සුනන්ද දේශප‍්‍රිය

ශ‍්‍රී ලංකාවෙහි මානව හිමිකම් සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බෂලේ විසින් පසුගිය පෙබරවාරි මාසයෙහි ඉදිරිපත් කරන ලද වාර්තාවට ලංකාණ්ඩුව ඉදිරිපත් කරන ලද ප‍්‍රධාන විවේචනයක් වූයේ ඇය විසින් මෙරට මානව හිමිකම් පිරිහෙනු ඇතැයි අනාවැකි කියා ඇතැයි යන්නය.

ඇය පමණක් නොව පසුගිය 23දා සම්මත වූ ශ‍්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ද මෙසේ සඳහන් කරයි. ”ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් පිරිහීම පිළිබඳ පැහැදිලි පූර්ව අනතුරු ඇඟවීමේ සලකුණු පෙනෙන්නට තිබේ. මෙම ප‍්‍රවණතා පසුගිය වසරවල ලබාගෙන ඇති සීමිත නමුත් වැදගත් දිනාගැනීම් ආපසු හැරවීමේ අවදානමක් එල්ල කරන අතර, අතීතයේ සිදුවූ බරපතළ උල්ලංඝනයන්ට තුඩු දුන් ප‍්‍රතිපත්ති හා භාවිතයන් නැවත ඇතිවීමේ අනතුරක් තිබේ.”

මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසි වාරය පැවති මාර්තු මාසයේ ප‍්‍රථම සති තුන තුළ වාර්තා වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ මානව අයිතිවාසිකම් කෙළෙසීම් පිළිබඳ සිදුවීම් එක පෙළට තැබූ විට පෙනෙන්නේ සම්මත වූ යෝජනාවට අවශ්‍ය පෙරවදන රාජපක්ෂ ආණ්ඩුව විසින් ලියමින් සිටි බවය.

ඒ ලැයිස්තුව දෙස බලමු:
මාර්තු 5 වන දින රජය නියෝගයක් නිකුත් කරමින් අවසරයකින් තොරව ඉස්ලාමීය ආගමික පොතපත මෙරටට ආනයනය කිරීම තහනම් කළේය. ශ‍්‍රී ලංකා රේගුවේ ප‍්‍රදර්ශනය කළ දැන්වීමක් මගින් මෙසේ දන්වා තිබුණි, ”අද (2017.03.05) සිට මෙරටට ගෙන එන ඕනෑම ඉස්ලාමීය ආගමික ග‍්‍රන්ථයක් නිකුත් කළ යුත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය මත පමණක් බව කරුණාකර සලකන්න. මෙම නියෝගය මගින් වෙනත් වචනයෙන් කියා තිබුණේ ”මෙතැන් සිට, ඉස්ලාමය ගැන කියවිය යුතු දේ සහ නොකියවිය යුතු දේ පිළිබඳව තීරණ ගන්නේ ජනාධිපති ගෝඨාභය යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශය මගින් මිස විද්වතුන් විසින් නොවන” බවය.

මෙම අඥාන තීරණය කවරකු විසින් ගනු ලද්දේදැයි අප නොදන්නෙමු. නමුත් එය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ තීරණයකි. වත්මන් ලෝකයෙහි අන්තර් ජාලය කියා එකක් ඇති බවත් ඒ හරහා ඕනෑම පොත පතක් පරිශීලනය කළ හැකි බවත් නොදන්නේ කව්ද? ඇත්ත වශයෙන්ම නම් මෙම නියෝගයේ තේරුම ඉස්ලාම් ආගම පිළිබඳ බියක් ඇති කිරීමත් මුස්ලිම් ජනයාට රිදවීමත්ය. වෙනත් කිසිම ආගමකට එවැනි තහනමක් රාජපක්ෂ ආණ්ඩුව පනවා නැත.

ඉන් දින හතරකට පසු එනම් මාර්තු 9 වන දින ”ත‍්‍රස්තවාදය වැළැක්වීම (ප‍්‍රචණ්ඩ අන්තවාදී ආගමික දෘෂ්ටිවාදය රඳවා තබා ගැනීමෙන් රැුඩිකලීකරණය කිරීම) නමින් 2021 අංක 01 දරන රෙගුලාසි, ජනාධිපති රාජපක්ෂ විසින් ගැසට් කරන ලදි. එහි අංක 05 යටතේ ඇති 04 වැනි වගන්ති යටතෙහි මේ චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තෙකු නඩු විභාගයකින් තොරව පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට මහේස්ත‍්‍රාත්වරයෙකුට බලය පවරයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ නීතිපතිවරයාගේ ලිඛිත අනුමැතියක් පමණකි. මෙම පනත අනුව ”කියනු ලබන නැතහොත් කියවීමට අදහස් කරනු ලැබූ වචන මගින් හෝ සංඥා මගින් හෝ දෘශ්‍ය නියෝජන මගින් හෝ අන්යාකාරයෙන් සාහසික ක‍්‍රියා හෝ විවිධ ජන කොටස් නැතහොත් වර්ගීය හෝ ආගමික කණ්ඩායම් අතර ආගමික, වර්ගීය නැතහොත් ජාතිවාදී අසංගතිය නැතහොත් දුර්වේතනික හෝ එදිරිවාදී හැඟීම් ඇතිවීමට සලස්වන්නා වූ හෝ ඇතිවීමට සැලැස්වීමට අදහස් කරන්නා වූ හෝ තැනැත්තකු ලෙස සැක කරන යම් තැනැත්තකු භාරවන හෝ අත්අඩංගුවට ගනු ලබන අවස්ථාවක දී ඒ තැනැත්තා සම්බන්ධයෙන් පනතේ විධිවිධාන අනුව කටයුතු” කළ හැකිය. පනත අනුව පුනරුත්ථාපනය සඳහා විශේෂ කඳවුරු ඇති කැරේ.

මෙම රෙගුලාසි ඍජුවම මෙරට ජනයාගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය කෙළෙසීමක් මෙන්ම නීතියේ පිළිසරණ පැතීමට ඇති අවස්ථාව වසා දැමීමක් බවට අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන බරපතළ විවේචනයක් එල්ල කළහ. ඇත්ත වශයෙන්ම නම් මෙය 2009න් පසු එල්ටීටීඊ සාමාජික සාමාජිකාවන් නඩු නැතිව පුනරුත්ථාපනය කිරීමට යොදා ගත් පනතය. අද මෙවැනි පනතක් ගෙන එනුයේ යළිත් සිය ගණනින් පුනරුත්ථාපනයට යොමු කිරීමේ අවශ්‍යතාවක් නිසාද යන ප‍්‍රශ්නයද අන්තර් ජාතික වශයෙන් පැන නැගුණි.

මෙම පනත ගැසට් කරන ලද දිනයේම නඩු නොපවරා මාස හයකටත් වඩා කාලායක් රඳවාගෙන සිටින තරුණ කවියා වන අහ්නාෆ් ජසීම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් විසින් ශ‍්‍රී ලංකාවේ නීතිඥ සංගමයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එමගින් ඔවුන් කියා සිටියේ ත‍්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් නීතිඥයින් වන තමන් සහ ඔවුන්ගේ සේවාදායකයා වන අහ්නාෆ් ජසීම් අතර සංවාදයට සවන් දී සහ එය පටිගත කර ගත් බවයි. ත‍්‍රස්ත විමර්ශන අංශය විසින් රැඳවියන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් ද ඔවුන්ගේ විමර්ශනවල ඉලක්ක බවට පරිවර්තනය කර ඇති බවත් ඔවුහු පැමිණිලි කර සිටියහ. එමෙන්ම තමන් වරදක් කර ඇති බව පිළිගන්නා ලෙස අහ්නාෆ් ජසීම්ට පොලීසිය බල කර ඇති බවත් ඔහුගේ පියාටද එවැනි තෙරපුමකට ලක් කර ඇති බවත් එම නීතිඥයෝ ප‍්‍රකාශ කළෝය. නීතිඥයින් සහ සේවාදායකයන් අතර කැරෙන සාකච්ඡාවන්ට පොලීසිය සවන් දෙන්නේ නම් එවිට නීතියේ ආධිපත්‍යයට සිදුවන්නේ කුමක්ද?

ඊට පසුදා එනම් මාර්තු 10 වන දින නිදහස් මාධ්‍යවේදියෙකු වන සුජීව ගමගේ පැහැරගෙන ගොස් යම් යම් තොරතුරු ලබා ගැනීම සඳහා ඔහුට දරුණු ලෙස පහර දුන් බව පසුව වාර්තා විය. ”මාධ්‍යවේදියෙකු පැහැරගෙන ගොස් පහර දී තර්ජනය කර තිබේ. බලධාරීන් කෙරෙහි විශ්වාසය නැවත ඇති කිරීම සඳහා විමර්ශනය කර වැරදිකරුවන්ට දඬුවම් කළ යුතුය.” යනුවෙන් හිටපු කථානායක කරු ජයසූරිය ට්වීට් කළේය. ඔහුගේ පැහැරගෙන යාම සහ පහරදීම පිළිබඳ සත්‍යය හෙළි කරන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටින අතර එක්සත් ජාතික පක්ෂය කියා සිටියේ පැහැරගැනීම් සහ හිරිහැර කිරීම් පිළිබඳ චෝදනා පිළිබඳව පක්ෂය දැඩි අවධානයෙන් සිටින බවයි. ඔහුට නීති උපදෙස් දීමට පැමිණි නීතිඥ නාමල් රාජපක්ෂට පොලීසිය ඉඩ නොදුන්නේය. මාධ්‍යවේදියා වෙනුවෙන් නීතිවේදියකු පොලිසියට පැමිණීම වරදක් බැවින් ඔහු නිදහස් නොකරන බව පොලිසිය නාමල් රාජපක්ෂට පැවසුවේය. ඔහු රෝහලෙන් පිටව ගිය වහාම වධහිංසාවට ලක්වූවෙකු බව පැහැදිලි කළද ඔහු අත්අඩංගුවට ගත් පොලීසිය බලහත්කාරයෙන් ප‍්‍රකාශයකට අත්සන් ගත්තේය. පොලිස් ප‍්‍රකාශක මේසන් හැන්දක් පෙන්වමින් කියා සිිටියේ සුජීව ගමගේ තමන් විසින්ම තුවාල සිදුකර ගෙන ඇති බවයි. සුජීව ගමගේ එම ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කළේය.

ඉන් දින තුනකට පසු 2021 මාර්තු 13 වන දින ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ (එස්එල්බීසී) සභාපතිවරයාට සහ රාජ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ඉල්ලා අස්වන ලෙස නියෝග කළේය. ඔහු කිසිම හේතුවක් දුන්නේ නැත. බලයේ සිටින දේශපාලනඥයන්ගේ අභිලාෂයන්ට අනුකූලව රාජ්‍ය මාධ්‍ය පාලනය කිරීම කෙතරම් ප‍්‍රබලද යන්න මෙමගින් යළිත් පෙන්නුම් කෙරිණි.

එදිනම මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මාධ්‍යයට කියා සිටියේ ජාතික ආරක්ෂාව හේතු කොට ගෙන බුර්කාව සහ වෙනත් මුහුණු ආවරණ ප‍්‍රසිද්ධියේ තහනම් කරන කැබිනට් නියෝගයකට තමන් අත්සන් කළ බවයි. තවද ඉස්ලාමීය මදරාසා ආගමික පාසල් 1000ක් වසා දමන බවට ද ඔහු ප‍්‍රකාශ කළේය. මෙම ප‍්‍රකාශයන්ට අන්තර් ජාතික වශයෙන් මහත් ප‍්‍රචාරයක් ලැබුණි. ආණ්ඩුවේ සගයකු වන ශ‍්‍රී ලංකා පාකිස්තාන මහ කොමසාරිස් තානාපති සාද් ඛට්ටක් ”නිකාබ් තහනම සාමාන්‍ය ශ‍්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ හැඟීම්වලට හානියක් වනු ඇති අතර එය සුළුතරයන්ගේ මූලික මානව හිමිකම් පිළිබඳ පුළුල් භීතිකාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා උපකාරී වනු ඇත” යැයි යවන ලද ටිවීට් පණිවිඩයටද තටු ලැබුණි. මෙම නියෝගය ආගමික නිදහස කෙළෙසීමක් බවට විවේචන ඉදිරිපත් විය.

ඊට පසුදා 14 වන දින රූපවාහිනී වැඩසටහනක් අතරතුර සිංහරාජ වැසි වනාන්තර අවට සිදු වූ අනවසර පාරිසරික විනාශය පිළිබඳව පැමිණිලි කළ තරුණ ශිෂ්‍යාවක් වන භාග්‍යා අබේරත්න මහත් තෙරපුමකට රජය විසින් ලක් කරන ලදි. එම ප‍්‍රකාශයෙන් දින කිහිපයක් ඇතුළත පිරිමි පොලිස් නිලධාරීහු ඇයගේ නිවසට ගොස් ප‍්‍රකාශයක් ලබා ගත්හ. වන සංරක්ෂණ අමාත්‍යවරයා ඇයට අනතුරු හැඟවීමක් වැනි අවවාදයක් කළේය. ඇගේ මුළු පවුලම පොලිස් සෙවිල් යටතට පත්ව ඇතැයි ඇය මාධ්‍යයට පැවසුවාය. වෛරී ව්‍යාපාරයක් ඇයට එරෙහිව දියත් කළ අතර, යම් යම් පාර්ශ්වයන් ඇයට ගල් ගසා මරා දැමිය යුතුයැයිද කීහ. මෙය පැහැදිලිවම කතා කිරීමේ නිදහසට එල්ල කරන ලද මරු පහරකි.

එදිනම ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ‍්‍රාමික), ”ජාතික ආරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා රටේ බලයලත් ආයතනය ලෙස, වෛරී දේශපාලනයේ බීජ වපුරා හා මහජන සාමය අවුස්සමින් නීතිය කඩ කිරීමට උත්සාහ කරන ඕනෑම කෙනෙකුට එරෙහිව නීතිය අත්අඩංගුවට ගෙන ක‍්‍රියාත්මක කිරීමට අපි පසුබට නොවෙමු” යැයි ප‍්‍රකාශ කළේය. අප කව්රුත් දන්නා පරිදි මෙම ප‍්‍රතිපත්තිය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක වන්නේ මෙරට සුළුතර ප‍්‍රජාවන්හි පුද්ගලයින්ට පමණි. එනයින් මෙය සුළුතර ප‍්‍රජාවන්ට එරෙහිව කරන ලද තවත් අනතුරු හැඟවීමකි.

මාර්තු 16 වනදා ජාතික එක්සත් පෙරමුණේ නායක හා බටහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාත් සාලි ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සහ අයිසීසීපීආර් පනතේ විධිවිධාන යටතේ අත්අඩංගුවට ගන්නා ලදි. ජනවාර්ගික හා ආගමික ආතතිය අවුලූවන ප‍්‍රකාශයක් කර තිබේ නම් සාලි මහතාට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගත යුතු නමුත් ඔහුව දිගින් දිගටම අත්අඩංගුවේ තබා ගැනීම අයහපත් පියවරක් බව සමගි ජන බලවේගය කියා සිටියේය.

මාර්තු 19 වන දින ජනාධිපති කාර්යාලය විසින් ශ‍්‍රී ලංකාවේ දැනට සිදුවෙමින් පවතින ජෛව සංහාර නිරූපණය කරමින් සකස් කරන ලද දැවැන්ත සිතුවමක් ඉවත් කිරීමට නියෝග කරන ලදි. මෙම සිතුවම බිමට ඇද දැමූ පොලිස් ප‍්‍රධානියා ”අපේ ආණ්ඩුවට විරුද්ධව” පරිසර උද්ඝෝෂණ වක‍්‍ර ලෙස හෙළිි දකින ලදි. රාජපක්ෂ ආණ්ඩුව තමන්ගේ ආණ්ඩුවක් බව කී එම පොලිස් නිලධාරියට වහාම උසස්වීමක් ලබා දුන් බව පසුව වාර්තා විය. එසේ වී නම් පණිවුඩය පැහැදිලිය. පොලිස් නිලධාරීන් දේශපාලනඥයින් මෙන් ”අපේ ආණ්ඩුවට” සහාය දිය යුතුය.

මාර්තු 20 වැනි දින ආණ්ඩුවේ ඇමතිවරයකු වන නිමල් ලංසා, පරිසර ආරක්ෂාව වෙනුවෙන් නිර්භයව පෙනී සිටින වන ජීවී නිලධාරිනියක වන දේවානි ජයතිලක වැනි අය එලවා දැමිය යුතු යැයි ප‍්‍රසිද්ධියේ තර්ජනය කළේය. ඉන් අදහස් කැරුණේද භාග්‍යා අබේරත්නගේ කතා කිරීමේ අයිතියට විලංගු දැමීමට ගන්නා ලද උත්සාහය මෙන්ම දේවානි ජයතිලකගේ අදහස් ප‍්‍රකාශ කිරීමටද ආණ්ඩුව බියවැද්දවීම මගින් තහංචි දමන බවය.

එම 20දාම මෙම සියලූ තර්ජන ගර්ජන එක මිටකට ගනිමින් ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රසිද්ධ රැුස්වීමක කතා කරමින් ”ඒව මාත් එක්ක බෑ, මම දන්නව පාඩම් උගන්නන්න. යුද්ධ කාලයෙ අපට විරුද්ධව වැඩ කළ අය ඒවයෙ ඉන්නව, ආපහු නැගිටල” යැයි මාධ්‍යයට සහ මාධ්‍යවේදීන්ට දරුණු තර්ජනයක් කළේය.

මාර්තු 23 වන දින මානව හිමිකම් කවුන්සිලයේ ශ‍්‍රී ලංකා යෝජනාව පිළිබද ඡුන්ද විමසීමට පෙරවදන රාජපක්ෂ ආණ්ඩුව ලීවේ එලෙසය. ඔවුහු මහ කොමසාරිස්වරියගේ අනතුරු හැඟවීම් ඇස්පනා පිටම සත්‍ය බවට පත් කළහ.
ඊට පසුදින දක්නට ලැබුණේ එම ක‍්‍රියාදාමය නොකඩවා පවතින බවය.

මාර්තු 24 දින වාර්තා වූයේ ගෝඨාභය රාජපක්ෂ විසින්ම පත් කරන ලද මැතිවරණ කොමිසම ජාතික හෝ ආගමික නම්වලින් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම තහනම් කිරීමටත් දැනටමත් එලෙස ලියාපදිංචි කර ඇති දේශපාලන පක්ෂවලට සිය නම් වෙනස් කර ගැනීමට කාලයක් දීමටත් තීරණය කර ඇති බවය. මෙය කෙළින්ම බලපානු ඇත්තේ දෙමළ සන්ධානය සහ මුස්ලිම් කොංග‍්‍රසය වැනි සුළුතර ප‍්‍රජාවන්හි පක්ෂවලටය. මෙයද පැහැදිලිවම අදහස් ප‍්‍රකාශනයට වැට බැඳීමකි. මෙමගින් ඇත්ත වශයෙන්ම සිදුවන යහපතක් නැත. සිදුවන එකම දෙය සුළුතර දේශපාලන පක්ෂවලට සිය අනන්‍යතාව අහිමිවීමය.

රාජපක්ෂ ආණ්ඩුව දිගටම ජිනීවා යෝජනාවෙහි සඳහන් කරුණු සිය අත්තනෝමතික දේශපාලනය විසින් සනාථ කරනු ඇති අතර ලෝක ඒකාධිපතියන්ගේ තුරුල්ල හැර ගැලවුමට අන් තැනක් ඔවුන්ට ඉතිරි නොවනවා ඇත.