විදර්ශන කන්නන්ගර

ලංකාවේ සමාජීය හා දේශපාලන ආයතන පද්ධතියත්, නීතිය හා සමාජ පර්යායත් බරපතළ ලෙස කඩා වැටී තිබේය යන අදහස රාවය පුවත්පත සිය ගමන මග පුරා දිගින් දිගටම සිහිපත් කර ඇති නිවේදනයකි. රන්ජන් රාමනායකගේ සිදුවීම විසින් පෙන්නුම් කෙරෙන්නේ එම තත්ත්වය අද දවසේ අත්කර ගෙන ඇති සංකීර්ණ මුහුණුවරයි. හරියටම කිවහොත් මේ සමාජ ක‍්‍රමය කඩා වැටී තිබේය යන සත්‍යය ජනතාව අතර පවතින්නේ යථාර්ථයටත් වඩා යථාර්ථයක් ලෙසය. පද්ධතියක් ලෙස ලංකාව අසාර්ථක හා අසමත් වී ඇති බව නොදන්නා පුද්ගලයකු සොයා ගැනීමට නැති තරම්ය. ඒ ගැන දිනපතා කතා නොකරන කෙනෙකුද නැති තරම්ය. එහෙත් නීතියේ සාධාරණත්වය, ආර්ථික ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමාජ පර්යාය යථාවත් කරගැනීමක් වෙනුවෙන් ජනතාවගේ සක‍්‍රීය විරෝධයක් හා මැදිහත්වීමක් නැත. ඒ වෙනුවට මඩවළටම බැණ වදින අතරේම එහි මාළුවෙකු බා ගැනීමට දෛනික උපක‍්‍රම සොයනා නරුමවාදයක් විසින් රටේ ජනමනස ගිල ගෙන ඇත. සැබවින්ම කිවහොත් රට මුහුණදෙන අසාර්ථකත්වයේ වියවුල තුළින් ජනතාව වේදනාත්මක සතුටක් භුක්ති විදිනු පෙනෙයි.

අනෙක් අතට අද යුගයේ අධිපති ප‍්‍රාසාංගිකත්වය වන්නේද මෙම කුණුවීම උත්කර්ෂණය කිරීමයි. වාණිජ මාධ්‍ය, දේශපාලන සංවාද, වාණිජ විනෝද කලාව පුරා මෙම තොරොම්බල්කරණය දක්නට ලැබෙයි. හරියටම කිවහොත් රටේ නීතිය හා පර්යාය කඩා වැටීම පිළිබඳ ජනවහරේ ඇති දෛනික විවේචනය අද ඉහළ වෙළෙද භාණ්ඩයක් ලෙස සියලූ ක්ෂේත‍්‍ර පුරා අලෙවි වේ. මෙය මීට දශක කිහිපයකට පෙර තිබූ තත්ත්වයට වඩා සංකීර්ණය. දෘෂ්ටිවාදය පිළිබදව වන නරුමවාදී කියවීමෙන් කිවහොත් මෙය වනාහී ”සිදුවන්නේ කුමක්දැයි හොඳටම දන්නා අතර එයම යළි යළිත් කරමින් සිටිනා” තත්ත්වයකි.

රන්ජන් රාමනායක යනු මෙම දෘෂ්ටිවාදයේ කම්පිත ගොදුරකි. ඔහු සිය පරිකල්පනය තුළ සිටින්නේ එම්.ජී.ආර් හා විජය කුමාරතුංග සිටි අනුරාගික ලෝකයේය. විජය වැනි දේශපාලන සංකේතයක් ගොඩනැගීමට බලපෑ වාම-ප‍්‍රගතිශීලී කතිකාමය පිටුබලයක් ඔහුට නැත. ඔහු පයගසා සිටින්නේ සමාජ විවේචනයත් ප‍්‍රාසාංගික වෙළෙඳ භාණ්ඩයක් හා ලාභ සමුච්චන තරගයක් බවට පත්කර ඇති නරුමවාදී පොළවකය. දූෂිත නීතිය හා ජාවාරම්කාර දේශපාලනය සමග ඔහු ගේමට බසින්නේ මෙම ලෝක දෙක අතර අතරමංවීමෙනි. රන්ජන්ගේ ක‍්‍රියාව තුළ ඇති අවංක අඩංගුව වන්නේ ඔහු සිය විවේචනය හුදු මාර්කටින් ව්‍යාපෘතියක් ලෙස පමණක් නඩත්තු නොකර තමන්ගේ සංකේතීය ශරීරයද අවදානමකට ලක් කිරීමේ පියවරක් තැබීමයි. එහෙත් එය ඔහු කරන්නේ සාමූහික ජනතාවාදී අනාගතයක් පිළිබඳ පෙර සිතා බැලීමකින් නොවෙයි. ලංකාවේ සමාජ පරිවර්තනයක් අපේක්ෂා කරන වාම හා ප‍්‍රගතිශීලී බලවේගයන්ගේ සහයෝගයක් ලබා ගනිමින් නෙවෙයි. ඔහුව මෙහෙයවනු ලබන්නේ ඔහු තුළම වන ‘වන්ෂොට් අවතාරය’ විසිනි. අවසානයේ විශාල තාප්පයක ඔහු වේගයෙන් පපුව හප්පා සිව් වසරක සිරගත දඬුවමක් පමණක් උරුම කර ගනී.

නෛතික පද්ධතිය පවතින්නේ සමාජ සමස්තයේම උපාංගයක් ලෙස මිස වියුක්ත පැවැත්මක් ලෙස නොවේ. නීතිය දූෂණය වී සමාජ පිළිවෙළ බිඳ වැටී ඇත්තේ එහි අභ්‍යන්තර ගැටලූවක් නිසා නොව ලංකාවේ දේශපාලන-ආර්ථික ක‍්‍රමය ජාවාරම්කාර ධනවාදී හස්තයේ අණසකට ගොදුරු වී ඇති නිසාය. අධිකරණ ක‍්‍රමයට එරෙහිව දිගින් දිගටම හුදෙකලා අභියෝගයක් කළ පමණින් එහි කිසිදු පරිවර්තනයක් සිදු නොවන්නේ මෙම තතු යටතේය. සිදුවීමට නියමිත වන්නේ එම අධිකරණ පද්ධතිය විසින්ම එකී හුදෙකලා අභියෝග කරන්නාව උස්සා පොළොවේ ගැසීම පමණි. ලංකාවේ නීතිය හා පර්යාය පොදු සමාජ යහපත වෙනුවෙන් යළි ගොඩනැගීමේ අරගලය සමාජ සමස්තයම පිළිබඳව වන තියුණු දේශපාලන කියවීමක් සමග අතිනත ගත යුත්තේ එහෙයිනි.

අනෙක් අතට ලංකාවේ සමාජ-දේශපාලන අර්බුදයට දිනපතා බැණ වදිමින් සිටින අතිබහුතර ජනතාව එය වෙනස් කිරීම වෙනුවෙන් ශරීරය දෙන්නේ නැත. එහි වඩාත් කුසීත කොටස වන්නේ නාගරික හා ග‍්‍රාමීය අතරමැදි සමාජ පන්තියයි. ඒ ඒ හදිසි මැතිවරණ අවස්ථාවල පාලනතන්ත‍්‍රයන් වෙනස් කිරීමේ මතවාදී චලනය මිස ඇඟ රිදෙන දේශපාලන වෙනසක් වෙනුවෙන් ඔවුන් මැදිහත් වන්නේ නැත. ඒ අතර මෙම ජනතාව වඩා පෙළඹෙන්නේ සියල්ල උඩුයටිකුරු කරන ‘දෛවයේ මිනිසුන්ව’ ෆැන්ටසිගත කිරීමටයි. එවැනි දෛවයේ ගැලවුම්කරුවෙකු පැමිණ මේ සියලූ සමාජ ප‍්‍රශ්නවලින් තමන්ව ගලවා දෙනු ඇතැයි සිතීමට ඔවුන් කැමතිය. රන්ජන් විසින් රඟපාන ලද්දේ මෙම අනෙකාගේ ෆැන්ටසියයි. එම ෆැන්ටසිය යථාවක් නොවෙයි. රන්ජන් කරදරේ වැටුණු පසු රන්ජන් පිළිබඳ උද්වේගය වියැකී ගොස් තවත් දෛවයේ ගැලවුම්කරුවකු වෙනුවෙන් මෙම ජනයා ඔල්වරසන් නගයි. ක‍්‍රමයේ සංකීර්ණ අර්බුදය ඇත්තේ මෙතැනය. ඒ වෙනුවෙන් රන්ජන් වන්දියක් ගෙවා ඇත.