ටිරන් කුමාර බංගගමආරච්චි


විජය කුමාරණතුංග ගැන ගියවර ටී.එම් ප්‍රේමවර්ධනයන් ලියූ ලිපියක දීර්ඝ විස්තරයක් විය. එහි එක් වාක්‍යයක් මා සිත් ගත්තේය. එය ප්‍රේමවර්ධනයන්ගෙන්ම උපුටමි. “විජය කුමාරණතුංගගේ යාපනය සංචාරය ලංකාවේ නව දේශපාලන අපෙක්ෂා දැල්වූවක් විය.” මම දැන් මෙතැන් සිට ප්‍රේමවර්ධනයන් අත්හරිමි. එහෙත් ඇතැම් තැනකදී ඔහුට අත වනාගෙන යමි.


විජය කුමාරණතුංග ගැන මට ඇත්තේ කියවා ගොඩ ගසා ගත් දැනුමකි. බොහෝ අය සම්බන්ධයෙන්ද එසේමය. විජයගේ යාපනයට ගිය ගමන මෙරට ජනවාර්ගික ප්‍රශ්නය ගැන ප්‍රබලතම මැදිහත්වීමක් බව මගේ කියවීමය. එහෙත් එයට නිසි තැනක් නොලැබුණේ යැයිද අනෙක් අතට හැඟෙන දෑය. ජනප්‍රිය අර්ථයෙන් හෝ විජේවීරටත් නොතිබූ මානයක් ජනවාර්ගික ප්‍රශ්නය අරබයා විජයට තිබූ බව ඔහුගේ යාපනයට ගිය ගමනින් ඔප්පු විය. එහෙත් එම ගමන සුවිශේෂී දේශපාලන ස්ථාවරයකට වඩා මට හැඟෙනුයේ ජනප්‍රිය සංචාරයක් ලෙසය. ඒ අර්ථයෙන්ම වුව එය වටිනේය. විජය යනු ජනප්‍රියතම නළුවෙකි. එහෙත් ඔහු දේශපාලකයෙක් ලෙස ඉතාම ළාමකය. ඒ මගේ කියැවීමය. ප්‍රේමවර්ධනයන්හි ලියැවීම තුළ ඔහු දේශපාලන පරිණතයෙකි. අහෝ!


ඔහු ජනප්‍රිය නළුවකු වුවත් බොහෝ ප්‍රදේශවල ඔහු දේශපාලකයකු ලෙස කරක් ගැසූ කල්හී ජනයා වැඩිමනත් ඔහු හඳුන්වා ඇත්තේ බණ්ඩාරනායක මහත්තයාගේ බෑණා යනුවෙනි. එසේ නම් විජය වටා දැවටෙන දේශපාලන චරිත ඔහු පෙරමුණේ තබා ගැනීමේ රහසද එයමයැයි සිතන්නට මම කිසිදු වෙහෙසක් නොගනිමි. විජයගේ ජනප්‍රියකම හැරුණු කොට ඔහුගේ දේශපාලනය මෙහෙය වූ එය දියත් කළ සුක්කානම චන්ද්‍රිකාය. ප්‍රබල දේශපාලන චරිත විජය පසුපස ගියේ ඔහු සතු සුක්කානම දේශපාලනයේ ප්‍රබලතම නාමකරණයක් වූ නිසාය.


පසුකාලීනව වුව චන්ද්‍රිකාට එකෙන්ම කරට ගෙන දිනවන්න පුළුවන් වුණේ ඇයි? ඒ ඇය ජානමය වශයෙන්ම දේශපාලන පවුල් ගසක ඵලයක් නිසාය. මෙය තදටම වටහා ගත්තේ අන් කාටත් වඩා විජයමය. ඔහුට නැති දේශපාලන හයිය පිටින් ගන්නට හපනෙක් විය.


චන්ද්‍රිකාට අමතරව විජය සතු දේශපාලන දර්ශනයක් වී නම් එය ඔහුගේ මාමා වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා විසින් එන්නත් කළ දෑකි. වමේ දේශපාලන පතාකයෝ විජයට දපනේ වැටීමේ විද්‍යාව කාලෝමය. ඔහු පැරණි සමසමාජ පාක්ෂිකයෙකි. (නළුකමත් විජය සතු ආකර්ෂණීය කතාවත් හැරුණු කොට ඔහුට දේශපාලන පරිණතභාවයක් තිබුණැයි නොපෙනේ.


මට ලියන්න ඕනෑ වූයේ මේ ටික නොවේ. එහෙත් ප්‍රේමවර්ධන එළි කළ පාරෙන් මගේ පාරට මාරු වන්නට ඕනෑ විය.
විජය කුමාරණතුංග, එච්.ආර්. ජෝතිපාල, ගාමිණී ෆොන්සේකා යන තිදෙනාම 83, ජූලි කෝලාහලය වේලාවේදී හැසිරී ඇති ආකාරයන් ගැන බොහෝ කියැවීම් හරහා එකතු කර ගන්නට මට හැකිවිය. එකල මේ සමාජයේ දැවැන්ත කලා පෞරුෂ වූ මේ චරිත කොතරම් නිර්භීත ලෙස දෙමළ ජනයා බේරා ගන්නට තම හැකි පමණින් දායක වී ඇත්ද යන්න කියවන විට මේ තිදෙනා කෙරෙහි ඇතිවන ආදරය නිම්හිම් නැත. සැබෑ කලාකරුවෝ මොවුහු නොවෙත්ද? කලාව යනු සමාජ ඛේදවාචකයන්ට නිර්මාණයකින් විරුද්ධ වීම පමණක්ද?


ජනවාර්ගික අර්බුදයට එරෙහි චිත්‍රපටවල විජය රඟපෑවේ නැතත්, ඔහු ඇඟෙන්ම ඊට විරුද්ධය. ඒ බව 83 ජූලි කලබලවලදී ඔහු ඔප්පු කොට ඇත. ජෝති තම අසල්වැසි දමිළ ජනයාට අත නොතබන්නට තාප්පයක් වී ඇත. ගාමිණී චිත්‍රපටහී චණ්ඩියාට අමතරව සැබෑ ජීවිතයේදී ද ඒ මොහොතේ චණ්ඩියාම වී ඇත. මේවා අපූරුම චරිත නොවේද? අදටත් මිනිසුන් මොවුන්ට ආදරය කරනුයේ කලාවට අමතරව ඔවුන් තුළ තිබූ මේ උදාර මනුෂ්‍ය ගති ගුණත් නිසා නොවේද? මිනිසුන් ඔවුන්ට ආදරය කරන තරමටම පෙරළා ඔවුන්ද මිනිසුන්ට ආදරය කළ නිසා නොවේද?


එහෙත් අද තත්ත්වය කුමක්ද? අද කලාකරුවන් යැයි කියා ගන්නා ළාමක තරු ජාතිවාදී ගින්නෙන් ඇවිළෙනුයේ දේශපාලකයන්ටත් වඩා වියරුවෙනි. භික්ෂුව ඇරුණු කොට ජාතිවාදය පෙරට ගෙන ඇති අනෙක් නඩය මේ නළු නිළි රැළය.
විජය, ගාමිණීලාගෙන් පසු කරළියට ආ වත්මන් නළු පරම්පරාව මොනතරම් දේශපාලනිකව, මතවාදීව හිඟනද? සිංහල බළකාවල අද වැඩිපුරම ඇත්තේ නවක නළු නිළියෝය.


විජේවීර ඉපැද්දූ වීරවංශලාගේ වේදිකාවේ ජාතිවාදී පිදුරුගොඩට ගිනි තබන්නේ කසඩ නිළියන්ය. නළු, නිළි කැළ කොයි දේශපාලන වේදිකාවට නැග්ගද කම් නැත. එහෙත් ඔවුහු විජය, ගාමිණී, ජෝති මෙන් විය යුතුය. සැමට ආදරය කරන මිනිසුන් විය යුතුය. ඔවුන්ට අදටත් ජනයා උමතුවෙන් මෙන් ආලය කරනුයේ ඔවුන්ගේ ලස්සන, රංගනය, හඬ මෙන්ම ඔවුන් තුළ තිබූ උදාර මිනිස්කම නිසාය. නව පරම්පරාව උගත යුත්තේ එයය.


ඒවා ව්‍යාජ රඟපෑම් නොවේ. 83 ජූලි කලබලවලදී මනාව ඒ බව ඔප්පු කොට ඇත. එහෙත් යුද්ධය අහවරවීමත් සමග වත්මන් නළු නිළි කැළ (සැම නොව අන්ත ජාතිවාදී රංගනයක නියැළුණෝය. මොවුන් කලාව තුළද අති දක්ෂයන් නොවෙති. එහෙත් ජනප්‍රිය තරුය. මේ තරු තව ජනප්‍රිය වන්නේ ජාතිවාදී හංවඩුව කොටා ගනිමිනි. එයට මොවුහු බෙහෙවින් ඇලුම් කරති. ජාතිවාදී වන තරමට මොවුන්ට හෙටක් ඇත. වේදිකාවක් ඇත.


එදා විජය යාපනයට ගියේ ජනප්‍රිය හෝ සම්මුතියකටය. අද නළුවෝ යාපනයට යනුයේ සමරන්නටය. නිළියෝ නම් එදත් එකය. අදත් එකය.


විජයගේ රූපය ගැන තලු මරණ අය, නවක කැළ වටහාගතයුත්තේ ඔහුගේ රූපය මෙන්ම හදවතද සුන්දර බවය. නිහාල් නෙල්සන්, එච්.ආර්. යනු හදවත රත්තරන් කියා ජෝතිට කීවේ ඔහුගේ ගීතවල අපූරුකම මෙන්ම මිනිසකු ලෙසද ඔහුට උදාර හදවතක් තිබූ බැවිනි. ගාමිණීගේ නළු පෞරුෂය වනන අය වටහා ගතයුත්තේ ඔහු තුළ අන් ජාතීන් වෙනුවෙන් මියැදෙන්නට වුව පෞරුෂයක් තිබූ බවය.


ප්‍රේමවර්ධනයන් සිටිනුයේද විජය, ජෝති, ගාමිණී පරපුරේමය. එහෙත් අභාග්‍ය අප නියෝජනය වනුයේ මේ නූතන පරපුරේවීමය. ඒ නිසාම ප්‍රේමවර්ධනයන්ට ජාතිවාදය පරාජය කළ නොහැකිදැයි ප්‍රශ්නයක් මතුවන විට මට හැඟෙන ප්‍රශ්නය අද ජාතිවාදය ව්‍යාප්තව නැත්තේ කොතනද යන්නය.


ජාතිවාදය පරාජය කරන්නට නම් මුලින් වෙනස් විය යුත්තේ දේශපාලකයා නොව කලාකරුවාය. අද දේශපාලකයාට වඩා නරක කලාකරුවාය. ඒ ගැන ලිවීම හෙමි හෙමිහිට කරමු.