චාමිනි වික්‍රමසිංහ/ ඡායා: කනිෂ්ක කුරේරා

අපි මුහුදු යන්නේ එන්නේ මේ ඇළ හරහා. ඒත් දැන් ගොඩක් අය මේ ඇළට රෑට මලු වල දාලා කුණු ගෙනත් දානවා. ඒ කුණු නිසා සමහර වෙලාවට අපේ බෝට්ටු මග නතර වෙනවා. මුහුදු රස්සාව කියන්නේ හරිම කටුක දෙයක්. එහෙම බෝට්ටු මග නතර වුනාම අපි ගොඩක් අසරණ වෙනවා. කුණු අයින් කරලා යන්න ගියාම අපිට පරක්කු වෙනවා. ඒ මදිවට මේ කුණු ගඳ ඉවසන්න බෑ. අපිට නහය තියාගෙන ඉන්න බෑ සමහර වෙලාවට. අදාළ බලධාරීන් මැදිහත් වෙලා මේ ප්‍රශ්නේ විසඳනවනම් අපිට මේ පරිසරය ලස්සනට තියාගෙන අපේ රස්සාවත් හොඳින් කරගෙන ඉන්න පුලුවන්.
මේ වසර 45 ක් පමණ හැමිල්ටන් ඇළ හරහා යමින් ධීවර රැකියාවෙහි යෙදෙන මාරසිංහ ටයිටස් පියශාන්තගේ කතාවයි. සිය කුඩා අවදියේ පටන්ම හැමිල්ටන් ඇළ සමග ආදරණීය මතකයන් පිරි මාරසිංහ අද හැමිල්ටන් ඇළ දෙස බලා සිටිින්නේ ශෝකයෙන් යුතුවයි. කුඩා කල ඉතා පිරිසිදු ජලයෙන් පිරි හැමිල්ටන් ඇළේ තමන් රිසි සේ දිය නාන බව ඔහු පැවසූයේ අතීත මතකයේ ගිලෙමිනි. නමුදු අද වන විට හැමිල්ටන් ඇළ වසා සිටින ප්ලාස්ටික්, පොලීතීන් වැනි අපද්‍රව්‍ය දකින මාරසිංහට පමණක් නොව අපට ද ඇතිවන්නේ මහත් ශෝකයකි. එම ශෝකය වඩා ත්‍රීව්‍රර වන්නේ ඇළ හරහා පැමිණෙන අපුල දුර්ගන්ධය ද සමගිනි.


වසර 500 ක පමණ ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන හැමිල්ටන් ඇළ අද වන විට කුණු ඇළක් බවට පත්වී තිබීම සැබැවින්ම ඛේදජනකය.


ඕලන්ද ඇළ හෙවත් මෝඩ ඇළ ලෙස හදුන්වනු ලබන හැමිල්ටන් ඇළ නිර්මාණය කළේ ඕලන්ද ජාතිකයින්ය. ඒ එවකට ඔවුන්ගේ ලාභ උපයන ප්‍රධාන වෙළඳ භාණ්ඩයන් වන කුරුඳු වැනි භෝග පිට පළාත්වල සිට කොළඹට ප්‍රවාහනය කිරීම සඳහාය. මෙම ඇළ මාර්ගය කොළඹ සිට මෝදර දක්වා දිවයිනේ වයඹ ප්‍රදේශයට ද පුත්තලම දක්වා ද කිලෝ මීටර් 100 ක් පමණ විහිදී ඇත.


එවකට ශ්‍රී ලංකා යටත් විජිත දේශීය ආදායම් සහ වාණිජ කටයුතු භාර නිලධාරියා වන ගැවින් හැමිල්ටන් ගේ අධීක්ෂණය යටතේ මෙම ඇළ ප්‍රතිසංස්කරණය කළ නිසා මෙම ඇළ පසුව හැමිල්ටන් ඇළ ලෙස ප්‍රසිද්ධ විය.
2014 වර්ෂයේදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ හැමිල්ටන් ඇළ ආශ්‍රිතව ශරීර සුවතා මංතීරු, විවේක ස්ථාන, එළවලු පළතුරු මාලු අළෙවි සැල් සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබූවේ ප්‍රදේශයේ ජනතාවට ආදායම් උත්පාදන මාර්ග ඇති කරදීමට, සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීමට සහ ප්‍රදේශයේ අලංකාරය ආරක්ෂා කර ගැනීමේ අරමුණින්ය.


එහෙත් අද වන විට මීගමු පුරවරයේ තිබිය යුතු අලංකාරම ස්ථානයක් වන හැමිල්ටන් ඇළ වත්මනෙහී මීගමු පුරවරයේ ඇති අපවිත්‍රම ස්ථානය බවට පත්වී ඇති බව අපට පැවසූවේ නම සඳහන් කිරීමට අකැමති සංචාරක මග පෙන්වන්නෙකි.


ඔහු වැඩිදුරටත් පැවසූයේ වසර කිහිපයකට පෙර හැමිල්ටන් ඇළ ශුද්ධ පවිත්‍ර කළ ද මේ වන විට ඒවා නිසි ලෙස නඩත්තු නොකරන බවයි. ප්ලාස්ටික් ඇතුළු නොදිරන අපද්‍රව්‍යය මෙන්ම විවිධ කැළි කසල නිසාවෙන් හැමිල්ටන් ඇළේ සුන්දරත්වයට විශාල කැළලක් බව එහි ගිය මා ද අත් දුටු සත්‍යයකි. සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් දිනා ගත හැකි පරිසර පද්ධතියකින් යුතු හැමිල්ටන් ඇළ අද වන විට ගඳගසන කුණු ඇළක් බවට පත්වී තිබේ. දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය ඉතා ඉහළ මට්ටමින් තිබූ මෙම ස්ථානයට දැන් බොහෝ සංචාරකයින් ඒමට මැලිමක් දක්වන බව ද ඔහු පැවසීය. කුණු සහ අධික දුර්ගන්ධය ඊට ප්‍රධාන හේතු වී ඇත.


ඇතැම් අවස්ථාවල යාචකයින් මෙම ස්ථානයේ මළපහ කිරීම හේතුවෙන් සංචාරක මග පෙන්වන්නෝ අපහසුතාවයට පත්ව සිටීති.


හැමිල්ටත් ඇළ ආශ්‍රිත ප්‍රදේශය දහවල් කාලයට මෙන්ම රාත්‍රී කාලයට ද ඉතාමත් අලංකාර බැවින් දෙස් විදෙස් සංචාරකයින් වැඩි වශයෙන් මෙම ස්ථානයට ඇලුම් කරන බව ඔහු කීය. සංචාරක කර්මාන්තය බිදී ගොස් යළි කෙමෙන් කෙමෙන් හිස ඔසවන අවධියක මෙම හැමිල්ටන් ඇළ වැනි වටිනා සම්පතක් මිනිසුන්ගේ නොසැළකිල්ල හේතුවෙන් විනාශ වී යාම අභාග්‍යයකි.


අටවැනි වීර පරාක්‍රමබාහු රජතුමා විසින් 15 වැනි සියවසේදී කුළු බඩු ව්‍යාපාරය වැඩි දියුණු කිරීම සඳහා මීගමුව කලපුව ප්‍රධාන තොටුපළක් ලෙස පරිහරණය කළ අතර ඉන් පසුව හැමිල්ටන් ඇළ අභ්‍යන්තර ජල මාර්ගයක් වශයෙන් යොදාගන්නේ 2016 වසරේ සිට 2025 වර්ෂය දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ 2016 මෙගා පොලිස් ගමනාගමන සැලැස්මට අනූවය. ඒ මගීන් සඳහා කොළඹ අභ්‍යන්තර ජල මාර්ග කීපයක් භාවිතා කිරීමේ සැලසුමට අනූවය. එහිදී දෙස් විදෙස් සංචාරකයින් වෙනත් ප්‍රදේශ වල සිට කොළඹට පහසුවෙන් ගෙන ඒමට සැලසුම් කෙරුණි. එහෙත් මාර්ග දෙපස වැඩි වශයෙන් ගොඩනැගිලි තිබීම හා ප්‍රධාන මාර්ග සමඟ සම්බන්ධ නොවීම නිසා මෙම බෝට්ටු සේවාව අසාර්ථක විය.


එහෙත් අද වන විටත් සංචාරකයෝ සහ ධීවරයෝ මෙම ඇළ මාර්ගයේ ගමන් කරති. නමුදු ඕලන්ද ජාතිකයින් විසින් අපූරු ලෙස තනා දුන් මෙම ඇළ මාර්ගය රැක ගැනීමට ශ්‍රී ලාංකිකයින් අපොහොසත් වී ඇති බව කණගාටුවෙන් වුව ද සිහිපත් කළ යුතු කරුණකි.