විමලනාත් වීරරත්න

පාස්කු කොමිසමේ වාර්තාව ගිරිබාවට ගෙන ගිය ජනාධිපතිවරයා තම ආණ්ඩුව බලයට ආවේ පාස්කු ප‍්‍රහාරය නිසා නොවන බවත්, හිටපු ජනපති, අගමැති මෙන්ම ආණ්ඩුව ඊට වගකිවයුතු බවත් කීවේය. එසේ කීවේ වත්මන් රජය බලයට ඒමට පාස්කු ප‍්‍රහාරය පාවිච්චි කළ බවට හතර අතින් චෝදනා කැරුණු තත්ත්වයක් තුළය. ජනාධිපති තමාට හා ආණඩුවට සුළු හෝ චෝදනාවක් එල්ල වූ සැණින් එය නිවැරදි කරනු පෙනේ. එය සාමාන්‍ය මනුෂ්‍ය ගතියක් ද වෙයි. එහෙත් සීනි බදු වංචාව ගැන ආණ්ඩුවට බරපතළ චෝදනා එල්ල කැරෙද්දී ජනාධිපති ඒ ගැන වචනයක්වත් කීවේ නැත. අගමැතිත් නිහඬය. එහිදී ජනපතිගේ සාමාන්‍ය මනුෂ්‍ය ගතිය මතු නොවූයේ ඇයි? පුහුල් හොරා කරෙන් දැනුණේ අළු ඩිංගක් කර මත තැවරී තිබුණු නියාව තවකෙකුගේ පරීක්ෂාවට ලක්වුණු නිසාය. සීනි ප‍්‍රශ්නයේදී ආණ්ඩුවේ නායකයන්ගේ කටේ තොලේ සීනි ඩිංගක් තැවරී තිබේද? මුනිවත රකින්නේ ඒ සීනි පිස දමා ගැනීමට අමාරු නිසාද?

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කරන ලද වාර්තාව මගින් හෙළිදරව් වන පරිදි සීනි බදු අඩු කිරීම නිසා රටට අහිමි වී ඇති ආදායම රුපියල් බිලියන 15.9කි. ලක්ෂ 1590කි. බදු විශාල වශයෙන් අඩු කර සීනි ආනයනය කරන අවස්ථාව වන විට ලංකාවේ සීනි හිඟයක් තිබුණේ නැත. පාරිභෝගිකයන්ගේ පාර්ශ්වයෙන් විශාල ඉල්ලූමක් ඇතිවූයේද නැත. සීනි බද්ද කිලෝවකට රු. 50/- සිට ශත 25 දක්වා අඩු කිරීමට ඇත්තේම සීනි ආනයනය කරන අදාළ සමාගම් කිහිපයට අතිවිශාල ලාභයක් ලැබෙනු පිණිසය. සීනි බදු ඇත්තටම අඩු වුණා නම් සීනි කිලෝවක මිලද ඊට සාපේක්ෂව අඩුවිය යුතුය. පාරිභෝගිකයන්ට එවැනි වාසියක් වෙළෙඳපොළේ අත්වූයේ ද නැත. මෙවැනි විනාශකාරී තීරණයක් ගන්නා විට ජාතික ආර්ථිකයට ඉන් වදින මරු පහර ගැන බලධාරීන් සිතා නැත. මේ ගැන ජනාධිපතිවරයා කියන්නේ කුමක්ද? ඔහු දූෂණය පිටු දැකිය යුතු බවට නිතර හඬ නගන නායකයෙකි. දූෂණය පිටු දකින්නේ මෙහෙමදැයි අප ඔහුගෙන් අසමු.

ආණ්ඩුවේ ඇතැමුන් කියන්නේ සීනි බදු වංචාව විපක්ෂයේ අමූලික බොරුවක් බවය. ආණ්ඩු හිතවාදී ජනතාව අතරින් ඇතැම්හු ආණ්ඩුව කියන ඕනෑම කෙප්පයක් විශ්වාස කරති. ඒ අයට කිවයුත්තේ සීනි බදු අඩු කිරීම නිසා විශාල පාඩුවක් සිදුවී ඇති බවට මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කර ඇති වාර්තාව කෙරෙහි අවධානය යොමු කරන ලෙසය. අනෙක් අතට සීනි බදු පුදුමසහගත ලෙසට අඩු කිරීමෙන් විය හැකි පාඩුව පිළිබඳව මුදල් ඇමතිට අවබෝධයක් තිබිය යුතුය. මුදල් ඇමතිගේ අනුමැතියක් නොමැතිව බදු අඩු කිරීම කළ හැකිද? මේවා ගැන ජනතාව අවදි මනසින් බැලිය යුතුය. ලංකාවේ සිටින්නේ ආණ්ඩුව තමන්ගේ නම් එම ආණ්ඩුව කියන කරන ඕනෑම බොරුවක් විශ්වාස කරන ජනතාවකි. එජාපයේ ආංශු මාරසිංහ කියා තිබුණේ සීනි බදු වංචාවෙන් සිදුවූ පාඩුව වගකිවයුත්තන්ගෙන් අයකරගත යුතු බවකි. එය කළ යුතුය. ඒ සමගම ආශුලාගේ පාලන කාලයේ සිදුවූ මහ බැංකු වංචාවෙන් සිදුවූ පාඩුවත් අයකර ගත යුතුය. එහෙත් ඒ දෙකම සිදු නොවන බව සියයට දාහක් විශ්වාසය. පක්ෂ දෙකේම අය කරන්නේ දේශපාලන වාසි සඳහා එකිනෙකාගේ වංචනික ක‍්‍රියා එකිනෙකාට එරෙහිව පාවිච්චි කිරීමය. ඉන් එහාට හානිපූර්ණය කිරීමක් හෝ තරාතිරම නොබලා වැරදිකරුවන්ට අච්චු කිරීමක් සිදු නොකැරෙයි. ඊළඟට එන කවර හෝ මැතිවරණයකදී විපක්ෂ වේදිකාවේ සීනි වංචාව රඟදෙන බයිලාවක් වනු ඇත. වසර හතරකින් පමණ එළැඹෙන මීළඟ ජනාධිපතිවරණයේදීත් සීිනි හොරුන්ට දැඩි දඬුවම් පමුණුවන බව කියවෙනු ඇත. එම දැඩි දඬුවම් මහ බැංකු හොරුන්ට දුන් දැඩි දඬුවම් වර්ගයේ ඒවා බවටද පත්වනු ඇත. මෙම දුර්දාන්ත අදේශපාලනික එකඟතාව ජනතාව තේරුම් ගන්නේ කෙදිනකද? බොහෝ විට අපේ ජීවිත කාලය තුළ එවැනි දවසක් නොඑළඹෙනු ඇත. මාරුවෙන් මාරුවට රට පාලනය කරන පාර්ශ්ව දෙකම නීල හොරු බව මහ බැංකු වංචාව සා සීනි වංචාව යන ළඟ නැවීම් දෙකෙන් ඔප්පු කැරිණි. මේ වනවිට ජනතාවගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන ඒ බව පෙන්වා දී ඇත.

වෙනත් වැදගත් සිද්ධියක්

ජනයා යම් අවබෝධයකට පත්ව ඇති බවට කුඩා සාක්ෂියක් මාර්තු 15දා ග‍්‍රෑන්ඞ්පාස් කජීමා වත්තේදී දැකගත හැකිවිය. එදින උදෑසන ගින්නකට හසුවූ එහි නිවාස පනහක වැසියන් හමුවීමට මනෝ ගනේෂන් ගියේය. ඔහු කීවේ සියලූදෙනාට නිවාස දිය යුතු බවකි. එහෙත් චම්පික රණවක නාගරික සංවර්ධනය විෂය භාර ඇමති ලෙස සිටි සමයේ තම ප‍්‍රශ්න ගණනකටවත් නොගත් බව කජීමා වත්තේ වැසියෝ මනෝට කීහ. ඔහු එය ප‍්‍රතික්ෂේප කිරීමට සැරසෙද්දී ගම්වැසියෝ දිගටම විරෝධය පෑහ. එහි සිටි පොහොට්ටු හිතවාදීන් මනෝ එලවා නොගත්තා නම්, එම විරෝධය පළ කළේ පක්ෂයට වඩා ප‍්‍රශ්නය බැරැරුම් කොට සලකන පිරිසක් නම් එම විරෝධය පෑමට ඉහළ අරුතක් ලැබේ. සැබැවින්ම ජනතාව පැමිණිය යුතු ස්ථාවරය නම් බත් පැකැට්ටුව, සෙවිලි තහඩුව හෝ වැසිකිළි පෝච්චිය ගෙන දේශපාලකයාට ඡුන්දයෙන් ඡුන්දයට කැඹිරීම නොවේ. තම අනාගතය විකුණා පරම්පරා ගාණකට සුරසැප විඳීමට ධනය රැුස් කරන දේශපාලකයන් පන්නා ගැනීමය. මෙම පන්නා ගැනීම රැුල්ලක් ලෙස නැගෙන දවසක් ලංකාවේත් කෙදිනක හෝ එන්නට පුළුවන.

වන විනාශය

ජනපති ගෝඨාභය තරම් පරිසරයට ආදරය කරන්නකු ලොවෙත් නැති බව ඇමැත්තකු කියා තිබුණි. ඒ සා ආදරේ නම් ඔහු රට පුරාම සිදුවන වන විනාශය වැළැක්විය යුතුය. රඹකැන් ඔය වනය විනාශ කරන විට එය නතර කිරීමට ආදිවාසීන්ට උසාවි යාමට සිදුවිය. ආදිවාසීන්ගේ වත්මන් පරපුර සංචාරකයන්ට නැටුමක් පෙන්වා අතපාන බවට ඇතැම්හු සෝපාහාසයට ලක් කරති. සමහරු දඩයම වෙනුවට හිඟාකති. එහෙත් තමන් උපන් භූමිය මස් කරනවාට වඩා ආදිවාසීන්ගේ බඩගිනි නැටුම ගෞරවනීයය. මන්ද රටේ නායකයන් නටන්නේ බඩගිනි නැටුමක් නොව කොල්ලකාරී, මජර සන්නියකි. ජනපති පරිසරයට ආදරේ නම් ඔහු පරිසර හානි සම්බන්ධයෙන් ක‍්‍රියා කළ යුත්තේ කෙසේද? ඔහු දැනට කරමින් සිටින්නේ තමන්ගේ ළඟම සගයන් වනය විනාශ වන බව කිව්වත් එය නෑසුණු පරිදි සිටීමය. අඩුම තරමින් ආරක්ෂක ලේකම් පවා වනය විනාශ කැරෙමින් පවතින බව අවස්ථා කිහිපයකදී පෙන්වා දුන්නත්, ජනපති එය සැලකිල්ලට නොගත්තේ මන්ද? ඒ අනුව ආරක්ෂක ලේකම් තව ටික දවසකින් එවැනි පෙනෙන දේ පවා නොකියා සිටීමට පුරුදු විය හැකිය. වනාන්තර විනාශය ගැන දිගින් දිගටම බලධාරීන්ට කරුණු කියූ ආනන්ද සාගර හිමියන් මෑතකදී කියා තිබුණේ මෙම විරෝධය දැක්වීම් නිසාම උන්වහන්සේට තර්ජනවලට මුහුණදීමට සිදුවී තිබෙන බවය. එහි ඇත්තක් තිබිය හැකියැයි සිතෙන්නේ භාග්‍යා අබේරත්න දැරිය තමන් ජීවත් වන සිංහරාජය පාමුලේ දිනපතා දකින වන විනාශය ගැන ප‍්‍රසිද්ධ මාධ්‍යයකින් ප‍්‍රකාශයක් කිරීමෙන් පසු ඇය පසුපස පොලිසිය හා වන සංරක්ෂණ නිලධාරීන් හඹා එන තත්ත්වයක් උදාවී තිබෙන නිසාය. බලධාරීන් කළයුත්තේ දැරිය ප‍්‍රශ්න කිරීමට ලක් කිරීම නොව, වන සංහාරකයන්ට එරෙහිව කටයුතු කිරීමය. ජනාධිපතිට රටෙහි සිදුවන සෑම දේකටම නිතැතින්ම ඇඟිල්ල දිගු වන තත්ත්වය තුළ දැරිය පසුපස නිලධාරීන් හඹායෑම නතර කිරීමට ඔහු පියවර ගත යුතුය. එසේ නොකළහොත් ඉන් පෙනී යන්නේ කාගේ හෝ මෙහෙයවීමෙන් කෙරෙන එම අධම ක‍්‍රියාවට ජනපති නිහඬ අනුග‍්‍රහයක් ලබා දෙන බවය. ආරක්ෂක ලේකම් වනය විනාශ වන බව කීවත්, ජනපතිට ඕනෑ වනය තම පාලනය යටතේ ආරක්ෂා වන බව කීමටය. ඒ අතින් බලන විට හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේන ප‍්‍රායෝගිකවම වනාන්තර ආරක්ෂා කිරීමට පියවර ගත්තේය. සිංහරාජයේ පෙර පැවති මායිම් ශක්තිමත් කොට ගැසට් කිරීම ඔහු කළ වැදගත් කර්තව්‍යයකි.

වන විනාශය පමණක් නොව, රට පුරා ගංගා, ඇළ දොළ ආශ‍්‍රිතව සිදුවන වැලි ජාවාරම නතර කිරීමට ගෝඨාභයට හැකිවේද? බොහෝ දෙනෙක් වැලි ජාවාරමෙහි යෙදෙන්නේ බලපත‍්‍ර සහිතව බව පෙනේ. ඉකුත් දිනවල වාර්තා වූයේ අලූත් වැලි බලපත‍්‍ර හත්සිය ගණනක් ඉල්ලා ඇති බවය. දැන් ජනාධිපති එම ප‍්‍රශ්නයත් නිලධාරීන් පිට පටවනවාද? ඔහු වරද නිලධාරීන් පිට පටවනවා නම් ජනතාව ජනාධිපති ලෙස ගෝඨාභය පත්කර ගත්තේ අල හිටවීමටද? ගසක් කපන එක වැළැක්වීමට නොහැකි නම් ඔබයි අපේ විරුවා වැනි ගීත තමන් වෙනුවෙන් ගායනා කරවා ගත්තාට වැඩක් නැත.

අන්දන විදිය

මේ සියලූ ව්‍යසන මැද ජනතාව අනිවාර්යයෙන් පන්සල් යා යුතු බව අගමැති කියයි. පිරිසක් සීනි හොරකමේය. තව පිරිසක් වන විනාශයේය. ඉන් නොනැවතී වැලි ජාවාරමේය. රටේ සෑම කටයුත්තක්ම ජාවාරමක් බවට හරවාගෙන සිටින තත්ත්වය තුළ සාමාන්‍ය ජනතාව පන්සල් යාමෙන් ඒ සියල්ල විසඳෙනවාද? අගමැති වියපත් වීම නිසා පන්සල මතක් වෙනවා විය හැකිය. එහෙත් ඔහු පන්සල භාවිත කළේ ආධ්‍යාත්මිකවාදී අදහසකින් නොවේ. භෞතිකවාදී අදහසක් පෙරදැරිවය. එනම් ඔහු බලයට ඒමට පන්සල පාවිච්චි කළ නායකයෙකි. ඒ අනුව ඔහුට බලය රඳවාගත හැක්කේත් ජනයා පන්සලට ගාල්වන තරමටය. මේ රටේ සෑම නින්දිත ක‍්‍රියාවක්ම ආගමෙන් හා දේශපේ‍්‍රමයෙන් වසා ගෙන සිටිනු දැක්ක හැකිය. ආගම යනු පුද්ගලික කාරණයක් බව කිසිවෙක් නොකියති. දියුණු නායකයෝ ජනයා පන්සලට හෝ පල්ලියට නොදක්කති. ජනයාගේ හැටියට පාලකයන් පත්වන ලංකාව වැනි රටකට මෙවැනි පිළිස්තීනු දුෂ් ප‍්‍රතිපත්ති ගැළපෙනු ඇත.

මේ අවු අස්සේ බුර්කා තහනම වැනි මාතෘකා කරළියට ගත් විට ඇත්ත සමාජ ප‍්‍රශ්න යටගොස් මතුපිට තලයේ ව්‍යාජ ප‍්‍රශ්නවලින් කාලය කා දැමීම සිදුවනු ඇත. පාස්කු ප‍්‍රහාරයේ වැරදිකරුවන් සෙවීමේ බයිට් එකේ මිරිස් කෑල්ලක් හදිසියේ සමාජයේ කටට වැටුණි. ඒ අසාද් සාලි අත්අඩංගුවට ගැනීමෙනි. ඔහු අත්අඩංගුවට ගත්තේ නීතිය අභියෝගයට ලක් කිරීම, ජාතික හා ආගමික සමගියට බාධා කිරීම, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩ කිරීම ඇතුළු චෝදනා කිහිපයකටය. මෙවැනි අත්අඩංගුවට ගැනීම් නාඩගම්වලින් එහාට නොයන දේවල් බව කිව හැකිය. පාස්කු ප‍්‍රහාරයට වගකිවයුත්තන් සොයන ලෙස දසතින් ඉල්ලීම් ලැබෙයි. ආණ්ඩුවට වරදකරුවන් සෙවිය නොහැකිය. එබැවින් වරදකරුවන් සෙවීම නම් වූ ක‍්‍රියාවලියම ගෙඟ් යැවීමට සාලි වැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමෙන් කළ හැකිය. පාස්කු ප‍්‍රහාර මාලාව පිළිබඳව ඇතැම් මුස්ලිම් දේශපාලන නායකයන් දැන සිටින්නට ඇත. එහෙත් පාස්කු ප‍්‍රහාරයට පදනම දැමුවේ සාලි හෝ එම මට්ටමේ දේශපාලකයන් නොවේ. එය මුස්ලිම් මූලධර්මවාදයේ ලෝක ව්‍යාප්ත ප‍්‍රතිඵලයකි. එය සැලසුම් කළ සහරාන් ප‍්‍රමුඛ කල්ලියට ලංකාවේ සාමාන්‍ය මුස්ලිම් ජනයා මුහුණදෙමින් සිටි ප‍්‍රශ්න විෂය වූවාද යන්න කිව නොහැකිය. එම අතිධාවනකාරීන්ගේ යම් යම් ක‍්‍රියාකාරකම් ඔස්සේ එවැන්නක් පැහැදිලි කෙරී නැත. මුස්ලිම් ලෝකයක් නිර්මාණය කිරීම තුළින් රට රටවල මුස්ලිමුන් මුහුණ දෙන පොදු ගැටලූවලටත් විසඳුම් ඇතැයි සහරාන් ප‍්‍රමුඛ කල්ලිය ඇතැම්විට සිතන්නට ඇත. ආණ්ඩුව පාස්කු ප‍්‍රහාරකයන් පිළිබඳව විමර්ශනය කළයුත්තේ එවැනි තැනකින් පටන් ගෙන මිස පටු කෝණයකින් ආරම්භ කර නොවන බව කිව යුතුය.

ජනපති ෆේල් ද?

ඕනෑම කෙනකු ෆේල්වීම යනු සිත් වේදනාවට කාරණයකි. ජනපති පාස්වීමට නම් තමන් අදහස් කළ යුතු මෙන්ම අනපේක්ෂිතව එල්ල වන අභියෝගවලට සාර්ථකව මුහුණදිය යුතුය. කොවිඞ් එසේ එල්ල වුණු අනපේක්ෂිත අර්බුදයකි. රටෙහි දරිද්‍රතාව ජනපති මුහුණ දිය යුතුව තිබුණු දැනුවත් අර්බුදයකි. ඒ සියල්ල මග නතර වී තිිබියදී සීනි ප‍්‍රශ්නයෙන් ආණ්ඩුව දිගුකාලීනව බැට කෑමට නියමිතය. එමෙන්ම පරිසර ප‍්‍රශ්නයෙන්ද බැට කෑමට නියමිතය. රාජ්‍ය දේපළ විකිණීම පිළිබඳ චෝදනාවද දේශපේ‍්‍රමීත්වය පපුවේ කොටා ගත් ඔවුන්ට එල්ල වෙයි. මේ ගැන ජනපතිවරයා කියන්නේ කුමක්ද?

1 COMMENT

Comments are closed.