සුමිත් චාමින්ද


දේශපාලනය ඇත්තේ “මේ දැන් මෙතැනය.” වෙනස් සමාජයක, වෙනස් අවකාශයක, වෙනස් කාලයක වලංගු වූ දේශපාලන ක්‍රියාමාර්ග “මේ දැන් මෙතැන” පවත්නා තත්ත්වයට වලංගු නොවිය හැකිය. විශේෂයෙන්ම අර්බුද සමයකදී පවත්නා තත්ත්වයන් වේගයෙන් පරිවර්තනයට ලක් වේ. ටික කලකට පෙර ඉතාම වලංගු වූ සටන් පාඨයක් අවලංගු වූවක් බවට පත් වේ. නොඑසේනම්, එහි ප්‍රමුඛතාව අහෝසි වී යයි. වෙනත් ප්‍රමුඛතා ඉස්මත්තට එයි.


දේශපාලනයේ ඇති මෙම රැඩිකල් අනිශ්චයතාව නොහොත් අහඹුතාව ගැන කදිම ජනප්‍රවාදයක් මෙසේය. රුසියානු විප්ලවයෙන් පසුව වී.අයි. ලෙනින් එක්තරා රුසියානු විශ්වවිද්‍යාලයක සංචාරයේ යෙදෙමින් සිටියේලු. එවිට එක්තරා තරුණ සිසුවෙකු ඉතාම උනන්දුවෙන් කිසියම් කෘතියක් කියවමින් සිටිනු ඔහුගේ ඇස ගැටුණු බැව් කියැවේ. නිරන්තර හදාරන්නෙකු වූ ලෙනින් මදක් නැවතී ඒ කෘතිය කුමක්දැයි ඔහුගෙන් විමසීය: “රාජ්‍යය සහ විප්ලවය.” ඒ ලෙනින් විප්ලවාසන්න රුසියාවේ බලයට පත්ව සිටි තාවකාලික ආණ්ඩුවේ අත්අඩංගුවට පත්වීමේ අවදානම නිසා සැඟවී සිටින අතරතුරදී ලියූ කෘතියකි. තරුණ ශිෂ්‍යයාගේ පිළිතුරට ලෙනින් දැක් වූ ප්‍රතිචාරය අනපේක්ෂිත වූවක් විය: “ආ..ඒක පරණ පොතක්.”


ලෙනින්ගේ මෙම ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ කුමක්ද? “කැලැන්ඩර කාලයට” අනුව ඉතාම මෑතකදී ලියන ලද ඔහුගේම කෘතිය ඔහු දැන් පරණ කෘතියක් ලෙස හඳුන්වයි. මෙයින් අදහස් වන්නේ කිසිසේත්ම එය නොවැදගත් කෘතියක් බව නොවේ. එය රාජ්‍යය පිළිබඳ මාක්ස්වාදී න්‍යායට කෙරුණු විශිෂ්ටතම දායකත්වයක් ලෙස පිළිගැනෙන කෘතියකි. නමුත්, ඇතැම්විට ඉහත කී තරුණ සිසුවාට දැක් වූ ප්‍රතිචාරයේදී ලෙනින් අදහස් කරන්නට ඇත්තේ එම කෘතිය රචනා කරන ලද්දේ කවර නම් ඓතිහාසික තත්ත්වයක් තුළද, එම තත්ත්වය තවදුරටත් පවතින්නේ නැත යන කාරණය විය හැකිය. ඒ අරුතින් එම කෘතිය පැරණිය. එබැවින්, දැන් එය කියැවිය යුත්තේ එය රචනා කෙරුණු මොහොතේ පැවති සංයුක්ත තත්ත්වය සිහි තබා ගනිමින්ය.
දේශපාලනය තුළ අනිශ්චිත අහඹුතාවේ වැදගත්කම ගැන ලෙනින්ගෙන් උගත හැකි තවත් දේ ඇත. 1917 සැප්තැම්බර් මස අග භාගයේ පටන් ඔහු පෙට්‍රොග්‍රාඞ්හි සිටි පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන් වෙත නොනැවතී ලිපි මාලාවක්ම ලිවීය. (ඔහු ඒ වනවිට ෆින්ලන්තයේ සැඟවී සිටියේය). ඒ සෑම ලිපියකින්ම ඔහු නැවත නැවතත් අවධාරණය කළේ වහාම පහර දී බලය අත්පත් කරගන්නා ලෙසයි. ප්‍රමාද වුවහොත් විප්ලවීය මොහොත අහිමි වී යා හැකිය. ඔහුගේ යෝජනාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කෙරුණු විට අවසානයේදී බරපතළ ජීවිත අවදානමක්ද ගෙන වෙස් වලාගෙන පෙට්‍රොග්‍රාඞ් වෙත පැමිණි කෝපාන්විත ලෙනින් පක්ෂයේ රහසිගත මධ්‍යම කාරක සභා රැස්වීමකට හදිසියේ කඩා වැදුණේය. ඉන්පසුව අඛණ්ඩව පැය දහයක කාලයක් පුරා කෙරුණු උණුසුම් විවාදයකින් පසුව පක්ෂ නායකයින් බහුතරයක් ඔහුගේ මතයට එකඟ කරවා ගන්නට ඔහු සමත් විය. 1917 ඔක්තෝබර් මස 23 වනදා රුසියානු විප්ලවයේ තීරණය ගැනුණේ එලෙසය.


දේශපාලනිකය (the political) පිළිබඳ වැදගත් ඉගැන්වීම් දෙකක් අඩු තරමින් මේ නිදසුනෙහි ගැබ්ව ඇත. පළමුවැන්න නම්, මා කලින්ද සඳහන් කළ පරිදි අනිශ්චය නොහොත් අහඹු තත්ත්වය නිවැරදිව කියවා ගැනීමේ වැදගත්කමයි. දෙවැන්න වන්නේ පවත්නා මොහොත මගහැරියහොත්, එය නැවත උදා නොවනු ඇත යන්නයි. දේශපාලනයේදී ඔබට දෙවන අවස්ථාවක් ලැබෙන්නේ නැත.


ජනතාවාදයේ නිමේෂය


පසුගිය ජනාධිපතිවරණය සමයේ මා පෙන්වා දුන් පරිදි ලොව සෙසු බොහෝ තැන්වල සේ ම ශ්‍රී ලංකාවේද ජනතාවාදයේ නිමේෂයක් උදා විය. මෙයින් අදහස් වන්නේ සාම්ප්‍රදායික දේශපාලන නායකත්වයන් කෙරෙහි පොදු ජනතා විරෝධයක් පැන නැගීමෙන් “ප්‍රභූ පාලකයින්ට එරෙහිව මහජනතාව” යන පසමිතුරුතාව වටා දේශපාලනය නැවත සංවිධානය විය හැකි වාතාවරණයක් උදා වී තිබේය යන්නයි. මෙහිදී එක්කෝ ජනතාව නියෝජනය කරන නව නායකත්වයක් මතුවීමට හැකිය; නොඑසේනම්, සාම්ප්‍රදායික පක්ෂ තුළින්ම අසාම්ප්‍රදායික නායකත්වයක් මතුවීමෙන් මෙම ජනතාවාදී මොහොත අත්පත් කර ගන්නටද ඉඩ තිබේ. ට්‍රම්ප් යටතේ 2016 දී එක්සත් ජනපදය තුළ සිදු වූයේ මෙයයි.


ශ්‍රී ලංකාවේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව එතෙක් කලක් මෝරමින් පැවති දේශපාලකයින් පිළිබඳ පොදු විරෝධය එහි උත්සන්නයටම පැමිණුනි. “පාර්ලිමේන්තුවේ 225 ම එලවා දැමිය යුතුය” යන ප්‍රකාශය පොදු ජන වහරක් බවට පත් විය. දේශපාලකයින් වෙනුවට වෘත්තීයවේදීන් ආදේශ කිරීමේ දක්ෂිණාංශික විසඳුමට වලංගුතාවක් ලැබුණේ එම සුවිශේෂී තත්ත්වය තුළය. පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ හට එල්ල වූ එක් විවේචනයක් වූයේ ඔහු අත්දැකීම් සහිත වෘත්තීය දේශපාලකයෙකු නොවේය යන්නයි. නමුත්, ඒ මොහොතේදී පැවති ජනප්‍රිය මනෝභාවය තුළ එම “නුසුදුසුකම” ඔහුගේ ප්‍රධානතම සුදුසුකම බවට පත් විය.


මීට සමාන්තරව දූෂිත දේශපාලකයින් වෙනුවට උගත්, ප්‍රබුද්ධ පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතුය යන අදහස ජාතික ජන බලවේගය විසින්ද පුනරුච්චාරණය කරන්නට යෙදිණ. සැබවින්ම ඔවුන් එම අදහස එදාටත් වඩා දැඩිව අවධාරණය කරන්නේ අදයි. “තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු” යන ඔවුනගේ ප්‍රධාන උද්ධෘතයෙන් හැඟවෙන්නේ එයයි. වාම ජනතාවාදයක් සඳහා දැරෙන කිසියම් ප්‍රයත්නයක්ද මේ තුළ හඳුනාගත හැකි බව මගේ අදහසයි. නමුත්, එම ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට නම් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් විසින් වහ වහාම අවධානයට ගත යුතු තවත් වැදගත් කාරණයක් තිබේ. එනම්, දැන් දේශපාලනයේ සංයුක්ත මොහොත නැවතත් වෙනස් වී තිබේය යන කාරණයයි. (මා ඉහත කී ලෙනින්ගේ ඉගැන්වීම් අනුව සිතා බැලූ විට මෙය පැහැදිලි කර ගැනීම පහසු වනු ඇතැයි සිතමි).


කොරෝනා යුගයේ ඇත්ත ප්‍රශ්න


සමකාලීන ලාංකීය දේශපාලන මොහොත නිර්මාණය වීමේ ආසන්න සංසිද්ධිය වූයේ කොරෝනා වෛරස් වසංගතය සහ ඒ ආශ්‍රිතව පැන නැගුණු සමාජ, ආර්ථික අර්බුද මාලාවයි. ලොව සෑම තැනකම පාහේ අද පවත්නා තත්ත්වය එබඳුය. බහු-විධ කොරෝනා අර්බුදය හමුවේ නිරීක්ෂණය කළ හැකි ප්‍රධාන දේශපාලන ගතිකයක් වන්නේ ආර්ථිකමය ගැටලු යළිත් දේශපාලන ක්‍රියාවලියේ මධ්‍යයට පැමිණීමයි. ඒ අතරම මෙය මිනිසුන්ගේ පැවැත්ම පිළිබඳ සංදෘෂ්ටික ගැටලු ඉස්මත්තට එන කාලවකවානුවකි. මහජන සෞඛ්‍යය, සමාජ ආරක්ෂාව සහ දෛනික දිවි පැවැත්ම පිළිබඳ භෞතික ගැටලු දැන් ඉතාම තීරණාත්මකය.


ජනතාවාදී නායකත්වයක් මෙම ගැටලුවලට ආමන්ත්‍රණය කිරීම පමණක් නොසෑහේ. ඒවා තම දේශපාලන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛත්වයට පත් කර ගැනීමද අවශ්‍යය. එසේ කරන්නට අසමත් වන ඕනෑම දේශපාලන නායකත්වයක් මේ මොහොතේ බහුතර ජනතාව විසින් ප්‍රතික්ෂේප කෙරෙනු ඇත. මෙයින් අදහස් වන්නේ දූෂණය, අක්‍රමිකතා සහ සොරකම යනාදිය පිටුදකින “ඇත්ත මිනිසුන්ගේ” අවශ්‍යතාව දැන් අහෝසි වී ගොස් තිබෙන බව නොවේ. දැන් බහු ජන කොටස්වල දේශපාලන ප්‍රමුඛතා වෙනස්වෙමින් පවතින බවයි. මේ මොහොතේදී වඩා ප්‍රබල ජනතා ආමන්ත්‍රණය ඇත්තේ දූෂණයෙන් තොර “ඇත්ත මිනිසුන්” කෙරෙහි නොව තම “ඇත්ත ප්‍රශ්නවලට” ආමන්ත්‍රණය කරන නායකත්වයන් කෙරෙහිය. වෙනත් වචනවලින් කිවහොත්, ඔබට වත්මන් දේශපාලන මොහොතේ හෙජමොනික ආමන්ත්‍රණයක් කිරීමට අවශ්‍ය නම්, ඔබ ප්‍රථමයෙන් 2015 ජනාධිපතිවරණය ආශ්‍රිතව ඉහළට එසවුණු යහපාලනවාදී දෘෂ්ටිවාදයේ ග්‍රහණයෙන් මිදිය යුතුය. න්‍යායිකව වැරදි ලෙස “විප්ලවයක්” යැයි අර්ථකථනය කෙරුණු 2015 ජනවාරිය දැන් අතීතයට එක් වී බොහෝ කල්ය.


මෑතකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නුවන් බෝපගේ සමකාලීන මොහොතේ ජන විඥානය කදිමට හකුළුවා දක්වන ප්‍රශ්නයක් නැගීය. ඒ ඔහු සහභාගී වූ රූපවාහිනී වැඩසටහනකදීය. ඔහුගේ ප්‍රශ්නය වූයේ “දැන් මැදපෙරදිග සේවයේ යෙදී වසංගතයේ ප්‍රහාරයට ලක් වී සිය රටට එන්නට නොහැකිව සිටින ජනයා නියෝජනය කරන්නේ කවුරුන්ද” යන්නයි. “සේවයෙන් නෙරපා දැමූ පෞද්ගලික අංශයේ සේවකයන්ව නියෝජනය කරන්නේ කවුද?”, “සහල් මාෆියාවෙන් පීඩා විඳින ගොවි ජනයා නියෝජනය කරන්නේ කවුද..?” මෙවන් ඇත්ත ප්‍රශ්න අදාළ වන්නේ කම්කරු සහ ගොවි ජනයාට පමණක් නොවේ. ජාතික ජන බලවේගයේ දේශපාලන පණිවිඩයේ ප්‍රධාන ග්‍රාහකයන් වී සිටින ඊනියා සබුද්ධික නාගරික මධ්‍යම පංතිකයන්ගේද ප්‍රශ්නවල ප්‍රමුඛතා දැන් පරිවර්තනයට ලක්වෙමින් තිබේ. ඔවුන් බහුතරයක් සිටින්නේ තම පංති තත්ත්වයෙන් පහළට ඇද වැටීමේ අවදානමට මුහුණ දෙමිනි.


ජාතික ජන බලවේගය මේ ඇත්ත ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කරන බව එහි සාමාජිකයින් කරුණු සහිතව පෙන්වා දීමට ඉඩ තිබේ. මම එය ප්‍රතික්ෂේප නොකරමි. දැන් එම ප්‍රශ්න ආමන්ත්‍රණය නොකරන කිසිදු පක්ෂයක් තිබේද? සියල්ලන්ම ඒවා සැලකිල්ලට ගනී. නමුත්, කාරණය නම් ඒ කෙසේද යන්නයි. දේශපාලන දෘෂ්ටිවාදය වැදගත් වන්නේ මෙහිදීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම ප්‍රශ්නවලට තම පිළිතුරු ගොනු කරන්නේ ශක්තිමත් නායකත්වයක් පිළිබඳ ජාතිකවාදී සහ රාජ්‍යවාදී දෘෂ්ටිවාදී දවටනය තුළය. සමගි ජන බලවේගයේ දෘෂ්ටිවාදී දවටනය වන්නේ ප්‍රේමදාස වර්ගයේ සුභසාධනවාදී නොහොත් අනුග්‍රාහකවාදී එකකි. ජාතික ජන බලවේගයේ බුද්ධිමය ශ්‍රේණිය නව-ලිබරල් යහපාලන ව්‍යාපෘතිය සමග දැක් වූ සම්බන්ධය නිසාදෝ ඔවුන්ගේ ව්‍යාපෘතියේ දෘෂ්ටිවාදී රාමුව වශයෙන් තවමත් පවතින්නේ දූෂණය පිටුදකින යහපත් දේශපාලකයින් නොහොත් ඊනියා “ඇත්ත මිනිසුන්” පිළිබඳ යහපාලනවාදී රාමුවකි. එම ප්‍රවේශය වඩාත් ආකර්ෂණීය වනු ඇත්තේ නාගරික ලිබරල් මධ්‍යම පංතික කොටස්වලට බැව් සිතීම සාධාරණය. නමුත්, ඊට වෙනස්ව, ඉහත නුවන් බෝපගේ විසින් ඉදිරිපත් කොට ඇති ප්‍රවේශයේ සෘජු ආමන්ත්‍රණය එල්ල වන්නේ කොරෝනා අර්බුදයෙන් නේකවිධ පීඩනයන්ට ලක්වෙමින් සිටින කම්කරු, ගොවි, විරැකියා තරුණ කොටස් යනාදී පිරිස් වෙතය. න්‍යායිකව මෙන්ම දේශපාලනිකවද මේ ප්‍රවේශ දෙක සහමුලින්ම එකිනෙකින් වෙනස්ය. (“සමකාලීන මොහොත නිවැරදිව ග්‍රහණය කොටගෙන තිබියදීත් නුවන්ලාගේ ව්‍යාපෘතිය තවමත් සැලකිය යුතු ජනතා ආකර්ෂණයක් දිනාගෙන නැත්තේ මන්ද යන ප්‍රශ්නය වෙනම සාකච්ජා කළ යුත්තකි. මේ ඒ සඳහා අවස්ථාව නොවේ).


දේශපාලනය සබුද්ධිකකරණය කිරීම


මේ මොහොතේදී දීර්ඝව සාකච්ජා කිරීමට ඉඩක් නොමැති වුවත් වාමාංශික ජනතාවාදයක් සම්බන්ධයෙන් වැදගත් විය හැකි තවත් කාරණා දෙකක් ගැන කෙටියෙන් හෝ සඳහන් කළ යුතුව ඇත. පළමුවැන්න නම්, ජාතික ජන බලවේගය විසින් දේශපාලනය සබුද්ධිකකරණය කිරීමේ ප්‍රවණතාවයි. ඔවුන් ප්‍රකාශිතවම තම ආමන්ත්‍රණය කරන්නේ “සබුද්ධික ජනතාව”ටය. මෙය යුරෝපීය අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදයේ නැගීම හමුවේ ශන්තාල් මූෆ් වාමාංශයට කළ අනතුරු හැඟවීමක් සිහි ගන්වයි. ඇය නැවත නැවතත් අවධාරණය කළේ ජනතාවගේ හැඟීම් සංවිධානය කිරීම ජනතාවාදී දේශපාලනයේ ප්‍රධාන අංගයක් විය යුතු බවයි. සරලව, මිනිසුන්ගේ මොළයට සේම හදවතට කතා කරන භාෂාවක්ද අවශ්‍යය. මන්දයත්, දේශපාලනය සබුද්ධිකකරණය කිරීමේ ප්‍රවේශයකදී යමෙකු තම හෙජමොනික ශක්‍යතාව අහිමි කර ගනී.


හැඟීම් සංවිධානය කිරීම සම්බන්ධයෙන් මෙරට වාමාංශය සතුව තිබූ ප්‍රධාන තේමාවක් නම් අධිරාජ්‍ය විරෝධයයි. චීනය සහ එක්සත් ජනපදය අතර ගොඩ නැගෙමින් පවතින නව තුෂ්ණි යුද්ධයේ සංග්‍රාම භූමියක් බවට මේ කුඩා දිවයින පත්වීමේ අනතුර උදා වී ඇති අද දිනයේ එම අධිරාජ්‍ය විරෝධයේ ධජය යළිත් වාමාංශයට අත්පත් කර ගත හැකිය. නමුත්, එක්සත් ජනපද සේම චීන ආධිපත්‍ය පිළිබඳ තියුණු විශ්ලේෂණයක් අහිමි නායකත්වයකට එසේ කළ නොහැකිය. “අපගේ උපන් බිම චීන සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ සංග්‍රාම භූමියක් බවට පත් වීමට ඉඩ නොතබමු” යැයි කිවහැක්කේ මේ යුගයේ මූල්‍ය ප්‍රාග්ධනය ගැනත් වෙනස්වෙමින් පවතින භූ-දේශපාලනික යථාර්තය ගැනත් සංයුක්ත විශ්ලේෂණයක් සහිත වාමාංශික නායකත්වයකට පමණි.


මට සඳහන් කරන්නට අවශ්‍ය දෙවන කාරණය වන්නේ මෙයයි. ජාතික ජන බලවේගයේ යහපාලනවාදී ප්‍රවේශය මගින් ඔවුන්ව මෙහෙයවනු ලබන්නේ පවත්නා සංකේත පිළිවෙලෙහි අභ්‍යන්තර වෙනස් කිරීම් වෙතට මිස මේ පිළිවෙල තුළ නොමැති “වඩා දෙයක්” දිනාගැනීම වෙතට නොවන බවයි. එබැවින් එය “කළ හැක්කේ කුමක්දැයි” විමසන දේශපාලනයකි. ඒ වෙනුවට “කළ යුත්තේ කුමක්දැයි” විමසන ප්‍රති-හෙජමොනික ආමන්ත්‍රණයක් සහිත දේශපාලනයක් බවට එය පරිවර්තනය කරන්නට දැනට ප්‍රයත්න දරා ඇති බවක් නොපෙනේ. කෙසේ වුවද, ඒ සඳහා න්‍යායිකව දැනුවත් බුද්ධිමය මැදිහත්වීමක් වුවමනාය. (මේ ගැන ඉදිරියේදී දීර්ඝව ලියන්නට බලාපොරොත්තු වෙමි).


අවසන් වශයෙන් කිවයුත්තේ මේ ලිවීමේ අරමුණ වන්නේ වත්මන් මොහොතේ මතුවෙමින් තිබෙන අන්ත-දක්ෂිණාංශික අධිකාරීවාදී පාලනයක් ගොඩ නැගීමේ අනතුර හමුවේ ඊට මුහුණදිය හැකි වාමාංශික ජනතාවාදී අක්ෂයක් නිර්මාණය කිරීමට කිසියම් තරමකින් හෝ දායක වීම බවයි. එවන් වාම-ජනතාවාදී අක්ෂයක් ගොඩ නැගීමේ එක් අවශ්‍යතාවක් වන්නේ විවිධ වාමාංශික සහ ප්‍රජාතාන්ත්‍රික බලවේග අතර පුළුල් සහයෝගීතාවක් ඇති කර ගැනීමයි. බුද්ධිමය සහ විවේචනාත්මක ප්‍රවේශයකින් තොරව එය කළ නොහැකිය. ඉදිරියේ එන මහා මැතිවරණයෙන් පසුව බොහෝ විට මෙරට වාම, ලිබරල්, ප්‍රජාතාන්ත්‍රික කොටස්වලට මුහුණදීමට සිදුවනු ඇත්තේ පොදු අභියෝග රැසකටය. විකල්ප බුද්ධිමය සහ දේශපාලනික කතිකාවක අවශ්‍යතාවද එම දුෂ්කර සමය විසින්ම මතු කෙරෙනු ඇත.

1 COMMENT

  1. කලහැක්කේ කුමක්ද වෙනුවට කලයුත්තේ කුමක්ද යන්න පිලිබදව බිමි මට්ටමේ සංවාදයක් JVP යේ පහල මට්ටමේ සාමාජිකයන් හරහා ගොඩ නැගීමටද එය ඔවුන් හරහා පක්ෂ නායකත්වයට සම්ප්‍රශේනය කිරීමේ උත්සහයක් 2019 ජනාධිපතිවරණ කාලයෙදි ස්විස්ටර්ලන්ත හා ඉතාලි පක්ෂ කේඩරයන් සමග උත්සහ කර බැලීය.
    එහිදි මම ප්‍රධාන ලක්ෂණ කීපයක් හදුනා ගතිමි.
    1. කේඩරයන්ට ඉහලින් එන යෝජනා සහ විධාන ක්‍රියාත්මක කිරීමට මිස Biway සංවාදයන් පිලිබද අදසක් හෝ අත්දැකීමක් නොමැතිබව.
    2. ඉහල නායකත්ව මන්ඩල සියලු විෂය ක්ෂේත්‍ර වල කෙල පැමිනියන් බවත් එබැවින් ඔවුන් ගන්නා තීරන ඉතාමත් නිවැරිදි බවත් ඒවා ක්‍රියාත්මක කරනු විනා නැවත සාකච්ඡා කිරීමට හෝ input කරන්න දෙයක් නැතිබවට විශ්වාසය.
    2.1 පක්ෂ නායකයන්ද එසේ සිතීම.
    3. සියලු නායකයන් විශ්ව විද්‍යාල අධ්‍යාපනයේදි සිය ප්‍රතමික උපාධිය පමනක් සම්පුර්න කල අය නිසා එතනින් එහාට වන විශ්වීය දැනුම හෝ කිසිදු වෘත්තිය සුදුසුකමක් හෝ විවිධ වෘත්තීයන් ඇසුරින් පැන නගින සාමාජීය ආර්තික හෝ පරිපාලන ගැටලු පිලිබද අදහසක් නොවීම. More or less)
    තව සාකච්ඡා කලයුතු කරුණු රාශියක් වෙතත් ඒවා සාකච්ඡා කිරීමට අදාල පාර්ශව උනන්දු නොවේනම් සහ ප්‍රයොජනයක් නොගනීනම් අප දෙදෙනාගෙම කාලය අපතේ යාමක් බැවින් මෙතැනින් නිහඬ වෙමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here