Home පුවත් තීරු ලිපි ත්‍රස්තවාදය සහ බලය බෙදීම

ත්‍රස්තවාදය සහ බලය බෙදීම

0
412

සුනන්ද දේශප්‍රිය


විශ්‍රාමික අද්මිරාල් ජයන්ත කොළඹගේ ජනාධිපති රාජපක්ෂගේ සමීපතමයෙකි. ජනාධිපතිවරවණයෙන් පසු ගෝඨාභය රාජපක්ෂගේ විදේශ කටයුතු උපදේශක වශයෙන් පත්වීමක් ලද ඔහු දැන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාය. වත්මන් ආණ්ඩුව යටතේ ලොකු තැනක් ලබා ගෙන ඇති නිශ්ශංක සේනාධිපති සමඟ ඇවන්ගාඞ් ආයතනයේද ඔහු කටයුතු කළේය. නිශ්ශංක සේනාධිපතිට සිරකරු සුබසාධනය පවරා දුන් රාජපක්ෂ බඩ ඉරිඟු වගා කිරීමට රජයේ ඉඩම් අක්කර 40, ලබා දීමට යන බවට වාර්තා පළවිය.


එපමණක් නොව ඔහු දැන් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා වන මිලින්ද මොරගොඩ නායකත්වය දරන පාත්පයින්ඩර් රාජ්‍ය නොවන සංවිධානයේද ප්‍රබලයකු විය. මිලින්ද මොරගොඩද ගෝඨාභය රාජපක්ෂගේ උපදේශකයකු වන අතර ඔහුට ඉන්දියාවෙහි ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරය ලැබුණේ විමල් වීරවංශ යනාදීන්ගේ ප්‍රසිද්ධ විරෝධය මැදය.


එනයින් අද්මිරාල් කොළඹගේ ගෝඨාභය රාජ්‍ය යන්ත්‍රයේ බලගතු දැති රෝදයක් බවට සැකයක් නැත.
ඔහු පසුගිය දිනෙක ඉන්දියානු ආරක්ෂක කටයුතු වෙබ් රුපවාහිනියක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි විය. එහිදී ඔහු විසින් පළ කරන ලද සමහර අදහස් විමසා බැලීමට වටිනා ඒවාය.


සාකච්ඡාකරු මෙරට සංහිදියා ක්‍රියාදාමය ගැන ප්‍රශ්ණ කරන ලදුව ඔහු කියන්නේ එය ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉතා පහළින් ඇති එකක් බවයි. ඔහු කියා සිටින මුලිකත්වයන් නම් රැකියා, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ආරක්ෂාවයි. එම ලැයිස්තුවේ, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හෝ මානව හිමිකම් ඇත්තේම නැත.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි සියලුම රටවල එකඟත්වයෙන් සම්මත කරන ලද ශ්‍රී ලංකාව පිළිබද යෝජනාව ඔහුට අනුව මෙරට ජනවාර්ගික සංහිදියාවට එරෙහිව ගන්නා ලද පියවරකි.


ශ්‍රී ලංකාවේ සංහිදියාව ගැන කතා කරන අතරවාරයේ හිටපු එල්ටීටීඊ සටන්කාමීන් ගැන ඔහු කියන්නේ පුනරුත්තාපනය එතරම් පිළිගත හැකි දෙයක් නොවන බවය. “අප පිළිගන්නා පරිදි එක් වරක් ත්‍රස්තවාදියකු වූ අයෙක් සෑමවිටම ත්‍රස්තවාදියකු වේ. හොඳ ත්‍රස්තවාදියකු සහ නරක ත්‍රස්තවාදියකු කියා දෙපිරිසක් නැත. සංහිදියාව යනු මැතිවරණ සමයේ දේශපාලනඥයින් ඡන්ද ගරා ගැනීමට පාවිච්චි කරන වචනයක් පමණයි. අපි මේ සංහිදියාව යැයි කියන දිළිසෙන වචනයෙන් එළියට එන්න ඕන” යැයි ඔහු කියයි.


බලය බෙදීම සහ 13වන සංශෝධනය ගැන කතා කරමින් විදේශ ලේකම් අද්මිරාල් කොළඹගේ කියන්නේ එයින් කිසිදු යහපතක් ඇති නොවූ බවයි. “13 වන සංශෝධනයෙන් සාමය ඇති වුනෙත් නෑ. සංවර්ධනය ඇති වුනෙත් නෑ” යනු ඔහුගේ වචනය.

වරක් ත්‍රස්තවාදියකු වූ අයෙක් සෑමවිටම ත්‍රස්තවාදියකු වන්නේ නම් අදමිරාල් කොළඹගේ ගෝඨාභය රාජපක්ෂ පාලනයේ ගජ මිතුරන් වන එල්ටීටීඊයේ දෙවැනි නායකයා වූ කරුණා අම්මාන් සහ ඔහුගේ දෙවැනියා වූ පිල්ලෙයින් ගැන කියන්නේ කුමක්ද?


ගෝඨාභය රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලයේ සිටින කලක් සන්නද්ධ දෙමළ ඊලාම් යුද සංවිධානයක නායකයා වූ ඩග්ලස් දේවානන්ද ගැන කියන්නේ කුමක්ද?


ඊටත් වඩා වරක් දකුණු අප්‍රිකාවේ දරුණුතම ත්‍රස්තවාදියා ලෙස සලකන ලද නෙලසන් මැන්ඩෙලා ගැන, එසේත් නැත්තම් පිදෙල් කස්ත්‍රෝ ගැන කියන්නේ කුමක්ද?


ගෝඨාභය රාජපක්ෂගේ අමාත්‍ය මණ්ඩලය තරම් කකුල කටේ දා ගන්න වෙනත් ඇමැති මණ්ඩලයක් මෙරට තිබී නැත. දැන් සමහර විට අද්මිරාල් කොළඹගේත් ඇමැති ධූරයකට සුදුසුකම් ලබනවා වෙන්නටත් පුලුවන.

ජනාධිපති රාජපක්ෂගේ ගජ මිතුරකු වන ජාතික ආරක්ෂක ඇමැති අද්මිරාල් සරත් වීරසේකර විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා මෙසේ කීවේය:
“ළමා අපචාර, කාන්තාවන් දූෂණය කිරීම, මංකොල්ලකෑම, ඉතාම නින්දිත ලෙස පාරෙ මැද්දෙ තියලා පහර දීම් වගේ ප්‍රචණ්ඩ ක්‍රියා කරන සියල්ලන්ම හඳුනාගත් පසුව, ඔවුන්ට නඩු දාන ගමන් මාධ්‍ය තුළින් මේ අයගෙ ඡායාරූප පෙන්වලා මේ අයගෙ විස්තර මාධ්‍යයට නිකුත් කරලා අපි ජනතාව දැනුවත් කරනවා”.


එම ප්‍රකාශයට දසතින් විරෝධය නැගෙන්නට වූ විට විශේෂයෙන්ම නීතිඥ ප්‍රජාවගෙන්ද විරෝධය එල්ල වන්නට පටන්ගත් විට සරත් වීරසේකර පස්ස ගැහුවේය. මීඩියා එල්. කේ. ඩොකොම් වෙබ් අඩවියට ඔහු කීවේ “මගේ නීතිඥ දැනුම අඩුයි” කියාය. නමුත් ඔහු සිය ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්තේ නැත.


ඊට පසු සතියේ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කකුල කටේ දා ගත්තේ මෙරට සමාජ ජාල පරිශිලකයින් සියලු දෙනා ලියා පදිංචි කිරීමට තම අමාත්‍යාංශය සැලැස්මක් සකස් කර ඇතැයි කියමිනි. ඊට එරෙහිව නැගී සිටියේ ද සමාජ ජාල පරිශීලකයින්මය. ඔහුගේ ප්‍රකාශය අපහාසයට උපහාසයට පත් කැරෙන පළකිරීම් මගින් සමාජ ජාල වර්ණවත් විය. දවසක් යන්නට පෙර ඇමැතිවරයා පස්ස ගැහුවේ තමාගේ කටින් පිටවුණේ කරන්න ඉන්න දෙය නොවන බව කියමිනි.
ඇමැති බන්දුල ගුණවර්ධනගේ සිට වීරවංශ යනාදීන් හරහා ලොහාන් රත්වත්තේ දක්වාම පමණක් නොව ජනාධිපති රාජපක්ෂ දක්වාම මෙවැනි කකුල කටේ දා ගැනීම් පසුගිය කාලයේ දක්නට ලැබුණි.


ලොව පුරා රටවල් ලබා ගැනීමට පුලපුලා බලා සිටින කොවිඞ් වයිරස එන්නත් කෑගල්ලේ පැණියට විරුද්ධ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් ලෙස දක්වන ලද්දේ වාසුදේව නානායක්කාර විසිනි. වැරදි සිංහ රූපයක් සහිත බතික් ජාතික කොඩියක් ජනාධිපති රාජපක්ෂට පූජා කළේ දයාසිරි රාජපක්ෂය.


ගම්මන්පිල කියන්නේ ලෝකයට බැරි කොවිඩි පරදන ඖෂධ 50ක් දැනටමත් මෙරට සොයාගෙන ඇති බවයි. ඔහුට අනුව බැක්ටීරියා මර්දන ඹෟෂධ බටහිර වෛද්‍ය විද්‍යාව සොයාගෙන ඇතත් වයිරසයන්ට එන්නත් සොයාගෙන නැත. එහෙම නම් එබොලා එන්නත කුමක්ද? එබොලා පමණක් නොව සරම්ප, පෝලියෝ, උණ සෙම්ප්‍රතිශාව, රුබෙල්ලා යනාදී රෝග ඇති කරන්නේ ද වයිරස් මගිනි. මේ සියල්ලටම අද එන්නත් නිපදවා තිබේ.


ගෝඨාභය රාජපක්ෂ විසින් වදාරණ ලද මගේ වචනය වක්‍රලේඛනයක් සේ ගත යුතුය යන පාඨයද කකුල කටේ දමා ගැනීමකි. කිසිවකු ඔහුගේ වචන වක්‍රලේඛන සේ සලකන්නේ නැත. ඔහුගේ ලේකම්වරයා වන ජයසුන්දර මහජන උපයෝගිතා කොමිසම අහෝසි කල බවට ලිපියක් ප්‍රසිද්ධ කර මුත් ආණ්ඩුව කියන්නේ එවැනි දෙයක් සිදුවී නැති බවයි!


දැන් යළි අද්මිරාල් කොළඹගේගේ කතාවේ දෙවන කොටසට එමු. එනම් 13වන සංශෝධනය සහ පළාත් සභා ක්‍රමයයි. මෙම පළාත් සභා විරෝධය ඇවිල එන්නට පටන් ගෙන තිබෙන්නේ පසුගියදා “ඉක්මනින්ම පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතු” බවට අගමැති රාජපක්ෂ විසින් කරන ලද ප්‍රකාශයෙන් පසුය.


අගමැති රාජපක්ෂට එරෙහිව ලොකුම වෙඩි මුරය පත්තු කරන ලද්දේ වන ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම පිණිස ජනාධිපති රාජපක්ෂ විසින් පත් කරන ලද විද්වත් කමිටුවෙහි සාමාජික මහාචාර්ය ජී. එල්. පීරිස් විසිනි. දිනපතා ඉංග්‍රීසි පුවත්පතට ලිපි කිහිපයක් ලියමින් ඔහු කියා සිටියේ නව ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නා තුරු පළාත් සභා මැතිවරණය පැවැත්විය නොයුතු බවයි. තවදුරටත් ඔහු කියා සිටින්නේ නව ව්‍යවස්ථාවක් මගින් 13 වන සංශෝධනය පමණක් නොව පළාත් සභා ක්‍රමයද අහෝසි කළ යුතු බවයි.


අප මතක තබා ගත යුත්තේ, රාජපක්ෂ ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදක විද්වත් කමිටුවේ සාමාජිකයකුගේ මෙම අදහසට විරුද්ධව අන් කිසි කමිටු සාමාජිකයකු අදහස් දක්වා නැති බවයි.


එත් සමඟම නැගෙනහිර පළාතෙහි සිවිල් ආරක්ෂක බලකාය අමතමින් ජාතික ආරක්ෂක ඇමැති අද්මිරාල් වීරසේකර කීවේ පළාත් සභා ක්‍රමය අහෝසි කරන බවට තමා සපථ කරන බවයි. ඔහුට අනුව පළාත් සභා ක්‍රමය ජනාධිපති රාජපක්ෂගේ එක රටක් එක නීතියක් පිළිවෙතට බාධාවකි.


දැන් ගුණදාස අමරසේකරගේ සිට නලින් සිල්වා හරහා සකලවිධ සිංහල ජාතිකවාදි පිරිස් පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමේ අත්වැල් ගායනයට එක්ව සිටිති. ඔවුන් කියන්නේ ව්‍යවස්ථා විරෝධි ලෙස පාර්ලිමේන්තුවෙහි සරල බහුතරයක් මගින් පළාත් සභා ක්‍රමය අහෝසි කරන ලෙසයි.


මේ සම්බන්ධයෙන් තවමත් සිය පක්ෂ ව්‍යවස්ථාවෙහි ඒකාබද්ධ කරන ලද උතුරු-නැගෙනහිර පළාතක් වෙනුවෙන් පෙනී සිටින ඩග්ලස් දේවානන්ද මෙන්ම නැගෙනහිර මහ ඇමැතිවීමට බලා සිටින පිල්ලෙයාන් කුමක් කියනු ඇත්ද? ඊටත් වඩා ඉන්දියාව සහ තමිල්නාඩුව කුමක් කියනු ඇත්ද? අන්තර් ජාතික ප්‍රජාව කුමක් කියනු ඇත්ද?
අගමැති රාජපක්ෂ තමන් දැන් දෙකේ කාසියක් බව පෙන්වමින් පළාත් සභා වේදිකාවෙන් බැස යනු ඇත්ද?
20 වන සංශෝධනය සම්මත කර ගැනීමට සහාය දෙන ලද “ලැජ්ජා නැති හය” නමින් හැදින්වෙන, බලහත්කාර අදාහනයන් හමුවේ දෙකොන මූට්ටු වී සිටින මුස්ලිම් ඇමැතිවරු කුමක් කියනු ඇත්ද?


රාජපක්ෂවරුන්ගේ නව ව්‍යවස්ථා කෙටුම්පත ශ්‍රී ලංකාව මුහුණ දෙන ඊළඟ දැවැන්ත ඛේදවාචකය වනු ඇත. දැන් හේවිසිකරුවන් පාර බැස තිබේ. එම හේවිසි නාදයන්ගෙන්ගෙන් නම් කියැවෙන්නේ කැගල්ලේ පැණිය රජ කරවන අන්දමේ පසුගාමී දේශපාලනයක් මත එය පදනම්වනු ඇති බවයි.


ඇඹළයන් වී පැණියේ ගිලී මැරෙන්නේ නැති ජීවිතය සාක්ෂාත් කරනු ඇති විකල්ප අප සොයාගත යුතුය !,