Home පුවත් දේශපාලන දෙවනගල අළුයට ගිනි

දෙවනගල අළුයට ගිනි

0
1256


රසික ගුණවර්ධන


දෙවනගල පුදබිම සම්බන්ධ ඉඩම් ආරවුල මේ වන විට තීරණාත්මක අවධියකට පැමිණ ඇත. මේ නිසා නොදුරු දිනෙක මෙහි අමිහිරි අත්දැකීම් සකල ශ්‍රී ලාංකික අප සැමටම විඳ ගැනීමට සිදුවනු ඇත. මේ අර්බුදය නිර්මාණය කළේ අන්කිසිවෙකු නොව බොදු බල සේනා සංවිධානයයි. බොදුබල සේනා සංවිධානය සිය අන්තවාදී ක්‍රියාකාරකම් ආරම්භ කරන්නේද මාවනැල්ල කේන්ද්‍ර කරගනිමිනි.


වසර තිහක ක්‍රෑර යුද්ධයෙන් පසුව මේ ජාතිවාදී රැල්ල පෙර නොවූ විරූ තත්ත්වයන්ට වඩා තීව්‍ර ලෙස මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගනිමින් ආරම්භ විය. එම රැල්ල කේන්ද්‍රගත කරන ලද්දේ මාවනැල්ල ප්‍රදේශයෙනි. මාවනැල්ල ඓතිහාසික වශයෙන්ම සිංහල, මුස්ලිම් ජනතාව සමීපව ජීවත්වන ප්‍රදේශයක් විය. මෙහි ඇතිවූ ගැටලු කොතරම් තීව්‍රද යත් ඒ පිළිබඳ කෘතියක් පවා මුද්‍රණය විය. ඒ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ ඇතුළු පිරිසක් විසින් රචනා කළ දෙවනගල කෘතියය. එහි මෙසේ දැක්වේ.

“මාවනැල්ල අධ්‍යාපන කොට්ඨාසය තුළ පවතින පාසල් සංඛ්‍යාව පනස් දෙකකි. ඒවා අතරින් පාසල් දහතුනක් මුස්ලිම් ළමුන් ඉගෙන ගන්නා දෙමළ මාධ්‍ය පාසල් ය. පසුගිය දශක කිහිපය තුළ ප්‍රදේශයේ ඇති දෙමළ මාධ්‍යයෙන් උගන්වනු ලබන පාසල් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති අතර සිංහල මාධ්‍යයෙන් උගන්වනු ලබන පාසල්වලට ඉගෙනීමට පැමිණෙන මුස්ලිම් ළමයින්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් අඩු වී තිබේ. සිංහලයන් සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගැනීමත්, මුස්ලිම්වරුන් දෙමළ මාධ්‍යයෙන් පමණක් ඉගෙන ගැනීමත් ජන කොටස් දෙක අතර පැවතුන සංස්කෘතිමය සංහිදියාව දුරස්වීමට හේතු වූ ප්‍රධාන කරුණ ලෙස දැක්විය හැකිය.”


සිංහල බෞද්ධ අන්තවාදය කරපින්නාගෙන බොදුබල සේනා සංවිධානය එන්නේ මේ සංස්කෘතික සංහිඳියාව දුරස් වූ අවස්ථාවේදීය. එහෙත් ඊට පෙරත් ජාතිවාදයට පැළවීමට අවශ්‍ය පොළොව නිර්මාණය වී තිබුණි. ශ්‍රී ලංකාව තුළ වසර දහසක් පමණ මුස්ලිම්වරුන් ජීවත් වන අතර ඔවුහු දේශීය සහ විදේශීය වෙළෙඳාමෙහි යෙදෙමින් මෙරට සිංහල රජවරුන් සහ සිංහල ජනතාව සමග සමඟියෙන් කල්ගත කළෝය. ඔවුන් සීතාවක, කෝට්ටේ, ගම්පොළ සහ සෙංකඩගල රජවරුන්ගේ රැකවරණය යටතේ සිංහල රාජධානිවල පදිංචියට පැමිණෙන්නේ පෘතුගීසීන්ගේ පහතරට ආක්‍රමණයත් සමග මුස්ලිම්වරුන්ට එල්ල වූ ප්‍රහාර නිසාය. කෙසේ වෙතත් පසුකාලීනව ඔවුන් ශ්‍රී ලාංකික කාන්තාවන් සමග විවාහවෙමින් තානාපතිගේ, වෛද්‍යසේකර, වෛද්‍යරත්න, මුහන්දිරම්ලාගේ වැනි වාසගම් භාවිත කරමින් ශ්‍රී ලංකාවේම ජීවත්වන තවත් ජන කොට්ඨාසයක් බවට පත්වූ බව “දෙවනගල” කෘතිය කියයි.


කෙසේ වෙතත් මෑත දශක දෙකක් පමණ පිටුපසට බලන විට හමුවන පළමු සහ ප්‍රධාන සිංහල මුස්ලිම් ගැටුමක් ලෙස 2001 වසරේදී මාවනැල්ලේ ඇතිවූ ජාතිවාදී කෝලාහලය දැක්විය හැකිය. එහිදී එක් මුස්ලිම් ජාතික තරුණයෙකු වෙඩි වැදී මියගිය අතර කඩ සාප්පු සිය ගණනක් ගිනි තබා විනාශ කළේය.


එම සිදුවීමට හේතුවූයේ හිටපු අමාත්‍ය මහීපාල හේරත්ගේ සහචරයන් පිරිසක් විසින් මාවනැල්ල නගරයේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ලබා ගැනීමේ සිදුවීමකි. එහිදී ඇතිවූ තත්ත්වය නීත්‍යනුකූල ලෙස නිරාකරණය කර ගැනීමට පොලීසිය අසමත් වීම නිසා මුස්ලිම් ජනතාව කුපිත වී නගරයට පැමිණ විරෝධතාවයේ නිරත විය. එහිදී ඇති වූ කලබලකාරී තත්ත්වය පාලන කර ගැනීමට පොලීසිය අසමත් විය.


එම ගැටුමෙන් අනතුරුව මාවනැල්ල නගරය රූපාන්තරණය වූ ආකාරය “දෙවනගල” කෘතියේ දැක්වෙන්නේ මෙසේය.
“මුස්ලිම් කාන්තාවන් නිකාබය අඳින්නට පටන් ගත්තේය. ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ක්‍රිකට් තරගවලදී මුස්ලිම්වරු පාකිස්තානයට ආවඩන්නට පටන් ගත්තෝය. මාවනැල්ලේ මුස්ලිම් තරුණ කොටස් දෙමළ මාධ්‍ය පාසල්වල පමණක් ඉගෙනීම නිසා එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගැනීමේ දුෂ්කරතාවන්ද මතුවිය. එමඟින් සිංහල සහ මුස්ලිම් ජන කොටස් අතර සැකයක් වෛරයක් පැතිරෙන්නට පටන් ගත්තේය.”


එසේ මුස්ලිම් සමාජයේ වෙනස්වීම් සිදුවන විට, සිංහල සමාජයේද කැපී පෙනෙන වෙනසක් සිදුවිය. “ගව ඝාතන විරෝධය” නැවත කරළියට පැමිණීම, “හලාල් විරෝධය” සහ අපගේ විෂයගත කරුණ වන දෙවනගල පූජා භූමියේ ඉඩම් මුස්ලිම්වරුන් විසින් ආක්‍රමණය කර ඇති බව “සිංහල රාවය” සහ “පැරකුම් සේනා” වැනි සංවිධාන විසින් ඉතා සංවිධානාත්මක ලෙස ප්‍රචාරය කළේය.


එම විරෝධය මාවනැල්ල තුළින්ම පැන නැගුණකට වඩා එය මාවනැල්ලට පිටතින් පැමිණිය රැල්ලක් විය. මේ විරෝධතාවන්හි මුල් අවධියේ පෙනී සිටි සහ පසුව එයට එක්වූ බොහෝ දෙනා ද මාවනැල්ලට පිටතින් පැමිණි අය වූහ. උදාහරණයක් ලෙස වත්මන් දෙවනගල විහාරවාසී හිමිනම පැමිණෙන්නේ පොළොන්නරුව ප්‍රදේශයේ මැදිරිගිරියෙනි. උන්වහන්සේගේ දෙමාපියන් තවමත් ඒ ප්‍රදේශයේ ජීවත් වේ. මැදිරිගිරිය පුඤ්ඤසාර වන උන්වහන්සේ දෙවනගල පූජාභූමියේ විහාරවාසී හිමිනම වීමට ප්‍රථමව සිටින්නේ ඇල්පිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකය. ඊටත් වැදගත් කාරණය නම් උන්වහන්සේ දෙවනගල පූජාභූමියට පැමිණෙන්නේ මේ දෙවනගල ඉඩම් ආරවුල ආරම්භ වන සමයේය. ඒ සමයේ මේ විහාරයේ විහාරාධිපතිව සිටි හිමියන් රෝගාතුරව 2016 වසරේ අපවත් වන අතර වත්මන් දෙවනගල විහාරාධිපති හිමියන් සිටින්නේ කාමරංගල ප්‍රදේශයේ පන්සලකය. මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන්ට අමතරව මේ විරෝධය සඳහා සම්බන්ධ වූ ගිහි නායකයන් සහ අනුරාධපුරයේ අමිත ධම්ම හිමියන්- ඥානසාර හිමියන් වැනි පැවිදි නායකයන්ද පැමිණෙන්නේ මාවනැල්ලට පිටිනි.


කෙසේ වෙතත් බෞද්ධ අන්තවාදී සංවිධානවල සහභාගිත්වයෙන් ඉතාම සංවිධානාත්මක ලෙස මෙම මුස්ලිම් විරෝධී රැල්ල ඒ ආකාරයට ආරම්භ වන්නේ 2013 වසරේදීය. එය ඔවුන් මුලින් මුස්ලිම් විරෝධී ව්‍යාපාරයක් ලෙසම ආරම්භ කළ බවට එම සංවිධාන විසින් මේ මතවාදය පැතිරවීම උදෙසා බෙදාහැරි අත්පත්‍රිකා අනුව පෙනේ. එසේ මේ විරෝධතා ආරම්භයේ බෙදා හැරි එක් අත්පත්‍රිකාවක සඳහන් වූවේ “දෙවනගල පුද බිමෙන් හරක් මරණ, හරක් මස් කන මුස්ලිම් පව්කාර රොඩී හැත්ත (වහා පිට වෙයව්)” යනුවෙනි. එසේම එම පත්‍රිකා හරහා ඔවුන් පතුරවන මතවාදය වූයේ මුස්ලිම් ජනතාවට මේ රටේ කිසිදු අයිතිවාසිකමක් හෝ හිමිකමක් නොමැති බවය, “මේ රටේ එක එකාලගේ උරුම නැති බවත්, මේ රටේ තියෙන්නේ සිංහල බෞද්ධ උරුමයක් බවත් පුරා විද්‍යා නිලධාරීන් දැන ඉගෙන ගත්තොත් හොඳයි” මෙසේ ජනතාව උසි ගන්වමින් ඔවුන් මුස්ලිම් විරෝධයට ප්‍රතිවිරෝධයක් එල්ල විය හැකි අවස්ථාවන් සහ සිංහල බෞද්ධයන්ට මේ ප්‍රශ්නය මැදහත් ලෙස දැකීමට ඇති ඉඩ ඇහිරීමට කටයුතු කළේය. එපමණක් නොව ලිපියේ මුලින් සඳහන් කළ ආකාරයට, මාවනැල්ලේ සිංහල ජාතිකයන් සහ මුස්ලිම් ජාතිකයන් අතර තිබුණේ විශාල බැඳියාවකි. එය සංස්කෘතිකමය වශයෙන් යම් දුරස්වීමක් තිබුණද ව්‍යාපාරික වශයෙන් එය තද බැඳීමක් විය.

උදාහරණයක් ලෙස එම බැඳීම එක දම්වැලක පුරුක් මෙන් විය. මේ නිසාම දෙවනගල සම්බන්ධ කරගෙන මාවනැල්ලට පිටතින් පැමිනි සිංහල බෞද්ධයන් පිරිසක් විසින් ගොඩනඟන මේ විරෝධය ඒ ප්‍රදේශයේ සිංහල ජනතාවට ආගන්තුක එකක් සහ සත්‍යයෙන් තොර එකක් සේ පෙනෙන්නට විය. එසේම දෙවනගල ප්‍රදේශයේ දැනුදු පවා වැඩි වශයෙන්ම ජීවත් වන්නේ සිංහල ජනතාවය. ඒ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව වෙසෙන්නේ ඉතා සීමිත ප්‍රදේශයකය. ඒ නිසා දෙවනගල පුදබිම ආක්‍රමණය කිරීමේ කතාවේ සත්‍ය අසත්‍යතාව දෙවනගල ජීවත්වන සිංහල ජාතිකයන් ඉතා හොඳින් දනී. මේ සත්‍ය පිටතට යාම වැළැක්වීමට ඔවුන් සිදු කළේ මාවනැල්ල ප්‍රදේශයේ සිංහලයන් පිළිබඳවද ජාතිද්‍රෝහී මතවාදයක් පැළකරවීමය. විරෝධයේ මුල්කාලයේ බෙදා හරින ලද අත්පත්‍රිකාවකින් උපුටාගත් පහත කොටස ඊට ඉතා හොඳ නිදර්ශකයකි. “මාවනැල්ල, දෙවනගල ආදී ප්‍රදේශවල හරක් මස් කන සමහර සිංහල රොඩියන්ද පිළිකුලෙන් යුතුව ඇසුරෙන් අයින් කරන්න.”


කෙසේ වෙතත් ක්‍රමිකව දෙවනගල ඉඩම් ගැටලුව හරහා ප්‍රභල මුස්ලිම් විරෝධයක් ඇති කිරීමට එම අන්තවාදී බෞද්ධ සංවිධාන සමත්විය. දෙවනගල පූජාභූමියට අයත් ඉඩම්වරයක් වන අක්කර හැත්තෑ දෙකයි රූඞ් තුනක ඉඩමක් මුස්ලිම්වරුන් විසින් ආක්‍රමණය කර ඇති බවත් දෙවනගල වටා එම ඉඩම පිහිටා ඇති බවත් මේ සංවිධාන පැවසූ අතර එය දෙවනගල සහ මාවනැල්ල ප්‍රදේශවල සිංහලයන් ඉලක්ක කරනවාට වඩා පිට පළාත්වල බෞද්ධයන් ඉලක්ක කරගනිමින් දියත් වූවක් විය. මේ සංවිධාන රට පුරාවටම සමාජ ජාල මාධ්‍ය හරහා මේ මතවාදය පතුරුවා හරිමින් රටේ අනෙකුත් ප්‍රදේශවල සිංහල බෞද්ධයන් මේ අන්තවාදී ව්‍යාපාරය සමග සම්බන්ධ කරවූවේය.


මෙසේ මේ සංවිධාන පිට පළාත්වල සිංහල බෞද්ධයන් ඉලක්ක කර ගැනීමට හේතුවූයේ මේ සංවිධාන පවසන ආකාරයේ ඉඩම් ආක්‍රමණයක් සැබෑවටම දෙවනගල ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන් විසින් සිදු කර නොමැති වග ඉතා හොඳින් ඒ ප්‍රදේශවල සිංහලයන් දන්නා නිසාය. දෙවනගල පූජාභූමිය පිහිටි ගල පාමුල වෙසෙන ජනතාවගෙන් බහුතරය සිංහල බෞද්ධයන්ය. සැබෑවටම එම ගල වටා අක්කර හැත්තෑ පහ මැන බැලුවහොත් එයට අයත් වන වැඩි ප්‍රමාණය සිංහල ජාතිකයන්ය. මේ ඉඩම්වල හිමිකම් පිළිබඳව පරීක්ෂා කිරීමේදී ඇතැම් ඉඩම් ඔප්පු එක්දහස් නවසිය හයේදී එනම් බි්‍රතාන්‍ය යුගයේදී පවා ලියැවී ඇති වග දැක ගත හැකිය. එපමණක් නොව අමාත්‍ය විදුර වික්‍රමනායකගේ සීයා අලි වෙළෙඳාමේ නිරත වී ඇති අතර ඒ මේ ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන් සමගය.


කෙසේ වෙතත් කාලයක් පුරා යට යමින් උඩ එමින් තිබූ මේ දෙවනගල ඉඩම් ගැටලුව නැවත වතාවක් පසුගිය ජනාධිපතිවරණ සමයේ කරළියට පැමිණියේය. එතැන් පටන් නැවතත් දෙවනගල ඇවිළෙන්නට පටන් ගෙන ඇත.
කෙසේ වෙතත් එයත් සමග වසර හතකට පමණ පසු මේ කියන අක්කර 72 යි රූඞ් 3 ඉඩම මැනීම ආරම්භ කළද එම ඉඩම සැබෑවටම දෙවනගල පර්වතය වටා පිහිටා නොමැති බවත් එය ඇත්තේ රුවන්වැල්ල ග්‍රාමයේ බවත් තහවුරු විය. රුවන්වැල්ල යනු සිංහල ජාතිකයන් පදිංචි ගමකි. මේ නිසා මෙතෙක් කලක් නිහඬව ජීවත් වූ ඒ ප්‍රදේශයේ සිංහල ජනතාවද මේ දෙවනගල ඉඩම් ගැටලුව සමග සම්බන්ධ වූ අතර ඔවුන් මැදිරිගිරියේ පුඥ්ඥසාර හිමියන්ට විරෝධය පළකරන්නට විය. මුස්ලිම් විරෝධයක් සඳහා ගෙන ආ දෙවනගල ඉඩම් ගැටලුව අවසානයේ සිංහල බෞද්ධ අන්තවාදීන්ට පාර වළල්ලක් විය.


මේ නිසා පුඤ්ඤසාර හිමියන් නැවත වතාවක් නාට්‍යක් රඟ දක්වා සිංහල බෞද්ධයන් තමන් වෙත හරවා ගැනීමට උත්සාහ කළේය. තමන් සතුව ඇතැයි කියන “මහ ඔප්පුවක්” ගැන කීවේය. එහෙත් උන්වහන්සේට සිංහලයන්ගේ විරෝධතාව මැඬපවත්වන්නට නොහැකි විය.


කෙසේ වෙතත් මේ ගැටලුවේ වර්තමාන ස්වරූපය ඉතා අපූරුවට පසුගිය දෙසැම්බර් විසි හතරවැනිදා දැකගත හැකි විය. එදින අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී දෙවනගල මැනුම් කටයුතු සම්බන්ධව දැනුවත් කිරීම සඳහා රැස්වීමක් කැඳවා තිබුණි. එයට ප්‍රදේශයේ සිංහල මුස්ලිම් ජනතාව සේම ප්‍රදේශයේ දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් ද සහභාගි වී තිබුණි.


එහිදී අරණායක ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රී අජන්ත දිසානායක සභාව ඇමතීය .
“මෙතන ඉන්න අයගෙ මුතුන් මිත්තො තමයි දෙවනගල රජමහා විහාරය ගොඩ නගන්න වැලි කැටේ පස් කැටේ සියලු දේවල්, දහඩිය මහන්සිය කැප කරේ. මේ දායකයො මීට අවුරුදු තුනකට කලින් රැවටුණා. මේ ගරුතර ස්වාමීන් වහන්සේ දැන් දෙවනගල ගැන කතා කරනව බොහොම කැක්කුමෙන්, දෙවනගල පින්බිම කියන බෝඞ් එක විතරයි තියෙන්නෙ. දෙවනගල මේ වෙනකොට තිබ්බ පහනත් නෑ. බුදු පිළිමවලට බුද්ධ පූජාව නෑ. අපි එදා ඔය රැවටීම ලස්සනට දැක්කා.”


මේ මොහොතේ කථිකයාට බාධා කරමින් දෙවනගල විහාරවාසී මැදිරිගිරියේ පුඤ්ඤාසාර හිමියන් නැගී සිටී. ඒ අවස්ථාවේදී විශාල විරෝධයක් ඇතිවන අතර ඒ විරෝධය අතරතුරදී ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මන්ත්‍රීවරයාගේ කමිස කොලරයෙන් ඇද යමක් කීවේය.


“මගේ මන්ත්‍රීකම බැසිල් මහත්තයට කියල නැති කරනව කීවා. මන්ත්‍රීකම මට දුන්නෙ ගමේ මිනිස්සු. මන්ත්‍රීකමට වැඩිය මට ආත්ම ගෞරවය ලොකුයි. මේක ඇතුළෙ ඉන්නෙ අපේ සිංහල මිනිස්සු. සීයට දහයයි මුස්ලිම් මිනිස්සු ඉන්නෙ. මට දැන් ජීවිත තර්ජනයක් තියනව. මොකද රටේ මිනිස්සු මේකෙ ඇත්ත තත්ත්වෙ දන්නෙ නෑ නෙ.” මන්ත්‍රීවරයා එම සිදුවීමට පසු අදාළ ස්ථානයේ සිටම මාධ්‍යයට පැවසීය.


ඒ ගැටුම අතරතුරදී නැගී සිටි ප්‍රදේශවාසියෙක් මෙසේ පැවසීය. “මම හැමදාම සිල් ගන්න එක්කෙනෙක්. මම මගේ සල්ලිවලින් පූජාව තියල සිල් ගන්න ගියේ. ඔය හාමුදුරුවො මට පහර දීල මාව එලෙව්ව. එහෙම දායකයන්ට ගහනව නම් උපසම්පදා සීලයක් නෑ. දායකයන්ට කුණුහරුපෙන් බනිනව නම් උපසම්පදා සීලයක් නෑ.” මෙසේ මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන්ට විරෝධය දැක්වූ සියලුම දෙනා පාහේ සිංහල බෞද්ධයන් විය. එයම මේ ගැටලුවේ සැබෑ ස්වරූපය පැහැදිලිකර පෙන්වන්නකි.


දැන් නැවත නැවතත් දෙවනගල ඉඩම් ගැටලුව සිංහල බෞද්ධ අන්තවාදීන් විසින් මුස්ලිම් ජනතාව අරඹයා සිද්ධ කළ අන්තවාදී ක්‍රියාවක් බව පැහැදිලිය.


කෙසේ වෙතත් මුස්ලිම් ජනතාවට විරුද්ධව සිංහල බෞද්ධ අන්තවාදීන් ගැසූ ගැටයෙන් ඔවුන්ම සිරවන අතරතුර මාවනැල්ලේ බුදු පිළිමයකට කිසියම් පුද්ගලයෙකු ගල් ගැසීමේ සිදුවීමක් වාර්තා විය. මැදිරිගිරියේ පුඤ්ඤාසාර හිමියන්ට සිංහල බෞද්ධ ජනතාවම චෝදනා කරමින් උන් වහන්සේ ව්‍යාජ රංගනයක නිරත වන බව කියන්නේ පසුගිය දෙසැම්බර් විසිහතර වනදාය, බුදු පිළිමයට ගල් පහර එල්ල වන්නේ පසුගිය දෙසැම්බර් විසි අටවනදාය. එනම් විරෝධයෙන් දින හතරකට පසුවය. මුලින් එම පහර දීම මුස්ලිම් අන්තවාදීන් විසින් සිදු කරන ලද්දක් ලෙස පෙන්වමින්, නැවත වතාවක් මාවනැල්ල තුළ අන්තවාදී ගැටුමක් ඇති කිරීමට සිංහල අන්තවාදීන් උත්සාහ කළේය. එහෙත් පසුව එම උත්සාහය ව්‍යර්ථ වූයේ බුදු පිළිමයට පහර දුන් පුද්ගලයා සිංහලයෙකුම බව අනාවරණය වීමෙන් පසුවය. ඔහු නමින් ප්‍රියන්ත සම්පත් කුමාර නැමැත්තෙකි.


මේ නැවත වතාවක් තොණ්ඩුව කැරැකෙන්නේ කොයි දෙසටද? මාවනැල්ලේ සිංහල ජනතාවට බෞද්ධ අන්තවාදීන්ගේ නිරුවත හෙළිවන විට, ඔවුන් රට තුළ සිටින සිදුවීම පිළිබඳව නිවැරදි චිත්‍රයක් නොමැති සිංහල බෞද්ධයන් උසිගැන්වීමේ ක්‍රියාවක නිරත වේ.


මාවනැල්ලේ සිංහල සහ මුස්ලිම් සබඳතාව බිඳ හෙළුවේ මේ සිංහල බෞද්ධ අන්තවාදී සංවිධාන කිහිපයයි. එහෙත් නැවත වතාවක් දෙපිරිසටම මේ අන්තවාදය විසින් මවාපාන විශාල මායාව පෙනෙමින් පවතී.


මේසා දිගු ඉතිහාසයකට පසු දෙවනගල සිංහල බෞද්ධ මුස්ලිම් විරෝධය තීරණාත්මක මොහොතකට පැමිණ ඇත. දෙවනගල මායාවට නොරැවටී යථාර්ථය දැකිය යුතුය. ■