The West Verandah - a view to the South. LUNUGANGA. Geoffrey Bawa's country house and garden.

අනුර දයාරත්න


වාස්තු විද්‍යාව (Architecture) කියන විෂය මුළු ලෝකයටම පොදුවූ සාධකයක් වුවත් එය කලාපයෙන් කලාපයට රටෙන් රටට වෙනස් වූ ලක්ෂණ සහිතව දිනෙන් දින විකාශය වන ක්ෂේත්‍රයක් ලෙස අවිවාදයෙන් හඳුන්වන්න පුළුවන්. එසේ බලනකල ශ්‍රී ලංකාව තුළද අඩු වැඩි වශයෙන් මෙරටටම ආවේණික වූ අනන්‍යතාවක් සහිතව වාස්තු විද්‍යාවක් තියෙනවාද? කියා කෙනෙකුට ප්‍රශ්න කරන්නත් පුළුවන්. මේ ලිපියේ අරමුණ වෙන්නේ ශ්‍රී ලංකාව තුළ යම්කිසි අනන්‍යතාවක් සහිතව වාස්තු විද්‍යාවක් ගොඩනගන්නට උත්සාහ දැරූ වාස්තු විද්‍යාඥයා ලෙස අර්ථකථනය කරන ජෙෆ්රි බාවාගේ භූමිකාව පිළිබඳ සංවාදයක් ගොඩනැගීමටයි. ඔහු සත්‍ය වශයෙන්ම ශ්‍රී ලාංකික යයි කිවහැකි වාස්තු විද්‍යාවක් ගොඩනැගුවාද? එය නූතනද පශ්චාත් නූතනද? යන්නත් විග්‍රහ කරගත යුතු කාරණයක්.


ජෙෆ්රි බාවා නූතන ගෘහනිර්මාණ ශිල්පියෙක් ලෙස හඳුන්වා දුන්නද ඔහු සත්‍ය වශයෙන්ම සම්ප්‍රදාය ප්‍රති-ජීවනය කරන ලද පශ්චාත්- නූතන චරිතයකි. මෙහිදී නූතන රූපකයන් තුළ ‘නව ස්වාමිත්වයක්’ හඳුන්වා දෙනවා වෙනුවට බාවා අතින් සිදුවූවේ පැරණි සමාජයේම වැඩවසම් රූපක බටහිර නිරීක්ෂණය වෙනුවෙන් ‘ප්‍රති-ජීවනය’වීමය.


වාස්තු විද්‍යාවේදී ප්‍රධානතම සාධකය ලෙස සැලකිය හැක්කේ නිර්මාණ ශිල්පියා විසින් ගොඩ නගන ලද අවකාශයයි. (space). මෙහෙදී එයට ලැබෙන වාතාශ්‍රය හිරු එළිය වගේම දර්ශනය වන පරිසරයේ සුන්දරත්වයද සලකා බලනු ලබන අනෙකුත් සාධක බවට පත් වෙනවා. ඉන්පසුව තමයි ගොඩනගන ලද අවකාශයේ හැඩය (form) සහ අනු කොටස් (Details )නිර්මාණය තුළට ගෙනෙනු ලබන්නේ. මේ සියල්ල කැටිකොට ගත් නිර්මාණ සංකල්පයකින් (Design concept) පරිපූර්ණ නිර්මාණයක් ගොඩනැගෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම ජෙෆ්රි බාවා විශිෂ්ට ගණයේ ගෘහනිර්මාණ ශිල්පියෙක් බවට පත්වන්නේ ඔහු විසින් ගොඩනගන ලද අවකාශයන් සහ හැඩතල (space and  form) දෙරප වල තිබෙන නව්‍ය වූ නිර්මාණශීලී බව (creative) නිසා වන අතර එහිදී ඔහු විසින් එයට එක්කරන ලද පැරණි ගෘහනිර්මාණ ශිල්පයේ අනු කොටස් (Details) මගින් සිදුවන්නේ එයට ශ්‍රී ලාංකික අනන්‍යතාවක් එක්කිරීමය.

කණ්ඩලම හෝටලයේදී ඔහු නිර්මාණය කරන අවකාශයන් කොතරම් දුරට පරිසරයට බද්ධ වී ඇතිදැයි කිවතොත් ඈත තිබෙන කණ්ඩලම වැව ඔහු හෝටලය ළඟට රැගෙන විත් ඇති බවක් දිස්වනවා. වෙනත් විදිහකින් කියතොත් කණ්ඩලම වැව නාන තටාකයේම කොටසක් ලෙස දිස්වෙනවා. එපමණක් නොව මෙම නිර්මාණයේදී ඔහු විසින් ගොඩනගන ලද සියලු අවකාශයන් පරිසරය සමග බද්ධ කීරීමත් පරිසරයේ ඇති සුන්දරත්වය (කණ්ඩලම වැවද ඇතුළුව) ගොඩනැගිල්ල තුළට රැගෙන ඒමත් ඔහුගේ නිර්මාණශීලීත්වයේ තිබෙන විශිෂ්ට ලක්ෂණයක්. මෙය වාස්තු විද්‍යාවේදී හඳුන්වන්නේ පරිසර හිතකාමී ගොඩනැගිලි (Environment  Friendly  Architecture) වශයෙනි. ඒ නිසා ‘ස්වභාවික පරිසරය සමග ඔහු කරන වාස්තු විද්‍යාත්මක ගනුදෙනුව අතිශයින් සංකීර්ණ වගේම සුන්දරයි.
අවසානයේදී සිය නිර්මාණයට ශ්‍රී ලාංකික අනන්‍යතාව ඔහු විසින් රැගෙන එන්නේ මෙරට පවතින ඓතිහාසික (විශේෂයෙන්ම අනුරාධපුර සහ පොළොන්නරු යුගවල) වාස්තු විද්‍යාත්මක අනු කොටස් (Details) එයට එකතු කිරීමෙන්. (මෙහිදී බටහිරත් වඩා විශ්වීය සම්බුද්ධික බවක් පෙරදිග අප තුළ පවතින බව බටහිර ආත්මයට ඒත්තු ගැන්වීම වෙනුවට පෙරදිග ආත්මය බටහිර නිරීක්ෂයට අවශ්‍ය අයුරින් තව තවත් මිථ්‍යාකරණය (mythologize) කිරීමක් සිදුවන බව සැබෑය.) බාවා තුළ තිබෙන නිර්මාණශීලීත්වයේ විශිෂ්ටත්වය වන්නේ මෙම අනු කොටස් (Details) ඉතාමත් උචිත අයුරින් තම නිර්මාණය සමග බද්ධ කිරීමයි. එනිසා අවසානයේදී ශ්‍රී ලාංකික අනන්‍යතාව සහිත වාස්තු විද්‍යාවක් ඔහු අතින් නිර්මාණය වෙන බව කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඒ නිසා තමයි මෙරට ඇකඩමියාව විසින් ජෙෆ්රි බාවා නූතන ගෘහනිර්මාණ ශිල්පියෙක් ලෙස හඳුන්වා දෙනු ලබන්නේ. අකඩැමියාව එසේ අර්ථකථනය කළත් බාහිර සමාජය වාස්තු විද්‍යාව හඳුනා ගනු ලබන්නේ එය මතුපිටින් දිස්වන ස්වරූපය අනුවය. එය වාස්තු විද්‍යාවට පමණක් සීමා වූ දෙයක් නොවන අතර ඕනෑම දෙයක බාහිර ස්වරූපය සහ ලක්ෂණ අනුව තමයි එහි අනන්‍යතාව තහවුරු වෙන්නේ. එනයින් ගත්කල කිසියම් ගොඩනැගිල්ලක් හඳුනා ගැනීමේ ලක්ෂණ (Character) අනුව සහ පිටතින් දිස්වන අයුරින් (Expression) පමණක් සැලකීමෙන් එය වර්ගීකරණයට ලක්කිරීම වාස්තු විද්‍යාව තුළ න්‍යායාත්මකව පිළිගත නොහැකි තර්කයක්. කෙසේ නමුත් මෙම සංවාදය ඉදිරියට ගෙනයනු වස් මෙරට සිටින ප්‍රවීණ මෙන්ම නව පරපුරේ වාස්තු විද්‍යාඥයන් ජෙෆ්රි බාවා සහ ඔහුගේ වාස්තු විද්‍යාව පිළිබඳ දක්වන අදහස් කෙසේදැයි සලකා බලමු.

ඔහු ශ්‍රී ලංකික වාස්තු විද්‍යාවක් ජනිත කළා
මහාචාර්ය නිමල් ද සිල්වා (මොරටු විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති)


බාවාට ලෝකයේම පිළිගැනීමක් ලැබුණේ ඔහු ශ්‍රී ලාංකික වාස්තු විද්‍යාවක් කියල දෙයක් උපද්දපු නිසයි. ඔහු අපේ කියල දෙයක් නිර්මාණය කරනු ලැබුවා. ඒ සඳහා ඔහු සොයා ගියේ අපේ ඉතිහාසය වගේම සංස්කෘතිය, දඹදෙණි යුගයෙන්, පොළොන්නරු යුගයෙන්, අනුරාධපුර යුගයෙන් පමණක් නෙවෙයි පෘතුගීසි ලන්දේසි යුගවලිනුත් අනු කොටස් එකතු කරගෙන අපේ කියන අනන්‍යතාව සහිත වාස්තු විද්‍යාවක් ඔහු නිර්මාණය කළා. ඒ සඳහා ඔහු සමග එවකට තරුණ වාස්තු විද්‍යාඥයන් කීප පලක්ම සිටියා. වැලන්ටයින් ගුණසේකර, ඈෂ්ලි ඩිවෝස්, ටර්නර් වික්‍රමසිංහ, මිනට් ද සිල්වා, රත්න විභූෂණ, ඉස්මත් රහීම් වැනි අය ජෙෆ්රිගේ ඇසුරේ සිටි සමකාලීනයන්. මෙය ඉදිරියට රැගෙන යන්නට ඔවුන් විශාල ලෙස කටයුතු කළ නිසා අපේම කියල දෙයක් ලොවට ඉදිරිපත් කරන්නට හැකියාව ලැබුණා. ■

පිහිටීමෙන් හොඳම දේ පෙරා ගත්තා
වාස්තු විද්‍යාඥ හර්ෂ මුණසිංහ – (කැනඩාවේ ටොරොන්ටෝහි George Brown විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයේ මහාචාර්ය)


බොහෝ වාස්තු විද්‍යාඥයන් ‘ස්ථානීය ආරක්ෂණ ආත්මය’ කියන දෙයට ප්‍රතිචාර දක්වන ආකාරය මගින් වාස්තු විද්‍යාඥයන්ට දායකත්වය සපයන්න පුළුවන් ආකාරය පෙන්වනවා. කිසිම සැකයක් නෑ ජෙෆ්රි බාවා මේ ලැයිස්තුවෙ ඉහළින්ම ඉන්නවා. ඔහුගේ නිර්මාණ ඉතාම කාන්‍යාත්මකයි. ඔහු පිහිටීමෙන් හොඳම දේ පෙරා ගන්න ආකාරය ඉහළින්ම අගය කරන්න ඕනෑ. ඔහු ඇතැම් අංග එකතු කරන ආකාරය විස්මය දනවනසුලුයි. උදාහරණයක් හැටියට ඔහු බ්ලූ වෝටර් හෝටලයේ හඬවල් නිර්මාණය කරන ආකාරය, ඔහු අද්විතීය පුද්ගලයෙක් බවට පත් කරනවා. මේ විශේෂ සම්බන්ධය වටහාගන්න ඔහුගේ අනුගාමිකයන් කිසිම උත්සාහයක් දරල තියෙනවද? මට අනුව නම් ඒ හුඟ දෙනෙක් කළේ ඔහුගේ වදන් කෝෂය ණයට ගැනීම විතරයි. වෙනත් කතාවක් කියන්න ඒ වදන් භාවිත කිරීම විතරයි. හුඟ දෙනෙක් බෞද්ධ සහ හින්දුන් වන නිසා, ඒ අයගෙ මූලයන් සලකා බලන විට ඔවුන්ට වාස්තු විද්‍යාව තුළ ශ්‍රී ලාංකික අනන්‍යතාවක් උදෙසා දායකවන්න පුළුවන්. ■

වෙනම පැළැන්තියකට වැඩ කළා
වාස්තු විද්‍යාඥ සුජිත් මොහොට්ටි- (පශ්චාත් නූතනවාදී ගෘහනිර්මාණ ශිල්පියෙක්)


බොහෝ දෙනා අර්ථකථනය කරන්නේ ‘ජෙෆ්රි බාවා’ ශ්‍රී ලාංකික අනන්‍යතාව සහිත වාස්තු විද්‍යාවක් ගොඩනැගුවා කියලයි.
මගේ කියවීම නම්

එයට වඩා වෙනස්. ඔහු වාස්තු විද්‍යාඥයෙක් විදිහට විශිෂ්ට නිර්මාණ කරපු බව ඇත්ත. ඒත් එය ශ්‍රී ලාංකිකද නැද්ද කියල නම් මම දන්නේ නැහැ, ඒ වගේම ඔහුගේ අසාර්ථක නිර්මාණද තියන බවත් කිව යුතුයි. කෙසේ නමුත් මට අනුව ඔහු වෙනම පැලැන්තියකට සේවය කරපු වාස්තු විද්‍යාඥයෙක්. ඔහු එංගලන්තෙ ගිහින් ඉගෙන ගෙන ඇවිත් මෙහෙ සේවය කරන්නේ ඉහළ ධනපති පන්තියට. 1977ට පෙර යුගයේ එවකට තිබුණු රජය විසින් අතිනවීන ගොඩනැගිලි ද්‍රව්‍ය ආනයනය කිරීම තහනම් කරනවා. ඒ නිසා ජෙෆ්රිට සිද්ධ වෙනවා අපේම පාරම්පරික අමු ද්‍රව්‍ය යොදාගෙන නිර්මාණ කරන්න. ඒ සඳහා ඔහු යොදා ගන්නේ මෙරට පැවති ගොඩනැගිලි සම්ප්‍රදායන් සහ අනු කොටස්. එය හරියට පැරණි වලව්ව ප්‍රතිසංස්කරණය කර නව ධනපති පන්තියට විකුණනවා වගේ වැඩක්. නව ධනපති පන්තියට ඒක හරියටම හරි යනවා.


උදාහරණක් කියනව නම් ඒ කාලයේ මම සේවය කෙරුවේ ‘උල්රිච් ප්ලෙස්නර්’ ළඟ. එය ජෙෆ්රි බාවාගේ ඔෆීස් එකට අල්ලපු එක.


දවසක් ගාමිණී ෆොන්සේකා ජෙෆ්රි බාවා ළඟට එනවා වීරවිල හෝටලය නිර්මාණය කරගන්න. ඔහු කැමති වෙන්නේ නැහැ එය භාර ගන්න. ගාමිණී ෆොන්සේකාව හරවා යවන ජෙෆ්රි බාවා මෙහෙම කියනවා .’who does building for third  class actors?’


සාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙන ගෙන හොඳට ඉංග්‍රීසි කතා කරන ගාමිණී ෆොන්සේකා මුළු රටම දන්නා චරිතයක් උනාට ජෙෆ්රි බාවා ඔහුව හඳුන්වන්නේ තුන්වන පන්තියේ නළුවෙක් විදිහට. ඒ නිසයි මම කිව්වේ ඔහු වෙනම කුලයකට උත්තර සපයපු වාස්තු විද්‍යාඥයෙක් කියල. මේ වැඬේම තමයි එදිරිවීර සරච්චන්ද්‍රත් කෙරුවේ. මේ දෙකම සිදුවෙන්නේ එකම කාලවකවානුවේ. ඒක තමයි මේ ක්‍රමයේ හැටි. එය හරි හෝ වැරදි හෝ ඔවුන් දෙදෙනාම අද වනවිට ශ්‍රී ලංකාව තුළ තම අනන්‍යතාව සලකුණු කොට ඉවරයි. ඓතිහාසික වශයෙන් ඔවුන්ගේ භූමිකාව වැදගත් වෙනවා වගේම එය අගය කළයුතු දෙයක්. ඒ තුළ තිබෙන දේශපාලනික යථාර්ථය වෙනස් එකක්. හැබැයි ඉතින් මුළු ලෝකයේම වාස්තු විද්‍යාඥයෝ වැඩ කරන්නේ සල්ලි තියන අයට තමයි. ඔබ කියනව නම් වස්තු විද්‍යාඥයින් පෝෂණය කරන්නේ ධනවාදය කියල එක බැහැර කරන්න මට බැහැ. ■

පටන් ගැනීම හා නතර කිරීම ඔහු දැන සිටියා
වාස්තු විද්‍යාඥ විනෝද් ජයසිංහ


අපි කව්රුත් පිළිගන්න ‘ජෙෆ්රි බාවා’ තමයි ශ්‍රී ලාංකික වාස්තු විද්‍යාවක අනන්‍යතාවක් ගොඩනගා ගන්න මූලික වුණු වාස්තු විද්‍යාඥයා. ඒ වගේම ඔහු තමයි අපේ අනන්‍යතාව ජාත්‍යන්තරයට රැගෙන ගිය වාස්තු විද්‍යාඥයා. නිර්මාණකරණයේදී ඔහු දැනගෙන සිටියා හරි තැනට හරි දේ ගළපාගැනීමට මෙන්ම පටන්ගත යුත්තේ කොතනද නතරකළ යුත්තේ කොතනද කියන දෙය පිළිබඳව. එය තමයි ඔහුගේ නිර්මාණවල තියන විශේෂත්වය.
ඔහු සමග වැඩ කිරීම මගේ නිර්මාණ දිවියට විශාල බලපෑමක් කළා. ඔහු සමග වැඩ කිරීමේදී මම බොහෝ දුරට උත්සාහ කළේ වාස්තු විද්‍යාවේ හරය වටහා ගන්නට. මම බොහෝ වෙලාවට ඔහුට කලින් SITE එකට ගිහිල්ල පෙර වැඩ කටයුතු කරලා තියනවා. SAMPLE වගේ හදල තියනවා. ඒවා හරි නම් හරි කියන්නත් නැත්නම් ප්‍රතික්ෂේප කරන්නත් ඔහු පසුබට වෙන්නේ නැහැ. සමහර වෙලාවට අපි කරපු දේවල් අගේ කරලා එය ඔහුගේ නිර්මාණයට එකතු කර ගන්නට තරම් ඔහු නිහතමානියි. මම ඔහුගෙන් ඉගෙන ගත් දෙයක් තමයි ARCHITECT කෙනෙකුගේ vocabulary එක විශාල වෙන්න ඕනෑ. වෙනත් විදිහකට කියනව නම් නිර්මාණ කිරීමේදී පරිකල්පන ශක්තිය විශාල වෙන්න ඕනෑ. එතකොට තමයි වෙනස් විදිහේ නිර්මාණ කරන්න පුළුවන් වෙන්නේ. පසුකාලයේදී මගේම නිර්මාණ කරන්න ගත්තට පස්සේ මට එය වඩාත් උපකාරී වුණා. ප්‍රයෝගික වෙන්නත්, සරල නිර්මාණ කරන්නත් මගේම අනන්‍යතාවක් ගොඩ නගා ගන්නත් මට හැකියාව ලැබුණේ ඒ නිසයි. එසේ වුවත් ක්‍රියා කිරීමේදි ඔහුගේ ක්‍රමවේදයට වඩා මගේ ක්‍රමවේදය වෙනස් වෙන්න පුළුවන්.


එමෙන්ම ‘ජෙෆ්රි බාවා’ කළ ව්‍යාපෘති කීපයකම පසුකාලීන ප්‍රතිසංස්කරණ සහ වැඩි දියුණු කිරීම් සඳහා මා හට පැවරුණුවිට ඔහුගේ අනන්‍යතාව මම හඳුනන නිසා එය රැකගෙන නිර්මාණයන් වැඩි දියුණු කරන්නට උත්සාහ කළා වගේම මගේ අනන්‍යතාවත් එයට එකතු කිරීමට වග බලා ගත්තා. මීගමුවේ ඇති jetwing  blue සහ jetwing  lagoon යන හෝටල් දෙකම එවැනි නිර්මාණයන්.

ඒක මනස නැවැත්වූ කලාවක්
වාස්තු විද්‍යාඥ ඩී.බී. නවරත්න


ශ්‍රී ලාංකික අනන්‍යතාවක් සහිත වාස්තු විද්‍යාවක් ගොඩනැගීමට පුරෝගාමී වූ වාස්තු විද්‍යාඥයා ලෙස ‘ජෙෆ්රි බාවා’ හැඳින්වීම පිළිබඳ මම යම්තාක් දුරට එකඟ වෙනවා. ඔහුගේ ගෘහනිර්මාණ ශිල්පයේ තිබෙන ප්‍රධාන ලක්ෂණය තමයි නිස්කලංක බව මනස නවත්වන බව. තව පොඞ්ඩක් ඉදිරියට ගිහින් බැලුවොත් එතුළ පොඩි මූසල බවකුත් තියනවා.
ශ්‍රී ලංකික අනන්‍යතාවක් සහිත වාස්තු විද්‍යාවක් පිළිබඳ ජෙෆ්රි බාවාට ඉඟියක් සහ සංවේදී බවක් තිබුණා, ඔහුගේ ගෘහනිර්මාණ ශිල්පයේ යම්කිසි විශේෂත්වයක් තිබුණා වගේම ඒ තුළ ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික ගති ලක්ෂණත් තිබුණා. ඒ වගේම ඔහු නවීන තාක්ෂණය සහ අමු ද්‍රව්‍ය භාවිත කළා. ඔහු නුවර යුගයේ ඇම්බැක්කේ තිබෙන ලී කැටයම් ඒ අයුරින්ම නව පාර්ලිමේන්තුවේ කණු සඳහා යොදාගෙන තියෙනව කියල චෝදනා කරන අයත් ඉන්නවනේ. ඔහු කණු ගේන්න ඇති. හැබැයි ඒ ඇම්බැක්කේ තිබුණ කණු පමණක් නෙවෙයි, එය ස්පාඤ්ඤය යුගයට වගේම බි්‍රතාන්‍ය යුගයට අයත් කණු වෙන්නත් පුළුවන්. ඒ වුණත් ඔහුට එහි මූලික හරය පිළිබඳ දැනුමක් තිබුණා. ඒ වගේම ඔහුගේ ගෘහ නිර්මාණයේ තිබෙන විශේෂත්වය තමයි ඔහු නිර්මාණය කරන අවකාශයන්වලට ගැළපෙන අනු කොටස් ඔහු විසින් තෝරා ගැනීම. ඒ නිසයි මම කියන්නේ ඔහු නූතන වාස්තු විද්‍යාඥයෙක් කියල. ඔහු නවීන වෙන්නේ විශාල අවකාශයන් ගොඩනැගීමේදී නවීන තාක්ෂණය මෙන්ම අමුද්‍රව්‍ය යොදා ගන්නා ආකාරයෙන්. කොන්ක්‍රීට්, වීදුරු, යකඩ වගේ දේවල් භාවිත කරනවා. ඒ වගේම ඔහු නිර්මාණශීලී ලෙස අවකාශයන් ගොඩ නගන්නෙක්. (space maker). ඔහුගේ ගොඩනැගිල්ලේ ආකෘතිය පිටින් දකින කෙනෙකුට එය නවීන නොවෙන්න පුළුවන් මොකද ඔහු (form maker) ආකෘති නිර්මාණය කරන්නෙකුට වඩා අවකාශ නිර්මාණය කරන්නෙකු වන නිසා. ■

වැඩ ඇතුළේ ‘අවකාශයීය අනුහස’ ගැබ් වුණා
වාස්තු විද්‍යාඥ ‘සිතුමිණි රත්නමලල – කථිකාචාර්ය මොරටුව විශ්වවිද්‍යාලය

ආකිටෙක්චර් කියන්නේ එක පැත්තකින් දේශපාලනය, අනිත් පැත්තෙන් සෞන්දර්යය. තවත් සාධක හුඟක් තියෙනවා, නමුත් ඒ දෙක ප්‍රධානයි ඒකෙ නිර්මාණාත්මක බව ගැන කතා කරන්න ගියාම. අපේ ශරීර ප්‍රමාණයත් එක්ක ආබද්ධ වෙන්න පුළුවන් ප්‍රමාණයේ අවකාශ නිර්මාණය කෙරෙන ඕනෑම ඉන්ද්‍රිය සංජානනමය ගොඩනැංවීමක් අපි ආකිටෙක්චර් ‘යමක්’ ලෙස හඳුනා ගන්නවා. මේ ආබද්ධවීම වෙන්නේ අපේ මානසික යොමුවන් (referances) එක්ක. අපි කලින් දැකපු, අහපු, මවපු අවකාශ එක්ක. ජෙෆ්‍රි බාවා කියන්නෙ ලංකාවෙ මේ වැඬේ වෘත්තියක් විදියට කරපු සහ කරන පුද්ගලයින් අතර ඉන්ද්‍රජාලිකයෙක්. ඔහුගේ ආකිටෙක්චර් නිර්මාණයන්ගෙ දේශපාලනික ප්‍රකාශනයන් ගැන මගේ ලොකු පැහැදීමක් නැතත් ඒවායේ සෞන්දර්යය නම් මාව පිස්සු වට්ටනවා. ආකිටෙක්චර් වැඩක තියෙන, අපේ ඍජු ඉන්ද්‍රියගෝචර හෝ එසේ නොවන සංකල්පීය යොමුවන් එක්ක පැටලෙන්න පුළුවන්කම මම සංකල්පගත කරන්නෙ ‘අවකාශයීය අනුහස’ කියන්නෙ. ඒක ආකිටෙක්චර් නිර්මාණයක් අපේ සංජානනයට ලක්වෙන්න ගත් මොහොතේ පටන්ම වුණත් දැනෙන්න පුළුවන්, දිගින් දිගටම විඳිමින් විවරණය කරගන්න පුළුවන් දෙයක්. මෙතෙක් කල් ලංකාවෙ අයගේ නිර්මාණ අතර මම දැකල තියෙන ප්‍රබලම ‘අවකාශයීය අනුහස” ගැබ් වෙන්නෙ ජෙෆ්‍රි බාවගෙ වැඩ ඇතුළේ. ඒවායේ සියුම් සෞන්දර්යාත්මක වටිනාකම් ඔබ මවිතකරවනසුලුයි. ප්‍රමාණ, පරිමාණ, සංකලන, සවිස්තරයන් හැම දෙයක්ම සීරුවට සමායෝජනය කරන්න ඔහු දක්වල තියෙන්නෙ විශ්මිත හැකියාවක්. ඔහුගේ හුඟක් නිර්මාණයන්ගේ තියෙන්නෙ චාලකත්වයෙන් බොහොම අඩු, කම්මැලි පන්නයේ අවකාශ. ඔහේ ඉන්න හිතෙන තැන්. ඔහුට නිර්මාණය කරන්න සිද්ධ වුණු ඉහළ මධ්‍යම පාන්තික අවකාශ බොහොමයක් ඉල්ලා සිටින්නේත් එහෙම අවකාශ තමයි. ඉතිං ඉල්ලුමට සැපයුම කරලා තියෙනවා. ■