රසික ගුණවර්ධන


පසුගිය සඳුදා දින උදෑසන වරුවේ වාර්තා වූ එක් ඉතා සංවේදී පුවතක් විය. එයින් කියැවුනේ තරුණයෙකුට වෛද්‍යවරයෙකු විසින් වෙඩි තැබීමේ සිද්ධියකි. අදාළ සිදුවීම සැකවින් මෙසේය. ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ ක්‍රීඩාපිටියේ තරුණයන් පිරිසක් ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිට ඇත. ඒ අතරවාරයේ ඔවුන් ක්‍රීඩා කළ පන්දුව ක්‍රීඩා පිටියට අද්දරින් තිබූ පෞද්ගලික වත්තක් තුළට ගොස් ඇත. එකී නිවස මහරගම අපේක්ෂා රෝහලේ සේවය කරන වෛද්‍ය තාරක ඇල්විටිගලගේය. ඒ අවස්ථාවේ ක්‍රීඩාංගණයේ බැම්මට නැඟ දරුවන් විසින් තමන් ක්‍රීඩා කළ පන්දුව ඉල්ලා ඇත. ඒ මොහොතේ දරුවන් හා වෛද්‍යවරයා අතර බහින් බස් වීමක් සිදුව ඇති අතර, පසුව වෛද්‍යවරයා තරුණයන්ට වායු රයිෆලයකින් වෙඩි තබා ඇත. එම එක් වෙඩි පහරකට තරුණයකු ගොදුරු වී ඇත.


වෙඩි තබා ඇත්තේ වෛද්‍යවරයෙකි. වෛද්‍යවරුන් යනු ජීවිත සුවපත් කරන්නන් විනා ජීවිත නසන්නන් බව අප අසා නැත. එහෙත් මහරගම අපේක්ෂා රෝහලට එය එසේ නැති ගානය. මීට පෙර වරක් එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක ද මෙවැනිම මුග්ධ අධම ස්වරූපයේ ප්‍රකාශ සිදු කළේය. අප මෙය ලියන්නේ දෙවන වර වූවද මෙම ලිපියට රෝහල් අධ්‍යක්ෂකවරයාගේ මේ හැසිරීම වැදගත් වන්නේ ඔහු මෙම ලිපියට අනුභූතී වෙඩි තැබීමේ සිදුවීම අරභයා රඟ දැක් වූ අමුතු තාලයේ නාට්‍ය සහ එහි නිරූපනය කළ අපූරු චරිතය නිසාය. කොරෝනා වසංගතයේ දෙවන රැල්ල පැතිර යන අවධියේ මහරගම අපේක්ෂා රෝහලේ කොරෝනා රෝග ලක්ෂණ පෙන්වන ලෙඩුන් හා එසේ නොවන ලෙඩුන් එකම වාට්ටු වල යොදවා ප්‍රතිකාර කරන බව අපට දැනගන්නට ලැබිණි. අප මේ පිළිබඳව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායකගෙන් විමසුවෙමු. ඊට ඔහු පිළිතුරු දුන්නේ, “ඕවා කියන උන්ගේ ළමයින්ට පිළිකා හැදෙන්න ඕනෙ” යනුවෙනි.


ඒ කරුණු කාරණා කෙසේ වෙතත් පසුගිය බදාදා අප වෙඩි ප්‍රහාරයට ලක් වූ තරුණයා සොයා ගියෙමු. ඊට පෙර දින ඔහු රෝහලෙන් ප්‍රතිකාර ලබා පැමිණ තිබුණේ, පවතින කොවිඞ් වසංගතය නිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීම අනාරක්ෂිත බැවිනි.


මෙම වෙඩි තැබීමේ සිදුවීම පිළිබඳව මේ වන විට අධිකරණමය කටයුත්තක් ආරම්භ කර ඇත. ඒ නිසාම ඔවුන් අප සමඟ සාකච්ඡා කිරීමට පෙර සිය නීතීඥවරයාගෙන් විමසීමක් කළේය. ඒ අනුව දරුවාගේ මවුපියන්ගේ ඉල්ලීමක් වූයේ මේ සිදු වීමේ අනන්‍යතාවය හෙළි නොකරන ලෙසය. එම නිසා අප ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු හා ඡායාරූප පළකරන්නේ නැත.


“අපි එදා සෙල්ලම් කරකර ඉද්දී බෝලෙ ඩොක්ටගෙ වත්තට ගියා. අපේ බෝල ඕනෙ තරම් ඔය වත්තට ගිහිල්ල තියනව. හැබැයි කවදාවත් ඒ ගෙදරින් ඒ බෝල දෙන්නෙ නෑ. අපි ඉල්ලන්නෙත් නෑ. හැබැයි එදා අපි ළඟ වෙන බෝලයක් තිබ්බෙ නැති නිසා අපි ඒ බෝලෙ ඉල්ලුව. සමහර මාධ්‍යවල දාල තිබ්බ අපි ඩොක්ටගෙ ගෙදර බැම්ම උඩට නැඟල බෝලෙ ඉල්ලුව කියල. හැබැයි අපි ඒ බැම්මට නැග්ගෙ නෑ. අපි නැග්ගෙ ඉස්කෝලෙ බැම්මට. අපි කතා කරල බෝලෙ ඉල්ලනකොට ඩොක්ටර් එළියට ඇවිත් කුණුහරුපෙන් බැනල බෝලෙ දෙන්නෙ නෑ කීව. ඊට පස්සෙ හිටපිය තොපිට වෙඩි තියනව කියල ඇතුළට ගියා. ඒ වෙලාවෙ මමයි තව අයිය කෙනෙකුයි තමයි බැම්මට නැඟල හිටියෙ. අපි හිතුවෙ බොරුවට වෙඩි තියනව කීවෙ කියල. ඒක නිසා මාත් එක්ක හිටපු අයිය හිනාවෙවී කීව හා තියන්න කියල. එතකොටම ඩොක්ටර් එළියට ඇවිල්ල වෙඩි තියන්න පටන් අරගෙන මම ඒක දැක්කෙ නෑ. ඔලුව උස්සල බලනකොටම දැක්ක අතේ තුවක්කුවක් තියනව. එතකොටම මගේ පපුවට වෙඩිල්ලක් වැදුණා. මම රූටගෙන වගේ බැම්මෙන් වැටුණා.” තමන් මුහුණ දුන් සිදුවීම දරුවා මතක් කළේ එසේය.


ඒ අනුව අදාළ වෛද්‍යවරයා සිතාමතාම මේ වෙඩි තැබීම සිදු කර ඇත. එනම් බිය වද්දා පලා යැවීමට නොව දරුවන්ට වෙඩි තබා හානි කිරීමේ අරමුණෙනි.


“අපි දොස්තරලට සලකන්නෙ දෙවියන්ට වගේ. දොස්තර කෙනෙක් මෙහෙම දෙයක් කරයි කියල අපි හීනෙකින්වත් හිතුවෙ නෑ.” දරුවාගේ මව පැවසුවාය.


“මට නම් ඒ දොස්තර ගැන තරහකට වැඩිය හරි කණගාටුවක් තියෙන්නෙ.” ලාල් ගමගේ, වෙඩි ප්‍රහාරයට ලක් වූ දරුවාගේ පියා කතාව ඇරඹුවේ එසේය.


“මේක වෙච්ච වෙලාවෙ මම ගෙදර හිටියෙ නෑ. මට කෝල් එකක් දීල කීවෙ. මට ආරංචි වුණා මේ දොස්තර පොලීසියට ගිහිල්ල කියල. ඒක නිසා මමත් පොලීසියට ගියා. එවලෙ නීතිඥ මහත්තයෙකුගෙ සහය ගන්න ඕනෙ කියලවත් මට හිතිල තිබ්බෙ නෑ. හැබැයි පොලීසියට ගියහම ඒ දොස්තර මහත්තය මට කීව පුලුවන් දෙයක් කරන්න කියල. ඒක නිකන් මට තර්ජනය කරනව වගේ කීවෙ. පොලීසියෙදිම.” පියා එසේ පවසයි. තමන් ක්ෂණික කෝපයෙන් සිතා බැලීමකින් තොරව එවැන්නක් සිදු කළා නම් වෛද්‍යවරයාට ඒ මොහොතේ පියා සමඟ කතා බහ කර සිද්ධිය මීට වඩා මෘදු ආකාරයකට විසඳා ගැනීමට හැකියාව තිබී ඇත. එහෙත් වෛද්‍යවරයා ඒ මොහොතේද හැසිරී ඇත්තේ තමන්ගේ සිවිල් බලය අවියක් කරගනිමිනි.


“එයාලට සල්ලි බලය තියනව, ඩොක්ටර් හැසිරිච්ච විදිහත් එක්ක මට බය හිතුන මේ සිද්ධිය එයා වෙන පැත්තකට හරවයි කියල. එක නිසාම මම නීතීඥ මහත්තය හොයාගෙන ගිහිල්ල මේ සිද්ධිය කීව.” ලංකාවේ විවිධ වෘත්තීන් අනුව සමාජ බලයක් ගොඩ නැගේ. වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක් යනු කිසියම් ආකාරයක සිවිල් බලයක් ලැබෙන වෘත්තීන්ය. ඒ සිවිල් බලය ඉතාම ගෞරවනීය ලෙස භාවිතා කරන වෛද්‍යවරුන් බහුතරයක් වේ. එහෙත් අතරින් පතර මෙවැනි අශීලාචාර වෛද්‍යවරුන්ද සිටිය හැකිය. මේ වෙඩි ප්‍රහාරයට ලක් වූ දරුවාගේ පියා වෘත්තියෙන් වෑන් රථ රියදුරෙකි. වෛද්‍යවරයා සමඟ සසඳන විට ඔහුට වෛද්‍යවරයාට තරම් බලයක් ද මුදලක් ද නැත.


“පොලීසියෙ ඕ. අයි. සී. මහත්තය ගිය ගමන්ම ඇහුවෙ දොස්තර කෙනෙක්ද කොන්දොස්තර කෙනෙක්ද කියල. දොස්තරගෙ තුවක්කුවට බලපත්‍රයක් නෑ. අනික ඒ තුවක්කුවෙන් යාර තිස් පහක් ඇතුළෙ වෙඩි තිබ්බහම මරණීය තුවාල වෙන්න පුලුවන් කියල බඳේ ගහල තියනව පෙන්නුවෙ ඕ. අයි. සී. මහත්තයමයි. කොහොමත් වෙඩි තියල තියෙන්නෙ යාර තිස්පහක් වගේ ඇතුළත. මුලින් මේ දොස්තර කීවෙ වෙඩි තිබ්බෙ නෑ කියල. පස්සෙ එයා වෙඩි තිබ්බ කියල පිළිගත්ත.” බලය හා මුදල හමුවේ ශ්‍රී ලංකා පොලීසියේ ඈලි මෑලී දුබල හැසිරීම අප පසුගිය සතියේ සිදු වූ සිදුවීම් කිහිපයකදීම දුටුවේය. නමුත්, මේ අවස්ථාවේ පොලීසියේ හැසිරීම ප්‍රසංසනීයය.


“මෙයාව ඉස්පිරිතාලෙට අරගෙන ගියාට පස්සෙ ඒ දොස්තර වත්තෙන් එළියට ඇවිල්ල පාරෙ නවත්තල තිබ්බ ළමයින්ගෙ බයික් වලට තුවක්කුවෙන් ගහල වෙඩි තියන්න හදල” මව පවසන්නීය.


“ඔව්, එතකොට එතන හිටපු අයිය කෙනෙක් තමයි පැනල තුවක්කුව උදුරගෙන තියෙන්නෙ. නැත්තන් තව අයට වෙඩි තියනව. මට වෙඩි වැදුණ වෙලේ එක වෙඩිල්ලක් එතන හිටපු අයිය කෙනෙක්ගෙ කන ළඟින් ගිහිල්ල තියෙන්නෙ.”
“දකුණු පැත්තට වදින්නෙ නැතුව වම් පැත්තට වැදුන නම්, ජීවිතයක් ඉවරයි. ඇහැක වැදුනනම් මොන දෙයියන්ට කියන්නද…”මව පැවසුවාය.


සැබෑවටම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව හතර අතේ වෙඩි තැබූ මොහොතේ මාරාන්තික ස්ථානයකට වෙඩි වැදුණා නම්, මේ දෙමාපියන්ට මෙසේ සැනසුම් සුසුම් නොව කඳුළු වගුරන්නට සිදුවනු ඇත.


වෙඩි ප්‍රහාරයට ලක් වූ දරුවාට තව මාස කිහිපයකින් යථාතත්ත්වයට පත්විය හැකිය. එහෙත් ගැටලුව එතැනින් නවතින්නේ නැත. තුවාලය සුළු වූයේ දරුවාගේ වාසනාවටය. නොඑසේ නම් මෙය මීට වඩා විශාල ඛේදවාචකයකින් නිමාවීමට හැකියාව තිබුණි. එහෙත් වෛද්‍යවරයා පිට පැටවෙන වගකීම වෙනස් නොවේ. ඔහු වෙඩි තැබුවේ හානියක් කිරීමට විනා වෙනත් දෙයකට නොවේ. ඒ නිසා ඔහුට උපරිම දඬුවම් හිමිවිය යුතුය.


අනෙක් පසින් මොහු වෛද්‍යවරයෙකි. වෛද්‍යවරයෙකු කාරුණික විය යුතුය. සුළුදේටත් කෝප ගැන්වී, මෙසේ විනාශකාරී ලෙස හැසිරීම දොස්තර කෙනෙකුට තබා කොන්දොස්තරවයෙකුටවත් සුදුසු නැත. වෛද්‍යවරයාගේ වත්තට බෝලය වැටීම ඔහුට බාධාවක් විය හැකිය. එසේ නම් එය විසඳා ගැනීමට මීට වඩා යහපත් මාර්ග ඇත. අප වෙඩි ප්‍රහාරයට ලක් වූ සිසුවාගෙන් කළ විමසීමකදී ඔහු පැවසූවේ මීට පෙර එම වත්තට බෝලය ගොස් ඇතත් කිසිඳු දිනක එය, කාර් රථයට හානියක් හෝ, වීදුරු බිඳීමක් හෝ වෙනත් කිසිඳු අලාභ හානියක් සිදු වී නොමැති බවයි. ඒ නිසා මේ තරම් වෛද්‍යවරයා උරණ වීම කණගාටුදායකය.


මේ වෛද්‍යවරයාගේ මානසික තත්ත්වය පරීක්ෂා කර බලන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර. ඒ වාර්තාව ලැබීමෙන් පසුව තව දුරටත් මේ වෛද්‍යවරයා පිළිබඳව සාකච්ඡා කළ හැකිය. එසේම මෙවැනි කෝපාවිෂ්ට වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේද ජීවිත තර්ජනයකට ලක්වේ. මේ නිසා මේ පිළිබඳ අපේක්ෂා රෝහල, සෞඛ්‍ය අමාත්‍යංශය, වෛද්‍ය සභාව පරීක්ෂණ පවත්වා නිසි පියවර ගත යුතුය. එහෙත් ලංකාවේ එවැනි පරමාදර්ශී ක්‍රියා මෙතෙක් සිදුවී නැත.


කෙසේ නමුත් කුමන ආකාරයකට හෝ මේ සිදුවීම සම්බන්ධව නීතිය සාධාරණ ලෙස ක්‍රියාත්මක වන තෙක් අපි බලාසිටින්නෙමු.