රසික ගුණවර්ධන

නන්දන ලොකුවිතානගේ ආරම්භ කිරීමට නියමිත හොරණ ටයර් කර්මාන්තශාලව නුදුරේදීම විවෘත වන බවට මාධ්‍යවල නිරන්තරයෙන් ප‍්‍රචාරය වේ. ඊට වැඩි හරියක් මැදිහත්වන්නේ දෙරණ මාධ්‍ය නාලිකාවයි. පසුගිය දිනක ඔවුහු එම කර්මාන්තශාලාව අළලා වාර්තාමය චිත‍්‍රපයටක් විකාශය කළහ. එපමණක්ද නොව රූපවාහිනියේ නිතර විකාශය වන මේ ටයර් කර්මාන්තශාලාව පිළිබඳව රූපවාහිනී ප‍්‍රචාරක දැන්වීම්වල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ රුව සහ තනතුරු නාමයන්ද ප‍්‍රදර්ශනය වේ. ලංකාවේ වෙළෙඳපොළ ප‍්‍රසාරණය වීමත් සිදුවනවා නම් ඊට අපගේ විරුද්ධත්වයක් නැත. එහෙත් මෙය ආණ්ඩුවේ තවත් එක් ප්‍රොපගැන්ඩාවක් මිස වෙනකක් නොවන බව පෙනේ.

නන්දන ලොකුවිතාන ප‍්‍රසිද්ධියට පත්ව සිටියේ මහින්ද රාජපක්ෂගේ සුරතලෙකු ලෙසය. එහෙත් පසුව යහපාලන රජය යටතේ ඔහු මලික් සමරවික‍්‍රමගේ ඔඩොක්කුවට පැන්නේය. නැවත ඔහු මහින්දත් අමතක කර ගෝඨාගේ ඔඩොක්කුවට පැන ඇත. ඒ අතින් බලන කල නන්දන ලොකුවිතානගේ දක්ෂ ව්‍යාපාරික ගෙම්බෙකි.

නන්දනට හොරණ ටයර් කර්මාණන්තශාලාව ඇරඹීම සඳහා පොට පෑදෙන්නේ යහපාලන රජය යටතේය. ඔහු මහින්දගේ ඔඩොක්කුවේ සිටියද යහපාලනය පැමිණි පසු එය සමග කෙතරම් හාවුණාද යත් ඔහු හොරණ ටයර් කර්මාන්්තශාලාව ඇරඹීමට කටයුතු කරන්නේ කැබිනට් මණ්ඩල තීරණය පවා අවලංගු කරවා ගනිමිනි.

2016 අපේ‍්‍රල් මස 26 වන දින එවකට මුදල් අමාත්‍යවරයාව සිටි රවි කරුණානායක විසින් කැබිනට් තීරණයක් හරහා එතෙක් ආයෝජන සඳහා ලබා දී තිබූ ලාභ සහ ආදායම මත අදාළ වන බදු සහනය අවලංගු කරනු ලබයි. එම බදු සහනය අවලංගු කිරීමට හේතුවූයේ ඒ හරහා රටේ ආර්ථිකයට කිසිදු ප‍්‍රතිලාභයක් නොලැබෙනවා සේම අර්ථ විරහිත අසාධාරණ බදු සහනයක් වන මෙය හරහා කිසිදු විනිවිදබවකින් තොරව ගනුදෙනු වීමේ හැකියාවක් පැවතීමය. මේ බදු සහනය ලබාදී තිබුණේ හුදෙක් ආයෝජන දිරිමත් කිරීම සඳහා පමණි. එහෙත් එම අවලංගු කිරීමෙන් අනතුරුව නැවත කිහිප වතාවක් උත්සාහ කර එවකට සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම විසින් දේශීය වෙළෙඳපොළ සඳහා 40%ක බදු සහනයක්ද අපනයන වෙළෙඳපොළ සඳහා 60% ක බදු සහනයක්ද ලබා දෙන්නේ හුදෙක් නන්දනගේ ”රිජඞ්” කර්මාන්තශාලාව සඳහාය.

නන්දනගේ යහපාලන හාදකම එයින්ද නවතින්නේ නැත, නන්දනගේ මේ ටයර් කර්මාන්තශාලාව ආරම්භ කිරීම සඳහා හොරණ ප‍්‍රදේශයෙන් ඉඩමක් ලබා දෙන්නේ අක්කරයක් රුපියල් සියය බැගිනි. හොරණ නොව ලංකාවේ වෙන කිසිදු ප‍්‍රදේශයකින් අක්කරයක් රුපියල් සියය බැගින් මිලදී ගැනීමට හැකිදැයි දැන් ඔබට සිතා බැලිය හැකිය.
යහපාලනය නන්දනට මේ ආදරය පෑවේ නන්දනගේ ඩොලර්වලට යටවී බවට සැක නැත. ගිවිසුමේ හැටියට නන්දන ටයර් කර්මාන්තශාලාව හරහා මෙරටට ගෙන එන බව පවසන ආයෝජනයේ ප‍්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 75කි. ආසන්න වශයෙන් රුපියල් මිලියන 12000කි. යහපාලනය සිදු කළ මහ බැංකු වංචාවෙන් අහිමි වූවා යැයි පවසන මුදල රුපියල් මිලියන 11,145කි. නන්දනගේ ආයෝජනයේ තරම ඔබට සිතාගත හැකිය. දැන් කර්මාන්තශාලාව විවෘත කිරීමට යන මොහොතේ ඔහු පළමු අදියරය යටතේ කළ බව යැයි කියන ආයෝජනය ඇමරිකන් ඩොලර් මිලියන 100කි. දෙවැනි අදියරයේදී ඔහු ආයෝජනය කරනවා යැයි කියන මුදල ඇමරිකන් ඩොලර් මිලියන 150කි.

නන්දන සහ රජය අත්සන් කළ ගිවිසුම අනුව මේ සා මුදලක් ආයෝජනයේ වාසිය තෙරුම්ගත හැකිය. ඊට ප‍්‍රථම නන්දන මහින්දගේ ඔඩුක්කුවේ ඉන්නා අතරේ කළ කී දෑ ගැන මතක් කර ගැනීම වටී.

2015 වසරේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, කඩුවෙල මහේස්ත‍්‍රාත් උසාවියට බී වාර්තාවක් ඉදිරිපත් කළේ ඩුබායි මැරියට් හෝටලයේ ආයෝජනය කර තිබෙන ඩොලර් මිලියන 190 එහි හිමිකරු ලෙස පෙනී සිටින නන්දන ලොකුවිතානගේ නොව, මහින්ද රාජපක්ෂගේ බවටය. එසේම ලංකා වානේ සංස්ථාවේ නන්දන ආයෝජනය කළා යැයි කී ඩොලර් මිලියන 48 පිළිබඳව කතාවද එයමය. මුදල් විශුද්ධිකරණය ගැන කියන පැනමා පත‍්‍රිකාවල නන්දනගේ නමින් ලියාපදිංචි වූ ආයතනයක් ගැන සඳහන්ය. එය ”නිලෝනා ෆැෂන්” නම් වේ. මේ නිලෝනා ෆැෂන් ආයතනයේ ලිපිනය දැක්වෙන්නේ, NILONA FASHIONS LTD, Villa #13; Al Goaza; P.O. Box 8416; Sharjah; UAE ලෙසය. එය සීසෙල්ෂ් හි ලියාපදිංචි කළ ඩුබායි සමාගමකි. ඒ අතර මහින්ද රාජපක්ෂ සමයේ ලංකාව සීසෙල්ෂ් සමග ව්‍යාපාරික සබඳතා තරකර ගැනීමට කියා සීසෙල්ෂ් හි ලංකා බැංකු ශාඛාවක්ද විවෘත කළේය. මේවා හුදු අහම්බද? එසේ නැතිනම් අප මේවා හුදු අහම්බ ලෙස සිතා ගත යුතුද?

හොරණ ටයර් කර්මාන්තශාලාව පෙන්වා මාන අල්ලන නංගී වෙන කිසිවක් නොව නන්දගේ පරණ සෙල්ලමම විය හැකිය. මුදල් විශුද්ධිකරණය ගැන ඉතා සරලව කිවහොත්, කිසියම් කර්මාන්තශාලාවක් රුපියල් මිලියන 10 ක වටිනාකමකින් යුත් ටයර් අපනයනය කර එය විකුණූ මිල රුපියල් මිලියන 100 බව පවසා මෙරටට මුදල් ගෙන ආ හැකිය. එය හරහා මුදල් විශුද්ධිකරණය නියැලීමට නම් එම පුද්ගලයා සතුව සැලසුම් සහගත වෙළෙඳ ජාලයක් තිබිය යුතුය. සීසෙල්ෂ් වැනි තැන්පත්කරුවන් ගැන හෙළි නොකරන රාජ්‍යයක ලියාපදිංචි කළ සමාගමක් හරහා එම ටයර් විකුණූ බව පෙන්වයි. එම ටයර් සැබෑවටම විකුණුවද නැතිවද එය කළ හැකිය. එයින් පසු මෙරටට එවීමට අවශ්‍ය මුදල ලාභය සේ පෙන්වා එය මෙරටට එවිය හැකිය. එහෙත් සාමාන්‍යයෙන් එය කළ නොහැක්කේ එසේ මුදල් එවීමේදී විශාල බදු මුදලක් රජයට ගෙවිය යුතු බැවිනි එහෙත්, නන්දන ලොකුවිතානට වැනි බදු සහනයක් ලැබෙන්නෙකුට එය කජු කනවා තරමට පහසුය.

නන්දනගේ බදු සහනයට අනුව ඔහුට, පළමු වසර 12ක කාලය තුළ කිසිදු බදු අයකිරීමක් නැත. එම වසර දොළහෙන් පසු අඛණ්ඩව ඔහුට 15% ක බදු සහනයක් හිමිවෙයි.

අනෙක් කාරණය නන්දන කීවාට තමා පළමු අදියරයේ ඩොලර් මිලියන 100ක ආයෝජනයක් කළ බව සැබෑවට එය සත්‍යයක් විය නොහැකිය.

2019.04.04 වන දින එවකට සිටි සංවර්ධනය උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍යවරයා මිරර් පුවත්පතේ මිරර් බිස්නස් (Mirror Business) අතිරේකයට ප‍්‍රකාශ කරන්නේ ඒ වන විට හොරණ ටයර් කර්මාන්තශාලාවෙන් 65% ක වැඩ කටයුතු අවසන් වී ඇති බවයි. ආයෝජනයට අදාළව ඩොලර් මිලියන හැත්තෑ පහෙන් 65% යනු ඩොලර් මිලියන 48.75 කි. එහෙත් ඒ වන විට කිසිසේත්ම ඩොලර් මිලියන 48.75 ක ආයෝජනයක් සිදුව නොමැති බව තහවුරු වන්නේ මෙරටට භාණ්ඩ ගෙන්වීම පිළිබඳව නිල සටහන වන ශ‍්‍රී ලංකා රේගුවේ HS කේත සෙවුම (HS Codeද) හරහාය. එයට අනුව ඒ වන විට ගෙන්වා තිබූ සම්පූර්ණ භාණ්ඩවල වටිනාකම රුපියල් මිලියන 690කි. (වගුව බලන්න) එනම් ඩොලර් මිලියන 3.8 කි. ආසන්න වශයෙන් ඩොලර් මිලියන හතරකි.

රටටම අණබෙර ගසා තමන්ගේ සේ හොරණ ටයර් කර්මාන්තශාලාව වත්මන් රජය විවෘත කිරීමට සැරසෙන විට විපක්ෂය මීයට පිම්බා සේ සිටින්නේ මේ නිසාය. තමන්ගේ වංචාවට වෙනකෙකු අත ගැසූ පසු මේ මගේ වංචාව යැයි කීමට බැරිකමටම ඔවුහු කරබාගෙන සිටිති. එහෙත් අක්කරයක්ම රුපියල් සීයට දී, කැබිනට් තීරණ පවා රිවස් කරගෙන වැදු දරුවාට වෙනකෙකු අයිතිවාසිකම් කියන විට නන්දන සුරතල් කෙරූ මලික්ලාට හිත නොරිදේ යැයි කාට නම් කිව හැකිද?

1 COMMENT

  1. Weighty rare information absorbed to the article.
    According to ‘Asian World news ‘ Mahinda Rajapaksa is the richest person in Sri Lanka and his net worth is USD 18 billions. Has he declared his assets to the country. Ascertaining above who should be in the jail? Ranjan or Mahinda?

Comments are closed.