btr

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

තිස්සමහාරාම සිට කතරගම දෙසට ඇදෙන ප්‍රධාන මගේ සිට රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානයට ඇත්තේ කිලෝමීටර එකහමාරකටත් අඩු දුරකි. ප්‍රධාන මගෙහි ඇති මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය ලෙස නම් වූ පුවරුවක් සහිත කුලුනක් එමගෙහි යන්නන්හට මං ලකුණු කියන්නේය. ටෙලි සිනමා නිර්මාණ වෙනුවෙන් එහි එන කලාකරුවන්ට වඩා එහි පිවිසෙන්නේ කතරගමට තිස්සට වන්දනාවේ යන විනෝද චාරිකා යන පිරිස් ය. රු. 50ක් වැනි මුදලකට දේශීය වැඩිහිටියෙකුටත් රුපියල් දහස ඉක්මවූ මුදලකට විදේශිකයෙකුටත් එය නැරඹිය හැකිය. එසේ වුවත් එහි පිවිසෙන්නෙකුට දැන් දැක බලා ගැනීමට ඇත්තේ එකල තැනූ නගර, ගොඩනැගිලි, ගම්මානවල කඩා වැටෙමින් පවතින කොටස්ය. අක්කර 235ක් සහිත එම භූමියේ නගර ආකෘති, ගම්මාන ආදිය ඉදිව ඇත්තේ ඉතා කුඩා ඉඩ ප්‍රමාණයකය. අනෙක් කොටස කැලයෙන් වැසී පවතින බැවින් එම ස්ථාන කීපයේ සිටින සිටින මාර්ගෝපදේශකවරියන් විසින් නරඹන්නන්ට එම ස්ථාන පිළිබද හඳුන්වාදෙනු ලබයි. කඩාවැටෙන නගර ගම් අසල මුරකරුවෝ ද තනි රකින්නෝය.

කෙසේ වෙතත් 2010 වසරේ සිට 2019 වසර ඇතුලත රන්මිහිතැන්න ජාතික සිනමා උද්‍යානයේ සිංහල චිත්‍රපට 10ක්, විදේශීය චිත්‍රපට 3ක්, ටෙලිනාට්‍ය19ක්, ගීත පසුබිම් දර්ශන 3ක් සදහා යොදාගෙන තිබුණේය. එහි ඉදිරියේ දී ද චිත්‍රපට හා ටෙලිනාට්‍ය රූගත කිරීම් සිදුවීමට සූදානමක් ඇති බව මාර්ගෝපදේශිකාවෝ පවසති.


කොළඹ නගරයේ ඇතැම් ගොඩනැගිලි ආකෘති, නුවර, ගාල්ල නගරවල ඇතැම් ගොඩනැගිලි ආකෘති ද තිබෙන්නේ කඩාවැටෙමිනි. බොම්බෙ වෙල්වට් චිත්‍රපටය වෙනුවෙන් ඉදිකළ බොම්බේ නගරයේ ද තත්ත්වය එයම ය. සුළඟට එහා මෙහා පැද්දෙමින් එල්ලෙමින් තිබෙන කොටස්, ජනේලවල කැඩී බිදී ගිය කොටස් හා වීදුරු සහිත කොටස් එහි අනාරක්ෂිත බවද කියාපාන්නේ ය. එහෙත් නරඹන්නන්ට එය අනාරක්ෂිත බවට පුවරුවක් හෝ දැනුම්දීමක් හෝ දක්වන්නේ ද නැත. පසුගිය කාලයේ සුනාමි චිත්‍රපටයේ ඇතැම් දර්ශන සදහා ද මෙම ස්ථානය යොදාගෙන තිබුණි. සැබවින්ම දැන් රන්මිහිතැන්න එවැනි සිනමාපටයකට නම් කදිමට ගැලපෙන්නේ එය මේ වන විට සුනාමියකට හසුව ශේෂවූ බිමක් සිහිගන්වන බැවිනි.


මාර්ගෝපදේශිකාවන් ඇතුලු පරිපාලනය පවසන්නේ ෆලයිවුඞ් වලින් සාදා ඇති බොහොමයක් ගොඩනැගිලි සංරක්ෂණයක් හෝ නඩත්තුවක් නොකරන්නේ එකම ගොඩනැගිල්ල ඒ ආකාරයට තවත් නිර්මාණයකට යොදා නොගන්නා බැවින් අදාල නිර්මාණ ශිල්පීන් නැවත ඒවා අවශ්‍ය පරිදි සකස් කරගන්නා බවය. එහෙත් ගැටලුව තිබෙන්නේ දැනටමත් සාදා තිබෙන ගොඩනැගිලි ආකෘති කඩාවැමෙමින් කෑලි එල්ලෙමින් තිබෙන්නට ඉඩහැර ඇති බැවින් ඒවා ඉවත් කර එළිපෙහෙළි කරගැනීමම විශාල කාර්යයක් ය, ඒවා නැවත මුලසිට පිළිසකර කරගැනීමට හෝ මුලසිටම ඉදිකර ගැනීමට කලාකරුවන්ට සිදුවන්නේ ය. රන්මිහිතැන්නට ගොස් ඒවා නැවත මුලසිටම නිර්මාණය කරගැනීමට නිර්මාණකරුවන්ට සිදුවේ නම් එවන් ස්ථානයකට යෑමේ ද එතරම් අවශ්‍යතාවක් ඔවුන්ට ඇතිවන්නේ නැත. විශාල මුදලක් වැය කර ඉදිව තිබෙන නගර ගම්මාන ආකෘතීන් නිසි නඩත්තුවක් වනවා නම් එහි යන නිර්මාණකරුවන්ට ඒවා අවශ්‍ය පරිදි පහසුවෙන් වෙනස්කම් වලට ලක් කළ හැකිය.


රන්මිහිතැන්නේ කලාකරුවන්ට නිර්මාණ කටයුතු සිදුවද්දී නවාතැන් ගැනීමට ඉදිව ඇති සුවපහසු නවාතැන්වල නවාතැන් පහසුකම් ද දැන් අවශ්‍ය නම් ඕනෑම අයෙකුට මුදල් ගෙවා ලබා ගත හැකිය. එහි ඇතුලු වන්නෙකුට මුලින්ම දක්නට ලැබෙන තුරු යායත් ඒ අවට පිහිටි පරිපාලන ගොඩනැගිලි ඇතුලු නවාතැන් පහසුකම් සහිත ගොඩනැගිලිත් මනා ලෙස නඩත්තු වන බව දැකිය හැකිය. ඊට නාවික හමුදාවේ ද සහාය ලැබෙන්නේය. මේ වන විට ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යන මෙම ටෙලි සිනමා උද්‍යානය පසුගිය යහපාලන සමයේ පමණක් නොව මෙය ඉදිකිරීමට දායක වූ මහින්ද රාජපක්ෂ සමයේ හෝ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එතරම් සැලකිල්ලක් දැක්වූ බව පෙනෙන්නට නොතිබුණේය. වර්තමාන පාලනයෙන් හෝ මේවා පිළිබද නිසි අවධානය යොමුවී කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් යමක් වේ යැයි බොහෝ කලාකරුවෝ අපේක්ෂාවෙන් සිටිති.

මුදල් නාස්තියක්
ඩබ්ලිව්. ජයසිරි

ඩබ්ලිව්. ජයසිරි


රන්මිහිතැන්නට ඉදලා හිටලා ටෙලිනාට්‍ය ෂූටින් වලට මිනිස්සු ගියා. රන්මිහිතැන්න කියන්නේ එළිමහන් චිත්‍රාගාරයකට. නමුත් ඒක එළිමහන් චිත්‍රාගාරයකට උචිත නැති තැනක්. මොකද ඒ පැත්තේ තිබෙන දේශගුණය අනුව පෑවුවොත් පෑවුවාම තමයි. වියළි කාලගුණයක් තියෙන්නේ. පොළොව ගස්කොළං කරකූට්ටන් වෙනකම් පායනවා. වැස්සොත් දෙගොඩතලා වතුර යන්න වහිනවා. ඒ වගේ දේශගුණයක් තියන තැනක චිත්‍රාගාර පහසුකම් හදන්න බෑ. ඒක හරි මෝඩ වැඩක්. එවැනි එළිමහන් චිත්‍රාගාරයක් හදනවා නම් ඒකට උචිත බිමක් තෝරාගන්න ඕනෑ. මම හිතන්නේ ලංකාවේ ඒ වගේ තැන් තියනවා. හොරණ, පාදුක්ක වැනි පැතිවල තැන් තියනවා. මොරොන්තුඩුවේ එවැනි කුඩා එළිමහන් චිත්‍රාගාරයක් තියනවා. එළිමහන් චිත්‍රාගාරයකට නිල්ල තියෙන්න ඕනෑ. නමුත් රන්මිහිතැන්න කියන්නේ අපරාදේ මුදල් නාස්තියක් කියලා තමයි මට හිතෙන්නේ. ඒක මොන හේතුවකට ඒ වෙලාවේ හැදුවාද දන්නේ නැහැ. අනෙක් දේ මුළු ලංකාවම චිත්‍රාගාරයක් වගේ තමයි. රන්මිහිතැන්න වැනි තැන් වල රූපගතකිරීම් කරන්න බැහැ. ඉදලා හිටලා හදිසියේ ගිහින් රූපගතකිරීම් කරන්න පුලුවන්. ඒක ඒ තරම් උචිත තැනක් නෙමෙයි කියලා රන්මිහිතැන්නේ වැඩ කළ ඕනෑම කෙනෙක් දන්නවා. එවැනි තැන්වල පුලුවන්නම් විශාල ගබඩා කාමර වගේ ඒවා හදලා ඒවා ඇතුලේ පොඩි පොඩි සෙට්ස් හදාගෙන ටෙලිනාට්‍ය හෝ චිත්‍රපට වැනි ඒවා කරන්න පුලුවන් කම ඇති. මට හිතෙන්නේ ඒ තිබෙන දේශගුණය එළිමහන් චිත්‍රාගාරයකට නුසුදුසුයි කියලායි. එතැන හදලා තියන නගර ආකෘති වුණත් අවුවට වේලිලා වැස්සට තෙමිලා ජරාවාස වෙලා. එතැන අත්හැරලා දාන්න ඕනෑ. එතැන අපරාදේ මුදල් නාස්තියක් වෙන්නේ. මම හිතන්නේ භූගෝලීය සාධක, දේශගුණික සාධක අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ එළිමහන් චිත්‍රාගාරයක් හදන්න පුලුවන් තැනක් නෑ. එවැන්නක් හදනවා නම් හොරණ, බුලත්සිංහල, අතුරුගිරිය, ඔරුවල වැනි පැතිවල එළිමහන් චිත්‍රාගාර හදන්න පුලුවන් සමහර ස්ථාන ඇති.

පුද්ගලික වුවමනාවට කළ වැඩ
දීපානි සිල්වා

දීපානි සිල්වා


අපේ රටේ කලාකරුවන්ට ඒක ප්‍රයෝජනවත් වුණා ද කියනදේ සැක සහිතයි. ඇත්තටම ගොඩක් අය ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. හේතුව, අපේ රටේ ටෙලිනාට්‍යයක් චිත්‍රපටයක් කරන්නේ බොහොම අමාරුවෙන් නිෂ්පාදකයෙක් හොයාගෙන, ඒ නිෂ්පාදකයාගේ අවම මුදල් ප්‍රමාණයක් යට කරලායි. ඒ තත්ත්වයන් යටතේ හම්බන්තොට ගිහින් එතැන නවාතැන්ගෙන එතැන තියන අවම පසුතල පහසුකම් යටතේ රූගත කිරීම් ටිකක් කරලා එළියේත් තවත් රූගත කිරීම් කරන්නත් සිදු වෙනවා. අපේ රටේ නිර්මාණයක් කරද්දී පොළක දර්ශනයක් තියනවා නම් අපි ඇත්තටම පොළකට ගිහින් ඒක ගන්නවා. ඒත් රන්මිහිතැන්න වගේ තැනක කරනවා නම් සම්පූර්ණයෙන්ම අපිට පොළක් එතැන හදන්න වෙනවා. විය යුත්තේ ඒක තමයි, නමුත් අපිට ඒ තරම් මුදල් වියදම් කරන්න පුලුවන් කමක් නැහැ. පසුතල පහසුකම් හදාගන්න සිදුවෙනවා. හදලා තියන ඒවා කාලයත් එක්ක රූගතකිරීම් වලට ඔබින්නේ නැති වෙන්න පුලුවන්. ඒ එළිමහන් චිත්‍රාගාරය හැදුවා කියලා කලාකරුවන් ඒ තරම් ප්‍රයෝජනයක් ගත්තේවත් කලාකරුවන්ට ඒකෙන් ප්‍රයෝජනයක් සිද්ධවුනේවත් නැහැ. මම හිතන්නේ කලාකරුවන් එතරම් එහි යන්නේ නැත්තේ එවැනි බොහොම සරළ හේතු ටිකක් නිසා යි. කාමර පහසුකම් ආදියත් හොද තත්ත්වයේ තියනවා. නමුත් මම හිතන්නේ විදේශීය චිත්‍රපට කීපයක් රූගතකිරීම් සිදුවෙලා තියනවා. විදේශීය ටෙලිනාට්‍ය වලින් ලැබුණු මුදල් වලින් හැදූ ටෙලි සිනමා ගම්මානය ටෙලිනාට්‍ය වලට ප්‍රයෝජනයක් වුණේම නැහැ වගෙයි. එහේ ගිහින් ටෙලිනාට්‍ය කළේ කීපදෙනෙක් විතරයි. මුදල් වැය කරලා එවැනි දෙයක් කරලා එයින් වැඩක් ගත්තේ නැතිනම් ඒකට හේතු මොනවාද කියලා හොයලා බලන්න ඕනෑ. ඒත් මේ වන තුරු කිසිම රජයක් ඒ ගැන සොයා බැලුවේ නැහැ, මේක ආරම්භ කළ රජයවත් පසුගිය රජයවත් හොයලා බැලුවේ නැහැ. ටෙලිනාට්‍යකරුවන්ගේම වුවමනාවට මේ තරම් වියදම් කරලා හදලා ප්‍රයෝජනයක් නොගැනීමට හේතු අඩුපාඩු මොනවාද, ඒවාට විසදුම් මොනවාද කියලා සොයා නොබැලීම නිසා ටෙලි ගම්මානය අද මතක නැති වන තත්ත්වයකට ගිහිල්ලා. ඒකෙන් ප්‍රයෝජනයක් නොවීම ඛේදජනකයි. හදද්දීම ඒ ගැන නිසි සොයා බලා අවශ්‍යතාවන් හඳුනා නොගැනීම තමයි මම හිතන්නේ වුණේ. විශාල වියදම් දරලා නිෂ්පාදකට එවැනි මුදලක් තමන්ගේ නිර්මාණයෙන් උපයන්න බැහැ. ඒ හේතු ගැන සොයා බලන්නේ නැතිව අද ඒක නිකරුණේ ගරා වැටෙන්න දීලා ඒ වෙනුවෙන් වියදම් කළ මුදල් අනේ අපොයි කියන තත්ත්වයට පත් වෙලා තියනවා. පසුගිය ආණ්ඩුවෙන් කලා ක්ෂේත්‍රයේ අවශ්‍යතාවන් ඉටු කරන්න උත්සාහයක්වත් ගත්තේ නැහැ. ටෙලි ගම්මානයට සභාපතිලා ආදී ප්‍රධානීන් අවබෝධයක් නැතිව පත් කළත් වැඩක් වුණේ නැහැ. ටෙලිනාට්‍ය චිත්‍රපට සදහා පසුතල පහසුකම් තියන ලොකු ටෙලි සිනමා ගම්මානයක් ඇත්තටම අවශ්‍යයි. නමුත් ඒවා විය යුත්තේ කොහොමද කියන දේ ඒ ගැන අවබෝධයක් ඇති අය සමග සාකච්ඡා කරලා කරන්න ඕනෑ. නෙලුම් පොකුණ වැනි නාට්‍ය ශාලා හැදුවේ නාට්‍යකරුවන්ට කියලා, නමුත් සාමාන්‍ය නාට්‍යකරුවෙකුට ඒකේ නාට්‍ය පෙන්වන්න බැහැ. ටෙලි සිනමා ගම්මානයට වෙලා තියෙන්නේත් එවැනි දෙයක්. ඒ කාලයේ සිටි ජනාධිපතිගේ අවශ්‍යතාවය අනුව ඒක හම්බන්තොට හදන්න අවශ්‍ය වුණා. අවශ්‍ය පුද්ගලයන්ගේ අවශ්‍යතාවයට අනුව නෙමෙයි පාලකයන්ගේ පුද්ගලික අවශ්‍යතාවයන් අනුව වැඩ කරන්න ගිහින් තමයි ටෙලි ගම්මානයට අද මෙහෙම වෙලා තියෙන්නේ. අද එවැනි එකක් ගැන කතා කරන්නේත් නැති තරම්. වෙනත් රටවල එවැනි ගම්මාන තිබෙන විධිය, ඒවා අපේ රටේ කලාකරුවන්ගේ වියදම් අනුව ගොඩනැගිය යුත්තේ කොහොමද වැනි දේ ගැන සොයා බැලුවේ නැහැ. දැන් නම් ටෙලි ගම්මානයක් නැති ගාණයි.

ප්‍රසාරණය කරගන්න තිබුණා
මහේන්ද්‍ර පෙරේරා

මහේන්ද්‍ර පෙරේරා


රන්මිහිතැන්නේ මම දවස් පනස් ගණනක් නැවතිලා ‘ස්ටාර් ශ්‍රී ලංකා හිස්තැනක්’ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කළා. ගෙයක් වුණත් පදිංචි වුණාට පස්සේ නඩත්තු කරගෙන යන්න ඕනෑ. ඒ ගැන තමයි ප්‍රශ්නය තියෙන්නේ. මම වරක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටියදී ඔහුව පෞද්ගලිකව හමුවෙලා එහි ඇති අඩුපාඩු සම්බන්ධව කතා කරලා තියනවා. චිත්‍රාගාරයකට පහසුකම් ගොඩක් තියෙන්න ඕනෑ. ඒ තිබුණු පහසුකම් නඩත්තු කරගෙන වර්ධනයක් කරා යන්න බැරි වෙලා තියනවා. සමහර අය ඒක දුරයි කියනවා. ඒත් දැන් ඒක ළං වෙලා තියනවා. මාතරට පැය එකහමාරකින් යන්න පුලුවන්. තව ටික කාලයකින් එතැනටම යන්න පැය දෙකෙන් දෙකහමාරෙන් පුලුවන්. එහෙම තත්ත්වයක් තිබුණා නම් ගැටලුවක් නැහැ. කොළඹ වුණත් දැන් මාර්ග තදබදය එක්ක යන්න පැය ගණනක් යනවා. නවාතැන් පහසුකම් ආදිය පිළිවෙලට ලස්සනට තිබුණා. ඒවා නාවික හමුදාවෙන් ලස්සනට පාලනය කරගෙන ගියා. ඒ නිසා ඒක සුබවාදීව දකින්න ඕනෑ. මේක වෙනත් තැනක කරන්න තිබුණා කියලා ඕනෑ කෙනෙක්ට කියන්න පුලුවන්. නමුත් කොතැන හරි කළ ඒකේ වටිනාකමක් තියනවා. මම දවස් පනස් ගණනක් මගේ ටෙලි නාට්‍යයෙන් සියයට හැත්තෑවක් විතර රූගත කළේ රන්මිහිතැන්නේ. බොම්බේ වෙල්වට් චිත්‍රපටය වැනි ඒවා තව තවත් රූගත කරගෙන යන්න පුලුවන් මට්ටමට ඒක හදාගන්න පුලුවන්කම තිබුණා කියලා තමයි මට නම් හිතෙන්නේ. අපි එක පැත්තකට කත් අදිනවා කියලා මෙහෙම කීව ගමන් සමහරු හිතනවා. එහෙම නැහැ. මම කොහොමත් මහින්ද රාජපක්ෂලාට ගෝඨාභය රාජපක්ෂලාට අත උස්සලා තමයි හිටියේ. ඒත් මම ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් මේවා වර්ධනය කරගන්න අපි උත්සාහ කරන්න ඕනෑ. බොම්බෙ වෙල්වට් චිත්‍රපටය කරද්දී ඒ ප්‍රදේශය අවට සිටි අයටත් ආදායමක් ලැබුණා කියලා මම හිතනවා. ඒ වැඩ වලට ගමේ අයත් සහභාගී කරවාගත්තා. හදාගත් දේ වර්ධනය කරගන්නේ, තව තැනකට ගෙනියන්නේ කොහොමද කියනදේ අපි දැනගන්න ඕනෑ. නගරයක් හදලා තිබුණා. ඒවා වෙනස් කරන්න පුලුවන් විධියක්, ඒවා දිරාපත් නොවෙන්න විධියක්, ඒවා නැවත නැවත පාවිච්චි කරන්න පුලුවන් විධියක් හදාගන්න ඕනෑ. විශේෂයෙන්ම ඒවා හදාගන්න කලා අධ්‍යක්ෂවරුන්ගේ සහයෝගය අවශ්‍ය වෙනවා. ඒවා දියුණු කරගෙන යන්න එවැනි මාවත් තිබුණා. ලෝකය එදාට වඩා ඉදිරියට ළං වෙනවා. ඒ නිසා අපිට කතාකරගෙන තවතවත් පහසුකම් හදාගෙන මේක තව තව මාවත් වලට ප්‍රසාරණය කරගන්න තිබුණා. රටේ ඔක්කෝම චිත්‍රපට ටෙලිනාට්‍ය එතැන හදන්න ඕනෑ කියලා එකක් නැහැ, එහෙම වෙන්නේ නැහැ. නමුත් එතැන යම්කිසි විධියකට කලාකරුවන්ට සහනදායී ආකාරයට කටයුතු කරගෙන යන්න පුලුවන්කම තිබුණා. ඒ නිසා පෞද්ගලික දේශපාලන මතිමතාන්තර මත ඉන්නේ නැතිව මේක දියුණු කරන්න සුබවාදීව හිතන්න ඕනෑ. බොම්බෙ වෙල්වට් වැනි තව තවත් විශාල ව්‍යාපෘති ගේන්න පුලුවන් ආකාරයට මේ තෝතැන්න හදාගන්න පුලුවන්කම තිබුණා කියලා මම හිතනවා. මේක හැදුව ගමන් ලෝකයේ හොදම එක වෙන්නේ නැහැ, දියුණු කරගන්නයි ඕනෑ. මගේ රටේ ටෙලිනාට්‍ය කලාවේ සිනමා කලාවේ තියන රසවින්දනය ගැන මීට වඩා ඇස් කන් යොමු කරලා මේ තෝතැන්න සශ්‍රීක කරගන්න පියවරක් ගන්න කියලා මම අලුත් රජයෙන් ඉල්ලනවා.

නඩත්තු කළ යුතුව තිබුණා
කලා අධ්‍යක්ෂ ලාල් හරින්ද්‍රනාත්

ලාල් හරින්ද්‍රනාත්


මුලදී ඒකේ අර්බුද ගොඩක් තිබුණා. කොහොමහරි ඒක හැදුණාට පස්සේ එතැන වැඩ ගොඩක් කළා. චිත්‍රපටි, දැවැන්ත විදේශීය චිත්‍රපටි කීපයක්, වෙළද දැන්වීම්, ටෙලිනාට්‍ය රූගතකිරීම් සිදුවුණා. නමුත් අද වන විට රජයේ අනෙක් ආයතන වගේම මේකත් කඩාවැටිලා තියෙන්නේ. මොකද ඒවා හැදුනේ දිගටම නඩත්තු කරමින් යාවත්කාලීන කරන්න බලාගෙනයි. නමුත් කිසිම ආණ්ඩුවකින් ඒ ගැන සොයා බැලුවේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේත් ඒ නඩත්තු කටයුතු නිසි ලෙස වුණේ නැහැ, මොකද ඊට අදාල නිලධාරියෙකුගේ බොහෝ දූෂණ කටයුතු නිසා ඒ ලැබෙන මුදල් වලින් අවශ්‍ය නඩත්තු කටයුතු නොකළ නිසා. ප්‍රවීණයන්ගෙන් සැදුණු යම් නියාමන මණ්ඩලයකින් මේක ගැන බලාගන්නත් අවශ්‍ය ප්‍රතිපාදන යොදවන්නත් පුලුවන් නම් වඩා හොඳයි කියලා හිතනවා. මේක අනවශ්‍ය සුදු අලියෙක් බවට පත් වුණා. අද වන විටත් මේක බලන්න සෙනග යනවා. පසුගිය කාලයේ කළ චිත්‍රපටවල පසුතල තිබෙන නිසාත්, බොම්බේ වෙල්වට් වැනි චිත්‍රපටවල පසුතල බලන්න කැමැත්තක් තියන නිසා ඒවා බලන්න මිනිස්සු යනවා. නමුත් තිබෙන ලොකුම ප්‍රශ්නය මේවා නඩත්තු කරන්නේ නැති එක යි. මම හිතන්නේ මේක හැදුන නිසා අඩු ගාණේ මේක නඩත්තු කරනවා නම් සිනමාවට හා රූපවාහිනියට මේක අවශ්‍යම දෙයක් කියලා කිසියම් විධියක අපිට බලාපොරොත්තුවක් තියන්න පුලුවන්.


හයිද්‍රාබාද්වල රාමෝජි එළිමහන් චිත්‍රාගාරයටත් බොම්බෙ සිටි චිත්‍රාගාරයටත් මදුරාසියේ සහ නෙදර්ලන්තයේ චිත්‍රාගාර වලට මම ගිහින් තියනවා. ඒවායේ විශාල කාර්යභාරයක් වෙනවා. අද ඩිජිටල්කරණයත් එක්ක රූපගතකිරීමේ පහසුකමක් තියනවා. ග්‍රීන්ස්ක්‍රීන් වැනි ඒවා භාවිතා කරන්න පුලුවන්කම තියනවා. ඒවායේ බොහෝ කාර්යයන් වෙනවා. අපේ අය ඒවා ගැන හිතන්නේ නැහැ. සිනමා ශිල්පීන් හිතන්නේත් නැහැ, එයින් දේශපාලනයට ගිහින් අධිකාරියක් හදාගත් සිනමාශිල්පීන් පවා අද ගොළුවත රකිනවා, මේක ජාතික අවශ්‍යතාවයක් විධියට හිතන්නේ නැහැ. කොහොමත් සිනමාව ගැන එහෙම ජාතික අවශ්‍යතාවක් ලෙස හිතන්නේ නැහැ. මේ රජය ආවාට පස්සේවත් නියාමන මණ්ඩලයක් මාර්ගයෙන් මේක කරන්න පුලුවන් නම් අලුතෙන් පසුතල නිර්මාණය කරලා ඊට අදාල නඩත්තු කටයුතු කෙරෙනවා නම් සුබදායක විධියට මම ඒක දකිනවා.


හම්බන්තොට ප්‍රදේශය මේකට නොගැලපෙනවා කියන එක මේක හදන කාලයේ තිබුණ මතයක්. ඒ මතයේ මමත් හිටියා. නමුත් කෙසේ හෝ දැන් ඒක හම්බන්තොට ඉදිවෙලා තියනවා. සියලු පහසුකම් එක්ක ඒක ඉදිකරලා තිබියදී දැන් තවත් ප්‍රදේශයකට යනවාට වඩා මේ හැදූ එක නඩත්තු කළා නම් අඩුම වශයෙන් කිසියම් විධියක සිනමාවටත් රූපවාහිනියටත් ප්‍රගමනයක් තියේවි කියලා හිතන්න පුලුවන්. එතැන කළ බොම්බේ වෙල්වට් වැනි විදේශ චිත්‍රපට කීපයකටත් වෙළද දැන්වීම් ගණනාවකටත් මමත් සම්බන්ධවෙලා තියනවා. ටෙලිනාට්‍යත් තවත් අය කරලා තියනවා. මුලදී කිසියම් සහනයන් සැලසුණා. එතැන නිෂ්පාදනය කළ ටෙලිනාට්‍ය සදහා රූපවාහිනී සංස්ථාවේ සැලකිලිමත්භාවයක් තිබුණා. නවාතැන් පහසුකම්, චිත්‍රාගාර, ගමක්, නගරයක් හදාගන්න පහසුකම් තියනවා. ඒ නිසා කිසියම් විධියක ප්‍රවාහන ක්‍රමවේදයක් හැදුවා නම් වටිනවා. ප්‍රේක්ෂකයන් මේකට ඇවිත් බලන එකෙනුත් ආධාරයක් ලැබෙනවා. ඒ නිසා නිෂ්පාදන වලට තවත් පහසුකම් සපයන්න පුලුවන්. ක්ෂේත්‍රයේ වැඩකරන පුද්ගලයෙක් මේක භාරව කටයුතු කළා නම් මීට වඩා තවත් මේක දියුණු කරන්න පුලුවන්. රජයේ සෑම ආයතනයකම තිබෙන මාධ්‍ය ඒකකවල ඩොකියුමන්ට්‍රීස් වැනි ඒවා හැදෙනවා. ඒවා මෙතැනට යොමු කරන්න පුලුවන්. ඒ වගේම සජීවී විකාශනය කරන්න පුලුවන් උත්සව වලට එතැන ඉඩ ලබාදෙන්න පුලුවන්. ඒවා වෙනවා නම් මේක දියුණු කරන්න පුලුවන් කියන එකයි මගේ හැගීම.


හයිද්‍රාබාද්වල රාමොජි චිත්‍රාගාරයේත් නගර නිර්මාණ තියනවා. ඒ හදලා තියන එකේම තමයි රූගත කරන කතාවේ හැටියට පොඩි පොඩි වෙනස්කම් කරගන්න අවස්ථා දෙන්නේ. වර්ණය වෙනස් කිරීම, පසුතල අලංකරණය වෙනස් කිරීම වැනි ඒවා නිෂ්පාදකයා කතාවේ හැටියට වෙනස් කරගන්නවා. නමුත් මූලික සැකැස්ම අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෑ. රාමෝජි චිත්‍රාගාරයේ නගර නිර්මාණය කරලා තියෙන්නේ ෆයිබර්ග්ලාස් වලින්. ඒක අවුරුදු ගණන් එකම විධියට තියනවා. එක එක චිත්‍රපටයට වර්ණය වෙනස් වෙනවා. එවැනි සංකල්පයක් තමයි වෙන්න ඕනෑ. නැත්නම් නිෂ්පාදකයාට ඒ මුදල වැය කරන්න හම්බන්තොටම යන්න ඕන නැහැ. ඒ නිසා විදේශීය චිත්‍රාගාරවල තියන සංකල්පය හා සමානව මේක අලුතෙන් නඩත්තු කළ යුතුයි. අනෙක් දේ ඒ රටවල රූපගතකිරීමේ කොටසත්, ප්‍රේක්ෂකයන්ට නැරඹිය හැකි කොටසත් වෙනම තියනවා. ඒ අයට අවශ්‍ය තොරතුරු, චිත්‍රපට රූගතකිරීම් වලට අදාල වීඩියෝ දර්ශන, රූගත කළ ස්ථාන ආදිය සංරක්ෂණය කළ වෙනම අංශයක් තියනවා.


දැනට මේකේ තියන පසුතල සංකල්පයට තිරනාටකය ලියනවා හැර එවැනි දැවන්ත පසුතලයක් හදන්න තරම් තිරනාටකයක් ලියන්න තරම් අපේ නාට්‍ය හෝ සිනමා කර්මාන්තය දියුණු නැහැ. එහෙම තත්ත්වයක් තුල තිබෙන පසුතල සංරක්ෂණය කරනොගැනීම අපරාධයක්. ඒකේ ඇතුලේ හදලා තියන නගර, ගම්මානයත් දැන් කඩාවැටිලා. මිනිස්සු ඒක බලන්න ගියාට දැන් බලාගන්න තරම් දෙයක් නැහැ. ටිකට් එකක් අරන් ගිහින් කැඩුණු බිදුණු ඒවා ටිකක් බලලා එනවා. රටේ රාජ්‍ය ආයතන කඩා වැටිලා තියන තත්ත්වයම තමයි එතැනත් පේන්නේ. කඩාවැටෙන තත්ත්වය එක්ක ආරක්ෂාවටත් නුසුදුසු නිසා මිනිස්සු යන එකත් නවත්වන්න තත්ත්වයට දැන් ඇවිල්ලා. පසුගිය ආණ්ඩුව කාලයේත් අපි කණ්ඩයමක් එක්ක ගිහින් මේ ගැන සාකච්ඡාවක් පැවැත්වුවා. නමුත් එතැනින් එහාට දෙයක් වුණේ නැහැ.

බොම්බෙ වෙල්වට්නි දසුනකට ගනිමු
ශ්‍රියන්ත මෙන්ඩිස්

ශ්‍රියන්ත මෙන්ඩිස්


ඉන්දියානු කොරියානු ටෙලිනාට්‍ය ලාංකීය ජනසමාජය ඇතුලට එන කාලයේ ඒක යම් කිසි මට්ටමකට නවත්වා ගන්න රූපවාහිනී නාලිකා වලට ඒවා සදහා විශාල බද්දක් ගැහුවා. ඒ බදු වලින් එකතු කරගත් මූල්‍යමය ධනය තමයි රන්මිහිතැන්න නිර්මාණය කරන්න පාවිච්චි කළේ. මේක කලා කටයුත්තකින් ලබාගන්නා යම් මූල්‍යමය ධනයක් කලා කටයුත්තක් සදහා යෙදවීම කියන සංකල්පය මත කලාකෙත අස්වැද්දීම කියන අදහසින් තමයි රන්මිහිතැන්න කියන ටෙලි සිනමා ගම්මානය නිර්මාණය වුණේ. මට මතකයි පිටරට වලිනුත් ඇවිත් මේකේ රූගතකිරීම් කළා. බොම්බෙ වෙල්වට් චිත්‍රපටය කළ ඉන්දියානු කලාකරුවන් කාලාන්තරයක් තිස්සේ එය නිර්මාණය කළා. එයින් මම හිතන්නේ සුවිශේෂ ආදායමක් ලැබුණා. නාවික හමුදාව ප්‍රමුඛ කණ්ඩායමක් තමයි ඒක පාලනය කළේ. නළු නිළියන්ට නවාතැන් ගැනීමට ඉතාම අලංකාර නවාතැන් පහසුකම් තිබුණා. ආහාරපාන සකසා ගැනීමට මුළුතැන්ගෙවල් තිබුණා. ඒවා බොහොම ක්‍රමවත්ව තිබුණා. අවට පරිසරය අලංකාරව පිරිසිදුව තිබුණා. දර්ශනතල තිබුණා, ඒවායේ නගර තිබුණා, ඉන්දියානු හැඩයට කළ දර්ශන තල තිබුණා, ටිකක් එහාට ගියාම ගැමි සමාජය නියෝජනය කරන වැව වනාන්තරය ගෙවල් දොරවල් තිබුණා. මමත් එක් ටෙලි නාට්‍යයක ඒකට ගිහින් රගපෑවා. ඒ ස්වාභාවික චිත්‍රාගාරය යම්කිසි මට්ටමකට ජනගත කරන්න, කලාකරුවන් අතර යම්කිසි මට්ටමකට මේක ප්‍රචලිත කරන්න මම හිතන්නේ එවකට එවකට යම් ක්‍රමවේද තිබුණා. එවකට රන්මිහිතැන්න ටෙලි ගම්මානයේ රූගත කරන ටෙලිනාට්‍යවල ප්‍රමිතිය හොද නම් ජාතික රූපවාහිනිය හෝ අයිටීඑන් නාලිකාව හෝ මිල දී ගැනීමේ ක්‍රමවේදයකුත් තිබුණා. එතකොට අනෙක් නාට්‍යකරුවන් උනන්දුවී මේක ක්‍රියාත්මක කරන්න උත්සුක වුණා. 2015දී බිහි වුණා වූ යහපාලන ආණ්ඩුවෙන් නම් අපට රන්මිහිතැන්න ගැන කිසිම ආරංචියක් ලැබුණේ නැහැ. ආරංචියක් නොලැබුණේ ඔවුන් ඒ නාලිකා වලට එවන ලද ටෙලිනාට්‍ය වලින් බද්දක් අය කළා ද නැද්ද කියලාවත් අපි දන්නේ නැහැ. ඒ බද්ධ අය කළා නම් ඒ මුදල් කොහේද කියලා හොයන්න ඕනෑ. ඒ මුදලින් මේක නඩත්තු කළා නම් අද ඒක හොද ටෙලි ගම්මානයක් බවට පත් වෙනවා. මොකද අවුරුදු හතරහමාරක්. එහෙම වුණාද නැද්ද කියලා අපිට අදහසක් නෑ. නමුත් කතරගම යන බැතිමතුන්ටත් නවාතැන් පහසුකම් දුන්නා කියා පසුකාලීනව ආරංචි වුණා. නළුනිළියන් සහ මේ දර්ශන තල ලෝකේ බොහෝ රටවල් වලට සුවිශේෂීයි. මමත් විවිධ රටවල චිත්‍රාගාර වලට ගිහින් තියනවා. ඒවාට බැතිමතුන්ට ඇවිත් නවාතැන් ගන්න බැහැ. ඒකේ නවාතැන් පහසුකම් හදලා තියෙන්නේ ඒ කාර්යභාරයේ යෙදෙන නළු නිළියන්ටයි. මේක විකුණන්නත් දාලා තිබුණු අවස්ථාවක් තිබුණා. දැන් මේක අලුත් මුහුණුවරකින් ප්‍රතිසංස්කරණය කරන්න තමයි සිද්ධවෙලා තියෙන්නේ. මහාමාර්ග පද්ධතියත් අධිවේගී මාර්ග පද්ධතියත් යම්කිසි ප්‍රමාණයකට ඒ පැත්තට සකසා තිබෙන නිසා ටිකක් ඉක්මන් ගමනින් අපට ඒ දර්ශනතල වලට ළගා වෙන්න පුලුවන්. ඒ නිසා මම හිතන්නේ මේ රජයෙනුත් යම් මට්ටමකට මේක ප්‍රතිසංස්කරණය කරලා කැඩුණ බිදුණ වැටුණ මේ ස්වාභාවික චිත්‍රාගාරය නැවත ප්‍රතිසංස්කරණය කරලා කලාකරුවන්ට ලබා දෙනවා නම් ඒක සුබ ලකුණක්. ඒ වගේම ඊට වඩා වෙනස් දේශගුණික තත්ත්වයක් ඇති ප්‍රදෙශයක තවත් අලුත් චිත්‍රාගාරයක් සදහාත් ඉඩකඩ සකසාගන්න, ඒ තුළ යම් යම් නිර්මාණ කිරීමේ දක්ෂයෝ බිහි වෙනවා නම් මම හිතන්නේ රජයට අලුත් අදහසක් ඉදිරිපත් කරන්නත් ඒක අපිට අවස්ථාවක් වෙයි.

කලාකරුවෝ පාවිච්චි කළේ නෑ
නිලන්ත ගුරුසිංහ- රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්


පරිපාලන ගොඩනැගිලි වැනි ස්ථිර ඒවා දිගටම නඩත්තු කළා. නමුත් චිත්‍රපට වලට හදපු සෙට්ස් නඩත්තු කරන්නේ නැහැ. අපි පාරවල්, අනෙක් ගොඩනැගිලි, ස්ථාන නඩත්තු කරනවා. අනෙක් ඒවා චිත්‍රපට වලට හදපු ඒවා නිසා නඩත්තු කරන්නේ නැහැ. බොම්බෙ වෙල්වට් චිත්‍රපටයට හදපු නගරය නැවත ප්‍රතිසංස්කරණය කරන්න පුලුවන්ද කියලා ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ සහායෙන් පරීක්ෂණයක් කරලා බැලුවා. එහෙම කරන්න බැහැ, ඒවා අලුතෙන් හදන්න වෙනවා. චිත්‍රපටයට විතරයි ඒවා තාවකාලිකව හදලා තියෙන්නේ. අනෙක් ඒවා හොඳට තියනවා. කොහොමත් මේක බාගෙට හදලා නතර කරලා තියෙන්නේ. පළමු අදියර විතරයි කරලා තියෙන්නේ. දෙවැනි එක කරන්න නම් ඉන්දියන් මාකට් එක් අල්ලගෙන කරන්න වෙනවා. ලංකාවේ චිත්‍රපට කර්මාන්තය වැටිලා තියෙන්නේ. ඒ නිසා තමයි චිත්‍රපට වැඩිය එන්නේ නැත්තේ. නමුත් නැහැ කියන්නත් බැහැ. මේක ලාභ ලබන්න කරන එකක් නෙමෙයි. කලාකරුවන්ගේ හොඳ නිර්මාණ කරන්න අතහිත දෙන තැනක්. ඒ නිසා පුලුවන් තරම් අඩු මිලට තමයි ඒවා දෙන්නේ. බලන්න එන අයගෙන් ටිකට් එකකට ගන්නේත් රුපියල් පනහයි. සෙට් වෙනස් කරලා පාවිච්චි කරන්න පුලුවන් නම් නැවත වෙනස් කරලා පාවිච්චි කරනවා. මේක පටන් ගත්ත දවසේ ඉදලාම කොහොමත් රූගතකිරීම් වලට එනවා අඩුයි. ඒ චිත්‍රපට කර්මාන්තය කඩා වැටි ඇති නිසයි. පහුගිය ආණ්ඩුව කාලයේ සමහර කලාකරුවෝ දිගටම කීවා මේකට හම්බන්තොට ගැළපෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේක දියුණු කරනවා ද වෙන තැනකට ගෙනියනවාද කියලා තීරණයකට ආවේ නැහැ. නමුත් පවත්වාගෙන යාම අපි හරියට කළා. වෙඩින් ප්‍රීෂූට් වලට සෑහෙන මේක පාවිච්චි කරනවා, වෙළද දැන්වීම් වලට ගන්නවා. කලාකරුවෝ රන්මිහිතැන්න පාවිච්චි කළේ නැහැ, එත් වෙන වෙන දේවල් වලට මේක පාවිච්චි කරනවාට දැඩිව විරුද්ධයි. මේකට ඉදිරියේ දී අලුත් බජට් එකෙන් මුදල් වෙන් කරනවා කියලා නව අගමැතිතුමා කියලා තියනවා.