Sri Lanka's new president Gotabaya Rajapaksa (C) gestures after addressing the nation during his swearing-in ceremony at the Ruwanwelisaya temple in Anuradhapura on November 18, 2019. - Sri Lanka's new president Gotabaya Rajapaksa was sworn in November 18 at a Buddhist temple revered by his core Sinhalese nationalist supporters, following an election victory that triggered fear and concern among the island's Tamil and Muslim minority communities. (Photo by Lakruwan WANNIARACHCHI / AFP) (Photo by LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images)

ටිරන් කුමාර බංගගමආරච්චි

මීට පෙර සිටි ජනපතිවරු සියල්ලටම වඩා වෙනස් තනි සිංහල බෞද්ධ ඡන්දයෙන් තෝරා ගත් අමු සිංහල ජනපති කෙනෙක් මෙවර රටට හමුවී ඇත. දැන් බෞද්ධ ජනයාට “මේ සිංහල අපගෙ රටයි” ගීතය එකාවන්ව ගැයීමට හැකිය.
මෙරට දේශපාලනය යනු තනිකරම බෙදුම් රේඛාවක් බව මෙවර ඕනෑවටත් වඩා තහවුරු විය. එය ඕනෑම තැනක බෙදීම් ඉර ලකුණු කරනු ඇත. රට ජාතිය, ආගම පමණක් නොව අසල්වැසියා මෙන්ම පවුල් තුළද මේ බෙදුම් රේඛාවේ සලකුණ දේශපාලනය විසින් අපූරුවට අඳින්නට විය. ගෝඨාට ඡන්දය දුන් සියල්ලෝ පිරිසිදු දේශප්‍රේමීන් වී ඇති අතර සජිත්ට ඡන්දය දුන් හැම මේ රටේ දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගැසී ඇත.


ගෝඨාට ඡන්දය දුන් අසල්වැසියෝ වචනයෙන් බැරිනම් ක්‍රියාවෙන් වුව ආඩම්බරකම පෙන්වති. උදේ හවා දකින අසල්වැසියා සජිත්වාදියෙක් නම් ඔහු මේ මොහොතේ බෝවන රෝගයක් බඳුය. ගෙදර බිරිඳ ගෝඨාට ඡන්දය දුන්නේ නම් ඇයට සැමියා වහ කදුරු වී ඇත. එක්කෝ විගඩමක් වී ඇත. ලංකාදීපයට විග්‍රහයක් කරන මහාචාර්ය කෙනකු ගෝඨාට අපූරු උපදෙස් දෙයි. ඔහු විග්‍රහ කරනුයේ සජිත් දිනූ දකුණේ තැන්ය. උදාහරණයකට ගාල්ල නගරය සජිත් දිනුම්ය. ගාල්ලේ අනෙක් ප්‍රදේශ පරාදය. එසේ නම් ඒ ඇයි? හේතුව ගාල්ල නගරය තුළ බහුලව මුස්ලිම් ජනයා සිටීමය. මේ ආකාරයට අනෙක් ජයග්‍රහණය කළ දකුණේ පැතිවල වැඩිපුර මුස්ලිම් දෙමළ ජනයා වසන බැවින් ඒ අය සජිත් දිනවා ඇත. ඔහුට අනුව දැන් ජනපති ගෝඨාභය කළ යුත්තේ දකුණේ මේ ප්‍රදේශ දිනාගැනීමට කටයුතු කිරීමය. මේ නොකියා කියනුයේ මුළු දකුණම එක්සේසත් කළ යුතු බවය. ප්‍රතිවාදියාට දකුණක් නොතිබිය යුතු බවය. මේ නම් මරු උගතුන්ය. කසඩ බුද්ධිමතුන්ය.


දෙකම එකද?


ජනපති ගෝඨාභය ආරම්භක කතාවේදී තමන් මෙවර සිංහල බෞද්ධ ඡන්දයෙන්ම දිනිය හැකි බව දැන සිටි බව කීවේය. ඉන්පසු තමා දිනුයේ සිංහල බෞද්ධ ඡන්ද නිසා බව අවධාරණය කළේය. මෙය බොහෝ තැන්වල කතාබහට හේතුවිය. එනම් පිරිසක් එය හෙළා දකිද්දී තව අය එය අගය කළෝය. එය වර්ගවාදී ප්‍රකාශයක් නම් සජිත්ට තනිකරම ඡන්ද දුන්නේ උතුර-නැගෙනහිර දෙමළ මුස්ලිම් අය එය වර්ගවාදී නොවේද? මේ ප්‍රධාන තර්කයය. මේ තර්කයට අනුව දෙකම එකද?
මෙහිදී කිසිවකු මතු නොකළ කතාවක් කිව යුතුය. එනම් මේ ඉර ගසාගෙන සිටීම සාධාරණද යන්නය. උතුරු-නැගෙනහිර මිනිසුන් ඡන්දය දී ඇත්තේද අමු සිංහල බෞද්ධයකුටය. එසේ නම් ඒ වර්ගවාදය කුමක්ද? සුමන්තිරන් හෝ හකීම් තරග කර මේ තත්ත්වය වූවා නම් ඉහත තර්කය හරිය. එහෙත් සජිත් යනු ගෝඨාටත් වඩා ඇඟෙන්ම සිංහල බෞද්ධයෙකි. උතුරු-නැගෙනහිර ජනතාව ඔහුව තෝරා ගැනීම මීට වඩා ගැඹුරක් නොපෙන්වයිද? ලංකාවේ සුළු ජාතීන්ට එකම රැකවරණය මහ ජාතියමය.


ඔවුන් නිතර කරනුයේ මහ ජාතියේ ඔවුන්ට සිට ගැනීමට හැකි කෙනා සමග අකමැත්තෙන් වුව සිට ගැනීමය. ඔවුන් රාජපක්ෂලා ප්‍රතික්ෂේප කිරීම කොතරම් සාධාරණ සහ යුක්තිසහගතද? දෙමළ, මුස්ලිම් මිනිසකු අවංකව වැලඳ ගන්නට බැරිනම් ඔහු සමග සිටගනු වෙනුවට තමාව වැලඳ ගන්නා අය සමග හිට ගැනීම පාපයක්ද? එහෙත් මෙවර ඡන්දය සමග එය පාපයක් කර ඇත. එනම් බෞද්ධ ඡන්ද ඔවුන්ව පරාජය කර ඇති බැවිනි. රටේ නායකකම ඉල්ලන්නේ දකුණේ නියම බෞද්ධ නායකයෝය. දෙමළ මුස්ලිම් ජනතාව කරනුයේ ඔවුන්ට යහපතක් වෙයි කියා සිතන බෞද්ධ නායකයකු තෝරා ගැනීමය. එය වරදක්ද? ඔවුන්ගේ නායකයකුට කවදාවත් මේ රටේ නායකයා විය නොහැකි නම් ඒ අයට යහපතක් වන කෙනකුට උදව් කිරීමේ අවම සදාචාරයත් මෙවර ප්‍රශ්න කරයි නම් එය මොනතරම් හිරිකිතද? ඒ මේ රටේ මිනිසුන් නොවේද? මීගමුව ජයගත් පසු කතෝලික ප්‍රජාවට ‘මැරියන්’ යැයි සාප කරන්නේ නම් එතන ඇති බෞද්ධකම කුමක්ද? ලෝකයේ මහා ශ්‍රේෂ්ඨ ආගම යැයි කියා ගන්නා බෞද්ධ දහමේ හරයට කුමක් වීද? පසුගිය කාලයේ කැස්සටත් ප්‍රකාශ නිකුත් කළ කාදිනල් මීගමුව ප්‍රශ්නයේදී ගොළුවූයේ ඇයි? මේ හැම එක ගොඬේය. මේ අනුව බලන කල රටේ හැමකෙනාම ඡන්දය දිය යුත්තේ ගෝඨාටය. එසේ නම් මැතිවරණ වුවමනාද? පක්ෂ වුවමනාද? ඕනෑම තරගකරුවෙක් මූලිකවම වටහා ගතයුත්තේ තමන් තරග කරන්නේ 50%න් එකක් හෝ ගෙන රට භාරගැනීමටය. එසේ නම් ඉතිරි 49% සිටිනුයේ තමන්ට විරුද්ධව ඡන්දය දුන් ගොඬේය. එහෙත් 1% හෝ ගෙන දිනනුයේ රටම ගෙන පාලනය කිරීමටය. එවිට සැම පොදුය. දැන් අප හැමගේම ජනපති ගෝඨාභයය. එය උතුරටත් නැගෙනහිරටත් පොදුය. ඔවුන් එය භාර නොගෙන සිටින්නේ නැත. එසේ නම් දැන් කතා කළ යුත්තේ තමන්ට දුන් නොදුන් අය ගැන නොව සමස්තය ගැනය. උතුර නැගෙනහිර ඡන්දය දී ඇත්තේද අනෙක් බෞද්ධයාටය. එසේ නම් මෙතන කුමන වර්ග වාදයක්ද? සජිත් නම් සිවිල් පුරවැසියකු ලෙස ගෝඨාභයට පූර්ණ සහාය ලබාදෙනවා යැයි කියන විට සජිත් අපූරුයි නම් ඔහුට ඡන්දය දුන් අය වැරදිද? සජිත්ට දේශපාලකයකු ලෙස ජනපතිට උපරිම සහය දිය හැකිය. එහෙත් ජනතාව ලෙස සජිත්ට ඡන්දය දුන් අයට දැන් ජනපතිට සහය දිය නොහැකිය. එහෙත් ජනපතිගේ සහය ඔවුන්ට ඇවැසිය. ඇත්ත එයය. ජනතාවට දේශපාලකයන්ට සහය විය හැක්කේ මැතිවරණයෙන් පමණි. ඉන්පසු ඔවුන්ට අවශ්‍ය දේශපාලන සහයය. ඒ නිසා ඡන්දයෙන් පසු දේශපාලකයෝ කතිර යුද්ධ නතර කළ යුතුව ඇත. තමා දිනවූ ගොඩ පැත්තකින් තැබිය යුතුය. එසේ නොමැතිව පිරිසක් මේ අපේ රට කියද්දී තව පිරිසක් මේක උන්ගේ රට අපි ජීවත් වුණාට යැයි සිතන්නේ නම් එහි ඇති ජයග්‍රහණය කුමක්ද? මෙවරත් බෙදුම් රේඛාව ගැහැව්වේ දකුණ විනා උතුරු නැගෙනහිර නොවේ. සජිත් නරක් වන්නට දකුණට හේතුව ඔහු වටා මුස්ලිම්, දෙමළ නායකයෝ සිටීමය. ඒ විස රාජපක්ෂලා අපූරුවට දකුණට එන්නත් කළෝය. රට, ජාතිය, ආගම වෙනුවෙන් ඡන්දය ඉල්ලුවෝය. රටක් ජාතියක් දියුණු වන්නේම ආගම කරපින්නා නොගන්නා තරමටය. එය වෙනම පෞද්ගලික වුවමනාවකි. එහෙත් මෙවර රට ජාතිය ගැන කැක්කුම ජනිත කළේම බෞද්ධ භික්ෂූන්ය. සැබැවින්ම මෙවර ජයග්‍රහණය කළේ ගෝඨාභය නොව සංඝ සමාජයය.


කෙසේ වුව කාගේ ඡන්දයෙන් වුව විශිෂ්ට ජයග්‍රහණයක් ලද ජනපති ගෝඨාභය තමා මුල සිටම රාජපක්ෂලාගේද වෙනම කියවීමක් බව පෙන්නුවේය. එනම් අදටත් සාටකය නොපළඳින ඔහු වෙනම සිතීමක් ඇත්තෙකි. ඒ නිසා 2015දී රාජපක්ෂලා ප්‍රතික්ෂේප කළ පාලනය වෙනුවට අලුත් මගක් ඔහු සොයා ගනු ඇතැයි සිතමු. කිසිවකු පිළිබඳ කතා අසා තීන්දු දීමට අපි ඉක්මන් නොවෙමු. ජනපති සිරිසේනත් තමා ජනතා සේවකයා ලෙස කතාව පටන් ගෙන ඉවර කළේ ජනතා වධකයා ලෙසය. ඉක්මනින්ම උඩ යන්නෝ ඉතාම ඉක්මනින්ම බිම පතිත වන බව ජනපති ගෝඨාභය වුව ජනපති සිරිසේන දෙස බලා උගත යුතුය.


සජිත්, සජිත්


ඡන්දයට පෙර කවුද කීවේ ගෙම්බන් කෑගහන්නේ සජිත් සජිත් කියමින් බවය. එලෙස කියූ ගෙම්බා තේරුම් නොගත්තේ ගෙම්බන්ට ඡන්දය නැති බවය. ඇත්තටම එජාපය තුළ සිටින ගේ ගෙම්බෝ සජිත්ව අනාථ කළෝය. සජිත් මැතිවරණ කාර්යාලයේදී කතාවක් කරමින් ගෝඨාභයට සුබ පතා කළ කතාව බොහෝ අය අගය කරති. ප්‍රතිවාදියාට සුබ පැතීම හොඳය. එය අගය කළ යුතුය. එහෙත් එහි අවසානයේ තමා දේශපාලනයෙන් සමුගන්නා බවට ඉඟි කළේය. එය පැති කිහිපයකින් ගත හැකිය. එනම් සජිත් දේශපාලනය ගැන කලකිරී තමාට එජාපය සහාය නොදීම නිසා තමා ඉවත් වන්නේ යැයි කීම තුළ ඇත්තේ බරපතළ කතාවකි. එසේ නම් විකල්ප දෙකක් ඇත. සජිත් එජාප නායකයා කොට ඉදිරියට යෑමය. නැතහොත් රනිල්ලාට හැකි ලෙස ඔහේ යාමය. සජිත් අපේක්ෂකයා වූයේ බන්දේසියේ තබා නොවේ. අරගල කිරීමෙනි. එහි නරක දේ නම් නොදී බැරිකමට සජිත්ට අපේක්ෂකත්වය දුන් රනිල් තිරය පිටුපස කළේ සජිත්ගේ පරාජයට අවැසි වටපිටාව නිර්මාණය කිරීමය. ලියුම්කරු මුලදීම කීවේ සජිත්ට දිනන්නට නම් රනිල්ද වුවමනා බවය. කුල පිස්සුවෙන් නහින අයගේ කුල කතා අසා සජිත් බිම් මට්ටමේම නැහුන අතර මධ්‍යම පාන්තිකයා දිනා ගැනීමට කිසිදු සටනක් නොකළේය. අනෙක් අතට සජිත් වේදිකා ගාණේ කුඩු කළේ ප්‍රතිවාදියාගේ අදහස් නොව පක්ෂයේ හොරු වුව දැනට සිටින අයමය. සජිත්ට කණ්ඩායම් හැඟීමක් නොවීය. මං පොර ජාතකයක් විය. ඔහු කතා කළේම මම තැන පිහිටාය. ගෝඨා කතා කළේ අපි තැන පිහිටාය. මගේ ආණ්ඩුවේ දූෂිතයෝ නෑ කියමින් සජිත් ගැසුවේම රනිල්ට සහ රවිටය. දූෂිතයෝ නැති ආණ්ඩු ලංකාවේ හදනවාට සිහින දකිනවාට වඩා සජිත් දේශපාලනයෙන් සමුගැනීම හොඳය. සජිත් රට පුරා ඇවිද්දාට පොළොවේ නැති බව පැහැදිලිය. බලය ගත්තාට පසු කරන දේවල් බලය ලබන්නට පෙර කියනුයේ මෝඩයෝය. කිසිදු දේශපාලකයකුට ව්‍යාපාර කරන්නට නොදෙමියි ජාතිය අමතමින් කියන සජිත් ව්‍යාපාර නොකළාට අද ව්‍යාපාර නොකරන දේශපාලකයන් සොයා ගත හැකිද? සජිත් ව්‍යාපාර නොකළද මහ රාජා නම් ව්‍යාපාරික ළඟ වෙළෙඳ භාණ්ඩයක් බව ඔහු නොදන්නේද? මේ කතා කියන කල කා සමගවත් කිට්ටු සමීපතමයකු නොවන සජිත් ආ කල කුමක් කරයිද යන්න බියවූ අය සජිත්ට උදව් නොකළා සහතිකය.


ඒ යන රටාවට අනුව රනිල් කළේ සජිත්ට පිටුපසින් පහරදීමය. රාජපක්ෂ කඳවුරේ ප්‍රධාන සටන් පාඨය රට, ජාතිය, ආගම වන විට ප්‍රතිවාදියාට එල්ල කළ ප්‍රධානතම චෝදනාවක් වූයේ සජිත් ආවද අගමැති රනිල් බවය. ඒ තරමට රට තුළම රනිල් ප්‍රතික්ෂේප වීමක් තිබුණි. එජාප පාක්ෂිකයා තුළද විය. ඒතරම් ප්‍රබල කරුණක් රාජපක්ෂලා වගා කරද්දී තැපැල් ඡන්දයට කලින්දා රනිල්ම මාධ්‍ය ප්‍රධානීන් ගෙන්වා සජිත්ගේ ආණ්ඩුවේ අගමැති මමයි කීවේය. මෙය සජිත්ගේ ඡන්ද ගෙඩි පිටින්ම ගෝඨාට දන් දීමකි. ඉන්පසු එසේ නොවෙයි කියා සජිත් කොතරම් කෑගැසුවද පළක් නොවීය. එය රනිල්ම කියා අහවරය. සජිත්ව පැරදුවේ ගෝඨාට වඩා රනිල්ය.


එසේ නම් දැන් සජිත් කලකිරී දේශපාලනයෙන් ඉවත්ව යෑමට සැරසේ. ඡන්දයක් පැරදුණු පමණින් දේශපාලනයට සමුදෙන්නේ නම් එවැනි අයට සමුදීමම යහපත්ය. මේ පරාජයෙන් අනාථ වූයේ සජිත් නොව සජිත්ට ඡන්දය දුන් අයය. විශේෂයෙන්ම උතුරු-නැගෙනහිර ජනතාවය. එසේ නම් සජිත් නියම නායකයකු ලෙස කිවයුත්තේ උතුරු-නැගෙනහිරත් සමගම මම නැවත නැගිටිනවා යැයි කීමය. එජාපයේ දැන් නායකයකු නැත. ඒ තැන රනිල්ව තැබිය නොහැකිය. සජිත් ඒ තැනට සුදුසු බව ඔප්පු කොට ඇත. ඔහු පරිණත විය යුතුව ඇත. තනි හැඟීම වෙනුවට පොදු හැඟීමට ආ යුතුය. එකම විදිහට ඇඳුම ඇඳීම වෙනුවට විවිධ ස්වරූප ගත යුතුය. රටට සේවය කිරීම යනු එකම විදිහට ඇඳගෙන රට වටා යෑම නොවන බව වටහා ගත යුතුය. දශක දෙකකට වඩා ලැග්ගද ඔහුට හම්බන්තොට දිනිය නොහැකිය. එසේ නම් දිනන තැනකට මාරු විය යුතුය. මුලින්ම තමා ඉන්න පොළොව ජයගත යුතුය. නායකයකු නාවා නම් දැන් ඔහු ඉගෙන ගත යුත්තේ රනිල්ගේ ඉවසීමය. මහින්දගේ නැගී සිටීමය. සජිත් මහින්ද මෙන්ම ජන ආකර්ෂණයක් ඇත්තේය. එහෙත් එය අවංකව වැලඳ නොගැනීම නිසා ඈත්වී ඇත. සජිත් අනෙක් අයට සංවාද කරන්නට අඬගහනවා වෙනුවට තමා සමග සංවාද කළ යුතුව ඇත. සජිත්ට දකුණ දිනාගත නොහැකි වූයේ මහින්ද සහ රනිල් නිසාය. දැන් එය අවබෝධ කරගත යුතුය. ඉදිරියට යනවාද නැද්ද යන්න ඔහුගේ වැඩකි. සජිත් නැති වූවා යැයි දේශපාලනය ඉවර වන්නේ නැත. රනිල් ප්‍රමුඛ එජාපය මුල සිටම සජිත්ව නිර්මාණය කළේ දැක්මක් නැති නිකං ඔහේ දුවන්නෙක් ලෙසටය. සජිත් හැසිරුණේද එලෙසටමය. රටේ වැදගත් ප්‍රශ්නවලදී ඔහු කටක් නොඅරී. කතා නොකළද ක්‍රියාවෙන් ඒ තුළ සිටිය හැකිය. කරු කළේ හැම තැනටම ශරීරය දැමීමය. කට නොඇරීමය. ඒ නිසා කරු අමුතු දැනමුත්තකු බවට ස්ථාපිත වී ඇත. සජිත් වෙනුවෙන් කීදෙනෙක් පක්ෂය හැර ගියේද? ඒ හැම අවස්ථාවකම සජිත් කළේ තමා වෙනුවෙන් හඬ නැගූ අය බිල්ලට දී රනිල් සමග අත් අල්ලාගෙන උඩපැනීමය. දැන් රනිල් සජිත්ට දිය යුතු බෙහෙත දී හමාරය. එයින් පණ නැති වී පැත්තකට වනවාද එය අමුතු ශක්තියක් ලෙස වර්ධනය කරගෙන ඉදිරියට එනවාද යන්න සජිත්ගේ වැඩකි. තාත්තා විකුණමින් තම ඡන්ද ව්‍යාපාරය කළ සජිත් තාත්තාගේ ජන සවිය ගත්තද ජන සන්නිවේදනය නොඋගත්තේය. නැවත එන්නේ නම් සජිත් ඉදිරියට ආ යුත්තේ ප්‍රේමදාසට මුවාවී නොව සජිත් ලෙසය. එකෙන්ම ඉවර වෙනවාද? දෙකෙන් නැගිටිනවාද යන්න සජිත්ගේ වැඩකි. නියම ජනතා නැගිටීමකදී සිරිසේන පන්නයේ පඹයකු වුව දිනවිය හැකි බව 2015දී ඔප්පු කළේය. එයද කිසිවකු අමතක නොකළ යුතු අතර පසුව පඹයා ගෙනා අයද පඹයන් වීම නිසා පඹ ලෝකයක් නිර්මාණය වී එය විනාශ වූ බවද වටහා ගැනීම වටී. සජිත් ඔළුව ඉබි කටුවේ සඟවා ගැනීම වෙනම වැඩකි. එහෙත් වටහාගත යුත්තේ මේ නටන නාඩගමෙන් රිදුණේ උතුරු-නැගෙනහිර මිනිසුන්ට බව අමතක නොකළ යුතුය. පරාද වූ සැණින් ප්‍රතිවාදියාට සුබ පැතීම හොඳය. ඒ වගේම තමා සමග පරාජය වූ මිනිසුන් වෙනුවෙන් සාධාරණය කරන්නට ඉදිරිපත්වීමත් හොඳය.


ජන බලවේගය


ඡන්දයට පෙර ජවිපෙ ගැන කිසිවක් නොලියූ විට බොහෝ අය ඇසුවේ ඒ ඇයිද කියාය. වෙනසකට ඔවුන්ට දිය යුතු යැයි බොහෝ අය ප්‍රශ්න කළහ. අද ඔවුන්ගෙන් වෙනස බලාපොරොත්තු වන අයට පෙර අප ඔවුන්ට ඡන්දය දෙමින් වෙනස බලාපොරොත්තු වුණෙමු. එහෙත් ඔවුන් වෙනස් නොවීය. ජවිපෙ සිට ගැලවී යන අය අනෙක් අයට වඩා නරකය. මුල් පාසල හොඳ නම් එය එසේ විය හැකිද? වීරවංශලා වැනි ජාතිවාදියෝ හැදූ පාසල ජවිපෙය. මහින්දලා ජාතිවාදී කළ පාසලත් ජවිපෙය. ඒ අයට ලක්ෂ පහට වඩා ගන්න බැහැ යැයි සපථ කළ විට බොහෝ අය උරණ විය. දැන් පෙරළා බොහෝ අය එය කිව්වේ කෙසේද විමසති. ඒ අනාවැකි නොව ජවිපෙ දෙස බැලූ කල පෙනෙන දෙයකි. ජවිපෙ 88/89 පසු වර්ධනයවීමක් නැත. එය එක තැන පල්වෙන්නකි. මේ දැනට සිටින පස් හය දෙනාගේ කල්ලිය ඒ කාලේ ගොඩ නැගී ඉතිරි වූ අයය. අලුත් අය මෙන්ම නව නායකයෝ වෙත්ද? රනිල්, මහින්ද මෙන්ම ටිල්වින්ද එසේමය. ඔවුන්ට සිටින ඡන්දදායකයාද එදා සිට සිටි අයමය. අලුත් පරම්පරාව අද වම වැලඳ ගන්නේ නැත. ඒ අය ස්මාර්ට් පරම්පරාවකි. ඒ අය වමට වඩා රටට කැමතිය. අනූවට පෙර තරුණයෝ වමට බර වුවද 2000න් පසු තරුණයෝ ධනවාදයට බරය. කොමඞ් භාවිත කළ තරුණයෝ වම සොයාගෙන වළට යන්නේ නැත. අවසානයේ වමක් කියා දේශපාලනයක් ලංකාවේ නැති බව ඒ අය අවබෝධ කරගෙන නැතත් ඒ පක්ෂ දෙස හැරී බලන්නවත් එතරම් උනන්දු නොවෙති. උනුත් එකයි, මුනුත් එකයි ගාමින් සිටීම හැර ඔවුන් වෙනස් වන ලොකු තැනක් පෙන්වා නැත. මහ මැතිවරණයේදී දේවල්වලට විරුද්ධවීමට හෝ ඔවුන් සිටිය යුතුය කියා පාර්ලිමේන්තුවට ජවිපෙ කිහිපයක් යැවීම මෝස්තරයකි. එය වුව අවසන් වනු ඇත. මන්ද මේ යන කිසිවකුට ඔවුන්ට වුව විරුද්ධව කළ හැකි දෙයක් නැත යන විශ්වාසය ඉක්මනින් ජනිත වූ පසු එයද ඉවරය. ඔවුන්ටද මුදල් ඇති නිසා දැනට පවතිනමුත් ඉන් එහාට වර්ධනයක් නොපවතී. (දැනට යන රටාවට අනුව) තමන් අන් අයට වඩා සුජාත යැයි කීමට යාමත් පැවැත්මට බාධාවකි. ජවිපෙට වී ඇත්තේ එයය. කවුරුවත් සුජාත නැත. ඒ නිසා ජවිපෙ ගැන බොරු තැනක සිරවී සිටීම තේරුමක් නැත.


මේ ඡන්දයෙන් එකක් පැහැදිලිය. එනම් වඩා හොඳ මාර්කටිං ජය ගන්නා බවය. ප්‍රේමදාස කාලයේ මාර්කටිං අදට වලංගු නැති බව සජිත් වටහා ගත යුතුය. අදට ඔබිනුයේ මහින්ද කාලයේ ගරිල්ලා මාර්කටිං බව සැවොම කල්පනා කළ යුතුය.