නිමල් අබේසිංහ

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධ අපරාධමය නඩුවේ රජයේ සාක්ෂිකරුවෙකු කිරීමට පොලිස්පතිවරයා තීරණය කර ඇත.


මේ බව හෙළිවන්නේ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් නීතිය හා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජගත් අල්විස් හරහා රාජ්‍ය සේවා කොමිසමට යවන ලද ලිපියකිනි. 2021 සැප්තැම්බර් 17 දින යවා ඇති මෙම ලිපියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් දක්වා ඇති කරුණු මෙසේ ය.


“නි.පො.ප. (බස්නාහිර පළාත උතුර) ලෙස රාජකාරි කරමින් සිටියදී 2019.04.21 දින සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධව එල්ල විය හැකි බවට ලද තොරතුරු යටතේ කොට්ඨාසවලට බැහැර කළ ද ඒ සම්බන්ධ පසු විපරම් සිදු නොකිරීම.


PHQ/ED/03/7.50 (SIU/65/2019, SIU/79/2019, SIU/108/2019


“මෙතෙක් චෝදනා පත්‍ර නිකුත් කර නොමැතය.”


“රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් චෝදනා පත්‍ර නිකුත් කිරීමට තීරණය කළ බව අංක PSC/D15/011/2021 හා 2021.06.15 දිනැති ලිපිය මගින් දැනුම් දී ඇත. මෙම සිදුවීමට සම්බන්ධ අපරාධමය චෝදනා සම්බන්ධ නඩුවෙහි මෙම නිලධාරියා සාක්ෂිකරුවෙක් වීමට නියමිත බැවින් අධිකරණ නියෝග ලැබෙන තෙක් විනය කටයුතු අත්හිටුවීමට පොලිස්පති හා මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිර්දේශ කර රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත වාර්තා යොමු කර ඇත.”


නීතිපති දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග අනුව තවමත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් නඩු පැවරීමක් සිදුකර නැති අතර එවැන්නක් සඳහා සූදානමක් නැත.


මෙවැනි පසුබිමක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රජයේ සාක්ෂිකරුවකු ලෙස පොලිස්පතිවරයා හෝ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා නම් කිරීම විමතියට කරුණක් බව ද එම ආරංචිවලින් දැනගන්නට තිබේ.


කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමාගෙන් මේ ගැන විමසූ විට පැවසුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමේ චෝදනාවට ලක් නොවීම තමන්ට ප්‍රශ්නයක් බවය.


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ඉහළින් සිටි නිලධාරියාට මෙන්ම ඔහුට පහළින් සිටි නිලධාරියාටත් අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට නිර්දේශ කර ඇති බවත්, එම චෝදනාවන්ගෙන් දේශබන්දු තෙන්නකෝන් නිදහස්වීමත් ඔහුට විනය පරීක්ෂණයක් පමණක් නිර්දේශ කිරීම ගැටලුවක් බවය. ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here