ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

මිනුවන්ගොඩ ප‍්‍රදේශයෙන් කොවිඞ් 19 රෝගීන් හඳුනා ගැනීමත් සමග ශ‍්‍රී ලංකාව තුළ විශාල වශයෙන් දිනකට කොවිඞ් ආසාදිතයන් හඳුනා ගනිමින් තිබෙන්නේය. මේ කොවිඞ් රැල්ල මීට පෙර ඇති වූ තත්ත්වයන්ට වඩා බරපතළ මට්මකට ව්‍යාප්ත වී ඇති බවටත්  ඕනෑ තරම් නිදර්ශන සමාජය තුළ දක්නට ලැබෙන්නේය. මෙරට සක‍්‍රීය රෝගීන් සම්බන්ධයෙන් සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය දක්වා තිබෙන ප‍්‍රස්ථාරය මේ වන විට පැහැදිලිවම විශාල නැග්මක් පෙන්නුම් කරමින් තිබෙන්නේය. (1.1 ප‍්‍රස්ථාරය) ඒ කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත රෝගය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් දක්වන නිර්වචනයක් වන සමාජ ව්‍යාප්තියකට තවමත් අප රට මුහුණ දී නැති බවට ශ‍්‍රී ලංකා වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරමින් ද සිටින්නේය. ඒ අතර විවිධ ප‍්‍රදේශවල පැතිරුණු සමාජය තුළින් රෝගීන් ද සෑම දිනකම වාර්තා වෙමින් තිබෙන්නේය.

කෙසේ වෙතත් පසුගිය කාලයේ කොවිඞ් 19 පාලනය වෙනුවෙන් තිබූ කලබලය මේ වන විට හීනවෙමින් යන බව ද පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේය. කොවිඞ් 19 අවදානම පහව ගොස් නැති බවටත් නව සාමාන්‍ය අවස්ථාවේ හැසිරිය යුතු ආකාරයත් සෞඛ්‍ය අංශ මහජනයාට දැනුවත් කිරීමේ අසීරු උත්සාහයක යෙදෙද්දී කොවිඞ් වසංගතය සම්පූර්ණයෙන් පහව ගොස් ඇති බව හා වසංගතය පරාජය කළ බවට උදම් ඇනූ කතාන්දර වලට පසුගිය කාලය පුරාම ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය දැවැන්ත ඉඩක් ලබා දුන්නේය. ඒ හරහා සමාජ ගත වූ විද්‍යාත්මක නොවන වැරදි පණිවුඩය දැන් ශීඝ‍්‍ර කොවිඞ් පැතිරීමක් ලෙස සමාජයෙන් මතුවීම එතරම් පුදුමයට කරුණක් නොවන්නේය. පසුගිය මැතිවරණ සමය වන විට කොවිඞ් සම්පූර්ණයෙන්ම පහව ගොස් අවදානම සම්පූර්ණයෙන්ම ඉවත් ව ගිය සේ හැසිරීමකට සමාජය පෙළඹවූ සියලූදෙනා අද හෝ හෙට මෙරට මුහුණ දිය හැකි දැවැන්ත අවදානමට වගකියනවා ද යන ගැටලූව තිබේ.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ 2020 ඔක්තෝබර් 29 දින වන විට තිබූ දත්ත අනුව කොවිඞ් 19 ආසාදිත රෝගීන් 9205ක් මෙරටින් වාර්තා වී තිබෙන අතර ඒ වන විටත් සක‍්‍රීය රෝගීන් 5111 ක් හඳුනාගෙන තිබේ. ඒ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සතිපතා නිකුත් කරන තත්ත්ව වාර්තාවේ 2020 ඔක්තෝබර් 25 වාර්තාව සඳහන් කරන්නේ අග්නිදිග ආසියානු කලාපයේ එම සතිය තුළ නව රෝගීන් සැලකිය යුතු වැඩිවීමක් වාර්තා කළ කලාපයේ එකම රට ශ‍්‍රී ලංකාව බවය. එවැනි පසුබිමක් මධ්‍යයේ මෙරට තුළ මෙතෙක් අනුගමනය කළ මධ්‍යස්ථාන තුළ නිරෝධානවීමේ වැඩපිළිවෙළෙහි ද වෙනස්කම් සිදුවූයේ ධාරිතාව ඉක්ම යෑම සමගය. රෝහල් ධාරිතාව ද ඉක්මයෑම් හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ද වෙනත් වැඩපිළිවෙළවල් ක‍්‍රියාත්මක කිරීමට එනම් අසාධ්‍ය රෝගීන් පමණක් රෝහල් ගතකිරීමේ වැඩපිළිවෙළක් වෙත මාරුවීම සිදුවූයේය. අධි අවදානම් ප‍්‍රදේශ කීපයක සංචරණ සීමා ද පනවා තිබෙන්නේය.

ඔක්තෝබර් 25 දින වන විට තිබූ දත්ත අනුව වසංගත රෝග විද්‍යා අංශය විසින් මෙරට අධි අවදානම්, අඩු අවදානම් ආදී ලෙස ප‍්‍රදේශ සිතියම්ගත කර තිබුණි. ඒ අනුව කොළඹ දිස්ත‍්‍රික්කයේ නුගේගොඩ, හංවැල්ල, අවිස්සාවේල්ල, බත්තරමුල්ල, දෙහිවල, කහතුඩුව, ගොතටුව, මොරටුව, කඩුවෙල, එගොඩ උයන ආදී ප‍්‍රදේශත් ගම්පහ දිස්ත‍්‍රික්කයේ රාගම, මිනුවන්ගොඩ, වත්තල, දිවුලපිටිය, ජාඇල, කටාන, සීදුව, ගම්පහ, අත්තනගල්ල, වේයන්ගොඩ, කැලණිය, මහර, දොම්පේ, පූගොඩ, මීරිගම, බියගම, මීගමුව, කටුනායක යන ප‍්‍රදේශ අධි අවදානම් ලෙස නම් කර තිබෙන්නේය. කළුතර දිස්ත‍්‍රික්කයේ කළුතර, බණ්ඩාරගම, මතුගම, පානදුර, වාද්දුව ද පුත්තලම දිස්ත‍්‍රික්යේ පුත්ලම, මුන්දලම, ආනමඩුව ද කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ අලව්ව, කුලියාපිටිය-නැගෙනහිර, උඩුබද්දාව, නාරම්මල, පන්නල කටුපොත, කුලියාපිටිය, දඹදෙනිය යන ප‍්‍රදේශ ද අධි අවදානම් කලාප ලෙසට එහි දක්වයි. මහනුවර දිස්ත‍්‍රික්කයේ ගම්පොළ, කඩුගන්නාව ද, මාතලේ දිස්ත‍්‍රික්කයේ පල්ලෙපොළ, වැලිගමුව ද, රත්නපුර දිස්ත‍්‍රික්කයේ කහවත්ත ද අධි අවදානම් ලෙස නම් කර තිබෙන අතර, කෑගල්ල දිස්ත‍්‍රික්කයේ මාවනැල්ල, රුවන්වැල්ල, අරණායක ද අධි අවදානම් කලාපයට අයත්ය. උතුරු පළාතේ වේලනායි, කන්ඩවලයි, වවුනියාව ද, නැගෙනහිර පළාතේ මහඔය ද අධි අවදානම් වේ. ඌව පළාතේ මැදගම ද, දකුණු පළාතේ සූරියවැව, බෙලිඅත්ත, අකුරැුස්ස, පස්ගොඩ, හික්කඩුව, බලපිටිය, ඉමදුව යන ප‍්‍රදේශ ද අධි අවදානම් ලෙස එහි සිතියම් ගත කර තිබේ. ඊට අමතරව තවත් ප‍්‍රදේශ ගණනාවකම විවිධ මට්ටමින් අවදානම ඇති බවට එහි සඳහන්ය. 

මිනුවන්ගොඩ රෝගී පොකුර සමග සිදුවන පරීක්ෂණ හරහා දිනෙන් දින මේ ආකාරයට රෝගීන් හඳුනා ගැනීමත්, අධි අවදානම් ලෙස ප‍්‍රදේශ නම් කිරීමත්, සංචරණ සීමා පැනවීමත් සිදුවුවවත් පරීක්ෂණ නොකළ පුද්ගලයන් හා පරීක්ෂණ නොකළ ප‍්‍රදේශවල අද ද කිසිදු අවදානමක් නැතැයි සිතා ලිහිල් හැසිරීමක සිටිය යුතු තත්ත්වයක් රට තුළ ඇතැයි සිතිය නොහැකිය. පරීක්ෂණ මගින් හඳුනා ගන්නා රෝගීන් අතිවිශාල සංඛ්‍යාවක් වන බැවින් ඔවුන්ගේ සංචරණයන් සම්බන්ධයෙන් ද ඉතා ඉක්මන් තීරණවලට එළඹිය නොහැකිය. ඔවුන් රටේ විවිධ ප‍්‍රදේශවල විවිධ අවස්ථාවලට සංචරණය වූවාට සැක නැත. එමෙන්ම සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ පරීක්ෂණ මගින් සොයා ගන්නා මේ රෝගීන්ගෙන් 80%ක් පමණ සංඛ්‍යාවක් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන බවය. එසේ නම් රෝගය තවමත් හඳුනා නොගත්, පරීක්ෂණ නොකළ බොහෝ දෙනෙක් ද රෝගය වැළඳී සුවවූ නමුත් හඳුනා නොගත් පිරිස් සමාජගතව සිටිය හැකි බවය. බොහෝ විට මෙම වෛරසය ශරීරගත වූ පසු රෝග ලක්ෂණ මතු වන්නේ හා අසාධ්‍ය තත්ත්වයට පත්වන්නේ වයස්ගත පුද්ගලයන්, ගැබිනි මව්වරුන්, කුඩා දරුවන් හා වෙනත් රෝගාබාධ සහිත පුද්ගලයන් වීමය.

වසංගතය පිළිබඳ ඉදිරිය කිව නොහැක

ජාතික විද්වත් සංවිධානයේ ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හිටපු වසංගත රෝග විද්‍යාඥ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක, ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ

ඔක්තෝබර් මාසයේ මුල සිට ආසාදිතයින් වැඩිවීමක් අපට පෙනෙනවා. ඒ වැඩිවීම රෝගීන් වාර්තා වුණු ප‍්‍රමාණයට හා පීසීආර් කිරීම අතර සම්බන්ධතාවට සාපේක්ෂ වෙනවා. නමුත් ඒ දෙකම අනුව පසුගිය සති තුන තුළ රෝගී වාර්තාවීමේ වැඩිවීමක් අපට පෙනෙනවා. මුලින්ම ඒක ආයෝජන කලාප සීමාවේත් ඊළඟට බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව හා ඒ අවට කර්මාන්තශාලා වලිනුත් ඉන් පසු රට පුරා නගර ගණනාවක වාර්තාවීමක් දැන් තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය විසින් සමාජ ව්‍යාප්තියක් නැහැ කියලා කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනයට අනුවයි. මූලාශ‍්‍රය සොයා ගත නොහැකි ආසාදිතයන් වාර්තා වෙනවා නම් ඒක ක්‍දපපමබසඑහ ඔර්බිපසිිසදබ  කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්වචනය කරනවා. ඒක අපේ රටේත් බොහෝ විට වසංගත රෝග විද්‍යා අංශය අපට කියන්නේ ඒ අය පීසීආර් පොසිටිව් වුණු අයව විමර්ශනය කළාම ඊට පෙර හමුවූ ආසාදිතයෙකුගේ කිසියම් සම්බන්ධතාවක් ලැබෙනවා ඇති. එහෙම කියන්නේ ඒ නිසායි. නමුත් බ‍්‍රැන්ඩික්ස් ආයතනයට මේක කොහොමද පැතිරුණේ කියලා අපිට තවම කිවුවේ නැහැ. ඒ එක්කම දැනට මේ වන විට මාළු වෙළෙඳ සංකීර්ණ හරහා රෝගීන් වාර්තා වෙලා තියනවා. ඒ සියල්ලම හරියටම විමර්ශනය කළා ද කියලා මම හරියටම දන්නේ නැහැ. කොහොම වුණත් දැනට තියෙන තත්ත්වය තුළ හැම කෙනාගේම මූලාශ‍්‍රය හොයාගන්න පුළුවන් වුණා කියලා අපිට හිතන්න අමාරුයි. නමුත් වසංගත රෝග විද්‍යා අංශය එහෙම කියනවා නම් අපිට ඒ ගැන මොනවත් කියන්න බැහැ. නමුත් රෝගීන් විශාල ප‍්‍රමාණයක් රටේ විවිධ ප‍්‍රදේශවල ව්‍යාප්තවෙලා කියලා බැලූ බැල්මට පෙනෙනවා.

මීට පෙර මුළු රටේම සංචරණ සීමා කිරීමට රටටම ඇඳිරි නීතිය දැමීම වැනි ක‍්‍රියාමාර්ග ගැනීමට හේතු ගණනාවක් තිබුණා. ඒ වන විට මේ රෝගය මොන විධියේ හානි ඇති කරයි ද කියන දේ ලෝකය දැනගෙන හිටියේ නැහැ. විශේෂයෙන්ම ඉතාලියේ, ඇමරිකාවේ සහ චීනයේ වූ මරණ සංඛ්‍යාවත් එක්ක ඒක භයානක තත්ත්වයක් කියලා හැමෝම හිතුවා. නමුත් ලංකාවේ බොහෝ අයට එහෙම ප‍්‍රශ්නයක් නැහැ කියලා දැනෙන්න ඇති. ඒ නිසා පසුගිය වාරයේ වැනි ලොකු ක‍්‍රියාමාර්ග ගත්තේත් නැහැ. ඒ හැරුණු විට ආණ්ඩුවේ අයට පසුගිය වාරයේ මැතිවරණය තියාගැනීමේ විශේෂයෙන්ම වුවමනාවක් තිබුණා. ඒ නිසා ඒ සඳහා ගත යුතු හැම පියවරක්ම ගත්තා. ඒකට සාපේක්ෂව මෙවර හැමෝටම හදිසියක් නෑ වගේ පේනවා. වසංගතයක දී දැන් තිබෙන තත්ත්වයට ගන්නා ක‍්‍රියාමාර්ග හෙට හෝ අනිද්දා වෙද්දී වෙනස්වීම අවශ්‍ය වෙනවා. ඒක නිරන්තරයෙන් විද්වත් කමිටුවක් විසින් සොයා බැලීම් කර අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්න  ඕනෑ. එහෙම නැතිව අපි රට වහන්නේම නෑ, එහෙම කරලා කොහොම ද වැනි ප‍්‍රකාශ වසංගතයක දී කරන එක තේරුමක් නැහැ. මොකද ලබන සුමානයේ විය හැකි දේ වසංගත තත්ත්වයක දී අපිට අද තීරණය කරන්න බැහැ.

සාද පවත්වන්න එපා

ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය

ලංකාවේ දිස්ත‍්‍රික්ක 25ටම දැන් රෝගීන් ව්‍යාප්ත වෙලා තියනවා. ව්‍යාප්ත වෙන්න නම් වාහකයෙක් සංචරණය වෙන්න  ඕනෑ. ප‍්‍රදේශයකින් තවත් ප‍්‍රදේශයකට රෝගය තවදුරටත් පැතිරීම වළක්වන්න නම් විශේෂයෙන්ම එම තැනැත්තන් මුලින්ම හඳුනා ගන්න  ඕනෑ. රෝගීන් ප‍්‍රතිකාර සඳහා යොමුකර ආශ‍්‍රිතයන් සංචරණය වීම වළක්වන්න  ඕනෑ. ඔවුන් නිරෝධායනයට යොමු කරන්න  ඕනෑ. ඒ දෙක හරියට වෙනවා නම් තවත් ප‍්‍රදේශවලට රෝගය ව්‍යාප්ත වෙන්නේ නැහැ. අනෙක් දේ අවදානම් කලාප ලෙස නම් කළ ප‍්‍රදේශවල රෝගීන් සහ ආශ‍්‍රිතයන් වැඩියි. ඒ වගේම පළමු ආශ‍්‍රිතයන් දෙවැනි ආශ‍්‍රිතයන් ආදී ලෙස ආශ‍්‍රිතයන් සොයා යෑමත් ඉතාම අපහසුයි. ඒ නිසා සංචරණ සීමා පැනවූ ප‍්‍රදේශවල ඒවා ඉතා තදින් ක‍්‍රියාත්මක විය යුතුයි. සංචරණ සීමා පනවන්නේ සංචරණය වීම වළක්වන්න වුණත් ඒ තැන්වලත් සාද පැවැත්වීම් එක්රොක්වීම් වෙනවා නම් මේක විහිළුවක් බවට පත් වෙනවා. ඒ තාක්ෂණික කාරණාව තවමත් හරියාකාරව අවබෝධ කරගෙන නැති බව පෙනෙනවා. එක එක අය එක එක තීරණ ගැනීම ගැටලූවක් බවට පත්වෙලා තිබෙනවා. මොකද සංචරණ සීමා පනවා ඇති ප‍්‍රදේශවලත් ඉහළ බලධාරීන්ගේ අනුමැතීන් ලබාගෙන සාද පවත්වන අවස්ථා වාර්තා වෙනවා. අඩුම තරමේ පනතේ බලධාරීන් ලෙස සිටින නිලධාරීන් හෝ සම්බන්ධීකරණය වී ඒ උපදෙස් මත කටයුතු කරන ක‍්‍රමයක් හෝ ඇති විය යුතුයි. එසේ නැතිව කටයුතු කිරීම නිසා මේක පාලනයෙන් ගිලිහුණොත් බැම්මක් කඩාගෙන ගියා වගේ සියල්ල යට වෙයි.

රට නොවසා බේරාගත යුතුයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ

සක‍්‍රීය රෝගී සංඛ්‍යා ඉහළ යෑම සමග සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව පිළිබඳ ගැටලූවකටත් අපි මුහුණ දී තිබෙනවා. මේක සමාජ ව්‍යාප්තියකට ගිහින් නැහැ කියලා වසංගත රෝග විද්‍යා අංශය කියනවා. නමුත් දවස ගාණේ රෝගීන් වාර්තා වෙන්නේ සමාජයෙන්. ඒ නිසා සමාජ ව්‍යාප්තියක් කරා යන්න දෙන්නේ නැතිව එතැනින් මෙහා රට බේරා ගැනීම වගකීමක්. මොකද සමාජ ව්‍යාප්තියකට යනවා කියන්නේ රට පිළිබඳ තිබෙන මේ චිත‍්‍රය සම්පූර්ණයෙන් උඩු යටිකුරු වෙනවා. සියලූම සෞඛ්‍ය ධාරිතාවන් ඉක්ම යනවා.  ඒ නිසා මොන විධියේ මතවාද දැරුවත් වැදගත් වෙන්නේ රට වැහෙන්නේ නැතිව ඊට මෙහා තැනකින් මේක බේරා ගැනීමයි. රටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 356න් රතු කලාප ලෙස හඳුනාගෙන තිබෙන්නේ 30ක් වැනි ප‍්‍රමාණයක්. නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙන්නේත් පොලිස් බල ප‍්‍රදේශ 68කටයි. ඒකෙන් පෙනෙන්නේ රටේ බහුතර ප‍්‍රදේශ තවම අවදානම් කලාප බවට පත්වී නැහැ. ඒ නිසා මේ වෙලාවේ රතු කලාප ටික පුළුවන් තරම් අඩු වන පරිදි කටයුතු කිරීමට රජයේ සහ සෞඛ්‍ය අංශවල වගේම ජනතාවගේත් ප‍්‍රධාන වගකීමක් තියනවා. අපට පාලනය කරගත හැකි මට්ටමට ඒවා අඩු කර ගැනීමට සියලූදෙනාටම වගකීමක් තියෙනවා. වසංගත රෝග විද්‍යානුකූලව බැලූවාම සංචරණ සීමා පැනවීමේ දී යම් කාල සීමාවක් දීමේ ගැටලූව අපි දකිනවා. මොකද අද ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක වන බව ඊයේ නිවේදනය කිරීම හරහා එක් පළාතක තිබෙන අවදානම අනෙක් පළාත්වලට ව්‍යාප්ත වෙනවා. මොකද මිනිස්සු වෙනත් ප‍්‍රදේශය කරා යනවා. දැනටමත් එහෙම ගිය කොටසක් ඉන්නවා. ඒ අය යන්නේ පීසීආර් පරීක්ෂණ කර තමන්ට රෝගය නැති බවට තහවුරු කරගෙන නෙමෙයි. ඒ වගේම දින කීපයක් පමණක් සංචරණ සීමා පැනවීම ප‍්‍රමාණවත් ද කියන ගැටලූවත් තිබෙනවා. අපි මේ තත්ත්වය පාලනය කරගැනීම සම්බන්ධයෙන් යෝජනා 6ක් මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here