නුවන් උදය වික‍්‍රමසිංහ

දේශපාලන අර්බුද සමයක ආණ්ඩුවෙහි අසමත්භාවය වසා ගැනීම පිණිස වරින්වර රඟදක්වනු ලබන නාටකයන්හී මෙවර කතා වස්තුව වී ඇත්තේ විමල් වීරවංශගේ විප්ලවයය. එය ආණ්ඩුවේ රාජපක්ෂ වන්දිභට්ටයන්ට අනුව මහා ද්‍රෝහීකමකි. කන්නට දුන් අත සපාකෑමකි. හෙවත් තොරණේ කවි කියන්නට දෙකයි පනහක්දී ගෙන්වා ගත් එකා තොරණට අයිතිවාසිකම් කීමකි. එහෙයින් විමල් වීරවංශ කළ යුතුව ඇත්තේ පයින් ගසා එලවා දමන්නට පෙර විහින්ම කොට්ට පැදුරු අකුළාගෙන පල්ලම් බැසීමය. නැතිනම් සිදුවනු ඇත්තේ රාජපක්ෂවරුන් විසින් හදාවඩාගෙන ඇති මුර බලූ බලකාය විසින් වීරවංශගේ යමක් ඉතිරිව ඇත්නම් එයද ගලවා පන්නා දැමීමය. රාජපක්ෂවරුන් වෙනුවෙන් ලියන කියන න්‍යායන් හදන න්‍යයාචාර්යවරුන්ගේ සිට බොහෝ අයගේ අදහස්හී සමුදයාර්ථය එයය.

අනෙක් අතින් විපක්ෂය යයි කියා ගන්නා සමගි ජනබලවේගය ඇතුළු තවත් සමහර පාර්ශ්ව වීරවංශගේ විප්ලවයෙන් මහත් ආහ්ලාදයට පත්ව සිටිති. ඔවුන් දැන් දින ගනිමින් බලා සිටින්නේ විමල් එළියට බැස තමන් සමග එකතු වන දවස උදාවන තුරුය. ඔවුන්ට අනුව මේ වීරවංශ විප්ලවය යනු රාජපක්ෂවරුන්ගේ බල කඳවුරෙහි අවසානයය.

කවරකු කුමක් කීවද රාජපක්ෂවරුන්ගේ ආණ්ඩු පිහිටුවීමේ ලා පෙර විමල් සතුව තිබූ දක්ෂ කථිකත්වයද පසුව එය යටපත් කර නැග ආ මුඛරිකමද එකසේ පිටුවහල් වූ බව පිළිගත යුතුව තිබේ. අද විමල්ට ගරහන බොහෝ පොහොට්ටුකාරයන් අමතක කරමින් ඉන්නා කරුණ වනුයේ විමල්ගේ කටෙහි බලයෙන් බොහෝ වැඩගන්නට රාජපක්ෂවරුන් සමත්වූ බවයි. විමල් සැබැවින්ම රාජපක්ෂ කඳවුරෙහි අන්තේවාසිකයකු ලෙස මෙහෙ කරද්දී අද ඔහුට එරෙහිව කෑගාන බොහෝ අය දේශපාලන බිමෙහි සිටියේ අතදරුවන් මෙන්ය. එය අප කැමති වුවද අකමැති වුවද පිළිිගැනීමට සිදුවන සත්‍යයයි. විමල්ද කලක් රාජපක්ෂ කඳවුරෙහි බලවත් චරිතයක් ලෙස වැජඹුණු බව සැබැවි. එහෙත් ඒ අතරම විමල් බරපතළ පාපයක්ද කළ බව දැන් පෙනී යන්නට පටන් ගෙන තිබේ. ඒ රාජපක්ෂවරුන් සිටියදී තමන්ද පාලක සිහිනයක් දැකීමය. විමල්ට වරදිනා සේ පෙනෙන තැන මෙතැනය. රාජපක්ෂවරුන් සමග එකතුව සිටීම යනු කඹ පොටෙහි දිග ඇති තාක් උලාකෑම මිස කඹය කඩාගෙන වෙනත් කොටු කරා පැනීමට තැත් කිරීම නොවන බව ඔහු වටහාගත යුතුව තිබිණි. ඒ සඳහා ඇවැසි නම් ඔහුට සිය කල්‍යාණ මිත‍්‍ර වාසු, ඩිව්, තිස්ස විතාරණ වැන්නවුන්ගෙන් ටියුෂන් වුව ගතහැකිව තිබිණි. තම ඒකායන ප‍්‍රාර්ථනය රාජ්‍ය අනුග‍්‍රහයෙන් නික්ම යාම බවට පත්ව ඇති මේ අත්දැකීම් බහුල ‘දැවැන්තයෝ’ දැන් සිය දැවැන්තකම අලෙවි කරන්නේ කෙසේදැයි ඉතා හොඳින් දනිති. එසේම පිරිහී ගිය දේශපාලනයක තමන්ගේ ලංසුවද බෙහෙවින් හෑල්ලූ බවද ඔවුහු දනිති.

එහෙත් විමල්ට ඔවුන්ට මෙන් නොව අපේක්ෂා කරන්නට අනාගතයක් තිබේ. ඔහු කල්තබා මුට්ටි දමා බලන්නේ එහෙයිනි. එසේම ඔහු මේ සෙල්ලමෙහි තම සීමා නොදන්නේ යයිද සිතිය නොහැකිය. එසේම තමන් පසුගිය කාලය පුරා කොන්දේසි විරහිතව රාජපක්ෂවරුන් වෙනුවෙන් දරදිය ඇදීමේදී තමන්ගේ යට ඇඳුම් පමණක් නොව ලැජ්ජා නහරද කපා ඉවත් කරගත් බව ඔහු දනී. එහෙයින් තම ක‍්‍රීඩාව කරන්නට සිදුවනුයේ ඉතා පරිස්සමින් බවද ඔහු දනී.

මෙවන් තත්ත්වයක් යටතේ සිදුවිය හැකි විප්ලවයෙහි දුර වාසු විසින් පවසන ලද අදහසක් ඇසුරින් වටහා ගත හැකිය. ඒ තමන් අතර කවර ප‍්‍රශ්න ඇති වුවද ඒවා ආරක්ෂක පවුල තුළ සිට විසඳාගන්නේ වැනි අදහසකි. ඒ අනුව අප වටහාගත යුතුව ඇත්තේ තමන්ගේ සැබෑ තරම මොවුන් ඉතා හොඳින් වටහාගෙන ඉන්නේය යන්නයි. එවන් පසුබිමක රාජපක්ෂවරුන්ගේ කඳවුරෙහි විප්ලව යනු නාඩගමක පිටපතක් මිස අන් යමක් නොවනු ඇති බව අප වටහාගත යුතුව තිබේ. එහෙත් මෙයද වෙනස්විය හැකි එක් අවස්ථාවක් තිබේ. ඒ ලෝක දේශපාලන බල තුලනය විසින් කරනු ලබන නූල් ගැස්සීම්ය. හෙට දවසෙහිදී රාජපක්ෂ කඳවුරෙහි වෙන්වීමක් දක්වා වන විභේදනයන් ඇතිවන්නේ නම් ඒ තීරණය වනු ඇත්තේ ලෝක දේශපාලන න්‍යාය පත‍්‍රයෙහි ගනු ලබන තීරණයන් මතම පමණි. රාජපක්ෂවරුන් අතරින් ගැලවුම්කරුවන් බිහිවීමේ දේශපාලන සුරංගනා කතාව පරිදිම ඊළඟ මැතිවරණයේදී ඊට විකල්ප වන නව විරුවාද බිහිවනු ඇත්තේ එවන් සංදර්භයකම පමණි.

එහෙයින් විපක්ෂයෙහි දැක්මක් සහිත දේශපාලකයන් සිටින්නේ නම් ඔවුන් උත්සාහ දැරිය යුත්තේ ආණ්ඩුවෙහි කුස්සි නාටක දෙස බලා සිටීම නොව නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමය. එනම් ලෝක දේශපාලන බල තුලනයෙහි ගොදුරු නොවී අපගේ අනාගතය රැකගැනීම කෙසේ කළ යුතුද යන බරපතළ අභ්‍යාසයෙහි නිරත වීමය. ඒ වෙනුවට ඔවුන් විමල් හෝ වෙනයම් කෙනකු කඩාගෙන ඒමත් සමග නව පිමි පනින්නට සිතන්නේ නම් ඔවුන් වහාම කළ යුත්තේ එළු බිජ්ජ වැටෙන තුරු බලා සිටි නරියාගේ කතන්දරය යළි කියවීමය.

අපට දැන් අවශ්‍යව ඇත්තේ පවත්නා ආණ්ඩුවට එරෙහි තවත් බලවේගයක් නොවේ. කවර ආණ්ඩුවක් ආවද වෙනස් නොවන ආකාරයේ දැක්මක් සහිත ප‍්‍රතිපත්ති මත රටෙහි අනාගතය හැඩගැස්වීමය. ඒ සඳහා දැන් සිටින බොහෝ නායකයන් අසමත්බව නොරහසකි. ඔවුන් පසුගිය කාලය පුරාම පෙන්වා සිටියේ තම අසමත්කමමය. එහෙයින් රාජපක්ෂලා වෙනුවට වෙස්ගන්වා මේ සිටින අසාර්ථක දේශපාලකයකුම අප යළි පෙරහැරෙහි ගෙන යන්නේ නම් එය අවසන් වනු ඇත්තේ අප දැන් සිටින ඛේදවාචකයටද වඩා පහළිනි.

තවදුරටත් අප රටෙහි ඇත්තේ රාජපක්ෂලා හෝ රනිල්ලා ආදී වශයෙන් වෙන්කර පෙන්විය හැකි දේශපාලන දහරාවන් නොවේ. එය ඊට වඩා චීනය සහ ඇමරිකාව යන කවුරු දෙකෙහි ක‍්‍රීඩාව හරහා තේරුම් ගැනීමට උත්සාහ දැරීම වැදගත්ය. මේ ඉන්නා දේශපාලකයන් පසුගිය කාලය පුරාම අඩුවැඩි වශයෙන් කළේ ඉහත කවුරු දෙකින් කවරක් සමග හෝ ගැටගැසීම නැතිනම් දෙපාර්ශ්වය අතර දෝලනය වෙමින් ස්වයංව අලෙවි වීමය. මේ දක්වාම සිදුවන්නේත් ඉදිරියට ඔවුන් කවරකු අතින් වුව සිදුවනු ඇත්තේත් එයම පමණි. එහෙයින් මේ අතරින් විකල්ප සෙවීම යනු කිසිදු සැකයකින් තොරවම නැවත වතාවක් රැවටීමට ලක්වීම පමණි.

එහෙයින් අප අපේ අනාගතය ගැන උනන්දු සහගත නම් කළයුත්තේ ආණ්ඩුවට තමන්ගේ මගඩි නාටක රඟදක්වන්නට හැර එහි සිටින්නවුන්ට තම අනාගත බල අපේක්ෂාවන් සමගින් ඔට්ටු වෙන්නට හැර ප‍්‍රතිපත්තිගරුක දේශපාලන වැඩපිළිවෙළක් සඳහා වෙහෙසීම පමණි. එසේ නොකර විමල් නැතිනම් ආණ්ඩුව තුළ ඇතිවන අර්බුද සමගින් කලකිරෙනා දේශපාලකයන්ද සමග ගොඩ නගනා සන්ධාන ගැන අපේක්ෂා තබන්නේ නම් ඒ තරම් අමනෝඥකමක් තවත් නැති බව නිසැකය.

ලෝකය පුරා යළි ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා අරගල පැන නැගෙමින් තිබේ. දීර්ඝ කාලයක් හමුදා සපත්තුවට පෑගී සිට හුස්ම ගත් මියන්මාරයේ වැසියෝ දැන් තමන් යළි පෙර කාලකණ්ණිකමට වැටෙන්නට අකමැති බව ජීවිත අනතුරෙහි හෙළමින් කෑගා කියති. ඒ අතර ඉන්දියාවද මෝදිගේ පාලනයට අභියෝග කරන තැනකට පත්වෙමින් තිබේ. නමුදු රටක් වශයෙන් අප තවමත් සිටින්නේ ජනාධිපති සහ හමුදාපති රටෙහි සියලූ ප‍්‍රශ්න විසඳනු ඇතැයි යන බලාපොරොත්තුව දරා සිටින බහුතරයකගෙනි. එහෙයින් අප ලොවෙහි ප‍්‍රවණතාවන්ගෙන් උගත යුතු මොහොත පැමිණ තිබේ. කොට්ට මාරුව වෙනුවට අපට ඇවැසි වෙනසක් සඳහා අඳ බවට පත්කර ඇති ජනතාවකට පෙනීම දීම මේ අරගලයෙහිදී ප‍්‍රමුඛ කොන්දේසියකි. එය කළහැක්කේ අවංක එසේම කැපවීමට සූදානම් දේශපාලන බලවේගයකට මිස දේශපාලන කටුස්සන්නට නොවේ. ප‍්‍රශ්නය ඇත්තේ් කටුස්සන් නොවන අය තෝරා ගන්නේ කෙසේද යන්නයි. අප පිළිතුරු සොයාගත යුතු පැනයද එයමය.