ඉඳුනිල් උස්ගොඩ ආරච්චි


කොවිඞ්-19 වසංගත රෝගයේ පැතිර යෑම සමග ඒ පිළිබඳ හඳුනාගැනීමේ මෙන්ම පාලනය කිරීම සම්බන්ධයෙන් ලොව විවිධ රටවල අධ්‍යයනයන් හා දියුණු සංවාද නිර්මාණය වෙමින් තිබේ. වෛරස හා වසංගත මීට පෙර ද ලෝකයේ විවිධ රටවල මෙන්ම ලංකාව තුළ ද ඇති වූ අවස්ථා මෙන්ම ඒවා පාලනය කළ අත්දැකීම් ද තිබෙන්නේය.

කොවිඞ් වෛරසය මැඬලීමට මෙතෙක් නිශ්චිත ඖෂධයක් සොයා නොගත් සහ එය ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යන පසුබිමක කොවිඞ් ආසාදිතයන් සොයා යෑම හා ඔවුන්ගේ සම්බන්ධතා සොයා යෑම සම්බන්ධයෙන් ලෝකයේ ඇතැම් රටවල මේ වන විට තිබෙන්නේ විද්‍යාත්මක මෙන්ම දියුණු හා සදාචාරසම්පන්න කතිකාවකි. මාධ්‍යකරුවන් වටකරගෙන ගොස් සිදුකරන හෝ ආයුධ සන්නද්ධව ගොස් සිදුකරන අප මෙරට තුළ දුටු වැටලීම් ස්වරූපය වෙනුවට එම දියුණු කතිකාවන්ට අනුව රෝගීන් හා ආශ්‍රිතයන් ලුහුබැඳීම යනු ඉතා සංවේදී ලෙස අවධානය යොමු කර හා නිසි අවබෝධයකින් ද අධ්‍යයනයකින් කළ යුතු සුවිශේෂී කාර්යයකි. එමෙන්ම මේ වන විට ආශ්‍රිතයන් ලුහුබැඳීම Contact tracing සම්බන්ධයෙන් විවිධ පුහුණු වැඩසටහන් ද ලොව ඇතැම් රටවල පවතින අතර Contact tracing ලෙස නව රැකියා අවස්ථා ද මේ වන විට ඇතැම් රටවල නිර්මාණය වෙමින් තිබේ. මෙම ලිපිය ලියවෙන්නේ ඇමරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය අධ්‍යයන අංශයේ වෛරසවේදය පිළිබඳ දෙපාර්තමේන්තුවේ විද්‍යාඥවරියක වන එමිලි එස්. ගර්ලි විසින් ඉදිරිපත් කර ඇති කරුණු මත පදනම්වය.


තෙවන කොරෝනා වෛරසය


කොරෝනා වෛරස (Coronaviruses / CoVs) කාණ්ඩයට අයත් වෛරස මීට පෙර ද මිනිසුන් අතර දෙවරක් පැතිර ගොස් තිබේ. 2002 වසරේ චීනයේ ගුවැන්ග්ඩොන්ග් වලින් ආරම්භ වූ සාර්ස් (Severe Acute Respiratory Syndrome / SARS) CoV ද, 2012 වසරේ මැදපෙරදිගින් මතුවූ මර්ස් Middle Eastern Respiratory Syndrome (MERS) CoV යන වෛරස ද අයත් වන්නේ කොරෝනා කාණ්ඩයටමය. කොරෝනා වෛරස ප්‍රභේදයටම අයත් තවත් වෛරසය ව්‍යාප්තියක් ආරම්භ වූයේ 2019 වසරේ චීනයේ වූහාන් වලිනි. ඒ SARS-CoV-2 ය, එය COVID-19 (coronavirus disease 2019) හැඳින්වේ.


හඳුනා ගැනීමේ පරීක්ෂණ


කොවිඞ් වැළඳුණු පුද්ගලයෙකු හඳුනාගැනීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිත වන්නේ පරීක්ෂණ වර්ග දෙකකි. ඒ රෝග නිශ්චය කිරීමේ පරීක්ෂණය හා ප්‍රතිදේහ හඳුනාගැනීමේ පරීක්ෂණයි. රෝගය නිශ්චය කිරීමේ පරීක්ෂණයෙන් සක්‍රිය රෝගීන් හඳුනාගත හැකිය. ඒ සඳහා වන පරීක්ෂණය වන්නේ PCR (Polymerase chain reaction) පරීක්ෂණයයි. එම පරීක්ෂණය හරහා බොහෝ විට සිදුකරන්නේ රෝග ලක්ෂණ සහිත රෝගීන්ට කොවිඞ් ආසාදනය වී ඇති දැයි තහවුරු කර ගැනීමය. එමගින් ශරීරගතව ඇති කොවිඞ් වෛරසයේ ජානමය (RNA) හඳුනා ගැනීමක් සිදුවේ. ඒ සඳහා Swab එකක ආධාරයෙන් ස්වසන මාර්ගයෙන් නිදර්ශක ලබා ගැනීම සිදුවේ. පීසීආර් වාර්තාවක් පොසිටිව් වීමෙන් කියවෙනුයේ, එම නිදර්ශකයේ වෛරස අන්තර්ගතව ඇති බවත් සක්‍රීය ආසාදිතයකු බවත්ය. එමෙන්ම ඇතැම්විට නෙගටිව් ලෙස වැරදි වාර්තා ලැබිය හැකි අවස්ථා තිබුණත් එසේ වීමට හේතුවන්නේ සියලු ආසාදිත පුද්ගලයන්ගෙන් ලබා ගන්නා සාම්පල නියැදිවල වෛරසයේ RNA අඩංගු වී නොමැති විය හැකි බැවින් බව මෙම අධ්‍යයන වාර්තා සඳහන් කරයි.


මෙරට ඇතැම් අවස්ථාවල පීසීආර් පරීක්ෂණවල වාර්තා පොසිටිව් ලෙස සඳහන් කර පසුව නෙගටිව් බව නිවේදනය කළ අවස්ථා තිබුණි. එසේ විය හැක්කේ පරීක්ෂණය සිදු කළ පුද්ගලයාගේ හෝ එය සිදුකළ ක්‍රමවේදයේ හෝ වරදක් නිසාය.


අනෙක් පරීක්ෂණ ක්‍රමවේදය වන්නේ ප්‍රතිදේහ පරීක්ෂණයයි (Antibody test). එහිදී සිදුවන්නේ වෛරසය සමග සටන් කිරීමට සිරුරේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය මගින් නිපදවෙන ප්‍රතිදේහ හඳුනා ගැනීමයි, මෙය රුධිර පරීක්ෂණයකි. ඇතැම් ප්‍රතිදේහ නිපදවීම ආරම්භ වන්නේ ආසාදිතයකු රෝග ලක්ෂණ පෙන්වීම ආරම්භවීමත් සමග වන අතර හඳුනාගත හැකිවන්නේ සුව වූ පසුය. එබැවින් ප්‍රතිදේහ පරීක්ෂණය යනු රෝගය සුවවූවන් හෝ රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වන්නන් හඳුනා ගැනීමට යොදාගත හැකි පරීක්ෂණයකි. ප්‍රතිදේහ පරීක්ෂණයකින් පොසිටිව් වාර්තාවක් ලැබෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් කිව හැකිවන්නේ එම පුද්ගලයාට මීට පෙර කොවිඞ් ආසාදනය වී සුවවී ඇති බවය. එසේ ආසාදනය වූයේ කවදා ද යන්න සම්බන්ධයෙන් මෙම පරීක්ෂණයෙන් අනාවරණය නොවේ. කෙසේ වෙතත් මේ කිසිදු පරීක්ෂණයක් පරීපූර්ණ නොවන බව ද මෙම විද්‍යාඥයෝ සඳහන් කරති.


පීසීආර්, ඇන්ටිජන් හා ඇන්ටිබොඩි පරීක්ෂණ සම්බන්ධයෙන් සහ ඒවායෙන් වඩා අත්‍යවශ්‍ය හා වැදගත් මොනවා ද යන්න සම්බන්ධයෙන් මේ වන විට මෙරට තුළ ද අර්බුදයක් නිර්මාණය වී තිබේ. වෛද්‍ය රසායනාගාර අංශයේ විද්වතුන් පීසීආර් පරීක්ෂණවල අත්‍යවශ්‍යතාව පැහැදිලි කරද්දී සහ ඒවා වර්ධනය කරගැනීමට දැවැන්ත සටනක යෙදෙමින් සිටියි. රෝග ලක්ෂණ පෙන්වන සහ සක්‍රීය රෝගීන් හඳුනාගත හැකි එකම පරීක්ෂණය ලෙස මේ වන විට හඳුනාගෙන තිබෙන්නේ පීසීආර් පරීක්ෂණය පමණි. මේ අතරතුර විවිධ ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් ප්‍රතිදේහ ජනක කට්ටල වැනි දෑ ගෙන්වීම ප්‍රධාන කාරණයක් බවටත් එකම කාරණය බවටත් පත් කරගෙන තිබෙන්නේ මෙවැනි පසුබිමකය. කෙසේ වෙතත් මේ සියලු පරීක්ෂණ විධි කොවිඞ් හඳුනාගැනීමේ වැඩපිළිවෙළට තිබීම අවශ්‍යය. මේවා පිළිබඳ නිසි අධ්‍යයනයක් සහිත විද්වත්හු අප රට තුළ ද සිටිති. එහෙත් ඛේදය වන්නේ ඔවුන්ට තම දැනුම හා වැටහීම නිසි බලධාරීන්ට ලබාදීමට උගුර ලේ රහ වනතුරු කෑගැසීමට සිදුව තිබීමය, ඔවුන්ගේ හඬට නිසි අවධානයක් නොලැබීමය,


බීජ ඖෂණ අවධිය හා බෝවන අවධිය


යමෙකුගේ ශරීරයට කොවිඞ්-19 වෛරසය ඇතුළු වී එය වැඩීමට ගතවන කාලය බීජ ඖෂණ අවධිය (Incubation Period) වෙයි. බොහෝ විට එය රෝග ලක්ෂණ ඇතිවීමට ගතවන කාලයයි. එය දින 2 සිට 14 අතර කාලයකි. එහෙත් සාමාන්‍යයෙන් 50%ක් පමණ පුද්ගලයන් ආසාදිත වී දින 5ක් පමණ වන විට රෝග ලක්ෂණ පෙන්වන බව චීනයේ ආසාදිතයන් හා ආශ්‍රිතයන් නියැදියක් සම්බන්ධයෙන් කරන ලද සමීක්ෂණයකින් හෙළිවී තිබේ. ඇතැම් අයට එය දින 14කට ආසන්න විය හැකි අතර ඇතැම් අයට රෝග ලක්ෂණ කිසිවක් මතුවන්නේ නැත.


ආසාදිතයෙකුගෙන් තවත් අයට රෝගය බෝවිය හැකි කාල සීමාව (Infectious Period) ආරම්භ වන්නේ ආසාදිතයාට පළමුව රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන දිනයට දින දෙකකට පෙර සිටය. කොවිඞ් ආසාදිතයෙකු හඳුනාගත් පසු එම අසාදිතයාට රෝග ලක්ෂණ තිබේ නම්, එම රෝග ලක්ෂණ ආරම්භ වූ දිනට දින දෙකකට පෙර සිට රෝගය අනෙක් අයට බෝවීමේ අවස්ථාව තිබේ. රෝග ලක්ෂණ පෙන්වන පළමු දින සිට තවත් දින 10ක් ඉදිරියට එම බෝවීමේ කාල සීමාව ගණනය කරනු ලබයි. ඉන් පසු පැය 24කට පෙර සිට කිසිදු ඖෂධ භාවිතයක් නොමැතිව ශරීර උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමේ පවතින අවස්ථාව වන විට රෝගියාගෙන් තවත් අයට රෝගය ව්‍යාපත්ත විය හැකි කාල සීමාව පසුකර ඇති බව අනුමාන කළ හැකිය. ඉන් තවත් දින 14ක් පමණ යන තුරු ඇතැම් රෝගීන්ට වෙනත් රෝග ලක්ෂණ තිබිය හැකිය.


ආසාදිතයා සමග එම බීජඖෂණ කාලයේ සමීපව සම්බන්ධ වූ අය ද ආසාදිත වී තිබිය හැකි බැවින් ඔවුන් හඳුනා ගැනීමත් නිරෝධායනයට යොමු කිරීමත් සිදුවිය යුතු වන්නේය. ආසාදිතයෙකුට රෝග ලක්ෂණ පහළ වීමට දින දෙකකට පෙර සිට මූලික රෝග ලක්ෂණ අවසන් වන තුරු වන දින 12ක පමණ කාලය තුළ සමීපව ඇසුරු කළ පුද්ගලයන් සමීප ආශ්‍රිතයන් ලෙස සැලකේ. ඒ සම්බන්ධයෙන් මෙම විද්වත් කතිකාවලින් සහ උපදේශනවලින් ලබාදෙන පණිවුඩය පසුගිය කාලය පුරා අප මෙරට තුළ දුටු ක්‍රියවලිය මගින් අප සමාජගත කර තිබෙන පණිවුඩයට වඩා බෙහෙවින් වෙනස්ය, විද්‍යාත්මකය, සදාචාර සම්පන්නය, සමාජ හිතකාමීය.


සෙවීමට මානුෂීය පිවිසුමක්


ආසාදිතයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා යෑමේ දී ප්‍රධාන වශයෙන් මූලික පියවර 6ක් ඔවුහු හඳුන්වා දෙති. ඒ එක් එක් පියවරේ දී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද ඉතා පැහැදිලිව දක්වයි. යම් පුද්ගලයෙකු පීසීආර් පරීක්ෂණයකින් ආසාදිත බවට වාර්තා වූ පසු සෞඛ්‍ය අංශය එම පුද්ගලයා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගන්නා ආකාරයත් එම සංවාදය පවත්වාගෙන යන ආකාරයත් සම්බන්ධයෙන් වන්නේ ඉතා විද්‍යානුකූල මෙන්ම මානුෂීය පිවිසුමකි. ප්‍රථමයෙන් ආසාදිත පුද්ගලයාට තමන් කවුරුන් ද යන්න හඳුන්වා දීමත් එම පුද්ගලයාගේ මූලික තොරතුරු දැන ගැනීමත්, ආසාදිතයාගෙන් අන් අයට රෝගය බෝ විය හැකි කාලය නිශ්චය කරගැනීමත්, සමීප ආශ්‍රිතයන් හඳුනා ගැනීමත්, හුදෙකලාව සිටිය යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම සහ ඊට එම පුද්ගලයාට ඇති අභියෝග විමසා ඒවාට උපකාර ලබා දීමට උත්සාහ කිරීමත් ආදිය සිදුකළ යුතු ප්‍රවේශයන් සම්බන්ධයෙන් මෙම විද්වතුන් වටිනා සාකච්ඡාවක් ගොඩනගයි. ඉන් පසු ආසාදිතයාගේ සමීප ආශ්‍රිතයන් සම්බන්ධ කරගන්නා ඔවුන් ආසාදිතයාට නිරාවරණය වූ දින නිර්ණය කර ගැනීම, රෝග ලක්ෂණ තිබේ දැයි තහවුරු කරගැනීම, නිරෝධායනය විය යුතු කාලසීමාව නිශ්චය කිරීම, ඊට අදාළ උපදෙස් ලබාදීම සහ ඒ සඳහා අභියෝග තිබේ නම් ඒවා හඳුනාගෙන ඊට උපකාර සොයාදීම සිදුවේ. ඔවුන්ගේ හුදෙකලා හෝ නිරෝධායන කාලසීමාව අතරතුර පසුවිපරම් කිරීම ද මෙම ආශ්‍රිතයන් සොයා යෑමේ ක්‍රියාවලියට අයත්ය.


ඔවුන්ගේ උපදේශනයන්ට අනුව මේවා සිදුවිය යුතු වන්නේ ඉතාම සදාචාර සම්පන්න පිවිසුමකිනි. එමෙන්ම ආසාදිතයන්ගේ හෝ ආශ්‍රිතයන්ගේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය රැකගනිමිනි. තොරතුරු ලබා ගැනීම සිදුවන්නේ වසංගතය ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් පමණක් බවට ඔවුහු අවධාරණය කරති. ඔවුන් එම සංවාදය ආසාදිතයා හෝ ආශ්‍රිතයා සමග අරඹන්නේ ද එහි රහස්‍ය බව ආරක්ෂා කිරීම සම්න්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමකිනි. අසාදිතයා පවුලේම අයෙකු වැනි සමීපතම අයෙකු නොවේ නම් හෝ වසංගතය පාලනයට අත්‍යවශ්‍ය නොවේ නම් ආසාදිතයා කවුරුන් ද යන්න පිළිබඳ ආශ්‍රිතයන්ට කතා කරන විට ඔවුන්ට හෝ හෙළි කිරීමක් සිදුවන්නේ නැත. ඇතැම්විට යම් ආශ්‍රිතයෙකු හෝ ආසාදිතයෙකුට වෙනත් නීතිමය ගැටලු තිබිය හැකි වුවත් වසංගතය පාලනයට අදාළ කරුණු මිස ආශ්‍රිතයන් සොයා යන්නාට අනෙකුත් කාරණා සම්බන්ධයෙන් කටයුතු නොකළ යුතු බව ඔවුහු සඳහන් කරති.

ආසාදිතයන් හෝ ආශ්‍රිතයන් ලුහුබැඳීම සම්බන්ධයෙන් ඔවුහු අධ්‍යයනයන් ලබාදීම හා පුහුණු කරවීම් සිදුවන්නේ එවැනි පිවිසුමකිනි. එමෙන්ම හුදෙකලා හෝ නිරෝධායනය වන පුද්ගලයාට අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ, මුඛ ආවරණ වැනි දේ සපයා ගැනීම ආදිය සම්බන්ධයෙන් ගැටලු තිබේ නම් ප්‍රාදේශීය සමාජ සේවා කණ්ඩායම්, ස්වේච්ඡා සංවිධාන ආදිය සම්බන්ධ කර ගැනීමේ පහසුකම් ද මෙම සාකච්ඡා අතරතුර ලබාදෙනු ලබයි. හදිසි ප්‍රතිකාර අවශ්‍යතාවක් ඇති වුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීම් ද ලබා දෙනු ලැබේ. තාක්ෂණික මෙවලම් භාවිතයෙන් ආශ්‍රිතයන් හඳුනා ගැනීම, නිරෝධායනයේ දී අවශ්‍ය පහසුකම් සපයා ගැනීම ද සිදුකළ හැකි බවත් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි හුදෙකලා වීම හෝ නිරෝධායනය වීමට ඉල්ලීම් කළ හැකිවන අතර එමගින් එම පුද්ගලයාට මෙන්ම සමාජයට වන යහපත පැහැදිලි කළ යුතු බව ඔවුහු පවසති.


Contact tracing (ආශ්‍රිතයන් සෙවීම) යනු පුද්ගල අයිතිවාසිකම් සහ පොදු සමාජයේ යහපත අතර සමතුලිතතාව පවත්වා ගනිමින් කළ යුතු කාර්යයක් බැවින් ආශ්‍රිතයන් ලුහුබඳින්නන් (Contact Tracers) මෙම සමතුලිතතාව පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඉතාමත් සංවේදී විය යුතු ආකාරය මෙම සාකච්ඡාවන්වල ප්‍රධානත්වයක් ගෙන තිබේ. එමෙන්ම ඔවුන්ගේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය පිළිබඳ අවධානය යොමු කළ යුතු බව මෙම කථිකාවේ දී වඩාත්ම අවධාරණය යොමු කරයි.


මෙම සාකච්ඡා හා අධ්‍යයනයන් මගින් වටහා ගතහැකි වන්නේ කොවිඞ් වසංගතය පාලනය සිදුකළ යුතු විද්‍යාත්මක හා සමාජ හිතකාමී ප්‍රවේශයන් තිබෙන බව හා ඒවා වඩා සාර්ථක බවය. එවැනි ප්‍රවේශයන් මගින් ඇතැම්විට ස්වයං නිරෝධානයනයේ හෝ හුදෙකලාවේ වීමේ පහසුකම තිබෙන අයට අවශ්‍ය උපදෙස් ලබා දීමකින් පසු ඊට යොමු කළ හැකිය. එසේ පහසුකම් නොමැති අයට අවශ්‍ය පහසුකම් සැපයීමේ ක්‍රමවේද වලට යොමු කරවිය හැකිය. මේවා ප්‍රාදේශීය මට්ටමෙන් සංවිධානය කිරීමට ලංකාව වැනි රටකට අපහසු වන්නේ නැත. විවිධ ස්වේච්ඡා සංවිධාන, ආගමික ස්ථාන ආදිය හරහා පහසුකම් අවශ්‍ය අයට සැපයීමේ ක්‍රමවේද සකස් කළ හැකිය. හුදෙකලා කර හෝ නිරෝධායනයට යොමු කර ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමෙන්ම අධීක්ෂණය කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය නම් කෙටි පුහුණුවීම් ලබා තවත් අය යොදවා ගත හැකිය. එමෙන්ම කොවිඞ් ආසාදිතයන් හෝ ආශ්‍රිතයන් මාධ්‍යකරුවන් හෝ වෙනත් අය විසින් වටකර අල්ලාගෙන රැගෙන යා යුතු පිරිසක් නොවන බව වටහා ගත යුතුය. ඔවුන්ගේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂා කළ යුතුය. එවැනි වැඩපිළිවෙළක් තුළ කොවිඞ් ආසාදිතයන් සැඟවී සිටීමට හෝ පලා යාමට හේතු තිබිය නොහැකිය. එමෙන්ම එවැනි වැඩපිළිවෙළක් හරහා මහා කලබලයක් හෝ යුද්ධයක චිත්‍රයක් නිර්මාණය නොවනු ඇත. එය රටේ අනෙකුත් කටයුතු ද ඉදිරියට පවත්වාගෙන යෑමට පහසුවක් බවට පත්වනු ඇත. අවශ්‍ය වන්නේ එවැනි ශක්තිමත් වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීම පමණි. ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here