ඉඳුනිල් උස්ගොඩ ආරච්චි, වින්ද්‍යා ගමගේ, දිනී ජයසේකර, රසික ගුණවර්ධන.


පෝස්ටර්වලින් වැසීගිය නගරබද පැති බැමි, තමන් එසේ කාලාන්තරයක් දරාගෙන සිටි අපවිත‍්‍ර ඇඟලූම් ඉවතලා වෛවර්ණ පැහැයෙන් නවමු වස්ත‍්‍ර දරාගනිමින් සිටියි. ඊට රටපුරා තරුණ තරුණියන් ප‍්‍රමුඛව බාල මහලූ සෑම අයකුම පෙරමුණ ගෙන ඇත. එම වෛවර්ණ සිතුවම්වලින් ඇතැම් ඒවා නගර අලංකාර කරන අතරම ඇතැම් සිතුවම් විවිධ දේශපාලනික දෘෂ්ටිවාදයන්ද සනහමින් සිටී.


ලෝක ඉතිහාසය


වීදි චිත‍්‍ර මඟින් කලාව අත්විඳිය හැකි හා අර්ථකථනය කළ හැකි ආකාරය වෙනත් මාවතකට යොමුකර තිබේ. කලක් අසම්මත කලා ප‍්‍රකාශන මාධ්‍යක් ලෙස හඳුනාගෙන තිබුණද පසුගිය දශකය තුළ වීදි චිත‍්‍ර කලාව ලොව පුරා අතිමහත් ජනප‍්‍රියත්වයක් දිනා ගැනීමට සමත්ව ඇත.


ප‍්‍රසිද්ධ ස්ථානවල බිත්ති මත අඳින සිතුවම් ආකාර දෙකක් වේ. එනම් නිසි අවසරයක් මත අඳින සිතුවම් සහ අවසරයකින් තොරව අඳින සිතුවම් ලෙසය. ”ග‍්‍රැෆිටි” ලෙස හඳුන්වන්නේ මෙසේ අවසරයකින් තොරව අඳින සිතුවම්ය. ලෝක ඉතිහාසයට අනුව බිත්ති මත සිතුවම් ඇඳීම ආරම්භ වන්නේ මීට වසර දහස් ගණනකට පෙර ගල් ගුහා තුළය. පසුකාලීනව රෝමවරු සහ ග‍්‍රීකයන් ඔවුන්ගේ නම් සහ විරෝධතා කවි ලෙස ගොඩනැගිලිවල ලියූ බවට සඳහන් වේ.


නූතන ග‍්‍රැෆිටි පිළිබඳව සංකල්පය 1960 දශකයේ මුල් භාගයේදී පිලඩෙල්පිහියා ( Philadelphia) හි වර්ධනය වූ අතර එය එම දශකයේ අග භාගය වන විට නිව්යෝක් වෙත ළඟා විය. මෙම කලා ස්වරූපය සැබැවින්ම ව්‍යාප්ත වූයේ 1970 දශකයේ නගරය පුරා ඇති ගොඩනැගිලිවල මිනිසුන් ඔවුන්ගේ නම් හෝ ”ටැග්” ලිවීම ආරම්භ කිරීමත් සමඟය.


”ග‍්‍රැෆිටි” යන පදය මුලින්ම භාවිත කොට ඇත්තේ නිව්යෝක් ටයිම්ස් සහ නවකතාකරු නෝමන් මේලර් විසිනි. එසේම මෙය ග‍්‍රැෆිටි කලාවට එරෙහි පළමුවන යුද්ධය අරඹන්නේ හැත්තෑව දශකයේ එවකට නිව්යෝක් නගරාධිපතිව සිටි ජෝන් ලින්ඞ්සේ විසිනි.


ලෝකයේ සිය විශ්මිත වීදි සිතුවම් හරහා නමක් දිනා ගත් කලාකරුවකු ලෙස ක‍්‍රිස්ප් (Crisp) හැඳින්විය හැකිය. ඕස්ටේ‍්‍රලියාවේ හැදී වැඩුණත් පසුව ඔහු කොලොම්බියාවේ ”බොහොටා” ප‍්‍රදේශයට සංක‍්‍රමණය වූයේ එම ප‍්‍රදේශයේ වීදි සිතුවම් තහනම් ප‍්‍රකාශන මාධ්‍යක් නොවන නිසාය. ඔහුගේ කලා කෘති සෞන්දර්යාත්මක සේම සමාජ දේශපාලන විවරණ යන පරාසයන් අතර විහිදී පවතී.


ප්ලාස්ටික් ජීසස් ( Plastic Jesus ) නම් ඇමරිකාවේ ලාස් වේගාස් නගරය පදනම් කරගත් වීදි සිත්තරා විසින් 2013 වසරේ නිමැවූ ”තවදුරටත් වීරයන් නොමැත” ( No more heroes ) යන චිත‍්‍රය සමඟ බොහෝ දෙනෙකුගේ අවධානයට ඔහු ලක්විය. එහි ඔහු චිත‍්‍රයට නගා තිබුණේ තහනම් උත්තේජක භාවිත කරමින් පාපැදියක් ධාවනය කරන ලාන්ස් ආම්ට්‍රෝන්ගේ රුවයි. පසුගිය දිනක ඔහු කොකේන් භාවිත කරන ඔස්කා පිළිරුවක් හොලිවුඞ් බුලවාදිදී නිර්මාණය කර තිබීම ඔහුගේ සමාජ කියැවීම මනාව විදහා දක්වන්නක්.


ලොව සිටින අතිශය ජනප‍්‍රියතම වීදි සිතුවම් නිර්මාපකයා වන, රහසිගත දිවියක් ගෙවන, ලන්ඩනය ආශ‍්‍රය කොට ජීවත් වන ”බැන්ක්ස්කි” තම අනන්‍යතාව ප‍්‍රකාශ කිරීම ප‍්‍රතික්ෂේප කරන නිසාම වඩා වැඩි ප‍්‍රසිද්ධියක් උසුලන තැනැත්තෙකි. ඔහු විසින් සිතුවම් කරන ලද වීදි චිත‍්‍රවල කොටස් කපා වෙන්දේසි කිරීමට මිනිසුන් පෙළඹෙන තරමටම බැන්ක්ස්කිගේ නිර්මාණ ලෝපතල වී ඇත. 2010 වසරේදී ඔහු විසින් නිර්මාණය කළ ” Exit through the gift ” නම් සිය වීදි සිතුවම ඇතුළත් වාර්තාමය චිත‍්‍රපටය ඇකඩමි චිත‍්‍රපට උළෙලේ හොඳම වාර්තා චිත‍්‍රපට අතරට නිර්දේශ විය. 2014 වසරේදී ”වසරේ පුද්ගල චරිතය” සඳහා හිමිවන වෙබී සම්මානයද ඔහුට හිමි විය.


56 තාර සිතුවම්


මේ මොහොතේ ලාංකේය සමාජය තුළද මේ වීදි චිත‍්‍ර උන්මාදය පැතිරෙමින් පවතී. අප වීදි බසින්නේ එය ඇසට හසුකර ගන්නටය.


අප සිදුකළ සංචාර සහ නිරීක්ෂණවලදී දැකගත හැකිවූයේ යුධකාමීත්වය සහ ප‍්‍රචණ්ඩත්වය ප‍්‍රකාශිත සිතුවම් බොහෝ ප‍්‍රමාණයක් නිර්මාණය වෙමින් පවතින බවයි. එසේම බෞද්ධ ආගමික සංකේත රාශියක්ද සිතුවම්වලට මූලාශ‍්‍ර වී තිබුණු බව දැකගත හැකිවිය. වසර 1956 දී ද මෙවැනිම සිදුවීම් මාලාවක් සිදුවිය. 48 නිදහසෙන් පසුව සිංහල භාෂාවට සහ බෞද්ධ ආගම තරමක් අඩු සැලකිල්ලකට ලක්විය. එකල ඉංග‍්‍රීසි භාෂාවට සහ ක‍්‍රිස්තියානි ආගමට ප‍්‍රමුඛ තැනක් හිමි විය.
කෙසේ වෙතත් පසුකාලීනව ඇතිවූ බෞද්ධ පුනරුදයත් සමග සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්කිරීමත් සමග ඇතිවූ නොසන්සුන්තාවන්හීදී එක්සත් ජාතික පක්ෂය සිංහල භාෂාවට සහ දෙමළ භාෂාවට සමතැන ලබා දෙන බව ප‍්‍රකාශ කිරීමත් සමග තත්ත්වය වඩාත් උග‍්‍ර විය. ඒ අනුව දකුණේ වාහන ”ශ‍්‍රී” අක්ෂරය භාවිතයට ගත්තේය. මෙයට විරෝධය පෑමක් ලෙස වරක් අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක යාපනයේ ගිය අවස්ථාවක ඔහුගේ රථයේ ශ‍්‍රී අක්ෂරයේ තාර ගෑමට යාපයේ ජනයා ක‍්‍රියා කළේය. එයින් පසු ලංකාව පුරා නාම පුවරුවල ස්වකීය ප‍්‍රතිපක්ෂ භාෂාවල තාර ගෑමට ස්වදේශික ජනයා පෙළඹුණේය.


ජ‘පුරේ සිතුවම්


රට පුරා සිතුවම් ඇඳෙන පසුබිම තුළ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ද තමන්ගේ ප‍්‍රකාශනයන් බිත්ති මත පින්තාරු කිරීම අරඹා තිබුණි. ඊට මූලිකත්වය ගෙන තිබුණේ කළමනාකරණ පීඨයයි. පසුගිය සෙනසුරාදා ඔවුන් එය අරඹා තිබූ අතර එම කටයුතු සඳුදා දින අලූයම දක්වාම සිදුකර තිබූ හෙයින් සඳුදා උදෑසන අප ඔවුන්ගේ නේවාසිකාගාරයට යන විට අපට සිත්තරුන් සියලූම දෙනා මුණගැසීමට නොහැකි විය. මේ කාර්යයට මූලිකත්වය ගත් පුද්ගලයන් අතුරින් දසුන් සහ තරිඳු සමග නේවාසිකාගාර බංකුවක් මත දොඩමලූ වීමට අපට හැකි විය. ඔවුන් පවසන ආකාරයට මේ ක‍්‍රියාව පිළිබඳව මුලින්ම අදහසක් එන්නේ මධු සාදයක් අතරතුරදීය. ”එක පාරටම රට පුරා චිත‍්‍ර අඳින රැුල්ලක් ආවා. ඒ රැුල්ලට තිබුණෙ එකම කන්සෙප්ට් එකක්. ඒ රැුල්ලෙ අපි අඩුපාඩු දැක්කා. අපිට ඕනෙ උනේ ඒ රැුල්ලෙන් මිදිලා සමාජයට මොකක් හරි පණිවිඩයක් දෙන්න. පරිසරයට වෙලා තියන හානිය, මනුෂ්‍යත්වය ගැන පණිවිඩයක් දෙන්න අපිට ඕනෙ උනෙ.” දසුන් කතාවට මුල පිරුවේය.


ලංකාව පුරා තරුණ තරුණියන් අතින් ඇඳෙන බොහෝ චිත‍්‍රවලට යුද්ධය සහ ඒ හා සබැඳි සිදුවීම් මූලික වී තිබූ බව සමාජ ජාල මාධ්‍ය හරහා නිරන්තරයෙන් දක්නට ලැබේ. එහෙත් දසුන් පවසන ආකාරයටම ජ’පුරේ සිතුවම් ඇඳ තිබුණේ මනුෂ්‍යත්වය, පරිසරය, ආදරය යන තේමාවන් යටතේය. අප ඒ පිළිබඳව දසුන්ගෙන් විමසුවෙමු.


”අපිට ආයෙ යුද්ධයක් ඕනෙ නෑ. ළමයින්ට ආපහු යුධ මානසිකත්වයක් දෙන්න ඕනෙ නෑ. එයාල වීරයො තමයි හැබැයි ලෝකයක් පවතින්න යුධ වීරයො විතරක් මදිනෙ. යුධමය වශයෙන් ජයග‍්‍රහණය කළාට අපි මිනිස්සුන්ගෙ ජීවිත ගොඩ නැගීම පැත්තෙන් ජයග‍්‍රහණය කරල නෑනෙ. එහෙම ජයග‍්‍රහණය කළා නම් මීට වඩා අපි හොඳ තත්ත්වයක ඉන්න ඕනෑනෙ. ඡුන්දෙයෙදි උනත් අපි අර්ථයක් නැති විදියට බෙදිලනෙ ඉන්නෙ. ඒ නිසා අපේ පණිවිඩය කියන්න අපි ඊට වඩා පුළුල් මාතෘකාවක් තෝරා ගත්තා.”


”යුධකාමී සිතුවම් බහුතරය අනුමත කරනවා. හැබැයි බහුතර මතය නිවැරදි මතය කියල අපි විශ්වාස කරන්නෙ නෑ. නමුත් ඒ ප‍්‍රවණතාවන් යහපත් ආකාරයකට තමයි අපි දකින්නෙ. විශ්ව විද්‍යාලය කීවොත් අරගල ගැන තමයි කට්ටියගෙ ඔළුවට එන්නෙ, අපට අවශ්‍ය වුණේ ඒ රාමුවලින් මිදිල අලූත් සංකල්පයක් මේක හරහා ගේන්න. දැන් ඔය ඇඳෙන පෙරහැරවල්, යුධ වීරයො වගේ දේවල් ඇහැ පිනවන්න හොඳයි නමුත් ඒකෙන් මනසට ආමන්ත‍්‍රණයක් නෑ. හමුදාවෙ කෙනෙක් දකින්න දකින්න අපිට මතක් වෙන්නෙ යුද්ධය. යුද්ධය කියන්නෙ තව මනුස්සයෙක්ව මරනව කියන එක. ඒ අතර අපට අවශ්‍ය මනුශ්‍යත්වයට ආමන්ත‍්‍රණය කරන්න. අපේ එක සිතුවමක් තියනව ” Be a Nice Humen” කියල.”


එසේම දසුන් සහ තරිඳු පැවසූ ආකාරයට ඔවුන්ට මෙම සිතුවම් නිර්මාණය කිරීමේදී බොහෝ දෙනෙකු උපකාර වී ඇත. ”අපට වෝල් ආට් පිළිබඳව ලොකු දැනුමක් තිබ්බෙ නෑ. අපි ඇත්තටම මේ වැඬේ පටන් ගත්තෙ ඒක ගැන දන්න කට්ටියගෙන් අහගෙන. මුලින් වැඬේ පටන්ගත්තෙ කොහොමහරි කරනව කියල, නමුත් අපි වැඬේ කරගෙන යද්දි ගොඩක් අය අපට උදව් කළා. කෑම දුන්නා, තීන්ත දුන්නා, අපට අනුග‍්‍රහය දක්වන්න ආයතන දෙකක් දැනට ඉදිරිපත් වෙලා තියනව. ඒ වගේම විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමත් අපට මේකට උදව් කරනවා.”


ජපුරේ සිතුවම තව දින කිහිපයකින් නිම කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ඔවුහු පැවසූහ.


මහනුවර


අප නුවරට පිවිසුණේ සාම්ප‍්‍රදායික නගරයක වීදි චිත‍්‍ර ඇඳීම කෙබඳු ආකාරයෙන් සිදුවනවාද යන්න බැලීමටය. එය ඉතා අපූරුය. පසෙකින් ස්කූටරයෙන් තැන තැනට යමින් චිත‍්‍ර අඳින ස්කූටර් යාළුවෝ බෝගම්බර වැවේ වලාකුළු බැම්මට පහතින් වූ පැති බැමි පාට කරද්දී පසෙකින් ඇති බිංගෙය පාසල් ළමුන් අතින් හැඩවෙන ආකාරය අපි දුටුවෙමු. නුවර පෙරහැර, වෙස් මුහුණු සහ මහසෝන වගේම නුවරට ආවේණික වූ සාම්ප‍්‍රදායික සිතුවම් බැම්ම මත ඔවුන් හරි අපූරුවට වර්ණිත කර ඇත. කිසිවිටෙක ඔවුන්, එම සාම්ප‍්‍රදායිකත්වයෙන් පිට පනින්නට උත්සහ දරා නැති බව චිත‍්‍ර දෙස බලන්නෙකුට වැටහෙයි. යුධ සිතුවම් වලට වඩා එය අපූරුය, එහෙත් පැවති සුදු පැහැය වර්ණ තවරනවාට වඩා අපූරුයැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන.


අලියා විත් කූටර්


නුවරට පිවිසීමත් සමග අපට ස්කූටර් යාළුවෝ මුණගැසුණි. ඔවුහු ආකාස බැම්මත් සමග යන පැති බැම්මේ සිතුවම් නිර්මාණය කරමින් සිටියහ. ඔවුහු ඇඳි සිතුවම් මකා දමන ලෙස නොයෙක් පුද්ගලයන් විසින් අවලාද එල්ල කර ඇත. නමුත් ඔවුන් නගර සභා අවසරය සහිතව සිතුවම් ඇඳීම නිසා එය බාධාවක් නොවූ බවත්, එක පැතිකඩක පමණක් නැවත වරක් සුදු ආලේපන ගල්වා අනෙක් හිදසේ සිතුවම් නිර්මාණය කිරීමට තීරණය කර ඇති බවත් කීවේය.


”අපි ටීම් එකේ පනහක් විතර ඉන්නවා. අලියා විත් ස්කූටර් කියල තමයි අපේ කණ්ඩායම හඳුන්වන්නේ. එක එක ප‍්‍රදේශවලින් අපිට කට්ටිය එකතු වෙලා ඉන්නවා. ඒ වගේම අපි එක එක රැුකියා කරන්නෙ. උදාහරණයක් විදියට මම ටැටූ ආර්ටිස්ට් කෙනෙක්. මමයි මගේ බිරිඳයි තමයි මේ වැඬේට සම්බන්ධ වුණේ. ඡුන්දෙට කලින් අපේ ටීම් එකේ මුල්ම ආර්ට් එක කිරිල්ලවලයි කළේ. දෙවෙනි එක තමයි නුවර. තනි තනිව වැඩ කරල තියෙනවා. නමුත් ටීම් එකම එකතු වෙලා කරන දෙවෙනි වැඬේ තමයි මේක. ඇත්තටම අපට ආර්ට් එකක් කරන්න නුවරට එන්න කියල ආරාධනාවක් ලැබුණා. ඒ නිසයි අපි ආවේ. අපට ලැබුණෙ ආකාස බැම්මත් එක්ක තියෙන පැති බැම්මයි. අඳින්න ගත්තට පස්සෙ පොඩි පොඩි බලපෑම් ටිකක් ආවා. නමුත් දැන් ඒවා සමතයකට පත්වෙලයි තියෙන්නේ. අපේ ආර්ට් ඩිසයින් කරන්නෙ සම්පත් අයියා. මේ සියලූ වැඩවලට නගර සභාවෙන් අවසර ලැබිලයි තියෙන්නේ. මේක ඇඳ ඇඳ ඉද්දි මුස්ලිම් පල්ලියකින් ඇවිත් වාරියපොළ ශ‍්‍රී සුමංගල හිමිව ඇඳල දෙන්න කියලත් අපෙන් ඉල්ලීමක් කළා.” චානුක පැවසීය.


”මම තමයි මේ ආර්ට් ඩිසයින් කරන්නේ. අපි සාම්ප‍්‍රදායික ( traditional ) තීම් එකක් පාවිච්චි කරන්නේ. එතනින් පිට අපි අඳින්න හිතල නැහැ. මොකද අපේ රට ප්‍රෞඪ ඉතිහාසයක උරුමයක් දරාගෙන ඉන්න රටක්. එවැනි රටකට පැවත එන සම්ප‍්‍රදාය සිතුවමට නගන එක ඉතාමත් හොඳයි කියල අපි හිතනවා.


මම වෘත්තීය චිත‍්‍ර ශිල්පියෙක්. ඒ අතරදි වෙනත් රැුකියාත් කරනවා. මේ එකතු වෙලා ඉන්න සේරම වෙනත් රැුකියා කරන අයයි. නිවාඩු දාගෙන ඇවිත් චිත‍්‍ර අඳිනවා. මේ වෙනකොට වැඬේට අපේ අතින් තිස්දාහක විතර වියදමක් ගිහින් තියෙනවා. අපේ වියදමෙන් තමයි මේ සේරම කරන්නේ. කන්න බොන්න වටෙන් පිටෙන් හම්බෙනවා. ඒ ඇරෙන්න තීන්තවලට අපේ සල්ලි තමයි ගොඩක් යටකරල තියෙන්නේ. දැන් මෙතන සිතුවම අඳිනවට කට්ටියක් විරුද්ධව වැඩ කරනවා. අපි ආකාස බැම්මෙ නෙවෙයි සිතුවම අඳින්නේ. ආකාස බැම්මට කිසිදු හානියක් වෙන්නෙ නැහැ. අනික අපිට නගර සභාවෙන් අවසර ලැබිලයි තියෙන්නේ.” සම්පත් පවසයි.


බොහොමයක් කලාකරුවන් තමන් කලාවෙන් ලබන තෘප්තිය නිසා බොහෝ දෑ කැප කර ඇති බව අප දනිමු. එයට කදිම නිදසුනක් ලෙස ස්කූටර් යාළුවෝ හැඳින්විය හැක. රැුකියාව පසෙකින් තිබෙද්දී, තමන්ගේ වියදමෙන් රට ලස්සන කරන වැඬේට සහයෝගය ලබා දෙන්නේ ස්වකීය තෘප්තිය වෙනුවෙනි.


උසස් පෙළින් පසු


නුවර ධර්මරාජ මාවත අසල වූ තාප්ප කිහිපයක අපට වීදි චිත‍්‍ර දැකගන්නට හැකිවිය. මෙම නිර්මාණය කරන්නේ උසස් පෙළ ප‍්‍රතිඵල අපේක්ෂාවෙන් පසු වෙන්නන් සහ උසස් පෙළ හදාරන්නන්ය. යොවුන් වියේ පසුවන්නන් මෙයාකාරව සාම්ප‍්‍රදායික සිතුවම් පෝෂණය කිරීම ඉතා අපූරුය.


”අපි නගර සභාවෙන් අවසර අරගෙනයි මේ චිත‍්‍ර අඳින්නේ. ඕනම තාප්පෙක චිත‍්‍ර අඳිනව නම් නගර සභාවෙන් අවසර ගන්න ඕනේ. ඒ නිසා අපි අවසර ගත්තා. අනික මේක පාසල් තාප්පයක්. ඒ නිසා සමාජෙට පණිවිඩයක් දෙන්න පුළුවන් දෙයකුත් ඕනේ අඳින්න. නුවරටම ආවේණික වුණු සාම්ප‍්‍රදායක් තියෙන නිසා අපි හිතුවා ඒ පැත්තෙන් අඳින්න ඕන කියලා. ඉතින් අපි ගොඩක් කට්ටිය එකතු වෙලා කණ්ඩායම් විදියට බෙදිලා ගැළපෙන විදියට බෙදාගෙන ඇන්දා.” සෙනිත පැවසුවේය.


මෙහි සිත්තරුන්ගේ වයස් භේදයක් නැත්තා සේම ස්ත‍්‍රී පුරුෂ භේදයක්ද නැත. ඔවුහු හරි හරියට සිතුවම් අඳිති. කඩිමුඩියේ ලද නිමේෂයකින් සෙව්මිණි අප සමග දොඩමලූ වූවාය.


”අපි සමහර දවස්වලට පාන්දර දෙක තුන වෙනකන් වැඩ කළා. විදුලිබල මණ්ඩලයෙන් අපිට ලයිට් දුන්නා. වටේ පිටේ ඉන්න අයගෙන් කෑම බීම එහෙම ගොඩක් හම්බ වුණා. තීන්ත ගන්න ගොඩක් අය උදව් කළා. කොහොම හරි නුවර ඉන්න ඉහළම පුද්ගලයන්ගේ ඉඳලා කඩල සීයා දක්වා අපිට උදව් හම්බ වුණා. ඒ නිසා අපට ඉක්මනට මේ වැඬේ ඉවර කරගන්නත් පුළුවන් වුණා.”


”අපිට ප‍්‍රසන්න වීරක්කොඩිගෙ චිත‍්‍රයක් ඇඳපු නිසා පොඩි ප‍්‍රශ්නයක් ආවා. ඔහු කීවා ඔහුගෙ නම පහතින් යොදන්නත් කියලා. මොකද ඒක එයාගෙ එකක් නිසා.”


ඔය අතර නුවර වැව රවුම අසල වූ බිංගෙය තුළ වන සිතුවම ඉතා විශාලය. එය බිංගෙය වැලඳගෙන ඇත්තේ ඉතා ආදරණීයවය. එතනට එකතු වී ඇති පිරිසත් අතිවිශාලය. එහි වූ විශේෂය වන්නේ නිවාඩු සමයේ ගෙදරට වී සිටින පාසල් සිසුන් පවා චිත‍්‍ර ඇඳීමට පැමිණීමයි. ඔවුහු එකමුතුව චිත‍්‍ර අඳිති. ඒ එකමුතුව විග‍්‍රහ කිරීමට උපමා අවශ්‍ය නැතැයි අප සිතන්නෙමු. කෙසේ වෙතත් සුන්දර අවසානයක් වනවා දැකීමට ඔවුන් ආසාවෙන් සිතුවම් අඳිනවා යන්න වැටහුණේ ඔවුන් හා කළ කතාබහේදීය.


”මම තනියම හිතුවා. පස්සෙ කට්ටිය එකතු වුණු තැනත් එක්ක මමත් එකතු වුණා. එතනින් තමයි මේ වැඬේ පටන් ගන්නේ. අපි මෙතන දෙසීයක විතර පිරිසක් ඉන්නවා. ඔවුන් ටීම් ටීම් වෙන් වෙලා බෙදාගෙන චිත‍්‍ර අඳිනවා. මේක රැුල්ලක් විදියට ආවෙ නැත්නම් ඇත්තටම මෙහෙම දෙයක් වෙන්නෙ නැහැ. අපි මෙතන ජොබ් කරන අය ඉන්නවා, පාසල් යන අය ඉන්නවා, එක එක තලවල අය ඉන්නවා. සමහරු පන්ති යන ගමන් නැවතිලා ඇඳල යනවා. එක සැරයක් පුංචි ළමයෙක් ඇවිත් අඳින්න ආසයි කියල ඇඳලා ගියා.” එසේ පැවසුවේ භාතියයි.


රැුයක් දවාලක් නැතුව ඔවුන් එකම අභිලාෂයක සිට කැපවෙනු බලා සින්නට අපූරු දර්ශනයකි.
”මම ඡුායාරූප ශිල්පියෙක්. මම මෙතනට එකතු වුණේ මගෙ යාළුවන්ගෙ මාර්ගයෙන්. අපි ? එකොළහ දොළහ වෙනකන් අඳිනවා. කැම බීම, ලයිට් මේ හැමදෙයක්ම අපිට වටේ පිටේ කට්ටිය දෙනවා. ඉතින් අපි එකතුවෙලා වැඬේ කරනවා. මේ හැමෝවම අපි දන්න අඳුනන අය නෙවේ. චිත‍්‍ර අඳින්න ඇවිත් තමයි අපි ගොඩක් දෙනා අඳුනගත්තේ.” ඉමල්ක පැවසීය.


අපි තවදුරටත් ඔවුන්ට බාධාවක් නොවී නුවරින් පිය නැඟුවෙමු.


ජයන්තිමාල් හන්දිය


රැුල්ලට මෙන් තාප්ප මත වීදි චිත‍්‍ර ඇඳෙද්දී බස් නැවතුම්පළවල්ද ඒ අතරින් හැඩවෙන බව අප දුටුවෙමු. හුණුපිටියට අප පිවිසුණේ බස්නැවතුම්පළක් හැඩවන අපූරුව බැලීමටය.


”අපි ගම්පහ ගිහින් එහෙ වෙන වැඬේට උදව් දෙනකොට අපි හිතුව අපේ ගමේ වැඩක් කරන්න ඕනි කියලා. ඒ අදහසින් අපි විසිදෙනෙක් විතර එකතු වෙලා තැනක් බලද්දි මෙතන තමයි අපේ වැඬේට හරි ගියේ. ඒ නිසා අපි මෙතන තෝරගත්තා. හැමතැනම පෝස්ටර් අලවල කැත කරල තිබුණෙ. සුද්ද කරන්නම දවසක් වගේ ගියා. ඊට පස්සෙ වෙනම තීන්ත ගාල තමයි ආර්ට් එක කළේ. මේ වැඬේට අපිට පන්සලේ හාමුදුරුවො එහෙම ගොඩක් උදව් කළා. වැඩට යන අය ගොඩක් ඉන්න නිසා ගොඩක් දුරට ?ට තමයි චිත‍්‍ර අඳින්න පටන් ගන්නේ.” අමෝද් ෂමල්ක පැවසුවේය.


”මෙතන වෘත්තීමය චිත‍්‍ර ශිල්පියො කවුරුත් නැහැ. ඉන්නෙ සාමාන්‍ය පෙළට, උසස් පෙළට චිත‍්‍ර හදාරපු අය විතරයි. ඒ නිසා අපි අපේ උපරිමෙන්ම අඳිනවා. මිනිස්සු මෙතනට ආවාම අපි දිහා ටිකක් අමුතු විදියටත් බලනවා. මුල් ටිකේ නම් කෑම බීම අපිමමයි ගත්තේ. උදව් කරන්නම් කියල කීව අය ගොඩක් ඉන්නවා. මෙතන චිත‍්‍ර අඳිනකොට අපි කැලණිය ප‍්‍රාදේශීය සභාවෙන් අවසර ගත්තා. අඳින චිත‍්‍ර ගැන නම් ඇහැව්වෙ නැහැ. අපිම චිත‍්‍ර අඳිද්දි සැලකිලිමත් වුණා සමාජෙට හොඳ පණිවිඩයක් දෙන්න පුළුවන් වෙන්න ඕනි කියලා. ඒ නිසා පරිසරය සහ සමාජෙත් එක්ක ගැටෙන වර්තමාන තත්ත්වය විග‍්‍රහ කරන චිත‍්‍ර අඳින්න වග බලාගත්තා.” එසේ පැවසුවේ ප‍්‍රසාද් සඳරුවන්ය.


බැලූ බැල්මට පැවති බස්නැවතුම්පළට වඩා දැන් ඇත්තේ හාත්පසින්ම වෙනස් වූ සිතුවමකි. විටක එය, යුදමය ප‍්‍රකාශනයක් බඳුය. තවත් පසකින් සංස්කෘතිකමය ප‍්‍රකාශනයක් බඳුය. එහෙත් බස් නැවතුමේ ළඟ ළඟ ඇඳ ඇති චිත‍්‍ර සමූහය ඇසට ප‍්‍රිය උපදවනවාට වඩා ඇසට ගෙනෙන්නේ වෙහෙසකි. මිනිස් සිතකට සෞම්‍ය හැඟීමක් පහළ කිරීමට චිත‍්‍රයක් ඉවහල් විය හැකි බව අප දන්නෙමු. එහිදී පොදු ස්ථානයක චිත‍්‍රයක් සිතුවමකට නගද්දි විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණු බොහෝ ඇති බවත් මේ ප‍්‍රකාශනය හරහා සනාථ වේ.


මුස්ලිම් විරෝධය


දිවයින පුරා ඇඳ තිබූ සිතුවම් පොදුවේ ගත් කල සිංහල බෞද්ධ ජාතිකවාදය පෝෂණය කරවන්නක් විය. ඒවාට බොහෝ විට තේමා වී තිබුණේ සිංහල බෞද්ධ ජාතිකවාදය සහ ජාතිවාදයේ ඝෘජු උත්පේ‍්‍රරකයන් වන යුද්ධය සහ ඒ ආශ‍්‍රිත සිදුවීම්ය. වෙඩි තැබීම්, බෝම්බ පුපුරා යෑම්, ආදිය සේම රාවණා, දුටුගැමුණු, රණවිරුවන් තුවක්කු සහ අනෙකුත් යුධ උපකරණද ඇතැම් සිත්තරුන් සිය විෂය කොටගෙන තිබුණි.


එසේම සමාජ මාධ්‍ය තුළ දැකගැනීමට ලැබුණු තවත් සිතුවම් දෙකක් නම් මුස්ලිම් ජාතිකයන් ඝෘජුව ඉලක්ක කරමින් ඔවුන්ව අපහසුතාවට පත්කරන ආකාරයේ සිතුවම් හැඳ තිබෙන ආකාරයයි. (සිතුවම් අංක 01 සහ සහ 02)

01
02


කලාව හරහාද මෙසේ ජාතිවාදී අදහස් රටේ නිර්මාණශීලී තරුණයන් අතින් බිහිවීම හොඳ තත්ත්වයක් නොවේ. ජාතිවාදී හැඟීම් උද්දීපනය අඳුරක් මිස ආලෝකයක් ශේෂ නොකරයි. මේ බවත් ජාතික හැඟීමෙහි අන්තයට ගිය පිරිස් තේරුම් ගත යුතුය. එම විවේචනය මේ සද්ක‍්‍රියාවට දායක වූ සියල්ලන්ටම නොවන බවත් අවධාරණය කරමු.
කලාවට වාරණ නොහොබිනාය. වල්බූරු නිදහස නුවුවමනා බව අපගේ හැඟීමයි.

දියුණු චින්තනයක් නැහැ
චමරි තපස්වරගේ


මම හිතන විදියට ලංකාවේ වීදි චිත‍්‍ර කියන සංකල්පය ඇති වුණේ යුද්ධයක් එක්ක, තේනුවර සර්ලා එකතුව 90 ගණන් වල අපි පාර මැද සහ බිත්ති ආදියෙ යුද්ධයට එරෙහිව සාමය වෙනුවෙන් කලාකරුවො වීදි බැහැල චිත‍්‍ර ඇන්දා. මේ වෙනුවෙන් සවිඥානික වූ සංකේතමය වටිනාකමක් තිබුණු පිරිසක් තමයි මේ මොහොතේ වැඩ කරන්න පටන් ගත්තේ. මේ මොහොතේ තියෙන වීදි චිත‍්‍ර නැතිනම් බිත්තිවල අඳින චිත‍්‍ර කියන එක වෙනම ව්‍යාපාරයක්. අපට එය ප‍්‍රතික්ෂේප කරන්න බැහැ. එහෙත් එය දේශපාලන රැුල්ලක්, නැතිනම් වෙන කුමන අදහසකින් පැමිණියාද කියන කාරණය අපට තේරුම් ගන්න වෙනවා. මේ දිනවල ඔවුන්ට ඇඳෙන්නෙම දුටුගැමුණු එළාර යුද්ධයයි. මෙය ඉතිහාසය නැවත ආවර්ජනය කිරීමට පටන් ගැනීමක් වැනියි. සමහර තැන්වල ජාතිවාදී ආකාරයේ සිතුවම් දක්නට ලැබෙනවා. ජාතිවාදය මතු කරමින් අඳින වීදි චිත‍්‍ර කලාවක් තමයි දැන් මේ නිරූපණය වෙන්නේ. අතීතයේදී අප මේවා භාවිත කළේ විකල්ප දේශපාලන අදහසක්, මතවාදයක් කියන්නයි. නමුත් අද එය යම් මෝස්තරයක් ලෙස කරන දෙයක් බවට පත්වෙලා. හැම තැනම නගර අලංකාර කරන්න තාප්ප පාට කරන්න අවශ්‍යයි වගේ අදහසක් දක්නට ක‍්‍රියාත්මක වෙනවා. මෙහි ඇති භයානකම දෙය වන්නේ නූතන චිත‍්‍ර ප‍්‍රදර්ශනයට කලාගාරයක්වත් ලංකාවේ නොමැති වීම නිසයි. නූතන – විකල්ප චිත‍්‍ර සංකල්පයවත් නොදැන අප තාප්පවල චිත‍්‍ර ඇඳ එය සමාජ ගත කරන්නට උත්සහ කරනවා. අපේ තිබෙන එකම ජාතික කලාගාරය වසා දමා දැනට අවුරුදු දෙකක් වෙනවා. ඒ අනුව කලා කෘති බලන්න තැනක්වත් නැහැ. ශෛලිය අතින් ගත්තත් මේ නව වීදි සිතුවම් ඉතා පහළ මට්ටමක පවතිනවා. නූතනකරණයට ලක් වූ බවක් දක්නට නැහැ. එයට හේතුව, එම කලාව අප ජීවිතයට සමීප නොමැති වීමයි. එනිසා භූමි දර්ශන, සාම්ප‍්‍රදායික ශෛලීන්, කාටූන් ඇඳීම බහුලව සිදුවෙනවා.


ඉන්දුනීසියාවේ ජාවා ¥පත්වල කැම්පුන් පිලාන්ගිහි රේන්බෝ කියා නගරයක් තියෙනවා. පරිපාලනය එම නගරය විනාශ කරන්නට යන මොහොතේ කලාකරුවා එම නගරයේ නිවෙස් විවිධ වර්ණවලින් පින්තාරු කරනවා. එමගින් මෙම නගරය රැුකීම වගේම පසු කලෙක සංචාරක ආකාර්ෂණයක් බවටත් පත් වෙනවා. එහෙත් අපට එවැනි අදහසක් නැහැ. තාප්ප මත චිත‍්‍ර ඇඳීම යන අදහස තුළ අපේ චින්තනය දේශපාලන දැක්ම වැනි කිසිවක් දියුණු වන්නේ නැහැ. අපට මෙම වීදි සිතුවම් ව්‍යාපාරය ප‍්‍රතික්ෂේප කළ නොහැකියි. එහෙත් මේ මොහොතේ ශ‍්‍රී ලංකාවේ මෙවැනි සිතුවම් ඇඳීමේ රැුල්ලක් ඇති වූවේ ඇයිදැයි වෙනත් ආකාරයකට කියවා ගන්නත් ඕනෙ.

ස්ටී‍්‍රට් ආර්ට් පොප් කලාවක්
සුජිත් රත්නායක


පළමුවෙන්ම මේකේ ශානරය මොකක්ද කියලා පැටලැවිල්ලක් තියනවා. සමහරු කියනවා මේක බිතුසිතුවම් කියලා, සමහරු කියනවා ස්ටී‍්‍රට් ආර්ට් කියලා, සමහරු කියනවා ග‍්‍රැෆිටි ආර්ට් කියලා. ඒ නිසා මේ තුන මොනවාද කියලා මුලින්ම අර්ථකථනය කරගන්න ඕනෑ. ග‍්‍රැෆිටි ආර්ට් කියලා කියන්නේ චිත‍්‍ර ශිල්පීන් කියන අනන්‍යතාව තියන අය අඳින එකක් නෙමෙයි, ඒක හුඟක් වෙලාවට මිනිස්සුන්ගේ දුක්දොම්නස් පිටකර ගන්න අව වරප‍්‍රසාදිත හෝ පීඩිත හෝ පහළ ජන ස්ථරවල අය විසින් අවිධිමත් ලෙස කරන කුරුටුබලි රූප වලට තමයි ග‍්‍රැෆිටි ආර්ට් කියලා කියන්නේ. සමහරවිට ප‍්‍රසිද්ධ වැසිකිළි වෙන්න පුළුවන්, හොස්ටල් වෙන්න පුළුවන්, හිරගෙවල් වෙන්න පුළුවන්, වධකාගාර හෝ කඳවුරු වෙන්න පුළුවන්. ඒ වගේ තැන්වල මිනිස්සුන්ගේ අචේතනාන්විතව හෝ හැඟීම් ප‍්‍රකාශන මාධ්‍යයක්. චිත‍්‍ර කලාවේ මූලධර්ම මත, පර්යාවලෝකන, එළිය අඳුර, මානව මිනුම්දඬු, කායවිච්ෙඡ්දනය වැනි දේවල් පිළිබඳ අවබෝධයකින් චිත‍්‍ර කියලා හිතලා කරන ඒවා නෙමෙයි. ග‍්‍රැෆිටි කියලා කියන්නේ ඒවාටයි.


බිතුසිතුවම් කියලා කියන්නේ මයිකල් ඇන්ජෙලෝ හෝ ලංකාවේ සෝලියස් මැන්දිස් හෝ වැනි කලාශිල්පීන් විසින් බිත්තිවල අඳින කලා විශේෂයක්. ඒක උසස් මාධ්‍ය වලින් චිත‍්‍ර කලාවට අදාළ මූලධර්ම ගළපා සදාකාලිකව තියෙන්න කරන කලාවක්. සීගිරි චිත‍්‍ර වැනි ඒවාත් එහෙම ඒවායි. බිතුසිතුවම්වල ගොඩාක් ප‍්‍රභේද තිබෙන්න පුළුවන්. රොමෑන්ටික්, සම්භාවීය, තාත්වික ආදී ලෙස විවිධ ප‍්‍රභේද තිබිය හැකියි. ස්ටී‍්‍රට් ආර්ට් කියන්නේ පොප් කලාවක්. ඒවායේ සාම්භාව්‍ය හෝ රොමෑන්ටික් හෝ අපි හිතන දේවල් කරන්න බැහැ. ඒවායේ රසිකයා තීරණාත්මක නැහැ. අනෙක් ඒවායේ අපි එක්කෝ ඒ සිතුවම් කරලා තියන තැනට ගිහිල්ලා බලන්න ඕනෑ, නැතිනම් කලාගාරයට ගිහිල්ලා බලන්න ඕනෑ. නමුත් ස්ටී‍්‍රට් ආර්ට්වල රසිකයා තීරණාත්මක නැහැ, මහ පාරේ යන කෙනා තමයි ඒවා දකින්නේ. මොන විධියේ ආකෘතීන් කළත් රසිකයා අතීරණාත්මක නිසා ඒක අනිවාර්යයෙන් පොප් කලාවක් වෙනවා. කලා කෘතියක් රසවිඳීමට අදාළ ශික්ෂණය එතැන නැහැ. නාට්‍ය ශාලාවකට අපි යන්නේ නාට්‍යයක් බලන්නයි. ඊට අදාළ විවේචන හෝ විචාර වෙන්නේ ඒ කලාගාරය තුළ තිබෙන සංස්කෘතියක් තුළ යි. ස්ටී‍්‍රට් ආර්ට් වලදී විවේචනය කරන්නේ මහපාරේ යන කෙනෙක්, විවේචන සංස්කෘතියක් තුළ නෙමෙයි.


ඕනෑම දෙයක හොඳ නරක දෙකම තියනවා. පාසල් චිත‍්‍ර කලාව වෙනුවෙනුත් විශ්වවිද්‍යාල චිත‍්‍ර කලාව වෙනුවෙනුත් විශාල මුදලක් රජය වියදම් කළත් මේ චිත‍්‍ර මූර්ති වැනි විෂයන් සමාජ විෂයක් වී තිබුණේ නැහැ. නාට්‍ය, සාහිත්‍ය, සිනමා, නර්තනය වැනි විෂයන් ජනමාධ්‍ය තුළ සමාජය තුළ ප‍්‍රවෘත්ති මවන සමාජ කතිකාවට භාජනය වන සමාජයේ සැරිසරන දේවල්. නමුත් චිත‍්‍ර කලාව කියන්නේ සමාජයේ සැරිසරන විෂයක් නෙමෙයි, සාමාන්‍ය පන්තියෙන් එහා යන අයගේ ගෘහනිර්මාණ සරසන කලාවක්. මේකත් එක්ක චිත‍්‍ර කලාවේ සමාජ කතිකාවක් තිබුණේ නැහැ. ඒත් මේ ස්ටී‍්‍රට් ආර්ට් රැුල්ල නිසා සමාජ කතිකාවක් ඇති වෙනවා, චිත‍්‍ර කලාව සමාජ විෂයක් බවට පත්වෙලා තියනවා. හැබැයි ඒකේ අන්තර්ගතය වෙනම කතාවක්. ඒවායේ අඳින්නේ මොනවාද, යුද ජයග‍්‍රහණද දේශපාලන අධිකාරියේ ඕනෑ එපාකම් ද කියන දේ වෙනම කතාවක්. ඇබ්ස්ට‍්‍රැක් හෝ රොමෑන්ටික් හෝ සංකල්පීය හෝ ආදී දේ චිත‍්‍ර කලාවේ තිබුණත් ඒවා එකක්වත් මිනිස්සු දන්නේ නැහැ. අඩුගාණේ තමන්ගේ දරුවා නිදහස් අධ්‍යාපනයෙන් විශ්වවිද්‍යාලයට ගිහින් මේවා ඉගෙනගෙන ආවත් තමන්ගේ අම්මා තාත්තාවත් සහෝදර සහෝදරියෝවත් ඒ කලාවේ කිසිම ශානරයක් ගැන දන්නේ නැහැ. නමුත් අනෙක් කලාවන්වල චිත‍්‍ර කලාවට වඩා ඒ තත්ත්වය වෙනස්. එහෙම තත්ත්වයක මේක සමාජ කතිකාවට භාජනය වීම ගැන සාධනීයයි කියන දේ මම හොඳ දෙයක් ලෙස දකිනවා.


මේකේ නරක පැත්ත, එකක් මේ කාරණය තුළ කලාගාරය කියනදේ අතාර්කික වෙනවා. අසූව දශකයෙන් පසුව පමණ ලංකාවේ හැම දෙයක්ම මහපාරට එන ලක්ෂණ තියනවා. උදාහරණයක් විධියට පන්සලේ උද්දේසික චෛත්‍ය යටතේ එන බුද්ධ ප‍්‍රතිමාව ප‍්‍රතිමා ගෘහය තිබෙන්නේ වාස්තු විද්‍යානුකූල තර්කනයක් මතයි. සඳකඩ පහන, මුරගල, කොරවක්ගල, පඩිපෙළ, වාහල්කඩ, දොරටුපාල රූප, මකර තොරණ, පදක්ෂිණ පථය හරහා ගමන් කරමින් එහි චිත‍්‍ර නරඹමින් ආදී ලෙස සමස්තය හරහා ගොස් අවසානයේ තමයි බුද්ධ ප‍්‍රතිමාව සම්මුඛ වන්නේ. ප‍්‍රතිමාව ස්ථාපිත කර තිබෙන්නේ වාස්තු විද්‍යානුකූලව අර්ථානුකූලව කිසියම් තර්කනයක් ගොඩනගලා යි. ඒ කිසිවක් නැතිව හන්දි වලට, වටරවුම් වලට, කාර්යාල පරිශ‍්‍ර වලට බුද්ධ ප‍්‍රතිමාව ගේනවා. මේක වෙන්නේ අසූගණන්වල වංගු ආර්ථිකය බිහිවීම සමග යි. පන්සල්වල එක ප‍්‍රතිමාවක් තිබියදී තව එකක් පරිත්‍යාග කළාම ඒක සවි කරන්න බැරි නිසා තිබුණ එක ගලවලා පාරට ගේනවා. ඊට පස්සේ රැුල්ලක් වගේ හන්දිගාණේම බුදු පිළිම. ක‍්‍රිස්තියානි ආගමේ වුණත් හලාවත මීගමුව ජාඇල වැනි ප‍්‍රදේශවල හන්දිගාණේ ජේසුස්වහන්සේගේ ප‍්‍රතිමා තියනවා. නමුත් ග‍්‍රීසියේ රෝමයේ හෝ ඉතාලියේ හන්දිගාණේ ජේසුස්වහන්සේගේ ප‍්‍රතිමා නෑ, ඒවා තියෙන්නේ පල්ලි ඇතුළේයි. ලංකාවේ නිර්වින්දනයට ලක්වූ වංගු වැඩ කරන තමන්ගේ වරදකාරිත්වයෙන් ගැලවෙන්න වගේ තමයි මේවා මහපාරට ගේන්නේ. ඒ වගේ මේකෙදී කලාගාරය මහපාරට එනවා. ඒකෙන් සිදුවන දේ තමයි කලාගාරය කියන සංකල්පය බිඳ වැටෙනවා. කොහොමත් අපි දැක්කා කලාගාරයට හැත්තෑ ගණන්වල අසූගණන්වල ගිය ප‍්‍රමාණයවත් දැන් මිනිස්සු යන්නේ නැහැ. ජාතික කලාභවනත් අවුරුදු හයක ඉඳලා වැහිලා. සාමාන්‍යයෙන් ලෝකයේ රටවල මිනිස්සු යම් රටකට ඇතුළුවුණාට පස්සේ ඒ රට භූගෝලීය වශයෙන් සංස්කෘතික වශයෙන් ඓතිහාසික වශයෙන් හඳුනා ගැනීමට ස්ථාන තියෙනවා. නමුත් මේ රටේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ආකල්ප මොනවාද කියලා කලා කෘති හරහා විදේශිකයෙකුට අදහසක් ගන්න තැනක් නැහැ. අඩුම වශයෙන් චිත‍්‍ර විෂය ඉගෙන ගන්නා ශිෂ්‍යයෙක්ට නූතන කලාවෙන් පසු මේක ගමන් කර තිබෙන්නේ කොහොමද කියලා හොයා ගන්න මාර්ගෝපදේශයක් නැහැ. එහෙම තැනකදී ඕනෑම කෙනෙක් ඉමැජින් කරන්න පුරුදු වෙන්නේ තමන් දකිනදේයි. එතකොට ඒක පරමත්වයකට පත්වෙනවා. මේක තමයි අවසානය, හරය, විමුක්තිය වගේ තැනකට ඌණනය වෙනවා. එවෙලේ සමාජය සර්ප‍්‍රයිස් කරන්න පුළුවන් වැඩ වලට තමයි යන්නේ. එහෙම නැතිව යම් විෂයක් තුළ එල්බ ඒවා හදාරා වැඩ කිරීමක් සිදුවෙන්නේ නැහැ.


ස්ටී‍්‍රට් ආර්ට්ස්වල මම දකින ඊළඟ වැරැුද්ද තමයි යුද ජයග‍්‍රහණ වැනි දේ මූලික වශයෙන් පෙන්වීම. එවැනි දේ චිත‍්‍ර වලින් පෙන්වීම නරක ආදර්ශයක් වෙනවා. එක් අවස්ථාවක දී භික්ෂුව දේශපාලනයට ගත්තා, ඒක ආපහු හරවන්න බැරිවුණා. ලෝක විනාශය වෙනකම්ම මේ භික්ෂුව දේශපාලනයට ගත්ත ප‍්‍රශ්නය හරවන්න බැහැ. ඒ වගේ ස්ටී‍්‍රට් ආර්ට්ස් වලට යුද ජයග‍්‍රහණය ගත්තාට පස්සේ ඒකෙන් පිට වෙනත් දෙයක් ස්ටී‍්‍රට් ආර්ට්ස්වලවත් කාටවත් අඳින්න බැරි වෙනවා. ඒ වගේම මහා සමාජයේ බහුතරයකගේ කථිකාව බවට පත්වුණාට පස්සේ පසුකාලීනව දේශපාලන වශයෙන් පරිවර්තනයක් ඇති වුවත් ඒවා මකන්න බැරි වෙනවා. අඩුම ගණනේ ගොඩනැගිල්ල පිළිසකර කරන්න අවශ්‍ය වුණත් අලූතෙන් ඒ චිත‍්‍රය අඳින්නවත් මකන්න දෙන්නේ නැහැ. මොකද ඒක ඒ අය ගන්නේ චිත‍්‍රය මකනවා කියන අර්ථයෙන් නෙමෙයි, වීරයා මකනවා කියන අර්ථයෙනුයි. භික්ෂුව දේශපාලනයට ගැනීම හරහා කරන්නේ සිවුර පළිහක් කර ගැනීමයි. මෙතැනත් වීරයා පළිහක් කර ගන්නවා. ඒ නිසා ඒක කවදාවත් මකන්න බැරි වෙනවා. ඒක රටේ සමතුලනයට බාධාවක්. රටක් හැදිලා තියෙන්නේ හුදෙක් ආරක්ෂක අංශ වලින් විතරක් නෙමෙයි. විවිධ වෘත්තිකයෝ ඉන්නවා. වෛද්‍යවරු, කලාකරුවෝ, ලිපිකරුවෝ, ලේඛකයො, කම්කරුවෝ ඒ වගේම ලිංගිකත්වය අනුවත් බෙදීම් තියනවා. ඒ නමුත් කිසිම කෙනෙක් හමුදා සෙබළියෝ අඳින්නේ නැහැනේ. ඒ නිසා මේවා හැම තිස්සේම අතිශය ආධිපත්‍යයකට සමාජය හැම කාරණයකින්ම ගෙන යනවා. නීතිය ආගම විසින් දකින දේවල් වලට වැඩිය වෙනස් පැත්තකින් කලාකාරයාට දකින්න පුළුවන්. අපරාධය නැති කරන්න නීතිය එක විධියකටත්, ආගම එක විධියකටත්, කලාව එක විධියකටත් උත්තර ගේනවා. මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ආකල්පවල ආවේදනාත්මක පතුලට කිමිදිලා තමයි කලාව විසින් ප‍්‍රශ්න වලට උත්තර හොයන්නේ. නැතිව වීරත්වයට විතරක් කොටුවෙලා නෙමෙයි. වීරත්වය කියන්නේ කලාවේ තියන එක් සෞන්දර්ය ප‍්‍රභේදයක් විතරයි. ඒ නිසා මේක එක තැනකට ඌණනය වෙනවා.


අනෙක් දේ ස්ටී‍්‍රට් ආර්ට්ස් කියන්නේ මහජන අවකාශයක්. සාමාන්‍යයෙන් හෝටලයක ලොබි එකේ වුණත් බොබ්මාලේ හෝ මයිකල් ජැක්සන්ගේ වගේ මියුසික් දාන්නේ නැහැ. මොකද ලොබි එකක බාල මහලූ වැඩිහිටි සිංහල දෙමළ මුස්ලිම් රුසියන් හෝ ජර්මන් ආදී වශයෙන් ඕනෑම අයෙකුට බාධාවක් වන ලෙස වචන තිබෙන නිසා සිංදුවත් දාන්නේ නැහැ. මියුසික් වුණත් දෙදෙනෙකු අතර කතාවකටවත් බාධාවක් නොවන මියුසික් පමණයි දාන්නේ. සමහර ඒවායේ රූපවත් අඳින්නේ නැහැ. හෝටලයක ලොබි එකක එහෙම නම් සමාජයේ ඊටත් වඩා පොදු බව ආරක්ෂා කරන්න ඕනෑ. පාරේ ඇවිදගෙන යද්දී බලහත්කාරයෙන් ඒකපාර්ශ්වීය ලෙස මනස ආක‍්‍රමණය කරන්න හොඳ නැහැ. ඒකේ පොදුබව තියනවා. සිංගප්පූරුව, ප‍්‍රංශය, ජර්මනිය, ජපානය වැනි රටවල පොදු ස්ථානවල වැඩිපුරම මල් වවලා තියනවා. මල්වල, ගස්කොළන්වලත් සෞන්දර්යයක් තියනවා. දියුණුම රටවල පොදු බව තිබෙන කලා කෘතිත් තියනවා. මේ පොදුබව අපි ආරක්ෂා කරන්න ඕනෑ. ආබාධිත සොල්දාදුවෙක්ට වුණත් ඒ සමහර චිත‍්‍ර පීඩාවක් වෙන්න පුළුවන්. තමන් එදා කළ වීර කටයුත්ත ඊට අදාළ නොවන පොදු තැන්වලදීත් දැකීම ඔහුට පවා පීඩාවක් වෙන්න පුළුවන්. ඒ වගේම ඒ අවට තියෙන්නේ පල්ලියක්ද, පන්සලක් ද, උසාවියක් ද වැනි දේ ගැන පවා හිතන්න ඕනෑ. ලෝකයේ අනෙක් රටවල මෙහෙම හැම තැනම ස්ටී‍්‍රට් ආර්ට්ස් කරන්නේ නැහැ. තෝරාගත් තැනක නගර නිර්මාණ ශිල්පියෝ, වාස්තුවේදියෝ, නාගරික සංවර්ධන අධිකාරිය, ප‍්‍රාදේශීය සභාව, නගර සභා ඒ ඔක්කෝම ඇතුළත් විවිධ විශාරදයෝ සාකච්ඡුා කරලා කරන වැඩක්. එහෙම නැතිව පොදු ජනයාට ඕන ඕන විධියට කරගෙන යන්න දෙන්නේ නැහැ. මේවා නිසා අපි සමාජයක් ලෙස බරපතළ අර්බුදයකට යනවා.

නියාමනයක් අවශ්‍යයි
ජ්‍යෙෂ්ඨ විශේෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහ


ස්ටී‍්‍රට් ආට් ලෝකය පුරා නියාමනයක් ඇතුවයි අඳින්න දෙන්නෙ. පෞරාණික හා ඓතිහාසික වටිනාකම් තියන තැන්වල, නගර මධ්‍යයේ මෙවැනි නිර්මාණ සිදුකිරීමට අවස්ථාව ලබා දෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් මෙවැනි නිර්මාණවලට යොදා ගනු ලබන්නේ ජනාකීර්ණත්වය අඩු පසුගාමී ප‍්‍රදේශ.


ස්ටී‍්‍රට් ආට් කියන එක අලූත් දෙයක් නෙවේ. ඉස්සර පාසල්වල බැමිවල මේ සිතුවම් ඇඳුණ. සමානාත්මතාව, ජාතීන් අතර සමඟිය වගේ බොහොම ධනාත්මක පණිවිඩයන් තමයි ඒවයෙන් ලබා දුන්නෙ. නමුත් ස්ටී‍්‍රට් ආර්ට්වල ප‍්‍රචණ්ඩත්වය, ජාතීන් අතර සමඟිය බිඳ වැටෙන, සම අයිතිවාසිකම් බිඳ වැටෙන තත්ත්වයේ නිර්මාණ අනුමත කරන්න බැහැ.
නිසි අවසරයකින් තොරව ඇඳෙන ”ග‍්‍රැෆිටි” වැනි නිර්මාණ ලන්ඩන්වල වගේ නිර්මාණය වුණත් ඒවා නිර්මාණය වෙන්නෙ වැඩි වශයෙන් ජනතාව නොගැවසෙන සංචාරකයන් නොයන, නගර පාලනයෙන් මිදිච්ච ප‍්‍රදේශවල. අනිත් ප‍්‍රදේශවල එවැනි නිර්මාණ සඳහා ඉඩ ලබා නොදෙන්නෙ මිනිස්සුන්ගෙ මානසිකත්වයට, සමඟියට බාධාවිය හැකි බැවින්.
වැඩි වශයෙන් තුවක්කු තියන චිත‍්‍ර අඳින්ඩ පටන් ගත්තොත් ජාතීන් අතර සමඟියට එය බාධාවක් වෙනව වගේම ප‍්‍රචණ්ඩත්වය සාමාන්‍යකරණය වෙනවා. ඕස්ටේ‍්‍රලියාව වගේ රටක නම් ස්ටී‍්‍රට් ආට් එකකට කලින් අවසර ගන්න ඕනෙ. එතනදි අවසර දෙන්නෙ සමාජ සාමූහිකත්වය, සහජීවනය, සමාජ වටිනාකම් වැඩිකිරීම් වැනි තේමාවන්ට. එවැනි තේමාවන්ට අදාළ නොවුණත් ඒ නිර්මාණයේ කලාත්මක වටිනාකම ඉහළ නම් ඊටත් අවස්ථාව ලබා දෙනවා.


තාප්පයක් පොස්ටර් ගහල අපවිත‍්‍රව තිබෙනවාට වැඩිය වර්ණ ගන්වලා තියන එක කුඩා දරුවන්ගේ මනසට වුවත් හොඳ කාරණයක්. නමුත් එය තීරණය වන්නේ නිර්මාණයේ අන්තර්ගතය මත. කුඩා දරුවන්ට සහ ඔවුන්ගේ ආකල්ප වර්ධනයට වඩා වැදගත් වන්නේ කාටූන් චිත‍්‍ර සහ ඔවුන් ප‍්‍රිය කරන අනෙකුත් සිතුවම්. එහෙම නොමැතිව අසුබවාදී කරුණු ස්ටී‍්‍රට් ආට් වලට ආවොත් ළමයින්ගේ ආකල්ප වර්ධනයට අසුබවාදී විදිහට බලපාන්න පුළුවන්.


ඒවගේම ස්ටී‍්‍රට් ආට්වල යන සංකල්ප ප‍්‍රධාන මාධ්‍යවල යන සංකල්පම තමයි. ඇතැම් ස්ථානවල ඉතාම ප‍්‍රගතශීලී අදහස් තියන ස්ටී‍්‍රට් ආට් දැකගන්න පුළුවන්. ඒ වගේම ඇතැම් තැන්වල ජාතික සමඟියට පවා ඉතාම අහිතකර ලෙස බලපාන ඉතාම පසුගාමී සිතුවම් පවා දැකගන්න පුළුවන්. ක‍්‍රමානුකූලව එවැනි සිතුවම් ඉවත් කරන ක‍්‍රමයක් ඇති කළ යුතුයි. ස්ටී‍්‍රට් ආට් පිළිබඳව නගර පාලකයන් සහ ආයතන පාලකයන් විසින් තීරණ ගැනීම වැදගත්. අපි දන්නවා එවැනි ඇතැම් සිතුවම් ඇඳීමට අවස්ථාව දීල නෑ.


ස්ටී‍්‍රට් ආට් යොදාගත යුත්තේ අවලස්සන තැන් ලස්සන කිරීමටත්, සමාජ ප‍්‍රගමනයට එය දායක කර ගැනීමටත් හැකි ආකාරයකට. එය ළමයින්ටත් හොඳයි, සමස්ත සමාජයටත් හොඳයි.


එසේම මේ අඳින චිත‍්‍රවලටත් ප‍්‍රමිතියක් තිබිය යුතුයි. උදාහරණයක් ලෙස දෙවන ලෝක යුද්ධෙයෙන් පසු මොස්කව් නුවර භූගත දුම්රිය පොළවල් ආශ‍්‍රිතව සිතුවම් ඇඳවීම් සිදුකරල තිබෙනවා. ඒව සිදුකරල තියෙන්නෙ ඒ කාලෙ රුසියාවෙ හිටපු අග‍්‍රගණ්‍ය කලාකරුවන් සහ විශ්වවිද්‍යාල කණ්ඩායම්. වර්තමානයේ එම නිර්මාණ පුරාවස්තූන් ලෙස ආරක්ෂා කරනවා.
ඒ වගේම ප‍්‍රසිද්ධ සහ වැදගත් ස්ථානවල සිතුවම්කරණයේදී ඒ නිර්මාණ සිදුකරන පුද්ගලයන්ගේ ඒ පිළිබඳව ඇති නිපුණත්වය පිළිබඳව සලකා බැලීම වැදගත්. එසේ නොමැතිනම් ඒ සිතුවම ප‍්‍රබෝධමත් බවක් ඇති කරන්නේ නැතිනම්, පරිසරයට හානිකරයි නම්, එවැනි නිර්මාණ මකා දැමිය යුතුයි.

මේක දේශපාලනිකයි
ගැෆ‍්‍රිටි නිර්මාණ ශිල්පී ඩොමිනික් චන්ද්‍රසාලි


මෙවැනි ප‍්‍රවණතාවක් ඇතිවීම හොඳයි. මම එහි වරදක් දකින්නෙ නෑ. අවුරුදු තිහක යුද්ධය ඇතුළෙ සිංහල මිනිස්සු තමන් අත්දැකපු අත්විඳපු පීඩනය තාප්ප මතින් පිටකරනවා. දෙමළ සහ මුස්ලිම් මිනිස්සුන්ටත් ඒ අවස්ථාව ලැබුණොත් බලා ගන්න පුළුවන් දෙගොල්ලන්ටම දැනෙන පීඩනය සමානයි කියල.


හමුදා නිලධාරීන්ව සිතුවම් කරමින් අනවශ්‍ය ලෙස දේශාභිමානය උලූප්පා දැමීම නෙවෙයි ග‍්‍රැෆිටි කියන්නෙ. ඔය සිංහලකම පෙන්නන්න අඳින චිත‍්‍ර ඇතුළෙ එක පල්ලියක් හරි අඳින්න පුළුවන් නම් ඒකයි නියම සිංහලකම, බෞද්ධකම කියල මම හිතන්නෙ. මෙය කලාවකට වඩා වෙනත් දේශපාලනික කාරණයක් ලෙස හැඳින්වීමට මම කැමතියි.