සමිත විජේවර්ධන


මෙයින් පන්සාළිස් වසරකට පෙර එනම් 1975 ජූලි මස 27 වන සිකුරාදා යාපනේ පොන්නාලයි වරදරාජා පෙරුමාල් කෝවිල් අංගනයට මළ හිරු රැස් පතිතවෙමින් පැවතුණි. එවේලාවටම යාපනේ ප්‍රසිද්ධ දේශපාලනඥයෙක් සිය සගයන් දෙදෙනකු ද සමග සුපුරුදු ආගමික වතාවත් සඳහා මෝටර් රථයකින් කෝවිල් භූමියට පැමිණියේය. ඒ වනවිටත් තරුණයෝ තිදෙනෙක් පෙර කී පුද්ගලයන් බලාපොරොත්තුවෙන් කෝවිල් භූමියේ මගබලමින් සිටියහ. රථය කෝවිල් භූමියේ නතර කරනවාත් සමගම තරුණයෝ වාහනයේ දොරවල් තුනකට අභිමුඛ වූහ. වාහනයේ පසුපස දොරක් ඇරගෙන බැහැපු එක් සගයෙක් තමා දෙසට පිස්තෝලයක් එල්ල කරගෙන වෙවුලමින් සිටින තරුණයෙකු දුටුවේය. සගයා ක්ෂණයකින් තරුණයා තල්ලු කර දමා පැන ගොස් අසල තිබුණු සිසිල් බීම හලක සැඟවුණේය. අනික් සගයා වෙඩිකාගෙනම පැන ගියේය. එහෙත් අවිධාරියෝ සිය ප්‍රධාන ඉලක්කය බිම හෙළීමට සමත් වූහ. පලාගියවුන් සෙවීමට ප්‍රමාද නොවුණු තරුණයෝ දේශපාලනඥයාගේ රථයෙන්ම පලා ගියහ. සිසිල් බීම හලෙන් එළියට ආ සගයා වතුර ඉල්ලා කෑගසමින් සිටි දේශපාලනඥයාගේ හිස තම උකුළ මත තබාගෙන සිසිල් බීම ස්වල්පයක් මුවට වත් කළේය. ඒ සමගම තුවාලකරුගේ අවසන් හුස්ම පොදද වා තලයට මුසුවිය.
සිසිල් බීම හලේ සැඟවුණු පුද්ගලයා වූ යෝගනාදන් පසුව හඳුනා ගත් පරිදි ඔහු ඉදිරියේ පිස්තෝලයක් මානමින් වෙවුලමින් සිටියේ වේළුපිල්ලේ ප්‍රභාකරන්ය. වෙඩි කා මියගියේ යාපනේ හිටපු පුරපති ඇල්ෆ්‍රඞ් දොරේඅප්පාය. (මූලාශය : රාජන් හූල්, ශ්‍රී ලංකාව බලයේ මහන්තත්වය, මිථ්‍යා, පරිහානිය හා මනුෂ්‍ය ඝාතන. පිට. 24)


ඉහත සඳහන් යෝගනාදන්ගේ අවබෝධය අනුව 1975 ජූලි මාසය වනතුරුම ප්‍රභාකරන් තුළ මනුෂ්‍ය ඝාතනවලට එරෙහිවීමක් දක්නට තිබුණි. එසේ නම් ඔහු දොරේඅප්පා ඝාතනයෙන් ඇරඹෙන දැවැන්ත මනුෂ්‍ය ඝාතන සහිත යුද්ධයකට අවතීර්ණ වූයේ කවර වෛෂයික තතු යටතේද? දකුණේ බොහෝ දේශපාලකයින්ද භික්ෂූන්ද කියන ආකාරයට නම් ප්‍රභාකරන් ඔහුටම ආවේණික ම්ලේච්ඡත්වයකින් යුතු ඝාතකයෙකි. යුද්ධය ඇවිලවූයේ වෙනම ඊලාම් රාජ්‍යයක අභිලාෂයෙන් යුතු දෙමළුන්ය. එහෙත් මේ රටේ සෑම ක්ෂේත්‍රයකටම අයත් සැලකිය යුතු පිරිසක් යුද්ධයට තුඩු දුන් වෛෂයික හෙවත් දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික හේතු ගෙන හැර දක්වති.


1911දී ලංකා ව්‍යවස්ථාදායකයට උගත් ශ්‍රී ලාංකිකයා තෝරා ගැනීමේ ඡන්දයේදී එකී තනතුර සඳහා ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් වැඩි ඡන්දයෙන් තේරී පත්විය. බැලූ බැල්මට නම් පෙනී යන්නේ එකල සිංහල දේශපාලන නායකයන් ජාති භේදවාදය නොතැකූ බවයි. (ඉහත ඡන්දයේදී ඡන්දදායකයන්ගෙන් බහුතරය හෙවත් 56.4%ක් සිංහලයෝ වූහ.) එහෙත් යථාර්ථය වී ඇත්තේ එය නොවේ. දෙමළ මෙන්ම සිංහල දේශපාලන නායකයෝ ද දරුණු කුලවාදියෝය. ඡන්දදායකයන් වූ ඉංග්‍රීසි උගත් දේපළ හිමි ධනවතුන්ගෙන් සිංහලයන් අතර බහුතරය වූයේ (59%ක්) ගොවිගම නොවන කරාව, දුරාව, සලාගම, උගතුන්ය. ඡන්දයට ඉදිරිපත් වූ උගත්ම ශ්‍රී ලාංකිකයා වූ දොස්තර මාකස් ප්‍රනාන්දු කරාව කුලයේ බැවින් ගොවිගම නායකයන්ට ඔහු පරාජය කිරීමට අවශ්‍ය විය. ඊට යෙදූ කෛරාටික උපක්‍රමය වූයේ ඉන්දියාවේ සිටි පොන්නම්බලම් රාමනාදන් ලංකාවට ගෙන්වා ගෙන සිංහල-ගොවිගම හා දෙමළ වැඩි ඡන්දයෙන් තෝරා ගැනීමය. උපක්‍රමය සාර්ථක විය. (බලන්න. වික්ටර් අයිවන්, කඳුළු සලන පාරාදීසය. පි. 74)


ආරම්භයේ සිටම සිංහල දේශපාලකයන්ට දෙමළා අවශ්‍ය වූයේ තමන් ලොක්කන් වීම සඳහා පමණයි.
කෙසේ වෙතත්, පොන්නම්බලම් රාමනාදන් සිය යුතුකම ඉටු කළේය. 1915 සිංහල-මුස්ලිම් කෝලාහලයේදී අත්අඩංගුවට ගැනුණු සිංහල නායකයන් තක්කඩීන් ලෙස හඳුන්වමින් ඔවුන්ට අනුකම්පා නොකළ යුතු යැයි ව්‍යවස්ථාදායකයේ පහතරට සිංහල නියෝජිතයා වූ ඔබේසේකර හඬතලද්දී සිංහලයන්ගේ නිදහස වෙනුවෙන් නොපැකිළ අභීතව නැගී සිටියේ පොන්නම්බලම් රාමනාදන්ය.


1919දී ලංකා ජාතික සංගමය පිහිටුවා ගැනීමේදී එහි ප්‍රථම සභාපති වූයේ පොන්නම්බලම් අරුණාචලම්ය. ජාතික සංගමයේ බහුතර බලය තිබුණේ පහතරට සිංහලයන්ටය. 1920 ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේදී පළාත්බද ආසන වෙන් කිරීමේදී සිංහලයන්ට 13ක් හා දෙමළුන්ට 3ක් වශයෙන් දැඩි විෂමතාවක් සහිතව බෙදී යෑම නිසා දෙමළ නියෝජිතයෝ ජාතික සංගමයෙන් කැඩී ද්‍රවිඩ මහජන සභාව පිහිටුවා ගත්හ. 1924දී උඩරට සිංහල නියෝජිතයෝ පහතරට ආධිපත්‍යයට එරෙහිව වෙන්වී ගොස් උඩරට සිංහල ජාතික සභාව පිහිටුවා ගත්හ. පහතරට ගොවිගම නොවන නියෝජිතයෝ ගොවිගම ආධිපත්‍යයක් ගැන සැක කළහ. (බලන්න: වික්ටර් අයිවන්, අර්බුදයේ අන්දරය, පිට. 52-54)


මෙසේ ජාතිය භේද භින්න වී සැකය, බිය, අසමගිය, අසමානතාව රජවුණේ ජාතිය, කුලය, ප්‍රදේශය ආදී අබමල් රේණුවක වටිනාකමක් නැති සාධක මත බෙදී එයින් බහුතරය උද්ධච්ච ලෙස ලොක්කන් වීමට දැරූ ආත්මාර්ථකාමී ප්‍රයත්නයේ ප්‍රතිඵලය ලෙසය.


ශ්‍රී ලංකාවේ දේශපාලන නායකත්වයට පත්වුණා වූ ද පත්වීමට යත්න දරන්නාවූ ද සියලු දක්ෂිණාංශික පක්ෂද ඒවාට දර දිය අදින ව්‍යාජ වාමාංශික පක්ෂද විශ්වාසය තැබුවේත් තබන්නේත් සිංහල බෞද්ධ පදනම කෙරෙහිය.


මහාචාර්ය කුමාරි ජයවර්ධන පෙන්වා දෙන ආකාරයට 1939 වසරේ කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහගේ සිංහල අවුරුදු උත්සවයකට ප්‍රධාන අමුත්තා වූ ඩී.ඇස්. සේනානායක මෙසේ පවසා ඇත:
“අපි එකම ලෙයක් සහිත එකම ජාතියක් වෙමු. අපි දේව වරම් ලත් ජාතියක්ද වෙමු. තම ආගම අවුරුදු 5500ක් පවතින බව බුදුන් දේශනා කර තිබේ. මෙහි අර්ථය මේ ආගමේ භාරකරුවන් ලෙස අප ද ඒ තරම් දිගු කාලයක් ජීවත් වන බවයි.” (CDN 1939.04.17)


එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක 1929දී ලංකාවට ෆෙඩරල් පාලන ක්‍රමයක් යෝජනා කළ විට දෙමළ ජනතාව එය ප්‍රතික්ෂේප කළහ.


එහෙව් බණ්ඩාරනායක 1939දී මෙසේ පැවසීය :
“මම මගේ ජාතිය වූ සිංහලයන් වෙනුවෙන් මගේ ජීවිතය පූජා කිරීමට සූදානම්ය. කිසිවෙකු අපගේ ඉදිරි ගමනට බාධා කළහොත් මම ඔහුට අමතක නොවන පාඩමක් උගැන්වීමට අධිෂ්ඨාන කරගෙන සිටිමි.”
(ද හින්දු ඕගන් 1939 ජනවාරි 26, යාපනය)
(ඉහත උද්ධෘත දෙක රාජන් හූල්ගේ පෙර කී ග්‍රන්ථයේ 6 වන පිටුවෙනි.)


ඒ වනවිට බණ්ඩාරනායක (1930දී) සිංහල මහ සභාව පිහිටුවා ගෙන තිබුණි.
මෙසේ සිංහල නායකයන් සිංහල ජාතියත්, බුද්ධාගමත් කෙරෙහි බර තබන විට දෙමළ ජනතාව තමන් කෙරෙහිම විශ්වාසය තැබීමට තල්ලුවීම තර්කානුකූල නොවේද?


1949දී දෙමළ කොංග්‍රසය පිහිටුවා ගත් ජී.ජී. පොන්නම්බලම් 1949දී ඩී.ඇස්. සේනානායක පාර්ලිමේන්තුවට ගෙනා පුරවැසි පනතට (වතු කම්කරුවන් ඉන්දියානු දෙමළ ජනතාවගේ පුරවැසි අයිතිය අහෝසි කළ පනත) පක්ෂව ඡන්දය දීම නිසා චෙල්වනායගම් ද්‍රවිඩ සංගමයෙන් කැඩී 1949දී ඉලංගෙයි තමිල් අරසු පක්ෂය පිහිටුවා ගත්තේය. සිංහල නායකයන් දිනෙන් දින තමන්ගෙන් ඈත්වී යන දෙමළ ජනතාව එයින් වළක්වාලීට කිසිදු ප්‍රඥාගෝදර දූරදර්ශී වැඩපිළිවෙළක් ගැන සිතුවේ නැත. දෙමළ ජනතාවගේ ඉල්ලීම් ගැන සංවේදීතාවක් තිබුණේ වාමාංශික පක්ෂවලට පමණයි. 1955 ඔක්තෝබර් 19 වැනි දින පාර්ලිමේන්තුවේදී ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ත්‍රී සිංහල පෙරමුණුකාරයන්ට කීවේ “ඔබ පවන් ගසන්නේ ඉතාම නරක හැඟීම් දැල්ලකට’ කියායි. 1956 ජූනි මස 5 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සිංහල රාජ්‍ය භාෂා පනත පිළිබඳ විවාදයේදී කොල්වින් තම සුපතළ භාෂා සූත්‍රය (එක භාෂාවයි රටවල් දෙකයි; භාෂා දෙකයි එක රටයි) ඉදිරිපත් කරමින් අනාගත අනතුර පෙර දුටුවේය. සිංහල පමණක් රාජ්‍ය භාෂා පනතට එරෙහිව දෙමළ දේශපාලන නායකයන් ගාලු මුවදොර පිටියේ සත්‍යග්‍රහ ව්‍යාපාරයක් පැවැත්වූ අතර උද්ධච්ච ආණ්ඩු පක්ෂයේ දාමරිකයෝ – සිංහල භාෂා ප්‍රේමියෝ – දෙමළ විරෝධතාකරුවන්ට පහර දී එය කඩාකප්පල් කළහ. දාමරිකයන් විසින් නිරුවත් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර නාගනාදන් ගෝල්ෆේස් හෝටලයට පැන සැඟවුණේය. පොලිසිය නිහඬව බලා සිටියේය.


දෙමළ ජනතාවගේ පළමු විරෝධතා ව්‍යාපාරය පුදන කොටම යකුන් කෑවා පමණක් නොව ඒ යක්කු දෙමළ ජනතාව රකුසන් බවට පත් කිරීමේ පළමු පියවරද තැබූහ.
රාජ්‍ය භාෂා පනත පිළිබඳ විවාදයේදී චෙල්වනායගම් සිංහල නායකයන්ගෙන් ඉල්ලා සිටියේ “දෙමළ ජනතාව වෙනම රාජ්‍යයක් ඉල්ලන තැනට තල්ලු නොකරන ලෙස”ය.


කෙසේ වෙතත් බණ්ඩාරනායක වර්ධනයවෙමින් පැවති දෙමළ විරෝධතා සමනය කරනු වස් උතුරු – නැගෙනහිර පළාත්වල රට සභා කීපයක් ඇති කර කිසියම් ස්වාධීන පාලනයක් දෙනු පිණිස චෙල්වනායගම් සමග ගිවිසුමකට බැඳුණේය. මේ ගිවිසුම රට පාවාදීමක් ලෙස හැඳින්වූ ජේ.ආර්. ජයවර්ධන ඊට විරෝධය පළකරමින් මහනුවරට පයින් ගමනක් සූදානම් කළත් එය ව්‍යර්ථ විය. බණ්ඩාරනායකට භික්ෂූන්ගේ මාරාන්තික විරෝධය හමුවේ 1958 අප්‍රේල් 9 වැනි දින ගිවිසුම ඉරා දැමීමට සිදුවිය. ගිහි පැවිදි නායකයන් ගිවිසුම මතු නොව රටද දෙකට ඉරා යුද්ධයට මග හෙළි කර දුන්නේ එසේය.


1958 මැයි 25 වැනි දින ෆෙඩරල් පක්ෂය සිය පස්වන සම්මේලනය පැවැත්වූයේ වවුනියාවේදීය. ඊට සහභාගි වූ පිරිසක් මඩකළපුව බලා ආපසු යෑමේදී පොළොන්නරුව දුම්රිය ස්ථානයේදී සිංහල ජාතිවාදී මැරයන්ගේ ප්‍රහාරයකට ලක්වූහ. 58 කෝලාහලය ඇරඹුණේ එසේය. අනතුරුව මැරයෝ පොළොන්නරුවේ හා හිඟුරක්ගොඩ ගොවි පොළවල් දෙකකට පැන එහි දෙමළ කම්කරුවන් කපා කොටා ම්ලේච්ඡ ලෙස ඝාතනය කළහ. අවසානයේ ලංකාව පුරාම කෝලාහලය පැතිර ගොස් සිංහල දෙමළ ජනතාව ඔවුනොවුන් ඇන කොටා ගෙන මරා ගත්හ.


එෆ්.ආර්. ජයසූරිය ප්‍රමුඛ ජාතිවාදී නඩයේ බලපෑම මත සිංහල රාජ්‍ය භාෂා පනතෙන් ඉවත් කළ දෙමළ භාෂා භාවිතයට අදාළ සහනශීලී උපවගන්ති ඇතුළත් කොට දෙමළ භාෂා විශේෂ විධි විධාන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ 1958 අගෝස්තු 5 වනදාය; 14 වැනිදා එය සම්මත විය.


බණ්ඩාරනායකගේ අභාවයෙන් පසු 1960 ජූලි මැතිවරණයෙන් බලයට පත් වූ සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව 1961 ජනවාරි 1දා සිට සිංහල භාෂාව රටේ පරිපාලන භාෂාව ලෙස ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කළේය.
ෆෙඩරල් පක්ෂය ජනවාරි 2 වනදා සිටම සත්‍යග්‍රහ ව්‍යාපාර, සිවිල් නීති කැඩීම, නිදහස් දින කළු කොඩි දැමීම ආදී අවිහිංසාවාදී විරෝධතාවල යෙදුණේය. දෙමළ භාෂාවේ සාධාරණ භාවිතයට අදාළ යෝජනා ගැන ආණ්ඩුව අනුගමනය කළේ දරදඬු ප්‍රතිපත්තියකි. දෙමළ ජනතාවට භාෂා අයිතිය වෙනුවට ආණ්ඩුවෙන් ලැබුණේ (උතුරු නැගෙනහිරට) හමුදා පාලනයක් හා ඇඳිරි නීතියයි. එතැනින් නතර නොවුණු ආණ්ඩුව දෙමළ නායකයන් 51 දෙනකු දින 170ක් පනාගොඩ හමුදා කඳවුරේ රඳවා තැබීය.


පාලක පන්තියේ ම්ලේච්ඡ මහන්තත්ත්වය හමුවේ දෙමළ ජනතාවගේ අවිහිංසාවාදී විරෝධතා නිරර්ථක අවසානයක් කරා ගමන් කළා පමණක් නොව රටද දැවැන්තම ව්‍යසනය කරා වේගයෙන් ඇදී ගියේය.
මේ ව්‍යසනයේ මූලයන් කරා කිමිදෙන්නෙකුට අභාවප්‍රාප්ත නෙවිල් ජයවීරයන්ගේ අත්දැකීම් මහත් පිටුබලයක් ගෙන දෙයි.
1956 බණ්ඩාරනායක ආණ්ඩුව පිහිටුවා ගත්තේ සිංහල භාෂාවටත් බුද්ධාගමටත් ප්‍රමුඛස්ථානය දී “ සිංහල බෞද්ධ උරුමය” යළි තහවුරු කරගැනීමේ අරමුණ ඇතිවය. ජයවීරයන් කියන පරිදි බණ්ඩාරනායකගේ ජයග්‍රහණයට මග පෑදූ මූලෝපාය ඉතා කුඩා මට්ටමේ සිට සැලසුම් කළේ” සිවිල් සේවක එන්. ක්‍යු. දියෙස්ය. යුරෝපීය ඇඳුම් වෙනුවට ජාතික ඇඳුමට බැහපු පළමු රාජ්‍ය සේවකයා වූයේ දියෙස්ය. ඔහු විදේශිකයන්ද විශේෂයෙන් ඉන්දියානුවන් හා දෙමළ ජාතිකයන්ද කතෝලික පල්ලිය හා බටහිර සංස්කෘතියද දැඩිව පිළිකුල් කළේය. කතෝලික හමුදා නිලධාරීන් වෙනුවට බෞද්ධ හමුදා නිලධාරීන් පත් කිරීම ඔහුගේ සැලසුම විය. එක්සත් භික්ෂු පෙරමුණේ දෘෂ්ටිවාදියා හා ගාමක වූ බලය ඔහුය. මේ සුපිරි සිංහල බෞද්ධයාට චතුර ලෙස හෙළ බස හැසිරවිය නොහැකිය. එපමණක් නොව මේ උද්ධච්ච පුද්ගලයා අන්‍යයන් සතේකටවත් ගණන් ගෙන නැත. ඔහුගේ හොඳම ‘බෞද්ධ ප්‍රතිපත්තිය’ නම් දිනපතාම ගාලු මුවදොර හෝටලයෙන් ටොනික් සමග ජින් පානය කර දිවා භෝජනය ගැනීමය.


දියෙස්, බණ්ඩාරනායක මැතිනිය සමග සාකච්ඡා කර නෙවිල් ජයවීරයන් යාපනේ දිසාපති ලෙස යැව්වේ 1963 ඔක්තෝබර් 1 වැනිදා සිට සිංහල රාජ්‍ය භාෂා පනත අකුරටම ක්‍රියාත්මක කරනු පිණිසය. දෙදහස් පන්සිය වසරක ‘බෞද්ධ උරුමයෙන්’ තමා සන්තක කර ගත් ‘මානව හිමිකම්වලට’ අනුගතව දියෙස්, ජයවීරයන්ට දුන් උපදෙස් මෙසේය:
“යාපනයේ දිසාපතිවරයා ලෙස මා ඉටු කළ යුතු භූමිකාව සම්බන්ධයෙන් කතා කරමින්, උතුරු පළාත වට කොට පිහිටුවීමට යෝජිත හමුදා කඳවුරු ඉදි කිරීමට තමා අවශ්‍ය පහසුකම් සලසා දෙන අතර දෙමළ ජනතාවගේ ඉල්ලීම් කෙරෙහි මා කිසිදු බුරුලක් නොදැක්විය යුතු බව දියෙස් ප්‍රකාශ කර සිටියේය. හැකි හැම තැනදීම ඔවුන් සමග බලෙන් ගැටුම් ඇති කරගත යුතු බවද…රජයේ ප්‍රබලත්වය තහවුරු කිරීමේ හොඳම මාර්ගය වන්නේ කවර වියදමක් දරා හෝ “සිංහල පමණයි” පනත බලාත්මක කිරීම බව අවධාරණය කළ ඔහු ඒ නිසා දෙමළ නායකයන්ගේ විරුද්ධත්වය ප්‍රසිද්ධියේ ප්‍රකාශ වන විට ඔවුනට පහර දී රජයේ අධිකාරය ස්ථාපිත කිරීම මගේ කාර්යය බව අවධාරණය කළේය.”
(යාපනය, අමිහිරි අතීතය දුරලීම… 86-89 පිටු.)


බහුවාර්ගික, බහු සංස්කෘතික සමාජයක පුරවැසියන්ගේ ගැටලුවලට එන්. ක්‍යු දියෙස්ගේ මේ විසඳුම බෞද්ධ දර්ශනයේ කවර නම් ඉගැන්වීමකට අනුගත වන්නේද? බුදු දහමට කෙසේ වෙතත් මංකොල්ලකාරී, දූෂිත දුර්දාන්ත ධනපති පන්තියට නම් ඉහත කී උපදෙස් ජාඩියට මූඩිය මෙන් ගැළපෙන්නේමය.


නෙවිල් ජයවීර දියෙස්ගේ උපදෙස්වලට සුපරාම පටහැනිව නම්‍යශීලී සුහද ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. නෙවිල් ජයවීර හෙළි පෙහෙළි කළ මානුෂීය ජය මාවතේ ඉදිරියට යෑමට දකුණේ දේශපාලකයන්ට නොහැකි විය.
1965 මාර්තු මස බලයට පත් එජාප ආණ්ඩුව 1966 ජනවාරි 8දා ඉදිරිපත් කළ දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනතට මෙන්ම 1968 ඉදිරිපත් කළ දිස්ත්‍රික් සභා ධවල පත්‍රිකාවටද ශ්‍රීලනිප, සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ තුනේ විරෝධය එල්ල විය. 1956දී දෙමළ භාෂා අයිතිය වෙනුවෙන් පෙනී සිටි සමසමාජ පක්ෂය 1968දී දිස්ත්‍රික් සභා පනතට ගිනි තබන විට දෙමළ ජනතාවට දකුණේ දේශපාලකයන් කෙරෙහි තවදුරටත් කෙසේ නම් විශ්වාසයක් තබාගත හැකිද?


1970දී ආණ්ඩු බලය අල්ලා ගත් සමගි පෙරමුණ ජනරජ ව්‍යවස්ථාව සම්මත කළහ. සුළු ජාතීන්ගේ ආරක්ෂාව සඳහා සෝල්බරි ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබූ 29 වගන්තිය ඉහත ව්‍යවස්ථාවෙන් ඉවත් කළා පමණක් නොව සිංහල භාෂාව එකම රාජ්‍ය භාෂාව කොට දෙමළ භාෂාව දෙවන බස කරන ලදි.


උතුරේ වර්ධනයවෙමින් පැවති තරුණ සටන්කාමීත්වය ව්‍යර්ථ කර දැමීමට නම් 57 බණ්ඩාරනායක- චෙල්වනායගම් ගිවිසුම 72 ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බවට යාපනේ කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයෝ පෙන්වා දුන්හ. බණ්ඩාරනායක මැතිනිය ඊට එකඟ වුණත් කොල්වින්ගේ බියගැන්වීම හමුවේ මැතිනිය පෙරට තැබූ අඩිය පස්සට ගත්තාය. (රාජන් හූල්, 14-15 පිටු)
1956දී දෙමළ භාෂාවට සාධාරණ අයිතිය ඉල්ලා සමසමාජ පක්ෂය මෙහෙයවූ විරෝධතාවකට අන්තවාදී සිංහල මැරයන්ගෙන් එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් එකී පක්ෂයේ රෙජිනෝල්ඞ් මෙන්ඩිස්ගේ වම් අතේ කොටසක් අහිමි විය. එහෙත් 1964 වන විට ඒ සියලු සටන් පාවා දුන් කොල්වින්ලා 1972දී දෙමළ ජනතාවට පමණක් නොව ලංකාවටම විනාශයේ දොරටුව විවර කළහ.


දෙමළ දේශපාලන පක්ෂ ගණනාවක් එකතු වී 1972 මැයි මස 14 වන දින ද්‍රවිඩ එක්සත් පෙරමුණ පිහිටුවා ගෙන ස්වකීය අරගලවලට නව ජවයක් ලබා ගත්හ.


දකුණේ අමනෝඥ දේශපාලකයෝ උතුරේ මතුවෙමින් පැවති ගිනි දලුවලට පිදුරු දමමින් 1972දී විශ්වවිද්‍යාල ප්‍රවේශයට ප්‍රමිතිකරණය හා දිස්ත්‍රික් කෝටා ක්‍රමය හඳුන්වා දුන්හ. ඒ හේතුවෙන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන දෙමළ සිසුන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් පහත වැටුණේය. ඉහළ ලකුණු ලබා ගත් එහෙත් විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වූ ඇතැම් ශිෂ්‍යයෝ මානසික රෝගීන් බවට පත්වූහ.


මෙසේ දිගින් දිගටම ක්‍රියාත්මක වුණේ “බලහත්කාරයෙන් සටනට කැඳවා පහරදීමේ” දියෙස්ගේ විධි ක්‍රමයයි. 72 ව්‍යවස්ථාවෙන් “පෝෂණය කොට සුරක්ෂිත කළ” බුද්ධාගම ක්‍රියාවට නැගුණේ ඒ අයුරින්ය.
උතුරේ තරුණයන් සිය වැඩිහිටියන්ගේ අවිහිංසාවාදී විරෝධතාවලින් විකේන්ද්‍රණය වෙමින් සිටි අතර ඒ සඳහා උතුරේ සේවය කළ ඇතැම් දුර්දාන්ත හමුදා සෙබළුන්ගෙන් හා පොලිස් නිලධාරීන්ගෙන්ද තීරණාත්මක පිටු බලයක් ලැබුණි. මේ නිලධාරීන්ගේ ‘විනෝදාංශය’ වූයේ අවස්ථාවක් ලත් සැණින් දෙමළ වැසියන්ට පහරදීමය.


1973-74 වසරවල යාපනයේ සහකාර පොලිස් අධිකාරී ලෙස සේවය කළ එස්.කේ. චන්ද්‍රසේකර එවැනි සිදුවීම් දෙකක් ගැන සඳහන් කරයි. (බලන්න : බණ්ඩාරනායකවරුන් සමග – තිරය පිටුපස, 85, 96 පිටු)
එපමණක් නොව ජීප් රථවලින් ගමන් ගත් ඇතැම් හමුදා සෙබළුන් මාර්ගය අයිනේ සිටි සාමාන්‍ය වැසියන්ට කිසිදු හේතුවක් යුක්තියක් නැතිව පොලුවලින් පහර දෙනු සියැසින් දුටු අත්දැකීම් මේ ලේඛකයාට ඇත.


1974 ජනවාරි 3දා සිට 9 වැනිදා දක්වා යාපනේ වීරසිංහම් ශාලාවේ මුළු දුන් ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සමුළුව අවසානයේ මහජන රැස්වීමක් පැවැත්විණි. දකුණු ඉන්දියාවෙන් නීති විරෝධීව පැමිණි සිටි ජනාර්තනන් එකී රැස්වීම ඇමතීමට සූදානම් වීම නිසා එය වැළැක්වීමට පොලිසිය මැදිහත් වී අහසට වෙඩි තැබීමෙන් කඩා වැටුණු විදුලි කම්බිවලින් විදුලි සැර වැදී සාමාන්‍ය වැසියෝ 7 දෙනෙක් මිය ගියහ. මේ මනුෂ්‍ය ඝාතන ගැන සොයා බැලීමට කොමිසමක් පත් කරන ලෙස දෙමළ ජනතාව ඉල්ලා සිටියත් රජය එය ගණන් ගත්තේ නැත. එහෙත් එම වසරේ අවසාන භාගයේ “මරු සිරා එල්ලා මැරුවාද මරා එල්ලුවාද” කියා සොයා බැලීමට කොමිසමක් පත් කිරීමට රජය පසුබට වුණේ නැත. 1975 වසරේ යාපනේ සරසවි සිසුන් හැටියට සිටි අපෙන් දෙමළ සිසුන් ප්‍රශ්න කළේ “මරුසිරාගේ ජීවිතය තරම් දෙමළ මිනිසුන්ගේ ජීවිත ආණ්ඩුවට වටින්නේ නැද්ද” කියාය. ඒ වනවිට ඉහත 7 දෙනා සිහිවීම පිණිස වීරසිංහම් ශාලාව ඉදිරිපිට ගොඩ නගා තිබූ දැවැන්ත කුලුනද බිම දමා දෙකට තුනට කඩා දමා තිබුණි. එහි චෝදනාව එල්ල වුණේ හමුදාවටය.


මේ සකලවිධ ප්‍රකෝපකාරිත්වයන් හමුවේ දෙමළ තරුණයන්ගේ දෑතට ආයුධ ද ගෙලට සයනයිඞ් කළේ ද මනසට යක්ෂයෝ ද ආරූඪ වූහ. 1974 ජූනි 5දා බැංකු මංකොල්ලයකදී අත්අඩංගුවට ගැනුණු ශිව කුමාරන් පළමු සයනයිඞ් කරල ක්‍රියාත්මක කරමින් ජාතිය වෙනුවෙන් දිවි දුන්නේය. උතුරේ දේශපාලකයන් තව දුරටත් දකුණේ ආණ්ඩු සමග ගනුදෙනු කිරීම සටන්කාමී තරුණයන්ගේ විරෝධයට හේතුවිය. කෙසේ වෙතත් ඒ වන විට ආණ්ඩුවේ දේශපාලන නියෝජිතයා වූයේ ඇල්ෆ්‍රඞ් දොරේඅප්පාය. 1974 ඔක්තෝබර් 5දා යාපනය විශ්වවිද්‍යාලය විවෘත කිරීමට ගිය බණ්ඩාරනායක මැතිනිය හරසරින් පිළිගැනීම සංවිධානය කළේද දොරේඅප්පාය. දෙමළ පර්යේෂණ සමුළුවේදී සිදුවූ මනුෂ්‍ය ඝාතන 7ට දොරේඅප්පාද වගකිව යුතු බවට සටන්කාමියෝ තීන්දු කළහ. එහෙත් එය සාවද්‍ය නිගමනයකි. (රාජන් හූල්, පිටුව 23)


ගැටලුවලට විසඳුම් සෙවීමේදී ප්‍රචණ්ඩත්වය, මර්දනය හා මනුෂ්‍ය ඝාතන ශීලාචාර සමාජයෙන් දුරින්ම දුරු විය යුතුය. එහි පළමු පියවර තැබිය යුත්තේ පාලකයින්ය. එහෙත් එය කිසිදා සිදුනොවන්නකි. එනිසා අප කැමති වුණත් අකමැති වුණත් පීඩිතයා එක්තරා අන්තයකදී පීඩකයාට පහරදීම නොවැළැක්විය හැකිය.


කරුණු එසේ නම් 1975දී උතුරේ පැන නැගුණු ආයුධ සන්නද්ධ සටන්කාමීත්වය හුදු ‘ත්‍රස්තවාදයක්’ ලෙස ලඝු කිරීමට තරම් යුක්තිසහගත තර්කයක් මේ මිහිපිට තිබේද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here