ටිරන් කුමාර බංගගමආරච්චි

කෙනෙකුගේ ද්විත්ව පුරවැසිභාවය කෙසේ හෝ ඉවත් කරගත හැකි වුවත් ඔහුගේ ද්විත්ව ස්වභාවය ලේසියෙන් යටපත් කරගෙන හෝ සිටිය නොහැකි බව ජනපති ගෝඨා මනාව ඔප්පු කළේය. සිනහවෙවී බැණ වැදීම ගෝඨා සතු අපූරු ලක්ෂණයකි. අම්පාරේ පැවති උත්සවයකදී ඔහු සමගි ජන බලවේගයේ මන්ත‍්‍රී හරින් ප‍්‍රනාන්දු ඉලක්ක කොට මේ දෝස් මුරය මුදා හරින්නේය.

පාර්ලිමේන්තුවේදී, හරින්, ගෝඨා ගැන සැර විග‍්‍රහයක් සැපයුවේය. අම්පාරේදී පිළිතුරු සැපයෙන්නේ එයටය.
හරින් පාර්ලිමේන්තුවේදී කළ කතාවේදී ජනපති හඳුන්වන්නේ ඔහුගේ මුල් නමිනි. ඒ නන්දසේන යනුවෙනි. සිරිසේන ගිය පසු නන්දසේන ආ බව කීම ජනපතිට අනුව යකා නගින වැඩකි. නන්දසේන කිව් සැණින් සිරිසේන සමපාත වන්නේය. නන්දසේන යන්න හොඳ නමක් යැයි ජනපති අම්පාරේදී කීවද ඔහු ඊට අකමැති බව එදා ඔප්පු විය. ඔහු කැමති ගෝඨාභය ලෙස ඉන්නටය. ඔහු නන්දසේනව දකිනුයේ ඔහු තුළ සිටින කළු චරිතය ලෙසය. කොටින්ම ඔහුට ඔහුගේ ජීවිතය කොටස් දෙකකට බෙදන්නේ නම් ආරක්ෂක ලේකම්ව සිටි යුගය ඔහු හඳුනා ගන්නේ නන්දසේන යුගය ලෙසය. එහෙත් ජනපති යුගය ඔහු ගොඩ නගනුයේ ගෝඨාභය යුගය ලෙසය.
කිසිම මිනිසෙක් තනිකරම කළු හෝ තනිකරම සුදු නැත. මේ දෙකෙහිම මිශ‍්‍රණයකි. එය ගෝඨාටත් පොදුය.

නන්දසේන සමය
මහින්ද රාජපක්ෂ පාලන කාලයේ සිදුවූ බොහෝ විනාශකාරී වැඩ බැර වූයේ එවකට ආරක්ෂක ලේකම් ලෙස ක‍්‍රියා කළ නන්දසේනගේ නමටය. පසුගිය ජනාධිපතිවරණයේදී පුන පුනා පෙන්වා දුන්නේ ඒ චරිත ස්වභාවයය. රට ඒකාධිපතියෙකුට යන බව හිට්ලර් ගැන, රට විනාශ වන බව මේ හැම කතාවකම හරය වූයේ ගෝඨා භයානක බවය. ඔහු ජනපති කර ඉල්ලාගෙන නොකන බවය. එහෙත් විපක්ෂයේ විරෝධතාවන්ම ඔහුට ආශිර්වාදයක් වූයේ පැවති ක‍්‍රමය අනුව බලන කල රටට වුවමනා ඒකාධිපතියෙක් බවත්, හිට්ලර් කෙනෙකු බවත් යන මතය ස්ථාපිතවෙමිනි. ඒ අනුව ගෝඨා හැට නව ලක්ෂයක ඡුන්දයෙන් දින්නේය. දැන් තුනෙන් දෙකක බලයක්ද ඔහු සතුය. දහනවය ඉවත් කොට විස්ස ගෙනවිත් ඔහු තනි අලියා වී ඇත. ඒ අසීමාන්තික බලයම මිට මොලවාගෙන ඔහු කියනුයේ තමා හිටපු ආරක්ෂක ලේකම් කාලයට නොදක්වන ලෙසය.

ආරක්ෂක ලේකම්ව සිටියදී ඔහු කළ ක‍්‍රියා ඔහුට එල්ල වූ චෝදනා සත්‍ය බව ඔහුම අද පිළිගනී. එකල ඔහු තුළ සිටි මිනිසා දරුණු බව ඔහුම කියයි. මහින්ද රාජපක්ෂ යුද්ධය දිනීම ගැන කුමක් කීවත් එය ලඝු වී ඇත්තේ ප‍්‍රභාකරන් ගෝඨාට පිත්තල හන්දියේදී කළ ප‍්‍රහාරය මත බව අද පැහැදිලිය. පසුගිය කාලය පුරා යුද පොත් ලියූ කිසිවෙකු හෙළි නොකළ රහස එළියට පැමිණ ඇත. එනම් ප‍්‍රභාකරන් ඉල්ලාගෙන කෑවේ තමාට පහරදීම නිසා බව අද ජනපති ගෝඨා කියනුයේ එහි ප‍්‍රතිඵලය ඔහුට නන්දිකඩාල්හි බල්ලෙකු ලෙස මැරෙන්නට සිදුවීමය. එසේ නම් ගෝඨා සිදුකර ඇත්තේ ඔහුට ගැසූ පලිය ගැනීමය. ඒ නිසා අද ඔහු හරින්ට සිහිපත් කරනුයේ නයාට ගහලා පොල්ල වරද්ද ගන්න එපා යන්නය. මෙය බරපතළ ප‍්‍රකාශයකි. එනම් ඔහුට එරෙහි වන සැමට එන විපාකය කල් තබා හරින්ගේ නමින් රටටම කියා ඇත. දැන් සැබැවින්ම හරින් තර්ජනයෙන් මිදී ඇත. තර්ජනය ඇත්තේ වෙනත් අයටය. හරින් තමාට ආරක්ෂාව ඉල්ලා පොලිස්පතිට ලිපියක් ලියා ඇත. මේ එයින් උපුටනයකි.

”ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්ව සිටියදී විවේචනය කළ බොහෝ මාධ්‍යවේදීන්, ක‍්‍රියාකාරීන් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතුරුදහන් වී හෝ ඝාතනයට ලක්ව ඇති බව මම දනිමි. මෙම සිද්ධීන් බොහොමයකදී ප‍්‍රහාරයන්ට පෙර නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ඇතුළු නිලධාරීන් සහ දේශපාලනඥයන් විසින් ආරම්භ කරන ලද ව්‍යාජ තර්ජන හෝ නිෂ්ඵල නඩු පැවරීම් සිදුවිය. ඇත්ත වශයෙන්ම ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට ලක්වී හරියටම වසර 12කට පසු ජනාධිපතිවරයා මා වෙත තර්ජනාංගුලිය දිගු කිරීම විමතියට කරුණකි. මගේ ජීවිතයට එල්ල වී ඇති මෙම බරපතළ තර්ජනයට එරෙහිව ප‍්‍රමාණවත් ආරක්ෂාවක් මට ලබාදෙන ලෙසත් සමගි ජනබලවේගයට සහාය දුන් මිලියන 2.8ක ඡන්දදායකයන් වෙනුවෙන් නිදහසේ කතා කිරීමට (භාෂණයට) මට ඇති අයිතිය රැකදෙන ලෙසත් මම කාරුණිකව ඉල්ලමි.”
උපුටා ගැනීම අවසන්.

හරින් පාර්ලිමේන්තුවේදී ජනපති ගෝඨාට බැන්නේය. ඊට පිළිතුරු ලෙස අම්පාරේ පැවති උත්සවයකදී ගෝඨා හරින්ට හිනාවෙවී අනතුරු ඇගෙව්වේය. දැන් හරින් ගෝඨාගේ ආණ්ඩුවෙන්ම තමන්ට ආරක්ෂාව ලබා දෙන්නැයි ඉල්ලන අතර ජනපති ගෝඨාටද හරින්ට නිසි ආරක්ෂාව ලබා දෙන්නැයි කියනු ඇත. එසේ නම් හරින් අවදානමෙන් බේරී හමාරය. දැන් අවදානම ඇත්තේ හරින් මුලදී කී පිරිසටය. නන්දසේන සමයේ මන්ත‍්‍රීවරුන් අතුරුදහන් වී හෝ මිය ගියේ නම් ඒ දෙමළ මන්ත‍්‍රීවරුය. ඉතිහාසය පිරික්සන්නේ නම් එලෙස අතුරුදහන් හෝ මියගිය සිංහල දේශපාලකයන් නොවීය. ඉදිරියේදීත් ඒ අවදානම සිංහල අයට අඩුය. එහෙත් මුස්ලිම් අය ඒ අනතුරේ ප‍්‍රමුඛ තැන අද ඇත. දෙමළ මන්ත‍්‍රීවරුද ඇත. එසේ නම් මාධ්‍යවේදීන්, ක‍්‍රියාකාරීන් ගැන කවර කතාද? එහෙත් හරින්ගේ අනතුර මැකී ඇත. වෙන බහුතරයකට අනතුර බෙදී ගොස් ඇත.

හරින් යටගියාව දෙස බලන්නේ නම් මහා හයියෙන් කෑ ගසා පොරවීම ඔහුගේ ලක්ෂණයකි. ඒ සැණින් කුක්කකු වීමත් දැකිය හැකිවිය. කාදිනල්ට බැණ වැදීමත් වැඳ වැටීමත් එයට කදිම නිදසුනකි. හෙට දවසේ ඔහු ගෝඨා සමග හුරතල්ෙමින් සිටින පින්තූර පළවුවත් අප පුදුම විය යුතු නැත. සැබැවින්ම ගෝඨාගේ අම්පාරේ කතාව වටහාගත යුත්තේ පොදු අනතුරක් ලෙස මිස හරින්ට කළ අනතුරක් ලෙස නොවේය. හරින්ට කිසිදු අනතුරක් නැත.

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස තමා හරින් වෙනුවෙන් පෙනී සිටිනවා කියනවාට වඩා හඳුනාගත යුත්තේ මෙය පොදු අනතුරක් ලෙසය. හරින්ට කිසිවක් සිදු නොවන බව ඔහුද හොඳාකාරවම දනී. එහෙත් ඔහු පොදු අනතුර හඳුනාගෙන නැත. එය අභාග්‍යයකි.

ගෝඨා යුගය
ඉහත නන්දසේන යුගය තමා අමතක කොට නව චරිතයකට පණ පොවන බව ගෝඨා අම්පාරේදී කීවේය. ඒ ජනපති ගෝඨා යුගයය. එහි කිසිදු වරදක් සිදු නොවනවා නොව ඕනෑතරම් විය හැකිය. එහෙත් ඒවා කරනුයේ වත්මන් ආරක්ෂක ලේකම් විය හැකිය. තව බොහෝ අය විය හැකිය. තමා කළ යුගයට වඩා තමා කරවන යුගය අතිභයංකර විය හැකිය. තමාට නැවත ආරක්ෂක ලේකම් කාලේ සිටි නන්දසේන අවදි කරගන්නැයි සිවුරුධාරීන් ඉල්ලා සිටින බව ජනපති එදා පැවසීය. මේ භික්ෂූන් නොව සිවුරුධාරීන් බව අපගේ හැඟීමය. ලේම ඉල්ලන භික්ෂූන් සිටිය නොහැකිය. එහෙත් සිවුරු ඇඟලා ගත් පිරිස් සිටිය හැකිය. ජනපති ගෝඨා වනවාද නන්දසේන වනවාද යන්න තීරණය කළයුත්තේ ඒ සිවුරුධාරීන්ද?

ජනපති තමා දෙබිඩි චරිතයක් බව ප‍්‍රසිද්ධියේම රටට නොව ලෝකයාටම කීවේය. එතරම් සහ සුද්දෙටම තමා ගැන දන්නා ඔහු නන්දසේනව යටපත් කරන්නටම උත්සාහ ගන්නේ නම් මැනවිය. මන්ද හැට නව ලක්ෂයක් දැඩිව විශ්වාස කළේ ඔබ රට හදයි කියා මිසක රට නසයි කියා නොවන බැවිනි.

නන්දසේන යුගයේ අමතක කළ යුතු නැතිම කෑල්ලක් විය. එනම් සුදුවෑන්වලින් මිනිස්සු පැහැර ගනිද්දී ජීවන් කුමාරතුංගගේ මස්සිනාද විය. මහ දහවලේ ඔහු පැහැර ගන්නා අතරමගදී මේ අපේ එකෙක් කියන බැගෑපත්වීම ඔහු මුදවාලනු ලැබුවා සහතිකය. එබැවින් මෙවර සෙල්ලම දෙමළ, මුස්ලිම් පමණක් නොව සිංහල මන්ත‍්‍රීවරු අතරද විය හැකිය. එය විපක්ෂයේ පමණක් නොව ආණ්ඩු පක්ෂය තුළ වුව විය හැකිය. එසේ නම් අම්පාරේදී ජනපති හිනාවෙවී දෙන අනතුර සුළු කොට තැකිය යුතු නැත.

නැවත හරින් පොලිස්පතිට යවන ලිපියෙන් උපුටමු.
”මම නිශ්ශබ්දවීම ප‍්‍රතික්ෂේප කරන බැවින් මා මරණයට පත් වුවහොත් මා මරා දමන බවට මෙතෙක් තර්ජනය කර ඇති එකම මිනිසාගේ අභිමතය පරිදි එය සිදුවනු ඇතැයි මම හඟිමි. නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා සාපරාධී ක‍්‍රියාමාර්ගයෙන් ඉවත් වන ලෙසට ඔහුට කිසියම් බලපෑමක් එල්ල වනු ඇතැයි යන බලාපොරොත්තුව ඇතිව මම මෙම ලිපිය පාර්ලිමේන්තුවේ කතානායක, නීතිපති, කොළඹ විදේශ තානාපති මණ්ඩල ප‍්‍රධානීන් සහ අදහස් හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සහ බාහිර විනිශ්චය සාරාංශය හෝ අත්තනෝමතික ඝාතන පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන් වෙත යොමු කරමි.”
උපුටා ගැනීම අවසන්.

හරින් නිදහස්ය. එහෙත් පොදු අනතුර එලෙසමය. හෙට දවසේ ගෝඨා නන්දසේන විය හැකිය. නන්දසේන ගෝඨා විය හැකිය. මේ චරිත දෙකම අවැසි මොහොතවල්වල අවශ්‍යතාව අනුව රූපාන්තරණය වනු ඇත. මේ දෙබිඩි බව ඇති එකම පුද්ගලයා ගෝඨා නොව එය මහින්ද තුළත් ඇත. රනිල් තුළත්, සජිත් තුළත් ඇත. ගෝඨා දේශපාලන චරිතයක් නොවන නිසා ඔහු තමා තුළ ඇති චරිත දෙක ගැනම හෙළි කරන්නේය. එහෙත් අටුවම් බැසූ දේශපාලන චරිත පෙන්වනුයේම සුදු චරිතය පමණය. කාට හෝ මහින්ද තුළ ඇති නන්දසේන සොයා ගත හැකිද? එය අපහසු ඔහු ඉතා ශූර සටකපට දේශපාලකයකු බැවිනි. එහෙත් ගෝඨා උද්ධච්ච පරිපාලකයෙක් නිසා නන්දසේන ඉබේම එළියට පනී. වෙනස එයය. මහින්දගේ වචනයෙන්ම කියනවා නම් දැන් ඇසිය යුත්තේ එකම දෙයකි. එනම් වෙනස සැපද?