නිමල් අබේසිංහ

ශ‍්‍රී ලංකාවේ පාවෙන විදේශ විනිමය අනුපාතියක් පවතින බැවින් ඩොලරයක මිල රුපියල් 350 දක්වා ඉහළ යෑම වළක්වා ගත නොහැකි බවත්, එයට හේතු පාදක වන කරුණු කාරණා රැසක් පවතින බවත් ආර්ථික විශේෂඥයෝ කියති.

රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි පවසන්නේ 2001 වසරේ ජනවාරි සිට අද දක්වාත් පවතින්නේ පාවෙන විදේශ විනිමය අනුපාතිකයක් බවය. මෙවැනි තත්ත්වයක් පවතින අනෙක් රටවල් එසේ පාවෙන විදේශ විනිමය අනුපාතිකයක් පැවතීමට ඉඩ නොතබන බවය. ශ‍්‍රී ලංකාව තුළද අතීතයේ එවැනි බාධක ගොඩ නැගුවද දැන් පවතින ආර්ථික තත්ත්වය අනුව එය වළකා ගැනීමට කටයුතු කළ නොහැකි බවද හෙතෙම පවසයි.

ශ‍්‍රී ලංකාවේ ආනයන වියදම පියවා ගැනීම සඳහා පවතින විදේශ විනිමය සංචිතය ප‍්‍රමාණවත් වන්නේ මාස තුනක කාලයක පමණක් වීම ඊට හේතුව බව ඔහු වැඩිදුරටත් දක්වයි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන විදේශ විනිමය ආදායම් මාර්ග තුන වන ඇඟලූම්, සංචාරක කර්මාන්තය සහ මැදපෙරදිග විදේශ රැුකියා යන අංශ තුනම කඩා වැටීම නිසා විදේශ විනිමය සංචිත පහළ ගොස් ඇති බවත්, ඊට සමගාමීව වාහන ආනයනය සහ ඉන්දියාවෙන් ආහාර ද්‍රව්‍ය ආනයනය නවතා තිබුණද එය ප‍්‍රශ්නය විසඳීමට කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බව ඔහුගේ අදහසය.

මේ තත්ත්වය පවතිද්දී ශ‍්‍රී ලංකාව ලබා ගත් විදේශ ණය ගෙවීම සඳහා විශාල විනිමය ප‍්‍රමාණයක් වැයවෙන බැවින් එයට තිරසාර විසඳුමක් ලබාදීමට රට අපොහොසත් වන බවද ඔහු කීවේය. මෙවැනි තත්ත්වයකදී ආර්ථික විද්‍යා න්‍යායේ හැටියටම අර්බුදයක් ඇතිවීම නොවැළැක්විය හැකි වන බව පවසන ඔහු වැඩිදුරටත් කීවේ අර්බුදය විසඳීම සඳහා ආර්ථික විද්‍යා න්‍යාය අනුව දියහැකි විසඳුම් ද අසාර්ථකවීමේ ඉඩක් තිබෙන බවය. ඊට හේතුව කොරෝනා වසංගතය නිසා ඇතිව තිබෙන ගෝලීය ආර්ථික අර්බුදය හේතුවෙන් ශ‍්‍රී ලංකාව අපේක්ෂා කරන, ප‍්‍රධාන විදේශ ආදායම් අහිමිවීමේ ඉඩක් පැවතීමය.

චීනයෙන්, ඉන්දියාවෙන් මතු නොව බංගලාදේශයෙන් පවා ඩොලර් ණයට ඉල්ලන්නට සිදුව තිබෙන්නේ මේ සියලූ අර්බුදවලට විසඳුම් ලෙස වුවත් එයද සාර්ථක විසඳුමක් නොවන බව රාවයට මේ පිළිබඳව අදහස් දැක්වූ ආර්ථික විද්‍යාඥයෝ කීපදෙනෙක් පැවසූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here