ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

ගෝඨාභය ජනපතිවීමත් සමග බොහෝ තාප්පවල චිත්‍ර ඇඳීමේ රැල්ලක් මතුවුණා. ඔබ චිත්‍ර ශිල්පියකු ලෙස එම ප්‍රවණතාව පිළිබඳව තක්සේරුව කුමක්ද?


මම තවම එවැනි ස්ථාන බලන්න ගිහිල්ලා නැහැ. එකක් තමයි මේ දවස්වල මගේ ගමන් බිමන්වල එහා මෙහා අඩු කරමින් මගේ කලා කෘතියක් නිම කරමින් ඉන්නවා. අනෙක් කාරණය තමයි භීතියක් තිබුණා. එය සැඟවිය යුතු කාරණයක් නොවෙයි. ඉතින් ගොදුරක් වෙනවාට වඩා මම මගේම පර්යේෂණයක් සඳහා කලාගාරවලට යාමටත්, අලුතින් ආස්වාදයක් ලබන්නත් යනාදිය වෙනුවෙන් තමයි මම ඡන්දෙ ඉවර වුණු ගමන් පිටරට ගියේ. ඒ අස්සේ තමයි මට ආරංචි වෙන්නේ මෙන්න මෙහෙ උද්යෝගිමත් ලෙස තරුණ-තරුණියන් ඉතාම කැමැත්තෙන් පාට වෙනස් කරමින් සිටිනවා කියලා. ඒ කාලයේදී මම යුරෝපයේ තිබූ තාප්පවල චිත්‍රත් බැලුවා. අපිත් තාප්පවල ඇඳපු කාලයක් තිබුණා. ලංකාවේ වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රවල සිටි කලාකරුවෝ ඩිජිටල් ඒමට පෙර මිනිස්සු තාප්පවල සහ බිත්තිවල චිත්‍ර ඇඳීම් කළේ. ඉස්සර තට්ටු තුන හතරේ ගොඩනැගිලිවල කොකාකෝලා බෝතලේ දිගුවට ඇඳලා තිබුණා. ඉඩක් තිබුණද ඒක විවිධ ප්‍රචාරක දැන්වීම් ආයතන විසින් වෙන් කරවාගෙන චිත්‍ර ශිල්පීන් ලවා පින්තූර අන්දවා ගත්තා. ඊට පසුව අපි දැක්කා ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කාලයේදී මුකුත් කරන්න කියන්න බැරි තත්ත්වයක් තිබුණා. නිදහස පිළිබඳ ප්‍රශ්න තිබුණා. මිනිස්සු බයවුණා. එබඳු තර්ජනාත්මක දේශපාලන අවකාශයක් නිසා මිනිස්සු ලියන්න පටන් ගත්තා අසැබි වදන් ජේ.ආර්.ට එරෙහිව, රාත්‍රියේදී ලියලා පැනලා යන තත්ත්වයක් තිබුණා. එබඳු ප්‍රකාශන අපිට පෙනුණා 2014දී විතර. එනම් කිරිපිටි ගැන, අප්පච්චි ගැන, අප්පච්චිගෙ කාලයේ මිනිස්සු වීදිවල ලියලා තිබුණා. එහෙම තමයි මිනිස්සු තමන්ගේ අදහස් ප්‍රකාශ කරන තැනක් බවට තාප්පය පත්වෙලා තිබුණා. ඒක යුරෝපයේත් එහෙමයි. යුරෝපයේ දෙවිදියකට පාවිච්චි වෙනවා. එකක් තමයි ඔය විදියට තමන්ගේ විරෝධතා වචන හැටියට පාවිච්චි කරලා. එය රොක් සංගීතයක් එක්ක හෝ වෙන ජන කොට්ඨාසයක අයගේ ගැටලු සමග සම්බන්ධ විය හැකි දේවල් ඒගොල්ලෝ අකුරුවලින් තමයි ඇන්දේ. ඒකෙන් තමයි ග්‍රැෆිටි යන වචනය ආවේ. ග්‍රාෆ් කියන්නේ ලියනවා යන අර්ථයයි. බිත්තියේ ලියනවා කියන අර්ථයෙන් තමයි ග්‍රැෆිටි ආර්ට් කියලා කිව්වේ. ඊට අමතරව විවිධාකාරයෙන් විවිධ සංස්කෘතික වශයෙන් වෙනස්කම් වුණාම අපි හිතමු ග්ලාස්ගෝ නගරයට මා ගියවිට ඒ නගරයේ බිත්ති අලංකාර කරලා විවිධ සංස්කෘතික තේමාවකට. ඒ මොකද ඔවුන්ට ඒ කාලයේ ජාත්‍යන්තර ක්‍රීඩා උත්සව ආදිය පැවැත්වෙන කොට පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලවල් තිබෙන විට ග්ලාස්ගෝ නගරය අලංකරණය කරන කොට. තමන්ගේ සංස්කෘතියේ දේවල්, විචාරාත්මක අදහස්, දේශපාලන අදහස් කලාකරුවන් නිදහස අනුව අඳිනු ලැබුවා. ඊළඟට එක එක ප්‍රචාරක කටයුතු සඳහා එවැනි දේවල් කෙරුණා.


චිත්‍ර කලාවේ නාට්‍යයේ සංගීතයේ, සිනමාවේ හෝ ඕනෑම කලාවක ආධුනික මට්ටමින් හෝ නියැලීම වැදගත් සමාජයට. මොකද? කඩවල් ගිනි තියනවාට වඩා, මිනිස්සුන්ට ජන සංහාරයක් කරන්න යනවාට වඩා ඒක ආශිර්වාදයක් කියලා මම හිතනවා. නමුත් එම චිත්‍රවලින් එන මතවාද ගැන අපි බැලිය යුතුයි. අපි විවේචකයන් හැටියට චිත්‍රයෙන් කියැවෙන අදහස ගන්න පුළුවන්. අපි ඩාවින්චිට කිව්වාම ජේසුස් වහන්සේගේ අවසාන භෝජන සංග්‍රහය අඳින්න කියලා. ඩාවින්චි අඳින්නේ ආගමික දෘෂ්ටියකින් නොවේ. ඩාවින්චි ගන්නේ මානුෂික දෘෂ්ටියකින්. මේ මිනිසාව පාවා දෙන්නේ කොහොමද කියලා. ඒ මොහොත තමයි ඔහු ප්‍රශ්න කරනු ලබන්නේ. එක සංගමයක ඉඳලා, ඔක්කෝමලා එක සහෝදර බැඳීමක ඉඳලා එතැනින් කෙනෙක් තමන්ව පාවා දෙනවා නම්, ඒ මානුෂික ප්‍රශ්නය තමයි අර තියෙන ඔහුට දුන්න ඉඩකඬේ ආගමික තේමාව තුළ ඔහු සාකච්ඡා කරන්නේ. ඒකෙන් ආගමික මොහොතක් නිරූපණය වන බව ඇත්තයි. මොකද? ඩාවින්චි අනිවාර්යයෙන්ම දෙවියන් විශ්වාස කරන කෙනෙක් නොවෙයි. එවිට අපිට පේනවා ඒ චිත්‍රය එහෙමයි කියලා. නූතන කලාව තුළ ප්‍රබල කලාකරුවෙක් ඉන්නවා මරිය නෙත්ති කියලා. ඔහු ෆැසිස්ට්වාදයත් එක්ක නව ජවයක්, නව වෙනසක්, අලුත් සමාජයක් කියන අදහස් එක්ක චිත්‍ර කලාවේ නියැලුණා. අපි මරිය නෙත්තිව ඉතිහාසයේ කුණු කූඩයට විසි කරන්නේ නැහැ. නමුත් මරිය නෙත්ති අගය කරන ගමන් ඔහුගේ දෘෂ්ටිවාදය අපි විවේචනය කරනවා. එය තමයි ඔබ කියන ලද බිත්ති චිත්‍රවල තියෙන අඩුව. මිනිස්සු අදහස් ප්‍රකාශ කළාදෙන්. අපි ඒකට අකමැති නම් ඒකටත් ඉඩක් තියෙන්න ඕනේ. එච්චරයි.
ඬේවිඞ් පෙන්ටර් ටි්‍රනිටි චිත්‍රය අඳින කොට ඒ ඇඳපු මිනිස්සු ඔක්කෝම හිටියේ ලංකාවේ මිනිසුන්ගේ හැඩහුරුකම් තියෙන්නේ. එතැන ඉන්නේ ඔහුගේ ශිෂ්‍යයෝ සහ ඔහු දන්න කියන අය තමයි මිනිසුන් හැටියට ඉන්නේ. එහෙම තමයි තමන්ගේ දේශීය සංස්කෘතික අනන්‍යතාව එකතු කරගෙන කාලයට ගැළපෙන ආකාරයෙන් ඉදිරිපත් කිරීමක් කලාකාරයෝ කරන්නේ. මේ කලා කටයුතුවල යෙදෙන ආධුනික හෝ ප්‍රවීණ අය ඔවුනුත් මේ මොහොතේ තියෙන අධිකාරී මතය වගේම, ඊට උනන්දු වෙන දෙයක් තමයි කරන්නේ. දැන් තාප්පවල අඳින චිත්‍ර තුළ ප්‍රගීත් එක්නැළිගොඩ අඳින්න බැහැනේ. ඇන්දොත් කොච්චර කාලයක් තියේවිද? ඒ චිත්‍රය ඇඳපු කෙනාට මොකද වෙන්නේ? ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඔය චිත්‍රය ඇතුළේ වත්මන් රජය පිළිබඳ විවේචනාත්මක අදහසක් අඳින්න බැහැනේ. ඒකට ඉඩක් නැතිවෙන්න පුළුවන්. ඒ වුණාට මේක තමයි ඒ මොහොත. ඒක තමයි විධිය. ඒ විධිය දිහා විවේචන මනසකින් බැලිය යුතුයි. මොකද කතා කරන්න බැරි නිසා. හැබැයි චිත්‍ර කතා කරනවා. චිත්‍රය කතා කරන දෙය ජාතිවාදය නම් ඊට විරුද්ධවීම එය බලන්නාගේ යුතුකමක්. ඉස්සර මිනිස්සු පන්සල්වල අපාය, දිව්‍ය ලෝකය ගැන ජාතක කතාව ගැන ඇන්දා. පල්ලියට ගියොත්, කුරුසියේ වැටි-වැටි ගමන් කරන ආකාරයේ චිත්‍ර දකින්න පුළුවන්. අවසාන භෝජන සංග්‍රහයේ ඇත්ත. ඒ ආගමික මතවාදය ඇන්දා. නමුත් ඒකේ ගිහිල්ලා බෞද්ධ මතවාදය අඳින්න බැහැනේ. ඒක තියෙන්න පුළුවන් සොෆියා පල්ලිය වගේ තැනක. මොකද? ඒ පළාත ආක්‍රමණය කරනවා ඉස්ලාමිවරුන් විසින් කොන්ස්තන්තිනෝපලය කඩා වැටීම තුළ. හැබැයි ඔවුන් කළ දේ තමයි පල්ලි විනාශ කළේ නැහැ. ඒවාට හානියක් නොකර ඒ ගැන තමන්ගේ අල්ලා පිළිබඳ අදහස ලොකු පළිහක් වගේ හැඩයක් අනුව අක්ෂර යොදලා ඒ කාලයේ එවැනි දේවල් කළා. අලුතින් යමක් එකතු වුණා නම් ඒ පල්ලිවලට ඒ ඉස්ලාමීය හැඩ එකතු වුණා. ඉස්ලාමයයි කතෝලික ආගමයි මූලය එකක් හැටියට සලකන්නේ පරණ බයිබලය තුළ. ඒ වගේ පාලකයෝ ගත්තාම කොන්ස්තන්තිනෝපලය ඔවුන් විනාශ කරන්න දුන්නේ නැහැ. එය නතුකර ගත්තා. අපිට තවම ඒ චිත්‍ර දකින්න පුළුවන්. සමහර ඒවා විනාශ කරලා තිබුණා තමයි. නමුත් ඒක කොහොමහරි නවත්වා ගන්න ඕනේ. ඒක 17 විප්ලවය වේලාවේදීත් නොදත් මිනිස්සු ගිහිල්ලා සමහර කලා කෘති විනාශ කරයි කියන බයට ඉස්සෙල්ලාම. ලුනා චාල්ස්කිලා විසින් සොල්දාදුවන් යොදනවා කලා කෘති ආරක්ෂා කිරීම සඳහා. මොකද ප්‍රතිගාමී සමාජය, සාර් යුගයේ කලාව වුණත් ඉදිරි අනාගතය වෙනුවෙන් ආරක්ෂා කර තැබිය යුතුයි. නමුත් මේ වීදි කලාව වැස්ස වලාහක දෙවියන්ගේ අවසරයෙන් තමයි දීර්ඝව පවතින්නේ. නැතිනම් දිනෙන් දින නැවත-නැවතත් එය නඩත්තු කළ යුතුයි. ඒක හරියට තියා ගැනීමට. ඒකට සෑහෙන වියදමක් යයි. හැබැයි ඉතින් කලාවේ යෙදෙන එක හොඳයි.


කලාකරුවන් පක්ෂ මත යැපීම අවුලක් නේද?


පක්ෂ මත යැපීම අවුලක්ද කියලා පේන්නේ පක්ෂය මත යැපෙන කලාකරුවාගේ ක්‍රියාකාරකම මතයි. පක්ෂ දෙකක් තිබෙනවා නම් ප්‍රබලව, ඒ දෙකටම නැති කොටසකුත් ඉන්න පුළුවන් සමාජයක. එවිට තුන් පැත්තක හරි ඉන්න පුළුවන්. පක්ෂයකට පක්ෂව, ඒ පක්ෂයට විපක්ෂව, තව පක්ෂයක හෝ මේ පක්ෂ දෙකටම විරුද්ධව විපක්ෂව. ආදී වශයෙන් ඉන්න පුළුවන්. පුරවැසියෙකු නම් ඔය කණ්ඩායම් තුනෙන් එකකට අයිතියි. මම මොකකටවත් නැහැ කිව්වා නම් ඒ කියන්නේ තමන්ට දේශපාලන මතයක් තියෙනවා. දේශපාලනයෙන් ඉවත්ව කිසිම සත්වයකුට ජීවත් වෙන්න බැහැ. නමුත් පාක්ෂික දේශපාලනයකට යොමුවීම හරහා සමහරවිට නිදහස ඇහිරෙන්න පුළුවන්. නමුත් එක්තරා මොහොතක සමහර කලාකරුවෝ මිනිස්සු ප්‍රතිපත්ති මත උදව් කරන්න ඉඩ තියෙනවා. හැබැයි ඒක කළාට පසු තමන්ගේ කාර්යය අවසන්. ආපසු නිදහස් කලාකරුවෙක් වෙන්න ඕනේ. ඒක ලංකාව වැනි රටවල පසුගිය කාලවල පැවතුණු ක්‍රමය අනුව. කලාකරුවෝ බොහෝවිට කණ්ඩායම් ගතවෙලා සංගම් හදාගෙන පක්ෂවලට උදව් කරනවා. එහෙම කළාම සමහර පක්ෂ බලයට ආවම ඔවුන්ට තර්ජනයක් වුණා. මේකම දිගටම ගෙනියනවා නම් කලා සන්ධාන බිහිවෙන්නේ අනික් කලාකරුවන්ගෙන් පළිගන්න නම්, එබඳු කලාකරුවන්ගේ මැදිහත්වීමක් සමාජයට අවශ්‍ය නැහැ කලාකරුවන් ලෙස. අපි හිතමු බ්‍රෙෂ්ට්ගේ දේශපාලනය කුමක්ද? ඔහු කොමියුනිස්ට්වාදියෙක්. මාක්ස්වාදියෙක්. ඔහුට පාක්ෂික වීම තහනම්ද? නමුත් ඔහු ඇමරිකාවට ගියාම කියනවා මම කොමියුනිස්ට්වාදයට විරුද්ධයි. ඇතුළු වෙන්න නැතිනම් බැහැ. ඇමරිකාව ඔය තරම් නිදහස් කියන රටේ කොමියුනිස්ට්වාදය එතරම් ආශිර්වාදයක් නොවේ. වාමාංශික මතවාදයන්වල යෙදීම සාමාන්‍යයෙන් ප්‍රගතිශීලී කියන කණ්ඩායමේ තමයි කලාකරුවෝ හිටියේ. ඒක දැන් වාමාංශය දියවීම හරහාම සමහරවිට ප්‍රතිලාභ ගැනීම හරහා, ඒ කියන්නේ තනතුරු ගන්න පුළුවන්, රූපවාහිනියේ සභාපති ධුරය, ITN සභාපති ධුරය, ලේක්හවුස් සභාපති ධුරය වැනි රාජ්‍ය ආයතනවල සභාපති ධුර ආදී වශයෙන් ධුරන්දර කලාවක් නම් තියෙනවා සමාජය තුළ. නමුත් ඔවුන් කලාකරුවන්ද නැද්ද කියලා තීරණය කරන්නේ ඔවුන්ගේ කලා කෘතිය තුළින්. ඒ කලා කෘතිය තුළ සාකච්ඡා වෙන්නේ පවතින දේශපාලනයම නම්, එතැනින් ඔබ්බට ගිය දේශපාලනයක් තමයි කතා කළයුත්තේ. ඒ කියන්නේ පොදු මිනිසාගේ යහපත වෙනුවෙන් තමාගේ පක්ෂය වුවත් විවේචනය කිරීමේ හැකියාව කලාකරුවකුට තියෙන්නෙ ඕනේ. එහෙම අය ඉන්නවද කියන එකයි ප්‍රශ්නය.