නිමල් අබේසිංහ

විජේරත්න බණ්ඩාර ඒකනායක 1919 මැයි 29 දින උපත ලබන්නේ මහනුවර හාරිස්පත්තුවේ දඩනාගමදීය. නුගවෙල විදුහලින් සහ කටුගස්තොට රාහුල විදුහලින් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු කොළඹ පෙම්බ්‍රොක් විදුහලේ වැඩිදුර අධ්‍යාපනය ලබන 1942 ලංකාරක්ෂක හමුදාවට බැඳී 1943දී ගම්පහ දිස්ත්‍රික්කයේ දනව්කන්ද යුද හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුකරුවකු ලෙස කටයුතු කර 1946දී ඉන් ඉවත්ව ග්‍රාමසංවර්ධන නිලධාරියෙකු ලෙස ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවට බැඳෙන්නේය. අනතුරුව ඔහුගේ ප්‍රථම පත්වීම ලැබෙන්නේ වැදි ජනයාගේ සුබ සාධක නිලධාරියා ලෙස බදුල්ල දිස්ත්‍රික්කයේ දඹානටය.


1946 සිට 1954 දක්වා ඔහු ආදිවාසී ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් අනගි මෙහෙවරක් සිදු කළේය. 1954 සිට 1956 දක්වා මාතලේ උතුර භාර ග්‍රාමසංවර්ධන නිලධාරියා ලෙස කටයුතු කළ ඔහු 1956දී කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ග්‍රාම සංවර්ධන පුහුණු මධ්‍යස්ථානය භාර නිලධාරියා ලෙස පත්ව ගියේය. අනතුරුව ඔහු පිළිමතලාව ග්‍රාම සංවර්ධන අභ්‍යාස මධ්‍යස්ථානාධිපතිවරයා ලෙස පත්ව එන්නේද එහි ආරම්භක ස්ථානාධිපතිවරයා ලෙසිනි. එහි සේවයෙන් පසුව මහනුවර දිස්ත්‍රික් ග්‍රාම සංවර්ධන නිලධාරියා ලෙස පත්වන ඔහු 1963දී අනුරාධපුර දිස්ත්‍රික් ග්‍රාම සංවර්ධන නිලධාරියා ලෙසත්, 1970දී මහනුවර දිස්ත්‍රික් ග්‍රාම සංවර්ධන නිලධාරියා ලෙසත් පත්වන ඔහු 1976දී ග්‍රාම සංවර්ධන සහකාර තනතුරට උසස්වීම් ලැබ 1971 ජූනි 29 දින රාජ්‍ය සේවයෙන් ඉසිඹු ලබන්නේය. ග්‍රාම සංවර්ධන ක්ෂේත්‍රයේ මුල්පත්වීමේ සිට දීප්තිමත් ග්‍රාම සංවර්ධකයෙකු ලෙස අනභිබවනීය සේවාවක යෙදෙන ඔහු සේවය කළ සියලුතන්හිදීම ජනතා සිත් සතන් ඇද බැඳගෙන කටයුතු කළ සැබෑ රාජ්‍ය සේවකයෙකුව සිටියේය. ඔහුගේ ප්‍රථම පත්වීම වූ දඹානේ ආදිවාසි ජනයාගේ ශුභ සාධක නිලධාරියා ලෙස කටයුතු කළ සුවිශේෂී අවධිය ගැන කතාවත මෙහි දිග හැරෙයි. තොරතුරු සැපයීමේලා රාවයට සහාය දැක්වූයේ ඔහුගේ භාර්යාව වන අනූහතර වියැති සුධර්මා කුමාරිහාමි ඇටිපොළ සහ ඔහුගේ දියණිය වන මහවැලි කුමාරි කුලතුංගය.

දිනය නිශ්චිතව මතක නැත. ආදිවාසි ජනයාගේ ප්‍රථම සුබ සාධක නිලධාරියා ලෙස මාව පත් කරනුයේ වර්ෂ 1946 වසරේ අගභාගයේදීය. මගේ ප්‍රධාන කාර්යාලය පිහිටියේ බදුල්ලේය. පත්වීම ලැබ බදුල්ලට ගිය මම මගේ ප්‍රධාන නිලධාරියා වූ දිසාපතිවරයා හමුව නියමිත රාජකාරි කටයුතු ඉටුකර ඔහුගේ උපදෙස් ලැබ පසුදිනම දඹාන බලා පිටත්වීමි. දඹානට මහියංගණයේ සිට ප්‍රධාන මාර්ගයේ දුර සැතපුම් 14ක් සිට දුර ගෙවා හෝ පදියතලාවේ සැතපුම් 17ක් දුර ගෙවා හෝ පැමිණ එතැන් සිට මහා ගණ වනාන්තරය මැදින් තවත් සැතපුම් 16ක් දුර ගෙවා යා යුතුය. ප්‍රථමයෙන් එහි ගිය මා ආණ්ඩුවෙන් ලැබුණු කූඩාරම අටවාගෙන හාල්, වළන්, හට්ටි මුටිටි සහ ආහාර ද්‍රව්‍යද තබාගෙන එහි පදිංචි වීමි.


පසුදින සිට රාජකාරිය ඇරඹූ මම 1953 මාර්තු මාසය දක්වා වූ වසර අටක් පමණ වූ කාලය මේ අහිංසක ආදිවාසී ජනතාව ඇසුරේ ඔවුන්ගේම සගයෙකු සේ වෙසෙමින් මම මගේ මනුසත් වගකීම ඉටු කළෙමි.”
එදා අලි, කොටි වග වලසුන්ගෙන් පිරුණු දඹාන අවට වනාන්තරය මෙන්ම කිසිදු පහසුකමක් නොතිබුණු කැලෑ ගම්මණ්ඩියක සිට ඒකනායක මහතා කළ සේවය මහ මෙරක් වන් බව පෙනේ. ඔහුගේ ප්‍රථම රාජකාරිය ගමේ ජනතාව පිළිබඳ සිදුකරන ලද සංගණනය. ඔහු සිදු කළ සංගණනයට හසුවූ පවුල් සංඛ්‍යාව 62කි. ඔවුන් කල්ගෙවුවේ කුඩා පැල්පත්වල හා ගල්ගුහාවලය. පිරිමින් අමුඩ කෙටිවලිනුත්, සෑම කාන්තාවකම ඉනට පමණක් ඇඳිවතින් යුතුව උඩුකය නිරාවරණයව සිටිය බවත් සඳහන්ය.


එවකට ආදිවාසී සනුහරේ නායකයා ඌරුවරිගේ තිසාහාමිය. ඒකනායක මහතාගේ සටහන් අනුව ඔහුගේ සියලු සුබ සාධන කාර්යයන්හිදී ආදිවාසී නායක තිසාහාමිගේ සහ බුබුලේ බණ්ඩා ගමරාළගේ පූර්ණ සහයෝගය ලැබුණු බව සඳහන්ය.


ගස් සෙවණේ පාසලේදී අමුඩ ගැලවීම


ඒකනායක මහතා මෙහි ප්‍රථමයෙන් ආරම්භ කළ සංවර්ධන කාර්ය ආදිවාසී දරුවන්ගේ සාක්ෂරතාව වැඩි දියුණු කිරීම සඳහා පාසලක් ඇති කිරීමය. එයත් අපූරුම පාසලකි. ගසක් යටදී ඇරඹූ පාසලේ දරුවන් වාඩිවූයේ බිම වැටුණු ගස් කඳන් මතය. අමුඩ කෙටියෙන් සැරසුණු හිච්චි එව්වෝද උඩුකය නිරාවරණව ඉනට පමණක් රෙදිකඩක් ඇඳි කෙල්ලියෝද මෙහි ඉගෙනුමට පැමිණියහ. අකුරු ලීවේ පොළොවේ වැලි මතය. මෙය නම් කිනම් අපූරුවක්ද? වැලි මත අකුරු ලිවීමට ඉගෙනුමට ආ කෙලි කොල්ලන් කීපදෙනෙකුගේ නම් මතකයේ රැඳී තිබුණත් ඒ ගැන ඒකනායක මහතා පසුකලෙක පාසල ඇරඹීම හා මුලින්ම පැමිණියවුන්ගේ නම් කීපයක්ද සහිතව මෙවැනි සටහනක් තබන්නේය.
“වැදි ළමයින්ට අධ්‍යාපනයක් ලබාදී බුද්ධිමත් පිරිසක් බවට පත් කිරීමේ මූලික පරමාර්ථය අනුව 1946 අගෝස්තු මාසයේ දඹාන වැදි ළමයින් දහසය දෙනෙකුට වැදි ඉතිහාසයේ පළමුවරට අකුරු ඉගැන්වීම ගසක සෙවණක් යට මවිසින් එක් උදෑසනක ආරම්භ කිරීම මගේ ජීවිතයේ ඉතා වැදගත් අමතක නොවන ස්වර්ණමය සිද්ධියක් විය. අමුඩ කෙටි හැඳගෙන සිටි කැකුළන්ට සහ දණ තෙක් රෙදි කැබැල්ලක් පටලවා ගත් කැකුළියන්ට අවශ්‍ය ඇඳුම් සහ පොත්පත් එදින රජයෙන් සපයන ලදි.”


මේ ඔහු විසින් තබන ලද සමස්ත සටහනෙන් බිඳකි. පුදුමය වන්නේ ආදිවාසීන් තවමත් සිය ගැහුනු වර්ගයා පිටස්තර පිරිමින් අබියසට යවන්නට මැලිවන මොහොතක මේ ආගන්තුකයා හමුවේ අකුරු ඉගෙනීමට එවීමය. මෙයින් පෙනෙනුයේ ඔහු එදා ආදිවාසී ජනයාගේ සිත් කොතරම් දිනාගත්තේද යන්න සහ ඔහු කෙරෙහි ආදිවාසීන් තැබූ අචල විශ්වාසයය. ගස් සෙවණේ කැලෑසිය පවතිනුයේ මාස හතරක් පමණි. පසුව ඔහු සිය මිතුරු සහෘද ආදිවාසීන්ගේ නොමසුරු සහයෝගය ඇතිව දිගින් අඩි 30ක් සහ පළලින් අඩි 15ක් වූ ලීවලින් තැනූ ඉළුක් සෙවණ කළ ගොඩනැගිල්ලක් තනා ගත්තේය. කොට බිත්ති ආවරණය ලී පතුරු හා කොටවලින්ය.


මේ හා සමගම දඹාන අවට වූ වෙල්පල්ලේවල, බිම්මලමුල්ල, ගොඩ තෝරයාය යන සිංහල ගම්වල ළමයින්ද පාසලට පැමිණියෙන් මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 48 දක්වා වැඩි වූයෙන් වර්ෂ 1947දී අඩි 40ක් දිග හා අඩි 20ක් පළල විශාල ගොඩනැගිල්ලක් ඉදිකරනු ලදුව එයද සෙවිල්ලන ලද්දේ ඉලුක්වලින්මය. මේ ගොඩනැගිල්ල විවෘත කරනුයේ ඌරුවරිගේ තිසාහාමි වැදි නායකයා හා බුබුලේ බණ්ඩා ගමරාළ විසින් යැයි සඳහන් වන අතර ගස්ලබු ගෙඩියක් පලා සාදා ගත් පහන් දැල්වූ බවද ඒකනායක මහතා ලියා ඇත. මෙම අවස්ථාවට වේවැල්වත්තේ රතනරංසි හිමියන් විසින් ආගමික කටයුතු කළ බවද එම සටහනෙහි සඳහන්ය.

සුදර්මා අද


ආණ්ඩුවේ පාසල


වර්ෂ 1947 දෙසැම්බර් මාසයේදී මෙම පාසල අධ්‍යාපන දෙපාර්තමේන්තුවට පවරා දෙන තෙක්ම දඹාන බැද්දෙ පාසලේ මුල් ගුරුවරයා සේ ම එකම ගුරුවරයාද වනුයේ ඒකනායක මහතාය. ඔහුගේ සටහන් අනුව මෙම පාසලට පැමිණි ප්‍රථම මුල් ගුරවරයා වනුයේ ආර්.එල්. පෙරේරා මහතාය. එහෙත් දරුවන්ගේ සුබ සාධන කාර්යයන් දිගටම ඒකනායක මහතා අතින් දිවා ආහාරය සඳහා කිරි සැපයීමේ කටයුත්තත් දරුවන්ට රෙදි පිළි සැපයීමත් සිදුවන්නේය. එදා ඒකනායක මහතාගේ බැද්දෙ පාසලට පැමිණි දරුවන් ගැන මතකය ඉන් වසර ගණනාවකදීත් එනම් සිය වෘත්තියේ විශ්‍රාම ලැබීමෙනුත් පසු තිබූ බව මේ සටහනින් පැහැදිලිය. ‘වන්නියා, තිසා, බණ්ඩියා, අප්පුවා, කළුවා හුදී, රනී, කුමී, බණ්ඩි මුලින්ම පැමිණි වැදි ළමයින් ගැන මතකය.’ මේ කුමීලා තිසාලා එදවස කිසියම් යහපත් දැනුමක් ලබා ගත්තාට සැකයක් නැතිය.


එලෙසින්ම ඒකනායක මහතා එදා ඇරඹූ පාසලෙන් ඉගෙන ගෙන දඹානේ ගුණවර්ධන වන් ආදිවාසී දරුවන් විශ්වවිද්‍යාලයටද පිවිසීම ඔහු ජීවත්ව සිටියදීම දකින්නට ලැබීම ඔහුට ඉමහත් සතුටක් ගෙන දුන්නාට සැකයක් නැතිය. ඒ සතුට දෝරේ ගලා යන්නට ඇත්තේ දඹානේ ගුණවර්ධන නිතර නිතර ඔහුගේ සුව දුක් විමසීමට පැමණීමත් හේතුවෙනි.


තැපැල් මහත්තයා හා සමූපකාර මැනේජර්


මේ ආදිවාසීන්ගේ ප්‍රථම සුබ සාධන නිලධාරියා සිය සහෘදයන් වෙනුවෙන් ඉටුකළ මෙහෙය පාසලෙන් පමණක් අහවර නොවේ. දඹානේ ප්‍රථම සමූපකාරය. තැපැල්හල අරඹනුයේද ඔහුගේ මෙහෙයවීමෙනි. සමූපකාරය ඇරඹීමෙන් පසුව සෑහෙන කලක් යනතුරු එහි කළමනාකරුවාද වෙළෙඳ සේවකයාද වන්නේත් ඒකනායක මහතාමය. එය ඔහුගේ රාජකාරියෙන් බැහැර කාර්යයක් වුවද එහි වගකීම භාර ගනුයේ ආදිවාසී ජනාය කෙරෙහි ඔහු තුළ වූ භක්තිය නිසාවෙනි.


එයින් නොනැවතුණු ඒකනායක මහතා දඹානේ ඩිස්පැන්සරියක්ද අරඹන්නේය. මුල් යුගයේ එහි සිටි වෛද්‍යවරයාද ඔහුමය. දෙවන ලෝක යුද සමයේදී යුද හමුදා නිලධාරියෙකු සහ පුහුණුකරුවෙකු ලෙස ඔහු ලද පුහුණුව සහ අත්දැකීම් මේ සඳහා පාදක කරගන්නට ඇතැයි අපට සිතේ.


මේ කාලය තුළදී ඒකනායක මහතාට ඉතා කනගාටුදායක අත්දැකීමකටද මුහුණ දෙන්නට සිදුවන්නේය. ඒ ඔහුගේ පියාණන්ගේ අභාවය සම්බන්ධයෙනි. ඔහු පියාගේ අභාවය සිදුවූ බව ටැලිග්‍රෑමයකින් දන්වා ඇතද එය ඔහු අතට පත්වන්නේ දින ගණනාවක් ගිය පසුවය. එසේ ටැලිග්‍රෑමය ලැබුණද එක්වරම ඔහුට දඹානෙන් පිටවෙන්නට නොහැකිය. රාජකාරිය නිසි ලෙස සිදුකර අවසන ඔහු නිවෙසට එනවිට පියාගේ මරණය සිදුවී දවස් දහයක්ද ඉක්ම ගොසිනි. මෙය ඔහු සසල කරවන අත්දැකීමක් වුවද දඹානේ රාජකාරිය අත්හැර දමන්නට ඔහු මැලි වූයේය. ඒ බැඳීම වෙතින් දිගටම සිය රාජකාරිය කරගෙන ගියේය.


දඹානට මං ගැච්චූ කිරිනෑනි


සුධර්මා කුමාරිහාමි ඇටිපොළ උපන්නේ 1927 ඔක්තෝබර් මස 03 වැනිදාය. ඕ හැදී වැඩුණේ මව මෙන්ම හීන් අක්කා යැයි සෙනෙහසින් ඇමතූ මිත්තණියක ඇසුරේය. විවාහ යෝජනාවක් මත ඇය යුග දිවියට එළඹෙන්නී ඇගේ දිවියේ වයස අවුරුදු විසිපහකුත් මාස දෙකක් හා දින දෙකක් ගෙවී ගිය තැනය. මේ නව යෞවනියගේ වල්ලභයා කවුරුන් විය හැකිද? ඔහු වෙන කිසිවෙකුත් නොව දඹානේ ආදිවාසීන්ට පෙම් බැඳි වැද්දාස් වෙල්ෆෙයාර් ඔෆිසර් විජේරත්න බණ්ඩාර ඒකනායක සමගින්ය. දෙමාපියන් ඔහු ඇමතුවේ සෙනරත් නමිනි. විවාහ බන්ධනයේ සිට සුධර්මා කුමාරිහාමි ඔහු අමතන්නේද සෙනරත් යන ආදර නාමයෙන්මය.


1952 දෙසැම්බර් 25 නත්තල් දා විවාහ දිවියට එළැඹෙන සුධර්මාත් සෙනරතුත් 1952 ජනවාරි 10 වැනිදා එනම් විවාහ වී දින 16කට පසුව දඹානෙට පැමිණෙති. වලව්වක ඉපිද ඉහළ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලද මේ කැකුළිය සෙනරත් සමග දඹානට මංගච්චන්නට එක පයින් කැමති වන්නේ ඔවුන්ගේ වැඩිහිටියන්ගේ දැඩි අකමැත්ත මධ්‍යයේය. එසේ පැමිණි ඕ දඹානේ ගත කළේ මාස තුනක් වැනි කෙටි කලක් වුවද ආදිවාසීන් ඇසුරේ ලබා ගත් අත්දැකීම් සමුදාය ඉමහත්ය. ඕ සිය ස්වාමියාට අත්වැලක් වෙමින් ගෘහණියක ලෙස සිය කටයුතු මැනවින් ඉටුකරමින් ඔහුගේ රාජකාරි කටයුතුවලටද සහාය වූවාය. ශ්‍රමදානවලට සහභාගි වූවාය. නිරතුරුව වැදි සනුහරේ සමග ඇසුරු කළාය.
ඔය මැද හිරවුණ ජීප් රථය


සුධර්මා කුමාරිහාමි ඇටිපොළ අප අබියස හිඳිමින් දඹානේ ගෙවූ ජීවිත අත්දැකීම් වදන් බවට පත් කරන්නී. දැන් අප ඉදිරියෙහිය.


අනූහතර වියැති මේ මිත්තණිය තවමත් අසීරුවකින් තොරව සිය අතීතය මෙනෙහි කළේ සිනහවතින් යුතුවය. දඹානට පය ගසන්නට ගිය මුල්ම දිනයද ලැබුවේ බිහිසුණු අත්දැකීමකි.


“අපි කසාද බැන්දට පස්සෙ දඹානේ පදිංචියට යනවට අපේ ගෙදර අය කැමති වුණේ නෑ. ඒත් මම එක පයින් කැමති වුණා. සුධර්මා කුමාරිහාමි මිත්තණිය කියන්නීය. දිනය හරියටම 1953 ජනවාරි 06 වැනිදා.”
94 වියැති ඇයට දිනය තවමත් අපූරුවට මතකය.


“අපි බදුල්ලෙන් පිටත් වුණේ තරමක් හවස් වෙලා. අපිට යන්න ජීප් එකක් දුන්නා. දඹානට එනකොට රෑ වෙන්න ඇවිත්. ඔය කෑලෑ පාරෙ එනකොට ඔයකින් එගොඩ වෙන්න ඕනේ. ජීප් එක වැල්ලෙ එරුණ ගොඩට ගන්න අමාරුයි. පස්සෙ කට්ටිය ඔක්කොම බැහැල මට ජීප් එකේ ස්ටියරින් එක අල්ල ගන්න කියල කීව. ඒ අය ජීප් එක තල්ලු කළා. ඒ අතරෙ වැස්ස වැහැල ඔයේ වතුර වැඩිවෙනවා. පස්සෙ මගෙ මහත්තය ඔයෙන් එගොඩට ගිහින් හූ කීව. ඊට පස්සේ කැලේ හිටපු වැද්දො දහ දොළොස් දෙනෙක් දුවගෙන ආවා. ඒ අයගෙ උදව්වෙන් තමයි ජීප් එක ඔයෙන් ගොඩට ගත්තේ.”


බිහිසුණු අත්දැකීමක් වුව ඇගේ මුවෙහි ඇත්තේ මන්දස්මිතයකි. ඒකනායක මහතා නැතිනම් ආදිවාසීන්ගේ මහ හූරා සිය බිරිඳ කැටිව දඹානට පැමිණ මුල්ම දිනයේ ආදිවාසීන් පිළිගත්තේ මහ ඉහළිනි.
“වැස්ස වුණත් ඔවුන් අපිව මහ ඉහළින් පිළිගත්තා. පෙරහැරේ තමයි අරගෙන ගියේ. මට හොඳට මතකයි වේවැල්වත්තේ පන්සලේ හාමුදුරුවො අපිට තේ සූදානම් කරල තිබුණා. එතැන් පටන් ඇයගේ දිවිය ආදිවාසී ජනයා සමගය.


කාමර දෙකක් සහිත කූඩාරමක දිවි ගෙවූ ඔවුනට පුටු කීපයක්, මේසයක් ඇතුළු භාණ්ඩ කීපයකින් සෑහීමට පත්වෙන්නට සිදුවිය. ගම්පතියෙකුගේ සුඛෝපභෝගී නිවෙසක දිවි ගත කළද ඕ මේ දිවියට ලොබ බැන්දාය.


පාට චප්පි, දෙපටුල්ලන්


“මට එහෙ යනකොට වැදි භාෂාව තේරෙන්නේ නෑ. මහත්තයා තමයි කියල දුන්නේ. බත්වලට කියන්නෙ දෙපටුල්ලන් කියල. කෑම කනවට කියන්නේ කැවිල්ලනව කියල. මොනරට කියන්නෙ පාට චප්පි කියල.”
“පේත්ත පෙතං පේත කොටේ පැනි වැටීලා


කන්න වරෙව් කන්න වරෙව් මගෙ පැටීලා” ඕ ආදිවාසීන්ගේ ගීයක් ගයන්නීය.
බිම වැටී තිබෙන පෙතන් කොට රුකුල්වල බඳින මී තමයි ඉස්තරම්ම මී කියල ඒ අය කියන්නේ. ඒවායේ පැණි කුඩාම දරුවන්ට ඒ කියන්නේ වයස අවුරුදු තුන හතරේ උන්ට හොඳයි කියන්නේ. පැටීල කියන්නේ ඒ වයසේ ළමයින්ටයි. ඊට ඉහළ වයසේ ළමයින්ට කියන්නෙ කැකුළො කැකුළියෝ කියලයි.


මම දඹානේ හිටියෙ මාස තුනක් වුණාට අවුරුදු තුනක අත්දැකීම් අරගත්තා.” ඇය කියන්නීය.


පොල් වෙනුවට වට්ටක්කා ඇට


දඹානට පොල් හිඟයි. ඉරිඟු, තල, වට්ටක්කා ඇට වාගේ ඒවා අඹරලා තමයි පොල් වෙනුවට භාවිත කළේ. අපේ ගෙදර ගොඩක් බත් ඊව. ළමයි ගොඩක් දෙනා කෑම කන්න එනවා. මම ඒ අයට බත් දෙනවා. හැබැයි ඒ අය බීට්රූට් කන්නෙ නෑ. බීට් රූට් කාපුවහම යක්කු වෙනව කියලයි ඔවුන් කියන්නෙ.


වර්ෂ 1953 පෙබරවාරි මාසෙ දඹානේ ආදිවාසීන්ද නිදහස් උත්සවය තිසාහාමි බුබුල් බණ්ඩා ගමරාළ යන අයගේ ප්‍රධානත්වයෙනි. එදින නිදහස් උත්සවයේ ප්‍රධානම තැනක් හිමිවූයේ කිරිනෑනිටය. වැදි ජනයා විශේෂයෙන් කාන්තාවන් හමුවේ කතාවක් කරන්නට ඇයද ඇරයුම් ලැබුවාය.


සුධර්මා කුමාරිහාමි අටිපොළ හෙවත් ආදිවාසීන්ගේ කිරිනෑනි එදා කතා කළේ ගෘහණියකගේ අරපිරිමැස්ම, ආහාර බුදින ආකාරය වැනි කාන්තාවකට වැදගත් දේවල්ය.


“මේ ගෑනු අය හාල් සේරුවක් ගෙදරට ගෙනාවොත් ඔක්කොම උයනවා. මම මිටි හාල් එකතු කරන හැටි ගැන ඒ අයට කියල ඉන්න. ඒ වාගෙම කන බොන විදිය වගේ දේවලුත් ඒ අයට කීවා.


මේක කීව ගමන්ම වැදි නායක තිසාහාමි නැගිටල කීවේ, එයාලගේ ගැහැනු අයට කිරිනෑනිගේ කතාව අහන්න කියලයි. ආහාර ගැන කියද්දී ඇය නැවත දොඩමළු වූවාය.


දඹානේ ගෑනු අයම තමයි වළං හදා ගන්නේ. ඒ අය රසවත් කෑමත් හදනවා. ඒ තමා දඩමස් අමුවෙන්ම මුට්ටිවල දමා ඒ මත මීපැණි දමා කල්තබා ගැනීම.


“ඔබ ඒවා කාල තියෙනවද?” මගෙන් ඇයට ප්‍රශ්නයකි.
“හරි ෂෝක්.” ඇයගේ මුහුණේ දසුන තුළින්ම පෙනුණේ රස නහර පිනා ගිය?” අයුරකි.


හැට්ට ඇන්දවීම


සිදාදියෙන් ගිය කිරිනෑනිගේ ඇඳුම් විලාශය දඹානේ කතුනට අමුතුම විලාසිතාවකි. ඔවුහු ඇය දෙස විපරමින් ආශාවෙන් බැලුවෝය. මෙතෙක් උඩුකයට ඇඳුමක් නැතිව සිටි කාන්තාවන්ටද ඒකනායකාගේ මහතාගෙන් ඇඳුම් ලැබිණි. මහනුවරට පැමිණි ඔහු වැඩිහිටි කාන්තාවන් සියලුදෙනාටම තම සාරි හැට්ට ගෙනත් දී තිබුණද? ඔවුනට හරිහැටි සාරිය ඇඳගත නොහැකි විය.


එක් දිනක සාරියක් ඇඳ ගත් ආදිවාසී ගැහැනියක රෙද්දක් පටලවාගෙන උඩ පැන පැන ආ අයුරු කිරිනෑනි විපරමින් බැලුවාය. ඇය උඩ පැන පැන යන්නේ නිසි ලෙස සාරිය හැඳ නොසිටි බැවින් දුටු ඇය කැඳවා නිසි ලෙස සාරිය ඇන්දුවාය. ඉදින් ඇය දඹානේ ප්‍රථමයෙන් බියුටි සැලුනයක් ආරම්භ කළ තැනැත්තිය යැයි කිව නොහැකිද?
ආදිවාසි කාන්තාවන් ප්‍රථමයෙන්ම පාවහන් පැළඳි කතක් දුටුවේ කිරිනෑනිගේ සම්ප්‍රාප්තියෙන් පසුවය. ඒවා දුටුවෝ ඒ දෙස විපිළිසරව බලන්නටත් ඇතැමෙක් ඒවා ඉල්ලන්නටත් පෙළඹුණහ. කිරිනෑනි අනුකම්පාවෙන් යුතුව පාවහන් ඔවුන්ට දුන්නාය. මඩකළපුවෙන් ආ මට්ට වෙළෙන්දෝ මුල් කාලයේ රියනක රෙදිකඩක් ආදිවාසියෙකුට දුන්නොත් මුළු බඩඉරිඟු හේනම කඩාගෙන යනවා. මේක නැවැත්තුවේ අපේ මහත්තයා. එයා මේ වෙළෙන්දන් ආදිවාසින්ගෙන් කඩා වඩා ගන්නවාට කැමති වුණේ නැහැ. මේ ගසා කෑම නැවැත්තුවාට ඒ වෙළෙන්දො අපේ මහත්තය එක්ක වෛරයකින් තමයි හිටියේ. ඒත් එයා ඒකට බයවුණෙත් නැහැ. සුධර්මා කුමාරිහාමි අතීත සිද්ධියක් සිහිපත් කළාය.
දඹාන මහ කැලෑවේදී ඇය ගෙවූ කාලයේ සිදුවූ බිහිසුණු අත්දැකීම්ද ඕ සිහිපත් කළේ සිනහමුසුවය. තුරුණු වියේ පටන්ම ඕනෑම අභියෝගයකට මුහුණදීමට ඇය තුළ තිබූ ශක්තිය අපට හොඳින් වටහාගත හැක්කේ මේ ධෛර්යය සම්පන්න මෘදු සිනහවය.


අලි අතවර


“මම බැඳල දඹානට ගිය අලුතම දෙන්නා ගියා ළඟ තිබුණු ඔයකට නාන්න. අපි දෙන්න දැන් නානවා. ඒ අතරේ මට ඇහෙන කැලේ ගස් අතු කඩන සද්දෙ. මම එයාට කීව අලි එනව වගේ කියල. එයා මට කීවේ පිස්සු. ඒ ඔයාට ඇහෙන හැටි කියලයි. මෙන්න බොලේ තව ටික වෙලාවකින් අලි රංචුවක් අපි හිටපු පැත්තට විරුද්ධ පැත්තේ ඔය ඉවුරේ ඉන්නව. අපි දෙන්න දියට ඇඳගෙන හිටපු ඇඳුම් පිටින්ම දිව්වා. ටික දුරක් දුවලා මම ආපහු හැරිල ගිහින් අපේ ඇඳුම් ටික පොදි ගහගෙන දිව්වා. එතකොට අපේ එක්කෙනා කියනවා මේ මරණ බය අස්සේ මෙයා රෙදි ගේන්න ගියා කියල. ඒක මං පස්සෙ කියන්නම්. දැන් දුවමු කියා අපි දෙන්නා දුවගෙන ආවා.
“මොකද්ද ඒ පස්සේ කියපු කතාව?” මගේද කුතුහලය ඇවිස්සුණි.


“නෑ ඔය රෙදි ටික තිබුණ නම් අලි අපේ පැත්තට එනව. මොකද රෙදිවල තිබෙන මනුස්ස කුයිල අලින්ට දැනෙනවා.”
“දර කෑල්ලක්වත් ගෙනෙන්න පිල්ලෑවකටවත් නොගිය ඔබ ඒ ගැන දන්නෙ කොහොමද?” මම ඇසීමි.
ඇය සිනාසෙමින් කියන්නි. “අපිට අලි දෙන්නෙක් හිටියා.”


තවත් දවසක අලියා ඇවිත් අපේ කූඩාරමට ගැහැව්වා. මමයි මගෙ තනියට හිටිය කොල්ලයි දුවල ගිහින් බෝ ගහකට නැගල තමා බේරුණේ. මහත්තය එනකල්ම අපි දෙන්නා බෝ ගහේ. ඇයට ඒ සිද්ධීන් තවමත් සිනාසෙන්නට කරුණුය.


කූඩාරමේම කල්ගත නොකළ ඇය ඇතැම් අවස්ථාවන්හිදී ඔහු සමග ශ්‍රමදාන වැඩට හවුල් වූවාය. ඇය කටයුතු කළේද ආදිවාසි සනුහරේම සාමාජිකයෙකු හැටියටය.


ඔවුන්ගේ පරිභෝජනයට අවැසි ජලය ගෙනත් දුන්නේ අතවැසි ආදිවාසි කොලුවාය. එක් දවසක ඇයටද වතුර ගෙනෙන තැනට යන්නට සිතුණි. වතුර ගෙනෙන තැනට එක්ක පලයන්කො. ඇය කොළුවාට කීවාය.


“කිරිනෑනි එක්ක යන්න නම් පුළුවන්. ඊට පස්සෙ වතුර බොන්නේ නැතිවෙයි.” කොල්ලාගේ පිළිතුරය.
කතාව ඇත්තය. වතුර ගන්නා වළේ පැත්තක හරක් ලැග සිටිති. තවත් පසෙකින් වල් සතුන් වතුරට බසින තැනකි. දුටු පමණින්ම ඇයට වතුර ගැන අපුලක් දැනුණද වහා ඇගේ සිතට ආවේ හීං අත්තාගේ වදනකි. “වැදූ මවයි, වතුරයි ගැන කැත හිතන්න එපා.” ඕ වතුර රැගෙන ආවාය. වතුර උණුකර බීමට පටන් ගත්තාය. පසුව රජයෙන් ඔවුනට වතුර ෆිල්ටරයක් ලැබිණ.


මාස තුනක් පමණ කාලය ගෙවෙද්දී ඇය ගැබිනියකගේ ලකුණු පහළ කෙළෙන් ඕ නැවත සිය ගම් බිම් බලා ආවේ කැමැත්තකින් නම් නොවේ. ■