දිනී ජයසේකර

රාජ්‍ය සේවකයා වර්තමානයේදී මුහුණ දෙන අර්බුද මොනවාද?

වත්මන් තත්ත්වයේදී රාජ්‍ය සේවකයා යම් අසහනකාරී වටපිටාවක සිටින්නේ. විශේෂයෙන්ම ඊට හේතු කිහිපයක් තිබෙනවා. යහපාලන රජය බලයෙන් ඉවත් කිරීමට මේ රටේ රාජ්‍ය සේවකයන් 90%කට වැඩි ප‍්‍රමාණයක් තැපැල් ඡුන්දය ලබා දුන්නා. එතනදි අපි හැමෝටම බලාපොරොත්තුවක් තිබුණා රටේ ජාතික ප‍්‍රශ්න විසඳලා යහපතක් වෙයි කියන. රාජ්‍ය සේවකයින් ලෙස අපට විශේෂ බලාපොරොත්තුවක් තිබුණා රාජ්‍ය සේවයේ ගැටලූ මේ රජය මගින් විසඳයි කියලා. හිටපු කම්කරු ඇමති, වෘත්තීය සමිති නායකයකු වශයෙන් කටයුතු කළ වර්තමාන අග‍්‍රාමාත්‍යවරයා මේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදෙයි කියලා හිතුවා. නමුත් අද රාජ්‍ය සේවකයෙක් ජනාධිපති වූවත් රාජ්‍ය සේවය සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කරලා නැහැ. සෞභාග්‍ය දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය දැක්කාම එහි පළවෙනි පොරොන්දුවම කඩා දාලා තියෙනවා. එහි දැක්වෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ අයිතීන්, රාජ්‍ය සේවකයන්ගේ ස්වාධීනභාවය රකින්න, රාජ්‍ය සේවයේ ගැටලූවලට විසඳුම් ලබා දෙන්න මෙම රජය කටයුතු කරනවා කියලයි. නමුත් අපි දැක්කා වර්තමානයේදී ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ තිබෙනවා සේවා ව්‍යවස්ථාවන්වල ගැටලූ තියෙන රාජ්‍ය සේවකයන් සඳහා සේවා ව්‍යවස්ථා ලබා දෙන්න. ඊට අමතරව යහපාලන ආණ්ඩුව විසින් 2016/01/01 අහිමි කළ විශ‍්‍රාම වැටුප සම්බන්ධයෙන් යම් සාධනීය යෝජනාවක් කරනවා කීව කාරණේ වගේ දේවල් සහ වැටුප් කොමිසමක් පත් කරලා රාජ්‍ය සේවයන්ගේ වැටුප් සම්බන්ධව ඇති අර්බුදය විසඳන වැනි මූලික යෝජනාවල් සම්බන්ධව කිසිදු සාධනීය පියවරක් තවමත් ගෙන නැහැ.

රාජ්‍ය පාලනය මිලිටරීකරණය වීම ඔබ දකින්නේ කෙසේ ද?

සමහර රාජ්‍ය ආයතනවලට හමුදා පාලකයන් යොදන විට අපි හිතුවා ඉදිරියේදී මෙය මිලිටරි පාලනයකට ඇද වැටෙයි කියලා. නමුත් අපට යම් අවස්ථාවල ඔවුන් ස්වාධීනව කටයුතු කරයි කියන බලාපොරොත්තුවකුත් තිබුණා. නමුත් වර්තමානයේදී ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු රාජ්‍ය ලේකම්වරයා වර්තමාන ආරක්ෂක අමාත්‍යාංශයේ කටයුතු කරමින් සිටිනවා. නමුත් ඔහුට වසර එකහමාරක කාලයක් මේ තනතුර දැරුවත් වෘත්තීය සමිතිවලට සාකච්ඡුා ලබා දීලා නැහැ. එතුමා වෘත්තීය සමිති දිහා වපර ඇහෙන් බැලූවේ. ඔහුට අනුව වෘත්තීය සමිති කියන්නෙ වැඩ කරන මිනිසා නෙවෙයි රටේ අර්බුද හදන මිනිස්සු විදියටයි. ඊළඟට කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයාත් උක්ත ආකාරයෙන් කටයුතු කරලා පස්සෙ අවස්ථාව ලබා දීලා තිබෙනවා. හැබැයි අවුරුදු 70ක් මේ රටේ දේශපාලකයන්ට කෑගහනවා. නමුත් මම දකින්නේ මේ රටේ වසර 70ක විනාශයට දේශපාලකයා 50%ක් වගකියන විට රාජ්‍ය අංශයේ ඉහළ නිලධාරීන් ඉතිරි 50% වගකිව යුතුයි. අමාත්‍යාංශ ලේකම්වරු, අතිරේක ලේකම්වරු ඇතුළුව සියලූ අය වගකිව යුතුයි. එහිදී නිසැකවම රාජ්‍ය ආයතනවල නිලධාරීවාදය ඉතා ඉහළ මට්ටමක තියෙනවා.

ඔබ පවසන පරිදි රාජ්‍ය ආයතනවල ඇති නිලධාරීවාදය රජයේ සේවකයන්ගේ දෛනිකත්වයට බලපෑම් කරන්නේ කෙසේ ද?

රජයේ ආයතන විසින් යම් යම් වැඩසටහන් ක‍්‍රියාත්මක කරමින් ඉදිරියට යන බවක් අපට පෙනෙන්නට තිබෙනවා. නමුත් මීට පෙර කළ ආකාරය අනුව විෂය භාර අමාත්‍යවරු, රජයේ ඉහළ බලධාරීන් දැනුවත් නොකිරීම නිසාවෙන් අර ක‍්‍රියාත්මක කරන්නා වූ වැඩසටහන් අසාර්ථක වෙමින් පවතිනවා. එහිදී ඊට යොදන පිරිවැය කිසිදු තේරුමක් නොමැතිව අහිමි වෙලා යනවා. ඒ අහිමිවීම රටක් වශයෙන් අප සියල්ලෝම දරාගෙන සිටිය යුතුයි. නිදසුනක් ලෙස ගම සමග පිළිසඳර වැඩසටහන ගත්තාම ඒක ඉතාමත් හොඳ වැඩසටහනක්. ජනාධිපති ඇවිත් කතා කරලා යනවා. ගමේ ඉන්න නිලධාරීන් ටික වැඩ කළත් ඉන් එහාට ඉහළ නිලධාරීන් තමන්ගෙ අවධානය යොමු කරලා වැඩ කරන්නෙ නැහැ. ජැන්ඩියට ඇඳගෙන ඇවිල්ලා ජනාධිපති ඉදිරියේ පේ වෙන එක විතරයි ඔවුන් කරන්නේ. තව නිදසුනක් විදියට කොවිඞ් අර්බුද තත්ත්වය ගත්තාම කොවිඞ් 19 වෙනුවෙන් ලබා දෙන එන්නත සෞඛ්‍ය අංශයටයි, ආරක්ෂක අංශයටයි ලබා දුන්නා. හැබැයි කොවිඞ් සම්බන්ධව ගමේ වැඩ කරන නිලධාරීන් ඉන්නවා. විශේෂයෙන්ම ග‍්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම නිෂ්පාදන නිලධාරීන් සහ පවුල් සෞඛ්‍ය නිලධාරීන්. පවුල් සෞඛ්‍ය නිලධාරීන්ට එන්නත ලබා දුන්නත් අනෙකුත් කිසිදු නිලධාරියෙකුට මේ එන්නත ලබා දීලා නැහැ. එය ලබා දීමට මේ රජයෙන් කිසිදු වැඩපිළිවෙලක් සකස් කරල නැහැ.

කොවිඞ් රාජකාරී ගත්තාම කොවිඞ් 19 ආසාදනය වුණු ලෙඩෙක් ගාවට මුලින්ම යන්නේ ගමේ නිලධාරීන් කිහිප දෙනා. කොවිඞ් ආසාදනය වුණු පුද්ගලයාව නිරෝධායන කටයුතුවලට යොමු කරලා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයලා සියලූම රාජකාරී කටයුතුවල නිරත වෙන්නේ ග‍්‍රාම නිලධාරී ඇතුළු අනෙකුත් නිලධාරීන්. නමුත් තවමත් ඔවුන් වෙනුවෙන් එන්නත ලබාදීමේ කිසිදු වැඩපිළිවෙලක් සකස් කරලා නැහැ.

රාජ්‍යය නිලධාරීන්ගේ වැටුප් කප්පාදුව වගේම සේවා කප්පාදුවකුත් සිදුවෙමින් තිබෙනවා. මේ සම්බන්ධව විස්තර කළොත්,

පවතින රජයට සියලූ ප‍්‍රශ්නවලට මූලිකම හේතුව ලෙස ඔවුන් දක්වන්නේ කොවිඞ් 19 අර්බුදයයි. අමාත්‍යාංශවලට රාජ්‍ය ආයතනවලට අපි ගිහින් කතා කළාම ඔවුන් කියන්නේ මුදල් නැහැ කියලා. හැබැයි මේ රටේ කිසිදු ඇමතිවරයෙක් තමන්ගෙ පහසුකම් අඩු කරගත්තෙ නැහැ. වාහන පර්මිට් නොගෙන හිටියෙ නැහැ. නිල නිවාස නොගෙන ඉන්න එක ඇමති කෙනෙක් නැහැ. අමාත්‍යාංශ ලේකම්වරුත් තමන්ට ලැබෙන හැම දීමනාවක්ම ලබා ගත්තා. හැබැයි අපි දකිනවා රාජ්‍ය සේවයේ ලක්ෂ දාහතක් ඉන්නවා. විශ‍්‍රාමික ලක්ෂ හයක් ඉන්නවා. ඔය ලක්ෂ දාහත බොහෝ කැපකිරීම් කරලා තියෙනවා. නමුත් අපිට ලැබෙන බොහෝ දීමනා මේ වෙද්දි අඩුවෙලා තියෙන්නේ. අඩුම වශයෙන් ආයතනවලට සෞඛ්‍ය පහසුකම් ලබා දෙන්නවත් මේ ආණ්ඩුව සමත් වුණේ නැහැ. අපි කරන්න පුළුවන් සියලූ අරගල කරල අවසාන වුණාම තමයි ඒ දේවල් අපි ලබා ගත්තේ.

ස්වභාවික ආපදා තත්ත්වයක් ගත්තත් රාජ්‍ය නිලධාරීන්, විශේෂයෙන්ම ගම් ආශ‍්‍රිත අංශ නිලධාරීන් ඔවුන්ගේ උපරිමයෙන් දේවල් මිනිස්සුන්ට කරනවා. යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඊට වත්මන් නීති පද්ධතියත් යම් බලපෑමක් කරනවා. මොකද මනුස්සයෙක් ඇවිත් රාජකාරියක් කරගන්න ගියාම තියෙන නීති පද්ධතියත් එක්ක වැඩ කරද්දි ප‍්‍රමාද ඇති වෙනවා. මොකද මේ පවතින නීති අවුරුදු 100ක් පමණ පරණ නීති ක‍්‍රමයක් තමයි තිබෙන්නේ. නිදසුනක් ලෙස වර්තමාන කොවිඞ් රාජකාරී කරන්නෙ වසංගත රෝග ආඥා පනත යටතේ. ඒක එක්දාස් නවසිය හැත්තෑ ගණන්වල එකක්. නිරෝධායන පනත එක්දාස් අටසිය ගණන්වල එකක්. මේ පනත් සංශෝධනය කරලා නැහැ. මේ රජය විතරක් නෙවේ අවුරුදු 70ක් පුරාවට මේ රට පාලනය කළ සියලූ රජයන් මේ වගකීම බාර ගන්න ඕනේ වෙනවා.

රටේ නීති ජනතාවට අවශ්‍ය විදියට සකස් වෙනවා කියලා ඔබ විශ්වාස කරනවාද?

කොහෙත්ම නැහැ. මේ රටේ නීති සකස් වෙන්නෙ පාලකයන්ටයි ඉහළ නිලධාරීන්ටයි ඕන විදියට. සාමාන්‍ය ජනතාවටවත් රාජ්‍ය නිලධාරීයාට ඕන විදියටවත් නෙවේ මේ නීති සකස් වෙන්නේ. ඉන් බොහෝ සේ රාජ්‍ය නිලධාරීයා පීඩාවට පත්වෙනවා කීවොත් හරි.

ලංකාවේ රාජ්‍ය අංශ පවතින දේශපාලන ක‍්‍රමය අනුව දේශපාලනීකරණය වීම ඔබ අනුමත කරනවා ද?

රාජ්‍ය ආයතනවල ඉන්න බොහෝ ඉහළ නිලධාරීන් පක්ෂය අනුව පාට වෙනස් කරලා ඔවුන්ගේ පැවැත්ම හදාගන්නවා. එහෙමත් කෙනෙක් තමයි ඉවත්ම වෙලා යන්නේ. මොකද බොහොමයක් ඉහළ නිලධාරීන් සේවයේ ඉන්නකන් වැටුප් සහ දීමනා බලාපොරොත්තුවෙන් ඉඳල විශ‍්‍රාම ගියාමත් තනතුරු බලාපොරොත්තුවෙන් තමයි ඔය පුටුවල ඉඳගෙන ඉන්නේ. එහෙම බලද්දි මේ රටේ රාජ්‍ය සේවය පිරිහීම උදෙසා ඔවුන් විශාල වශයෙන් හවුල් වී ඇති බව කිව හැකියි. මේ රටේ ජනතාව දැනගත යුතු ප‍්‍රධානම දේ තමයි මේ රටේ පිරිහීමට දේශපාලකයා වගේම රජයේ ආයතනවල ඉන්න ප‍්‍රධාන නිලධාරීනුත් මූලිකවම වගකිව යුතුයි කියලා.

1977 වෙනකොට මේ රටේ හොඳ රාජ්‍ය සේවයක් තිබුණා. 1950 ඉඳලා 1977 වෙනකන් කාල සීමාවේදී ලංකාවෙ සිවිල් සේවය තමයි ආසියාවේ හොඳම සිවිල් සේවය ලෙස පිළිගත්තේ. ඉතා දක්ෂ නිලධාරීන් එකල හිටියේ. නමුත් වර්තමානය වෙද්දි අමාත්‍යාංශ ලේකම්ල ගත්තාම ඇමති පස්සෙ දුවන, ඇමතිවරයා කියන සියලූ කාරණා ඉස්මුදුනෙන් පිළිගන්න නිලධාරීන් තමයි දැන් ඉන්නේ. ඉතින් එහෙම බලද්දි ශ‍්‍රී ලංකා පරිපාලන සේවා අංශවල බහුතරය පක්ෂ එක්ක ගනුදෙනු කරන තම තමන්ගේ වැටුප් දීමනා නිසියාකාරව බලාපොරොත්තු වන පිරිසක්. ඔවුන්ට රටේ මිනිස්සු ගැන, ඔවුන් යටතේ ඉන්න රාජ්‍ය සේවකයා ගැන හැඟීමක් නැහැ.