”දේශපාලන පළිගැනීම මත සිරගත කළ දුමින්ද සිල්වා වැනි අහිංසකයන්ට ඉතා හැකි ඉක්මනින් ජනාධිපති සමාව දිය යුතුයි” යනුවෙන් මාගල්කන්දේ සුදත්ත හිමියන් කළේ යැයි කියන ප‍්‍රකාශයක් මුහුණුපොතෙහි ප‍්‍රචාරය වේ.
මේ ප‍්‍රකාශය ඇත්තක් නම් එයින් අධිකරණයට අපහාසයක් සිදුවන බව පෙනී යයි. එනම් මහාධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා අධිකරණවලින් දුමින්ද සිල්වාට ලබා දුන් දඬුවම දේශපාලන පළිගැනීමක් නිසා සිදුවූවකි.
කරුණු කොහොම වුවත් මේ වනවිට දුමින්ද සිල්වා අපරාධකාරයෙක් වී හමාරය. ඔහුගේ අහිංසකකම හෝ නිවැරදිභාවය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ යුතුව තිබුණේ අධිකරණ ක‍්‍රියාදාමය සිදුවෙද්දීය. ඒ සඳහා අවශ්‍ය තරම් කාලයද, ශ‍්‍රී ලංකාවේ දක්ෂ සහ ප‍්‍රසිද්ධ නීතිඥවරුන්ගේ සහායද දුමින්ද සිල්වාට නොමඳව තිබුණි. එසේ තිබියදී දැන් මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ කැසකවන්නේ කුමකටද? දේශපාලන පළිගැනීමට මුවාවී දුමින්ද සිල්වා නිදහස් කරගැනීමට සිදුකරන උප්පරවැට්ටියකි. අනෙක මේ සෙල්ලම මෙතනින් නතර කරන්නක්ද නොවිය හැකිය. ඉන්පසුව සිරගතවී සිටින තවත් අපරාධකරුවන් රැසක් නිදහස් කරගැනීමට මේ භික්ෂුව පමණක් නොව, අනෙක් භික්ෂූන්ද පෙළගැසෙනු නොඅනුමානය. ඒ අතරම මේ හිමියන් දුමින්ද සිල්වා නිදහස් කරන්නැයි ඉල්ලා සිටින්නේ සැබැවින්ම ඒ හිමියන්ගේ වුවමනාවටද? නැතිනම් කාගේ හෝ බලල් අතක් ලෙසටද? යන්නත් සැකසහිතය.
වත්මන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට ගෙනෙන්නට ශ‍්‍රී ලංකාවේ බහුතරයක් භික්ෂූන් පෙරමුණ ගත් අතර රාවණා බලය, සිහල රාවය වැනි සිංහල බෞද්ධයන්ගෙන් පමණක් සංවිධාන ගතවුණු සංවිධාන එම ජයග‍්‍රහණයේ පෙරමුණේ රාළලා වූයේය.
මේ සියලූදෙනා එක හඬින් මුරගෑවේ මේ රට සිංහල බෞද්ධයන්ගේ බවය. ජනාධිපතිවරණ ජයග‍්‍රහණයත් සමග ඔවුන්ගේ මතය තහවුරු කරගෙන තිබේ. අපරාධ සිදුකළ යුද වීරයන් අධිකරණයට පැමිණවීම මෙන්ම ඔවුන්ට දඬුවම් ලබාදීමද බරපතළ වරදක් බව මොවුන්ගේ අදහසයි. ජනාධිපතිවරණයට පෙර සිටම ගෝඨාභය රාජපක්ෂ මහතාද පැවසුවේ යුද වීරයන් සිපිරිගෙයට යැවීම අනුමත නොකරනවා සේ ම ඔවුන් අපරාධ චෝදනාවලින් නිදහස් කරන බවය. ඊළඟට සිදුවීමට නියමිතව ඇත්තේ එයය. ඉදින් පසුව විවිධ අපරාධවලට සිරගතවී සිටින දේශපාලන අතවැස්සන්ද නිදහස් කරගැනීමේ උද්ඝෝෂණ මෙන්ම ඉල්ලීම්ද පෙරහැරේ ඒමට නියමිතය.