ජගත් ප්‍රේමචන්ද්‍ර


දොඩන්දූව, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන් හෙවත් සුදු හාමුදුරුවෝ පසුගියදා අපවත් වූ බැව් ගම්මුන් දැන ගන්නේ දොඩන්දූව කලපුවේ දී හමුවූ උන් වහන්සේගේ නිසල දේහය දැක ගැනීමත් සමගිනි. එය ලැව් ගින්නකටත් වඩා ඉක්මනින් අවට ගම්මානවලට ද පැතිර ගිය අතර ආරංචිය ලත් සෑම කෙනෙක්ම ඉන් කම්පාවට පත් වූවෝ ය. ඒ තරමට උන් වහන්සේ ඒ අවට ප්‍රදේශවල බාල, මහළු, තරුණ කාගේත් හිත් දිනාගත්, ගෞරවයට පාත්‍ර වු භික්ෂුවක් ලෙසින් ආදරය දිනා සිටි බැවිනි.


නමුත් උන්වහන්සේට ගම හා සමඟ එතරම්ම සම්බන්ධතාවක් තිබුණේ නැත. අඩුම තරමින් ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ විසූ අනෙකුත් සහෝදර හිමිවරුන් සමඟ ද උන් වහන්සේ එතරම් ම කුළුපගුකමක් පෑවේ නැත. මේ තැන් දෙකේ දී ම උන් වහන්සේට අත්‍යවශ්‍ය ම දෙයක් වී නම් එය ලබා ගැනීමට පැමිණියා මිස පයුරු පාසානම උන් වහන්සේගේ ව්‍රතය නොවුහ.


උන් වහන්සේ වැඩි වශයෙන් ම කාලය ගෙවා ඇත්තේ භාවනානුයෝගීව ය. දාන ශාලාව වෙත වැඩම කළ ද ඒ ද ඉතා කලාතුරකින් බවයි පැවැසෙන්නේ.


බැලු බැල්මට ම ඝාතනයක් ලෙසින් සැලකෙන උන් වහන්සේගේ අපවත් වීම, ප්‍රශ්නාර්ථ කිහිපක් ම මතු කරමින් මේ වන විට සමාජයේ සංසරණය වේ. ඒ කෙරෙහි ඇඟිල්ල දිගු වෙන්නෝ ද වෙති. එහෙත් තවමත් මේ මරණයේ යථාව හෙළි වී නොමැත. පොලිස් ආරංචි මාර්ග පවසන්නේ කණ්ඩායම් තුනක් විසින් මෙහි තතු විමසන බවකි.


මේ ඝාතනයේ (?) තොරතුරු සොයා අපි දින දෙකක, වරු දෙකක් අදාළ ප්‍රදේශවල සංචාරය කළෙමු. ඒ වරු දෙකේදී ම එළිපිට කිසිවක් පවසන කිසිවෙක් අපට හමුවූයේ නැත. පෙර දී කතා කරමු යැයි පවසමින් අප සමග එක් වූව ද පසුව ඔවුන් පවසන්නේ තමන් මාධ්‍යයෙන් වසං කරමින් මේ තොරතුරු රටට කියන ලෙසයි.


මේ උභතෝකෝටිකය හමුවේ අප මේ සටහන මෙසේ තැබීමට තීරණය කළෙමු. මේ ගම්මුන් පවසන දෑ ය.
“මේක මහ සහගහන අපරාධයක්. උන් වහන්සේ මරා දැම්මා විතරක් නෙමේ, අපිවත් මරා දැම්මා. දැන් අපිට, අපි දිහාත් බලන්න වෙලා තියෙන්නේ සැකෙන්. අපිට මාධ්‍ය ඉදිරියට යන්න බැහැ. ගියපු කෙනා ගැන දැන් අනෙක් අය බලන්නේ අමුතු විදිහට. ගම්මුන් විදිහට අපි අසරණ වෙලා ඉන්නේ. උන් වහන්සේගේ මරණයටවත් අපිට සාධාරණයක් කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. පොලීසිය වුණත් කටයුතු කරන්නේ කාගේදෝ උවමනාවකට කියලා අපට හිතෙනවා.” මේ ගම්මුන් කිහිප දෙනෙක් කියූ කතාවල සංක්ෂිප්තය ය.


ජිනවංශ හිමියන්ගේ අපවත් විම හරහා තවමත් නොවිසිඳී ඇත්තේ උන් වහන්සේ සියදිවි නසා ගත්තා ද නොමැති නම් ඝාතනය කළා ද යන්නයි. මේ කරුණු දෙකෙන් කුමක් ඉදිරියට පැමිණ ප්‍රශ්නයට විසඳුමක් ආව ද නොවිසඳෙන ප්‍රශ්න තුනක් ද මේ තුළ අන්තර්ගතව ඇති බවකි අප කළ ගමනේ දී ගම්මුන් කීවේ.


පාලමේ හුටපටය


ජිනවංශ හිමියන් වැඩ වාසය කළ දොඩන්දූව, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනය පිහිටි භූමිය හා මැටිදූව හරහා කොන්ක්‍රීට් අතුරන පාරක් සහ දොඩන්දූව ගොඩබිමට යා කෙරෙන පාලමක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ ජිනවංශ හිමියන් හා ප්‍රාදේශීය දේශපාලන බලාධිකාරය සමග ප්‍රශ්නයක් ඇතිව තිබේ.

පරිසරයට බෙහෙවින් ආදරය කළ ජිනවංශ හිමියෝ මේ මාර්ගය හේතුවෙන් විනාශයට පත් වෙන කඩොලාන ඇතුළු ජෛව විවිධත්වයෙන් හෙබි පරිසර පද්ධතිය වෙනුවෙන් පෙනී සිටියෝ ය. එය දේශපාලන බලාධිකාරිය රිස්සුවේ නැත.
විශේෂයෙන් ම ආරණ්‍ය සේනාසනයේ බලගතු හිමිනමක් ලෙසින් ප්‍රසිද්ධ ජිනවංශ හිමියන්ගේ විරෝධය ප්‍රබල අවාසියක් විය හැකි බවට දේශපාලනඥයෝ සැලකුහ. එබැවින් ම පවතින සම්බන්ධතා සමගින් ජිනවංශ හිමියන්ගේ විරෝධය හැකිලීම වෙනුවෙන් ඔවුහු හැකි සෑම වෙහෙසක්ම ගත්තෝ ය. ඒ අතර වාරයේ ගම්මුන් ද උසිගන්වන තැන දක්වා ඒ උත්සාහය ව්‍යාප්තව තිබිණි. ඇතැමුන් දේශපාලන මතයන් හා එක් වූ අතර තවත් පිරිසක් ජිනවංශ හිමියන්ගේ මතයේ සිටියෝ ය. මේ කිසිවකට සම්බන්ධ නොවූ පිරිස් ද වූ හ.


“එහෙම පාරක් හැදෙනවා නම්, පාලමක් හැදුනොත් ගමේ අයට ගොඩාක් ප්‍රයෝජනවත් තමයි. ඒත් ඒකෙන් ආරණ්‍ය සේනාසනයේ නිදහස නැති වෙනවා. එතැන ඉන්න භාවනානුයෝගී හිමිවරුන්ට ඒක විශාල කරදරයක්. මීට කලිනුත් ඔය වගේ යෝජනාවක් ආවා. ඒත් ආරණ්‍ය සේනාසනය නිසා ඒක හකුලා ගත්තා. නමුත් මේ පාර වැඬේ කෙරෙන තැනට ම තමයි වැඩ කටයුතු සිදු කෙරුණේ. සුදු හාමුදුරුවෝ මේ ප්‍රශ්නයට ගම්මුන් කිසි කෙනෙක් සම්බන්ධ කර ගත්තෙ නැහැ. උන් වහන්සේ කියන්න ඕන දේ අදාළ පුද්ගලයන්ට කිව්වා. විරෝධය පෑවා. මේ නිසා සමහර ගම්මුන් උන් වහන්සේ සමග අමනාපයෙන් හිටියේ. ඒකට හේතු වුණේ අපට පාරක් නැති වෙනවා කියන දේ දේශපාලනඥයන් විසින් ඔවුන්ගේ ඔළුවලට දාපු නිසා.” ඒ ගම්මුන් පාලමේ හුටපටය ගැන කී කතාව ය.


ගම්මුන් කිහිප දෙනෙක් ජිනවංශ හිමියන් සමග අමනාප වූ බවක් පැවැසූව ද ඔවුන් කිසිවෙක් එළිපිට උන් වහන්සේ හමුවේ මේ බවක් පවසා නැත. ජිනවංශ හිමියන් ද මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ගම්මුන් සමඟ කතා බහ කළා යැයි කියන්නෙක් නැත.


කෙසේ වෙතත් මාසයකට දෙකකට ඉහත දී වූ මේ කතාවට පාදක ව්‍යාපෘතිය මේ දක්වා ක්‍රියාත්මක වී නැත. එසේ ප්‍රමාද වීමට හේතු වන්නට ඇත්තේ ඇතැම්විට ජිනවංශ හිමියන්ගේ විරෝධය ද වන්නට ඇත. උන් වහන්සේ හා සබැඳි මේ ආරණ්‍ය සේනාසනායේ බලාත්මක තත්ත්වය ද ඊට ඉවහල් වන්නට ඇත.


එහෙත් මේ කතා කී කිසිවෙක් ජිනවංශ හිමියන්ගේ අපවත් වීමට දේශපාලනඥයන් සෘජුව ම සම්බන්ධ බව නොකියති. ඔවුන් පවසන්නේ මේ කාරණා නිසි ලෙසින් ගලපා ගත යුතු බවය. ඊට අනෙක් කාරණාවන් ද වැදගත් බැව් ඔවුන් පවසති.

ආරණ්‍ය සේනාසනය


මේ පැවැසෙන කතා අතර දරුණුම කතාව වන්නේ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වත්මන් නායක හිමියන් හා ජිනවංශ හිමියන් අතර කාලයක සිට ආරෝවක් පවතින බවක් පැවැසීමයි. මේ හිත් අමනාපකම් වලට හේතු වී ඇත්තේ මහා ලොකු ප්‍රශ්නයක් නොව ආරණ්‍ය සේනාසනයේ ජීවත් වෙන වන ජීවීන් සම්බන්ධයෙන් නායක හිමියන් දැක් වු සැලකිල්ල ය.


“ආරණ්‍ය සේනාසනයේ ඉදිකෙරුණ සහ අලුත් වැඩියා වූ විවිධ දේවලට සුදු හාමුදුරුවෝ එතරම් කැමැත්තක් දැක් වූවේ නැහැ. මේ නිසා තමන්ගේ වගේම සතුන්ගේත් නිදහස නැති වෙනවා කියලයි උන් වහන්සේ කිවුවේ. මේ අතර අවස්ථාවක දෙකක දුපතේ සිටි විවිධ වර්ගයේ කුරුල්ලන්, දඬු ලේනුන් වැනි සතුන් එළවන්න නායක හිමියන් රතිඤ්ඤා පත්තු කරල තියෙනවා. මේ ගැන තමයි ජිනවංශ හාමුදුරුවන් සහ නායක හාමුදුරුවන් අතර හිත් අමනාපකම් මතු වෙන්නේ. කාටත් ආදරය කරුණාව දැක්වූ සුදු හාමුදුරුවෝ මේක ඉවසන්න නැතිව ඇති.”

ගම් පුරා වඩිමින් ලැබුණ පිණ්ඩපාතයෙන් මෙන් ම ලැබෙන දානයෙන් කොටසක් දුපතේ සතුන් වෙනුවෙන් වෙන් කිරීම ජිනවංශ හිමියන්ගේ දින චරියාවේ අංගයකි. මේ නිසා ම උන් වහස්සේ වැඩ වාසය කරන කුටිය සමීපයේ විවිධ වර්ගයේ සතුන් ද දැකගත හැකි බවයි ගම්මුන් පවසන්නේ. ගහ කොළට සේ ම සතා සිවුපාවාට ද ආදරය කරුණාව දැක් වු ජිනවංශ හිමියන්, නායක හිමියන්ගේ ක්‍රියාපටිපාටිය රිස්සුවේ නැති බවට කියන කතාවේ ගත යුත්තක් ද ඇත. එහෙත් එවැනි ප්‍රථමික කරුණක් මේ ඝාතනය හා ගැලපෙන්නේ කෙසේද?


“මේ මුකලාන අස්සේ ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. සමහර තැන් තියෙනවා, ගමේ අපිටවත් යන්න බැරි. ඒ තැන්වල කාලයක් තිස්සේ හොර ජාවාරම් සිදු වෙනවා කියල තමයි කතාව යන්නේ. මේකෙ බෝට්ටු සවාරි යනවා. ගොඩක් අය යන්නේ කුරුල්ලන් වගේ සත්තු බලන්න. ඒකත් මේ වැඩවල යෙදිල ඉන්න අයට හිසරදයක්. ගමේ ප්‍රසිද්ධ කතාව තමයි ලොකු හාමුදුරුවෝ ඔවුන්ගේ සහයෝගයට තමයි මේ සත්තු එලවන්න රතිඤ්ඤා පත්තු කළේ කියන එක. එතකොට සංචාරකයෝ එන එක නතර වෙනව. එතකොට නීති විරෝධී වැඩ කරන අයට තමන්ගේ පාඩුවේ වැඬේ කරගෙන යන්න පුළුවන්නේ.”


මේ අතර තවත් කී කතාවක පැවැසෙන්නේ මත්ද්‍රව්‍ය සැඟවීමක් සම්බන්ධයෙන් ජිනවංශ හිමියන් දැන සිටි බැවින් ඔවුන් එම සිදුවීම සැඟවීම අරමුණු කර ගනිමින් මේ ඝාතනය සිදු කරන්නට ඇති බවකි.


වජිරාරාමයේ මාධ්‍ය නිවේදනය

මේ අතර මේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහනාහිමි තිරිකුණාමලේ ආනන්ද නාහිමියන් පවසන්නේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය විසින් ජිනවංශ හිමියන්ගේ අපවත්වීම ඝාතනයක් ලෙසින් පුවත් මැවීම මාධ්‍ය සදාචාරයට පටහැනි බවකි. මාධ්‍ය නිවේදනය අනුව උන් වහන්සේ පිළිගනු ලබන්නේ ජිනවංශ හිමියන්ගේ අපවත් වීම සියදිවි හානිකර ගැනීමක් විය හැකිය යන්න ය. ඊට සාක්ෂි සපයන උන් වහන්සේ ජිනවංශ හිමියන් සියදිවි නසා ගැනීමට තුඩු දෙන කරුණු පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ද අනාවරණය වී ඇති බවක් ද පවසති.


නමුත් දොඩන්දූව, රත්ගම, පටුවත, කටුදම්පේ සහ ඒ අවට ප්‍රදේශවල කිසිවෙක් ජිනවංශ හිමියන් සියදිවි හානිකර ගත්තේ යැයි පවසන්නේ තබා විශ්වාස කරන්නේවත් නැත.


තමන්ට හුරු පුරුදු ගං දියේ ම ජිනවංශ හිමියන්ගේ නිසල දේහය පොලිසීය විසින් සොයා ගන්නා විට කකුලක් කොන්ක්‍රීට් කැබැල්ලක් ද සහිතව වයරයකින් ගැට ගසා තිබී ඇත. එබැවින් පොලීසිය පාර්ශ්වයෙන් දැනට ප්‍රකාශ වූ මතය වී ඇත්තේ මෙය ඝාතනයක් බවයි. ගම්මුන්ගේ ද විශ්වාසය එය ය.


“සුදු හාමුදුරුවෝ හොඳට පීනන්න වගේ ම ඔරු පදින්නත් දන්නවා. පිණ්ඩපාතෙ වඩින්නෙත් ඔරුවෙ තනියම. කවදාවත් කාගෙවත් උදව්වක් අරගෙන නැහැ. සිය දිවි හානිකර ගන්න තරම් ප්‍රශ්නයක් සුදු හාමුදුරුවන්ට තිබුණා කියල උන් වහන්සේගෙන් අපි කවදාවත් දැකල නැහැ. එහෙම කෙනෙක් කොහොමද ගිලිල මැරෙන්නේ? අනිත් එක අත පයත් ගැට ගහගෙන?” මේ ගම්මුන් අසන කතාව ය.