හිරුණි කුරුප්පුආරච්චි


කලක පටන් ශ්‍රී ලංකා මහ බැංකුව රට තුළ ඡනප්‍රිය මාතෘකාවක් වී ඇත. තවමත් වංචාකරුවන් රැහැනට හසු කර ගැනීමට අසමත් වූ මහ බැංකු මූල්‍ය වංචාවත් සමග රටවැසියාගේ අවධානය මහ බැංකුව කෙරෙහි වඩ වඩාත් යොමු වූ අතර එහි ඉහළ පරිපාලනය හා සම්බන්ධ ඇතැම් පිරිස් පිළිබඳ අවස්ථා ගණනාවක දී එල්ල වූ විවිධ චෝදනා හමුවේ මහ බැංකුව පිළිබඳ පෙර පැවති විශ්වසනීයත්වය සහ ගෞරවය ක්‍රමයෙන් කෙළෙසෙමින් පවතින බව රට තොට සරණ විට පෙනී යන කරුණකි. මේ සියලු කළු පැල්ලම් අතර කලක සිට තවත් පිරිසක් මහ බැංකුව දෙසට දබර ඇඟිල්ල දිගු කරමින් සිටිති. ඒ ‘ද ෆිනෑන්ස්’ තැන්පතුකරුවන් සහ එහි කාර්ය මණ්ඩලයයි.


ලලිත් කොතලාවල මහතා විසින් ඇරඹි මූල්‍ය සමාගම් අතර පැරණිම සහ වඩාත් ලාභදායීම මූල්‍ය සමාගම වූ ද ෆිනෑන්ස් සමාගම වසර 80කට වැඩි ඉතිහාසයක් සහිත මූල්‍ය සමාගමකි. සෙලින්කෝ ආයතනයේ ඇද වැටීමත් සමග කොතලාවල මහතා විසින් ආරම්භ කළ සියලු මූල්‍ය සමාගම් එම අර්බුදය විසින් ගිලගත් අතර 2009 වර්ෂයේ සිට ද ෆිනෑන්ස් සමාගමේ පාලනය ශ්‍රී ලංකා මහ බැංකුව සියතට ගැනීමට සිදුවන්නේ ලලිත් කොතලාවල මහතාගේ හිමිකාරිත්වයෙන් ද ෆිනෑන්ස් සමාගම වෙන් කළ පසු එහි 50%ට වැඩි අයිතියක් හිමිකර ගැනීමට කිසිදු කොටස් හිමියෙකු අසමත් වන තත්වයක් තුළය. ඒ අනුව 2009 වර්ෂයේ සිට මේ වන තෙක් ද ෆිනෑන්ස් සමාගම පාලනය වන්නේ මහ බැංකුව විසින් පත් කළ අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේය. අද දක්වා මහ බැංකුව විසින් පත් කළ අධ්‍යක්ෂ මණ්ඩල 4ක් විසින් ද ෆිනෑන්ස් සමාගම පාලනය කර ඇත. එසේම මහ බැංකුව විසින් ද ෆිනෑන්ස් සමාගම අවස්ථා 5ක් සෘජු පරීක්ෂණයට ලක් කරමින් අධීක්ෂණය කර ඇති අතර සමාගමේ මූල්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා එහි මාසික සහ වාර්ෂික වාර්තා මහ බැංකුව වෙත ලබා දෙමින් සමාගම අඛණ්ඩව වසර 10ක් මහ බැංකුවේ අධීක්ෂණයට ලක්වෙමින් පවතී. 2009 වසරේ ද ෆිනෑන්ස් සමාගමේ භාරකාරත්වයට මහ බැංකුව පත් වන විට එහි වත්කම්වල අගය රුපියල් බිලියන 36.7ක් වූ අතර වගකීම් රුපියල් බිලියන 35.54කි. ඒ අනුව සමාගමේ වත්කම් සහ වගකීම් අතර පැවතුණේ රුපියල් මිලියන 1427ක ධන සම්බන්ධයකි. එහෙත් මෙහි ඇති බරපතළම ගැටලුව නම් වසර දහයක කාලසීමාවක් මහ බැංකුවෙහි අධීක්ෂණය යටතේ පැවති ද ෆිනෑන්ස් සමාගම 2019 වන විට බිලියන 19ක අලාභයක් හිමිකර ගෙන තිබීමය. තත්ත්වය මෙසේ පවතිද්දී 2019 ඔක්තෝබර් මස 23 වන දින මහ බැංකුව විසින් ද ෆිනෑන්ස් සමාගමේ බලපත්‍රය අවලංගු කිරීමේ නිවේදනයක් නිකුත් කර ඇත. තවමත් බලපත්‍රය අවලංගු වී නැතත් මහ බැංකුව එවැනි තීරණයක් ගතහොත් ද ෆිනෑන්ස් සමාගමේ තැන්පතුකරුවන්, කොටස් හිමියන් සහ සේවක මණ්ඩලය යන මේ සෑම පාර්ශ්වයකට ම සිදුවන්නේ දැඩි අලාභ හානියකි.


ද ෆිනෑන්ස් අර්බුදය පිළිබඳ රාවයට කරුණු දැක්වූ එම සමාගමේ සේවක සංගමයේ සභාපති දුමින්ද තිලකරත්න සහ උප සභාපති නිශාන්ත ප්‍රියමාල් යන මහත්වරුන් පවසන අන්දමට සමාගමේ අද පවතින අස්ථාවරත්වයට හේතු වී ඇත්තේ මහ බැංකුව විසින් ගත් ඇතැම් තීන්දු තීරණය. වරින් වර අධ්‍යක්ෂ මණ්ඩල වෙනස් කිරීම සහ ඇතැම් මණ්ඩලවල පාලනය දුර්වල බව පවසමින් තෙමසක් වැනි කෙටි කලක් තුළ අධ්‍යක්ෂ මණ්ඩල වෙනස් කළ අවස්ථා ද වූ බව ඔවුහු පවසති. එසේම 2014 වර්ෂයේ පත් කළ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ද ෆිනෑන්ස් සමාගමට ‘රට විරු’ ව්‍යාපෘතිය හරහා යළි මුදල් ඉපයීමේ අවස්ථාව උදාකර දෙමින් සමාගමේ ආදායම් වියදම් අතර පරතරය ක්‍රමයෙන් හීනවීමට අවස්ථාව සලසා දුන් පසුබිමක් තුළ වුව ද 2015 ආණ්ඩු පෙරළියත් සමග යළි අධ්‍යක්ෂ මණ්ඩලය වෙනස් කොට තිබීම ආයතනය අත්කර ගනිමින් පැවති ප්‍රගතිය බිඳ වැටීමට හේතු වූ තවත් කරුණකි. අලුතින් පත් කළ අධ්‍යක්ෂ මණ්ඩලය පෙර වැරදි සොය සොය සිටියා විනා නව ධනෝපායන ක්‍රම හඳුන්වා දීමට උත්සාහ නොකළ බවත් එවැනි දේ සඳහා ප්‍රමාණවත් දැනුමක් ද ඔවුන්ට නොවූ බවත් තිලකරත්න මහතා නගන චෝදනාවකි. මහ බැංකුවෙහි භාරකාරත්වයට පත් වූ පසු ඔවුන්ගේ නියමය පරිදි ද ෆිනෑන්ස් සමාගමට ඔවුන් එතෙක් කළ දේපළ වෙළෙඳාමට ද තිත තැබීමට සිදු වී ඇති නිසා ආදායම් ඉපයීමේ තවත් මාර්ගයක් වැසී ගොස් ඇත.


2019 පෙබරවාරි 15 වන දින මහ බැංකුව විසින් දැනුම්දීමකින් තොරව තැන්පතුකරුවන්ගේ සියලු ස්ථාවර තැන්පතු සේම ද ෆිනෑන්ස් සමාගම තැන්පතුකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් විවර කළ ඉතිරි කිරීමේ ගිණුම්වල තිබූ සියලු මුදල් ද අත්හිටුවීම තැන්පතුකරුවන් අතිශය කම්පනයට පත් කළ කාරණයකි. ද ෆිනෑන්ස් සමාගමේ පාලනය සඳහා මහ බැංකුව විසින් පත් කළ අධ්‍යක්ෂ මණ්ඩලයේ එවක විධායක අධ්‍යක්ෂවරයාව සිටි නිමල් මාමදුව මහතාගේ දැනුම් දීම පරිදි 2019 ඡනවාරි 31 වන දිනට ද ෆිනෑන්ස් සේවක මණ්ඩලය විසින් නව තැන්පතු මිලියන 946ක් එක් රැස් කළ ඇති අතර එසේ එක් රැස් කළ තැන්පතු මුදල් සඳහා තැන්පත්කරුවන්ට මසක පොලිය හෝ ලබාදීමට ප්‍රථම පෙබරවාරි 15 වන දින තැන්පතු අත්හිටුවීමට නියෝග කිරීමෙන් පාරිභෝගිකයන්ට වූ පාඩුව අතිවිශාලය. මේ ගැන අප සමග කරුණු දැක්වූ දුමින්ද තිලකරත්න මහතා පැවසුවේ මෙවැනි අදහසකි. “දැන් මේ තැන්පතු භාරගන්න කියන යෝජනාව කරපු අධ්‍යක්ෂතුමාගේ ඉල්ලීම පිට ඔහුව මේකෙන් නිදහස් කරලා තියනවා. ඔහු දැන් නිදහසේ ඔස්ටේ්‍රලියාවට වෙලා ඉන්නවා. අවුරුදු තුනකට ආසන්න කාලයක් බිලියන 10ක විතර පාඩුවක් කරපු මොහුව මහ බැංකුව නිදහස් කළා. ඒ වෙනකොට මිලියන 1300ක් අපේ එකවුන්ට් එකේ සල්ලි තිබුණා අර ගෙනාපු සල්ලිත් එක්ක. මිලියන 1300ක් තිබුණ තැන මොවුන් අර මිලියන 946 නිදහස් කළේ නැහැ. මහ බැංකුව එයාලට ඕනෙ ඕනෙ විදිහට සල්ලි පාලනය කරන්න ක්‍රමවේද හැදුවා. දැන දැන ම තමයි මේ දේ කළේ. ඉතිරි කිරීමේ ගිණුම්වල සල්ලි නිදහස් කරලා ආයෝජකයෙකුට එන්න අවස්ථාව හදන්න කිව්වා. ඒක කළෙත් නැහැ. අපි දැන් අපි එකතු කරන මුදලෙන් තමයි තැන්පතුකරුවන්ට පොලී ගෙවන්නේ. මහ බැංකුව අපිව නොමරා මරුවා.”


මහ බැංකුවේ අත්තනෝමතික තීරණය නිසා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් විවර කොට තිබූ සියලුම ගිණුම්වල පොලී අනුපාතයන් මෙන්ම වර්ෂ දෙක සහ තුන දක්වා වූ සියලු ස්ථාවර තැන්පතුවල ද කෙටිකාලීන තුන් මාසික තැන්පතුවල ද සෑම පොලී අනුපාතයක්ම කිසිදු දැනුම් දීමකින් තොරව අඩු කර තිබීම ගනුදෙනුකරුවන් කබලෙන් ළිපට වැටීමක් වැනිය. මහ බැංකුව විසින් දැනුම් දීමකින් තොරව සිදු කළ මේ ක්‍රියාව නිසා මෙම පොලියෙන් ජීවත් වූ ලක්ෂ දෙකකට අධික තැන්පතුකරුවන් රැසක් සිය ආදායම් මාර්ගය ඇහිරීම නිසා අපේක්ෂාභංගත්වයට පත් ව තිබීම බරපතළ කරුණකි.


ද ෆිනෑන්ස් සේවක සංගමය පවසන අන්දමට ද ෆිනෑන්ස් සමාගම විසින් නඩු පැවරූ ණයගැතියන් සම්බන්ධ නඩු ඉදිරියට පවත්වාගෙන නොයන ලෙස මහ බැංකුව ඔවුන්ට උපදෙස් දී ඇති අතර කෙසේ හෝ මුදල් පියවීමේ කරදරයෙන් ගැලවීමට කැමති පිරිස්වලට තම ණය මුදල ගෙවීම පැහැර හැරීම සඳහා මෙය කදිම අවස්ථාවක් වුව ද සමාගමට තමන්ට ලැබීමට ඇති මුදලක් අහිමි වීම නිසා එමඟින් ද සිදුවන්නේ අලාභයකි. 2014 දී මහ බැංකුව විසින් බිලියන 6ක ණය මුදලක් තම සමාගමට ලබා දුන්නද එයින් බිලියන 1.4ක මුදලක් පමණක් එම අවස්ථාවේ නිදහස් කළ බවත් එහෙත් සමස්ත බිලියන 6ට ම තම ආයතනයට පොලී ගෙවීමට සිදු වී ඇති බවටත් සේවක සංගමය වැඩි දුරටත් චෝදනා කරති. එයින් ද ඔවුන් පවසන අන්දමට මිලියන 475ක අලාභයක් සිදු වී ඇත.


පසුගිය වසරේ නොවැම්බර් මාසයේ එනම් ජනාධිපතිවරණය පැවති සමයේ ද ෆිනෑන්ස් සමාගම මිල දී ගැනීම සඳහා ආයෝජකයින් කැඳවා ඇති අතර දේශපාලන වෙනස්වීම් ඇතිවන එවැනි කාලයක ආයතනය මිල දී ගැනීම සඳහා ආයෝජකයෝ ඉදිරිපත් නොවූහ. ඒ හේතුවෙන් එම අවස්ථාව ගිලිහී ගිය අතර නැවත අයෝජකයන් කැඳවූ අවස්ථාවේ එවක මහ බැංකු නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා විසින් ලංකාවේ මූල්‍ය සමාගම් 20ක් මූල්‍ය අර්බුදයක පවතින බව පැවසීමෙන් රටේ මූල්‍ය පද්ධතිය පිළිබඳ ඇතිවන අවිශ්වසනීයත්වය නිසා ආයෝජකයකු තම සමාගම මිල දී ගැනීමට ඉදිරිපත් වන්නේ දැයි සේවක සංගමය චෝදනා මුඛයෙන් විමසා සිටිති. 2009 වසරේ සිටම ආයෝජකයෙකු ගෙන්වීමට මහ බැංකුවට හැකියාව තිබුණ ද අධ්‍යක්ෂ මණ්ඩලවල නොසැලකිල්ල හා අකාර්යක්ෂමතාව නිසා එම පියවර නොගත් බවට ද ඔවුහු මහ බැංකුවට දොස් පවරති. රාවයට අදහස් දැක්වූ ද ෆිනෑන්ස් සේවක සංගමයේ උපසභාපති නිශාන්ත ප්‍රියමාල් මහතා වැඩි දුරටත් මෙසේ පැවසීය. “ මෙවර ජනාධිපතිවරණෙට කලින් වියත් මග වැඩසටහන්වල දී ඔවුන් එක එක ප්‍රකාශ නිකුත් කළා ද ෆිනෑන්ස් එක සම්බන්ධ කරගෙන. වැදගත්ම කාරණේ තමයි මොවුන් පොරොන්දු වුණා මේ ප්‍රශ්නය විසඳලා දෙනවා කියලා. මිනිස්සු බලාපොරොත්තු තියාගෙන ඡන්දය ප්‍රකාශ කළා දැන් ඉන්න ජනාධිපතිට. එතකොට ලක්ෂ පහක විතර ඡන්ද වැටෙනවා මේකෙන්. ජනාධිපතිවරණ කාලේ අපි ෆේස් බුක්, වට්ස්ඇප් ගෲප් හදා ගෙන අපේ තැන්පතුකරුවන්ට ෂෙයාර් කළා වියත් මග එකේ පොරොන්දු. පොරොන්දු දුන්නා නම් ඒවා කරන්න ඕනෙ.”


මහ බැංකුවේ ක්‍රියාකලාපය හමුවේ වඩාත්ම අසරණ වන්නේ ද ෆිනෑන්ස් තැන්පතුකරුවන් වන අතර අප ඔවුන්ගෙන් ද තොරතුරු විමසා බැලීමු. ඇතැම් තැන්පතුකරුවන්ගේ පවුලේ හිතවතුන් හදවත් රෝග, පිළිකා වැනි දරුණු ලෙඩ දුක්වලින් පීඩා විඳි පිරිස් වූ අතර ඔවුන් ඒ සඳහා නොයෙක් පෞද්ගලික රෝහල්වල ශල්‍යකර්මවලට ලක් වී අවසානයේ එම රෝහල්වලම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට මියගොස් ඇත. මොවුහු එම රෝහල් ගාස්තු ගෙවීමටත්, අවමංගල්‍ය කටයුතු සඳහාත් තම ගිණුම්වල ඇති මුදල් නිදහස් කරන ලෙස ද ෆිනෑන්ස් සමාගමෙන් ඉල්ලා සිටියත් මහ බැංකුව විසින් තැන්පතු අත්හිටුවා ඇති නිසා මුදල් ලබා ගැනීමට නොහැකිව තම අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා කණකර අභරණ උකසට තැබීමටත් අවසානයේ තම හිතවතුන්ගෙන් ණයට මුදල් ඉල්ලා ගැනීමටත් සිදු වීමෙන් දැඩි චිත්ත පීඩාවෙන් පසුවෙති. ඔවුන්ට තමන්ගේ මහන්සියෙන් උපයා තමන් විසින් ම තැන්පත් කළ මුදල් ලබා ගැනීමට රෝහල් බිල්පත් ඉදිරිපත් කිරීමට පවා සිදුවීම කනගාටුවට කරුණකි. එසේම පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට තම අධ්‍යාපන කටයුතු සඳහා ප්‍රයෝජනයට ගැනීමට දෙමාපියන් විසින් ද ෆිනෑන්ස් හි තැන්පත් කර තිබූ මුදල් අදාළ ගෙවීම් කිරීම සඳහා ලබා ගැනීමට නොහැකි වී ඇති අතර අඩු පොලියක් ප්‍රදානය කිරීම නිසා තවත් අපහසුතාවට පත්ව ඇත. එසේම ඇතැම් පිරිස් තම ජීවිත කාලයෙන් වැඩි කොටසක් විදෙස් රටක දුක සේ ජීවිකාව කර උපයා ගත් මුළු ධනයම ද ෆිනෑන්ස් සමාගමෙහි තැන්පත් කර ඇත්තේ එමඟින් ලැබෙන පොලී මුදලෙන් ඉතිරි ජීවිතය සුවසේ ගත කරන අදහසිනි. දෛනික ගෙදර දොර උවමනාවන් පිරිමසා ගනිමින් දරුවන්ගේ කුදු මහත් වැඩ කටයුතු සියල්ලටම වියපැහැදම් කිරීමට ඔවුන් සතුව තිබුණේ ඒ පොලී ආදායම පමණි. එහෙත් පොලී මුදල අඩු කිරීමෙන් එම කර්තව්‍යයන් සඳහා ප්‍රමාණවත් මුදලක් නොලැබෙන බවට ද, මහ බැංකුව විසින් ගිණුම් අත්හිටුවා ඇති බැවින් තම මුදල් ලබා ගැනීමට නොහැකි බවට ද ඔවුහු චෝදනා කරති. පහතින් දැක්වෙන්නේ ද ෆිනෑන්ස් සමාගමේ හලාවත ශාඛාවේ ගනුදෙනුකරුවෙකු වන ඩබ්ලිව්.පී. තමෙල් මහතා විසින් අප සමග පැවසූ අදහස් කිහිපයකි.


“මම වයස අවුරුදු 64ක විශ්‍රාමිකයෙක්. මං අවුරුදු 10ක් විතර තිස්සේ ද ෆිනෑන්ස් එක එක්ක ගනුදෙනු කරනවා. මට ලොකු දණහිස් අමාරුවක් තියෙනවා. මේ වෙන කොට මම ආබාධිතයෙක්. මගේ ආබාධිත තත්ත්වෙත් එක්ක මට ද ෆිනෑන්ස් සමාගම එක්ක ගනුදෙනු කරන්න ලේසි වුණා. දැන් සති දෙකකට කලිනුත් මං ඩොක්ටර්ව හම්බවෙලා හේමාස් එකේ ඔපරේෂන් එකට යන්න හිතුවේ. ඒත් යාගන්න මට සල්ලි නැහැ. ඉතින් දැන් මරණය දැක දැක ඉන්න වෙලා තියෙන්නේ. මට සල්ලි නැහැ දෙපයින් නැගී හිටින්න. මොකද මහ බැංකුව අපේ සල්ලි දෙන්න එපා කියලා. ඉතින් දැන් මට පාරේ බුදියන්න වෙන තත්වෙට පත්වෙලා තියෙන්නේ. මගේ පුතාලා මහ බැංකුවට ගියා, අගමැති කාර්යාලෙට ගියා, පාර්ලිමේන්තුවට ගියා. ඒ ගියාට කිසිම විසඳුමක් ලැබිලා තිබුණේ නැහැ මේ වෙනකන්.”


ද ෆිනෑන්ස් හයිඞ් පාක් කෝනර් ශාඛාවේ ගනුදෙනුකරුවෙකු වන ගීතනාත් කුඩලිගම මහතා පවසන්නේ ඔවුන්ගේ මුදල් විනාශ වූයේ මහ බැංකුව පත් කළ අධ්‍යක්ෂ මණ්ඩලය ලක්ෂ ගණනින් වැටුප් ලබමින්, අධිසුඛෝපභෝගී යාන වාහන පරිහරණය කරමින් සහ දේශ දේශාන්තරවල චාරිකා කරමින් තම පෞද්ගලික හිතවතුනට වරදාන දෙමින් කළ මූල්‍ය අවභාවිතය නිසා බවය.


තැන්පතුකරුවන් ද ෆිනෑන්ස් කොටස් හිමියන් සහ සේවකයින් ද යන සියලු පාර්ශ්ව අර්බුදයට පත් කරමින් වසර දහයක් පුරා මහ බැංකුව විසින් ක්‍රමක්‍රමයෙන් ඇති කළ මෙම වාතාවරණයෙන් මිදීම සඳහා විසඳුම් කිහිපයක් ද ෆිනෑන්ස් සේවක සංගමය ඉදිරිපත් කරති. තම ආයතනය මහ බැංකුව යටතේ පවතින සමයක ඔවුන් විසින් පත් කළ අධ්‍යක්ෂ මණ්ඩලයේ දුර්වලතාව හේතුවෙන් ඇති වූ මෙම තත්ත්වය සමනය කිරීම සඳහා මහ බැංකුව වහා ඉදිරිපත් වී ද ෆිනෑන්ස් සමාගමට ආයෝජකයෙකු සොයා දීම ඔවුන් ඉදිරිපත් කරන පළමු විසඳුමයි. එසේත් නොමැති නම් රජය මැදිහත් වී වෙනත් බැංකුවක් හෝ මූල්‍ය සමාගමක් සමග තම සමාගම සම්බන්ධ කොට එහි කටයුතු ඉදිරියට පවත්වා ගෙන යා යුතු බව ඔවුන් ගෙනෙන තවත් යෝජනාවකි. මහ බැංකුව ද ෆිනෑන්ස් ආයතනය වසා දැමිය යුතු ය යන අදහසේ ම දැඩිව එල්බ ගෙන සිටින්නේ නම් ඔවුන් අතින් ගනුදෙනුකරුවන්ට මෙතෙක් වූ පාඩුව සලකා බලා එක් ගනුදෙනුකරුවෙකුට මහ බැංකුව පවසන පරිදි ලක්ෂ හයක මුදලක් නොව ලක්ෂ 15ක මුදලක් රක්ෂණ හා ද්‍රවශීලතා අරමුදලෙන් ගෙවිය යුතු බව අනෙක් විසඳුමයි. එක් ගනුදෙනුකරුවෙක් සඳහා ලක්ෂ 15ක මුදලක් ගෙවීමෙන් බිලියන 20ක පමණ මුදලක් ගෙවිය හැකි බවත් ඉතිරි බිලියන 6ක මුදල ද ෆිනෑන්ස් සමාගමේ වත්කම් විකුණා ගෙවීමට හැකි බව ද ඔවුහු පෙන්වා දෙති. එසේම ද ෆිනෑන්ස් සමාගමේ හිටපු මූල්‍ය අධ්‍යක්ෂවරයෙකු වන, වර්තමානයේ සසෙක්ස් අධ්‍යාපන ආයතනයේ අධිපති කේ.එස්. ඡයතිස්ස යන පුද්ගලයා බිලියන 4ක පමණ පොලී මුදලක් තම සමාගමට ගෙවීමට බැඳී සිටින අතර එම මුදල නිසි පරිදි මාසිකව ගෙවුවේ නම් තැන්පතුකරුවන්ගේ පොලී මුදලෙන් 70% ක ප්‍රමාණයක් එයින්ම ආවරණය කර ගැනීමට හැකියාව තිබූ බවත් පවසන ද ෆිනෑන්ස් සේවක සංගමය මෙම පුද්ගලයා සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී මෙම මුදල ලබා ගැනීමට උත්සාහ කරන ලෙසත් මහ බැංකුවෙන් සහ පවතින දේශපාලන අධිකාරියෙන් ඉල්ලා සිටිති. මේ වන විටත් අරලියගහ මන්දිරය තුළ ද ෆිනෑන්ස් අර්බුදය විසඳීම සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව එක්වී සාකච්ඡා පවත්වමින් සිටින අතර ඒ සඳහා මෙයට සම්බන්ධ පාර්ශ්ව නව යෝජනා විසඳුම් ඉදිරිපත් කරමින් පසුවෙන බවත් සැලවෙයි. මෙය මැතිවරණ කාලයක ඡන්දදායකයා රවටා ඡන්දය කඩා ගැනීමට ගන්නා තවත් එක් උත්සාහයක් නොවී සැමට සාධාරණය ඉටු කිරීමට ගන්නා සැබෑ උත්සාහයක් ම වන්නේ නම් මැනවි.

මහ බැංකුවේ පැහැදිලි කිරීම


ශ්‍රී ලංකා මහ බැංකුව තම වෙබ් අඩවිය තුළ ද ෆිනෑන්ස් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග පිළිබඳව සඳහන් කර ඇත. 2019 පෙබරවාරි 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි මහ බැංකුව විසින් ගත් ප්‍රධාන ප්‍රතිව්‍යුහගත කිරීමේ පියවර කිහිපයකි. නව තැන්පතු බාර ගැනීම සීමා කිරීම සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කර ඇති පොලී අනුපාතයන් යටතේ තැන්පතු සඳහා ගෙවිය යුතු පොලිය මාසික පදනම යටතේ නොකඩවා ගෙවීම, සියලුම තැන්පතු ආපසු ගෙවීම සීමා කර එම තැන්පතු මාස 03ක කාලයක් සඳහා නැවත අලුත් කිරීම, සියලුම ආකාරයේ ණය පහසුකම් ප්‍රදානය කිරීම සීමා කිරීම, ආයතනයේ කටයුතු කළමනාකරණය කිරීම සඳහා කළමනාකරණ මණ්ඩලයක් පත් කිරීම යන ක්‍රියාමාර්ග එහි සඳහන් කර ඇත. මෙම ප්‍රතිව්‍යුහගත පියවරයන්ගේ වාසි ලෙස මහ බැංකුව පෙන්වා දෙන්නේ කෙටි කාලයක් තුළ ආයතනයේ ද්‍රවශීලතාව පවත්වා ගැනීමට දායක වීමත්, නව ආයෝජන අවස්ථා සොයා බැලීම සඳහා මෙමඟින් අවස්ථාව උදාවීමත් ය. එසේම කළමනාකරණ මණ්ඩල මගින් මුදල් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විශේෂිත දැනුමක් ලබා ගැනීමට හැකි වීමත්, ඔවුන් ආයතනයේ දැනට සිටින අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සමීපව කටයුතු කරනු ඇති බවත් විවිධ පාර්ශ්වයන් වෙත ලබා දුන් ණය පහසුකම් අය කර ගැනීමට ඔවුන් කටයුතු කිරීමත් මෙමඟින් අපේක්ෂිත තවත් ප්‍රතිඵල කිහිපයකි. මහ බැංකුව එහි වැඩිදුරටත් සඳහන් කරන්නේ යම්කිසි ආයෝජකයෙකු විසින් මෙය ඵලදායී ආයෝජනයක් ලෙස හඳුනා ගතහොත් ආයතනයේ මුදල් ප්‍රවාහයන් සහ ස්ථාවරත්වය ශක්තිමත් වීම තුළ මහ බැංකුවට දැනට පනවා ඇති සීමාවන් ලිහිල් කිරීම පිළිබඳව සලකා බැලිය හැකි බවය. ද ෆිනෑන්ස් සමාගමේ සේවකයන්ගේ තත්ත්වය පවතිනුයේ උපාය මාර්ගික ආයෝජකයෙකු හඳුනා ගැනීමේ සාර්ථකත්වය මත බවත් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ කළමනාකරණය වෙත සහය දක්වන මෙන් තැන්පතුකරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් මහ බැංකුව සඳහන් කරයි.