ඉඳුනිල් උස්ගොඩ ආරච්චි


දිනකට හඳුනාගන්නා කොවිඞ් රෝගීන් සංඛ්‍යාව මෑත කාලයේ සීග්‍රයෙන් ඉහළ යෑමත්, ආශ්‍රිතයන්ගේ සංඛ්‍යා ද ඒ හා සාපේක්ෂව අති විශාල ප්‍රමාණයකින් ඉහළ යෑමත් සමග ආශ්‍රිතයන් පෙර පරිදි සමාජයෙන් වෙන් කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමේ ක්‍රියාවලිය වෙනස් වූයේය. ඒ අනුව මේ වන විට සිදුවන්නේ ආශ්‍රිතයන් නිවෙස් තුළ ම ස්වයං නිරෝධායනයට යොමු කිරීමත් ආසාධිතයන් ලෙස හඳුනාගන්නා අය ප්‍රතිකාර මධ්‍යස්ථාන හෝ රෝහල් වෙත රැගෙන යෑමේ ක්‍රියාවලියකි.


පවතින තත්ත්වය


මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඞ් රෝගී පොකුරු හඳුනාගැනීමත් සමඟ ආශ්‍රිතයන් සොයා යෑමේ දී දිනකට කොවිඞ් ආසාදිතයන් විශාල ප්‍රමාණ බැගින් මේ වන විට හඳුනාගනිමින් ති බේ. වසංගත රෝග විද්‍යා අංශයේ පසුගිය දින දහයක දත්ත්ත වලට අනුව දිනකට හමුවන රෝගීන් වාර්තා වීමේ සාමාන්‍ය අගය හාරසියයකට වැඩිය. මෙරටින් ආසාදිතයන් ලෙස වාර්තා වූ රෝගීන් අතරින් තවමත් පන්දහසකට වැඩි රෝගී පිරිසක් රෝහල්වල හෝ මධ්‍යස්ථානවල සිටිති. ඒ අතර සක්‍රීය රෝගීන් සංඛ්‍යා තවමත් පැහැදිලි ලෙසම ඉහළ නගිමින් තිබෙන්නේය. (1.1 වගුව,1.2 ප්‍රස්ථාරය, 1.3 ප්‍රස්ථාරය බලන්න)

Charts-1

එමෙන්ම 67000කට වැඩි පිරිසක් ස්වයං නිරෝධායනයේ සිටින බවත් ඒ අතරින් ද ආසාධිතයන් ඉදිරි දින කීපය තුළ වාර්තා වීමේ ඉඩකඩ තිබෙන බවත් සෞඛ්‍ය අංශය සඳහන් කරයි. එලෙස දිනෙන් දින මෙරට ආසාධිතයන් විශාල සංඛ්‍යා වලින් විවිධ ප්‍රදේශ වලින් හා විවිධ සමාජ මට්ටම් වලින් හඳුනා ගනිද්දී සිදුවන්නේ රෝග ලක්ෂණ තිබුණ ද නොතිබුණ ද ඒ සියලුදෙනා ඔවුන්ගේ පවුල් හා සමාජ පරිසරයෙන් වෙන් කර රෝහලක් හෝ මධ්‍යස්ථානයක් වෙත රැගෙන යෑමේ ක්‍රියාවලියකි.

පසුගිය කාලයේ නිරෝධායනයට එවැනි කණ්ඩායම් රැගෙන යෑමේ දී විවිධ ගැටලු පැන නැගුණු අවස්ථා තිබුණේය. විශේෂයෙන් ඇඟලුම් කම්හල් ආශ්‍රිත සේවක සේවිකාවන් රැගෙන යෑමේ දී එවැනි ගැටලුකාරී තත්ත්වයන් වාර්තා වූයේය. ඒවා සම්බන්ධයෙන් හඬනැගූ සහ විරෝධය පළ කළ පුද්ගලයන්ට ද සිදුවූයේ නිලබලධාරීන්ගේ දෝෂදර්ශනයට ලක්වීමටය. කෙසේ වෙතත් ඉන් පසු වෛද්‍ය වෘත්තිකයන්ගේ පවුලක් ද එලෙසම නිරෝධායනයට රැගෙන යෑමේ ක්‍රියාවලියකින් පීඩාවට පත්වීමක් සමග වෛද්‍ය වෘත්තිකයන් ද විවෘතව ඊට විරෝධය දක්වන පසුබිමක් නිර්මාණය වූයේය. මේ වන විට මෙරටින් හඳුනාගන්නා රෝගී සංඛ්‍යා විශාල ලෙස ඉහළ යෑම සමග නිරෝධායනය නිවෙස් නිරෝධායනයකට සීමා වූ අතර මේ වන විට සිදුවන්නේ ආසාධිතයන් පමණක් රැගෙන යෑමය. දැන් රෝගීන් හඳුනාගැනෙන්නේ ඇඟලුම් කම්හල් හෝ මාළු වෙළඳසැල් ආශ්‍රිතව පමණක් නොවේ. දැන් විවිධ රජයේ හා පෞද්ගලික ආයතනවල හා සමාජයේ විවිධ මට්ටම්වල යැයි සැලකෙන පිරිස් අතරින් ආසාධිතයන් වාර්තා වෙමින් තිබෙන්නේය. ඒ ආසාධිතයන් බොහෝ දෙනාගේ කුටුම්භයන්ට ද දැන් මේ ගැටලුව විවිධ ආකාරයෙන් බලපෑම් ඇති කරමින් තිබෙන්නේය. පෙර අවස්ථාවේ මෙන්ම දැන් මෙරට පහළ සිට ඉහළට විවිධ සමාජ තලවල පවුල් දැන් මේ එකම අර්බුදයකට විවිධ මුහුණුවරින් මුහුණ දෙමින් තිබෙන්නේය. ඇතැම් පවුලක එක් දරුවෙක් පූනානි මධ්‍යස්ථානයේය, පියා ඉරණ විලය, මව සහ දියණිය තවත් ස්ථානයකය.


පීසීආර් පරීක්ෂණයෙන් ආසාධිත බවට හඳුනා ගන්නා අයෙක් රෝග ලක්ෂණ සහිත නම් සහ වෙනත් නිදන්ගත රෝග තිබේ නම් එම රෝග තත්ත්වයන් උත්සන්න වුවහොත් අවශ්‍ය වන පහසුකම් ද සහිත රෝහලකට ඇතුළත් කිරීමය. ගර්භණී අයෙකු හෝ කුඩා දරුවෙකු නම් මධ්‍යස්ථ මට්ටමේ පහසුකම් සහිත රෝහලකට ඇතුලත් කිරීම සිදු කරනවා. ආසාදිතයා කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන හා නිරෝගී තරුණ අයෙක් නම් අවශ්‍යතාවයක් මතු වුවහොත් පමණක් රෝහලකට ඇතුළත් කිරීමේ පදනම මත කොවිඞ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යැවීම සිදුකරනු ලබයි. ඒ අනුව මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනය සහ රට පුරා ඇති තවත් මූලික රෝහල් හා ප්‍රාදේශීය රෝහල් 35ක කොවිඞ් ආසාදිතයෝ ප්‍රතිකාර ලබන අතර ඊට අමතරව රෝග ලක්ෂණ නොපෙන්වන ආසාධිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන ගණනාවක ද සිටිති. එම මධ්‍යස්ථාන වන්නේ කන්දකාඩු, ගල්ලෑල්ල, පුනානි, ඇඹිලිපිටිය, කහගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානය, සමනලවැව ප්‍රතිකාර මධ්‍යස්ථානය, අම්පාර පුනරුත්ථාපන මධ්‍යස්ථානය, කහවත්ත, වතුපිටිවල, බින්ගිරිය, රඹුක්කන, පොල්ගොල්ල යන ප්‍රතිකාර මධ්‍යස්ථානය.


අහිතකර සමාජ බලපෑම්


“අපි සෑහෙන මානසිකව වැටිලා. කිසිම රෝග ලක්ෂණයක් නැතත් මෙහෙම ගෙනාවට පස්සේ මේ තැන් වලදී වෙනත් රෝග බෝ වීමටත් ඉඩ තියෙනවා. මෙතැනට දවසින් දවස තවත් රෝගීන් ගේනවා. අපේ දරුවෙක් පොසිටිව් වුණොත් මේ තැන් වලට තනියම යවන්න පුළුවන්, දරුවාගේ වගකීම ගන්නේ කවුද. අපි මේක බලෙන් හදා ගත්තා නෙමෙයි. දැන් මේක සමාජයේ තියනවා. අපේ රට නැති යුද්ධයක් හදාගෙන ඒ යුද්ධය කරමින් ඉන්නේ ඇයි කියන ප්‍රශ්නය තියනවා. ආසාදිත සියලුදෙනා ගෙනියනවා. දින 14ක් තියාගන්නවා. රෝග ලක්ෂණ නැති අයට ගෙවල්වලම නිරෝධායනය වෙන්න පහසුකම් තියනවා නම් ඒක කරන්න පුළුවන්. වරින්වර ඒ ගැන පසුවිපරක් කිරීමේ වැඩපිළිවෙලක් හදන්න පුළුවන්. ලංකාවේ පවුලක් කියන්නේ යුරෝපයේ පවුලක් වගේ නෙමෙයි, දරුවෝ එක තැනක, අම්මා තත්තා වෙන තැනක, ඒ විධියට අපේ සමාජය පුරුදුවෙලා තිබුණේ නැහැ.” මේ වන විට කොවිඞ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක රැඳී සිටින අයෙක් රාවයට පැවසුවේ ය.


කොවිඞ් ආසාධිත බවට සැක කළ මවක් රෝහල්ගත කළ පසු නිවසේ රැඳුණු විශේෂ අවශ්‍යතා සහිත දරුවා ගෙල වැළ ලාගෙන මිය ගිය පුවතක් මීට දින කීපයකට පෙර වාර්තා වූයේය. එය මෙම අර්බුදය හමුවේ ඇතිවන පීඩනය එළියට මුදා හැරුණු එක් සිදුවීමක් පමණක් විය හැකිය. එමෙන්ම පසුගිය දිනවල වාර්තා වූ කොවිඞ් ආසාධිත මරණ ගණනාවක්ම සිදුවී තිබුණේ නිවෙස් තුළය. ඔවුන්ට කොවිඞ් ආසාධිත බවට අනාවරණය වන්නේ මිය ගිය පසුවය.

පොදුවේ ගත්විට සමාජයේ බොහෝ පිරිසක් පීසීආර් පරීක්ෂණ කර ගැනීමට පවා බියක් දක්වන තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බව පෙනෙන්නේය. ඊට හේතුව කොවිඞ් ආසාධිත බවට ප්‍රතිඵල පැමිණියහොත් ඊළඟට මුහුණ දීමට සිදුවන තත්ත්වයට ඇති භියයි. සමාජයෙන් කොන් වීම, පවුලෙන් වෙන්කිරීම, පවුලේ වගකීම් ආදී සියලු දේ එවැනි බියකට හේතු කාරණ සපයන්නේය. තවත් විශාල ප්‍රමාණයක් සමාජ ගැටලු මේ යාන්ත්‍රණයන් හරහා ඇතිව තිබෙන බව බොහෝ අවස්ථාවල අපට අසන්නට දකින්නට ලැබෙන්නේය. එබැවින් කොවිඞ් වසංගතය හමුවේ නිර්මාණය වන සමාජ ගැටලු මුහුදේ පාවෙන අයිස් කන්දක තත්ත්වයට සම කළ හැකිය. ඉන් තවමත් අපට දෘෂ්‍යමාන වන්නේ ඉතා අල්පයකි.


යාන්ත්‍රණය වෙනස් විය යුතුද?


“මෙය තව දුරටත් ඉක්මනින් පසුවිපරමක් කළ යුතු බව මම හිතනවා. තවදුරටත් මේ ක්‍රමවේදයම ඉදිරියට කරගෙන යනවා ද එසේ නැතිනම් වෙනත් නිවැරදි ක්‍රමයකට කළ යුතු ද කියන කාරණය ගැන ඇත්තටම ඉක්මනින් සොයා බැලිය යුතුව තිබෙනවා. පවුලේ හතර දෙනා හතර වරකට ආසාදිත බව තහවුරු වුවොත් ඒ හතර දෙනා ලංකාවේ හතර ස්ථානයක තැබීමට සිදුවීම ලංකාවේ පවුලකට දැරිය හැකි ද කියන ගැටලුවත් මතු වෙනවා. අනාගතයේ දී ඒ ඒ ප්‍රාදේශීයව මෙම යාන්ත්‍රණය සිදුවිය යුතු ක්‍රමයකට යෑම පිළිබඳ සිතිය හැකියි. ඉදිරියේ දී ජාතික මට්ටමෙන් තීරණ ගැනීමට වඩා දිස්ත්‍රික්ක තුල නැත්නම් ප්‍රාදේශීය මට්ටමෙන් ඒ කටයුතු කළමනාකරණය කිරීම වඩා නිවැරදි ද කියන කාරණය සම්බන්ධයෙන් පසුවිපරක් කිරීම වැදගත් වේවි.” ඒ, ජාතික විද්වත් සංවිධානයේ ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හිටපු වසංගත රෝග විද්‍යාඥ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක, ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහය.


රෝග ලක්ෂණ කිසිවක් නොමැති ආසාදිතයන් සෞඛ්‍ය අංශවල අධීක්ෂණය මත නිවෙස්වල හෝ අදාල ප්‍රදේශයේම පවත්වාගෙන යන ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමේ ක්‍රියාවලියක් සිදුකරනවා නම් ඒ වෙනුවෙන් සමාජය සූදානම් කිරීම ද ඉතා ඉක්මනින් සිදුවිය යුතු වන්නේය. ඉදිරියේ දී එවැනි ක්‍රියාවලියකට නිතැතින්ම මාරුවිමට සිදුවන අවස්ථාවක් උදාවීමට ඉඩ නැතැයි කිව නොහැක. එබැවින් වඩා ඵලදායී සහ සුරක්ෂිත ක්‍රමය වන්නේ ඊට පෙර සූදානමක් තිබීමය. එහෙත් මේ වන විට නිවෙස් නිරෝධායනය සම්බන්ධයෙන් ද විවිධ ගැටලු වලට මේ වන විට මැදිව සිටින්නේ අදාල ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු බව පැහැදිලිය. ඇතැම් පිරිස් නිවෙස් තුළ නිරෝධායනය සෞඛ්‍ය උපදෙස් මත නිසි ලෙස සිදු කරන අතරතුර තවත් පිරිසක් එම උපදෙස් නොතකාහරිමින් කටයුතු කරන අවස්ථා ද වාර්තා වන්නේය. ඊට අමතව ඔවුන්ගේ අනෙකුත් මූලික අවශ්‍යතා සම්බන්ධයෙන් ද ගැටලු වලට පිළියම් සෙවීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මතම පැටවී තිබෙන අවස්ථා තිබේ.


“පවුලේ එක් එක් අයට තිබෙන තත්ත්වයන් අනුව වෙනස් ස්ථාන වලට ඇතුලත් කිරීමට ඉඩ තිබෙනවා. මේක වෙනත් රෝග වලට වඩා මේ අවධියේ දී සමාජය තුළ ඉතාම ශීඝ්‍රයෙන් පැතිරීම සිදුවෙනවා. මේ තත්ත්වය හේතු කරගෙන යම් ආකාරයකට රෝග ලක්ෂණ නැති රෝගියෙකු නිවසක තැබීමෙන් වෙනත් ගැටලුත් මතු වීමටත් ඉඩ තිබෙනවා.

වටපිටාවේ ඉන්නා අයගෙන් රෝගියෙක් ගෙදරක ඉන්නවා කියන චෝදනා එන්න පුළුවන්. එවැනි හේතු නිසා කළමනාකරණ මධ්‍යස්ථානයකට රැගෙන යා යුතුව තිබෙනවා. හැබැයි අසාදිතයෙකු රැගෙන යද්දී ළඟම ඥාතීන් පවා ආසාදිතයාගේ දරුවන් බලා ගැනීම ප්‍රතික්ෂේප කළ අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ළමා හා කාන්තා රැකවරණය සම්බන්ධයෙන් නිලධාරීන් ඉන්නවා, සමාජසේවා නිලධාරීන් ඉන්නවා. ඒ අයට නිවාඩු ලබා දී සෞඛ්‍ය අංශ විතරක් වැඩ කර මේක කරන්න බැහැ. ආසාධිතයෙකු එසේ රැගෙන යන විට පවුලේ අනෙක් අය රැකබලා ගන්නා ක්‍රමවේදයක් තිබිය යුතුයි. සෞඛ්‍ය නිලධාරීන් හැරුණු විට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයෙක්, සමෘද්ධි සංවර්ධන නිලධාරීවරයෙක්, සමාජසේවා නිලධාරිවරයෙක් ආදී ලෙස නිලධාරීන් ගණනාවක් ඉන්නවා. සමාජ සංස්ථාව තුලත් ආගමික නායකයන්, විවිධ ස්වේච්ඡා සංවිධාන තිබෙනවා. මේවා සම්බන්ධයෙන් සමාජ කථිකාවක් ඇති විය යුතුයි, ඉහළ නිලධාරීන්ගේ අවධානය යොමුවී මේවා නිවැරදි විය යුතුයි. මෙවැනි වසංගතයක් පාලනයේ දී ප්‍රධානම සහාය වෙන්නේ ජනතාවගෙන් සහ සමාජයෙන් ලැබෙන ඒ සහායයි. ඒ දෙන සහාය සෞඛ්‍ය ආරක්ෂිත ලෙස ලබා දීම සම්බන්ධයෙන් අපේ අධීක්ෂණය ලබා දීමේ හැකියාව තියෙනවා. එහෙම වෙනවා නම් ගම තුළම, පවුල තුළම, දන්නා පරිසරයේම, මානසික සෞඛ්‍ය පිරිහීමක් නොමැතිව සිටීමත් ඒ තත්ත්වය තුල ඉතා ඉක්මනින් රෝග තත්ත්වයෙන් මිදීමටත් හැකි වෙනවා.” ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේය.


කෙසේ වෙතත් නිරෝධායනය ද නිවසේ සිදුකරගන්නා ක්‍රමයකට අපට යෑමට සිදුවූයේ ඉබේමය. ඉදිරියේ දී ආසාධිත සංඛ්‍යා තව තවත් ඉහළ ගියහොත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ධාරිතා ද ඉහළ යා හැකි බැවින් රෝග ලක්ෂණ නොමැති රෝගීන් නිවෙස්වල ම රැඳවී ක්‍රියාවලියකට ද ඉබේම යෑමට සිදුවීමේ ඉඩ කඩ තිබෙන්නේය. කොවිඞ් වසංගතයෙන් කවදා ලෝකය මිදේ දැයි අප දන්නේ නැත. එය අවසන් වන විට සමාජය තුළ විශාල සමාජ ගැටලු රාශියක් ද ඉතිරි වීමේ ඉඩකඩ ද තිබෙන්නේය. ඒවා අවම කරගත හැකි යාන්ත්‍රණයක් කරා හැකි ඉක්මනින් අප යා යුතුව තිබෙන්නේ එබැවිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here