සුමිත් චාමින්ද

”වසංගතයට එරෙහි ජන පවුර.” මේ උද්ධෘතය සඳහන් පෝස්ටරයක් දැන් සමාජ මාධ්‍ය අවකාශයේ වේගයෙන් සංසරණය වෙමින් පවතී. එය ප‍්‍රකාශයට පත් කොට ඇත්තේ ”දිදුලන හදවත” නමැති එකතුව විසිනි. නුදුරු අනාගතයේ තව තවත් දුක්මුසුව පැතිරී යන්නට නියමිත අන්ධකාරයට දෑස් හුරු කර ගනිමින් සිටින මොහොතක මේ වැකිය මා අමන්දානන්දයට පත් කළ බව කිව යුතුය. මා ප‍්‍රතිජනනාත්මක වාමාංශික දේශපාලනය යනුවෙන් අදහස් කරන්නේ හරියටම මෙයයි. පෙරටුගාමී වාමාංශයේ දිදුලන මාවත මෙයයි. මේ මගෙහි යන වමේ ව්‍යාපාරයක් නිසැකවම බහුජනයා විසින් වැලඳගනු ඇත. 2015 ජනවාරි විප්ලවය යන මෝඩ යෙදුමෙන් හඳුන්වන ලද නව-ලිබරල් යහපාලන ව්‍යාපෘතියට සෘජුව හෝ වක‍්‍රව දායක වූ වමේ කණ්ඩායම්වලටද තම දේශපාලන මාර්ග සිතියම යළිත් සකසාගත හැක්කේ මේ මග ගැනීමෙනි.

ප‍්‍රතිජනනාත්මක දේශපාලනයේ මාර්ග සිතියම

පළමුව, ප‍්‍රතිජනනාත්මක දේශපාලනයක් යනු කුමක්ද? සරලව, පවතින අසාධාරණ, අයුක්තිසහගත ක‍්‍රමයට විරෝධය දැක්වීමෙන් ඔබ්බට ගොස් වඩා සාධාරණ සහ යුක්තිසහගත ක‍්‍රමයක් ගොඩ නංවන දේශපාලනයකි. පවතින ක‍්‍රමය විනාශ කිරීමට අරගල කරන අතරම නව ක‍්‍රමයක් පහත සිට නිර්මාණය කරන දේශපාලනයකි.

නිදසුනක් ලෙස, මෙරට ග‍්‍රාමීය ජන සමාජය දරුණු ලෙස සූරාකෑමට ලක් කරන මාධ්‍යයක් බවට පත්ව තිබෙන ක්ෂුද්‍ර ණය ක‍්‍රමය ගනිමු. වාමාංශය එයට එරෙහිව විරෝධය දැක්වීම අවශ්‍යය. ක්ෂුද්‍ර ණය මුළුමනින්ම කපා හරින ලෙස ඉල්ලා සිටීම අවශ්‍යය. ගත් ණය ආපසු නොගෙවනු යන සටන් පාඨයද නිවැරදිය. දැන් වමේ පක්ෂ සහ සංවිධාන මේ සියල්ල කරයි. නමුත්, ඉන්පසුව අපට කළ හැක්කේ කුමක්ද? ග‍්‍රාමීය දුගීන් ණය උගුලේ කරවටක් ගිලී සිටී. ඔවුන් ගත් ණය නොගෙවා සිටියද දරිද්‍රතාවේ විසම චක‍්‍රය නිමා නොවේ. මේ විසම චක‍්‍රයට හේතුව පරායත්ත ධනවාදය බව ඇත්තකි. නමුත්, දැන් ග‍්‍රාමීය දුගියාට එම ධනවාදය පෙරළා දමා සමාජවාදය ගොඩ නගන්නට ඇරයුම් කිරීමෙන් පමණක් ප‍්‍රශ්නය විසඳෙන්නේ නැත. ඔවුනට තවත් යමක් වුවමනාය. ඔවුනට වාමාංශයෙන් ඉතාම ප‍්‍රායෝගික විකල්පයක් වුවමනාය.

එබැවින්, දැනට ක‍්‍රියාත්මක වන මූල්‍ය සමාගම්වල දුෂ්ට ක්ෂුද්‍ර ණය ක‍්‍රමය වෙනුවට කිසියම් විකල්ප ක‍්‍රමයක් ගොඩ නගන්නට වාමාංශය මැදිහත් විය යුතුය. එම විකල්ප ක‍්‍රමය ග‍්‍රාමීය ප‍්‍රජාව සමග එක්ව ගොඩ නගන්නක් විය යුතුය. එය ප‍්‍රජා-මූලික සමූපකාර ක‍්‍රමයක්, සීට්ටු ක‍්‍රමය වැනි සාමූහික මූල්‍ය සම්පාදන ක‍්‍රමයක් හෝ මොහමඞ් යූනූස් විසින් ඉදිරිපත් කරන ලද ක්ෂුද්‍ර මූල්‍ය ක‍්‍රමයේ හොඳ සහ නරක අත්දැකීම් හැදෑරීම මගින් නිර්මාණය කර ගන්නා ක‍්‍රමයක් විය හැකිය.

වත්මන් ග‍්‍රාමීය ණය උගුළේ පවතින එක් ලක්ෂණයක් නම් එම ණය ප‍්‍රයෝජනවත් ආයෝජන සඳහා භාවිත නොවීමයි. එක්කෝ මූලික යැපීමේ අවශ්‍යතා සඳහා එම ණය වැයවී යයි. නැතිනම්, නිසි ආයෝජන සහ වෙළඳපොළ අවස්ථා නොමැති බැවින් ඒ මුදල්වලින් නිසි ප‍්‍රයෝජනයක් ගන්නට නොහැකිව නාස්ති වී යයි. හුදෙක් ග‍්‍රාමීය ජනයා අතට මුදල් ලබා දීමෙන් පමණක් ඔවුනගේ දරිද්‍රතා ගැටලූ විසඳිය නොහැකි බව ඉතාම පැහැදිලිය. ඒ සඳහා කුඩා පරිමාණයේ නිපැයුම් සහ ව්‍යවසායන් සඳහා එම මුදල් යෙදවීමේ ක‍්‍රමයක් සකස් කළ යුතුය. එම නිපැයුම් සඳහා වෙළඳපොළ අවස්ථා සොයා ගත යුතුය. වෙළඳපොළ පවතින්නේද ප‍්‍රජාවන් අතරමය. එබැවින්, මූල්‍ය සම්පාදනය, ආයෝජනය සහ හුවමාරුව යන ආර්ථිකයේ ප‍්‍රධාන ක‍්‍රියාකාරීත්වයන් තුනම ආවරණය කෙරෙන ආකාරයේ වැඩපිළිවෙලක් අවශ්‍ය වේ. එවැන්නක් ගොඩනැගිය හැක්කේ එම සමස්ත ක‍්‍රියාවලිය සම්බන්ධීකරණය කරන සහ නියාමනය කරන සංවිධාන ජාලයක් ගම්-නගර මට්ටමෙන් නිර්මාණය කිරීමෙනි. එම සංවිධාන ජාලය සාම්ප‍්‍රදායික බෝල්ෂෙවික් පක්ෂ ආකෘතියේ ඒවා නොව ප‍්‍රජාවගේ ස්වේච්ඡා සහභාගිත්වය ඇතිව ක‍්‍රියාත්මක වන බහු ජන ව්‍යාපාරවල ස්වභාවය ගන්නා ඒවා විය යුතුය.

මග හැරුණු සෝවියට් පාඩම

අප මේ කතා කරන ප‍්‍රතිජනනාත්මක දේශපාලනය වනාහී වාමාංශික දේශපාලනයට අලූත් යමක් නොවේ. වමට කළ හැක්කේ විරෝධතා දේශපාලනය පමණක්ය යනු වමේ ඉතිහාසය ගැන පටු අවබෝධයක් ඇති දක්ෂිණාංශිකයින් විසින් ප‍්‍රචාරය කෙරෙන අදහසකි. විප්ලව සමයේ රුසියාව තුළ පවා ප‍්‍රතිජනනාත්මක දේශපාලනය පිළිබඳ ආදර්ශ පැවතිණ. ගොවීන්, කම්කරුවන් සහ සොල්දාදුවන් අතර පැවති විකල්ප නියෝජන ආයතන නොහොත් සෝවියට් සභා ගැන අප කවුරුත් අසා තිබේ. අවාසනාවකට ශ‍්‍රී ලංකාවේ වාමාංශික පක්ෂ ආරම්භයේ සිටම රුසියාවෙන් මධ්‍යගත ප‍්‍රජාතාන්ත‍්‍රික පක්ෂය පිළිබඳ පාඩම උගත් නමුත්, සෝවියට් සභා පිළිබඳ පාඩම ගැන එතරම් අවධානයක් යොමු කර නොමැත. බෝල්ෂෙවික් විප්ලවයේ ජයග‍්‍රහණයෙන් පසුව ලොව සෙසු රටවල මාක්ස්වාදීන් අතරද වඩා ජනප‍්‍රිය වූයේ පක්ෂය පිළිබඳ ලෙනින්වාදී ආදර්ශයයි. පක්ෂයද සහභාගිත්වය දරන විකල්ප නියෝජන ආයතන ගැන ආදර්ශය බොහෝ දෙනාට මග හැරී ගියේය. ලෙනින්ගේ මුල්කාලීන සටන් පාඨය වූ ”සමස්ත බලය සෝවියට් සභාවලට” යන්න බෝල්ෂෙවික්වරුන්ටද මග හැරී ගියේය. ඒ වෙනුවට සමස්ත බලය පක්ෂයට මාරු විය. පක්ෂ-තන්ත‍්‍රයක් නිර්මාණය විය.

නමුත්, ඒ සෑම තැනෙකම නොවේ. ඉතාලියේ ග‍්‍රාම්ස්චි සෝවියට් සභා පිළිබඳ පාඩම ඉතා හොඳින් ඉගෙන ගත්තේය. ඔහු ටියුරින් නගරයේ කම්හල් තුළ කම්කරුවන්ගේ සංගම් ජාලයක් ගොඩ නැගීමට පුරෝගාමී විය. ග‍්‍රාම්ස්චි කර්තෘත්වය දැරූ ”නව පර්යාය” නමැති පුවත්පත ටියුරින්හි කම්හල් සභාවල මගපෙන්වන්නා විය. 1920 මහා කම්කරු නැගී සිටීම සිදු වූ කාලයේදී කම්හල් අල්ලා ගත් කම්කරුවෝ ඒවායෙහි නිෂ්පාදන ක‍්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යන්නටද සමත් වූහ. ජර්මනියේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට සම්බන්ධ තරුණ සංගම්, ක‍්‍රීඩා සමාජ, කාන්තා සමිති පමණක් නොව තැබෑරුම් ජාලයක් පවා දහනම වන සියවසේ අග භාගයේ සිට ක‍්‍රියාත්මක විය. එකල ජර්මනියේ මාක්ස්වාදී අදහස් ප‍්‍රචාරය කිරීමේ වඩාත් ප‍්‍රචලිත අවකාශයක් වූයේ මත්පැන් වීදුරු හුවමාරු වූ තැබෑරූම් මේසය. අපගේ අසල්වැසි ඉන්දියාවේ ප‍්‍රජා -මූලික සංවර්ධනය පිළිබඳ ආදර්ශයක් ගොඩ නගන්නට කොමියුනිස්ට් පක්ෂ පාලනය යටතේ කේරළ ප‍්‍රාන්තය සමත් විය. (මෙරට වාමාංශික පක්ෂවල ක‍්‍රියාකාරීන් කේරළයට ගොස් සංවර්ධනය පිළිබඳ කේරළ මොඩලය ගැන න්‍යායික සහ ප‍්‍රායෝගික අධ්‍යාපනයක් ලබා ගත යුතුව ඇතැයි මම සිතමි).

වසංගතයට එරෙහි ජනතා ව්‍යාපාරයක්

වත්මනෙහි ගොඩ නැගෙන ප‍්‍රතිජනනාත්මක වාම ව්‍යාපාරයක් නිසැකවම ආරම්භ විය යුත්තේ වසංගත මර්දන ව්‍යාපාරයක් ලෙසයි. වසංගතය දැන් අපගේ දොරකඩට පැමිණ තිබේ. තවමත් එහි ප‍්‍රහාරය ආරම්භ වූවා පමණි. බොහෝ විට මහජන සෞඛ්‍ය අර්බුදයටත් වඩා දරුණු විය හැක්කේ එමගින් උත්සන්න කෙරෙන ආර්ථික අර්බුදයයි. අප සමාජයේ අනාගත දේශපාලන ඉරණම තීන්දු කිරීමේ ප‍්‍රධාන සාධකය වනු ඇත්තේ බොහෝ විට එයයි. එබැවින්, 2025 දී හෝ 2029 දී පාලන බලය හිමිකර ගනු ඇත්තේ කුමන රාජපක්ෂවරයාද යන නක්ෂත‍්‍රකරුවන්ගේ ප‍්‍රශ්නය දැන් තවදුරටත් වලංගු වන්නේ නැත. මෙතෙක් දේශපාලනය ක‍්‍රියාත්මක වූ සුපුරුදු රටාවන් සහ කාල රාමූන් ප‍්‍රචණ්ඩ ලෙස පරිවර්තනයට ලක්වීමක් ඉදිරියේදී අපේක්ෂා කළ හැකිය. ඉදිරි අර්බුද සමය තුළ ආහාර ඉල්ලා කෙරෙන කැරලි ගැසීම් පවා දකින්නට අපට සිදුවිය හැකිය. ආහාර පිළිබඳ ප‍්‍රශ්නය නිසැකවම දේශපාලනයේ කේන්ද්‍රයට පැමිණෙනු ඇත.

ජනතාව මේ සා විශාල ව්‍යසනයකට ඇද වැටුණු විට ඔවුන් වමේ ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වන්නේ විරෝධය දැක්වීමට වඩා වැඩි දෙයකි. පාලකයින්ගේ මරණ-දේශපාලනයට (necropolitics) ගොදුරු වූ ජනයා අද ඉල්ලා සිටින්නේ ‘ජීවිත-දේශපාලනයකි.’ වසංගතයෙන් මියයන්නේද නැතහොත් සාගතයෙන් මියයන්නේද යන තෝරා ගැනීම කරන්නට සිදුව තිබෙන ජනයාට කොමියුනිස්ට් පරමාදර්ශය ගැන දේශනා කිරීමෙන් පළක් නැත. ඔවුනට අවශ්‍ය කොමියුනිස්ට් පරමාදර්ශය ”මේ දැන් මෙතැන” ඉතාම ප‍්‍රායෝගිකව ක‍්‍රියාවට නැංවෙන ආකාරයේ වැඩපිළිවෙලකි. එනම්, අප සමාජයේ දැනටමත් පවත්නා අන්‍යෝන්‍ය උපකාරය, සාමූහිකත්වය සහ අනෙකාගේ දුකේදී අතදීම වැනි කොමියුනිස්ට් ගුණාංග මත පදනම් වූ නව සමාජ ව්‍යාපාරයකි. වසංගතය මැඬලීම සඳහා ස්වේච්ජා මහජන සහභාගිත්වය මත පදනම් වූ ව්‍යාපාරයකි. එවැන්නක් ගොඩනැංවිය හැක්කේ නිශ්චිතවම වාමාංශයටය.

එවන් සමාජ ව්‍යාපාරයක් වෙත දිශානත වූ භාවිතයන් දැනටමත් ‘දිදුලන හදවත’ තුළ නිරීක්ෂණය කළ හැකිවීම ඉමහත් සතුටට කරුණකි. එය වසංගතය මර්දනය කිරීම සඳහා ස්වේච්ඡා මහජන ක‍්‍රියාකාරීත්වයක් වෙත ඇරයුම් කරයි. ඒ වෛද්‍යවරුන්, සෞඛ්‍ය සේවකයින්, වෛද්‍ය සිසු-සිසුවියන්, සෙසු සරසවි සිසු-සිසුවියන්, කලාකරුවන්, බුද්ධිමතුන්, ගුරුවර-ගුරුවරියන්, තරුණ-තරුණියන්, ආගමික නායකයින්, ගොවීන්, කම්කරුවන්, ධීවරයින් ඇතුළු පොදු ජනයා වෙත කෙරෙන ඇරයුමකි. වසංගතය වසන්තයක් වූ පන්තියට එරෙහිව වසංගතය ව්‍යසනයක් වූ පන්තියට (එනම් ජනතාවට) කෙරෙන ඇරයුමකි. මේ මොහොතේ පන්ති අරගලය යනු එයයි. එම පන්ති අරගලයේ උපායමාර්ගය වනුයේ ප‍්‍රතිජනනාත්මක වාමාංශික දේශපාලනයයි.

ජන සමාජය රැක ගනිමු!

මේ මොහොතේ ප‍්‍රතිජනනාත්මක වාමාංශික දේශපාලනයක ප‍්‍රධාන නිෂ්ටාවක් විය යුත්තේ ජන සමාජය රැක ගැනීමයි; බිඳ වැටෙන ජන සමාජය (නව ආකාරයකට) නැවත ගොඩනැංවීමයි. ඒ මන්ද? වසංගතයෙන් මහත්ම හානිය සිදුවෙමින් පවතින්නේ අපගේ සමාජයීය අවකාශයට බැවිනි. මේ කරුණ මදක් පැහැදිලි කරන්නට ඉඩ දෙන්න.

වත්මන් යුගයේ පුද්ගලයෙකු සැරිසරන අවකාශයන් සතරක් අපට හඳුනාගත හැකිය. එනම්, පවුල, රාජ්‍යය, වෙළඳපොළ සහ සමාජයයි. පළමුව, මේවායින් පවුල නම් අවකාශය වසංගතය හමුවේ වඩා බලවත් වී තිබේ. (ලූවී අල්තුසර් නිවැරදිව හඳුනාගත් පරිදි ධනවාදයේ ප‍්‍රධාන දෘෂ්ටිවාදී ආයතන කට්ටලය වන්නේ පවුල සහ පාසලයි. දැන් බොහෝ පුද්ගලයින් ආරක්ෂාව සොයන්නේ පවුල තුළයි. වෛරසයේ ප‍්‍රහාරය හමුවේ මිනිසුන් වඩ වඩාත් පවුල තුළට ගිලීයමින් සිටී. දෙවනුව, රාජ්‍යය අපගේ අති සමීප පුද්ගලික ජීවිතය පවා සෝදිසිකරණයට ලක් කරන අධිකාරීවාදී ස්වරූපයක් ගනිමින් තිබේ. නයෝමි ක්ලයින් පැවසූ ලෙස ‘ආපදා ධනවාදය’ තුළ මෙතෙක් ක‍්‍රියාත්මක කළ නොහැකිව තිබූ දුෂ්ට ධනවාදී ප‍්‍රතිසංස්කරණ කරළියට ගෙන එමින් ඇත. ඇයගේම වචනයෙන් කිවහොත්, ‘වසංගත කම්පන ධර්මතාව’ යටතේ දැන් ලොව පුරා සිදුවෙමින් පවතින්නේ එයයි. ඒ අරුතින් රාජ්‍යයේ අධිකාරී බලයද දැන් වර්ධනය වෙමින් තිබේ. ඇචීල් ම්බෙම්බේ පැහැදිලි කළ පරිදි, ”ජීවත් විය යුත්තේ කව්රුන්ද, මියෙන්නට හැරිය යුත්තේ කව්රුන්ද?” යන්න තීරණය කිරීමට ස්වාධිපති පාලකයාට ඇති අයිතිය වඩාත් දරුණු ලෙස ක‍්‍රියාවට නැගෙන්නේ දැන්ය. තෙවනුව, වෙළඳපොළ හැකිළීයමින් පවතී නම්, ඒ කුඩා වෙළෙන්දා සහ ව්‍යවසායකයාට අදාළව පමණි. නමුත්, කතිපයාධිකාරී සමාගම් දැන් සමස්ත වෙළඳපොළ තම අණසකට යටත් කර ගනිමින් තිබේ. 2020 සහ 2021 ලෝක ආර්ථික සම්මේලනවලදී සාකච්ඡා කෙරුණු ‘ධනවාදයේ මහා ප‍්‍රත්‍යාරම්භය’ (great reset) ගමන් කරමින් සිටින්නේ එදෙසටය. ලොව සෙසු තැන්වල සේම ශ‍්‍රී ලංකාවේද මහා මූල්‍ය සමාගම් සහ බිලියනපතියන් තම ඉහළම ලාභ වාර්තා කර ඇත්තේ පසුගිය වර්ෂය තුළය. දැනට දින කිහිපයකට පෙර කොළඹ කොටස් වෙළඳපොළ මෙතෙක් වාර්තාගත ඉහළම වර්ධනය වාර්තා කළේය. වසංගතය තුළ පවුල, රාජ්‍යය සහ වෙළඳපොළ යන අවකාශවල තත්ත්වය එබඳුය. නමුත්, සමාජය? එයට සිදුවෙමින් පවතින්නේ කුමක්ද?

දැන් තර්ජනයට ලක්වෙමින් පවතින්නේ සහ හැකිළීයමින් තිබෙන්නේ සමාජය නමැති අවකාශයයි. විමුක්ති දේශපාලනයට අදාළව වඩාත්ම වැදගත් අවකාශය වන්නේ එයයි. අපට එක්ව වැඩ කරන්නට, සාමූහික නිෂ්ටාවන් හඹා යන්නට, වාද විවාද කරන්නට, මිතුරු මිතුරියන් සමග මධුවිතක් තොල ගාන්නට, අල්ලාප සල්ලාපයෙහි යෙදෙන්නට, නාට්‍යයක් හෝ චිත‍්‍රපටයක් බලන්නට, සංවිධාන ගොඩ නගන්නට, අරගල කරන්නට සහ පොදුවේ සාමූහික ජීවිතය බෙදා ගන්නට ඇති අවකාශය එයයි. එබැවින්, වසංගතය හමුවේ තර්ජනයට ලක්ව තිබෙන සමාජය ආරක්ෂා කර ගැනීම දැන් ප‍්‍රතිජනනාත්මක වාමාංශික දේශපාලනයක ප‍්‍රධාන කාර්යයක් විය යුතුව තිබේ.

මේ ගැන දැනට මාස කිහිපයකට පෙර ශන්තාල් මූෆ් ඉදිරිපත් කළ අදහසක් යළිත් උපුටා දක්වන්නට මම කැමැත්තෙමි. The Great Transformation ලියූ කාල් පොලන්යීව උපුටා දක්වමින් ඇය පවසන්නේ සමාජය තර්ජනයට ලක් වූ විට නැවත සමාජ සාමූහිකත්වය ගොඩනැගීම සඳහා වන ප‍්‍රති-රැුල්ලක් අපේක්ෂා කළ හැකි බවයි. පොලන්යී පැවසුවේ දහ නම වන සියවසේ සිට වෙළඳපලකරණය සහ හුවමාරු භාණ්ඩකරණය හමුවේ බටහිර සමාජයන් තර්ජනයට ලක් වූ බවත් ෆැසිස්ට්වාදය සහ නාසිවාදය එම තර්ජනයට දැක්වූ නිශේධනීය ප‍්‍රතිචාරයක් ලෙස සැලකිය හැකි බවත්ය. නමුත්, එවන් ප‍්‍රති-රැුල්ලක් නිශේධනීය පැත්තටම ගමන් කිරීමේ නියමයක් නැත. ස්කැන්ඩිනේවියානු රටවල සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජය ගත්තේ ජර්මනියේ සහ ඉතාලියේ ෆැසිස්ට්වාදී සහ නාසිවාදී ව්‍යාපාර ජය ගත් කාලයේදීමය. මූෆ් පවසන්නේ දැන් වසංගතය හමුවේ පොලන්යී පැවසූ ආකාරයට නොව වෙනත් ආකාරයකට සමාජය තර්ජනයට ලක්වෙමින් පවතින බවයි. එබැවින්, සමාජය නැවත සක‍්‍රීය කිරීමේත්, එය නැවත වෙනස් ආකාරයකට ගොඩ නැංවීමේත් ප‍්‍රති-හෙජමොනික දේශපාලනයකට දැන් අවස්ථාව උදා වී තිබේ.

මේ අවස්ථාව අල්ලා ගන්නට දක්ෂිණාංශික ජාතිකවාදයට ඉඩ නොදිය යුතුය. ජනතාවාදී වාමාංශය ඉක්මන් විය යුතුය. දේශපාලනය යනු අන් සියල්ලටමත් වඩා මේ මොහොත පිළිබඳව වූවකි. නිවැරදි මොහොතේ කරන නිවැරදි මැදිහත්වීම පිළිබඳව වූවකි. අප කිසියම් මැදිහත්වීමක් කරන විට එයින් වෙනත් මැදිහත්වීමක් වළක්වනු ලැබේ; නොඑසේනම්, අප එක් වියහැකියාවක් (possibility) සැබෑවට පවතින්නක් (actuality) බවට පරිවර්තනය කරන විට වෙනත් විය හැකියාවන් රැසක් මර්දනය කරනු ලැබේ. එබැවින්, උපායමාර්ගවලින් තොරව දේශපාලනයට පැවතිය නොහැකිය.

උපායමාර්ගික ස්ථානගත වීම

මේ මොහොතේ නිවැරදි වාමාංශික උපායමාර්ගය වනුයේ වසංගතය, අධිකාරීවාදී ධනවාදය සහ මරණ-දේශපාලනය යන ත‍්‍රිවිධ ප‍්‍රහාරයන්ට ලක්ව තිබෙන ජන සමාජය ආරක්ෂා කිරීමේත්, එය සක‍්‍රීය කිරීමේත්, එය නව ආකාරයකට නැවත ගොඩ නැංවීමේත් මගක් තෝරා ගැනීමය. මට හැෙඟන පරිදි අද දවසේ අන් සියල්ලන්ටම පෙර මේ නිවැරදි මග හඳුනාගෙන ඇත්තේ ‘දිදුලන හදවතයි.’ වත්මන් පාලනාධිකාරය කොරෝනා වෛරසයට එරෙහි සටන ඉහළ සිට කෙරෙන මිලිටරි මෙහෙයුමක් බවට පත් කළ බැවින් පොදු ජන ප‍්‍රජාව හුදෙක් නියෝග පිළිපදින නිෂ්ක‍්‍රීය බහුතරයක් බවට පත් වී ඇත. මෙම පාලනාධිකාරයට සහාය දුන් ඇතැම් ජනවාර්ගික ජාතිකවාදී කණ්ඩායම් පවා දැන් කලබලයට පත්ව සිටින්නේ මේ ප‍්‍රවේශයේ අනිටු ඵල විපාක ඔවුන් දන්නා නිසාය. (ජාතිකවාදීන්ට ජන සමාජය සමග ඓන්ද්‍රීය බැමි ඇත). නමුත්, පාලනාධිකාරයෙන් තීරණාත්මකව බිඳී යාමෙන් තොරව මේ නව දේශපාලන අවකාශය අත්පත් කර ගන්නට ඔවුනට නොහැකිය.

ශ‍්‍රීලනිප නායකත්වය සහ පැරණි වමේ සමාජ-ප‍්‍රජාතාන්ත‍්‍රික කොටස්ද සුළඟ හමන අත හඳුනාගෙන සිටියද පාලනාධිකාරයෙන් ගැලවීමට නොහැකිව ළතවෙමින් සිටින තාක් කල් ඔවුනටද කළහැක්කක් නොමැත. නමුත්, සජිත් පේ‍්‍රමදාසගේ මධ්‍ය-දක්ෂිණාංශික ජනතාවාදයට මේ මොහොතේ බහුජන ප‍්‍රජාව වෙත හෙජමොනික ආමන්ත‍්‍රණයක් කිරීමේ කිසියම් හැකියාවක් තිබෙන බව මගේ අදහසයි. මන්දයත්, නේක විධ ආර්ථික පීඩාවන්ට ගොදුරු වී සිටින ජන කොටස් වෙතින් පේ‍්‍රමදාසවාදී අනුග‍්‍රාහකවාදයට ආකර්ෂණයක් ඇතිවීම අපේක්ෂා කළ හැකි බැවිනි. නමුත්, එයට ඇති බාධාව වන්නේ සමගි ජන බලවේගයේ නව-ලිබරල්වාදී දෘෂ්ටිවාදී උරුමයයි. රනිල් වික‍්‍රමසිංහගේ එජාපය ගැන නම් කතා කොට පළක් නැත.

නමුත්, බොහෝ විට සමාජය ගොඩ නැගීමේ හෙජමොනික අරගලයේ තරගකාරී බලවේගයක් ලෙස චම්පික රණවකගේ ‘43 සේනාංකය’ ඉදිරියට ඒමට ඉඩ තිබේ. (චම්පිකගේ දේශපාලන ඉව අවතක්සේරු නොකළ යුතුය. ඔහු ප‍්‍රයත්න දරනු ඇත්තේ බොහෝ විට ‘දිදුලන හදවතේ’ මිත‍්‍රශීලී පාර්ශ්වයක් ලෙස වැඩට බැසීමටය).

මා කලක පටන් පවසන පරිදි ජනතා විමුක්ති පෙරමුණට හෙජමොනික අරගලයේ පෙරට ඒමට හැක්කේ 2015 නව-ලිබරල් යහපාලනවාදී උරුමය අත්හැර වාම ජනතාවාදී මගට තිරසාර ලෙස හැරීමෙනි. මේ සඳහා අවශ්‍ය බුද්ධිමය නායකත්වය දීමට ජාතික ජන බලවේගයේ වියතුන් තවමත් අසමත්ව තිබෙන බව පෙනේ. ඒ වෙනුවට ඔවුන් කළේ මේ මොහොතේ කිසිසේත්ම නොකළ යුතුව තිබූ දෙයකි. එනම්, පුවත්පත් සාකච්ඡාවක් කැඳවා තමන්ට බලය දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීමයි!

උවිඳු විජේවීරගේ ‘දෙවන පරපුර’ ඉදිරි හෙජමොනික අරගලයේ නව නියෝජනයක් ලෙස මතුවීමට හැකි තවත් කණ්ඩායමකි. ඔහු ජවිපෙ ශ්‍රේණීන් විනිවිද යාමට හැකියාව ඇත්තෙක් බව අමතක නොකරන්න.

දෙමළ ජාතික සන්ධානය සහ විශේෂයෙන්ම එහි ප‍්‍රධානත්වය දරන තමිල් අරසු කච්චි නායකත්වය තවමත් උතුරේ බහුජනයාගේ සමාජ ආර්ථික ඉල්ලීම් නියෝජනය කිරීමට හැකිවන පරිදි අභ්‍යන්තර පක්ෂ ප‍්‍රතිසංස්කරණයක් ඇති කරගන්නට සමත් වී නොමැති බව පෙනේ. එහි පැවැත්ම රඳා පවතින්නේ උතුරේ ජනයාගේ දේශපාලන ඉල්ලීම් නියෝජනය කරන නිල නියෝජිතයා ලෙස එයට ඇති පිළිගැනීම මත පදනම් වෙමිනි. නමුත්, වසංගත ධනවාදයේ දරුණුම ප‍්‍රහාරයට ලක්ව ඇති දෙමළ ප‍්‍රජාව වෙතින් තරගකාරී ජනතාවාදී දේශපාලන ධාරාවන් මතුවීමටත් එම ධාරාවන් දකුණේ සිංහල වාම ජනතාවාදී ධාරාවන් සමග සමගාමීව වර්ධනය වීමටත් හොඳටම ඉඩ තිබේ.

සෑම මුස්ලිම් පක්ෂයක්ම පාහේ අනුග‍්‍රාහක දේශපාලන සබඳතා මත රඳා පවතින තත්ත්වයක් යටතේ විපාක්ෂික අවකාශයෙන් මතුවන දේශපාලන ප‍්‍රවණතාවල දෙවන පෙළ නියෝජනයක් ලෙස පැවතීමේ ඉරණමකට ඔවුන් ලක්ව ඇත. මේ තත්ත්වයෙහි සැලකිය යුතු වෙනසක් සිදුවීමේ හැකියාවක් තවමත් පෙනෙන්නට නැත.

වසංගතයේ ව්‍යසනයට දරුණු ලෙස මුහුණ දී සිටින වතුකරයේ ප‍්‍රජාව තවමත් කතිපයාධිකාරී වෘත්තීය සමිතිවල ග‍්‍රහණයෙන් මුළුමනින්ම මිදී නොමැති වුවත් ඇතැම් වාමාංශික ප‍්‍රවණතාවලට එම ග‍්‍රහණය විනිවිද යන්නට කිසියම් හැකියාවක් ලැබී ඇති බව පෙනේ.

ඉහත පසුබිම තුළ දැන් ප‍්‍රතිජනනාත්මක පෙරටුගාමී වාමාංශයේ උපායමාර්ගික ස්ථානගත වීම ඉතාම සුබවාදී බව මගේ අදහසයි. එයට ඇති ප‍්‍රධාන වාසියක් නම් රෝහණ විජේවීරගේ වචනයෙන් කිවහොත් අන් සියල්ලන්ට පෙර අවදි වී සිටීමයි.

මනුෂ්‍යත්වයේ ඇරයුම

අවසන් වශයෙන් කිවයුත්තක් නම්, ප‍්‍රතිජනනාත්මක ප‍්‍රවේශය තුළ වමේ දේශපාලන උපායමාර්ග එහි දේශපාලන නිෂ්ටාවන් හා අතිනත ගෙන යන බවයි. ඒ අනුව, මාර්ගය යනු අන්තයමය. ඒ අනුව,‘දිදුලන හදවත’ යෝජනා කරන මනුෂ්‍යත්වයේ ඇරයුම වනාහී හුදෙක් රාජ්‍ය බලය වැනි කිසියම් දේශපාලන නිෂ්ටාවක් අත්පත් කර ගැනීමේ මාධ්‍යයක් නොවේ. එය මේ මොහොතේ වසංගතයේ ව්‍යසනයට එරෙහිව කළ යුතු දෙයයි. ‘දිදුලන හදවතේ’ පෝස්ටරය අපට දෙන තියුණු පණිවිඩය වන්නේ ”බොහෝ දේ අහිමි කළ වසංගතයට මනුෂ්‍යත්වය අහිමි කරන්නට ඉඩ නොදෙමු” යන්නයි. කිසිදු පක්ෂ භේදයකින් තොරව ඕනෑම අයෙකුට මේ ඇරයුම වැළඳගත හැකිය. එය ආමන්ත‍්‍රණය කරන්නේ අප සමාජයේ තවමත් ඉතිරිව පවත්නා අන්‍යෝන්‍ය ආදරය, සහනුකම්පාව, සහයෝගීතාව සහ සාමූහිකත්වය වෙතටය. එය අපෙන් ඉල්ලා සිටින්නේ පළමුව අප එක්ව මේ ව්‍යසනය පරාජය කරමු කියාය. (පක්ෂ දේශපාලනය ගැන ඉන්පසුව කල්පනා කළ හැකිය).

මේ වසංගතය අවසන් වූ පසුව වුවත් ඒ සමග එන ආර්ථික හා දේශපාලන අර්බුදය තවත් වසර කිහිපයක් දිගට ඇදෙනු ඇත. එසේ වුවද, අධිෂ්ඨානයේ සර්ව-සුබවාදය අපට පවසන්නේ කිසියම් දිනෙක අප යළිත් සමාජයක් ලෙස නැගී සිටින බවයි. අපේක්ෂා භංගත්වයට ඇද වැටුණු ජන සමාජය ඉදිරියේදී ඉල්ලා සිටිනු ඇත්තේ අලූත් බලාපොරොත්තුවකි. එම බලාපොරොත්තුව සැබෑවක් කරන්නට අවංකව කැප වූ අලූත් දේශපාලන, සමාජමය හා බුද්ධිමය නායකත්වයකි. ඒ සමාජ ඇරයුම මූර්තිමත් කරන්නට සමත් වන ප‍්‍රතිජනනාත්මක වාමාංශයක් වටා නිසැකවම දස දහස් ගණනින් ජනයා රොද බඳිනු ඇත. එසේ වුවහොත්, දිනෙක අප යළිත් සමාජයක් ලෙස නැගී සිටිනු ඇත්තේ එවන් නව වමක සුවිසල් ජයග‍්‍රහණයක්ද සමගය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here