විමලනාත් වීරරත්න


අප්‍රේල් 21 වැනිදා ජනාධිපතිවරයා රාජ්‍ය අමාත්‍යවරුන් හමුවකදී කීවේ රාජ්‍ය ආයතනවල දූෂණය ආණ්ඩුවට බරපතළ ප්‍රශ්නයක් වී ඇති බවත් එය වැළැක්වීමට ඇමතිවරු පියවර ගත යුතු බවත්ය. අක්‍රමිකතාවල නියැළෙන නිලධාරීන් මාරු කිරීම, ඉවත් කිරීම හා නිලධාරීන් අධීක්ෂණයට රාජ්‍ය අමාත්‍යවරුන් ක්‍රියා කළ යුතුව ඇතැයිද හෙතෙම කීය. මෙම ප්‍රකාශය ඔහු කළ දවසේ ම නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඉල්ලා අස්වී තිබුණේ තම විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා දූෂිත නිලධාරියකු බඳවා ගැනීමට දිගින් දිගටම බලපෑම් කිරීම හේතුවෙනි. ඒ පිළිබඳව සභාපතිවරයා ජනපති හා අගමැති දැනුවත් කර තිබුණි.


රාජ්‍ය අංශයේ දූෂණය පිළිබඳව ජනපතිවරයාගේ උපකල්පන බරපතළ බව පළමුව කිව යුතුව ඇත. ඔහු විශ්වාස කරන්නේ ප්‍රශ්නය තිබෙන්නේ නිලධාරීන්ගේ යන්නය. එනම් නිලධාරීන් දූෂණයට පෙළඹී සිටින බවය. ජනපතිගේ ඊළඟ උපකල්පනය වන්නේ දේශපාලනඥයන් පවිත්‍රය, නිලධාරීන් පිළිබඳ විනිශ්චයට සුදුසුය යන්නය. මේ උපකල්පන සාවද්‍යයය. නිලධාරීන් අතර කළු මෙන්ම සුදු නිලධාරීහු සිටිති. දේශපාලනඥයන් ගතහොත් වැඩි පිරිසක් දේශපාලනයට පැමිණ සිටින්නේ පරම්පරා ගණනකට හරි හම්බ කර ගැනීමට බව කවුරුත් දනිති. දැරණියගල ප්‍රාදේශීය සභා සභාපති 17දා රක්ෂිත බන්ධනාගාර ගත කැරුණේ වතුර මීටර් 98ක් සොරකම් කර ඇති බවට නැගුණු චෝදනාවකටය. මේවා තරමක් කුඩා සොරකම්ය. මහ බැංකු කොල්ලය, සීනි බදු වංචාව වැනි දේවල් මගින් විශාල කොල්ලකෑම්වලට දායක වූවෝ සිටිති. කොහොමටත් දැරණියගල වතුර මීටර් කාරයාත් මාස කිහිපයක් ඇවෑමෙන් ආණ්ඩුවේ ප්‍රධාන ව්‍යාපෘතිය වන නිදොස් කොට නිදහස් කිරීමේ ක්‍රියාවලියෙන් ගොඩ යනු ඇත. සභාපති කළයුත්තේ එතෙක් තම පක්ෂයේ ලොකු මිනිහෙකුට ගොට්ට අල්ලාගෙන සිටීම පමණි.


ජනපතිගේ පරිකල්පනය


ජනපති දේශපාලකයන් නිවැරදි යැයි සිතන්නට එක් ප්‍රධාන හේතුවක් ලෙස පෙනෙන්නේ ජනපති මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේ සිට බරපතළ චෝදනාවලට ලක්වූ ඇමතිවරුන් යහපාලන සමයේ නඩු වැටී සිට පසුගිය ආසන්න සමයේ නිදොස් කොට නිදහස් වීම නිසාය. මුලින් සොරකම් කොට පසුව සොරකම් කළ එම මුදලම පියවා තිබුණත්, නිදොස් කොට නිදහස් කිරීමෙන් පසු එම පුද්ගලයන් වැරදිකරුවන් ලෙස නොපෙනෙන්නට පුළුවන. එනම් අවභාවිත කළ මුදල පසුව ගෙවූ පුද්ගලයා අනිවාර්යයෙන් හරන්තිකයකු බව ප්‍රත්‍යක්ෂ කරගත හැකි වුවත්, මොනයම් හෝ අධිකරණ ක්‍රියාවලියකින් නිදොස් කොට නිදහස් කිරීම නිසා හොරා තමන් වුව තමන් සොරකු යැයි නොපෙනීමට පුළුවන. ජනපති වුව තවමත් යම් මිලිටරි මානසිකත්වයක සිට සිවිල් මානසිකත්වයකට රූපාන්තරණය වෙමින් සිටින නායකයකු නිසා ඒකමානී මිලිටරි මනසකින් මේ තත්ත්වය නිරීක්ෂණය කරන්නට පුළුවන. ඇතැම් විටෙක මිලිටරිය හා දේශපාලන සංස්ථාව එකක් ලෙස සලකන අවස්ථාවකදී ඇමතිවරු සර්වතෝභද්‍ර යැයි ඔහුට සිතෙන්නට පුළුවන. ගෝඨාභය මහතා මෙන් ම සරත් ෆොන්සේකා මහතාත් මිලිටරිය හැමවිටම ලැදියාවන් පෙරදැරිව නිදොස් කොට නිදහස් කරති. සරත් ෆොන්සේකාත් හැමවිටම කියන්නේ තමන් අණ දුන් හමුදාව යුද අපරාධ නොකළ බවය.

ගෝඨාභයත් එයම කියන විට මිලිටරි මානසිකත්වයේ ස්වභාවය බාහිරින් බලන කෙනෙකුට තේරුම් ගත හැකිය. තමන් අනුගත සංස්ථාව නිවැරදි යැයි උපකල්පනය කොට ක්‍රියා කිරීම තරම් වරදක් තවත් තිබිය හැකිද?


විශ්වාසය අහිමි වීම


ජනපති ගෝඨාභයට මේ වනවිට තමන් පිළිබඳවම ඇති විශ්වාසය පළුදුවෙමින් ඇති බවක් පෙනේ. වරාය නගරය සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රශ්නයට ජනපති බුද්ධිමත්ව පිළිතුරු දෙන තැනකට යන බවක් නොපෙනීමෙන් එය ප්‍රත්‍යක්ෂ වෙයි. පා.ම. විජේදාස රාජපක්ෂ මතු කළ කාරණය සම්බන්ධයෙන් ජනපති ආවේගශීලීවීමෙන් පසුව හෝ වරාය නගරයෙන් ශ්‍රී ලංකාවට ගත හැකි ප්‍රතිලාභ පිළිබඳව තාර්කික පිළිතුරක් ලබා දිය යුතුව තිබුණි. ලංකාවේ ක්‍රියාත්මක සියලු බදු පැනවීම්වලින් නිදහස්ව විශේෂ කොමිෂන් සභා පනතක් මගින් පාලන කටයුතු කිරීමට යන වරාය නගරය ගැන විජේදාස මතු කළ ප්‍රශ්නය වැදගත්ය. එය ගැඹුරු ලෙස සාකච්ඡාවට බඳුන් කළ යුත්තකි. ප්‍රශ්නය වසන් කිරීමේ අරමුණින් විජේදාස රාජපක්ෂගේ පැටිකිරිය ඇද ගැනීම ඇත්ත ප්‍රශ්නයෙන් පලායෑමකි. ඔහුගේ දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳව රටට පමණක් නොව ඔහුගේ ගෙදර අයටත් ප්‍රශ්න තිබෙන්නට පුළුවන. එහෙත් ඔහු බලවත් ලෙස පෝට් සිටි ප්‍රශ්නය වෙනුවෙන් මේ මොහොතේ පෙනී සිටීම සැලකිය යුතු කාරණයකි. විපක්ෂයටත් එම ශක්‍යතාව නොතිබුණු තත්ත්වයක් තුළ මන්ත්‍රීවරයකු ලෙස විජේදාස මහතාගේ නැගිටීම සිසිර නිද්‍රාවක සිටියවුන්ටත් ඇහැ ඇරෙන සිදුවීමක් වූයේය.


වරාය නගරය පිළිබඳ කොමිෂන් සභා පනතට එරෙහිව පෙත්සම් 19ක් ඉදිරිපත්වීමත් ඒවා මගින් පනත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හා ජනමත විචාරණයක් ඉල්ලා සිටීම බොහෝ දුරට ආණ්ඩුවේ අභිප්‍රාය ඉෂ්ට කර ගැනීමට ලොකු බාධකයක් විය හැකිය. ජනමත විචාරණය මෙහිදී නොලැබීමට වැඩි ඉඩක් ඇති අතර, පාර්ලිමේන්තුවේ 2/3 මගින් පනත සම්මත වීමට ඉඩ ඇත. මේ පිළිබඳවත් ආණ්ඩු පක්ෂය තුළ මත බෙදීමක් හා දෑස් පියාගෙන අත් එසවීමට එරෙහිව විරෝධයක් මතු වුවහොත් 2/3 ලබාගැනීමද පහසු නොවනු ඇත. ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම, විශේෂයෙන්ම ගෝඨාභය මහතා බලයට පත් කිරීමට ක්‍රියා කළ සංඝ සමාජයම මෙම පනත වෙනස් කරන ලෙස මේ වනවිට ඔහුට බලකර කියන තත්ත්වය තුළ ජනපතිට හිතුවක්කාරී ක්‍රමයකට ඉදිරියට යාමද කළ නොහැකිව තිබේ.


ජනතා සහන


පෝට් සිටි ඔස්සේ මහත් ලෙස ආයෝජන අවස්ථා රටට ලැබෙන බව ආණ්ඩුවේ එක්තරා ප්‍රවාදයකි. ආණ්ඩුව බොහෝ ව්‍යාපෘති ගැන කියන්නේත් එම කතාවමය. එහෙත් රටේ විනිමය අනුපාතය පැයෙන් පැය පහළ යයි. රටේ දුප්පත්කම දිනෙන් දින වැඩිවෙයි. දුප්පත්කම නිසා සිය දිවි නසා ගන්නා ප්‍රමාණය ඉහළ යයි. ක්ෂුද්‍ර මූල්‍ය ණය ප්‍රශ්නය ගැමි ජනයා පෙළන ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන්නේ රටෙහි දරිද්‍රතාව වැඩිවී තිබෙන පසුබිම තුළය. ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවන බව ගෝඨාභය මහතා බලයට ඒමට පෙර කීවේය. රැවටීමට ලක්වූ ජනයා දැන් මුහුණ පා සිටින්නේ පිළිතුරු නැති ප්‍රශ්නයකටය. වගකිවයුත්තෙක් නැති ප්‍රශ්නයකටය. අඩුම තරමින් 35% පොලී අනුපාතිකයවත් නීතියක් ලෙස ක්‍රියාත්මක කරවීමට ක්ෂුද්‍ර මූල්‍ය ණය ප්‍රශ්නයේදී රජයට නොහැකි වී තිබේ. පොලී අනුපාතිකය 100%-220% දක්වා වන මහා පරිමාණ අසාධාරණයවත් නවතාලීමට ජනපති කටයුතු කළ යුතුව ඇත.


පෝට් සිටි මගින් ගැමි ජනයාගේ දුප්පත්කම නැති කළ හැකිද යන ප්‍රශ්නය ජනපතිගෙන් ඇසුවහොත් ඔහු අපි ප්‍රැක්ටිස් කරන එම ටූල් එක දෙස පැණික් නොවී බලා සිටින්න යනුවෙන් පවසනු ඇත. එහෙත් ප්‍රශ්නය දිගටම පවතිනු ඇත. හොඳම නිදසුන පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් නීතියේ රැහැනට කොටු කර ගන්නා බවට ඔහු දුන් පොරොන්දුවය. කාදිනල් හිමි පසුගියදා ජනපති හා ආණ්ඩුව බලයට පත්වීමට පාවිච්චි කළ උපාය මාර්ගයක් පිළිබඳව බරපතළ ප්‍රකාශයක් කළ අතර පසුදිනම උන්වහන්සේ එය නිවැරදි කිරීමටද පියවර ගත්හ. යහපාලන රජය පරාජය වීමට පාස්කු ප්‍රහාරය මෙන්ම බැඳුම්කර වංචාව තදබල සාධක වූ අතර ගෝඨාභය සහ ආණ්ඩුව බලයට ඒමටත් ඒ දෙක ඉවහල් වූයේය. එහෙත් ලංකාවේ නායකයන් රටේ ඛේදනීය ප්‍රශ්න පාවිච්චි කරන්නේ බලය ලබාගැනීමට පමණක් යන්න එමගින් තවදුරටත් ඔප්පු කැරිණි. ප්‍රශ්න විසඳීම ඔවුහු මග හරිති. ඒ අනුව මහ බැංකු හා පාස්කු යන දෙකම වත්මන් රජය මගහරින ප්‍රශ්න වෙයි. ගෝඨාභයගෙන් පසුව බලයට එන්නේත් දැනට සිටින පක්ෂ, විපක්ෂ නායකයන්ගෙන් කෙනකු නම් අනාගතයටත් මේ ප්‍රශ්න නොවෙනස්ව ඉතුරු වන බව කිව හැකිය. ලංකාව තිබෙන්නේ ඒ සා කනගාටුදායක හා එකතැන පල්වෙන ඉරණමකය.


කැලෑ පාළුව පිළිබඳවද ජනපතිට පිළිතුරක් නැත. ඔහු පරිසර සංරක්ෂණය කළ බව කීමට ඉදිරිපත් කරන උදාහරණය කෝට්ටේ, බොරලැස්ගමුව හා කැස්බෑවය. කෝට්ටේ දියත උයන, බොරලැස්ගමුව හා කැස්බෑවේ තෙත් බිම් ආශ්‍රිතව ඇවිදින මංතීරු සකසා ඇත. කොළඹට ආසන්න එම ප්‍රදේශ තුනෙහිම වනාන්තර නැත. වනාන්තර විනාශය සිදුවන්නේ වන ගහණය සහිත කලාපවලය. ජනපති කොළඹ මං තීරු පෙන්වා හතර අතින් චෝදනා එල්ල වන වනාන්තර විනාශය පිළිබඳ ඇත්ත ප්‍රශ්න වසන් කරනවාදැයි සැකයක්ද මතු වේ. මේ ක්‍රමයට ඔහුට ධුර කාලය ගත කිරීමට සිදුවන්නේද නොසන්සුන් මනසකිනි.


අභ්‍යන්තරයෙන් බිඳ වැටෙයිද?


යහපාලන ආණ්ඩුවේ වුව අභ්‍යන්තර ප්‍රශ්න පුපුරා ගියේ 2018දීය. එනම් වසර 03ක් ඇවෑමෙනි. වත්මන් ආණ්ඩුවේ සහයෝගිතාකරුවන්ගෙන්ම ඊට විවේචන එල්ල වන විට ජනපතිගේ ධුර කාලයෙන් ගෙවී ඇත්තේ මාස 16කි. එය බරපතළ කාරණයක් ලෙස ජනපති භාර ගත යුතුව ඇත. අනෙක් අතට ආණ්ඩුවේ තුනෙන් දෙක නිසා විපක්ෂය බෙලහීනය. ඊට ඔවුන්ගේ අසමගිකම්ද බලපෑ තත්ත්වය තවත් බරපතළය. එහෙත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරාවුල මගින්ම මේ වනවිට විපක්ෂයට මෙතෙක් නොතිබුණු වලංගුභාවයක් ලබාදී ඇත. 2015දී රාජපක්ෂ මහතා පරාජයවීමටත් බලපෑවේ අභ්‍යන්තර ආරාවුල්ය. එසේ ආරාවුල් නිසා බලයට පත්වන කණ්ඩායම් ආණ්ඩු හැදුවත් ඒවා උපතින්ම බෙලහීන බැව් පෙනේ. මන්දයත් එවිට ආණ්ඩුවලට ශක්තිමත් පාදමක් නැති බැවිනි. විජේදාස රාජපක්ෂ බැලුම සිදුරු කිරීමෙන් හා ඇල්ලේ ගුණවංශ හිමි එම සිදුර තව විශාල කිරීමෙන් බැලුමෙහි හුළං ඇරිය හැකිය. එහෙත් එසේ හදන ආණ්ඩුවලින් කළ හැක්කේ බලයේ සිටින නායකයා පරාජය කිරීම පමණි. 2015 මහින්ද පරාජය කළත්, මහින්ද ගොඩ නැගූ ආන්තික මතවාදය පරාජය කළ නොහැකි විය. රටට අවශ්‍ය එම මතවාදය පරාජය කළ හැකි චින්තනමය දේශපාලනයකි. ලංකාව ඕනෑ සිල්ලර දේශපාලන වෙනසක් නොවේ. මෙම දුර්වල ක්‍රමය වෙනස් කළ හැකි පදනම් දේශපාලනයකි.


රට තිබෙන්නේ බංකොළොත් හා ගරා වැටෙමින් තිබෙන තත්ත්වයකය. සෑම ක්ෂේත්‍රයක්ම තිබෙන්නේ ප්‍රතිසංස්කරණ අවශ්‍ය තත්ත්වයකය. ඒවා ගැන ආණ්ඩුව හෝ විපක්ෂය කතා කරනු නොපෙනේ. රාජ්‍යයක් පූර්ණ හා ව්‍යුහාත්මක වෙනසකට යෑමට පෙර සමාජ ප්‍රතිසංස්කරණ අරගලයක් රටට අවශ්‍යය. ඒ සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදිය. ඒ සඳහා අවශ්‍ය ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරයකි. එම දේශපාලන ව්‍යාපාරය ගොඩනැගීම ඉදිරි වසර තුනෙහි අප ඉදිරියේ ඇති වැදගත් කාර්යභාරයක් වනු ඇත. එමෙන්ම සියල්ල ඉදිරී ගරා වැටුණු තත්ත්වයක් තුළ එය බරපතළ අභියෝගයක්ද වනු ඇත. ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here