ටිරන් කුමාර බංගගම ආරච්චි

දුමින්ද සිල්වාට ජනපති සමාව ලැබීමට ඇති ඉඩකඩ ළඟ ළඟය. දුමින්ද සිල්වා පිළිබඳ කතා බහ නැවත අලුත් වනුයේ වත්මන් ආණ්ඩුව බලයට ඒමත් සමඟය. ආණ්ඩුවේ බොහෝ පාර්ශ්ව මෙන්ම ඇතැම් භික්ෂූන් පවා දුමින්ද සිල්වා බේරා ගැනීමේ දැවැන්ත සටනකට අවතිර්ණව සිටිති. එය රටට රහසක් නොවන්නේ දුමින්දලාගේ හිරු නාලිකාවෙන් ඒ අය පිළිබඳ උපරිම ප්‍රචාරය දෙන බැවිනි. ඒ අයට විශේෂ වටිනාකමක් දෙන නිසාය.


පසුගිය කාලයේ දෙරණ නාලිකාවට මෙන්ම හිරුද ගෝඨාභය ජනපති කරන්නට වෙහෙසුනේ ඊට ප්‍රති උපකාර බලාපොරොත්තුවය. දිලිත්ට ආණ්ඩුවේ ප්‍රචාරණ වැඩසටහන් ලැබෙන විට හිරු ඉල්ලා සිටියේ එකම දෙයකි. එනම් දුමින්ද නිදහස් කර ගැනීමය.


ජනපති ආරක්ෂක ලේකම්ව සිටියදි නාගරික සංවර්ධන අධිකාරිය භාර වූ අතර එහි දුමින්ද සිල්වාද ප්‍රධාන භූමිකාවක් රඟපෑවේය. වත්මන් ජනපති ආරක්ෂක ලේකම් කාලයේ සිටම ළඟින්ම සිටි හිතවතකු ලෙස දුමින්ද හැඳින්විය හැකිය. එසේනම් දුමින්ද මෙතෙක් එළියට නොගන්නේ ඇයි ? එයට හේතුව ඊට පෙර හීනියට කරගත යුතු වැඩ ගොඩක් තිබු නිසාය. දැන් ඒ සියල්ල හරිය. දැන් ඉතිරිව ඇත්තේ දුමින්ද නිදහස් කර ගැනීමය.


ජනපති බලය යොදා දුමින්දව එළියට ගැනීම පහසු කටයුත්තක් වුවත් ජනපතිද ඊට එකවර අත දමන්නේ නැත. ඒ වෙනුවට ඔහු කරනුයේ මුලින් මුට්ටිය දමා බැලීමය. පසුගිය දිනක විස්ස කට ළඟ තබාගෙන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදි අපූරු ලියුමක් ආවේය. ලිපියක් අත්සන් යෙදීමට එන බව මන්ත්‍රීවරු අතර කසුකුසුවක් පැවතියද ඒ ලියුම කුමක්ද යන්න කිසිවෙක් නොදැන සිටියහ. මෙය විස්ස සම්මත වීමට පෙර එන නිසා බොහෝ අය සිතාගෙන සිටියේ විස්සට කැමැත්ත කලින්ම ලබා ගැනීමේ උපායක් යෙදවෙන බවය.


එහෙත් ලිපිය දුටු විට බොහෝ අය පුදුම වී ඇත්තේ එම ලිපිය කිසිවකු බලාපොරොත්තු නොවුවක් වීමය. එනම් දුමින්ද සිල්වා සම්බන්ධයෙන් වීම නිසාය. හිටපු අමාත්‍යවරයකු වු භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරීමේ චෝදනාවට දුමින්ද සිල්වා ඇතුළු පිරිසක් මේ වන විට සිටිනුයේ මරණිය දණ්ඩනයට ලක්ව බන්ධනාගාර ගතවය. ඒ අනුව මේ ලිපිය එනුයේ එලෙස බන්ධනාගාරගතව සිටින දුමින්ද සිල්වාට ජනපති සමාවක් ලබා දෙන ලෙස ඉල්ලාය. එයට සියලු මන්ත්‍රීවරුන් අත්සන් තැබිය යුතුයැයි කතාවක්ද හීනියට පතුරා ඇත. ඒ අනුව එදින ආ මන්ත්‍රීවරු හැත්තෑවක් පමණ එම ලිපියට අත්සන් තබා ඇත. මේ ලිපිය සකසනුයේ කවුද ? කාගේ වුවමනාවකටද යන්න මෙතෙක් රහසක් වී ඇත.

ජනපතිගෙන් ඉල්ලන්නට තරම් ජනපති මෙය කර අරින කාරණයක්ද ? මන්ත්‍රීවරු බැගෑපත්වී ඉල්ලිය යුතු ඉල්ලීමක්ද ? එසේනම් මේ රංගනය කුමක්ද ? මීට පෙර රිෂාඞ් බදියුදීන් ගේ සහෝදරයා නැවත අත්අඩංගුවට ගන්නැයි මන්ත්‍රීවරු ලිපියක් අත්සන් කළෝය. මේ කුමන නාඩගමක්ද ? චක්‍රලේඛ අනවශ්‍යය, තමන්ගේ කට වචනයට සියල්ල සිදුවිය යුතු යැයි කියන ජනපති ගෝඨා තම හිතවතා වන දුමින්ද නිදහස් කරන්නට මන්ත්‍රීලා ලවා පෙත්සම් අත්සන් කරනුයේ ඇයි ? මේවා විහිළු විනා වෙන මොනවාද ?


හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තම පියාට වු අසාධාරණයට සාධාරණය ඉල්ලා රාජපක්ෂලා අතහැර යහපාලනය තෝරා ගත්තාය. ඒ අනුව ඇයට සාධාරණයක් වූවාය. දැන් එහි අනෙක් අන්තය වන දුමින්ද මේ ආණ්ඩුවෙන් සාධාරණයක් ඉල්ලා සිටි. ඒ අනුව බලන කල මේවා තනිකරම දේශපාලන සිද්ධි බවට පෙරළි ඇත. තමන්ට වාසි පිල අනුව හරි වැරැද්ද තීරණය වන තැනට දේවල් විතැන් වී ඇත.


හිරුණිකා තම පියා වෙනුවෙන් සාධාරණය ඉල්ලු ආකාරයටම දුමින්ද තමා ඒ දේ කළේ ඒ මොහොතේ වුවමනාවට බව පෙනී සිටිමින් තම ගැලවුම අපේක්ෂා කරයි. එසේනම් නීතිය පවා දේශපාලන සෙල්ලමක් බවට පත්වී ඇත. භාරත ඝාතනය අප තේරුම් ගත යුත්තේ පක්ෂ දේශපාලන න්‍යාය අනුවය. යහපාලනය යටතේ හිරුණිකාට සාධාරණයක් වු අතර ගෝඨා ආණ්ඩුව යටතේ දුමින්දට සාධාරණය ඉටුවීමට නියමිතය. ඉතා ඉක්මණින්ම දුමින්ද ජනපති සමාව ලැබ නිදහස් වනු ඇත.


දුමින්ද නිදහස් කරන්නැයි අත්සන් ඉල්ලා සිටින ලියුම් ජනතාව රවටන බොරු ලියුම් ය. එයට මනෝ ගනේෂන්ලා අත්සන් තැබුවද පුදුමයක් නොවේ. දේශපාලනය තුළ සිදුවනුයේ දේශපාලන ටැක් ටික්ස්ය. ප්‍රශ්නය, ලියුම ගෙනා පියන් හොයා ගත නොහැකි වීමය. දුමින්ද ඔබගේ ආණ්ඩුව පත්වී ඇත්නම් ඔබ තවදුරටත් හිරේ ලඟින්නේ ඇයි ? අපටද ඇති පැනය එයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here