විමලනාත් වීරරත්න

ඉදිරියේදී පැවැත්වෙන සියලු මැතිවරණවලදී තරුණ ප්‍රජාව සඳහා 25%ක නාමයෝජනා ලබාදීම පිළිබඳව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් බාකර් මහතා පාර්ලිමේන්තුව ඉදිරිපත් කර ඇති යෝජනාව පැති කිහිපයකින් සාකච්ඡා කළ යුත්තකි. විශේෂයෙන්ම තරුණ පරම්පරාව රට මුහුණ දී සිටින ප්‍රශ්න සම්බන්ධයෙන් සිතන්නේ කෙසේද හා ඔවුන්ගේ පුද්ගලික මෙන්ම පොදු අරමුණු කවරේද යන කරුණු මෙහිදී ඉහත යෝජනාවට තවදුරටත් අරුත් සපයනු ඇතැයි කල්පනා කළ හැකිය. මෙරට වැඩිහිටි දේශපාලකයන්ට ලංකාවේ අනාගතය පිළිබඳව තාර්කික පුරෝකථනයක් ඇතැයි සිතිය නොහැකිය. එසේ තිබුණි නම් රට මෙවන් අභාග්‍යසම්පන්න තත්ත්වයකට මුහුණපාන්නේ නැත. අනෙක් අතට වැඩිහිටි දේශපාලකයන්ගේ ආශිර්වාදය මත දේශපාලන පක්ෂවලට සම්බන්ධ වී පාර්ලිමේන්තුවටත් තේරී පත් වූ තරුණ දේශපාලනඥයන්ට නායකයන් සේ ම කකුළු ගමනක යෙදෙනවා හැර තමන් සිතන පරිදි ස්වාධීනව තීරණ ගැනීමේ හැකියාවද අහිමි කර තිබේ. පොජපෙන් මෙන්ම එජාපයෙන්ද ඉකුත් මැතිවරණවලදී පාර්ලිමේන්තුවට තේරී පත්වූවන්ට සිය පක්ෂවල ලිඛිත ප්‍රතිපත්තීන්ට වඩා නායකයන්ගේ සිතැඟි පරිදි ක්‍රියා කිරීමට සිදුවී තිබීම අභාග්‍යසම්පන්න තත්ත්වයකි.


අනූව දසකයට ගියහොත් පොදු ජන එක්සත් පෙරමුණෙන් දේශපාලනයට පිවිසි උගත් තරුණයකු වන ඩලස් අලහප්පෙරුම මේ වනතුරුම කිසිදු චෝදනාවකට ලක් නොවූ, ගෞරවය රැකගෙන කටයුතු කරන දේශපාලනඥයෙකි. ප්‍රජාතන්ත්‍රවාදය විෂයෙහි නම් මෙම අදහස සාපේක්ෂ වන බවද කිව යුතුය. කුණුවී මජර ගලන දේශපාලන ක්‍රමය තුළ ඒ මට්ටමින් හෝ ප්‍රාණ වායුව රැකගෙන සිටීමට විශාල ඉවසීමක් හා කැපවීමක් අවශ්‍යය. එහෙත් අප තරුණයන් දේශපාලනයට ප්‍රවිෂ්ට වීමෙන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ දැනුම, කැපවීම හා ස්වාධීන සිතීම උපයෝගී කරගෙන ලංකාව නවීන රටක් බවට පත්කිරීමය. පැවරුණු රාජකාරිය හැකි උපරිම මට්ටමින් කරගෙන සිටිනු විනා දැනුම කේන්ද්‍රීයව ස්වාධීන චින්තන ධුරාවලියක් අභ්‍යාසය බවට පත්කර ගැනීමට යත්න දැරුවේ නම් ඩලස් වැනි සාපේක්ෂව හෝ බුද්ධිවාදීව කටයුතු කරන ඇමතිවරයකු වෙනුවට කිසියම් හරන්තිකයකුගෙන් ඒ ඉඩ පිරවෙන්නට තිබුණි. රටට අවශ්‍ය ස්වාධීනව හිතන පතන, වැඩ කරන තරුණයන් එම අත්‍යවශ්‍ය අභ්‍යාසය නිසා විතැන් නොකැරෙන දේශපාලනයකි.


70 දශකයේ දේශපාලනයට පිවිසි රනිල් හා ලලිත් ඇතුළත්මුදලි ගතහොත් ඔවුන් දෙදෙනාටම කැපී පෙනෙන කාර්යයක් කිරීමට හැකිවූයේ ජයවර්ධන ආණ්ඩුව තුළ කවර සීමාකම් තිබුණත් දැවැන්ත ව්‍යාපෘතීන් දෙක තුනක් හෝ ක්‍රියාත්මක වීම හා ඒවායේ වගකීම් තරුණ හා උගත් දේශපාලනඥයන්ට පැවරීම නිසාය.


ලලිත් අද පවා උසස් අධ්‍යාපනය හදාරණ සිසුන්ට මහත් පිටිවහලක් වූ මහපොළ ශිෂ්‍යාධාර ක්‍රමය ඇති කරන විට රනිල් අධ්‍යාපන ඇමති ලෙස අධ්‍යාපන විද්‍යා පීඨ ඇරඹීය. එමෙන්ම ඉංග්‍රීසි පුහුණු ගුරුවරුන් බිහිකරන ඩෙලික් ව්‍යාපෘතිය ඇරඹුවේය. ගාමිණී මහවැලි ව්‍යාපාරයට නායකත්වය දුන්නේය. මේවා රටක අධ්‍යාපන හා සංවර්ධන ක්‍රියාවලියෙහි වැදගත් කඩඉම් වූයේය. වර්තමානයේ දේශපාලනයට එන තරුණයන්ට තමන්ගේ යැයි කිව හැකි උප්පත්තිය දුන් වැඩසටහනක් නැති බව ප්‍රත්‍යක්ෂ කරුණකි. නිදසුනකට ෂෙහාන් සේමසිංහ වැනි තරුණ දේශපාලනඥයෙක් ගතහොත් ඔහු අනුකාරකයෙක් මිස රට පිළිබඳ තමන්ගේ යැයි කිව හැකි ස්වාධීන චින්තනයකින් ක්‍රියාකරන්නකු නොවේ. ජනාධිපති වතුර මෝටරය අලුත්වැඩියා කිරීමටත් හමුදාපතිට භාරදෙන පටු සීමාව තුළ තරුණයන් අතරින් පර්යේෂක දේශපාලනඥයකු බිහි කැරෙන විභවයක්ද නැත. ගෙවිඳු කුමාරතුංග, අනූප පැස්කුවල් වැනි අය මෙම උභතෝකෝටිකයකට මුහුණ පා සිටිනවා වන්නටද පුළුවන. මහාචාර්ය චරිත හේරත් වැනි අයට පවා දැනුම ප්‍රමුඛව ඉස්මතුවීමට අවස්ථාවක් නැත. ඒ වෙනුවට ඉස්මතු වී පෙනෙන්නේ අට පහ නොදත් අන්තේවාසික මොනර නැට්ටුවන්ය. අලුත් මන්ත්‍රීවරුන් සිටින්නේ අකුණු ගසන විට මිදුලට විසි කිරීමට නොව ජනපතිගේ හා ආණ්ඩුවේ ව්‍යාපෘතිවලට ගාමක බලයත් සැපයීමටය. එවැන්නක් සිදු නොවේ. එවැනි වැඩසටහන්ද නැත.


ඉමිතියාස් මහතා 25%ක නාමයෝජනා තරුණයනට ලබාදිය යුතුය යනුවෙන් කරන යෝජනාව ඉතා වැදගත් වුවත් අප එම අවස්ථාව ලබාදෙන්නේ කවර මට්ටමේ තරුණයන්ටද යන්න විමසා බැලිය යුතුය. වසර 10ක් පමණ පාර්ලිමේන්තුවේ අත්දැකීම් ඇති නාමල් රාජපක්ෂට පවා නවීන අදහස් ඇතැයි සිතීම උගහටය. ඔහු තවමත් කරන්නේ ක්‍රීඩාව සඳහා කමිටු පත් කරමින් කරන අත්හදා බැලීම් ක්‍රියාවලියකි. ඔලිම්පික් ක්‍රීඩකයන් 09 දෙනකු සමග නිලධාරීන් හැටකට ආසන්න ප්‍රමාණයක් ජපානයට ගිය බව කියවෙයි. එය ඇත්තක් නම් නාමල් මොන ක්‍රීඩා ඇමැත්තෙක්දැයි යන ප්‍රශ්නය නැගිය යුතුව ඇත. සජිත් ප්‍රේමදාස ගතහොත් ඔහු සිය පියා විසින් ඇරඹූ නිවාස ඉදිකිරීමේ වැඩසටහන ඉදිරියට ගෙන යාමට අතිරේකව ඔහුගේ නිර්මාණයක් වූයේ ‘සසුනට අරුණ’ය. අරුණ ඕනෑ සසුනට නොව රටේ බහුතරයක් වූ දුක් විඳින ජනතාවගේ ජීවිතවලට බව සජිත් තේරුම් ගෙන ඇත්දැයි යන්න සැකසහිතය. රටේ කිසිම ප්‍රශ්නයක් ගැන අඩ ගැඹුරු හෝ විග්‍රහයක් නැති ප්‍රේමදාසට පවතින යල්පැන ගිය ක්‍රමයෙහි වෙනසක් කළ හැකි යැයි සිතීමට සාක්ෂ්‍යය ඔහු විසින් ඉකුත් වසර විස්ස තුළ සපයා දී නැත. පොදු ජන පෙරමුණේ ඩී.වී. චානක, කාංචන විජේසේකර මෙන්ම සමඟි ජනබලවේගයේ හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්ධන වැනි තරුණයන්ගේ ඉදිරි ගමන් මග වැටී තිබෙන්නේ නාමල් සහ සජිත් සහ බමුණු කුලයේ නායකයන් පසුපස්සෙහිය. ඒ ගමනින් රටට හරියයි කියා කවුරු හෝ සිතනවාද? පාර්ලිමේන්තුව තුළ වියපත් දේශපාලකයන් බහුතරයක් සිටින තත්ත්වය තුළ තරුණ පිරිසක් එම තනතුරුවලට පත්වීම වැදගත්ය. ප්‍රශ්නය වන්නේ ඔවුන්ට සාධනීය මගපෙන්වීමක් කිරීමට තරම් පරිණත දේශපාලනඥයන් නැති එකය. උඹ පාර්ලිමේන්තුවේ සිටින අසවල් ඇමතිවරයා වගේ වෙයන් කියා දේශපාලනයට එන තරුණයන්ට කීමට තරම් සාර වැඩිහිටි දේශපාලනඥයකු ලංකාවේ සිටිත්ද? වැඩිහිටියකු වන ගාමිණී ලොකුගේ පෙන්වා උඹ ඒ වගේ වෙයන් කියන්නද? නැතහොත් මැදිවියේ පුද්ගලයෙකු වන මහින්දානන්ද පෙන්වා ඒ වගේ වෙයන් කියන්නද? විපක්ෂයේ සිටින සමරවීර පෙන්වා ඒ වගේ වෙන්න බලපන් කිව හැකිද?


ලංකාවේ ජනයා කල්පනා කරන්නේ දේශපාලනය කරන සියයට අනූවක්ම ජනතා දේපළ මංකොල්ල කන බවය. තමන් දුකෙහි හෙළා සැප විඳින බවය. එවැනි හැඟීමක් හේතු රහිතව පැන නොනගියි. කාලයක් තිස්සේ ඊට සාක්ෂ්‍යය සැපයිණි.

දේශපාලනයට පිවිසෙන තරුණයන් මුහුණ දී සිටින තවත් ගැටලුවක් වන්නේ එම තරුණයන්ට විදෙස් විශ්වවිiාලයන්හි උපාධි තිබුණත් රටේ ප්‍රශ්න ගැන කරන මැදිහත්වීම්වලදී එම දැනුම භාවිත නොවීමය. ඉන් කරුණු දෙකක් ගම්‍ය වෙයි. එකක් වන්නේ ඔවුන් ලබාගෙන ඇති දැනුම ප්‍රායෝගික නොවීමය. නැතහොත් ඇත්තටම ඔවුන් නිසි පරිදි අධ්‍යාපනය සම්පූර්ණ කර නොතිබීමය. විවිධ උපාධි ඇතැයි කියන දේශපාලනඥයින්ගෙන් රටේ ප්‍රශ්න පිළිබඳව කැරෙන සාකච්ඡාවලදී එම දැනුම ඉස්මතු නොවෙයි. ඇන්.ඇම්, කොල්වින්, ලෙස්ලි වාමාංශික කඳවුරේ තරුණයන් ලෙසද, ලලිත් හා රනිල් දක්ෂිණාංශයේ තරුණයන් ලෙසද මෙරට දේශපාලනය නියෝජනය කළ යුගයක් තිබුණි. ඔවුන් වෙතින් විෂය දැනුම ඉහළින් විදාරණය කැරිණි. ඔවුන්ට එකල භාරවුණු වගකීම් නොපිරිහෙළා ඉටුවනුද දක්නට ලැබුණි. වත්මන් තරුණ දේශපාලනඥයන්ට ආදර්ශ කොට ගැනීමට සිදුව තිබෙන්නේ සාපේක්ෂව හෝ රටට තම විෂය ක්ෂේත්‍රය තුළින් සේවාවක් ඉටු කළ එවැනි දේශපාලනඥයන් නොවේ. තමන් අනුගත පක්ෂවල නායකයන් කෙතරම් නොගැඹුරු වුවත් තරුණයන් ඔවුන් අනුයනු දැක්ක හැකිය. මේ සා ඛේදවාචකයක් රටකට තවත් තිබිය හැකිද?


බුද්ධිමතුන්ගේ අඩුව


මා ඉමිතියාස් මහතාට යෝජනා කරන්නේ හුදු තරුණකම වෙනුවට තරුණ හා වැඩිහිටි බුද්ධිමතුන්ගේ පාර්ලිමේන්තු කෝටාව ඉහළ දැමීමට අප රටක් ලෙස ක්‍රියා කළ යුතු බවය. හුදු තරුණයන් පක්ෂවලට සම්බන්ධ වූ විට ඔවුන් වග විභාගයකින් තොරව එම පක්ෂවලට අවශෝෂණය කරගනු පෙනේ. ෂෙහාන් සේමසිංහට මෙන්ම හේෂා විතානගේ නියෝජනය කරන ධාරාවට සිය පක්ෂ තුළ අත්වී තිබෙන්නේ එවැනි ඉරණමකි. ජවිපෙද ඉන් වෙනස් නැත. ජවිපෙට එම පක්ෂයෙන් දේශපාලන උප්පත්තිය නොලද කවර අයකු සම්බන්ධ වුවත් ඔහුටත් ඉහත ඉරණමටම මුහුණදීමට සිදුව තිබේ. එස්.සී. මායාදුන්න මහතා යම් හෙයකින් මීට පෙර අවස්ථාවකදී පාර්ලිමේන්තුවට පත්ව මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් සිටියා නම් ඔහුටත් හරිනි අමරසේකරට සේ ම ක්‍රියා කිරීමට සිදුවනු ඇත. හරිනි වැරදි මගක යන බවත් ඉන් අදහස් නොවන නමුත් අප මෙම සාකච්ඡාවේදී මතු කළ රට පිළිබඳ ස්වාධීන චින්තන ධුරාවලියක් ස්ඵුට කිරීමට හරිනිටද අවස්ථාව සැලසී නැත. මේ තත්ත්වයට ඇති හොඳම විසඳුම වන්නේ පක්ෂවලට සම්බන්ධ වන තරුණයන්ට හා බුද්ධිමතුන්ට ස්වාධීන චින්තනයකින්, නවීනත්වය පදනම්ව ක්‍රියා කිරීමට අවකාශය සැලැස්වීමය. එය තමන්ට එකතු වන මන්ත්‍රීවරුන් අයාලේ යාමක් ලෙස පක්ෂ කල්පනා නොකළ යුතුය. පක්ෂවල අන්තර්ගතයේ ඇති ගල් ගැසුණු ස්වභාවය ලිහිල් කර ගැනීමට අවශ්‍ය වන්නේ මෙම විවෘතභාවය බව කිව හැකිය.


ජාජබයට හා සජබයට මේ වනවිට තරුණ උගතුන් පිරිසක් සම්බන්ධව සිටිති. ජාජබයට සම්බන්ධ උගතුන් විෂයෙහි සාධනීය දේශපාලන භාවිතයක් පිළිබඳ සාපේක්ෂව බලාපොරොත්තු තබාගත හැකි යැයි මා ලියූ ඉකුත් ලිපියක් පිළිබඳව සජබට සම්බන්ධ විශ්වවිiාල කථිකාචාර්යවරයකු අදහස් පළකරමින් අවධාරණය කළේ මගේ අදහස සදොස් බවය. ජවිපෙ පරණ හැව ඇර නැති බවද කී හෙතෙම සමකාලීන උගතුන් අතර කුහකවතක් තිබෙන බවද කීවේය. ජවිපෙ හැව ඇර නැති බව මම පිළිගන්නා අතර උගතුන් අතර එබඳු කුහකවතක් තිබේ නම් එය බරපතළ ඛේදවාචකයක් බවද පිළිතුරු ලෙස කීවෙමි.


මීට පෙර ලිපියකදී මම වැඩිහිටි මහාචාර්යවරුන් කිහිපදෙනෙකු නම් කරමින් ඔවුන් ලංකාවේ දේශපාලන අනාගතයට සාධනීයව බලපෑම් කළ හැකි අයුරින් දායක කර ගත යුතු බව ලියූ විට මාගේ හිතවත් විශ්‍රාමික මහාචාර්යවරයකු කීවේ එසේ නම් කරන ලද ඇතැම් උගතුන් පිළිබඳ ප්‍රතිවිරෝධීතාවක් තිබෙන බවය. මේ සමහරුන්ට රාජ්‍ය නොවන සංවිධානවලින් මුදල් උපයන බවටද චෝදනා එල්ල වෙයි. ලංකාවේ උගතුන් පිළිබඳ එවැනි ප්‍රතිවිරෝධතා තිබිය හැකිය. සහෝදර ආචාර්යවරයකුගේ ආයතනික ප්‍රශ්නයක් සම්බන්ධයෙන් මගහරින ආචාර්යවරුන් සිටිය හැකිය. ඕනෑම පුද්ගලයකු පිළිබඳව එවැනි ප්‍රතිවිරෝධතා පෙනෙන්නේ ළඟින්ම සිටින පුද්ගලයෙකුටය. එසේ බලන විට තුවාල නැති මිනිසුන් කිසිම ක්ෂේත්‍රයක සිටින්නට විදියක් නැත. ඉදිරි ලිපියකදී මම මේ අයුරින් ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ගේ දායකත්වය රාජ්‍ය පාලනයට ලබා ගත යුතු බවට නිදර්ශන නම් කිහිපයක් සඳහන් කළහොත් කලා සමාජයෙන්ම මීටත් වඩා ප්‍රශ්න කිරීමක් මතුවිය හැකිය. ඒ මෙහි ස්වභාවයය. අඩුපාඩු නැති මිනිසුන් නැත. රටකට නායකයන් තෝරා ගන්නේ ඒ අය අතරින් බිහිවන සුවිශේෂී පුද්ගලයන්ගෙන් නම්, එම පුද්ගලයන් තුළද සමීප තවකෙකු දකින තුවාල විරල විය නොහැකිය. අපට මෙහිදීත් බැලීමට සිදුවන්නේ සාපේක්ෂ තත්ත්වයයි. ඇන්.ඇම්, ලලිත් හා ලක්ෂ්මන් කදිරගාමර් මේ රටේ නායකත්වයට පත්විය යුතුව තිබුණු, එහෙත් අපට මග හැරුණු විශිෂ්ටයන් තිදෙනෙකි. ඔවුන් විශිෂ්ටයන් වූ පමණින් මුළුමනින් සර්වතෝභද්‍රද? නැත. එහෙත් රටට ලැබුණු සියලු නායකයන්ට සාපේක්ෂව ඔවුන් තිදෙනා නවීන හා රටේ ප්‍රශ්න කළමනාකරණය කළ හැකි ප්‍රායෝගික නායකයන් බව කිව හැකිය.


සජබ ප්‍රශ්නය


මේ මොහොත් සජබ සමග වැඩ කරන තරුණ උගතුන්, සාම්ප්‍රදායිකව මේ රටේ උගතුන් පක්ෂ දේශපාලනයේදී මුහුණ දුන් ප්‍රශ්නයටම ඉදිරියේදී මුහුණ දිය හැකිය. එය නම් මෙම පක්ෂවල ස්වභාවය අනුව බලය අත්පත් කරගැනීමෙන් පසු එම උගතුන් රම්පේ, කරපිංචා ගානට පත්වීමය. එනම් සාරය රැගෙන ඉවත දැමීමය. උගතුන්ගේ සහාය අවශ්‍ය බලයට පත්වීමට මිස පාලනය ගෙන යාමට නොවේ. චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ සිට ආසන්න වකවානුව දක්වා කාලය තුළ නායකයෝ එම ක්‍රියාව කළෝය. සෑම නායකයෙක්ම බලයට පත්වූ විට ඔහු සතුවන රැස් වළල්ල හා ඔහු වටා ඉස්මතු වන සන්නාහය හැමවිටම අවංක හැඟීමෙන් උදව් කළ උගතුන්ට බිඳ හෙළිය නොහැකි බාධකයක් වූයේය. යහපාලන ආණ්ඩුවේ ජනාධිපති ඊට කදිම නිදසුනය. සජිත් ප්‍රේමදාස ඉන් වෙනස් විය හැක්කේ කෙසේද? සජිත් පාටියේ වැඩ කරන විශ්වවිiාල කථිකාචාර්යවරයා දැන් ඒ ප්‍රශ්නයම ජාජබයට අදාළව විමසිය හැකිය. එහි ප්‍රතිඵලය රම්පේ, කරපිංචාවලට වඩා බිහිසුණු වී උගතුන් හා ඔවුන්ගේ ප්‍රගතිශීලී අදහස් යකඩ තිරයකින් මුළුමනින් වැඩී යා හැකිය. වියත් මගේ සිටි බව කියන ඇත්ත වියතුන්ට ඔවුන්ගේ ජනාධිපතිට කිට්ටුවීමට නොහැකිවීමටත් වඩා ජාජබයේ තත්ත්වය බරපතළ විය හැකිය. පක්ෂවලට ඉහළින් උගතුන් බුද්ධිමතුන් රට සඳහා සකස් කරන වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් පක්ෂවල ප්‍රගතිශීලී කොටස් එම වැඩසටහනේ යාන්ත්‍රණය සැකසිය යුතු බවටත් මම මීට පෙර අදහසක් පළ කළේ ඒ තත්ත්වය සහ එය රටට ව්‍යුහාත්මකව දේශපාලන ක්‍රමය වෙනස් කරගත හැකි මාවතක් ලෙස සලකාය. එය තරමක් මනෝරාජික අදහසක්ද විය හැකිය. එහෙත් ඒ පිළිබඳව උගතුන්ට හා ප්‍රගතිශීලී අදහස් දරන දේශපාලනඥයන්ට තවදුරටත් සාකච්ඡා කළ හැකිය. ■