වින්ද්‍යා ගමගේ


වර්ෂයට 13%ක ණය වර්ධන වේගයක් පෙන්නුම් කරන ශ‍්‍රී ලංකා ආර්ථිකයෙහි, දැනට පවතින ආර්ථික වර්ධන වේගය (3%-4%) එලෙසම පැවතුණහොත් තවත් වසර 6ක් තුළ වර්තමාන ණය ප‍්‍රමාණය දෙගුණයක්, එනම් ටි‍්‍රලියන 24ක් දක්වා ඉහළ යනු ඇති බවත් එය මෙරට ආර්ථිකයට දරාගත නොහැකි තත්ත්වයක් වනු ඇති බවත් ජාතික ආර්ථික සභාවේ ලේකම් ආචාර්ය ලලිත් පී. සමරකෝන් ප‍්‍රකාශ කරයි.


2018 වර්ෂය අවසන් වන විට ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ණය රුපියල් ටි‍්‍රලියන 12ක් වූ අතර 2019 ජූනි මස වන විට මුළු ණය ප‍්‍රමාණය රුපියල් ටි‍්‍රලියන 12.6 වූ බව ශ‍්‍රී ලංකා මහ බැංකුව වාර්තා කර ඇති අතර මේ අනුව 2008 වර්ෂයේදී ටි‍්‍රලියන 3.6ක් වූ මෙරට මුළු ණය ප‍්‍රමාණය පසුගිය වසර 10ක කාලය ඇතුළත තුන් ගුණයකින් වැඩිවී ඇති බව ඔහු සිය වෙබ් අඩවියේ පළකර ඇති ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත.


2018 වසරේදී විදේශීය ණය 26% දක්වා ඉහළ ගිය අතර එය පසුගිය වසර 10ක කාලසීමාව තුළ සිදුවූ ඉහළම ණය වැඩිවීම බවත් 2018 වසරේදී මුළු ණය ප‍්‍රමාණය 16%කින් වැඩිවූ අතර එය පසුගිය වසර 10ක කාලය තුළ දෙවන වතාවට ඉහළම අගය වාර්තා කළ අවස්ථාව වන බවත් එම ලිපියේ තවදුරටත් සඳහන් වේ.


මෙසේ රටක් අධික ණය බරකින් යුක්ත වූ විට ඒ සඳහා ගෙවිය යුතු අධික පොලිය අයවැයට බරක් වන අතර එනිසා ඇතිවන අධික මූල්‍ය වියදම් ෆිස්කල් අවකාශය ( Fiscal Space) සහ එහි නම්‍යශීලීත්වය සීමා කරමින්, එය ආර්ථික වර්ධනය වෙනුවෙන් වියදම් කිරීමේ හැකියාවට ඍණාත්මක ලෙස බලපාන අතරම ඒ හේතුවෙන් රාජ්‍ය ආදායම් අඩුවී අයවැය හිඟයක් ඇතිවිය හැකි අතරම එය පියවීමට නැවත ණය ගැනීමට පෙළඹවීමෙන් ඒ හරහා රටේ ණය ගුණාත්මකභාවය ( Credit Quality) පිිරිහීම හේතුවෙන් විදේශයන් හරහා ණය ප‍්‍රතිමූල්‍ය ( Refinance) කිරීමේ හැකියාව අඩුවී අවසානයේ රට ණය පියවාගත නොහැකි තත්ත්වයකට පත්වුවහොත් ශ‍්‍රී ලංකාව ණය ආපදාවකට ( Debt Distress) පත්විය හැකි බව ඔහු අවධාරණය කරයි.


කෙසේවෙතත් 2023 වර්ෂය වන විට ශ‍්‍රී ලංකාවේ ණය ප‍්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 70%ක් පමණ අගයකට අඩුවනු ඇතැයි (දැනට එය දළ දේශීය නිෂ්පාදිතය 83% වේ.) රජය ප‍්‍රක්ෂේපණය කරන අතර එය එසේ වුවහොත් සැබැවින්ම මෙරට ආර්ථිකයට එය යහපත් ආකාරයට බලපානු ඇති බවද ආචාර්ය ලලිත් සී. සමරකෝ්න් සිය ලිපියේ සඳහන් කර ඇත. ශක්තිමත් ආර්ථික දැක්මක් සහිතව වෘත්තීය ආර්ථික කළමනාකරණයකින් මෙන්ම දේශපාලන කැපවීමක් හරහා සමාජ, ආර්ථික සංවර්ධන සැලැස්මක් ක‍්‍රියාත්මක කිරීම තුළින් ණය අභියෝග ජයගත හැකි බව සඳහන් කරමින් ජාතික ආර්ථික සභාවේ ලේකම්වරයා සිය ලිපිය අවසන් කර තිබේ.