විමලනාත් වීරරත්න


ගෝඨාභය ස්ටේජ් එකේදි අත්දෙක වනන විදිය ගැන හිටපු ජනාධිපතිතුමාට අවුලක් තිබුණි. ඔහු ගෝඨාට කීවේ දියේ ගිලෙන්න යන පොරක් වගේ අත්දෙක වනන්න එපා වනන එක මං වගේ හරියට වනපං කියාය. ගෝඨා කීවේ අයියා වනනවා වගේ වනන්න තාම අමාරුයි කියාය. දියෙහි ගිලූණු අයියාට යන මාතෘකාව යටතේ ලියැවුණු කවියක් හිටපු ජනාධිපතිතුමා පොඩි කාලයේ කියවා තිබුණි. ඒකේ තිබුණේ හැමදාම ජලයේ කිමිදී විකුම්පාන අයියා කෙනකු එක දවසක් යළි ගොඩ නොඑන ලෙස යට ගොස් තිබුණු අන්දමය. දැන් දැන් පෙනෙන විදිය අනුව මුල් කවියේ පද ටිකක් වෙනස් කර දියෙහි ගිලූණු මල්ලීට කියා කවියක් නොබෝ දිනකින් ලියන්නට තමන්ට සිදුවේදෝයි හිටපු ජනාධිපතිතුමාට කල්පනා වුණේ හේතු ගණනාවක් නිසාය.


මඳක් කල්පනාභරිතව සිටි හිටපු ජනාධිපතිතුමා ගෝඨාගෙන් ඇසුවේ තමුන් දැන් අර හැම රැුස්වීමකටම යන ගමන් අතරමගදී ගෑනු සෙට් එකක් එක්ක ළිඳ ළඟ සංගමේ වගේ එකක් දාන්න පටන් ගත්තෙ මොන හේතුවක් නිසාද කියාය. ගෝඨා හිනාවී ඇසුවේ මට තියෙන්නෙ මිලිටරි මනසක් කියලා අර හැමදාම ඕනෙ එකකින් දිනන අයියා කියලා තිබුණා, අයියට මතකද කියාය. ඔව් ඔව් ඉතිං කියා ප‍්‍රතිචාර දැක්වූ හිටපු ජනපතිට ගෝඨා කීවේ ඔය වටේ ගහන ගමන් හම්බවෙන නංගිලත් එක්ක චැට් එකක් දැම්මාම ඕක ටික ටික මග ඇරිලා යයි කියලා හිතෙනවා කියාය. චෑහ් අපරාදෙ කියූ එතුමා ඩබල් එකේම කීවේ කොළඹ නිවාස ප‍්‍රශ්න විසඳන්න ගිය ඒ කාලෙ වනාතෙයි, දෙමටගොඩයි, නාරාහේන්පිටයි නංගිලා එක්කත් මේ විදියට ක‍්‍රියා කළා නම් ඔය කියන මිලිටරි මනසෙ ප‍්‍රශ්නෙ මෙලහකටත් විසඳිලා කියාය. හිටපු ජනාධිපතිතුමා මලයා දෙස රවා බලා කීවේ තමුන් වනාතට ගියේ උන්ගෙ ගෙවල් ඩෝසර් කරන්නනෙ, ගෙවල් ඩෝසර් කරලා ලව් කරන්න බැහැ, ලව් කරලා ඕනෙ ජල්තර වැඩක් කරගන්න පුළුවන් කියන තියරිය දැන්වත් ඉගෙන ගන්නවා කියාය. මිනිහා ඊට ප‍්‍රතිචාර නොදක්වා සිටින විට අයියා කීවේ තමුන්ගෙ මිලිටරි මනස නැතිකර ගන්න චැට් එකෙන් විතරක් බැරිවෙයි. ඒකට ටච් එකත් ඕනෑ කියාය. හමුදාවේදී පහසුවේත් සිටීන් කියන කොට වගේ දෙකකුල් අඩියක් විතර පරතරයකින් තබාගෙන අත්දෙකත් පිටිපස්සට බැඳගෙන ස්ත‍්‍රීන් ඉදිරිපිට ආධුනික සොල්දාදුවකු සේ සිටින ගෝඨාභය ඒ කතාවෙන් මඳක් ලැජ්ජාවට පත්විය. ඒ විතරක් මදි කී අයියා වැවේ නාලා මල් කඩලා සෙල්ෆි ගහලා, ළමයි වඩාගෙන, කවුරුහරි එකෙක් ගහක් කප කපා හිටියොත් කඹේවත් ටිකක් වෙලා අල්ලගෙන ඉඳලා, සිංදුවක් කියලා, කාගෙ හරි කුස්සියකට පැනලා ගෙදර උන්ට කන්න හදාගත්තු රොටියත් කාලා, හරියටම බුරියට වියතක් විතර පහළට ඇඟිල්ලෙනුත් ඇනලා ඔය සේරම වගේ දේවල් මේ වෙනුවෙන් කරන්න වෙයි කියාද කිවේය. ඒ අන්තිම එකට ගෝඨා තව ටිකක් අවුල් වෙන්න කලින් හිටපු ජනාධිපතිතුමා ඩබල් එකේම කීවේ හැබැයි හොඳට මතක තියා ගනින් ඔය අන්තිම එක කරන්නෙ සරොංකාරයන්ට විතරයි කියාය. ඇත්තටම අයියෙ එතකොට මොකද වෙන්නෙ කියා කට උල්කර අමු හොරතල් විදියට ඇසූ මල්ලීට අයියා කීවේ සුප‍්‍රීම් සැට් එකට රටේ නායකයා වෙන්න ඉන්න එකාගෙන් පාරක් කාපු ඕනෙම එකෙක් ගෙදර යන්නෙ නමයි ඡුන්ද ලකුණයි මතුර මතුරා, ඒක මම අත්දැකීමෙන් ප‍්‍රත්‍යක්ෂ කරගත්තු දෙයක් කියාය.


හිටපු ජනාධිපතිතුමා හදිසියේම යමක් මතක් වූ නියාවෙන් කීවේ ඒක නෙමෙයි උඹ අර සනීපාරක්ෂක තුවා කතාවට තාම කොහේදිවත් හරි උත්තරයක් දෙනවා මම දැක්කෙ නැහැ කියාය. ගෝඨාභය කීවේ ඇයි මං සනීපාරක්ෂක තුවා අඳින වීරවංසයි, ගම්මන්පිලයි දාලා මෑන්ට ගැස්සෙව්වෙ ඒ මදිද කියාය. හිටපු ජනාධිපතිතුමා කීවේ එහෙම නෙමෙයි මිනිහා ඒවා නොමිලේ දෙනවා කියනවා නම් උඹත් ඒකට සමාන්තරව ගෑනුන්ට බැරි නම් පිරිමින්ට හරි මොනවා නමුත් නිකං දෙනවා කියලා කියන්න ඕනෙ. නැත්නම් වැඬේ දෙල් පුතෝ කියාය. ගෝඨා කීවේ හරි ඉතිං මං ඊළඟට තියන රැුස්වීම්වලදී ඔය ගෙදර උන්නු ගමං කිසිම වගවිභාගයක් නැතිව සරං කොටේ පිටින් ගමන් බිමන් යන එවුන්ටයි ෂෝට විතරක් ගහගෙන සිවිල් පිට කඩපිලට එන එවුන්ටයි නිකං ජොක්කු දෙනවා කියන්නම්. එතකොට ප‍්‍රශ්නෙ ඉවරනෙ කියාය.


නැවතත් ගෝඨා බර කල්පනාවකට වැටුණි. මිනිහා මොකක්හරි දේකින් පීඩා විඳින බව තේරුණු හිටපු ජනාධිපතිතුමාට දුක සිතී කීවේ මොක්කහරි අවුලක් තියනව නම් ඔහොම තැවෙන්නෙ නැතුව කියපං කියාය. මිනිහා කීවේ මට චෝදනා තොගයක් තියන නිසා අපේක්ෂකකමටවත් සුදුසු නැහැ කියලා කවදාවත් නොපරදින අයියා කියපු කතාව ගැන මට ෆුල් අප්සට් අයියෙ කියාය. හිටපු ජනාධිපතිතුමා කීවේ ඉතිං මිනිහා කිව්ව දේ බොරු නෙමෙයිනෙ, ලසන්ත, එක්නැළිගොඩ, රතුපස්වල, වැලිකඩ එච්චරද උඹට විරුද්ධව තව චෝදනා කීයක් තියනවද, උන්ගෙ කරදර සේරම තියාගෙනත් මම සිවිල් මනසින් වැඩ කරද්දී උඹ විතරක් මිලිටරි මනසකින් වැඩ කරපු එක ගැනයි මිනිහා නිතරම ප‍්‍රශ්න කරන්නෙ කියාය.
ගෝඨා ඒ කතාවට ෆුල්ම අප්සට් ගිය බව වැටහුණු හිටපු ජනාධිපතිතුමා කීවේ උඹට මොන වැරදි වැඬේ කරන ගමන් හරි ඔය ගාමිණීලා, සරත්ලා ඇතුළු මහජනයා වැනි පුරවැසි ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් ආස්සරේ කරන්න තිබුණා බං කියාය. එතුමා ඩබල් එකේම කීවේ අනික් එක උඹේ නම කියන කොටත් උන්ගෙ කකුල් වෙව්ලනවා කියලා පත්තරවලත් ලියන එකේ උන් එක්ක සෙට්වෙලා ඒ බය නැති කරන්න උඹට තිබුණා කියාය. ඉතින් දැන් කකුල පස්සට ගන්නට ක‍්‍රමයක් නැද්ද අයියෙ කියා ඇසූ ගෝඨාට හිටපු ජනාධිපතිතුමා කීවේ කොහේ ගන්නද බං පෝරිසාදයා වනේහී ‘ජනයා’ මරාල දාවි කියන අර පරණ සිංදුව රේඩියෝ එකේ යනකොටත් උඹ ගැන මතක් වෙලා ඌ වෙව්ලනවලූ, ඉතිං උඹ කකුල පස්සට ගත්තට වැඩක් වෙන්නෙ නැහැ කියාය.


මඳක් විපිළිසරව සිටි ගෝඨා ඉකිගසමින් අඬන්නට පටන් ගත්තේ ”කවදාවත් නොපරදින අයියා” තමා පරදින බවට රට පුරා කේළමක් පරිදි කියමින් යන බව ආරංචි වූ නිසාය. ඒකට නම් හිත හදන්නට විදියක් නැති තැන හිටපු ජනාධිපතිතුමා පුටුව මතම ගැඹුරු කල්පනාවක නිමග්න වූයේය. ටිකකින් ඔහුට නින්ද ගියේය. අනතුරුව හීනයක් දැක්කේය.
මල්ලීත් සමග ඔහු සිිටියේ එකදාස් නවසිය පනස් ගණන්වලය. එක් හවස් වරුවක අයියා ගොඩ සිටි අතර මල්ලි ආරක්ෂක ලේකම් කෙනකුගේ වෙස් ගෙන මහත් ජවයෙන් ගම මැද ඇලේ පිහිනමින් සිිටියේය. ටික වේලාවකින් ඔහු ජනාධිපති අපේක්ෂකයකුගේ වෙස් ගෙන පිහිනන්නට පටන් ගත්තේය. ටික දුරක් ගිය මල්ලී කවියේ සිටි දියෙහි විකුම් පෑ අයියා සේ හදිසියේම ගැඹුරු දියේ ගිලී ගියේය. ගොඩ සිටි අයියා ‘දියෙහි ගිලූණු අයියාට’ කවියේ අයියා කියා තබුණු හැම තැනකටම මල්ලී මල්ලී කියා දමාගෙන දමාගෙන ගියේය.