද ලක්ෂ පනස් පහක් තිබුණා. එයින් සිංහල බෞද්ධ අයගේ ඡන්ද ලක්ෂ හතළිහක් විතර තියනවා. අනෙකුත් ජාතීන්ට අයත් පුරවැසියන්ගේ ඡන්ද තිබෙන්නේ ලක්ෂ පහළොවක් පමණ ප්‍රමාණයක්. සම්පූර්ණයෙන් සිංහල බෞද්ධ ඡන්ද එක් පක්ෂයකට ගියා වැනි අදහසක් තිබෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම නිවැරදි කරන්න ඕනෑ. මොකද මෙතැන එහෙම එකක් නැහැ. අපේ ජනාධිපති අපේක්ෂකයාට රටේ සෑම ජන කොටසකින්ම ඡන්ද ලබාගන්න පුලුවන්වෙලා තියනවා.


ජනාධිපතිවරණයෙන් මෙවැනි ප්‍රතිඵලයක් අපේක්ෂක සජිත් ප්‍රේමදාසට අත්වීම පිළිබදව පක්ෂයක් ලෙස තිබෙන කියවීම මොකක්ද?


අපි ඡන්ද ප්‍රතිඵලය පිළිගන්නවා. එය ජනතාව විසින් තෝරා තිබෙන දෙයක්. මම හිතන්නේ මෙම ඡන්ද ප්‍රතිඵලයට වෙනත් කරුණු රාශියක්ම බලපෑවා. එකක්, 2015 දී අපේ රජය පිහිටුවන අවස්ථාවේ මිනිස්සු තුළ ලොකු බලාපොරොත්තු තිබුණා. විශේෂයෙන්ම හොරකම් දූෂණ වංචා කළ අයට නීතිය ක්‍රියාත්මක වෙයි වැනි බලාපොරොත්තු තිබුණා. ඒ බලාපොරොත්තු සම්පූර්ණයෙන් ඉෂ්ඨ වුණේ නැහැ. ඒවායේ අවාසිය තියනවා. හැබැයි අපේ රජය කළ දේවල්වල ජයග්‍රහණත් හුඟක් තියනවා. එකක් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම. අධිකරණයට අවශ්‍ය පරිදි කටයුතු කිරීමේ සම්පූර්ණ නිදහස තිබුණා, සාමාන්‍ය පුරවැසියාට උපරිම ලෙස නිදහස තිබුණා, ජනමාධ්‍ය වලට උපරිම නිදහස තිබුණා. එක පුද්ගලයෙක්වත් රජයෙන් මරලා දාලා තියනවා කියලා, එක්කෙනෙක්වත් අතුරුදන්වෙලා තියනවා කියලා, එක්කෙනෙකුට හෝ ගහලා ගුටි බැට දීලා පාරේ දාලා ගිහින් තියනවා කියලා, මාධ්‍ය ආයතනවලට හෝ මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම් ගැන අපේ ආණ්ඩු කාලයේ දී මම හිතන්නේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට එක චෝදනාවක්වත් නැහැ. ඒ වගේම ඒ කාල පරාසය තුළදී පුරවැසියන්ට තොරතුරු දැනගැනීමේ අයිතිය ලබාදුන්නා. 19වන සංශෝධනය හරහා ජනාධිපති බලතල වගකිව යුතු බලතල බවට පත් කරලා තියනවා. ස්වාධීන් කොමිෂන් සභා ඇතිකර තියනවා. අපි එවැනි දේ රාශියක් කර තිබෙන නමුත් ඡන්දදායකයාගේ අපේක්ෂාවන් සහ අපි කළ දේවල් අතර පරතරයක් තියනවා. මේ ඡන්ද ප්‍රතිඵලයට ඒක එක හේතුවක්.


දෙවැනි හේතුව, අපේ විපක්ෂය විසින් ලොකු වියවුලක් තිබෙන බව මවා පෑවා. ලෝකයේ අනෙක් රටවල ඉතිහාසයේ බැලුවත් මේ වගේ දේ සිදුව තිබෙන බව පේනවා. ඒ අවුල තුල රට බෙදන්න යනවා කියලා පෙන්වනවා. රට බෙදන කතාවක් අවුරුදු තිහ හතළිහක ඉඳලා කියාගෙන යනවා, මේක සම්පූර්ණ බොරුවක්, මැතිවරණයෙන් මැතිවරණයට ඒ බොරුව එනවා. මේ රට කවදාවත් කාටවත් බෙදන්න බැරි බව මේ රටේ ජනතාව දැනගත යුතුයි. භෞතිකව මේක බෙදනවා කියලා ඊළගට සිතියම් පෙන්වනවා. එහෙම නැති ප්‍රශ්නයක් ඇති කරලා මේ ආණ්ඩුව විදේශ හිතෛශීයි කියලා ඊළගට කියනවා. ඊළඟට රට විකුණනවා කියන අදහස ගෙනාවා. සීගිරියේ ඉදලා වරාය දක්වා සම්පූර්ණයෙන් විකුණනවා කියනවා. මේවායේ කිසිම ඇත්තක් නෑ. මේ රටේ අඟලක්වත් අපේ රජයෙන් විකුණලා නැහැ. යමක් විකුණුවා නම් යමක් විකුණුවේ ඒ අයයි. ඒ අය ඩෝල් සමාගමට අක්කර ගණනාවක් විකුණුවා, ඒවා ජාත්‍යන්තර බහුජාතික සමාගම්. ගාලුමුවදොර සින්නක්කරව චීන සමාගමකට විකුණා දැම්මා. අපේ රජය විකුණනවා කියන කතාව මවපු දෙයක්, ඒ අය ඒක මැවුවා. බලන්න මේ අය ජාතිහිතෛශී නෑ, විදේශ ජාතිකයන්ට විකුණනවා කියලා මවලා කිවුවා.


ඊළගට ත්‍රස්තවාදය හිස ඔසවනවා කියන කතාව මවලා පෙන්නුවා. මේ රටේ දශක ගණනාවක් එල්ටීටීඊ ත්‍රස්තවාදය තිබුණා. ඒක දිගින් දිගටම ඇතිවී වැඩිවී පසුව ආයුධ ගෙන මර්දනය කර ත්‍රස්තවාදය නැති කිරීමට හැකි වුණා. එහෙම ත්‍රස්තවාදය නැති කරලා දැන් දශකයක් පමණ වෙනවා. දැන් වැඩපිළිවෙලක් අවශ්‍ය වුණේ රට එක්සේසත් කරන්නයි. ඒ රජය ඒක කරන්න උත්සාහ කළා. පස්සේ ජනතාව අපට ජනවරමක් දුන්නා, මොකද අපිට ඒක ඊට වැඩිය හොඳට කරන්න පුලුවන් කියලා ඒ අය හිතුවා. අපි රට එක්සේසත් කරන්න හුගක් දේවල් කළා, සංහිදියාව ඇති කළා, ජන කණ්ඩායම් අතරේ ශිෂ්‍යයන් අතරේ හුවමාරු වැඩසටහන් කළා, ඒ වගේම විශේෂයෙන්ම යුද්ධයෙන් අතුරුදන්වූ අය සොයාගැනීම වෙනුවෙන් අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය ඇති කළා. ඒ වගේම යුද්ධයෙන් හානිවූ අයට වන්දි ගෙවීමට කාර්යාලයක් අපි විවෘත කළා. අපි ඒ ගමන ගියා. නමුත් මේ අය කළේ නැති ප්‍රශ්න ඇති කිරීමයි. රට බෙදන, ජාතීන් බෙදන, අසමගිය ඇති කරන, ජාතීන් අතරේ වෛරය පතුරුවන මැතිවරණ ක්‍රමවේදයක් මේ අය රැගෙන ගියා. එවැනි මැතිවරණ ක්‍රමයක් රැගෙන යාම නිසා එදා යුද්ධය අවසන් කරද්දී තිබුණු තත්ත්වය වෙනස්කර එකමුතුභාවය සංහිදියාව ඇතිකිරීම වෙනුවෙන් තිබූ ආකර්ශනය සම්පූර්ණයෙන්ම නැති කළා. එහෙම කරලා සම්පූර්ණයෙන්ම කෙටිකාලීන දේශපාලන අරමුණු මැතිවරණ අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් රට බෙදන තැනකට ගෙනල්ලා තියනවා. මේක රටටම කළ අපරාධයක් කියලා කියන්න පුලුවන්. ඒ වියවුල් තත්ත්වය ඇති කළාට පස්සේ නායකයෙක් ඉදිරිපත් කරලා කියනවා මේ නායකයා තමයි මේකට පිළිතුර කියලා.


පසුගිය පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සමග ඇතිවූ තත්ත්වය මේ වියවුල ගොඩනැගීමට ප්‍රධාන ලෙසම පසුබිම සකස්කර දුන් අවස්ථාවක් නේද?


රටේ ආරක්ෂාව මදි කිවුවා. ඒකට තුඩු දුන්නේ පසුගිය පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයයි. ඒකෙන් මිනිස්සු මිය ගියා. ඒක එල්ටීටීඊ ත්‍රස්තවාදය වගේ එකක් නෙමෙයි. ඒක ඒ අයගේ දර්ශනය පිළිබද තිබෙන ත්‍රස්තවාදයක්. මේ ත්‍රස්තවාදය ඇති කළේ අපි නෙමෙයි. ඒක සෑහෙන දීර්ඝ කාලයකට තරුණ තරුණියන්ගේ ඔලුවලට එක එක දේවල් දාලා එයින් ඇතිවුණු ප්‍රහාරයක්. එය වැළැක්වීමට අපේ ආණ්ඩුවට දේශපාලන වගකීමක් තියනවා. ඒ වගේම ඒක වළක්වන්න බුද්ධි අංශ, හමුදාවලට වගකීමක් තිබුණා. නමුත් ඊට පසුව එයින් රට අස්ථාවර කිරීමේ වැඩපිළිවෙලකට ගියා. එකක් ජාතිභේද ප්‍රශ්නය ඇති කළා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් පසුව එක එක තැන්වල මුස්ලිම් මිනිස්සුන්ගේ කඩසාප්පු පුච්චලා ගෙවල් පුච්චලා කෝලාහල ඇති කළේ ඒ නිසායි. ඒවා ඇති කළේ දේශපාලන අරමුණකින්. එවැනි දේවල් කිරීම අපි සම්පූර්ණයෙන්ම හෙළා දකින්න ඕනෑ. ඊට වඩා රටට ලොකු ආරක්ෂක ප්‍රශ්නයක් තියනවා කියලා විසඳුම විධියට ඊළඟට පුද්ගලයෙක්ව ඉදිරිපත් කරනවා. ඔහු ඉන්නවා නම් මෙවැනි දේ වෙන්නේ නෑ, මේක තමයි රටට විසඳුම කියලා.
මොකක්ද මේ ජාතික ආරක්ෂාව කියන්නේ, ජාතික ආරක්ෂාව කියන්නේ තමන්ගේම රටේ විවිධ ජාතීන් එකිනෙකා අතර තිබෙන අවිශ්වාසයන් නිසා එකිනෙකාගෙන් ආරක්ෂාවීම ද? මෙම ජනාධිපතිවරණයේ ජනප්‍රිය මාතෘකාවක් වුණු ජාතික ආරක්ෂාව අර්ථගන්වා තිබුණේ එවැනි අර්ථයකින් බව පෙනුණා.


සාමාන්‍යයෙන් ජාතික ආරක්ෂාව කියලා හිතන්නේ එක රටකින් තවත් රටකට ඇතිවෙන අභියෝගයක්. අපි ඒවා පාලනය කරගන්නේ සාමාන්‍යයෙන් විදේශ ප්‍රතිපත්ති හරහායි. එතකොට ඇත්තටම මේ කතා කරන්නේ අපේ රටේ ජනතාව එකට ජීවත්වීම ගැනයි. සංහිදියාව ඇති කිරීම ගැනයි. මේ අය ජාතික ආරක්ෂාව කියලා කියන්නේ මේ රටේම කෙනෙක්ගෙන් තව කෙනෙක් මේ රට බේරා ගැනීමක් ගැනයි. ජාතික ආරක්ෂාව කියලා මේ අය සම්පූර්ණයෙන්ම වෙනස් අර්ථයක් දෙන්නේ. අපි කරන්න ඕනෑ මේ මිනිස්සු එකමුතු කරලා ශ්‍රී ලාංකික අනන්‍යතාවක් ගොඩනැගීමයි. හැබැයි ඔවුන් එතැන නැහැ. කොටස් බෙදලා තමයි ඒ අයගේ මැතිවරණ ජයග්‍රහණ සදහා මේවා නිර්මාණය කරන්නේ.


ඔබ කියූ ආකාරයට ප්‍රතිවිරුද්ධ පාක්ෂිකයන් විවිධ ආකාරයේ සාවද්‍ය කතාන්දර මැවීම් සිදුකළා නම් එය මැඩපැවැත්විය හැකි මට්ටමේ ප්‍රතිරෝධයක් ගොඩනැගීමට ඔබේ පාර්ශ්වය අසමත් වන්නේ ඇයි?


ඒකට හුඟක් හේතු තිබෙන්න පුලුවන්. මට ඒකට සම්පූර්ණ පිළිතුරකුත් නැහැ. එකක් විශ්වාසයක් ඇති කරන්න ඕනෑ. ඒක ඇති වෙන්නේ පුද්ගලයන් හරහායි. ඒක එන්නේ නායකත්වය හරහා ඇතිවන විශ්වාසය තුළයි. ඒක දවසෙන් දෙකෙන් ගොඩනැගෙන එකක් නෙමෙයි නේ. දේශපාලන නායකයෝ දශක ගණන් ඉදලා තියනවා. ඒ නිසා අපිට අඩුපාඩු තියනවා කියලා අපි පිළිගන්න ඕනෑ. මම එහෙම කියන්නේ පුද්ගලයන් විවේචනය කිරීමට නොවෙයි, එය කිව යුතු නිසායි. දෙවැනි දේ තමයි අපේ පණිවිඩය ගෙනගන්න අපි අපොහොසත් වුණා. මොකද විශේෂයෙන්ම අපි මාධ්‍යයට අසීමිත නිදහසක් ලබාදුන්නා. කවදාහරි මේ රටේ මාධ්‍ය මේක තේරුම් ගනියි. ඒ අයගේ නිදහස නැතිවුණු දවසට ඒ අය ඒක තේරුම් ගනියි. ඒක නැතිවේගෙන යයි, ඒක පාලනය කරයි. එදාට ඒ අය තේරුම් ගනියි. ඒ සමහර රූපවාහිනී මාධ්‍ය ජාල පිළිබදව මැතිවරණ කොමසාරිස්වරයාම කියලා තියනවා. ඒ ඇතැම් මාධ්‍ය කළේ ස්වාධීන මැතිවරණ ප්‍රචාරණයක් නෙමෙයි, මැතිවරණයටත් පෙර සිටම ඒ අය ස්වාධීන නැහැ. ඒ අය කළේ එක පක්ෂයකට, එක පුද්ගලයෙක්ට ඒ අයගේ ඡන්ද ව්‍යාපාරයක්. එසේ නම් තමන් පෙනී සිටින්නේ කුමන අපේක්ෂකයා වෙනුවෙන්දැයි මුළ සිටම ඒ මාධ්‍ය කිව යුතුව තිබූ බව මැතිවරණ කොමසාරිස්වරයාම කීවා. වෙනත් ඇතැම් රටවලත් එය සිදුවෙනවා. නමුත් මේක අපි ස්වාධීනයි කියලා වෙනත් කතාවක් කියනවා. ඒ නිසා මේක ඇත්තටම මාධ්‍ය නිදහස ද කියන දේ අපිට අලුතෙන් හිතන්න වෙනවා. මේ ගැන ගැඹුරින් හිතන්න ඕනෑ. මේ රටේ අපි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න යනවා නම් කාටවත් මේ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරන්න දෙන්න බැහැ. අපිට එතකොට මාධ්‍ය ආයතනවල අයිතිය ගැන හිතන්න වෙනවා. පුද්ගලයන්ට, පවුල්වලට මේවා අයිති වෙන්න පුලුවන්ද කියනදේ ගැන හිතන්න වෙනවා, නියාමනය ගැන හිතන්න වෙනවා. කාලය විතරක් නෙමෙයි, ප්‍රචාරණ කටයුතු ගැනත් හිතන්න වෙනවා. ජාත්‍යන්තර ප්‍රමිතීන් පිළිබද සලකා බලා මේවාට යම් කිසි ක්‍රමවේද ගෙන ඒමට අවශ්‍ය වෙනවා.


ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමුකළ ඔබේ පක්ෂයට පරාජය අත්වීමටත් රටේ ආරක්ෂාවට වැඩි ජනප්‍රියත්වයක් ලබාදුන් පාර්ශ්වයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත්වීමටත් මේ වන විට දින කීපයක් ගතවී තිබෙනවා. මේ දින කීපය තුළ සිදුවෙමින් පවතින වෙනස්වීම් පිළිබද ඔබේ කියවීම මොකක්ද?


ඒකේ මූලික දේවල් අපිට දැන් බලන්න පුලුවන්. පොලීසිය වෙනුවට හමුදාව මෙහෙය කිරීම, බිය ගැන්වීම දැන් කරගෙන යනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂව සිටි ශානි අබේසේකර මහත්මයාට ස්ථාන මාරුවීමක් දී තිබෙනවා. පොලිස් කොමිසම මේවාට එකඟද, පැය විසිහතරකින් මේවාට පොලිස් කොමිසම අනුමැතිය ලබාදීලා තියෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය තියනවා. ශානි අබේසේකර කියන්නේ මේ රටේ ඉන්න හොදම විමර්ශකයෙක්. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම, කීත් නොයාර්ට පහරදීම, උපාලි තෙන්නකෝන් ආදී විමර්ශන රැසක් සිදුකරන පුද්ගලයා ඔහුයි. එයින් දෙකක් අධිකරණයට යොමුවෙලා තියනවා, අනෙක් දෙක පිළිබද තවම සොයාගෙන යනවා. මෙහෙම ස්ථාන මාරුවීම් සිදුකළාම මොකක්ද වෙන්නේ, ඒ විමර්ශන වලට ගැටලුවක් ඇති වෙනවා, ඒ වගේම අධිකරණ ක්‍රියාවලියටත් ගැටලුවක් ඇති වෙනවා. මේ අය කරන්නේ මොනවාද. පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා වැනි අයගේ ආරක්ෂාව ඉවත් කළාම ඒ අයට ජීවිත තර්ජන තිබෙන නිසා රට අතහැර යනවා. දැන් අනෙක් අය යාවි කියලා ඒ අයට යන්න බැහැ කියලා නියෝගයක් දී තිබෙනවා. ඒ අය එහෙම නතර කරන්න ඒ අය අපරාධකාරයෝ ද. ඉතින් මේ අය සතියක් ඇතුලත මේ වාතාවරණය වෙනස් කර තිබෙනවා. මිනිස්සු බය කරලා, ශක්තිය පෙන්නලා හොඳ පාලනයක් ඇති කරන්න පුලුවන් කියලා මේ අය හිතනවා.


එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමන පිළිබද තිබෙන සැලැස්ම මොකක්ද?


මිනිස්සු අලුත් නායකත්වයක් බලාපොරොත්තු වෙනවා. එක් පුද්ගලයෙක් ගැන විතරක්ම නෙමෙයි නායකත්ව කණ්ඩායමක් බලාපොරොත්තු වෙනවා. අපේ ප්‍රතිපත්තිවල අඩුපාඩු කොතැනද තිබුණේ කියන දේවල් ගැන නැවත හොයා බලන්න ඕනෑ. ජනතාව කොතැනද අපේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කළේ, මොනවාද පිළිගත්තේ, පිළිනොගත්තේ කියන දේ ගැන බලන්න ඕනෑ. එක්කෝ ඒවා අපි වෙනස් කරන්න ඕනෑ, හරි කියලා හිතෙනවා නම් නැවත ඒ අයට පැහැදිලි කරලා දෙන්න ඕනෑ. ඒ වගේ වෙනස්වීම් කරන්න ඕනෑ. ඊට පස්සේ ප්‍රතිසංවිධානය වෙන්න ඕනෑ. ක්‍රමවිධි හොයලා ඒ ප්‍රතිසංවිධානය කරන්න ඕනෑ. මේ ප්‍රතිඵලය දිහා බැලුවත් අපිට ආසන අසූපහක් විතර එනවා. දැනට පාර්ලිමේන්තුවේ ඉන්න විශාලම කණ්ඩායම අපි. නායකත්වය, ප්‍රතිපත්ති, පාලන ක්‍රම හා විධි වහාම ප්‍රතිසංවිධානය කළොත් ලබන මැතිවරණයේදී අපිට ඒ තැන තියාගන්න පුලුවන් කියලා මම හිතනවා.


විපක්ෂ නායකයා පත්කිරීම සම්බන්ධයෙන් කතානායකවරයා වෙත යෝජනා දෙකක් ලැබී තිබුණා. තවමත් එක්සත් ජාතික පක්ෂය තුළ නායකත්වය සම්බන්ධයෙන් තිබෙන අර්බුදය විසදිලා නැද්ද?


සාමාන්‍යයෙන් විපක්ෂ නායකයා තෝරන්නේ මැතිවරණය කළ අවස්ථාවේ විශාලම පක්ෂයේ නායකයා විපක්ෂ නායකයා ලෙස පත් කරන්න කියලා එම පක්ෂයේ මහලේකම්වරයා ලියුමක් එවනවා. ඒක තමයි අකිල විරාජ් මැතිතුමා කර තිබුණේ. ඒක සාමාන්‍ය සම්ප්‍රදායික විධියයි. පසුව පාර්ලිමේන්තුවේ අපි අනෙක් මන්ත්‍රීන් බහුතරය එතුමා වෙනුවට වෙන කෙනෙක් පත්කරමු කියලා කතානායකවරයාට ලියුම් එවලා තියනවා. ඒ නිසා කාවද පත් කරන්නේ කියලා කතානායකවරයා තීරණයක් ගන්න ඕනෑ. බොහෝ දුරට කතානායකවරයා බහුතරයේ තීරණය අනුව කටයුතු කරාවි. මොකද මීට පෙරත් පාර්ලිමේන්තුවේ එවැනි සිදුවීම් වෙලා තියනවා. ඒ නිසා ලබන අගහරුවාදා වන විට එතුමා එම තීරණය ගනීවි. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ නිලතල අවශ්‍ය නැහැ කියාත් පක්ෂය තුළ වෙනස් කිරීම් කිරීමට එතුමාත් එකග බවත් එතුමා ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ ගැටලුවක් ඇතිවේවි කියලා මම හිතන්නේ නැහ