විමලනාත් වීරරත්න

කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස කඩා වැටී ඇති බව පෙබරවාරි 02දා වාර්තා කැරිණි. රටේ කඩා නොවැටී ඇත්තේ කුමක්දැයි යන්න කීමට නොහැකි තරම් මේ වන විට තත්ත්වය අවුල්සහගත වී තිබේ. මෙවැනි අර්බුදයක් හට ගත්තේ කෙසේද? මේ ප‍්‍රශ්නය හුදු කොවිඞ් පැතිරීයෑමේ ප‍්‍රතිඵලයක්ද? නැතහොත් දුර්වල කළමනාකරණයේ ප‍්‍රතිඵලයක්ද?

කොවිඞ් පසුබිම තුළ ලංකාව කළ යුතුව තිබුණේ නව වැඩ සංස්කෘතියකට පුරුදුවීමය. එය මතුපිටින් නව වැඩ සංස්කෘතියක්වීමෙන් ප‍්‍රතිඵලයක් අත් නොවේ. නිදසුනක් ලෙස කොවිඞ් බෝවීම වැළැක්වීමට අප ස්වයංව ගන්නා ක‍්‍රියාමාර්ග ගත හැකිය. අනෙක් අතට කොවිඞ් අභියෝගය ඉදිරියේ රටේ ආර්ථිකය හැසිරවීම පිළිබඳව ආණ්ඩුව නව උපාය මාර්ග සෙවිය යුතුව තිබුණි. උපාය මාර්ගය යනු වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකිණීම හෝ බදු දීම නොවේ. ආදායමට සාපේක්ෂ වියදම් සංස්කෘතියක් පළමුව රාජ්‍ය පාලනය තුළ ඇති කරගත යුතුව තිබුණි. විශේෂයෙන්ම කොවිඞ් සමයේ නිවෙස් තුළ වුව ආදායමට සාපේක්ෂ වියදම් සම්ප‍්‍රදායක් ගොඩනැගුණි. කොවිඞ් රෝගය වැලඳුණු පිරිස්වල නිවසේ ආර්ථිකය තීරණය කළේ නිවැසියන් නොව බාහිර සමාජයේ ක‍්‍රමවේදයක් මගිනි. එවිට කොහොමටත් අඩු පිරිවැයකින් ජීවත් වන තත්ත්වයක් උදාවිය. එහෙත් ආණ්ඩුව තුළ නම් වියදම්වල සීමාවක් නොවුණි. වියදම් කිරීම් ආදායමට සාපේකෂ නැතිවිට රටේ ආර්ථිකය බංකොළොත් වන එක යථාර්ථයකි.

නව සාමාන්‍ය තත්ත්වය

නව සාමාන්‍ය තත්ත්වය යනු කොරෝනාවලින් පසු සමාජ හැසිරීමට අදාළ වදනකි. එය ඉතා හොඳ අභ්‍යාසයයික තත්ත්වයකි. ප‍්‍රශ්නය වන්නේ එහිදීත් නව සාමාන්‍ය ජනතාවගේ පමණක් අභ්‍යාසයන් බවට පත්වීමය. පාලකයන්ට එය අදාළ වී නැත. වත්මන් රජය රට අර්ධ මිලිටරිකරණයකට ලක් කරමින් සිටින වග පෙනේ. ආණ්ඩුවේ ගජ මිතුරන්ට නව සාමාන්‍යය අදාළ නැත. එය තොණ්ඩමන්ගේ මළගෙදර සිට උදයංග වීරතුංගේ සංචාරක කටයුතු දක්වා දිවෙන්නකි. අනෙක් අතට නැගෙනහිර ජැටිය විකිණීමට ආණ්ඩුව සැරසෙන විට ඊට එරෙහි උද්ඝෝෂකයෝ නව සාමාන්‍යය බිඳ දැමූහ. ඔවුන්ට එය බිඳ දැමීමට සිදුවිය. මහජනයා නව සාමාන්‍යය බිඳ දමන්නේ එක්කෝ රටේ සම්පත් විජාතිකයන්ට විකුණා දැමීම වැනි අනර්ථකාරී ක‍්‍රියාවන්ට එරෙහිවය. නැතහොත් කොවිඞ් නිසා මාස ගාණක් නාගරික ප‍්‍රදේශයක සිරව සිට බඩගින්න උසුලාගත නොහැකි තත්ත්වයක් උදාවූ විටය. ඔවුන්ගේ නව සාමාන්‍යය බිඳීම ඉන් එහාට නොයයි. ආණ්ඩුව නව සාමාන්‍යය බිඳ දමා නවතින්නේ නැත. ජනාධිපතිවරයා තමන් රකිනවා යැයි කියූ ප‍්‍රතිපත්ති ශීඝ‍්‍රයෙන් බිඳ දමමින් සිටියි. වරායේ නැගෙනහිර ජැටිය පිළිබඳ ප‍්‍රශ්නයේදී ආණ්ඩුව දැන් නිරත වනුයේ නියම මොනර නැටුමකය. ඉතා පැහැදිලිව ජැටියේ මෙහෙයුම් කටයුතුවලින් 49%ක් ඉන්දියාවට දෙන බව කීමෙන් පසු නොසිතූ විරූ ලෙස පැන නැගුණු විරෝධය සමනය කිරීමට අගමැති එය කිසිසේත්ම කිසිවකුට නොපවරන බව කීවේය. ආණ්ඩුව හිතුවේ ජනපති ගෝඨාභය තද ගති ඇති නායකයකු නිසා ඔහුගේ කීම ජනතාව අනුමත කරනු ඇතැයි යනුවෙනි. එහෙත් එම සිද්ධියේදී ජනපති බිත්තියට හේත්තු වන තතත්්වයක් උදා කැරිණි. ගෝඨාභය මහතාගේ ශාසනයේ සිටි සංඝයා වහන්සේලාත් ඔහුට නිර්දය ලෙස පහර දුන්නෝය. මේ කවර අරුමයක්දැයි ජනපති පවා පුදුම වන්නට ඇත. ඇත්තටම අගමැති මෙහිදී කළේ ජැටිය ඉන්දියාවට නොදෙන බවට ප‍්‍රකාශයක් කර තාවකාලිකව ජනපති බේරා ගැනීමය. මේ සෙල්ලම ලංකාවේ ජනතාවට අදාළව පමණක් කළ හැකිය. මෙම දෙපිට කාට්ටු තත්ත්වය ගැන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හැරෙන තැපෑලෙන් කියා ඇත්තේ මීට පෙරවූ පොරොන්දු ප‍්‍රකාරව කරන ලෙසය. ලංකාවට අවසානයේදී කැමැත්ත පරිදි වැඩ කිරීමට සිදුවනු ඇත. අත් හළ නොහැකි සැබෑව එයයි.

දුර්වල ප‍්‍රතිපත්ති

ජනපති හා ආණ්ඩුව බලය ගත්තේ දේශපේ‍්‍රමී සළුපිළි පොරවා ගෙනය. එහෙත් රටේ සම්පත් විකුණන සැලසුම් ඔවුන් විසින්ම හදන විට ඒ සළු පිළි ගැලවෙමින් තිබේ. අනෙක් අතට හැමදාම අනවසර කැලෑ කැපීම් වාර්තා වෙයි. රූස්ස ගස් කපා වන වගා කිරීම්වලට සැරසෙන පුදුම රටක් ලෙස වත්මන් ලංකාව හැඳින්විය හැකිය. මේවා කෙතරම් පරස්පර තත්ත්වයක්ද? උද්‍යාන හැදීමට වන වදුලූ කපා දමන්නේ කවුද? එසේ වන්නේ සාමාන්‍ය වැසියකුට කැළේට හෝ දර ඉපලක් හෝ කැපීම තහනම් රටකය. හරක් ඇති කරන ගම්වැසියන්ට කැලෑ වැදී ඕනෑම දෙයක් කරගැනීමට ජනාධිපතිවරයා ඉඩදෙයි. ඔවුන්ට නඩු නොපවරන ලෙස වන නිලධාරීන්ට හා පොලිසියට නියෝග කරයි. ගම සමග පිළිසඳර වැඩසටහනකදී ගොවියකු අට්ටාලයක් මත නැග ජනපතිගෙන් ප‍්‍රශ්න අහන සිද්ධියක් දක්නට ලැබුණි. ජනපතිටත් එහිදී විශේෂ පොල්අතු මඩුවක් සූදානම් කර තිබුණි. මේවා ප‍්‍රශ්නය විසඳීම්ද, රඟපෑම්ද යන ප‍්‍රශ්නය විමසීමට සිදුවෙයි. ගොවීන් මුහුණ පා සිටින ඇතැම් ඉඩම් ගැටලූ මේ ක‍්‍රමයෙන් යම් පමණකට විසඳෙනවා වන්නට පුළුවන. එහෙත් මුළු රටේම මෙවැනි ප‍්‍රශ්නවලට අදාළව එක ප‍්‍රතිපත්තියක් සකස් නොකොට ගමින් ගමට ගොස් එකිනෙකාගෙන් ප‍්‍රශ්න අසන ක‍්‍රමයකින් මෙම ගැටලූ විසඳීම ප‍්‍රායෝගික නැත. අගමැති මැදිහත්ව ජනපති ජැටියේ ප‍්‍රශ්නය තාවකාලිකව බේරා ගත්තා සේ ජනපතිගේ මේ ගම් වැදිල්ලද නිරර්ථක හා ඉක්මනින් හති වැටෙන ක‍්‍රියාවක් බව අගමැතිට ඕනෑ නම් කියා දිය හැකිය.

නාස්තිය

29 වැනි සිකුරාදා දිනපතා ලංකාදීප පුවත්පත වාර්තා කර තිබුණේ අනුරාධපුර නගර සංවර්ධනයට ගඩොලක්වත් නොතියා නිලධාරීන් නඩත්තුවට පමණක් කෝටි 28ක් වැය කර ඇති බවය. ව්‍යාපෘතිය පටන් ගෙන වසර හතරක් ගතවී ඇති බවත්, ප‍්‍රගතිය බිංදුවක් බවත් උතුරුමැද ආණ්ඩුකාරවරයාට හෙළිකර තිබුණි. සමාන්තර කොරෝනා සමයක එළඹ ඇති නව සාමාන්‍ය තත්ත්වයන් තුළ නොව කිසිවිටෙක මෙම නාස්තිය ඉවසිය යුතුද? ව්‍යාපෘතියට වසර හතරක් නම් එය පසුගිය යහපාලන රජය පටන් ගත් කටයුත්තකි. වත්මන් ජනපති පත්වී වසරකට වැඩිය. ශක්තිමත් ආණ්ඩුවකුත් පත්ව ඇත. උතුරුමැද ආණ්ඩුකාරවරයා මෙම හෙළිදරව්ව කළ යුතුව තිබුණේ මීට වේලාසනය. මෙවැනි තවත් අතරමංවුණු නාස්තිකාරී ව්‍යාපෘති කොතෙක් රට තුළ ඇත්ද? පළිගැනීම් යයි හඳුන්වන නීතිය ක‍්‍රියාත්මක කිරීම් සම්බන්ධයෙන් ක‍්‍රියා කිරීමට අධිකරණ බලය ඇති කමිෂන් පත් කරන ආණ්ඩුව මෙවැනි මුදල් නාස්ති කිරීම් ගැන සොයා බැලීමට කොමිෂන් පත් කරනවාද?

බලපෑම් කණ්ඩායම් වැඩි වැඩියෙන් රටට අවශ්‍යව තිබෙන්නේ මේවා වැළැක්වීමටය. වරායේ නැගෙනහිර පර්යන්තය බේරා ගැනීම පිළිබඳ ප‍්‍රශ්නයේදී වරාය වෘත්තීය සමිති ඓතිහාසික කාර්ය භාරයක් කරමින් සිටියි. බටහිර ජැටිය ඔවුන්ගේ හා රටේ පොදු අරමුණු බිඳ ගැනීමට හේතුවක් කර ගත යුතු නැත. කවර ජැටිය විකුණුවත් ඒවා රටේ සම්පත්ය. වෘත්තීය සමිති සහ වරාය ඉංජිනේරුවරුන් ජැටියේ මෙහෙයුම් කටයුතු වරාය අධිකාරියට සිදුකර ඉහළ ලාභයක් ලැබිය හැකි බව කියද්දී එය ඉන්දියාවට දීම කළ හැක්කක්ද? පළමුව මෙරට කටයුතු මෙරට පුරවැසියකුට භාරදිය යුතුය. වෙනත් පියවරක් ගත යුත්තේ අප ඊට අසමත් නම්ය. එය ඕනෑම ව්‍යාපාරයකට අදාළය. මධුර විතානගේ මන්ත‍්‍රීවරයා පෙබරවාරි 02දා මාධ්‍ය හමුවකදී කියා තිබුණේ සේවකයන් දස දහසකට වැඩිය සිටින වරායේ කන්ටේනර් මෙහෙයවීම් එක් ලක්ෂ හැට පන්දහසක් කිරීම ප‍්‍රමාණවත් නොවන බවත් එය ලක්ෂ 05 දක්වාවත් ගෙන යායුතු බවත්ය. එම අදහස සංවාදයකට ලක් කළ හැකිය. අරගලයේ නිරත වෘත්තීය සමිති හා වරාය ඉංජිනේරුවන් මේ පිළිබඳව නිසි තක්සේරුවකට යාම අරගලයේ ජයග‍්‍රහණයට වැදගත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here