රජිඳු කාශ්‍යප


යහපාලන රජයේ අවසන් කාර්තුවේ දී ක්‍රීඩාව සම්බන්ධයෙන් ආසියානු ක්‍රීඩා ක්ෂේත්‍රයම මවිත කරන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් බව අප පවසා මේ ගතවන්නේ මාසයකුත් සති දෙකක කාලයකි. ඒ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත ගැනය. එදා එය නිර්වචනය වූයේ පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසු එය නීතියක් බවට පත්වන බවයි.


එම නීතිය අනුව ක්‍රීඩා ඉසව් අරබයා ඔට්ටු අල්ලන්නන් ඇතුළු එවැනි විෂමාචාර ක්‍රියාවලට සම්බන්ධ වන්නන් හෝ අනුබල දෙන්නන් වූ බවට වැරදිකරුවන් වන අයට නීතිය හමුවේ උපරිම වශයෙන් රුපියල් මිලියන 100ක දඩයක් හෝ වසර 10ක සිරදඬුවමක් නියම කළ හැකිය යන්නය. පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත කරන ලද මෙම පනත ගැන ශ්‍රී ලංකාව තුළ ප්‍රවෘත්තියක් ලෙස දිග හැරෙන්නේ එක් පුද්ගලයෙක් ඉලක්ක කර ගනිමින් සිදුවූවක්ය යන ප්‍රකට පුවතක් ලෙස ද අප එදා පැවැසූවෙමු.


අප මේ කරුණු සටහන් කරමින් පැවැසුවේ මේ මගින් වඩාත් රිදෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති, වර්තමාන රජයේ තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාලට බවය. එය වර්තමානය වන විට සාක්ෂි සහිතව ම ඔප්පුවෙමින් කරළියට පිවිස ඇත.


තමන්ට ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීමට නොහැකි වන පරිදි හිටපු ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස රාජ්‍ය ඇමති තිලංග සුමතිපාල පසුගියදා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ.


ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි ක්‍රීඩා 66ටම අදාළව පැනවුණ මෙම පනත මගින් වඩාත් රිදෙන තැනැත්තා තිලංගට වූවද එය අද දවසේ ක්‍රීඩාව රැක ගැනීමට ගත යුතු යහපත් ම තීරණයක් යන්න අප එදා සේ ම අද ද පවසමු. නමුත් රිදෙන්නේ තමන්ටය. එබැවින් තමන්ගේ ආණ්ඩුවක් යටතේ එවැන්නකට යටත්වීම තිලංගගේ ප්‍රතිරූපයට තරම් නොවේ යන්න ඔහු සිතනවා විය හැකිය.


තිලංග අභියාචනාධිකරණයේ පිහිට පතන්නේ නිකම්ම නොවේ. ඔහු ඊට අවශ්‍ය පරිසරය වඩාත් සූක්ෂමව සකසන්නේය. එහි පළමු පියවර වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දූෂණ චෝදනා එල්ල කරමින් දැනට ක්‍රිකට් හා කිසිදු ලෙසකින් සම්බන්ධ වීමට නොහැකි වන අයුරින් දඬුවම් පමුණුවා ඇති ක්‍රීඩකයෝ ද ඊට හවුල් කර ගනිමිනි. ආරංචිය වන්නේ දැනට එසේ චෝදනා එල්ල වී ඇති සනත් ජයසූරිය, නුවන් සොයිසා, අවිශ්ක ගුණවර්ධන සහ දිල්හාර ලොකුහෙට්ටිගේ තමන්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් එල්ල කරන ලද චෝදනාවලට එරෙහිව ජනාධිපතිවරයාගෙන් සහ ක්‍රීඩා ඇමැතිවරයාගෙන් ද සහනයක් ඉල්ලා ඇති බවයි.


ඔවුන් මෙහි දී අවධාරණය කරන්නේ විදේශ ආයතනයක් මගින් තම අයිතීන් උල්ලංඝනය කිරීමට එරෙහිව ගනු ලැබූ තීරණයට එරෙහිව සාධාරණයක් බලාපොරොත්තු වන බවයි. මේ සම්බන්ධයෙන් දැනටමත් ක්‍රීඩා අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අතර යම් අරගලකාරී තත්ත්වයක් ද නිර්මාණය වෙමින් පවතින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.


“චූදිත ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ තීරණයන් කිසිසේත්, වෙනස් වෙන එකක් නැහැ. ඒ වගේ ම වෙනත් පාර්ශ්වයක් මේ සම්බන්ධයෙන් මැදිහත්වීම ගැන ඔවුන් පවසන්නේ එය මෙම විමර්ශනයන්ට සිදුවන බාධාවක් කියලයි. ශ්‍රී ලංකා ක්‍රිකට් තනිකරම රැඳී පවතින්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආධාර සහ අරමුදල් මත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය ලත් ක්‍රිකට් ක්‍රීඩා කරන සෑම රටකම, රජයක දේශපාලන මැදිහත්වීම් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක මේ රටේ ක්‍රිකට් පාලනයේ ප්‍රතිරූපය විනාශ කරන්න කරන උත්සාහයක්. දැනටමත් අපි අවස්ථා කිහිපයකදී චූදිතයන් වෙලා සිටින්නේ. අපි දැනගත යුතුයි මේ තත්ත්වයෙන් වෙනස් වෙන්න.” ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානියෙක් මේ සම්බන්ධයෙන් අප සමග පැවසුවේය.


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය මගින් සිදුකෙරුණු පරීක්ෂණ මත දූෂිත චෝදනාලත් ක්‍රීඩකයන් “ජාත්‍යාලය” වඩවමින් විදෙස් ආයතනයක් මගින් තමන්ට දඬුවම් දී ඇතැයි පවසා ඉන් නිදහස් වීමට උත්සාහ කරද්දී, තිලංග සුමතිපාල යහපාලන රජය ක්‍රීඩාවේ අභිවෘද්ධියට ගෙනා පනතින් තමන්ව හිර කර තැබීමෙන් බේරීමට මං සොයයි.
මේ පනත හේතුවෙන් ක්‍රීඩකයන් සේ ම පාලකයන් ද පරිස්සම්වීමේ පරිසරයක් නිර්මාණය වී තිබෙන බැව් අප එදා පැවැසූවෙමු. ඊට තිලංග වැන්නෝ සේ ම ඒ වැනි අය වටා සිටින බොහෝ දෙනෙක්ට ද ඉවසිය නොහැකි කාරණයකි. එබැවින් ඊට එරෙහිව රැස්කළ යුතු සෑම තුරුම්පුවක් ම හොඳින් හෝ නරකින් ඔවුන් රැස් කරනු නියත බැව් ද අප පැවසූවෙමු. තිලංගලා මේ සිදුකරමින් සිටින්නේ එය ය. ඔහු අභියෝගයට ලක් කරන්නේ පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වූ බහුතරයකට යහපතක් වන පනතක්ය.


බුකි සහ ඔට්ටු තැබීම් හේතුව නිසා ම අවස්ථා කිහිපයකදීම තිලංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දොර වැසුණ බැව් අද ඔහුට අමතකය. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මහ සභා රැස්වීම් සහ උත්සව සභාවන්ට සහභාගි වීමේ අවස්ථාවන් අහිමි කරමිනි. නමුත් තිලංග නැවත, නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ම දොරටු විවර කර ගැනීමට කැස කවයි. එහි කූඨ ප්‍රාප්තිය ඉහත කී අභියාධිකරණ පෙත්සම ය.

මේ තිලංගගේ ක්‍රිකට් “පෙරේතකම” හැරෙන්නට වෙන කුමක්ද?