දිනී ජයසේකර


කුමන්ත්‍රණකාරී ලෙස කොතලාවල බංකොළොත් කරනවාත් සමගම මූල්‍ය ආයතන කිහිපයක තැන්පත්කරුවන් තමන්ගේ මුදල් මූල්‍ය ආයතන ප්‍රධානීන්ට පූජා කර සත්‍යයග්‍රහ පවත්වමින් වැරදිකරුවන්ට දඬුවම් කර තැන්පත්කරුවන්ගේ මුදල් නැවත ලබා දෙන වැඩපිළිවෙලක් සකස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි කාලය ඔබට මතකැයි අප සිතන්නෙමු. පසුව 2020 ජනාධිපතිවරණය පැමිණෙනවාත් සමගම තැන්පත්කරුවන් නිශ්ශබ්ද වූ හැටිද අපට මතකය.


වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට දුන් ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූයේ ද ෆිනෑන්ස් සහ ඊ.ටී.අයි ආයතන වලින් අගතියට පත් තැන්පත්කරුවන්ට සාධාරණයක් ඉටු කරන බවය.

එනිසාවෙන් ශ්‍රී ලංකා මහබැංකුවේ ස්ථාපිත ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ද්‍රවශීලතා ආධාරක ක්‍රමය මගින් එහි රක්ෂණය කර ඇති තැන්පත්කරුවන් සදහා පවතින නීති විධිවිධාන යටතේ එක් තැන්පත්කරුවකුට රුපියල් ලක්ෂ හයක(600,000.00) උපරිමයකට යටත්ව වන්දි ගෙවීමකට කටයුතු කැරිණි. එහිදී ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී ආයතනයේ තැන්පත්කරුවන්ට අධියර දෙකක් යටතේ මුදල් ගෙවීමට නියම විය. මුල් අධියරේදී රක්ෂණ වන්දි ගෙවීමේ ක්‍රමය යටතේ රුපියල් ලක්ෂ හයට අඩු තැන්පතු ගෙවා, දෙවන අධියර 2020 ජුලි 02 වනදා සිට රක්ෂණ වන්දි ගෙවීමේ ක්‍රමය යටතේ එක් තැන්පත්කරුවෙක් සදහා ගෙවනු ලබන උපරිමය ලක්ෂ හය ගෙවීම ලෙස අදියර දෙකක් විය. නමුත් මේ වනතෙක් උපරිමය වූ ලක්ෂ හයක වන්දිය නොලැබූ බහුතරයකි. මේ ඔවුන්ගේ කතාවයි.


විස්සෙ කෑලි


2020 ජුලි 02 වනදා සිට දෙවන අදියර ගෙවනවායැයි කියා මාසයකුත් දවස් දහ අටක් ගෙවී අවසන්ය. උපරිමය ලක්ෂ හය නොලැබූ පිරිස අති විශාලය. තැන්පත්කරුවන් පවසන පරිදි ද ෆිනෑන්ස් පීඑල්සී ආයතනය විසින් ඔවුන්ගේ උවමනාවට තැන්පත්කරුවන්ට ඔවුන්ගේ තැන්පතු වලින් කොටස් ලබා දී ඇත. තැන්පත්කරුවන් පවසන්නේ ඔවුන් අකමැත්තෙන් වුවද රුපියල් විස්සෙ කොටස් සඳහා අත්සන් කළ බවය. ආයතනය මූල්‍ය ද්‍රවශීලතා අර්බුදයක සිටින මොහොතක එය අත්සන් නොකළ සිටියේනම් එයින්ද තැන්පත්කරුවන්ට අවාසිදායක තත්වයක් ඇති වීමට ඉඩ තිබූ බැවින් රුපියල් හතලිහේ කොටස් එපා යැයි පවසා රුපියල් විස්සෙ කොටස් සඳහා තමන් කැමැත්ත පළ කළ බව තැන්පත්කරුවෝ අප සමග පැවසුහ.


“අපෙන් මුලින්ම ඇහැව්ව හතලිහෙ කොටස්ද විස්සෙ කොටස්ද ගන්නෙ කියලා. අපි කීවා මුකුත් එපා කියලා. ඒත් ආයතනය මුදල් අර්බුදයක කියලා දැනගත්තට පස්සෙ අපි අකමැත්තෙන්ම විස්සෙ කොටස් වලට අත්සන් කළා. දැන් අපිට මේ මුදල් ගන්න බැරි වෙලා තියෙන්නෙ කොටස් ප්‍රශ්නෙ නිසාමයි. වෙන මුකුත් ප්‍රශ්නයක් නෙවේ. මම මේකට අම්මගෙ සල්ලි ලක්ෂ විසිපහක් දැම්මා. දැන් මගෙන් වටේ ඉන්න සහෝදරයො ප්‍රශ්න කරනවා කෝ ඒ සල්ලි කියලා. ඇත්තටම මේ ආයතනික ප්‍රශ්න නිසා අපිට පවුල් ප්‍රශ්නත් ඇති වෙමිනුයි තියෙන්නේ. මුදල් ඉල්ලුවම වන්දියක් දෙන්නම් කීවා. ඒ නිසා අපි පැත්තකට වුණා. නමුත් දැන් ඒ වන්දිය ගන්න ගියාම එක එක ඒවා කියනවා. අපි හරියට අනුන්ගෙ මුදල් ගන්න යනවා වගේ කරදරයකට මුහුණ දීලා තියෙන්නේ. ආයෙ කොටස් වලට සහතික කොහෙන් ගන්නද ? ඉතින් මේ සදහා තියෙන ලියකියවිලි අනුව අපට සහනයක් ලබා දෙන්න කියලයි අපි ඉල්ලන්නේ. අපිට අපේ තැන්පත් මුදල් ඕනෙත් නැහැ. මේ ලක්ෂ හයවත් ලැබුනොත් ඇති. ” එසේ පැවසුවේ එච්.සී.තායිරි ය.


තායිරිගේ හඩ බාල වනවාත් සමගම ගැමුණූ පින්තුගේ හඩ උස් විය,
“දිවයින පුරා තියෙන මහජන බැංකු හැට තුනකින් මුදල් ගන්න පුලුවන් කියල තමයි නිවේදන නිකුත් කරලා තිබ්බේ. නමුත් අපි පළමු වටේ ගන්න ගියාම කීවා ඔයාලට දෙන්නෙ දෙවෙනි වටෙන් කියලා. දෙවෙනි වටේ ගන්න ගියාම කියනවා කොටස් සහතිකේ නැති නිසා දෙන්න බැහැ කියලා. අපිට ද ෆිනෑන්ස් ආයතනය විසින් දීල තියෙන ලියවිල්ල මහජන බැංකුවෙන් පිළිගන්නෙ නැහැ. එයාල අපිට සහතිකයක් පෙන්නල කීවා මෙහෙම සහතිකයක් නැතිව ඔයාලට මුදල් ගන්න බැහැ කියලා. ඒ සහතිකේ දීලා තියෙන්නෙ හතලිහේ කෑලි වලට. අපි විස්සෙ කෑලි ගත්ත නිසා අපට දීල තියෙන්නෙ සාමාන්‍යය බැලන්ස් ෂීට් එකක් වගේ එකක්. අපි ඒක දන්නෙ මහජන බැංකුවෙන් පෙන්නද්දි. ඉතින් ආයතනට ගියාම කියනවා ඔයාලට දෙන සහතිකේ තමයි මේක කියලා. අපිට තේරෙන්නෙ නැහැ කවුරු ඇත්ත කියනවද කියලා. කොහොම හරි අපිට තවම දෙවෙනි වටෙන්වත් මුදල් ලැබුනේ නැහැ. තැන්පත් කරපුව නැතිවෙනකොට හිත හදාගත්තා අඩු තරමෙ මේ ලක්ෂ හය හරි තියෙනවනෙ කියලා. ඒත් දැන් ඒකත් නැහැ. ”
රක්ෂණ වන්දි මුදල් ලබාගැනීමේදී තැන්පතු සහතික වල මුල් පිටපත් සහ අදාල ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතු බව මහ බැංකු නිවේදනයේ සදහන් විය. නමුත් බද්ධ ගිණූම්, බාල වයස්කාර ගිණූම්, කොටස් හිමිකම් බවට හරවන ගිණූම්, ආයතනික සහ සමිති ගිණුම් ආදිය මෙන්ම මුල් තැන්පතු සහතික/පාස් පොත් අස්ථාන ගත වී තිබීම , ගිණුම් හිමියන් මියගොස් සිටීම හෝ විදේශ ගතව සිටීම, නියමිත හැදුනුම්පත ඉදිරිපත් නොකිරීම යනාදී ප්‍රශ්න වලදී දිවුරුම් ප්‍රකාශ වැනි විශේෂ ලියවිලි ඉදිරිපත් කර මහජන බැංකුවේ විධිවිධාන යටතේ මුදල් ලබා ගත හැකි බවද එම නිවේදනයේ සදහන්ව ඇත. නමුත් තැන්පත්කරුවන් අදාල මුදල් ලබා ගැනීමට යෑමේදී ඔවුන්ට සිදු වන්නේ දහසකුත් ප්‍රශ්න වලට මුහුණ දීමටය. තවද ඉන් තැන්පත්කරුවන් මහමග රස්තියාදු කරවීමක්ද සිදු වේ.


“මහ බැංකුව විසින් එක එක නිවේදන නම් නිකුත් කරනවා. ඒත් කිසි තේරුමක් නැහැ ඒවයෙ තියෙන දේවල්. මොකද අපි දිවුරුම් පෙත්සමක් හරි දීලා මුදල් ගන්න හැදුවා. නමුත් ඒව පිළිගන්න බැහැ කියලා මහජන බැංකුවෙන් කියනවා. මගේ දුව ඉන්නෙ විදේශ රටක. එයා ඉගෙන ගන්න ගියේ. එයාට යන්න දාපු සල්ලි තමා මේ ෆිනෑන්ස් එකේ හිර වුණේ. අන්තිමට ගෙවල් දොරවල් විකුණල තමයි එයාව යැව්වේ. මේ කොරෝනා වසංගතය නිසා ඒ රටවල් බෑන් කරල තියෙන්නේ. ඒ නිසා එයාලට මෙහෙට එන්න බැහැනේ. ද ෆිනෑන්ස් ගිණුම තියෙන්නෙ දුවගෙ නමට. මහ බැංකු නිවේදනේ නම් කියනවා දිවුරුම් පෙත්සමකින් හරි ගන්න පුලුවන් කියලා. නමුත් බැංකුවට ගියාම කියනවා දුව නැතිව දෙන්න බැහැ කියලා. මේ වෙලාවෙ දුවගෙ අතෙත් මුදල් නෑ. අපේ අතෙත් මුදල් නෑ. දුවට එන්න විදියකුත් නෑ. ඇයි මෙහෙම කරන්නෙ කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ.” ඩික්ෂන් කබ්රාල් අප සමග පැවසුවේය.


මුදල් ෆිනෑන්ස් හිමියන්ට පූජා කරමින් ෆිනෑන්ස් හිමියන්ව පොහොසත් කරමින් ඔවුහු කඳුළු වගුරුවමින් සැදෑ සමය ගෙවති. සත්‍යය වශයෙන්ම ඔවුන් අපේක්ෂාවෙන් සිටින්නේ තැන්පතු මුදල් නොමැති තැන ලැබෙන වන්දිය හෝ හැකි ඉක්මනින් ලබා ගැනීමටය. මන්ද ඔවුන් සියල්ල දන්න ප්‍රසිද්ද රහස නම් ඔවුන් තැන්පත් කළ මුදල කවදාවත් තමන්ට නොලැබෙන බවය. එසේනම් ඔවුන්ගේ අපේක්ෂාව තැන්පතු මුදල වෙනුවෙන් ලබා දෙන වන්දිය හෝ ලබා ගැනීමය. නමුත් සිදු වෙමින් තිබෙන්නේ වන්දි මුදල ලබා ගැනීමටද ඉතා කරදරකාරී වටපිටාවක් නිර්මාණය වී තිබීමය.


“අපිට වෙනමුකුත් අවශ්‍යය නැහැ. අපිට ඕනෙ මේ දෙනවයි කියන වන්දි මුදල හරි අපිට ගන්නයි. මගේ නමට සහතික කිපයක් යටතේ රුපියල් ලක්ෂ හැත්ත හයක් තැන්පත් කරලා තියෙනවා. අම්මගෙ නමින් රුපියල් ලක්ෂ විස්සක් තැන්පත් කරලා තියෙනවා. අම්මට දැන් ගොඩක් වයසයි. එයාට මේ මුදල් වෙනුවෙන් පෙනී ඉන්න අමාරුයි. සේරටම වඩා මේ කොටස් වල සහතික ප්‍රශ්නෙ තමයි තියෙන්නේ. ආයතනයෙන් දීල තියෙන සහතිකේ මහජන බැංකුවෙන් ප්‍රතික්ෂේප කරනවා. ඉතින් අපිට නැවත ආයෙ සහතිකයක් ගන්න ක්‍රමයකුත් නැහැ.” එසේ පැවසුවේ කේ. ඒ. කමල්ය.
කනගාටුව නම්, ඔවුන් පීඩා විදින්නේ තමන්ගේම මුදල් වෙනුවෙනි. තමන්ගේ රැකියාවෙන් ඉපයූ සන්තකය පිළිබදව දුකක් තිබෙන්නේ ඉපයූ අයටම පමණි. නැතිව හොරුන්ට එහි කිසි අගයක් දුකක් නැති බව කිව යුතුය. ඔවුන් එකල සැදෑ සමය වෙනුවෙන් ඉතිරි කළ මුදල් විය හැකියි. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඉතිරි කළ මුදල්ද විය හැකිය. නමුත් අද ඊට අත්ව ඇති ඉරණම කෙබදු ද ?


වැඩි පොළිය, මරු කැඳවයි


අප අවට සිටි සියල්ලන්ම වගේ තලත්තෑනි වයසේ පසුවූවන්ය. ඔවුහු ඔවුන්ගේ තරුණ කාලය වැය කරමින් උපයා ගත් මුදල් වැඩි පොළියක් ලබා ගැනීම නිසා ෆිනෑන්ස් ආයතන වල තැන්පත් කළෝය. නමුත් වර්තමානයේදී ඊට අත්ව ඇති ඉරණම පිළිබදව ආර්. මුරලිදරන් කියන්නේ මෙසේය.


“ද ෆිනෑන්ස් ආයතනය ඉතා පැරණි ආයතනයක්. ඇත්තටම මේකෙ දෙන වැඩි පොළිය නිසා තමයි අපි මුදල් තැන්පත් කළේ. ගෙවල් වලට කෝල් කර කර ඔවුන් ඔවුන්ගේ ෆිනෑන්ස් ආයතන වලින් දෙන පොළිය කිවුවා. වෙලාවකට ගෙදරට ඇවිත් ගිණුම් හදලා දුන්නේ. ඉතින් එහෙම ආයතනයක්, මහබැංකුවෙ ලියාපදිංචි ආයතනයකුත් නිසා තමයි අපි බය නැතුව මුදල් තැන්පත් කළේ. මේ ඉන්න සියලු තැන්පත්කරුවො අවුරුදු හැටට වඩා වැඩි විශ්‍රාමිකයෝ. මොකද ඒ කාලෙ තිබ්බ විශ්වාසෙත් එක්ක තමා අපි මුදල් දැම්මේ. නමුත් අන්තිමට අපිට අපේ මුදල් වෙනුවෙන් පාරවල් ගානෙ රස්තියාදු වෙන්න වුණා.”


මහබැංකුවේ නොමනා හැසිරීම


මහබැංකුවේ නොසැළකිලිමත් ක්‍රියාකලාපයත් උක්ත ගැටලු උත්සන්න කිරීමට හේතුවකි. ෆිනෑන්ස් ආයතන මහබැංකු නියාමනය යටතේ තිබිය යුතුය. එම ආයතන අදාළ නියාමනයන්ගෙන් ගැලවී කටයුතු කරද්දි මහබැංකුව මර නින්දේ සිටියේ ඇයිද යන්න ඇසිය යුතුය. මන්ද අහිමි වූ සියලු මුදල් මහජනතාගේ මුදල්ය. නැතුව මහබැංකුවේ මුදල් නොවේ.
රට මහජනතාවගේ බදු මුදලින් සක්‍රීයව පවතිද්දී ජනතාව වෙනුවෙන් පෙනී නොසිට ඔවුන්ව ආරක්ෂා නොකරන ආයතන රටකට කුමකටද? යන්න ඇසිය යුතු ප්‍රශ්නයකි. රටේ ප්‍රධාන මූල්‍ය ආයතනය වන මහබැංකුව කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැකි වටපිටාවක් ඇතිවුවහොත් කරන්නේ කුමක්ද. වත්මන් තත්ත්වය හමුවේ මහබැංකුව කෙරෙහි වූ ජනතා විශ්වාසය පලුදු වී හමාරය. අදාල වගකිව යුතු ආයතන දිරිමත් කරමින් ජනතාවගේ මුදල් බිල්ලට ඇරියේ මහබැංකු වැරදි නියාමනය විසින් බව අගතියට පත් තැන්පත්කාර පාර්ශ්ව තරයේ විශ්වාස කරති.

ජනාධිපතිවරයා මැතිවරණ සමයේ දුන් මැතිවරණ පොරොන්දු, පොරොන්දු වූ පරිදි ඉටු කිරීමට ක්‍රියා කිරීමද ඔහුගේ වගකීමකි.