ලිබරල් සමාජ විකාශනයේ නිදහසෙහි උපරිමය සමාජ පාලනයේ නව මුහුණුවරක් වන්නේය. එය හුදෙක් අති අධෝව්‍යූහාත්මක සමාජ පාලන යාන්ත්‍රණයකි. ඉහළ සමාජ ව්‍යුහයක ආධිපතීත්වය දරන මෙහි ස්වරූපය නව ලිබරල්වාදී සමාජ ක්‍රමයක් ලෙස බොහෝ දෙනෙක් ව්‍යවහාර කරති. නව ලිබරල්වාදී සමාජයක් තුළ සමාජ සාධාරණත්වයක් අපේක්ෂා නොකළ හැකි තරම්ය. කලාකරුවාද එහි කොටස් කරුවෙක් බවට පත් වී ඇත. කලාවද නොවැළැක්විය හැකි ලෙස එකී තත්ත්වයට සේන්දු වී ඇත්තේ නිරායාස පරිවර්තනයක් ලෙසිනි. එකී තත්ත්වයතුළ බොහොමයක් කලාකරුවන්ගේ නිර්මාණ තුළින් දෘෂ්ටිගත කිරීමට උත්සහ දරන දර්ශනය තම පෞද්ගලිකත්වය තුළ දක්නට නොලැබේ. වර්තමාන සමාජය තුළ හරියටම එය දේශපාලනයට සාම්‍යත්වයක් දරයි.


කලාවේ කාර්ය වින්දනයට එහා ගිය සමාජ අභිවෘද්ධිය සුභසිද්ධිය නම් සමාජයේ පුද්ගලයෙක් හැටියට මෙවැනි කලාකරුවන් යනු සමාජ ද්‍රෝහීන් වේ. මේ යනු කලාව වාණිජකරණය වීමේ එක් පැතිකඩක් සේ ම කලාවේ මුවාවෙන් තම පෞද්ගලික අභිලාෂ සුඛයන් සපුරාලනු ලබන ව්‍යංග උත්සාහයක ප්‍රතිඵලයකි. අද්‍යයතන කලාකරුවා යනු හරියට වෙස්වලා ගත් චරිතයක් බවට පත්ව ඇත.


ලිබරල් සමාජයේ ධනවාදී මුහුණුවර තුළ කලාව වාණිජකරණය වීමෙන් පසු ධනවාදයේ උච්ඡතම අවස්ථාවක් ලෙසින් පෙනී යන නව ලිබරල්වාදී කලාකරුවා මානුෂීයත්වයෙන් වියුක්තභාවයට පත්ව ඇත. එහි නිර්මාණයේ ප්‍රමුඛ අරමුණ වාණිජ්‍යත්වයයි. නමුත් ඔවුන් කලාව ගැන පවසන පුරසාරම් දෙඩවුම්වලින් ප්‍රදර්ශනය වන්නේ පරමාදර්ශී පුද්ගලයින් හැටියටය.


ඇතැම් අවස්ථාවල කලාව යනු හරියට සමාජය මතුපිට එලන ලද ව්‍යාජ ඇතිරිල්ලකි. නොඑසේව යථාර්ථය මතු කරනු යැයි පවසන යථාර්ථය සඟවන දොරටු පාලකයෙකි. අද්‍යතන කලාව හුදෙක් සමාජය මෙහෙයවීමේ පාලනය කිරීමේ අධිපතීත්වය දරන යථාර්ථය වසන් කරමින් සමබරතාව පතුරුවාලන ආභරණයකි. කලාව මානව විඥානය නිෂ්පාදනය කරනු ලබන්නා සේ ම පවතින විඥානය නොමඟ යවන සමාජයේ ස්ථාවර පිරිසකගේ පෙළඹුම් කාරකයකි. ඔවුන් යනු කලාකරුවන් නොව නව ලිබරල්වාදී කලාකරුවෝය. මේ තුළ කලාව පෞද්ගලිකත්වයේ අතිශය සමීප මිතුරෙකි. එය තවදුරටත් හුදෙක් පොදු සමාජ නියාමනයක ජනතාවාදී මාධ්‍යයක් නොවේ. එසේම ජීවිතාවබෝධයේ මාධ්‍යයක්ද නොවේ. කලාව උපයෝගීතාවයේ පරිභෝජන සමාජයක වාණිජ අරමුණු කේන්ද්‍ර කරගත් වටිනාකම් සහිත කාර්යයක නිර්මාණාත්මක නිෂ්පාදන භාණ්ඩයකි. වෙළඳපොළ ප්‍රාග්ධනයේ අවස්ථාවාදී සියුම් සුහුරු උපාය මාර්ගයක් වන නව ලිබරල්වාදී කලාව ආත්මයේ අවස්ථාවාදී පටු කුහක ව්‍යාපාරයකි. නව ලිබරල්වාදී කලාව මානව විඥානයේ එසේත් නැතිනම් ආත්මයේ භාවාත්මක විශෝධනයක් ඇති කරනවාට වඩා කලා රසිකයා ව්‍යාජ ලෝකයක අතරමං කරමින් කලාකරුවාගේ ආත්මාභිලාෂ මත යැපෙන ප්‍රෝඩාවකි.


අතීත සමාජයේ කලාව දේශපාලකයාට තර්ජනයක් වූ නමුත් වර්තමාන නව ලිබරල්වාදී පාලන තන්ත්‍රය තුළ එය මහජන පාලනයේ සහ දේශපාලන ව්‍යාපාරයේ ආභරණයකි. කලාවේ මතුපිට උපරි ව්‍යුහය සුන්දර ලෝකයට රසිකයා රැගෙන යන මුත් එහි අධෝ ව්‍යූහය නොහොත් තිලීනාර්ථය විචාරයට භාර කරමින් කථිකාවක යෙදෙන අති අධෝ ව්‍යූහාත්මක සමාජ මෙහෙය වීමත් කරනු ලබන පාලන හිතෛෂී පෙරළිකාර මාධ්‍යයකි. මානව ආධ්‍යාත්මයට ආමන්ත්‍රණය කරමින් ස්පර්ශ කරන කලා කෘතීන් මෙකී සමාජය තුළ අතිශය දුර්ලභය. සමාජ විඥානය පාලනය කිරීමට අවශ්‍ය පරිදි ගොඩ නැඟීමට වර්තමාන කලාව දරන අවස්ථාවාදී උත්සාහය ජය ගැනීමට නව ලිබරල්වාදී කලා සමාජය සමත් වී ඇත.

අප කවුරුත් කවර ස්ථාවරයක සිට කුමන දේ කළත් එය නව ලිබරල් වාදයට යටත්ය. ඒ නිසා කලාව අද එතැනට සේන්දු වී අවසන්ය. කලාවට සමීපම වචනයක් වන රසිකයා යන්නට වඩා වර්තමානයේ ඊට යෝග්‍යම පර්යාය පදය වන්නේ මහජනයාය. නැතහොත් පාරිභෝගිකයාය යන්න පැවසීම සාධාරණය. වර්තමාන කලාව යනු දේශපාලනීකරණයකි. කලාවේ ස්වාධීනත්වය වර්තමානයේ භෞතික ලෝකයේ නොමැත. එය හුදෙක් පරිකල්පිත ලෝකයටම පමණක් සීමා වූ ස්වාධීනත්වයකි. කලාවේ ස්වාධීනත්වය මුදලට යටවූ දේශපාලන මතවාදී වෙළඳ ව්‍යාපාරයේ යාන්ත්‍රණයකි. සමස්ත කලාවම දේශපාලන කලාවක ප්‍රතිඵලයකි.


නව ලිබරල්වාදී කලාකරුවා නිර්මාණයකට ප්‍රවේශ වන්නේම සමාජ සුභ සිද්ධියට වඩා කලා ව්‍යාපාරයක ප්‍රමුඛ අරමුණු සහිතවය. එහි දෙවන කාරණය අවශේෂ පෞද්ගලික අභිලාෂයන්ය. එහි රසික සුභසිද්ධිය උදෙසා සංකල්පනාව ඇති වන්නේ තුන්වන පාර්ශ්වයක් වශයෙනි. නිර්මාණකරුවාගේ තම පෞද්ගලික අත්දැකීම් නිර්මාණකරණයට පත් කරමින් ද එය අනෙකාගේ අත්දැකීමක් බවට පත් කරමින් ද එහි වාසි ලබන්නට දරන ප්‍රයත්නයක් පශ්චාත් ලිබරල්වාදි නිර්මාණ දර්ශනයේ ගැඹුරු අධ්‍යයනයන්ගෙන් පසක් කරගත හැකිය. සැබෑ සංවේදී කලාකරුවෙකුට වඩා සැබෑ ආත්මීය පෞද්ගලිකත්වයේ ව්‍යාජ පරමාදර්ශීත්වයක් මවාපාන කලා දර්ශනයක ප්‍රතිබිම්භයක් මෙකල සමාජයේ ප්‍රතිස්ථාපනය වී ඇත. වර්තමාන කලාකරුවන් පවසන පරිදි කලාකරුවාට තම නිර්මාණයෙන් තෘප්තිමත් භාවයක් ඇති නොවන්නට හේතුවද නිර්මාණයේ අරමුණ තෘප්තියට මෙහා ඇති වාණිජ අරමුණක් සහිතව ගොඩ නැඟී ඇති නිසාය.
පශ්චාත් ලිබරල්වාදී සමාජය තුළ යම් කලා කෘතියකට දීර්ඝ කාලයක් රසික අවධානය තබා ගැනීමට අපොහොසත් වී ඇත්තේ ද මෙකී හේතුව නිසාය. රැල්ලටම නිර්මාණය වී රැල්ලටම ගසාගෙන යන තාවකාලික ආශ්වාදයක මෙකී නිර්මාණ කෙටි කලකින් සමාජයෙන් නිරුද්ධවන්නේ සමාජ සත්තාව ප්‍රබල ලෙස ස්පර්ශ කර නොමැති නිසාය. වර්තමාන කලාව රසිකයා සූරාකන මාධ්‍යයකි. නව ලිබරල්වාදි සමාජයක ලිබරල්වාදී උසස් මට්ටමේ කලා නිර්මාණ බිහිවීම ඉතාමත්ම දුර්ලභ ලෙස අපේක්ෂා කළ යුත්තකි. නමුත් නව ලිබරල්වාදී දිශානතික නිර්මාණ රාමුවේ නිර්මාණ එකී ව්‍යූහයට අනුගතව උසස් ලෙස සැලකිය හැකි එහෙත් ලිබරල්වාදී කලා නිර්මාණයක උසස් තත්ත්වය අබිබවා යාමට නොහැකි වන්නා සේ ම ඊට සාම්‍යයක් දැක්වීමට ද නොහැකි වන්නේය.

චමින්ද මොරගොඩ
සබරගමු නර්තන අධ්‍යයනාංශය නර්තන හා නාට්‍ය කලා පීඨය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය