ටිරන් කුමාර බංගගමආරච්චි

විෂ්ණු ශර්මන්ගේ පංචතන්ත්‍රයෙහි එන කතාවක් මතක් වන්නේය. කතාවේ නම ‘ත්‍රිස්තන කුමාරිකාව’ය. එය ඉතාම කෙටියෙන් මෙසේය. මේ කතා වස්තුව සඳහා පළමුව පයෝධර තුනක් ඇති රාජ කන්‍යාවක් මාලිගයකින් එළියට අදින්නේය. දෙවනුව ජාත්‍යන්ධයෙකු හා කුදෙකු එළියට ගන්නේය. ඇඹෙණිය වශයෙන් තමන්ට පාවා දෙන ලද ත්‍රිස්තන කුමරියත් කුදාත් සමග අන්ධයා දුරු රටකට යන්නේය. ගෙයක වෙසෙන්නේය. කුමරිය කුදා හා හාදවන්නීය. කුදා කෙරෙහි අනුරතියෙනුත් අන්ධයා කෙරෙහි වෛරයෙනුත් බැඳෙන්නීය. කුදා විසින් ගෙන එනු ලැබූ විස නයි කුණක් පිස කන්නට දී අන්ධයා මැරීමේ ප්‍රයත්නයක් කුමරිය දරන්නීය. මෙහි ප්‍රතිඵලය වූයේ අන්ධයාට දෘෂ්ටියත්, කුදාට ඍජු කයකුත් ලැබී කුමරියගේ පයෝධර තුනෙන් එකක් නැතිවී ප්‍රකෘතියට පත්වීමය.


එකාට එකා නසන්නට හිඳිමින් කපන්න බැරි අත් සිඹිමින් සිටි සිරිසේන සහ රාජපක්ෂලා අවසානයේ සන්ධානයක් පිහිටුවා එහි නායකයා, මහ ලේකම්, සභාපති ලෙස තුන්දෙනාම ගොඩ ගිය පුවත ඇසූ සැණින් සිහිවූයේ ඉහත කතාවය. එහි සමානතාවක් නැද්දැයි නිකමට හිතන්න. එහි චරිත මේ චරිතවල අහවලා යැයි උපකල්පනය කිරීම ඔබට භාරය.


බඩු මිල පාලනය නොකිරීම


පසුගියදා අධික මිල එළවළු කනවා වෙනුවට විකල්ප හඳුන්වා දුන් රාජ්‍ය ඇමති වාසුදේව නානායක්කාර දැන් කියනුයේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ස්ථාවරව පවත්වා ගැනීමට මේ ආණ්ඩුව අසමත් වී ඇති බවත්, ජනතාව ආණ්ඩුවේ පලු අරින බවත් මේ මොහොතේ තමා ඉන්නේද ජනතාව පැත්තේ බවත්ය. රාජපක්ෂලාගේ දේශපාලනය මෙතරම් සාර්ථක වී ඇත්තේම මේ තරම් කෛරාටික ඇමති මණ්ඩලයක් ඔවුන් වටා සිටින නිසාමය.


ඒ කෙසේ වෙතත් ඇත්ත තත්ත්වය නම් මහා ඉහළින් ජනපති ගෝඨාභය තම පාලන කාලයේ මුල් දින සියය සමරනුයේ ජනතාවගේ බඩට රිසි සේ දනවමින් වීමය. අද ආර්ථිකය ශීඝ්‍ර ලෙස බිඳ වැටෙමින් පවතී. ඉහළ යන සහල් මිල පාලනය කරගැනීමේ හැකියාවක්. ආණ්ඩුවට නැත. එළවළු මිල, ලූනු මිල පාලනය කිරීම තබා ඉහළ යන පොල් මිල ගැන හෝ ආණ්ඩුවට වගේ වගක් නැත. මේ දින සියය තුළ ආණ්ඩුවේ නොහැකියාව මහා උජාරුවෙන් පෙන්වා ඇත. රාජපක්ෂලාගේ ගොබෙල්ස්ලා වන ගම්මන්පිල සහ විමල්ට මේවා ප්‍රශ්න නොවේ. බඩ වගේද රට. ඔවුන් දන්නේ එපමණකි.


පසුගිය කාලයේ සහල් මිල ඉහළ යන විට ආණ්ඩුව කීවේ මෙරට සහල් මාෆියාව අවසන් කිරීමට ආණ්ඩුවම ගොවියාගෙන් සහල් මිලදී ගන්නා බවය. එහෙත් එයද කෙප්පයක් වී ඇත. මේ දිනවල මඩකළපුව, මොනරාගල පැතිවල වී මිලදී ගැනීම සිදුවේ. එය පෙර පරිදිම පෞද්ගලික මෝල් හිමියන්ගේ ග්‍රහණයට නතු වී කිලෝව 34ට 36ට විකිණෙන තත්ත්වයකට පත්වී ඇත. පසුගිය කාලයේ ආණ්ඩුවේ කයිවාරුව වූයේ ගොවියාගෙන් කිලෝව රුපියල් 50ට ගන්නා බවය. මෙවර අස්වැන්න මෙටි්‍රක් ටොන් ලක්ෂ 30ක අස්වැන්නක් පෙන්වද්දී ආණ්ඩුව ඉන් මිලදී ගෙන ඇත්තේ වී මෙටි්‍රක් ටොන් 2000-3000 අතර ප්‍රමාණයකි. ලක්ෂ 30කින් 3000ක් ගැනීම කාව සනසනු පිණිසද? අනෙක් අතට කාව රවටනු සඳහාද? නැවත කුට්ටියම මෝල් හිමියන්ට ගිය කල මිල පාලනය කරනුයේ ඒ අයම නොවේද? සහල් ඒකාධිකාරිය බිඳීම ලේසි පහසු නොවන බව පැහැදිලිය.


බෙහෙත් හිඟය


රාජිතගේ ඖෂධ මාෆියාව ගැන කතා කරන වෛද්‍යවරු දැනට ඇති ඖෂධ හිඟය අමතක කොට ඇත. රෝහල්වල ඖෂධ සහ අනෙකුත් සැපයුම් වෙනුවෙන් දැනට ගෙවීමට ඇති හිඟ මුදල රුපියල් මිලියන 25,695කි. එම හිඟය පියවන තුරු සැපයුම්කරුවන් සැපයීම් කරන්නට මැලි වෙති. ඒ නිසාම අද රෝහල් සතු අත්‍යවශ්‍ය දෑ වල බරපතළ හිඟයක් පවතින බව පැවසේ. මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් සඳහා අත්‍යවශ්‍යම ඖෂධ දොළහක හිඟයක් පවතින බව පැවසේ.
සෙසු රෝහල්වල තත්ත්වයද එසේමය. එහෙත් පසුගිය කාලයේ දූෂණ වංචා කියමින් රාජිත හිර කරන්නට දඟලන වෛද්‍යවරු මෙවැනි කාරණා හිතාමතාම කතා නොකරන්නේ මන්ද යන්න ගැටලුවකි. ඔවුනට ප්‍රශ්නයක් වූයේ රාජිත පමණක්ද?


පඩි නෑ


අද ඉදිකිරීම් ක්ෂේත්‍රයේද දැවැන්ත පසුබෑමකට ලක්ව ඇත. ඒ පසුගිය කාලයේ ඉදිකිරීම්වල මුදල් නොගෙවීම නිසාය. පසුගිය ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 18,449 ගෙවීමට නියමිතය. මේ නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළ සිට පහළටම කඩා වැටී ඇත. මේ නිසා කොන්ත්‍රාත්කරුවන්ට මුදල් නොමැතිකමින් පහළ සේවකයන්ට වැටුප් පවා ගෙවීමට නොහැකි වී ඇත. එයින් පැහැදිලිවන්නේ හැම ක්ෂේත්‍රයකම දරුණු කඩා වැටීමක් සිදුව ඇති බවය. එහෙත් රාජපක්ෂලා මෙන්ම රාජපක්ෂවාදීහුද එහි කිසිදු අනතුරක් නොදකිති. ඒ වෙනුවට ඊට වගකිවයුත්තා සජිත් ප්‍රේමදාස බවට ඉඟි සපයමින් සිටී. ඇමති බන්දුල ගුණවර්ධන අද කියනුයේ ගොවීන්ට පොහොර නෑ. රෝගීන්ට බෙහෙත් නෑ. කොන්ත්‍රාත්කරුවන්ට මුදල් නෑ. සැපයුම්කරුවන්ට බිල් ගෙවලා නෑ. මේවා කරන්නට නම් සජිත් ප්‍රමුඛ විපක්ෂය අතුරු සම්මත ගිණුමේ සංශෝධනය අනුමත කිරීමට සහය දිය යුතු බවය. ඒ අනුව මෙතෙක් නොහැකියාවන් සජිත් නිසා සිදුවූ ගාණය.


ජිනීවා ගමන


මේ සියල්ලට ආණ්ඩුව සතු ප්‍රධාන පළිහ වී ඇත්තේ ජිනීවා සමුළුවය. එයට සහභාගි වීම සඳහා ඇමති දිනේෂ් ගුණවර්ධන ගියේ සටනකට යන්නා සේ පිරිත් කියා සුදු නූල් බැඳගෙනය. එනම් රට ජයගෙන එන්නටය. වත්මන් ආණ්ඩුව මෙවර ජිනීවා ගියේ ඇමරිකාව සමග ඇති සම අනුග්‍රහය අහෝසි කරන්නටය. මේ සම අනුග්‍රහය ලැබුණේ 2015 සැප්තැම්බර් 15 වැනිදාය. එම සම අනුග්‍රහයෙන් ඉවත්වීමට නම් අදාළ යෝජනාවලියේ 30/1 සහ 40/1 යෝජනා දෙකට සම අනුග්‍රහය ලබාදී ඇත. ඇමති දිනේෂ් යන්නේ එම වගන්ති දෙකෙන් ඉවත් වන්නටය. බොරලුගොඩ සිංහයාගේ පුතා කියමින් සමාජ මාධ්‍ය ඔහුව පුම්බනු ද පෙනේ. ඒ අනුව ජිනීවා සිට එනවිට දිනේෂ් ජාතික වීරයෙක්ද? නැද්ද යන්න තහවුරු වනු ඇත. ඔහු ජාතික වීරයකු වීමත් සමග ජනපති ප්‍රමුඛ ආණ්ඩුව ඉබේම ජාතික වීරයන් වන්නේය. කෙසේ වෙතත් පෙබරවාරි මස 20 වැනිදා කැබිනට් ප්‍රකාශක දැනුම් දුන්නේ කැබිනට් මණ්ඩලය මෙම සම අනුග්‍රහයෙන් ඉවත්වීමට තීරණය කළ බවය. එතැන් සිට ගෝඨා ආණ්ඩුව රටට හිතැති රටට ආදරය කරන ආණ්ඩුව බවට නැවත නැවත පත්විය.


තකහනියේ ජිනීවා ගොස් ජයගෙන එන්නට උත්සාහ කරන යෝජනා දෙස බලමු. ඒවා අතරින් විධායක ජනපති ක්‍රමය අහෝසි කරන යෝජනාව එකකි. මේ රට පවතින ව්‍යවස්ථාව තීරණය කළ යුත්තේ ඇමරිකාව නොවන බව පැහැදිලිය. ඒ නිසා ඒ වෙනුවෙන් හඬ නැගීම අසාධාරණ නොවන බව පැහැදිලිය. අනෙක් අතට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම අහෝසි කරන යෝජනාවය. මේ යෝජනාවට මේ ආණ්ඩුව උපරිම කලබල වීම සාධාරණය. ඒ හමුදා මානසිකත්වය මේ ආණ්ඩුව පුරා දුවන බැවිනි. ඉහත පනත අනුව යුද අපරාධ සම්බන්ධ සැකකරුවන් ලෙස සිටින අයට විරුද්ධව නඩු පැවරීම සහ ඔවුන්ට දඬුවම් දීමේ යෝජනාවක් එහි ඇතුළත්ය. එය ජනපතිගේ හිත සුව නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. ඊට අමතරව ලංකාවේ අධිකරණය පිළිබඳ පූර්ණ විශ්වාසයක් තැබිය නොහැකි නම් ඒ බව වින්දිතයන්ට හැඟෙනවා නම් ඒ අවස්ථාවේ වෙනත් රටවල විනිසුරුවන් සම්බන්ධ කරගත හැකිය. ඒ වෙනුවෙන් දෙමුහුන් අධිකරණයක් පිළිබඳ යෝජනා එහි අන්තර්ගතය.


යුද්ධයකදී මානුෂිය විය නොහැකි බව ප්‍රධාන තර්කයක් වුවත් යුද්ධයකදී පවා මානුෂිය විය යුතු තැන් ඇත. ඒ මූලික අංග පවා කඩකර ඇත්නම් ඒ වෙනුවෙන් වන්දියක් ගෙවිය යුතුය. එය රණවිරු ලේබලය ගසා මගහැරිය යුතු දෑ නොවේ. එහෙත් ප්‍රශ්නය නම් මේ සියලු මැදිහත්වීම් අවංක වුවමනාද යන්නය. නොබෝදා ජාත්‍යන්තර නිලධාරිනියක හමුවේම ජනපති ගෝඨාභය අතුරුදන්වූවන් මියගිය අය ලෙස සලකා මරණ සහතික නිකුත් කරන බව පැවසුවේය. එයින් තේරුම් ගත යුතු බරපතළ තත්ත්වය එම නියෝජිතයන් පවා ඒ බව එතරම් නොතැකූ බවය. එසේ නම් මේ සියලු මැදිහත්වීම්වල ඇත්තේ ව්‍යාජයක් බව පැහැදිලිය. ඒ අනුව ඒ ආණ්ඩුව පවතිද්දී මේවා හොඳ වීමත්, මේ ආණ්ඩුව තුළ මේවා නරකවීමත් යන දෙකම දේශපාලනිකය. ජනතාව මේ දෙකටම නැතිව කොදෙව්වක අතරමංවී ඇත. ඇත්තටම ජිනීවා අපිට හරි දුරය. මේවා මේ කාලය කන ප්‍රශ්නය.