නිමල් අබේසිංහ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හදිසියේ නින්දෙන් අවදි වූවා සේ හම්බන්තොටදී රටේ ජනතාව අමතා කළ කතාව ඇසූ අපට සිතෙන්නේ සැබෑවටම ඔහුගේ ඒ දේශනාව නින්දත් නොනින්දත් අතර සිටින්නෙකුගේ මුවින් පිටවෙන වදන් පෙළක් බවය.

‘එක රටක් එක නීතියක්’ ජනාධිපති කාර්ය සාධක බලකායට ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත් කිරීම, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට නාරාහේන්පිට අභයරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කිරීම පමණක් නොව, පොහොර ඉල්ලා අරගල කරන ගොවීන්ගේ බෙල්ලෙන් අල්ලන්නට වුවත් හැකියැයි පැවසීම (බෙල්ලෙන් ඇල්ලිය හැකි වුවත් එසේ නොකරන බව කීවේය.) වැනි කරුණු කාරණා ඇසුරෙන් මේ සැක සංකා පහළ වේ.

පසුගිය වසර පහක් තිස්සේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එක රටක් එක නීතියක් සංකල්පය වෙනුවෙන් පෙනී සිටි අයෙකු බවත් ඒ ගැන ඒ හිමියන් දැඩි උනන්දුවක් දැක්වූ බවත් එනිසා එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානියා ලෙස ඒ හිමියන් පත් කිරීම වරදක්දැයි ජනාධිපතිවරයා සිය කතාවේදී කීවේය. ඔහු අවධාරණය කළේ මේ සඳහා ගලගොඩඅත්තේ හිමියන් හැර වෙනත් කිසිවෙකු සමස්ත රටෙහිම නැති බව අඟවමිනි.

බුද්ධ පුත‍්‍රයකු ලෙස පෙනී සිටින ඥානසාර භික්ෂුව රටේ නීතිය තබා බුද්ධ නීතියවත් (විනය පිටකය) හරිහැටි නොදන්නා බව නම් සක්සුදක් සේ පැහැදිලිය. ඒ හිමියන්ගේ චර්යාව සාමණේර භික්ෂුවකට තරම්වත් නොවටී. භාෂා විලාශය අංගචලනය සහ භාෂාව උසුරවීමේ විධිය දකින්නෙකුට ඒ බව හොඳින්ම පැහැදිලි වනු ඇත. නිරන්තරයෙන් වෛරී භාෂා විලාසයකින් කතා කරන ගලගොඩඅත්තේ හිමියන්ගේ අංග චලනයන්ද ඊට සමාපත වෙයි. එවැනි ශ‍්‍රමණ ධාරියෙකු චීවර ධාරියෙකු මිස භික්ෂුවක වන්නේද?

ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවගේ අතීත ක‍්‍රියාකාරකම් දෙස බලන විට ඒවාද යහපත් ඒවා නොවේ. බීමත්ව රිය පැදවීමේ වරදට දඬුවම් විඳ ඇති ඔහු බීමත්ව රිය පැදවීම රටේ පවතින නීතිය අනුව වරදක් බව නොදන්නේද? ඔහු ඒ වරද කර ඇත්තේ නොදැනද? එවන් අයෙකු මේ රටේ නීති සම්පාදනය කිරීම උදෙසා පත් කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකායක සභාපති ලෙස පත්කිරීම විකාරයක් මෙන්ම විහිළුවකි.

මේ හේතුව නිසා මේ වනවිටත් මුස්ලිම් ප‍්‍රජාව තැතිගැන්මකට පත්වී සිටිනු නොහැකි විය හැකිද? දැඩි මුස්ලිම් විරෝධියෙකු ලෙස හැඳින්විය හැකි ගලගොඩඅත්තේ ඥානසාර හිමි පිළිබඳව සමාජ සාධාරණය පිළිබඳව සිතන මෙරට යුක්තිගරුක ප‍්‍රජාව තුළ යහපත් ආකල්පයක් නොපවතී. එබැවින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සමාජ සාධාරණත්වය වෙනුවෙන් ක‍්‍රියා කරනු ඇතැයි සිතිය නොහේ. සියලූ සමාජ කොට්ඨාසයන්හි ගෞරවයට පාත‍්‍රවන පුද්ගලයන් සිටිය යුතු තැනක මෙවැනි විපර්යාස කිරීම තුළින් ප‍්‍රදර්ශනය වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපරිණතභාවය මිසෙක වෙන කුමක්ද?

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කිරීම සාධාරණීකරණය කිරීමට ජනාධිපතිවරයා පැවසූ හේතු අපූරුය. ඒ හිමියන්ගෙන් උපදෙස් ගන්නට විවිධ දේශපාලන නායකයන් හා සිවිල් ක‍්‍රියාකාරීන් යෑම එක් කාරණාවකි. ඇත්තෙන්ම ඔවුන් ගොස් ඇත්තේ උපදෙස් ගැනීමටද නොමැති නම් වෙනත් කාරණාවකටද?

දෙවැනි කාරණාව එයටත් වඩා උපහාසය දනවන්නකි. එනම් ජනාධිපතිවරයාට බලයට පත්වන්නට මුරුත්තෙට්ටුවේ හිමියන් උදව් කර තිබෙන බව පැවසීම ඒ කාරණාවය. එසේ නම් ජනාධිපතිවරයා මේ කර ඇත්තේ තමන්ට කළ උදව්ව වෙනුවෙන් පෙරළා උදව් කිරීමය. එනයින් බලන විට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්කිරීමට පෙරමුණු ගත් අනෙක් භික්ෂූන්ටද තනතුරු තාන්න මාන්න හිමිවෙන බවද කෙනෙකුට විශ්වාස කරන්නට හැකි බවය.

තිබෙන තොරතුරුවල හැටියට නම් අනුරාධපුර ඥානක්කාගේ දෙවොලට උපදෙස් පතා දස දහස් ගණනින් යති. මෙහි උපදෙස් පතන්නෝ කවුරුන්ද යන්න රටට රහසක්ද නොවේ. එය අපටත් වඩා හොඳින් සමහරවිටෙක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාද දන්නවා ඇතැයි හඟිමු. එසේ වන්නේ නම් නුදුරේදීම රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට ඥානක්කා පත් කරන්නට ඉහත දැක්වූ හේතුවලින් එකක් පාදක කරගත හැකිය.

අවශ්‍ය නම් උද්ඝෝෂණය කරන ගොවියන්ගේ බෙල්ලෙන් අල්ලන්න හැකිමුත් තමන් එසේ නොකරන බවද සිය කතාවේදී ජනාධිපතිවරයා කීවේය. මේ කතාව සම්බන්ධයෙන් බොහෝ දේ කිවහැකි මුත් එක් වැකියකින් එය හමාර කළ හැකිය. එනම් මින් පෙනෙන්නේ ජනාධිපතිවරයාගේ පරිණතභාවයේ වපසරියය.

පැන්ඩෝරා පේපර්, ප‍්‍රතික්ෂේප කරන ලද චීන කාබනික පොහොර නිසා මහජන බැංකුව අසාධු ලේඛනගත කරන බවට චීනය තර්ජනය කිරීම, සතොස සුදුළුෑණු වංචාව, සිමෙන්ති, ගෑස් හා ආහාර හිඟය, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පාලනය ඉවත් කිරීම වැනි රටේ දැවෙන ප‍්‍රශ්න ගැන මේ කතාවේදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු නොවීමද පුදුමය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට පිවිසුණේ සෞභාග්‍යයේ දැක්ම නම් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය පෙරදැරි කරගෙනය. ඒ පෙරහැරෙහි පතාක යෝධයින් වූයේ වියත් මගේ සාමාජිකයන් මෙන්ම විවිධ සංවිධාන අටවා ගත් භික්ෂූන්ය.

බලයට පැමිණි පසුව ජනාධිපතිවරයා වියත් මගෙහි සාමාජිකයන්ට මේ රටේ ආර්ථික හා පරිපාලන මර්මස්ථානයන්හි ප‍්‍රධාන තනතුරු ප‍්‍රදානය කළේ මහා පම්පෝරියක්ද ගසමින්ය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සිය අකාර්යක්ෂමභාවය ප‍්‍රදර්ශනය කරමින් ඇණ ගත්හ. කිහිපදෙනෙකු සිය නම්බුව බේරාගෙන තනතුරුවලින් ඉවත් වූහ. ඒ කෙරුවාවේ තරමත් රටට දැන් පැහැදිලිය. අපට පෙනෙනෙන්ට තිබෙන හැටියට නම් ජනාධිපතිවරයා දෙවැනි වළල්ලට පැමිණ සිටී. ඒ තමන්ට උදව් කළ භික්ෂූන්ට උදව් කිරීමටය. ඒ අනුව ඔවුනටද තනතුරු හිමිවනු ඇත. ප‍්‍රශ්නය වන්නේ ඔහුව බලයට පත් කළ හැටනව ලක්ෂය වෙනුවෙන් කළ හෝ කරන උදව්ව කුමක්ද යන්නය. තිබෙන ලකුණු අනුව නම් ඔවුන්ට පටි තදකර ගන්නැයි කියනවා හැර වෙන කිසිවක් ඉතුරුව නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here