විජයානන්ද ජයවීර

ඇමෙරිකානු මැරීන් හමුදාවේ විශ‍්‍රාමිකයකු වූ ජෙනරාල් ජේම්ස් මැතිව්ස් ටික කලක් ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ කැබිනට් මණ්ඩලයේ ජාතික ආරක්ෂාව පිළිබඳ ලේකම් නොහොත් අපට අනුරූප වන අන්දමට කිව්වොත් ආරක්ෂක කටයුතු භාර ඇමතිවරයා ලෙස සේවය කළේය. වෘත්තීය සොල්දාදුවෙකු වූ ඔහු ජාතික ආරක්ෂාව පිළිබඳ දැරූ මතය ඩොනල්ඞ් ට‍්‍රම්ප් අනුදත් කුපිතකාරී මත හා නොගැළපුණු බැවින් කල් නොයවා තනතුරෙන් සමු ගැනීමට ඔහුට සිදුවිය. ජාතික ආරක්ෂාව පිළිබඳ ට‍්‍රම්ප් දැරූ ආකල්ප හා ජනරාල් මැතිව්ස්ගේ මත අතර තිබූ ගැටුම් බොබ් වුඞ්වර්ඞ් ලියූ රේජ් නමැති කෘතියේ විචාරයට ලක්වෙයි. එයට අනුව ජනරාල් මැතිව්ස් හා ඩොනල්ඞ් ට‍්‍රම්ප් අතර ඇති වූ එක ප‍්‍රධාන විරසකයක් වූයේ ඔබාමා ජනාධිපතිවරයාගේ කාලයේ තහනම් කරන ලද වද හිංසනය සහිත දැඩිතර ප‍්‍රශ්න කිරීමේ උපක‍්‍රම (enhanced interrogation techniques) ඉරාකයේ හා ඇෆ්ඝනිස්තානයේ සටන්කරුවන් සම්බන්ධයෙන් නැවත යොදා ගැනීමට ඇමෙරිකානු හමුදා භටයන්ට ඉඩදිය යුතුයැයි ඩොනල්ඞ් ට‍්‍රම්ප් කියා සිටීමයි. එහෙත් ජනරාල් මැතිව්ස් ජනාධිපති ට‍්‍රම්ප්ගේ ඒ අදහසට එකඟ නොවීය. ඔහු විශ්වාස කළ පරිදි ඇමෙරිකානු තරුණයන් හොඳ සොල්දාදුවන් පමණක් නොව සොල්දාදු වෘත්තිය අවසන් කොට ජන සමාජයට එක් වූ පසු ගුණ යහපත් පුරවැසියන් ලෙස ද කටයුතු කළ යුතුය. ඒ නිසා අමානුෂික වද හිංසන සඳහා සොල්දාදුවන් යොදා ගැනීම වැරදිය. වියට්නාම් යුද්ධයේදී, ලූතිනන් විලියම් කැලේගේ අණ පිට වියට්කොං අනුගාමිකයින්යැ’යි සැකය මත මයිලායි නමැති ගමේ අහිංසක සිවිල් වැසියන් ඝාතනය කළ ඇමෙරිකානු සොල්දාදුවන්ට තිබූ පශ්චාත්තාපය සහ එනිසා පසුකලෙක ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ගත කළ කාලකණ්ණි ජීවිතය ඇමරිකානු හමුදාව තුළ රැව් දුන් කරුණක් වී තිබුණි. වද හිංසනය නිසැකවම හිංසකයන්ගේ ආධ්‍යාත්මික පිරිහීමටත් වධකාමී මිනිසුන් බිහිකිරීමටත් හේතුවන බවත් එය රටේ සහ හමුදාවේ සදාචාරීය කීර්තියට හානිකර බවත් මැතිව්ස් විශ්වාස කළේය. ඒ අනුව ඔහු තම ජනාධිපතිවරයාට මෙසේ පැවසීය. ”වද හිංසනයට ඉඩදීම කියන්නේ අපි අපිටම කර ගන්නා හානියක්. වද හිංසනයෙන් ලබාගන්න පුළුවන් තොරතුරු කෝපි කෝප්පයක් සිගරැට් එකක් දීල ලබා ගන්න පුළුවන් ක‍්‍රම අපිට තියෙනවා.”

ඒ ගැන කිසිවක් නොකියූ ට‍්‍රම්ප් නැටෝ සංවිධානයේ සාමාජිකත්වය දැරීමේ වැඩක් නැතිකම ගැන මැසිවිලි කියන්නට පටන් ගත්තේය. ඒ නිසා ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට නැටෝ සංවිධානයේ සහ අන්තර්ජාතික සහයෝගිතාවයේ ඇති වැදගත්කම විස්තර කිරීමට ඉන් අනතුරුව ජනරාල් මැතිව්ස්ට සිදුවිය. කෙසේ වෙතත් ඉන් වැඩි කලක් නොගොස් ට‍්‍රම්ප්ගේ ආරක්ෂක ලේකම් පදවියෙන් ඉවත්වීමට ජනරාල් මැතිව්ස් තීරණය කළේය.

ඉහත සිද්ධිය හුවා දැක්වීමට මා අදහස් කළේ ජාතික ආරක්ෂාව හා මානව හිමිකම් යනු අන්‍යොන්‍ය වශයෙන් ප‍්‍රතිපෝෂණය විය යුතු ඒවා බව නැවත මතක් කිරීමටය. ඇත්ත වශයෙන්ම අපේ රටේ ජාතික ආරක්ෂාවට එල්ලවූ බොහෝ අභ්‍යන්තර තර්ජනවල මුල යම් යම් ජන වර්ගවලට අයත් මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් සාක්ෂාත් කරදීමට අප අපොහොසත්වීම බව පෙනීයනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here