නිමල් අබේසිංහ


මොනරාගල, කුඹුක්කන, හොරොම්බුවේ දහම් අමා භාවනා මධ්‍යස්ථානාධිපති අතලේ දේවමිත්ත හිමියන් සහ ඒ හිමියන් යටතේ පවතින දහම් අමා මෙහෙණි ආරණ්‍යයේ සිදුවන බෞද්ධ විරෝධී සහ ශාසන විරෝධී මෙන්ම නීති විරෝධී කටයුතු පිළිබඳව මීට මාස කීපයකට ඉහතදී රාවය පුවත්පත හෙළිකිරීමෙන් පසුව තවත් තොරතුරු රැසක් දැනගැනීමට අපට හැකිවිය.


ප්‍රථමයෙන්ම කිවයුතු වන්නේ අතලේ දේවමිත්ත හිමියන් යටතේ පාලනය වන ආරණ්‍ය සෙනසුන් හතම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නැති බවය. බෞද්ධ කටයුතු සහකාර කොමසාරිස් (විහාර දේවාලගම්) කේ.ඩී.එස්.කේ. කුරුප්පු අපට දන්වා ඇති තොරතුරු අනුව දහම් අමා භාවනා මධ්‍යස්ථානය, හොරොම්බුව කුඹුක්කන මොනරාගල දහම් අමා ආරණ්‍ය සේනාසනය, කන්දේ ඇල මීපිලිමාන ශ්‍රී විශුද්ධාශ්‍රමය, ලුනාව, මොරටුව, රාවණා ඇල්ල ආරණ්‍ය සේනාසනය – කුරුඳුගොල්ල මකුල්ඇල්ල බණ්ඩාරවෙල තපෝවන සෙනසුන, සූරිය වැලෑන, බූන්දල, හම්බන්තොට. දහම් අමා මෙහෙණි ආරණ්‍ය – සුදු වතුර ආර, කුඹුක්කන මොනරාගල, විපස්සනාරාමය, ටොප්පාස් නුවරඑළිය. යන කිසිදු සෙනසුනක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නැති බවය.


අනුන්ගේ පන්සලක්


ඒ ඇයිද යන්න අපට වඩා හොඳින් අතලේ දේවමිත්ත හිමියන් දන්නාමුත් හොරොම්බුව දහම් අමා මධ්‍යස්ථානය ගැන පමණක් පාඨකයාගේ දැන ගැනීම සඳහා හෙළිදරවු කරමු. ඒ බැව් පවසන්නේ මොනරාගල බුක්කීරියමුල්ල පුරාණ රජමහා විහාරාධිපති බදුල්ලගම්මන රතනසාර හිමියන්ය. උන්වහන්සේ පවසන පරිදි හොරොම්බුව විහාරය අයත්ව ඇත්තේ බුක්කීරියගොල්ල රජමහා විහාරයටය. ඒ හිමියන්ගේ ගුරු හාමුදුරුවන් වන මාලමුල්ලේ ඉන්දසුමන හිමියන්ගේ අවධියේදී මෙම පන්සලෙහි සද්ධාසාර නම් භික්ෂූන් වහන්සේ නමක් නවත්වා සිට ඇත. මේ වනවිට සද්ධාසාර හිමියන් අපවත් වී සෑහෙන කාලයකි.


“දැන් ඒ පන්සල අපිත් එක්ක කිසිදු සම්බන්ධතාවක් පවත්වන්නේ නැහැ”යි පවසමින් රතනසාර හිමියන් අප ඒ ගැන විමසූ විට ප්‍රශ්නය මගහැර ගියේ භික්ෂුවකට නොගැළපෙන අනවශ්‍ය ප්‍රශ්න කතා කිරීම නොහොබිනා බව අපට දනවමිනි.
මොනරාගල හිටපු ප්‍රාදේශීය ලේකම්වරයකු අප කළ විමසීමකදී පැවසුවේ ඔතන එක ඉඩම් කොටසකට බලපත්‍රයක් තිබෙනවා. අනෙක් කොටස අයිති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට යනුවෙනි. මේ කියන තොරතුරු අනුව දහම් අමා මෙහෙණි මධ්‍යස්ථානය පවතින්නේ නියත වශයෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කොටසකය. ලියාපදිංචි නොකිරීමේ රහස වන්නේ මෙය නොවේද?


රෝගී වූ ළමා මෙහෙණිය


වයස අවුරුදු 14ක පමණ කුඩා මෙහෙණියක් සමග තවත් වැඩිහිටි මෙහෙණියක බණ්ඩාරවෙල එක්තරා වෛද්‍යවරයකු ළඟට පැමිණෙනුයේ කුඩා මෙහෙණියගේ කුසෙහි අධික වේදනාවක් පවතින බව පවසමිනි. ලේ සමග වමනය පිටවූ බව පවසමිනි. රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරයා තොරතුරු විමසීමේදී ඇය අධික මාත්‍රාවෙන් පෙනඩෝල් නම් වේදනා නාශකය භාවිත කරන බව ඇයගෙන් දැනගැනීමෙන් පසුව තවදුරටත් තොරතුරු විමසීමෙන් අනතුරුව ඇයව රෝහල් ගතකිරීමට නියම කළේය. එහෙත් වැඩිහිටි මෙහෙණියගේ අවශ්‍යතාව වූයේ තාවකාලික ප්‍රතිකාරයක් ලබාගෙන ඔවුන් පොරොන්දු වූ දානමය පිංකමට සහභාගිවීමටය. එය ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරයා ඇයව බලංගොඩ රෝහලට ඇතුළත් කළේය. වැඩිහිටි මෙහෙණිය සිදුකර ඇත්තේ වෛද්‍යවරයාට හොරෙන් ළාබාල මෙහෙණියගේ ටිකට් කපාගෙන ඇයට අවශ්‍ය ගමන යාමය. මේ පිරිසද අතලේ දේවමිත්ත හිමියන්ගේ ආයතනයේ මෙහෙණියන්ය.


එවැනිම සිද්ධියක් මීපිලිමාන ආරණ්‍ය සේනාසනයේද සිදුව තිබේ. ඒ ළාබාල භික්ෂුවත් අත් කරත්තයක සිමෙන්ති කොට්ට තුනක් පටවාගෙන යද්දී සිදුවූ බරපතළ අනතුරය. එහිදීද නහය කට දරුණු ලෙස තුවාල වූ කුඩා හිමි නමකට පෞද්ගලික වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගන්නට ගියද එකී වෛද්‍යවරයාද ප්‍රතිකර්ම කිරීම ප්‍රතික්ෂේප කළ හෙයින් ඒ භික්ෂුවද නුවරඑළිය රෝහලේ දින ගණනාවක් නේවාසිකව ප්‍රතිකාර ලැබූ බව අතලේ දේවමිත්ත හිමියන් ඇසුරේ සෑහෙන කලක් ගත කළ අරුණ ද සිල්වා කියයි. පසුව මෙම කුඩා හිමි නම ආරණ්‍යය අතහැර ගොස් ඇත. අතලේ දේවමිත්ත හිමියන්ගේ ආරණ්‍යයෙහි වෙසෙන මහණ මෙහෙණ සියලු දෙනාගෙන් අධික ලෙස වැඩ ගැනීම සාමාන්‍ය සිරිතකි. එසේ අධික වැඩ දරාගත නොහැකි වූවෝ ආරණ්‍යයෙන් පලා යති. නැතහොත් ඔවුන්ගේ දෙමාපියන් පැමිණ බලහත්කාරයෙන් රැගෙන යති. එහෙත් අතලේ දේවමිත්ත හිමියන් විසින් මවා පෙන්වන එහෙත් ඒ හිමියන්ට කිසිදා නැති මන්ත්‍ර බලයකට බිය වූවෝ සියලු වේදනා විඳගෙන එහිම රැඳී සිටිති. එවැනි පිරිස් වෙතින් කිසිදු තොරතුරක් ලබාගත හැකි නොවන නමුදු ඉඳහිට හෝ ආරාමයන්හි පවතින රහස් බාහිරට දෙන පිරිසක්ද නොසිනවාමත් නොවේ.


පාරමි මෙහෙණියගේ ලක්ෂ 125 සයනාසනය


අනුත්තරා මෙහෙණිය, තෙවතාවක් සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීම, හොරොම්බුව භාවනා මධ්‍යස්ථානයේ කොම්පියුටර් කාමරයේ සවිකර තිබූ ඒසී යන්ත්‍රය හොර රහසේම රැගෙන ගොස් පාරමී මෙහෙණියගේ කාමරයට සවි කිරීම ඇතුළු තවත් ලිවිය නොහැකි කතා පුවත් මේ අතර වෙයි. ගෝතමී සහ පාරමී යනු මේ ආයතනයන්හි මෙහෙණින් වහන්සේලාගේ ප්‍රධානීන්ය. අරුණ කෝදාගොඩ පවසන්නේ ගෝතමී මෙහෙණිය තමන් ලවා රුපියල් එක් ලක්ෂ විසිපන් දහසක් වටිනා සුඛෝපභෝගී ඇඳක් ගෙන්වා ගත් බවය. එයට අමතරව ඒ හා ආසන්න වටිනාකමක් ඇති ඡායාරූප පිටපත් යන්ත්‍රයක්ද ආරණ්‍යයට ගෙන්වා ගෙන ඇති බවය. මෙම ආරණ්‍ය දෙවර්ගයෙහිම යාන්ත්‍රික කියත්ද තිබේ. චුල්ලපන්තක හිමියන්ට බුදුන් දුන් කමටහන වූයේ රජෝ හරණං (කෙලෙස් හරිමි) යැයි පවසමින් සුදු රෙදි කඩක් පිරිමැදීමය. අතලේ දේවමිත්ත හිමියන්ගේ කමටහන වන්නේ ‘රජෝ සරණං’ (කෙලෙස්හි බැඳෙමි) යන්න බව මෙයින් හොඳින්ම පැහැදිලිය.
ආරණ්‍ය සේනාසන ගත වන්නේ විදර්ශනා ධුරය දරමින් සිය විමුක්තිය පතන භික්ෂූන් වේ. එහිදී ඔවුන්ට අවශ්‍ය වන්නේ මූලික අවශ්‍යතාවත් සපයා ගැනීමට අවශ්‍ය භාණ්ඩ කීපයක් පමණි. ඒ එතරම්ම අල්පේච්ඡ දිවියක් ඔවුන් ගත කරන බැවින්ය. එහෙත් අතලේ දේවමිත්ත හිමියන්ගේ ආරාමයන්හි තිබෙන්නේ එයින් සපුරා වෙනස් අවශ්‍යතාවන්ට බඩු භාණ්ඩ නොවේද? එපමණක් නොව මේ ආරාමවලදී තවත් බරපතළ වැරැද්දක් සිදුවේ. ඒ පැවිදි කරන කාන්තාවන්ගේ දෙමාපියන් ඔවුන්ගේ පැවිදි පිංකමට නොකැඳවීමය. එවැනි අවස්ථාද කීපයක් ඇත. මෙහි කුලියට දෙමාපියන් රැගෙන වුත් ඔවුන් සමග ඡායාරූප ගෙන වෙනත් අයට පෙන්නීමෙන් මෙතනට පැමිණෙන පිරිස් රැවටීමද සිදුවේ.


මොනරාගල ඕඅයිසී ගේ තක්කඩි වැඩ


මෙතරම් බරපතළ අපරාධ සිදුවෙද්දීත් ජනතා විරෝධතාවක් මේ ආරාමයන්වලට ඇති නොවන්නේ ඇයිද යන ප්‍රශ්නය කිසිවෙකුට මතුවිය හැකිය. එයටද හේතුවක් තිබේ. ඒ නීතිය කරන කරවන අයද අතලේ දේවමිත්ත හිමියන්ගේ වහල්ලු බවට පත්ව සිටීමය. එයට හොඳම උදාහරණය වන්නේ මොනරාගල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක දේශප්‍රියය. දවස් 26ක කාලයක්, වයස අවුරුදු 13ක දැරිවියක සුදු වතුර ආරණ්‍ය සේනාසනයේ රඳවාගෙන සිටින බවට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් ලැබී තිබියදීත් ඔහු ක්‍රියාකර තිබුණේ තක්කඩි ආකාරයකිනි. එනම් ඒ දැරිවිය අධිකරණ වෛද්‍ය නිලධාරියාට හා මහේස්ත්‍රාත්වරයා ඉදිරියට නොපමුණුවා නිකම්ම නිකම් දෙමාපියන්ට භාර දීමය. ඇයට කිසියම් අනතුරක් සිදුවී තිබුණේද යන්න ගැන මේ උද්ධච්ච පොලිස් නිලධාරියා නිකමටවත් සැලකිල්ලට ගෙන නැත.
මානව හිමිකම් පරීක්ෂණයට බාලගිරි


මෙකී සිද්ධිය පිළිබඳව රාවය පුවත්පතෙහි පළවීමෙන් පසුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ලේකම්වරයා දුරකතනයෙන් ලියුම්කරුට කතා කර ඒ ගැන පරීක්ෂණයක් පවත්වන බව පැවසූමුත් එකී පරීක්ෂණයට බාලගිරි දෝෂය වැලඳී ඇති බව සිතෙන්නේ අදටත් පරීක්ෂණයට සිදුවූයේ කුමක්දැයි නොදන්නා හෙයිනි. ‘පැමිණිල්ලක් නැතිව අපිට පරීක්ෂණයක් කරන්න බැහැ” මෙවන් අවස්ථාවලදී පොලිසියේ ඉහළ නිලධාරීන් පවසන ජනප්‍රිය වාක්‍යය. එහෙත් ඔවුන්ට පරීක්ෂණයක් කරන්න අවශ්‍යතාවක් තිබේ නම් එවිට ඔවුන්ට පෞද්ගලික ඔත්තුකරුවෝ සිටිති. ඇතැම් අවස්ථාවලදී එසේ පෞද්ගලික ඔත්තුකරුවකු විසින් ලබා දුන් තොරතුරක් මත විමර්ශනය හෝ වැටලීම සිදුකළ බව පොලිස් නිලධාරීන් අධිකරණයේදී පවසන අවස්ථා අපි දැක ඇත්තෙමු. පංච ක්‍රීඩාවේදී එක් පිලකට ක්‍රීඩකයකු අඩු වූ විට ‘හුංගෙකු’ තබාගෙන එනමුත් හුංගාගේ අත එකී පිලේ සාමාජිකයකුම දමන්නා සේ මේ කරන සෙල්ලම විහිළුවක් නොවන්නේද?
අනෙක් අතින් මෙහිදී වැඩබලන පොලිස්පතිවරයාගෙන්ද ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ. ඒ කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි පිළිබඳ සිද්ධිය දිවයින පුවත්පතේ පළවූ පසුව ඒ ගැන විමර්ශනයක් පැවැත්වීමට නියෝග කළේ කවුරුන් විසින් හෝ කළ පැමිණිල්ලක් නිසාද යන්නය.


මේ අනාවරණයකරන්නේ අතලේ දේවමිත්ත හිමියන්ගේ ආයතන තුළ සිදුවන වැරදිවලින් ඉතා ස්වල්පයකි. නිසි විධිමත් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකළහොත් තවත් බරපතළ වැරදි රැසක් හෙළි කරගෙන නීතිය ඉදිරියට පැමිණ විය හැකිය.
යකඩයෙහි උපදින මළ යකඩය විනාශ කරන්නා සේ බුදුසමයද විනාශ වනුයේ එහි ඇළුණුවන්ගෙන්මය. සංයුක්ත නිකායේ සද්ධම්ම පතිරූපක සූත්‍රය සුගත විනය සූත්‍රය, ආණීය සූත්‍රය වැනි දේශනාවන් වලින් පෙන්වා දෙන්නේ එයයි. එනිසා අතලේ දේවමිත්ත වැනි බුදුදහම ගැන වැරදි අර්ථකථන සපයන, එවැනි චර්යාවන් සමාජගත කිරීමට උත්සාහ කර ශ්‍රමණ ප්‍රතිරූපකයන් සසුනින් දුරස් කිරීම නායක හිමිවරුන් ප්‍රමුඛ මුළු මහත් සංඝ සමාජයටම පැවරෙන කාර්යයකි. එහිලා මොනරාගල ශාසනාරක්ෂක බල මණ්ඩලයටද දැඩි වගකීමක් පැවරේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශාසනාරක්ෂක බලමණ්ඩලය යනු සසුන ආරක්ෂා කිරීමේ බල මඬුල්ලයි. එහෙත් සිදුනොවන්නෙත් එයයි. දහම් පාසල් හා විභාග පැවැත්වීමෙන් පමණක් සසුන රැකේවි යැයි මේ අය සිතනවාද? එහෙත් මොනරාගල ශාසනාරක්ෂක බලමණ්ඩල ලේඛකාධිකාරී උල්ලාපොල චන්ද්‍රානන්ද හිමියන් සේ ම එහි සභාපති හිමියන් වැඩ සිටිනුයේ මේ ගැන වගේ වගක් නැතිවය. ඇත්තෙන්ම ඒ හිමිවරුන්ට කළ හැකි යමක් නොමැතිද? එසේත් නොමැති නම් ඒ ගැන උනන්දුවක් නැතිකමද? එසේත් නැතිනම් කන්ද තමන් ළඟටම එනතුරු බලා සිටිනවාදැයි අපි නොදනිමු. මේ සම්බන්ධයෙන් අතලේ දේවමිත්ත හිමියන්ගෙන් විමසීමට අප කීප වතාවක් උත්සාහ ගත්තද ඒ හිමියන් දුරකතනයට සම්බන්ධ කරගත නොහැකි විය.