දිනී ජයසේකර


ඔබ කලාවට සම්බන්ධවෙන්නෙ කොහොමද ?


පුංචි කාලෙ ආසාවෙන් හිටියෙ නැටුම් ගුරුවරියක් වෙන්නයි. මම ඒකෙ උපරිමේටම ඉගෙන ගත්තා. ඊටපස්සෙ කැලනිය විශ්වවිද්‍යාලයට තේරුනා. මම හිතුවා නර්තන විශේෂ උපාධියක් කරන්න ඕනෙ කියලා. නමුත් ජීවිතේ වෙනස් වෙන්නෙ සමහර අපි ගන්න පුංචි තීරණ නිසයි. මොකද මගෙ හිත කීවෙම නාට්‍යයම කරන්න කියලා. ඒ වෙනකොටත් මම නැටුම් වලට ලෙක්චර්ස් පවා ගියා. මාස තුනක් විතර ගියාම මම හිතුවා නැටුම් නවත්වලා නාට්‍ය කරන්න යනවා කියලා. නැටුම් අත්හරින්න එක හේතුවක් නැටුම් ඉගෙන ගන්න ඕන තරම් තැන් තියෙනවා. නමුත් නාට්‍ය ඉගෙන ගන්න එහෙම තැන් නැහැ. ඒ නිසාම මම නාට්‍යය විෂයක් විදියට තෝරගත්තා. එතනින් තමයි මම පටන් ගත්තේ.


රංගන ශිල්පිනියක් ලෙස තමන් නිරූපණය කරන චරිත වලට සාධාරණයක් කරන්නෙ කොහොමද ?


මට නම් සාමාන්‍යයෙන් ස්ක්‍රිප්ට් එක කියවල චරිතයක් බාරගනිද්දි ඒ සම්බන්ධව අදහසක් එනවා. ඊට පස්සෙ මම ඒක අධ්‍යක්ෂ සමග කතාබහ කරනවා. පසුව මගෙ චරිතෙ වටා ඉන්න අනෙක් නළු නිළියන් සමග කතාබහ කරනවා. එතනදිත් මට ධාරණය වන දෙයක් තියෙනවනේ. අන්න ඒ හරහා තමයි මම හිතන්න පටන් ගන්නෙ. ඕනම කෙනෙක්ට චරිතයකට සූදානම් වෙන්න කලින් ස්ක්‍රිප්ට් එක මුල සිට අගට කියවන එක ඉතා වැදගත්. පසුව තම මතය අධ්‍යක්ෂ සමග කතා කළ යුතුයි. එහිදී අපට හරි පහසුවෙන් අඩුපාඩු රහිතව ඒ චරිතයට ඇතුලු වෙන්න පුලුවන්. අනෙක සිනමාවෙ , වේදිකාවෙ සහ ටෙළි චරිත නිරූපණයට පෙර චරිතය ගැන හොද අධ්‍යයනයක් අවශ්‍යයමයි කියල මම හිතනවා.


ඔබ දැකල පුරුදු කෙනෙක් චිත්‍රපට පිටපත මුලින් ප්‍රතික්ෂේප කරනවා. නමුත් පසුව ඔබ එයට රංගන දායකත්වය ලබා දෙනවා,


මම මේ මොහොත වන තෙක් නිරුවත් දර්ශන වලට පෙනි ඉඳල නැහැ. ඒකට හේතුව මම කැමති නැහැ සහ මම එතනට එන්න තරම් දියුණු නැහැ කියන කාරණාවයි. මේ පිටපතේ එහෙම දර්ශනයක් රංග ගත කරන්න තියෙනවා. ඒ නිසා ඉතාමත් අකමැත්තෙන් මම පිටපත ප්‍රතික්ෂේප කළා. නමුත් පස්සෙ තමයි මම දන්නෙ ස්ක්‍රිප්ට් එක ලියල තියෙන්නෙ මට කියලා.


මම බැහැ කීව නිසා එයාල වැඬේ නැවැත්තුවා. හැබැයි නිතර නිතර මට කතාකරල අපි මෙහෙම කරමු අපි අරහෙම කරමු කිය කිය යෝජනා ආවා. මම හරි අකමැතියි කෙනෙක්ගෙ හිතක් රිද්දන්න. ඊට පස්සෙ අධ්‍යක්ෂම විකල්පයක් ඉදිරිපත් කළා ඒ දර්ශනයට පමණක් වෙන කෙනෙක්ව යෙදෙව්වොත් කමක් නැද්ද කියලා. ඉතින් මට අනෙක් දේවල් අදාල නැති නිසා මම කැමති වුණා.


දිනිති කියන ගැහැනිය නිරූපණය කළෙත් සාමාන්‍ය ගැහැනියකගේම චරිතයක්,


දිනිති කියන චරිතෙ දුක , ඉවසීම , දරාගැනීම ඒ දරාගැනීමත් සමග අනෙකා සමග සිනහ වීම කියන කාරණා එක්ක ගැටුන චරිතයක්. අපි ගැහැනියක් විදියට ජීවිතේ අත්විඳිමින් ඉන්න අත් විදින්න සිද්ද වෙන හැම සිදුවීමක්ම දිනිති ළඟ තිබුණා. දිනිති එයාගෙ ඥාති සහෝදරයත් එක්ක ඉන්න විදිය වෙනයි. ත්‍රීවිල් රියදුරත් එක්ක හැසිරෙන විදිය වෙනයි. සැමියා එක්ක වෙන විදියක්. එයාට එන ටෙලිෆෝන් කෝල් එකට කතා කරනකොට වෙන විදියක්. ඒ තමයි ගැහැනිය. අපි කොච්චර කතා කළත් අපිට අඩු වැඩි වශයෙන් දිනිතිගෙ ලක්ෂණ තියෙනවා. නමුත් එක එක්කෙනාගෙ හැඩ වෙනස්. ඉතින් මට නම් දිනිති කියන චරිතෙ වරදක් පේන්නෙ නැහැ. නමුත් කොතනැක හෝ වරදක් වෙලා තියෙනවා. ඒ නිසයි දිනිති ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ. දිනිතිගෙ අතින් වෙච්ච වැරැද්දෙ පරිමාව කොච්චරක්ද කියල කියන්න බැහැ. ඒක ඒ සිනමාකරුවගෙ දක්ෂතාව නිසා ඒ සම්බන්ධතාවෙ පරිමාව කොච්චරද කියල හොයන්න බැහැ කියල මම හිතනවා.
පිරිමියා විසින් ගැහැනිය සංස්කෘතිකව යම් කිසි හැඬේකට හදනවා. ඒක මේ වකවානුවට ඉතාමත් සාම්ප්‍රදායික හැඩයක්,
විවාහයකින් පසු ගැහැනියකට ස්වාධීනව හිතන්න පතන්න ඇයව තේරුම් ගන්න පිරිමියෙක් අවශ්‍යමයි. පිරිමියාගෙ පැත්තෙනුත් ඒ නිදහස ඔහුට ලැබිය යුතුයි. එහෙම නැතිනම් වෙන්වෙන එක දෙදෙනාටම හොඳයි කියන තැනයි මම ඉන්නේ. දිනිති කියන චරිතෙදි වුණත් ඇයි දිනිති එහෙම සම්බන්දෙකට ගියෙ කියලා මම දන්නෙ නැහැ සහ ඒක කොච්චර දුර දිග ගිය එකක්ද කියන්නත් මම දන්නෙ නැහැ. එයා කියන්නෙ එකට වැඩ කරනකොට තව කෙනෙක් එක්ක දේවල් බෙදා ගන්නකොට හිතන් නැතිව ඇතිවන හැඟීමක් කියලා. ඇත්තටම මිනිස්සුන්ට එහෙම වෙන්න පුලුවන්.


නිර්මාණයේ සචිත්‍ර කියන පිරිමියා අතිසංවෘත සංස්කෘතික පිරිමියෙක්. ඒ බව නැවත වරක් පිරිමියාට පසක් කරනවා වෙනුවට ඒ බැම්ම කැඩීම නොවේද විය යුත්තේ ?


අපි ඒක දකින්න අකමැති වුණාට රටේ බහුතරය කැමති ඒකටයි. එවැනි සිදුවීම් ගෙවල් වල සාමාන්‍ය සිද්ධි. මේ චිත්‍රපටය බලල ඒ අත්දැකීම එහෙන් පිටින්ම අත්විඳින ගොඩක් දෙනෙක් මට කතා කළා. අධ්‍යක්ෂට කතා කරල තිබුණා. බටහිරදි නම් දෙදෙනෙක්ට එකට ඉන්න බැරිනම් ඔවුන් කතාබහ කරල අයින් වෙනවා. ඒ අතින් ඒ මිනිස්සු මනසින් දියුණු තත්ත්වෙක ඉන්නවා. ලංකාව වගේ රටක ජීවත් වන මිනිස්සුන්ගෙ මනස තවම එතනට හැදිලා නැහැ.


නිර්මාණයකදි හෝ වෙන ඕන තැනකදි ඔය කියන බැම්ම කඩන්න ගැහැනියට වඩා පිරිමියා බයයි. මේක පුරුෂාධිපත්‍ය සංකල්පයෙන් යැපෙන රටක්. ඉතින් ඒවගේ රටක ඔය බැම්ම කඩපු ගමන් පිරිමියා විතරක් නෙවේ ගැහැනියත් බය වෙනවා. මොකද ඔය කියන බැම්ම නිර්මාණය කරන්න ගැහැනියක් විදියට අපිත් සහයෝගය ලබා දීල තියෙන නිසා. ගැහැනියක් විවාහයෙන් පසු ස්වාධීන වන සාධකය ඇයව හොඳින් තේරුම් ගත්ත සැමියෙක් සහ සැමියාව හොදින් තේරුම්ගත්ත ගැහැනියක් කියන කාරණයයි. සාමාන්‍යයෙන් මට නම් සමාජයේ ගැහැනු පිරිමි කියල ලොකු භේදයක් නැහැ. අතින් අල්ලන් කතා කරන්න ඕනෙ නම් මම අතින් අල්ලන් කතාකරනවා. මට මගේ ජීවිතේ වුණත් කාර්යාලයේ වුණත් හිතවත්කම් නැහැ කියන්න කෙනෙක් නැහැ. මොකද මගේ සැමියා මාව හොදින් තේරුම් අරගෙන තියෙන නිසයි ඒ පහසුව මට ලැබෙන්නේ.


සාමාන්‍ය මනුස්සයෙක් තේරුමක් ඇතුව ජීවත් වෙන්න පටන් ගන්නෙ මොනවගේ කාල සීමාවකදි ද ?


අපි ජීවිතේ හරියටම පටන් ගන්නෙ වයස හතලිහෙන් පස්සෙයි. ජීවිතේ විතරක් නෙවේ රංගන ශිල්පිනියක් වේවා රංගන ශිල්පියෙක් වේවා තමන් කරන වැඬේ අධ්‍යයනයකින් පසුව නිර්මාණාත්මකව කරන්න පටන් ගන්නෙ වයස හතලිහෙන් පස්සෙයි. අඩුම තිස් පහවත් පනින්න ඕනේ. මොකද අපි ගොඩනැගෙන්නෙ අපට ලැබෙන අත්දැකීම් අනුවයි.
අපි සාමාන්‍යයෙන් අවුරුදු දෙක තුනක් රිහසල් කරල රඟපායි. එහෙත් රංගනයක් සියුම් වෙන්නෙ පරිණත බවත් එක්කයි. හේතුව රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට තව මනුස්සයෙක් පිළිබද හොද හැදෑරීමක් වගේම හොද කියවීමක් තියෙන්න ඕනේ. ඔය කියන කාරණා දෙක සම්පූර්ණ කරන්නෙ නැතිව තමන්ගේ චරිතය හැර වෙන චරිතයකට ආරූඩ වෙන්න අමාරුයි.


ඔබ කොහොමද ඔය කියන කාරණා ප්‍රායෝගිකව සමාජෙන් අත්විදින්නෙ ?


මම ගොඩක් වෙලාවට පොළවෙ ඉන්න ගැහැනියක්. සාමාන්‍ය මිනිස්සු එක්ක කාර්යාලයේ වැඩ කරනවා. මම එතන ඉන්නෙ රංගන ශිල්පිනියක් විදියට නෙවේ. සාමාන්‍ය සේවකයෙක් විදියටයි. යන්නෙ එන්නෙ බස් එකේ. මොකද බස් එකක යනව කියන්නෙම අත්දැකීම් ගොන්නක එකතුවක්. එක එක තලවල මිනිස්සු, එක එක රැකියා කරන මිනිස්සු මේ හැමෝම එක්ක අපිට සුහද වෙන්න පුලුවන් මේ හැමෝවම අධ්‍යයනය කරන්න පුලුවන් එක තැනත් තමයි බස් එක කියන්නේ. මේ නිසාම මම කැමතියි බස් එකේ ගමනට. මොකද ජීවිතේ වැදගත්ම තීරණ ගන්නෙත් බස් එකේ යන ඒ ටික වෙලාව ඇතුලතයි. එහෙම බලද්දි විශේෂයෙන්ම රංගන ශිල්පිනියක් වුණාම තමන්ට අවශ්‍ය තැනට අවශ්‍ය විදියට අනුගතව ඉන්න හැකියාව හදාගත යුතුයි. ජීවිතය අහුවෙන්නෙ නැතිව රගපාන්න අමාරුයි. හුරුව නැතිව රගපානකොට ඒක හරි කෘතිමයි කියල පේනවා. ඒ නිසාමයි මම ගොඩක් සමාජෙ ඉන්න කැමති.