දිනී ජයසේකර

”සහනදායි මුදලකට කාලා බීල ජීවත් වෙන්න කියලා ආණ්ඩුවක් පත් කර ගත්තා. මදැයි ! ඒ ආණ්ඩුවෙ හාල් රත්තරං වලටත් වඩා වටින තැනකට පත් වෙමින් තිබෙනවා.” සුළු හා මධ්‍ය පරිමාණ සහල් වෙළෙඳුන්ගේ අදහස එසේ පළවන විට, අප මතකාවර්ජනයට අනුව ඉහළම මිලට නැකතට කිරිබත් අනුභව කළ ප‍්‍රථම අවුරුද්ද 2021 බවය.

සහලින් රට ස්වයංපෝෂිත කරනවායැයි කියූ ආණ්ඩුව ඔවුනොවුන්ගේ පක්ෂ දේශපාලනය ස්වයංපෝෂිත කරමින් යන ගමනක් අපට පෙනෙන්නට තිබෙන්නේය. එසේ පවසන්නේ, වසර එක හමාරක් පුරාවට වසංගත තත්ත්වයකින් රට පීඩා විඳිද්දීත් ජනතාවට සහනදායි ලෙස තුන් වේලෙන් එක වේලක්වත් පිරිමසා ගත නොහැකි තත්ත්වයකට රට ඇද දැමීම නිසාය. ආණ්ඩුව විසින් සහල් සඳහා පාලන මිලක් සඳහන් කළ ද බහුතර වෙළෙන්දන් ආණ්ඩුවේ ගැසට් සත පහකට මායිම් නොකර තම තමන්ගේ වෙළඳාම් සිදු කරති. නමුත් ඉන් අපහසුතාවට පත්වන්නේ සාමාන්‍ය පොදු ජනතාව නොවේද? එසේ නම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිවරණයට ඉදිරිපත් වන විට ”රට හදන සෞභාග්‍යමත් දැක්මෙන් ” ජනතාව මුලා කළා යන්න නිදසුන් අනවශ්‍යය. මන්ද

”ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩ නගමින් අපේ අරමුණු ඉටු කර යන ගමනක් සේ ම ධනපතීන්ට වඩා පොදු ජනතාව නගා සිටුවීමට අප සූදානමින් සිටින්නේය.” යන්න සෞභාග්‍යමත් දැක්මේ එක ෙඡ්දයක සඳහන්ව ඇත. නමුත් ප‍්‍රායෝගිකව දකින්නට ඇත්තේ නම් පොදු ජනතාවගේ සහනය කෙසේ වෙතත් ධනපතීන්ගේ අත්‍යවශ්‍යතානම් සපුරමින් සිටින වගය.

ආණ්ඩුව සහ මෝල් හිමියන්

සහල් වෙළඳපොළ ප‍්‍රධාන පෙළේ මෝල් හිමියන් කිහිපදෙනෙකු මත රැඳී ඇති බව නොරහසකි. වත්මන් ආණ්ඩුව ද ඔවුනොවුන්ගේ ඕනෑ එපාකම් සපුරමින් කල් ගෙවන්නේ ආණ්ඩුව විසින් නිකුත් කළ ගැසට් පත‍්‍රද නොසලකා හරිමිනි. මූලිකවම එවැනි වටපිටාවක් උදා වී ඇත්තේ ඇයිද යන්න ගැටලූවක් නොවේ ද? පාරිභෝගික අධිකාරිය පවා නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ මන්ද?

අප මෙම ලිපිය ලියන මොහොතේදී වෙළඳපෙළ කීරි සම්බා කිලෝව රුපියල් 200ක මුදලකට අලෙවි වන අතර කැකුළු සහල් කිලෝව රුපියල් 110කට අලෙවි වේ. සම්බා සහල් කිලෝව රුපියල් 130ක මුදලකට අලෙවි වන අතර නාඩු සහල් කිලෝව රුපියල් 105ක මුදලක් වේ. එසේම උක්ත මිල ගණන් වෙළඳසැලෙන් වෙළඳ සැලට වෙනස් වන බවද පැවසිය යුතුය.

ආණ්ඩුව මගින් පනවා ඇති පාලන මිලට නම් නාඩු කිලෝවක උපරිම සිල්ලර මිල විය යුත්තේ රුපියල් 96කි. කීරි සම්බා රුපියල් 120කි. සුදු/රතු සම්බා රුපියල් 98කි. රතු/සුදු කැකුළු කිලෝව රුපියල් 93ක උපරිම සිල්ලර මිලකටත් අලෙවි කළ යුතුව ඇත. එසේ ආණ්ඩුව පත් වී වසර දෙකකට ආසන්න කාලයක් ගෙවී යත් සහල් පාලනය සඳහාම පමණක් හතර වාරයකට වඩා වැඩි වාර ප‍්‍රමාණයක් ගැසට් පත‍්‍ර නිකුත් කිරීම සහ එසේ ගැසට් නිකුත් කරමින්වත් සහල් මිල පාලනය කිරීමට නොහැකි වීම හුදු ප‍්‍රශ්නයක් ලෙස ඉතිරිව ඇත. මහජනතාව ආණ්ඩුවෙන් විමසිය යුත්තේ එසේ අසමත්වීමට හේතු මිස අසමත් වීම විඳ දරා ගන්නේ කෙසේද යන්න නොවේය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීම සඳහා රාජ්‍ය සේවකයන් සේ ම ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරික ප‍්‍රජාවන්ද බොහෝ සේ උත්සාහ කළේය. එසේ කළ උත්සාහයන් අතර සහල් ඒකාධිකාරියට මූලික වන මහා පරිමාණ මෝල් හිමියන් කිහිපදෙනාද වත්මන් ආණ්ඩුව පාලනයට ගෙන ඒමට වියදම් කර ඇත. එසේ කළ වියදම් පියවා ගැනිම උක්ත කාලපරිච්ෙඡ්දය තුළ සිදුවන බව අපට හැෙඟන්නේය. මන්ද රජය විසින් පාලන මිල තීරණය කරන්නේද ඔය කියන්නා වූ මහා පරිමාණ මෝල් හිමියන් කිහිපදෙනා කැටුවය. එසේ නම් ඉන් සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියාටත්, වී ගොවියාටත්, සහල් පරිභෝජනය කරන පාරිභෝගිකයාටත් සාධාරණයක් බලාපොරොත්තු විය හැකිද ?

මරදගහමුල බංකොළොත්භාවයේ වාසිය

එකල සහල් පුරවරයක්ව තිබූ මරදගහමුල අද සුසාන භූමියක් සේ පාළුවට ගොස් ඇති බව පැවසිය යුතුම කරුණකි. සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගෙන් සැදුම්ලත් මරදගහමුල සහල් පුරවරය අද බංකොළොත් වී ඇති බව දකින්නට ලැබෙන්නේ, වෙනදාට සහල් ගෝනිවලින් පිරී තිබූ කඩ කාමර අද නොයෙක් විදියේ ආහාර ද්‍රව්‍යවලින් පිරී ඇති නිසාය. ඒවා අතර උම්බලකඩ, සීනි, සෝයා මීට්, ලූණු, පපඩම් සහ බිත්තර ලෙස ආහාර ද්‍රව්‍ය කිහිපයකි. සමහරක් කඩ අගුලූ දමා වසර තුන හතරකට ආසන්නය. එසේ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ අභාවයට මූලික හේතුවත් මහා පරිමාණ මෝල් හිමියන් බව ඔවුන්ගේ මතයයි.

අතීතයේදී මරදගහමුල පුරවරයේ සහල් කඩ තිහකට ආසන්නව තිබූ නමුත් අද ඇත්තේ කඩ දහයකටත් වඩා අඩු ප‍්‍රමාණයකි. ඉන් උපරිම වාසි ලබන්නේ මහ මෝල් හිමියන්ය. මන්ද ඔවුන්ගේ අවශ්‍යතාව තම දේශපාලන බලය මගින් සහල් ඒකාධිකාරියක් ඇති කර ගැනීමටය. ඔවුන් උක්ත අවශ්‍යතාව වෙත ඉතා වේගයෙන් ඇදෙමින් තිබෙන අතර ඉන් පාරිභෝගිකයාට සාධාරණයක් බලාපොරොත්තු වීම සිහිනයක් විය හැකි බව අප අදහසයි. එසේ නම් සරලවම සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියාගේ බංකොළොත් භාවයෙන් උපරිම වාසි ලබන්නේ මහා පරිමාණ මෝල් හිමියන් බව පැහැදිලිය.

මෝල් හිමියන්

”මේ ආණ්ඩුව ආපු ගමන් කළේ සහතික වී මිල රුපියල් 18කින් වැඩි කරලා සහල්වල මිල රුපියල් 16කින් වැඩි කළා. සාමාන්‍යයෙන් වී කිලෝ 1.6ක ප‍්‍රමාණයක් යනවා සහල් කිලෝවක් ගන්න. එතකොට කොහොමත් සහල් කිලෝව රුපියල් 96ක මුදලකට දෙන්න බැහැ.” මරදගහමුල සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියෙකු අප සමග පැවසීය.

රුපියල් 110ක මුදලකට අලෙවි විය යුතු සහල් කිලෝවක් රුපියල් 96ක මුදලකට මිල තීරණය කර ගැසට් කර ඇත්තේ කුමන පදනමින්ද යන්න වටහාගත නොහැක. එසේනම් වී මිලට සාපේක්ෂව සහල් මිලද තීරණය වූවේ නම් උක්ත ගැටලූව මතු නොවන බව ආණ්ඩුවට නොතේරුණාද? වත්මන් ආණ්ඩුවට විෂය සම්බන්ධව අබ ඇටයක තරම්වත් දැනුමක් නැති බව පැහැදිලිය.

දැන් වෙළදපොළේ පවතින සහල් මිල අධ්‍යයනය කරන විට ඉන් ගොවියාටද සිදුව ඇත්තේ අසාධාරණයකි. මන්ද මහා පරිමාණ මෝල් හිමියන් අඩු මුදලක් වැය කරමින් වී මිලදී ගෙන ඒවා ගබඩා කර ගැනීමය. පසුව වෙළදපොලේ සහල් මිල අනුව ගබඩාවේ සහල් ප‍්‍රමාණය වෙළඳපොළට නිකුත් කරමින් සහල් හිඟයැයි පැවසීම ඔවුන්ගේ සුපුරුදු බේගලය වීම නිසාය. නෙයෙකුත් මාධ්‍ය නාලිකා සහල් හිඟ යැයි ප‍්‍රවෘත්ති මවමින් ගැටලූකාරී තත්ව ඇති කරන්නේය. වර්තමානයේදී එය ප‍්‍රායෝගිකව සිදුවන අතර සහල් හිඟ නිසා පිටරටවලින් ගෙන්වීමද කළ යුතු බව සමහරු අදහස් දැක්වීය. අවසානයේදී මහා පරිමාණ මෝල් හිමියන් රුපියල් 30කට ආසන්න මුදලක් ලාභ ලබන්නේ පාරිභෝගිකයාගේ කුසගින්න මතින් සහ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියාගේ පසුම්බිය මතින්ය.

”රජය විසින් වී ගොවියාට කුඹුරු නොකළොත් ඒ ඉඩම් රජයට පවරා ගන්නවා කියලා බය කරවනවා. ඊට පස්සෙ වී ගොවියා පාඩු ලබන්න හරි ගොවිතැන් කරනවා. අවසානෙදි ගොවියන්ගෙ මහන්සිය විතරයි. මහන්සියට හරියන්න මුදල් අතේ නැහැ. හතර වටේටම ණය වෙලා තමයි කුඹුරු කරන්නේ. අවසානෙදි ණය ගෙවාගන්න බැරුව සමහරු මරණයට පත්වෙනවා.” එසේ පැවසුවේ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියෙකු වූ සම්පත්ය.

වත්මන් ආණ්ඩුව මීට වඩා සහල් මිල සම්බන්ධව වගකීමකින් කටයුතු කර යුතුව ඇත යන්න අප අදහසයි. ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ මල්ලේ ප‍්‍රධානම තැන දරන්නේ සහල්ය. තවද දරුවන්ගේ පෝෂණ මට්ටම උවද එන්න එන්නම ඉතා දුර්වල තත්ත්වයක තිබෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තා අධ්‍යයනයේදී පැහැදිලි වන්නේය. එසේ නම් ගොවියාට, පාරිභෝගිකයාට, වෙළෙන්දන්ට සහ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට සාධාරණයක් වන ලෙස වී මිලට සාපේක්ෂව සහල් පාලන මිලක් නැවත ගැසට් කළ යුතුව ඇති බව කිව යුතුය.

ඉදිරියේදී සම්බ කිලෝව රුපියල් 150 දක්වා ඉහළ යාවි
මරදගහමුල වෙළෙඳ ව්‍යාපාරික
එස්.එස්. රණසිංහ

පවතින තත්ත්වය අනුව දැන් සහල් රත්තරං වගේ තමයි. ආණ්ඩුව විසින් ඉදිරියේදී සහල් මිල තීරණය කළේ නැතිනම් රුපියල් 150ක මුදලක් දක්වා සහල් මිල ඉහළ යන්න ඉඩ තියෙනවා. මම සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියෙක්. අපට දැන් ඇත්තටම මේවා වහල දාල යන්න වෙලා තියෙන්නේ. මහා පරිමාණ මෝල් හිමියො දැන් සහල් බිස්නස් එක අල්ලගෙන ඉන්නේ. ඔවුන් තමයි සහල් වෙළදපොළ ගැන තීරණ ගන්නේ. ඉතින් මේ තත්ත්වය සමනය වුණේ නැතිනම් ඉදිරියේදී මොනවා වෙයිද කියලා හිතාගන්න අපහසුයි.

ගොවියවත් මංකොල්ල කාලා පාරිභෝගිකයවත් මංකොල්ල කනවා
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න

මේ සහල් ගැටලූව කෘති‍්‍රමව නිර්මාණය කිරීමක්. මහා පරිමාණ මෝල් හිමියෝ කරන්නේ ගොයම් කැපෙන කාලෙට ගොවීන්ගෙන් වී අඩු මුදලට අරගෙන ගබඩා කර ගන්නවා. ඊටපස්සෙ ගොවියා ළඟ වී ඉවර වුණාට පස්සෙ වී මාර්කට් එක ඉහළ දානවා. ඒ මිලට හරියන්න සහල් මාකට් එක ඉහළ දානවා. එතකොට මහා පරිමාණ මෝල් හිමියෝ මේ කන්නයේ ගත්ත වී අඹරන්නෙ මාස හයක් විතර පරණ කරල ඊළඟ කන්නෙදි තමයි වී අඹරන්නේ. එතකොට වී මාකට් එක ඉහළ දානවා. මොකද පොඩි මෝල් හිමියන් ගාව ලොකු ස්ටොක් එකක් නැති නිසා එයාට මේ කරගෙට එන්න බැරි වෙනවා. එතකොට මහා පරිමාණ මෝල් හිමියා අඩු ගාණට ගත්ත වී හාල් කරලා අධික මිලකට වෙළදපොළට නිකුත් කරනවා.

පහුගිය කාලේ සහල් කිලෝ එකකින් 20-25 අතර ලාභයක් ලැබුවා මහා පරිමාණ මෝල් හිමියෝ ටික. ඒක අධික ලාභයක්. මේ වැඩෙන් වෙන්නෙ ගොවියවත් මංකොල්ල කාලා පාරිභෝගිකයවත් මංකොල්ල කන එකයි. ආණ්ඩුව නිහඬව බලාන ඉන්නවා. මොකද එයාල මේ වැඬේ පිටිපස්සෙ ඉඳන් මහා පරිමාණ මෝල් හිමියන් විසින් මැතිවරණයට වියදම් කරපුවා පියවගන්න ඉඩ දෙනවා.

සහල් හිඟයක් නැහැ, තියෙන්නේ අතිරික්තයක්.
ශ‍්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සමූපකාර සංගමයේ සභාපති මුදිත පෙරේරා


ආණ්ඩුව ජනතාවට විහිළු සපයමින් ඉන්නවා කියලයි අපට හිතෙන්නේ. ඇත්තටම වී මිලට සාපේක්ෂව ගත්තාම සහල් කිලෝවක් රුපියල් අනූ හයක වැනි මුදලකට විකුණන්න අමාරුයි. එහෙනම් වී මිලට සාපේක්ෂව සහල් මිල තීරණය කිරීම ආණ්ඩුව සතු වගකීමක් නේද? එසේ පාලනයක් නැති නිසා තමයි මිල කඩාගෙන බිඳගෙන ගමන් කරන්නේ. ඇත්තටම එහෙම නොවෙන්න නම් ආණ්ඩුව විසින් නිශ්චිතව සහල් මිල තීරණය කළා නම් අද පාරිභෝගිකයාට සාධාරණ මිලකට හාල් ගන්න තිබ්බා.

සහල් හිඟයක් තියෙනවා කියලා ඉන්දියාවෙන් සහල් ගෙන්වන්න ඕනි කියලා කීවා. නමුත් ඉන්දියාව මේ වෙලාවෙ ලංකාවට හාල් දෙන්න කොහොමත් කැමති නැහැ. කට්ටිය කීවට හාල් හිඟයක් නැහැ. තියෙනව නම් තියෙන්නෙ සහල් අතිරික්තයක් පමණයි. මොකද 2019/2020 කියන්නෙ වැඩිම අස්වැන්නක් ලබපු අවුරුදු දෙකක්. මෙයාල හිඟයක් මවාපාමින් කරන්න හදන්නේ රටින් හාල් ගෙන්නනවා කියලා එතනිනුත් ගසා කන්නද කොහෙද.