සාකච්ඡාව- ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

මෙරට සෞඛ්‍ය අංශවල දත්ත අනුව පසුගිය දිනවල මෙරට සක්‍රීය කොවිඞ් රෝගීන් සංඛ්‍යාව සුව වූ සංඛ්‍යාව සමග සසඳද්දී පහළ අගයකට ගමන් ගනිමින් තිබුණත් මේ වන විට නැවතත් සක්‍රීය රෝගීන් සංඛ්‍යාව ඉහළයමින් තිබෙනවා. දැනට පවතින රෝගී පොකුරුවලට අමතරව මේ තත්ත්වය බාහිර සමාජයට බලපෑ හැකි ද?

පළමු ලාංකික කොවිඞ් රෝගියා මෙරටින් හමුවෙන්නේ මාර්තු 11 වැනි දා යි. අද වෙද්දී 1685 යි. එයින් 50%ක් පමණ සුව වී ගිහින් තියනවා. 11ක් මියගොස් තියනවා. ඊට අමතරව දැනට රෝහල්ගතව ඉන්න අය අතරින් බහුතරය රෝග ලක්ෂණ නැති අය යි. ලෝකයේ අනෙක් රටවල් එක්ක සසඳා බැලුවොත් දැනට තිබෙන තත්ත්වය අනුව අපි මේක පාලනය කරලා තියනවා. හැබැයි වසංගතයක් පාලනය කරලා කියන දෙයින් අදහස් වෙන්නේ යම් මොහොතක දෙවැනි රැල්ලකට අවදානමක් නැහැ කියන එක නෙමෙයි. අවදානමක් තියනවා. මුළු රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනවා. අපි බලන්න ඕනෑ සක්‍රීය රෝගීන් සංඛ්‍යාව පිළිබඳවයි. ඒක හැම විටම අඩු වැඩි වෙනවා. අපි මැයි 11 සිට රටේ තිබුණු සංචරණ සීමාවන් ලිහිල් කළා. ඒක රට විවෘත කිරීමක් නෙමෙයි. ලිහිල් කිරීම තුළ ඕනෑ නම් නැවත දැඩි කිරීමේ හැකියාවත් තියනවා. ඒක ඇත්තටම සාමාන්‍ය තත්ත්වයට පත්වීම නෙමෙයි. ලෝකයේ රටවල ඒ ආකාරයට ලිහිල් කිරීම සිදු කරන්නේ සක්‍රීය රෝගීන් සංඛ්‍යාව යම් තැනකදී අඩු වන විට යි. ඒ වෙලාව වන විට සක්‍රීය රෝගීන් සංඛ්‍යාව අඩුවෙමින් තිබූ නිසා අපි එහෙම ලිහිල් කළා. ඒ අවස්ථාවේ අපිට ඉතිරි වෙලා තිබුණේ නාවික හමුදාවේ රෝගී පොකුර විතරයි. ඒ පොකුර හැබැයි අපි හිතුවාට වැඩි කාලයක් රට තුළ පැවතුණා. සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ දින දාහතරේ ඒවා දෙකක්, ඒ කියන්නේ දින විසිඅටක් පමණ යි. හැබැයි දින 28 පැනලාත් තවමත් එහින් රෝගීන් වාර්තාවෙමින් තියනවා. ඒක යම්කිසි ආකාරයකට අපිට සතුටු වෙන්න පුළුවන් කාරණයක් නෙමෙයි.


මැදපෙරදිග සිට ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයන් මෙරටට පැමිණීමත් ඒ අතර ආසාදිත රෝගීන් වාර්තාවීමත් සිදු වුණා. මේ වන විට ඔවුන් ගෙන ඒම නතර කර තිබෙනවා. මෙරට කොවිඞ් සංඛ්‍යා ලේඛනවල සංඛ්‍යා අඩුකර ගැනීම වෙනුවෙන් විසඳුම වන්නේ ඔවුන් මෙරටට පැමිණීම නතර කිරීම ද?


මාර්තු 11 සිට දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සංචරණය 80%ක් පමණ සීමා කර තිබුණා. එහෙම දැඩි පියවර අරගෙන අපි රෝගීන් සංඛ්‍යාව අඩුකර ගත්තා. ඒ අඩු කරගත් එකේ වාසිය තමයි අපි ජනතාවට ලබා දුන්නේ. අපි දන්නවා සංචරණ සීමා තිබියදී 80% ප්‍රමාණයට තිබූ දුරස්ථකරණය සංචරණ සීමා ලිහිල් කිරීම සමග 40% ට පමණ වැටෙනවා. ඒ එක්කම අපි විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයන් ගෙන්වනවා. එයින් දෙවැනි පොකුරක් ඇති වෙනවා. එතැන යම් ප්‍රමාණයක් ආසාදිත අය ඉන්න පුළුවන් කියලා අපි දන්නවා. ඒක අඩු කරන්න නම් ඔවුන් එන රටේ දී ම පීසීආර් පරීක්ෂණයක් කර සහතිකයක් දෙන්න කියලා අපි කියනවා. අන්තර්ජාතිකව තිබෙන සෞඛ්‍ය නීති රීති වලට අනුවත් වසංගත රෝගියෙක් එක් රටකින් තවත් රටකට යවන්න බැහැ. චීන ජාතික කාන්තාව ආසාදිතයි කියා දැනගත් වෙලාවේ ඕනෑ නම් ඇයව ගුවන් යානයක දාලා ඒ රටට යවන්න තිබුණා, මොකද මෙහේ ප්‍රතිකාර කර කර අවදානම තියාගන්නවාට වඩා ඒක අපිට ලාභයි නේ. නමුත් අපි එහෙම නොකර ඒ විධියට ඒ දේවල් කළේ ජාත්‍යන්තර සෞඛ්‍ය නීතිරීතිවලට අනුව යි. නමුත් අපි ඕස්ටේ්‍රලියාවෙන්, එංගලන්තයෙන්, ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන් ආදී ලෙස ලාංකිකයන්ගෙන් වුවත් ඒ අය අතර ආසාදිත අය හිටියේ ඉතා අඩු සංඛ්‍යාවක්. ඒ ගෙන්වූ අයත් අපි නිරෝධායන ක්‍රියාවලියට යොමු කළා. නමුත් කුවේට්වලින් ආ අය විශාල ප්‍රමාණවලින් ආසාදිත බවට තහවුරු වුණා. ඒ නිසා ඔවුන් පීසීආර් නෙගටිව් බවට අපිට ලබා දුන් දත්ත නිවැරදිතාව පිළිබඳත් ගැටලුවක් අපිට ආවා. ඒ නිසා අපිට දැන් රෝගී පොකුරු දෙකක් ඇතිවෙලා තියනවා. රෝගී පොකුරු දෙකක් තිබීම හා ඒවා සක්‍රීය පොකුරු වීමත් නිසා සක්‍රීය රෝගීන් ප්‍රමාණය වැඩිවීම තුළ ලංකාවේ දෙවැනි රැල්ලක් එහෙම නැත්නම් පහළට එමින් තිබූ ප්‍රස්ථාරය නැවත ඉහළයමින් තියනවා. දැන් අපි කළමනාකරණය කරගන්න ඕනෑ මේ දෙවන රැල්ල යි.


කෙසේ වෙතත් ඒ පිරිසත් ශ්‍රී ලාංකිකයන්. ඔවුන්ට එම රටවල් තුළ රැකවරණයක් නොමැති බව පැහැදිලියි. එමෙන්ම කුවේට් වැනි රටවල් ඔවුන්ට එම රටින් පිටවන ලෙස කාලසීමාත් පනවා තිබෙනවා. එවන් පසුබිමක ඔවුන්ට මව් රටට ඒමට කිසියම් විධිමත් ක්‍රමවේදයක් සකස් කළ යුතුයි නේද?


මේක අපේ රටට විතරක් තිබෙන ගැටලුවක් නෙමෙයි. අනෙක් රටවලටත් මේ ගැටලුවම තියෙනවා. තමන් දැන් ඉන්න රට අවදානම් ප්‍රදේශයක් නිසාත් ලංකාවේ තත්ත්වය හොඳ නිසාත් ඒ ලාංකිකයන් ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා. ඒක සාධාරණයි. තමන්ගේ රට, තමන්ට එන්න අයිතියක් තියනවා. ඒ වගේම ආර්ථික වශයෙන්, සාමාජීය වශයෙන් ජනතාව ලොකු කැපකිරීම් කරලා තමයි කොවිඞ් පාලනය සම්බන්ධයෙන් මේ රට මේ තත්ත්වයේ හොඳ මට්ටමකට ගෙනැවිත් තිබෙන්නේ, ඒ නිසා අපිටත් වගකීමක් තියනවා. ඒ වගේම විදෙස්ගත ශ්‍රී ලාංකියෝත් අපේ ශ්‍රී ලාංකිකයෝයි. අපිට ඒ අයව ගෙන්වා ගන්නත් ඕනෑ, හැබැයි රට ආයේ අගාධයට පත් කර ගන්නත් බෑ. නැත්නම් ඒ අය ආවාට ඒ අයට වැඩකුත් නෑ. ඒ අය ආවාට පස්සේ මේ රටේත් ඒ විධියටම රෝගය ව්‍යාප්ත වෙනවා නම් ඒ අය එහේ හිටියත් මෙහේ හිටියත් එකයි කියලා ඒ අයටම හිතෙයි. ඒ නිසා අපි නිතරම බලන්න ඕනෑ මේ රටත් රෝගයෙන් රැකගෙන ඒ අයවත් ගන්න යි.


ඔබ කියන ආකාරයට එහෙම විධිමත් ආකාරයකට ඔවුන් ගෙන්වා ගැනීමක් වෙනුවෙන් තිබෙන සූදානම මොකක් ද?


ලංකාවට කට්ටිය ගෙන්වනවා නම් අපේ නිරෝධායන ධාරිතාව බලන්න ඕනෑ. පොසිටිව් වුණොත් යවන්න වෙන්නේ රෝහල්වලට නිසා රෝහල්වල ධාරිතාව බලන්න ඕනෑ. ඊට අමතරව පරීක්ෂණ ධාරිතාව බලන්න ඕනෑ. අඩුම තරමේ දිනකට පරීක්ෂණ 2500ක්වත් කරන්න බැරි නම් විදේශ රටවලින් අපිට කොච්චර ගේන්න පුළුවන් ද කියන දේ ගැන ගැටලුවක් තියනවා. දවස තුළ නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්න අයත්, අවදානම් කලාපයේ අයත්, රෝහල්වල ඉන්න අයත් පරීක්ෂණ කරලා අපිට තවත් පරීක්ෂණ කිරීමේ හැකියාව තිබෙන්නේ එකසිය විස්සක් නම් අපි එදා දවසට ගේන්න ඕනෑ ඒ ගණන යි.

මොකද පරීක්ෂණවලින් පොසිටිව් නම් අපිට ඒ අයව නිරෝධායන මධ්‍යස්ථානයේ තියන්න බෑ. ඒ අය ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යවන්න ඕනෑ. පොසිටිව් බහුතරයක් රෝග ලක්ෂණ නැති අය යි. නමුත් රෝහල්වලට යවන්න වෙනවා. එතකොට රෝහල්වල මානව සම්පත්, වෛද්‍ය උපකරණ ධාරිතාව, හදිසි ප්‍රතිකාර ඒකක ආදිය පිළිබඳව බලන්න ඕනෑ. හදිසි ප්‍රතිකාර ඒකක දැනට ඕන නැති බව ඇත්ත. නමුත් දැනට ලෝකයේ කොවිඞ් ප්‍රභේද තුනක් තිබෙන බවට හඳුනාගෙන තියනවා. අපේ රටේ දැන් තිබෙන්නේ එකක් වුණත් විවිධ රටවලින් ගෙන්වද්දී වෙනත් ප්‍රභේදත් ලංකාවට එන්න පුළුවන්. එවැනි අවදානමක් තිබෙන නිසා පරීක්ෂණ කරන්නේ නැතිව රටට ඇතුළු කර නොගත යුතුයි. පළමු දේ ලංකාවට එන අය සම්බන්ධයෙන් ඒ අය නෙගටිව් බවට ඒ රටවලින් සහතිකයක් ගන්න ඕනෑ. පොසිටිව් අය ගේන්නේ නැහැ, නෙගටිව් අයව ගේන්න ඕනෑ. ඒ අය ගේන විට සමහර විට පොසිටිව් කෙනෙක් හිටියොත් ගුවන් යානා සේවක මණ්ඩලය නිරෝධායනය කරන්න වෙනවා. ඒ අය ලංකාවට ආ පළමු දවසේම පරීක්ෂණ කරන්න ඕනෑ කියලා අපි කියනවා. පළමු දිනයේ ම පරීක්ෂා කළාම තිබෙන වාසිය වෙන්නේ පොසිටිව් අය ඉන්නවා ද නෙගටිව් අය ඉන්නවා ද කියන දේ දැනගන්න පුළුවන්. පොසිටිව් අයව ප්‍රතිකාර සඳහා හුදෙකලා කර තැබීමත් නෙගටිව් අය නිරෝධායනයටත් යැවිය යුතුයි. ඒ වගේම අවදානම් කණ්ඩායම් පරීක්ෂා කිරීමත් හරියටම සිදුවිය යුතුයි. ඊට අමතරව සාමාන්‍ය සමාජයේත් අහඹු සාම්පල ලබාගෙන පරීක්ෂා කර බලන්න ඕනෑ. දැනට තිබෙන චිත්‍රය එය යි. ඒ ක්‍රමයට කටයුතු කළොත් දෙවන රැල්ලක් ඒම නතර කරගන්න පුළුවන්.


දැනට ලංකාවේ හඳුනාගෙන තිබෙන විශාලම හා මේ වන විට සක්‍රීය රෝගී පොකුරු දෙකක් තිබෙනවා. මේක ඉන් බාහිර සමාජයට බලපෑම් ඇති කළ හැකි ද?


රෝගී පොකුරු තිබීම බාහිර සමාජයටත් තර්ජනයක් ඇති කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියන්නේ රෝගී පොකුරක් තිබීම හා ඒ පොකුර පැතිරීම දෙවන රැල්ලකට අවදානමක් තියනවා කියලා යි. එකම වාසිය තියෙන්නේ මේ දෙවන රැල්ලේ වැඩිවීම වෙන්නේ අපි හඳුනාගත් තැන් දෙකකින් වීම යි. ඒ නාවික හමුදාවේ පොකුර සහ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ආ පොකුරු දෙකයි. ඒ කියන්නේ ඒක සමාජයට ගිහින් නැහැ. හැබැයි සමාජයට යෑමේ අවදානමත් පොකුරු වැඩිවීම එක්ක වැඩි වෙනවා. නාවික හමුදාවේ පොකුරේ තියෙන්නේ ඒ අය එක්ක ගැටුණු නිවෙස්වල අය සහ සීමිත පිරිස්. හැබැයි විදේශ රටවල සිට එන අයගේ පොකුරේ දී මුලින් ම ගුවන් සේවා කාර්ය මණ්ඩලය, ඊළඟට ලංකාවේ ගුවන් තොටුපොළේ කාර්ය මණ්ඩලය, ඊළඟට පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය සේවයේ අය, හෝටල්වල නිරෝධායන ක්‍රියාවලියේ සිටින අය සහ ඒවාට ආහාර හා අවශ්‍ය ද්‍රව්‍ය සපයන අය අවදානම් කාණ්ඩයට වැටෙනවා. ඊළඟට නාවික හමුදාවේ පොකුරට අවශ්‍ය දේ සපයන අය නාවික හමුදාව තුළ ඉන්නවා. ඒ කණ්ඩායම් අවදානම් කාණ්ඩයට අයත් වෙනවා. මෙවැනි රෝගී පොකුරු වාර්තා වෙද්දී මේ අවදානම් කණ්ඩායම් වැඩිපුර අවදානමට ලක්වෙනවා. ඒ කණ්ඩායම් වරින් වර පරීක්ෂණයට භාජනය කරන්න ඕනෑ. ඊට අමතරව අවශ්‍ය තැන් නිරෝධායනය කරන්න ඕනෑ. ගෆූර් ගොඩනැගිල්ලේ සිටි සැපයුම් කළ කෙනෙක් හා ගුවන් තොටුපොළේ සේවය කළ ලුතිනන් කර්නල් කෙනෙක් ආසාදිතයින් ලෙස හමුවීම මේ කතාව ඇත්ත බව ඔප්පුවෙන අවස්ථා යි.


මේ මාර්ගෝපදේශන හා නීතිරීති ක්‍රියාත්මක වන්නේ තරාතිරම මත පමණක් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කාරණයක්. ඊට ආසන්නතම හා හොඳම උදාහරණය වන්නේ ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු සිදු කළ ආකාරය යි. මේ සම්බන්ධව ඔබ සංගමය දරන මතය මොකක් ද?


අපිට පුළුවන් දේ සෞඛ්‍ය නීතිරීති හදුන්වා දීම යි. ඒක ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලීසියට බලය පවරලා තියනවා. තොණ්ඩමන් මහත්මයාගේ මළගෙදර සම්බන්ධයෙන් අපි දරණ අදහස තමයි, ඒකෙදී අවශ්‍ය සෞඛ්‍ය නීතිරීති පිළිපැද්දේ නැහැ වගේම ඒ සම්බන්ධයෙන් අපේ දැඩි අප්‍රසාදය අපි පළ කරලා තියනවා. ඒකට හේතුව තමයි, මේ රටේ වසංගතය පාලනය කරන්න හැමෝටම නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා රටේ ජනතාවගේ විශ්වාසය බිඳ වැටුණොත් සහ ජනතාවගේ සහාය නොලැබුණොත් මේ වගේ වසංගතයක් පාලනය කරගන්න බැරි වෙනවා. ලොකු අය සම්බන්ධයෙන් එක නීතියකුත් අපි සම්බන්ධයෙන් වෙන නීතියකුත් ක්‍රියාත්මක වෙනවා වැනි අදහසක් මේවා නිසා ජනතාවට ඇති වෙන්න පුළුවන්. එහෙම වුණාම ජනතාව නීතියකට අනුගත වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ, වගකීමකින් කටයුතු කරන්න ඕනෑ. මේ වෙලාවේ යම් කෙනෙකුට කරන්න පුළුවන් ලොකුම ගෞරවය මේ පවතින නීතිරීතිවලට අනුව කටයුතු සිදුකිරීම යි. බෞද්ධ කෙනෙක් මියගියාම පාංශුකූලය දීමේ හැකියාව තිබුණේ නැහැ, මුස්ලිම් කෙනෙක් මියගියාම එයාට අවශ්‍ය විධියට අවසන් කටයුතු කරන්න හැකියාව තිබුණේ නැහැ, දෙමළ කෙනෙක් මිය ගියත් ඒ අයට අවශ්‍ය විධියට අවසන් කටයුතු කරන්න අවස්ථාව තිබුණේ නැහැ කියලා අපි දැක්කා. එසේ තිබිය දී මෙවැනි ක්‍රියාවලියක් තුළ ඇතිවෙන්න පුළුවන් මහජන විශ්වාසය බිඳ වැටීම අපි නතර කරගත යුතුයි. ඒ නිසා තොණ්ඩමන් මහත්මයාගේ මළගෙදරත්, රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් කරන උද්ඝෝෂණත් යන ක්‍රියාවලි දෙකම පිළිබඳ අපේ අප්‍රසාදයක් තියනවා. ඒ වගේම මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකුගේ දියණියක් නිරෝධායන ක්‍රියාවලියට නිශ්චිත විධියට සම්බන්ධ වුණේ නැහැ කියන කාරණය සම්බන්ධයෙනුත් අපි දරන්නේ එකම ස්ථාවරයක්.


මේ උපදේශන සම්බන්ධව නිශ්චිත නීතිමය පසුබිමක් නොතිබීමත් මීට එක් හේතුවක් විය හැකියි නේද?


සමහර ඒවාට මාර්ගෝපදේශන තියනවා. සමහර ඒවාට ගැසට් තියනවා. මාර්ගෝපදේශන කෙනෙකුට අභියෝග කරන්න පුළුවන්. ඒ නිසා නීතිමය ක්‍රියාමාර්ග නිශ්චිතව නැතිවීමත් තියනවා. හැබැයි නිරෝධායන පනත යටතේ යම් යම් බලතලත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට තියනවා. ඒ නිසා තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නුවරඑළිය ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට පොලීසිය සමග එකතු වී කටයුතු කළේ. නමුත් මේ රටේ ජනතා නියෝජිතයන්ටත් වගකීමක් තියනවා. මොකද මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ ඒ අය යි. පාර්ලිමේන්තුවේ නීති හදන්නේ ඒ අය නම් ඒ නීති ඒ ආකාරයට ක්‍රියාත්මක කරන්නත් ඒ අය බැඳෙන්න ඕනෑ. නැත්නම් නීති හදන අයම ඒ නීති කැඩුවොත් ඒක පක්ෂ විපක්ෂ භේදයකින් තොරව විහිළුවක් වෙනවා. ■